top of page
  • Writer's picturePrisila Godahewa

🌺🌺මට හිමි ඔබයි🌺🌺

💞මට හිමි ඔබයි💞

(10 වන කොටස )

https://www.facebook.com/groups/2653780434897311/permalink/2721625501446137/

හවස් වෙන්න ප්‍රථම බාප්පා කඩ මංඩියට ගොස්, ගෙදරට උයන්න හාල් තුනපහ අරගෙන ඇවිත් තිබුණේය.

අම්මා එළවළු මල්ල කුස්සියට අරගෙන ගොස් අස්කරනකම්, කුස්සියේ තබා ඇති මේස පුටුව උඩ වාඩි වී බාප්පා කතා කරන්නට පටන් ගත්තේය.


“එන සුමානේ වෙන කොට කසුනිටයි, රුවනිටයි ඉස්කෝලේ යන්න පුළුවන් වෙයි...."


“ ඒක ලොකු දෙයක්. ඒ දෙන්නට හොදට උගන්නන්න තිබිම තමයි මට තියෙන ලොකුම සතුට..."


“දෙන්නටම ඉස්කෝලේ අඳින්න ඇඳුම්, සපත්තු එහෙම ගන්නත් වෙයි නේද....?


“ගමේ ඉස්කෝලෙට ඇඳපු ඇඳුම් නම් තිබිලා ගෙනාවා.....ඒවා ටිකක් පරණයි....."

අම්මා කීවාය.


“ඉස්කෝලේ දාගන්න වැඩේ ඉවර වුණාම ඇඳුම් ගැන බලමුකෝ.....

බාප්පා කීවේය.


“අපි අද හවසම ලොකු මල්ලිලාගේ ගෙදර ගිහින් එන්න යමුද....එයා නිසානේ අපට ඔයාව අදුනගන්න ලැබුනේ ....?


“ඔව්,යමු.... නන්දේ කිව්වා ඔයගොල්ලෝ ආවහම එක්ක එන්න කියලා. මම කිව්වා අද හෙටම එක්ක එන්නම් කියලත්...."


“එහෙමනම් අදම යමු...

මම ඉක්මනට රෑට කන්න දෙයක් රත්කරලා තියලා එන්නම්. එතකොට ලේසියි....


“කැමැත්තක්.....එහෙනම් මම නාගෙන එන්නම්...."


“මහත්තයාට මං වතුර ඇදලා දෙන්න එන්නද...?

අම්මා ඇසුවාය.


“පිස්සුද...., මට පුරුදුයි. ඊටත් මේවා ගැහැනු කරන වැඩ නෙවේනේ..... ගැහැනියෙකුයි, මිනිහෙකුයි එකට ඉඳන් කතා කරනවා දැක්කත් ඇති මේ පැත්තේ මිනිස්සුන්ට.... මං නාගෙන එන්නම්. සුදු හාමිනේ එතකන් මොනවා හරි රෑට කන්න හදන්න....."


“මොනවද රෑට කන්න උයලා තියන්නේ....?


“ඔයා කැමැති දෙයක් හදන්න... හවස නිසා මාළු ලෑල්ලෙ මාළු තිබුණේ නෑ.... මං කරවල ගෙනත් ඇති...."

බාප්පා එහෙම කියාගෙන සරමක් හා තුවායක් අරගෙන ළිඳ ළඟට ගියේය.


අම්මා මාත්, අක්කාත් කුස්සියට අඬගහගෙන රෑට උයන්නට පටන් ගත්තාය. අක්කා පොල් ගෑවාය. මම ලූනු සුද්ධ කළෙමි. අම්මා හාල් ගරා, සෝදා, දර ලිප පත්තුකර බත් එක ළිපෙන් තැබුවාය. කරවල තෙල් දමා, පරිප්පු උයා තැබූ අප මූණකට සෝදා ගෙන තිබුණු හොඳම ඇඳුමෙන් සැරසුණේ ලොකු මාමලාගේ ගෙදර යන්නටය. ලොකු මල්ලීත්, නංගිත් කාලෙකට පසු මුණ ගැසෙන්න ලැබෙන එක ගැන මම සතුටින් උන්නෙමි.


මම අනිත් අයට කලින් විගහට සතුටින් ලෑස්ති වුණෙමි.


අප තුන්දෙනා බාප්පා සමඟ ගෙයින් එලියට බැස යන දිහා අවට ගෙවල්වල ගැහැනු බලා සිටියේ පුදුමයෙන් වගේය.

