top of page
  • Writer's picturePrisila Godahewa

ළමා කාලය

ළමා කාලය තරම් සුන්දර කාලයක් ජීවිත කාලය තුලම නොතිබු බව පසක් වෙන්නේ ජීවිත කාලයේ අවසන් කොටසට නොහොත් වැඩිහිටියන් බවට පත් වූ පසු නැවත හැරි බලන විටයි. මා විසින් බාගෙට ලියා අවසන් කරගෙන යන මගේ ජීවිත කතා පොතේ සමහර පරිච්ඡේදයන් මගේ මතක යටතේ ඔබටත් කියවන්නට අවස්ථාව දෙනුවස් මෙය ලියන්නට සිතුවෙමි. බොහෝම කුඩා අවදියේ මතක තිබෙන දෑ අතරින් වැදගත්ම දේ ලෙස මම දකින්නේ , පාසැල් නිවාඩු කාලයට පමනක් නොව සැම දිනයකම පාසැල් ගොස් පැමිනි පසුද යහලුවන් සමග සෙල්ලම් කිරීමට යෑමයි.උදේට තියෙන දෙයක් කා බසයෙන් පාසල් යන අපි හවසට ගෙදර එන්නේ තියෙන දෙයක් උඩින් පල්ලෙන් කා කෙල්ලො කොල්ලො සමග සෙල්ලම් කිරීමටය.ඒ වගේම සෙල්ලම් කර සවස හයට පෙර ගෙදර ආයුතුයි කියා තිබෙන, තාත්තාගේ නීතියද අපි අකුරටම පිලිපැද්දෙමු. අපි කොළඹ ටොරිංටන්හී පදිංචිව සිටි කාලයේ මට මතක හිටී හොදම යාලුවො තමයි දම්මි, නිම්මි, දෝනී, ගංගා, මීනා, බොන්සෝ, නිශාන්ත , නෙලුම් , දුමින්ද ,සම්පත්, කිරිබට්ටා, රංජනා, යන අයයි. ඒ කාලයේ මෙන්ම අදටත් මටත් පොඩි අක්කාටත් කිව් කෙටි නම් තමයි රේනු සහ චූටි යන්න. මුහුනු පොතට පිං සිද්ද වෙන්න මේ යාලුවො බොහෝ දෙනෙක් අද fb එක ඔස්සේ හමුවී ඇත. ඉන්පසු තමයි ඒ යාලුවන්ගේ හරි නම්, වාසගම්ද දැනගන්නට ලැබුනේ. හේතුව අපි හැමෝටම ඒ කාලයේ කිව්වේ, තිබුනේ ගෙදරට ආදරේට හෝ යාලුවො විහිලුවට කිව් නම්‍ය. ඒ අතරින් අදටත් මට මතක තියෙන විහිලු නම් ටිකක් තමයි. *කිරි වවුලා *බොන්සො *කිච්චා *වපරි*කන්නාඩියා *බතලි.*රබර් පු...*රේනු *හොටු.....*චූටි *මීනා යන නම්. එම කාලයේ අපි කල සෙල්ලම් අතර ටින් කැඩීම, අල්ලං සෙල්ලම් කිරීම , බැඩිමිට්ටන් ,නෙට්බෝල් ගැහීම, ක්‍රිකට් ගැසීම, බයිසිකල් පැදිම( බයිසිකල් නැති අය පැය 1/2 හෝ 1/4 කට සත විසිපහක් දීලා අදුනන ගේකින් කුලියට ගෙන) කැරම් ගැසීම, කාඩ් ගැසීම ආදියයි. ඊටත් වැඩියෙන් ආසාවෙන් කරපු ලොකුම සෙල්ලම තමයි සෙල්ලම් ගෙවල් දැමීම. සමහර දවස් වලට ගේ පිටිපස්සේ, ගස් යට දමපු සෙල්ලම් ගෙවල් වල ඇත්ත බත්ද උයාගෙන කෙසෙල් කොල වලට බෙදාගෙනත් කෑවෙමු. අම්මලාගේ පරන සාරි සපත්තු ,අත් බෑග් ඇරගෙන සෙල්ලම් ගෙවල් වල නෑදෑ ගමන්ද ගියෙමු. සමහර විට ආදරයෙන් එකමුතුව සෙල්ලම් කරනවා වගේම තරහා වෙලා රංඩු