top of page
  • Writer's picturePrisila Godahewa

🌺🌺මට හිමි ඔබයි🌺🌺

💞මට හිමි ඔබයි💞

(අටවන කොටස )

https://www.facebook.com/groups/2653780434897311/permalink/2719555951653092/

දහවල් කෑමෙන් පසු ලොකු මාමාත්, නැන්දාත්, පුංචි අම්මත් කොළඹ බලා නැවත, කුළි රියෙන්ම ආපසු පිටත්ව ගිය අතර සුමිත් මාමා අප සමඟ අපේ ගෙදර නැවතුණේය.


“මොනවද අපි හෙට කොළඹ යන කොට ගෙනියන්න ගන්න ඕනේ...?

අම්මා ලැජ්ජාවෙන් වගේ බාප්පාගෙන් ආදරයෙන් ඇසුවාය.


“ඔය තුන්දෙනාගේ ඇඳුම් ටික ගත්තාම ඇති.... ළමයින්ගේ පොත්පත්, අවශ්‍යම දේවල් විතරක් ගන්නකෝ....අනිත් හැම දෙයක්ම මගෙ ගෙදර තියෙනවා ..."


“දුවලා දෙන්නා ගිහින්....ගමේ ඔයාලගේ යාළුවන්ට කියලා එන්නකෝ අපි හෙට කොළඹ යන ගමන ගැන....."


අම්මා අක්කාවත්, මාවත් ගෙදරින් පිටත් කර හැරියේ, සුමිත් බාප්පා සමග නිදහසේ කතා කරන්න අවශ්‍ය බව අපට තේරුනි.


අපටත් අපේ ගමේ යාළුවන්ට ,අපි කොළඹ යන ගමන ගැන කියන්න උවමනා වි තිබුනි....


ඒ අය අප ගම අත් හැර කොළඹ යන ගමන ගැන දුක් වුහ. අක්කගෙත් මගෙත්

දන්න කියන යාළුවන් හැමෝටම කියා අපි ගෙදර එන විට, අම්මාත්, බාප්පාත්, ගඟට නාන්න යන්න සූදානම් වී සිටියෝය.


“ඔය දෙන්නත් එන්න ගඟට නාන්න යන්න...."


බාප්පා අප දෙන්නටද කතා කළේය.


“මට බැහැ නංගිට ඕන නම් යන්න...."

අක්කා විගහින් කීවාය.


මං විගහට ගවුමක් තුවායක් රැගෙන අම්මාත්, බාප්පාත් සමඟ ගග පැත්තට යන්න ඉස්සර වුණෙමි.


අපි වෙනදා නාන්න යන ගං තොටුපොළට නොයා...අම්මා අපව, ඊට උඩහ ගං තොටුපලේ....පාළු වැල්ලට නාන්න එක්ක ගියාය.

මේ ගගට, අපි මතක ඇති කාලේ ඉදන් නාන්න ආවේ ඉදහිටය. බොහෝ වෙලාවට අප නාන්නේ, ගෙදර වත්ත පල්ලෙහා කුඹුක් පොකුනෙන් වතුර ඇදගෙනය.


අපේ ගෙට ගොඩක් ඈතින් ගලා ගිය මෙම ගග, ඉහළ කදුකරයෙ සිට ගලා එන පොඩි පොඩි දොළ පාරවල් එකතු වී ගලෙන් ගලට වැටි වැටි පහලට විත් අපේ ගම කිට්ටුවට එන විට,විශාල ප්‍රදේශයක් පුරා....ගගක් ආකාරයට මෙය නිහඩව බැස යයි. මේ ගගේ නාන තොටුපොළවල් තැන් තැන් වල මිනිසුන් සාදාගෙන ඇත්තේ... වැඩිය ගැඹුරු නැති වතුර ගසාගෙන යන තැන් හොදින් බලාය. වැහි කාලෙට දෙගොඩ තලා ගලායන මේ ගගේ වතුර නිසා මේ ගමේ අනාත වන මිනිසුන්ද ඇත. දැන් දැන් ඔවුන්....ගගේ වතුර දෙගොඩතලා යන කාලයට එයින් වලකින්නට, තමන්ගෙ වතුපිටි ගල්බැමි දා හදාගෙන ආරක්ශා පියවර ගත්තවුනද ඇත. තවත් සමහරුන් ගග දිය ගලන කාලෙට ඇදුම් ටික පොදි බැදගෙන කන්ද උඩ පන්සලට හෝ පාසැලට ගොස්, සුමාන ගනන් නොමිලේ ලැබෙන කෑම සප්පායම් වෙමින් ඉන්නවුන්ද ඇත. කෙසේ වෙතත් මේ ගංතලාව මගේ හිත් ගත් තැනක් වෙයි. යාලුවො සමග ගම පුරා ඇවිදමින් සෙල්ලම් කරමින් කාලය ගත කල මේ ගං තලාවද දමා මා හෙට කොළඹ යන්නට සැරසිය යුතුයි ...