බාප්පා මගේ ලගින් ඉස්සර වී ගිය අතර අක්කාත්, අම්මාත් අපි පසුපසින් පැමිණියාහ.

අක්කත් මමත් හොද ගවුම් දෙකක් ඇද උන් අතර, අම්මා සාරියක් ඇද පිලිවෙලට ඔලුව පිරා ලස්සනට සිටියාය.


“මොනව හරි ගන්න ඕන නේද...මල්ලිලාගෙ ගෙදර ගෙනියන්න ....?


“මොනවද හොඳ..?


“කෙසෙල් ඇවරියක් ගමු, මම ඊයේ කන්න හදපු අග්ගලා, අතිරස ටිකකුත් හදාගෙන ආවා මල්ලිලාගේ ගෙදර ගෙනියන්නම කියලා .... ඒවත් තියෙනවානේ.... කෙසෙල් ඇවරියක් ගත්තම ඇති...."


අපි ලොකු මාමලාගේ ගෙදර ගියෙ පයින් ඇවිදගෙනය. විනාඩි විස්සක් තරම් දුරක ලොකු මාමලා පදිංචි වී සිට්ම මට සතුටක් විය....

ඔවුන් පදිංචිව සිටියේ. පරණ තාලයේ සාමාන්‍ය ගෙයකය. මාමා අපව ආදරයෙන් පිළිගෙන තේවලින් සංග්‍රහ කළත්...නැන්දානම් වැඩිය අප සමග හොද ඇගෑලුම් බවක් පෑවේ නැත. ගමේ හිටි කාලෙට වඩා ඇයගෙ ඇදුම් පැළඳුම්ද වෙනස් වී ඇත. ඇය දනිස්ස ගාවට කොට ගවුමක් ඇද සිටියාය.


නංගිලා, මල්ලිලාද ගමේ ඉන්න කාලේ වගේ, මාව එතරම් ගණන් ගත්තේ නැත. සෙල්ලම් කරන්න ආවෙත් නැත. කාමරේ දොරෙන් එබී යන්තම් සිනාසී ගේ ඇතුළට ගියා පමණය.

මට දුක සිතිණි.... ගමේදී ගං ඉවුරේ, දොළ ඉවුරේ, කැලේ පැන මාත් එක්ක සෙල්ලම් කළ නංගිලා, මල්ලිලා දැන් වෙනස් වී ඇත. ඒ ඔවුන් කොළඹ ඉස්කෝලවලට යන නිසා වෙන්නට ඇති. ඒගොල්ලන්ට විතරක් නොවෙයි, මටත් දැන් ඉක්මනට කොළඹ ඉස්කෝලෙකට යන්න පුළුවන් වේවිනේ.... එතකොට මම ඒගොල්ලන්ට වඩා හොඳින් ඉගෙනගෙන පෙන්නන්නම්කො....

එදා මම ලොකු මාමලාගේ ගෙදරින් ආවේ එසේ සිතමින් දුකින්‍ ය.


“මොකද රුවිනි දුව කතාවක් නැත්තේ..... යාළුවො වෙනස් වෙලා නේද...?

මගේ වෙනස දැක අම්මා ඇසුවාය.


“බලන්නකෝ අම්මේ නංගිලා, මල්ලිලා අපිව ගණන් ගත්තෙත් නෑ.....

අක්කාද කීවාය.


“මටත් තේරුණා...ලොකු නංගිත් හොදටම වෙනස් වෙලා, එයා තමයි දරුවොත් වෙනස් කරන්න ඇත්තේ.......අපි කොළඹ ආ එකට එයා කැමති නැතුව ඇති...

ව්ව්ව්ඒකට තියෙන්නේ ඔය දෙන්නටත් හොඳට ඉගෙන ගන්න.... එතකොට කාගෙවත් ලොකුකම් බලන්න ඕන නෑනේ..."


කොළඹට පැමිණ සුමාන දෙකකට පමණ පසු මටත්, අක්කාටත් පාසල් යන්න වරම් ලැබිණ. අප පදිංචි නගරයේම පිහිටි බාලිකා පාසල අපේ පාසැල විය. අක්කා එහි සාමාන්‍ය පෙළ හදාරද්දී,... මම හයවැනි පන්තියේ ඉගෙන ගත්තෙමි. අක්කා මෙන්ම මමද පාසලේ වැඩකටයුතු ඉතා ඕනෑකමින් කළෙමු. ඉතා ඕනෑකමින් ඉංග්‍රීසි විෂය හැදෑරූ අපි නිතරම පාසලේදී මෙන්ම ගෙදරදීද ඉංග්‍රීසි විෂය ඉගෙනීමට උත්සහ ගත්තෙමු.