උන අවස්ථාද තිබුනී. හවස් වෙනකො රේඩියෝ එකක් තිබුන ගේකට යාලුවෝ ඔක්කොම එකතුවී පහන්සිල, ලමා මංඩපය ආදි ගුවන් විදුලි නාටකද ඇසුවෙමු. යාලුවො ඔක්කොම එකතුවි වැඩිහිටියන්ට පෙන්වන්න නාට්‍ය ද රගපෑවෙමු. එයින් මතක හිටිනම නාටකය තමයි නරිබෑනා නාටකය. කෙසේ වෙතත් යාලුවො එක්ක ගතකල සෙල්ලම් කාල මතක් වෙන කොට අදටත් දැනෙන්නේ පුදුම සතුටකි. කොළඹ ටොරිංටනයෙන් පසු මහරගම ඇරැව්වල නම් ගමේ පදිංචියට යන්නට ලැබීම තමයි මගේ ජීවිතයේ නොයෙකුත් අත්දැකීම් ලබාගන්නට පුලුවන් උන සමය. 1980 දී පමන එම ගම ඉතා ලස්ස, නාගරිකරනය නොවු ගැමියන් සිටින ගමක් විය. පාසැල් යන්නට ඇරැව්වල සිට කොළඹ ලින්ඩ්සේ බාලිකාවට පැය එකහමාරක් විතර යයි. එයත් ලංගම බස් රථ දෙකකින් යෑමට සිදුවිය. පොල් පටවනවා සේ මගීන් පටවාගෙන යන බස්‍ රථ වලින් පාසැල් යන අප හවස ගෙදර එන්නේ බාගෙට පනගිහින්ය. පාසැල් ගොස් පැමිනි වහාම කොත ගසා තිබෙන බත් පිගාන් ගිල දමන්නේ රස ගුනවත් නොබලාය. බත් පිගන් කෑ සැනින් සෙල්ලම් කිරීමට දුවන්නෙමු. අපි පදිංචි වී සිටි ගෙදර අවට තිබූ රබර් වතුයාය අමතක නොවන තැනකි. යාලුවො සමග සෙල්ලම් කරනවා සේම රබර් වත්තේ ගොටුකොළ කැඩීම, රබර් ඇට, කටු ඇහිදීම, රබර් වත්ත පාමුල ඇති ඕවිටේ ලිදෙන් නාන්න යෑම අමතක නොවන සිදුවීම්‍ය. අපි සිටි ගෙදර අවට තිබු ගැමි ගෙවල් වල දරුවන් සමග ඔවුන්ගේ කුබුරු වලට යන අපි, කුබුරු වැඩද සෙල්ලම් කරමින් ඉගෙන ගත්තෙමු. කුබුරු හාන අවස්ථාවේ සිට පැල සිටවීම, ගොයම් කැපීම, ගොයම් පෑගීම, වී හුලං කිරිම ආදි සෑම දෙයක්ම දැක බලා ගන්නට ලැබුනි. ඉරිදට ඇරැව්වල පන්සලේ දහම් පාසැලට යෑම හා සෑම මසකම පෝයට සිල් ගැනීම ( විශේෂයෙන් පන්සලේ දානේ කෑම සදහා යන්නෙමු )යාලුවො සමග ගියෙමු.එම ළමා කාලයේ එක මොහොතක් ගෙදර නොඉද සෙල්ලම් කරන්න ගිය අපට තිබූ නිදහස, ගහකොළ අදුනාගැනීම වගේම ගස් නැගීම, ගඩාගෙඩි කෑමට, කුබුරේ, වෙලේ, දොලේ පැන සෙල්ලම් කිරීමට, තිබූ නිදහස, සතුට දැන් අපේ ලමයින්ට 1% වත් නැත. ඒ ගැන ඇත්තේ නම් දුකකි. ගෙදර ආසැනින් ඇගපත සෝදා ගෙන පාසැලේ ගෙදර වැඩ කර රෑට කා නිදාගන්නට යන්නෙමු. මගේ ලමා කාලය ගෙවීගිය ආකාරය ඉදහිට මතක් වෙනකොට අදටත් ඇතිවෙන්නේ සතුටකි. ඒ නිසා මගේ පරන මතක ලියා තැබීමටත් ඒවා ඔබට කියවීමටත් අවස්ථාව දෙනු කැමැත්තෙන් ලියමි

2,717 views0 comments

コメント


bottom of page