මම වැඩිපුර කුනු අතුල්ලා නාගනිමින්‍ එම ගමනට හොදින් ලක ලෑස්ති වෙමින් හිදිමි.

ගගට නාන්න එන සැවොම වාගේ ගං ඉවුරේ ඇති පොඩි මැදුනු ‍රවුම් ගල්කැබැල්ලකින් කුනු අතුල්ල නා ගන්නට පුරුදු වී ඇත. සමහරුන් පොල් ලෙලි කෑලීද කුනු අතුල්ල ගන්න ලෑස්ති කරගෙන ඇත.


අම්මා මගේ පිටේ කුණු ඇතුල්ලු අතර මම නිදහසේ වතුරේ බැස නා ගත්තෙමි...ආයේ කාලෙකින් මේ ගං වතුරෙ බැස නාන්න නොලැබෙන බව දැනී දුකක් දැනුනත්....ඊට වැඩි සතුටකින් මගේ හිත පිරි ඇත්තේ කොළඹ යන්නටය.


බාප්පා ගගේ ගිලෙමින් මට ටිකක් එහායින් නායි. අම්මා හිනා කටක් මූනේ පුරවාගෙන, සතුටින් ගං ඉවුරේ ඉද රෙදි සෝදයි. ඉදහිට බාප්පා අම්මාට විහිළු කරමින් වතුර විසි කරයි....


“විහිළු කරන්න එපා. පොඩි එකිත් ඉන්නවා....."


අම්මා බාප්පාට හොරෙන් කීවාත්... ඇය එයට කැමැත්තෙන්, සතුටින් ඉපිලෙමින් ඉන්න බව මට තේරේ....


අප නාගෙන ගෙදර එනවිට අක්කා ඉඟුරු දමා කහට තේ සාදා අග්ගලා හා,අතිරස කෑම මේසය උඩ තබා තිබුනි. අම්මා බාප්පා ගෙනා කේක්ගෙඩියද කපා මුලින්ම බාප්පාට ලොකු කෑල්ලක් දී පසුව මටත්, අක්කාටත්, ලොකු කෑලි දෙකක් කපා කන්නට දුන්නාය.අපි කැවිලි කා රසට තේ බීවෙමු.


"ලොකු දුවේ, නංගිගේත්, ඔයාගේත් ඕනෙ කරන පොත්පත් එහෙම ඔක්කොම කොළඹ ගෙනියන්න ලෑස්ති කරගත්තනේ....ආයෙත් කාලෙකට අපට මේ පැත්තෙ එන්න වෙන්නේ නෑ.... ඔයගොල්ලන්ගෙ ඉස්කෝල පටන් ගත්තට පස්සෙ ..."

.

“මං ඇඳුම් ටික නම් සූට්කේස් එකට දැම්මා.... තව පොත් එහෙම දාන්නත් ඒකේ ඉඩ තියෙනවා.... ඒකටම දාන්නද පොත් ටිකත්....?


“ඔව්, ගොඩක් බෑග් ගන්නේ නැතුව ,එකම බෑග් එකකටම දාගත්තාම ලේසියි..."


“අපි බස් එකේද යන්නේ අම්මේ....?


“හෙට උදේ ගෙදර ඉදන් සයිමන් මාමාගේ කරත්තෙන් ස්ටේෂමට ගිහින් ....එතන ඉදන් කොළඹ කෝච්චිය අල්ලන් යනවා දුවේ..."


"අපි අද වේලාසන නිදාගමු...හෙට උදේ හතර වෙනකොට නැගිටලා ...පහේ කෝච්චිය අල්ල ගන්න යන්න එපෑ...."


"ඔව් ඔව්...ඔක්කොමලා වේලාසන නිදියගෙන හෙට උදේම නැගිටින්න " බාප්පාද කීය.


දවල් උයපු කෑම ගොඩක් ඉතිරි වී තිබූ නිසා , ආයෙත් රෑට කෑම උයන්න අවශ්‍ය තාවයක් නොවිය. අම්මා තිබුනු බත් බෙදා, මේසෙට ඇර බාප්පාට රෑට කන්නට දුන්නාය.


ඉන් පසු අම්මා අප දෙන්නාටද කෑම බෙදා කන්නට කීවාය.


“ඉක්මනට කාලා උදේට ගෙනියන ඒවා ලෑස්ති කරලා නිදිය ගන්න.... පාන්දරින්ම යන්න වේලාසන නැගිටින්න ඕනේ...

අම්මා අපට එසේ කියමින්

රෑම ගෙවල්, දොරවල් අස්කර වළං, පිඟන් සෝදා දැම්මාය.