පාසැලේ ඉංග්‍රීසි කතා කිරීමට, නියම කර තිබූ බැවින් අපි ඉතා ඕනෑකමින් ඉංග්‍රීසි ඉගෙන ගත්තෙමු.


ගමේ සිට පැමිණි මුල් කාලයේ අපි පන්තියේ කොන් වී සිටියේ ඉංග්‍රීසි නොදන්නාකම නිසාය. එහෙත් කාලයාගේ ඇවෑමෙන් අක්කාත්, මමත් පාසලේ අනිත් ළමයින්ගේ මට්ටමට එන්නට සමත් වීමු. අප දෙදෙනාගේ පාසැල් පොත්පත් වගේම ඇඳුම් පැලඳුම්ද බාප්පා විසින් සපයන ලදී.


ලොකු මාමා දැන් ඉස්සර තරම් අප බැලිමට ආවෙත්, අපට උදව් කලෙත් නැත....නමුත් බාප්පා නම් මටත්, අක්කාටත් සැලකුවේ ඔහුගේම දරුවන් දෙදෙනෙකුට මෙන්ය.


කොළඹට පැමිණි පසු අපි කොළඹට ගැළපෙන පරිදි ජීවිත් වන්නට උත්සහ ගත්තෙමු. ගමේදී නිතර ළඟ ගෙවල්වලට යන්නට, ළමයි එක්ක සෙල්ලම් කිරිමට පුරුදු වී සිටි අපි මෙහිදී නිතරම ගේ ඇතුළට වී පොත්පත්වල වැඩක් බලාකියා ගන්න පුරුදු වූවෙමු.


අම්මාද ගෙදරදොරේ වැඩ කටයුතුවලට අමතරව මැහුම්, ගෙතුම් වැඩ කළාය. ළඟපාත ගැහැනුන්ගේ ඇඳුම් සහ ළමයින්ගේ ඇඳුම් මසා අම්මා කීයක් හරි අතට වැඩිපුර සොයාගෙන අක්කාගේත්, මගේත් වියදමට දුන් බැවින්, පහු වන විට බාප්පාට අප වෙනුවෙන් වියදම් කිරීමට සිදු වූයේ නැත.


කොළඹ ජීවිතයට මුලින් හැඩගැසීමට අපහසු වූ නමුත් පසුව අම්මාත්, අක්කාත්, මමත් මෙහි ජීවිතයට වැඩිකල් නොගොසින් හොඳින් හැඩගැසුණෙමු.


ඉන්පසු ලොකු මාමාගේ බිරිදද අම්මාට ටිකෙන් ටික හොඳින් සැලකීමට පටන් ගත්හ. ඔවුන්ගේ දරුවෝද මටත්, අක්කාටත් මුලදී මෙන් නොව හොඳින් සැලකූහ. අපි දෙදෙනා නිවාඩු දිනයන්හි ඔවුන්ගේ ගෙවල්වලට ගොස් නංගිලා, මල්ලිලාට පාඩම් වැඩද කියා දුන්නෙමු. පවුලේ වැඩිමහල් දරුවන් දෙදෙනා වන මටත්, අක්කාටත් ඔවුහු කවුරුත් ආදරය කළහ.


උදේට බාප්පා වැඩට යන නිසා අම්මා පාන්දරින් නැගිට බත් උයා ඔහුට බත් මුලක් සාදා දෙන්නට අමතක නොකරයි. ඇය එය කරන්නේ ඉතා භක්තියෙන් හා කැමැත්තෙනි.


"සුදු හාමිනේට, උදේට නැගිටලා මට බත් උයන එක කරදරේනේ..... මම වැඩපොළෙන් බත් එකක් අරන් කන්නම්...."


“මොන කරදරයක්ද...? මම හරි ආසාවෙන් පාන්දර නැගිටලා උයලා ඔයාට බත් මුල හදලා දෙන්නේ....."


සුමිත් බාප්පා හා, අම්මා ,දෙදෙනාට දෙදෙනා ඉතා ආදරයෙන් සිටිම මට සතුටක් විය. නමුත් අක්කාට නම් ඒ දෙදෙනා සතුටින් සිටිම රිස්සුවේ නැත.


"උදේම බත් ටික උයලා තිබ්බහම, දවල් දවසට මට මැහුම් ගෙතුම් වැඩ ටික නිදහසේ කර ගන්න පුළුවන්....."


“එහෙනම්.... කරදරයක් නැත්නම් කමක් නෑ උදේ නැගිටලා ඉව්වට....."


අම්මා උදේට බත් උයනකම් බාප්පා උස ලී බංකුවේ වාඩි වී අම්මා සාදා දෙන තේ එක බිබී කතා කරකර ඉන්න එක, පසු කාලයක් යන විට පුරුද්දකට ගිය එකක් විය.


බාප්පාත්, අම්මාත් කතා කරකර ඉන්න වේලාවට අක්කාවත්, මමවත් ඒ පැත්තට යන්නේ නැත. අපේ පාසැල වැඩි ඈතක නොවුවෙන් අප උදේ පාන්දරින් නැගිටින්නෙ නැත .....

බාප්පා අම්මා, උදේ නැගිටින වෙලාවටම නැගිට, ඇයට බත් උයන්න පොල් ගා දෙයි....ලුනු සුදු ලූනු සුද්ද කර දෙයි....ඔවුන් දෙදෙනාගෙ ආදරය මට සතුටක් උනත්....ඉස්සර තාත්තා ඉන්නා කල ,අම්මා තාත්තා සමග හැසුරුන හැටි මගේ මතකයට එයි....එය මතක් වෙන විට මගේ දෑසට කදුලුත් උනයි....


“කෙල්ලො දෙන්නා තාම නිදි නේද....?


“ඔව් මේ දවස්වල ලොකු දුවගේ අවසාන විභාගේ වැඩ ඉවර නිසා ඉස්කෝලෙ වැඩ නෑ කියලා අද ඉස්කෝලේ යන්නේ නෑ කිව්වා....පොඩි දුව නම් ඉස්කෝලේ යයි....දෙන්නම හරි උවමනාවෙන් ඉස්කොලේ වැඩ කරගෙන යනවා....මට ඒක හරි සතුටක්....ඔයාට ගොඩක් පිං...මේ ළමයි දෙන්නා කොළඹ ගෙනත් ඉස්කොලේ යන්න උදව් කලාට...."


“ සුදු හාමිනේට කියන්න දෙයක් තියෙනවා.... කොහොම කියන්නද කියලා මම හිතහිතා හිටියේ....."


“ඒ මොකක්ද....?


“මාත් තනිකඩයා..... සුදු හාමිනේ මෙහෙට එක්ක ආවට පස්සේ මං සුදු හාමිනේටවත් ළමයින්ටවත් කවදාවත් වෙනස්කමක් කළේ නෑ.....ඒක සුදු හාමිනේ දන්නවානේ....."


“ අනේ ඒක ඉතිං මං නොදන්නවැයි..... ඔහේ වගේ මිනිස්සු මේ ලෝකෙ නෑ.... නැත්නම් මං වගේ ලොකු ළමයි දෙන්නෙක් ඉන්න ගෑනියෙක් බාර ගනීයැ.... ඉතිං මොකක්ද කියන්න තියෙනවා කිව්වේ....?


“මාත් ආසයි මගේම පොඩි එකෙකුට..."


“දෙයියනේ, මේ කෙල්ලො දෙන්නා දැන් ළමිස්සියොනේ.....ලොකු දුව තව අවුරුදු දෙක තුනකින් දීග දෙන්නත් කාලේ එයි...."


"ඒ ළමයි ලොකු උනාට, සුදු හාමිනේ තවම තරුණයිනේ....සුදු හාමිනේට, අවුරුදු දහනමේදි කිව්වනේ ලොකු කෙලී ඉපදුනේ....?


"ඒකනම් එහෙම තමයි...අර අල්ලපු ගෙවල් වල ගෑනුත් අහනවා, තවම සුමිත්ගෙ දරුවෙක් හදන්න හිතුවේ නැද්ද කියලා ...."


“ ඒක තමයි අපේ කතරගම අයියයි, අක්කත් ඇහුවා තාම පොඩි එකෙක් හදන්න හිතුවෙ නැද්ද කියලා..... සුදු හාමිනේ තාම පොඩි එකෙක් වගේනේ ළමිස්සියෝ දෙන්නෙක් හිටියට......


“ඔහේගේ කැමැත්තක්......අම්මා ලැජ්ජාවෙන් මෙන් කීයා....

බාප්පා අම්මා ලගට පැමින අම්මාගේ කර වටේ අත දමාගෙන අම්මාගෙ මූණ ඉම්බේය.


“යන්න කෝලම් කරනවා.....


අම්මා එසේ කීවත් බාප්පාට තව ටිකක් ළං වුනාය....


"ළමයි නම් කොච්චර හිටියත් වැඩි වෙන්නෑ....මටත් ආසයි....ඔයා වගේ කොළු පැටියෙකුට..."


බාප්පා අපිව කොළඹ එක්ක ආපසු , අම්මා රෑට සුමිත් බාප්පා සමග ඔහුගෙ කාමරයේ නිදා ගත් අතර....මම අක්කා සමග එකම කාමරේ එකම ඇදේ නිදාගත්තෙමි.....,අම්මා ගමේදී මෙන් අප සමඟ එකට නිදා ගන්නට ආවේ නැති එක නම් මගේ දුකට හා කේන්තියට හේතු විය. මුලදී මම රෑට අම්මාට අප ළඟ නිදාගන්නට එන්න කියා කරදර කළද,.....අක්කා මට ,අම්මාට බාප්පාගෙ කාමරයේ නිදාගන්නට දෙන්න කියා සැර කල පසු, මම ඇයට නැවත එයට කතා නොකර, අක්කාට තුරුල්වී නිදාගන්නට පුරුදු විය..... අම්මා රෑට බාප්පාගේ කාමරයේ නිදා ගන්නට පුරුදු වූ පසු අම්මා අපෙන් දුරස් උන බවක් මට දැනෙන්න විය. ඒ නිසා මම මගේ පාළුව දුක යවා ගන්නට අක්කාට තව තවත් ලං විය....


බාප්පා ,අපව කොළඹ රැගෙන විත් අපව පාසල් යැව්වාට....අක්කා බාප්පාට එතරම් කැමැති නැත.... ඇය බාප්පා සමඟ කතාවට යන්නේද නැත.... ඇයට බාප්පාට කියන්න අවශ්‍ය දෙයක් අම්මාට කියනවා මිස කවදාවත් කෙළින් බාප්පා සමඟ කතාවට නොගියාය...... මා වුණත් බාප්පා සමඟ වැඩිය කතාවට යනවාට ඇය කැමැති නැත......ඇයට තවම අපේ තාත්තා මතක් වෙනවා ඇතැයි මට සිතේ....


බාප්පා කොළඹ සංස්ථාවක වැඩ කල අතර ,ඔහු සෙනසුරාදා වරුවක් වැඩ කර ඉරිදාට ගෙදර ඉදියි....ඉරිදා උදේ වරුවට, අම්මත් බාප්පත් ගෙවල් ලග පොළකට ගොස්, සුමානෙට ඇතිවෙන්න එළවළු තුනපහ ගෙනෙයි....සමහර දිනට, මමත් ඔවුන් දෙදෙනා සමග පොළට යන්නෙමි. ඒ ගිය විට ,බාප්පා මට බූන්දී ,ගල් සියබළා, ගඩිගුඩා, අයිස් ක්‍රීම් වැනිදේ කන්නට ඇරන් දෙයි. මම අයිස්ක්‍රීම් නම් පොළේදීම කා, අනිත් දේවල් ගෙදර ගෙනත් අක්කටත් දී කන්නට පුරුදු වී ඇත. පොළට යන ගමන, මම ආසම කරපු ගමනකි....තොරතෝංචියක් නැතිව එලවළු පළතුරු විකුනා ගන්න කෑගසන වෙළන්දන්ගේ සද්දය...අයිස්ක්‍රීම් වෑන් එකේ සද්දය සෙල්ලම් බඩු විකුනන තැන් වල සද්දය අස්සෙන් ඇවිද ගොස් එළවළු බඩු තෝරණ අම්මා පසු පස මාත් බාප්පත් යන්නෙමු....කොයිතරම් පොලේ ඇවිද්දත් මට නම් ඇතිවන්නේ නැත. අම්මා....මුළින් පොළ වටේ රවුමක් ගොස් එළවළු ,පළතුරු බඩුවල ගනන් හිලව් දැන ගනී....ඉන් පසු දෙවන රවුම, ලාභ තැන් වලින් බඩු මිලදි ගනියි....එළවළු වෙලෙන්දෝ බාප්පාගෙ අතේ තියෙන් මල්ලට, බඩු කිරා එකම මල්ලට දමයි....ඒ වෙලාවට මට සිහිවන්නේ.....මේ මල්ලේ තියෙන අමු මිරිස් , රතුලුනු , තලනබටු වැනි දැ ගෙදර ගොස් වෙන්කරන්නට වන්නේ මට හෝ අක්කාට බවයි. ඒ වැඩේ නම් එපා කරපු වැඩක්‍ය. ඔක්කොම එලවළු එකම මල්ලට දමා ගෙදර යනවිට, තක්කාලි , කෙසෙල් වැනි දේ ..සමහර විට තැලී තියෙයි...කෙසේ හෝ පැයක් දෙකක් පොලේ ඇවිද, බාප්පා ,අම්මා හා මා ගෙදර එන්නේ අතින් කටින් එළවළු මලු උස්සගෙනය. ...අපි ගෙදර ගිය වහාම අක්කා අපට තේ වතුර හදා දී....එළවළු මළු අස්කරන්නට පටන් ගනියි...ඒ ගෙනියන එළවළු සුමානයකට ඇතිය....ඉන්පසු ඊළග ඉරිදාටද එලෙසම අම්මත් බාප්පත් පොළට යති....


බාප්පා හැම මාසෙම අන්තිමට, අම්මා අතට, ඔහුගේ වේතනය ගෙනවිත් දී... පසුව ඔහුගෙ අවශ්‍යතාවයන්ට අම්මාගෙන් සල්ලි ඉල්ලා ගනියි....


මේ වන විට ගෙදර පාලනය තනිකරම අම්මා අතට පත් වි ඇත. ගෙදරට අවශ්‍ය කරන බඩුමුට්ටු ගෙනාවේද, ඒවා අරපිරිමැස්මෙන් පාවිච්චි කළේද අම්මාය. බාප්පාගේ නෑදෑයන් ආ කල ඔවුන්ට සැලකුවේද අම්මාට ඕන පරිදිය. අවට ගෙවල්වල ගැහැනු, පිරිමි ආශ්‍රය කළේද අම්මාට ඕන පරිදිය. ගෙදරදොරේ සියලු දේ පාලනය කළ අම්මා බාප්පාට පමණක් පුදුම විදියට ගරු කළාය.... ඒ නිසාද කොහෙද බාප්පාත් අම්මාට පුදුම විදියට ආදරය කළ බව අපට වැටහිණි.

අප කොළඹ පදිංචියට ඇවිත් අවුරුද්දක් පමණ වන විට ගේ අවට ගෙවල් වල සිටින අය අතර අම්මා ඉතා ප්‍රසිද්ධ තැනැත්තියක් බවට පත් විය. එයට මුල් වූයේ අම්මාගේ රූමත්කමත්, හොද ගතිගුණ වගේම හැමෝටම උදව්පදව් කරගෙන සිටීමත් නිසාය. ඇය කවුරුත් හොඳින් ආශ්‍රය කිරීමත්ය. අවට ගෙවල්වල ගැහැනුන් හදිස්සියට අතමාරු කර ගත්තේ අම්මාගෙනි. බාප්පා හම්බ කරන පඩිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන අම්මා, ඒ මුදල් පොලියට දීම අප කවුරුත් දන්නා කරුණකි. පසු කලෙක ඒ පලාතේ සීට්ටු දැමීමද අම්මාගේ ප්‍රධානත්වයෙන්ම කෙරෙන්නක් විය. ඕන කෙනෙකුගේ දුකට පිහිට වෙන අම්මා අහලපහළ ගැහැනුන්ට දැන් නැතිව බැරි කෙනෙක් වී ඇත. ඔවුන්ගේ දරුවන් ලෙඩ වූ විටත්, මඟුල්තුලා ආදියේදීත් ඒ තැන් වලට ගොස් උදව්පදව් කිරීම හා ඔවුන්ට පිහිට වීම නිසා අම්මාට කවුරුත් ආදරය කළහ.


-හෙට හමුවෙමු --

*ප්‍රිසිලා ගොඩහේවා *

26 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page