“කවුද අම්මේ මීට පස්සේ මේ ගෙදර ඉන්නේ....?

අක්කා ඇසුවාය.


“ඇසිලින් නැන්දාගේ දුව එන සුමානේ කසාද බඳිනවානේ.... ඒ ජෝඩුව මේකෙ පදිංචි වෙයි. මට මාසෙකට ගාණක් දෙන්නම් කිව්වා.... වත්තේ පොල් එහෙම කඩලා ඒවායේ සල්ලිත් දෙන්නම් කිව්වේ...."


“අම්මාට විශ්වාසද..? සල්ලි දෙයි කියලා ..."


“ ඕවා ඉතිං හරියටම කියන්න බෑ...මං කිව්වා හැම මාසෙකම කඩන පොල් ගාණ මට එහාට මෙහාට වෙන්නේ නැතුව ඕනේ කියලා."


“එහෙනම් කමක් නැහැ...."


“ලොකු දුවේ අද බාප්පාත් ඉන්න නිසා බාප්පාට කාමරේ ඇඳ දීලා අපි සාලේ පැදුර දාගෙන නිදා ගමු නේද ?..."

අම්මා අපෙන් අසයි.


“එහෙනම් පැදුර ගේන්න..... මෙතැනින් දාගමු...."


ගෙදර තිබෙන එකම කාමරය හා ඇද බාප්පාට දී අම්මත්

අක්කත්, මමත් පැදුරු දෙකක් දාගෙන සාලේ මැද්දේ නිදා ගත්තෙමු.


අම්මා ඇවිත් මගේ ළඟින් ඇලවී මගේ ඔළුව අත ගෑවේය. අක්කාත්, අම්මාත් කතා කරන හඬ මට නින්දෙන් මෙන් ඇසුණද, හවස ග‍ඟේ නාපු නිසා පැරදුට වැටුණ ගමන් මට නින්ද ගියේ අම්මත් අක්කාගෙත් කතා බහ අතරය.


වේලාසන නිදාගත් නිසා පාන්දර හතරට පමණ ඇහැරිණි. එළිවෙනකම් පත්තු කරන කුප්පිලාම්පු එළියෙන් මා ළඟ නිදා සිටින අක්කා දැක්කාත්, අම්මා ළඟ නැති නිසා මම අම්මාට කතා කළෙමි. ටික වේලාවකට පසු,අම්මා රෙද්දකුත් පොරවාගෙන බාප්පා නිදා සිටි කාමරයේ සිට පැමිණ මා ළඟින් ඇල වුණාය.


“දැන් නැගිටින්නත් වේලාව හරි.... එළිවේගෙන එන්නේ....අපි නැගිටලා ලෑස්ති වෙමු නේද දුවේ...?"


“අක්කේ, අක්කේ, නැගිටලා ලෑස්ති වෙන්න.. ..එළිවේගෙන එන්නේ..... නැත්නම් කොළඹ කෝච්චිය යයි..."


හතර දෙනාම නැගිට ලෑස්ති වී... අම්මා සාදා තිබූ ,කිරිතේ බී දොර ජනෙල් වසා ගෙයින් එළියට බැස්සෙමු. තවම වටපිටාව අඳුරුය.


හතර වටින් ඇසුණු කුකුළන්ගේ කෑ ගැසීමත් සමඟ ඈතින් සයිමන් මාමාගේ කරත්තේ ගෙජ්ජි සද්දේ ඇසේ...... ඉන් පසු එය ලග ලගම ඇසී...අවසානයේ අපේ මිදුලටම පැමිනියේය.


“මං පරක්කු වුණාද...?

සයිමන් මාමා එසේ අසමින් කරත්තය අපේ මිදුලේ නැවැත්තුවේය.


"නෑ...ඒ හැටි පරක්කුවක් නෑ...අපි වැඩි හොදට ගෙයින් එළියට බැහැලම බලන් හිටියා...."


“මෙච්චරද බඩු... ගෙනියන්න තියෙන්නේ....?


“ඔව් ඇඳුම් ටික විතරයි ගත්තේ, පරණ ලී කෑලි ටික උස්සගෙන ගිහින් මොකටද....?

අම්මා කීවාය.


හතර අතින් හෙමිහිට හිරු එළිය වැටීගෙන එන මොහොතේ සයිමන් මාමාගේ කරත්තය ස්ටේෂමට ලගා විය. අප එහි යන විටත් කොළඹ කෝච්චිය ඇවිත් තිබුණේ නැත....ස්ටේෂමේ කොළඹ යන්න මිනිසුන් එක්රොක් වී සිටියේ නොවිසිල්ලෙනි. තාමත් හරියට ඉර එළිය වැටී නැත.

අපි ගිහින් ටික වේලාවකට පසු ඈතින් කලිවර කපාගෙන, එළි විහිදුවමින් , මහ සද්දෙන්...

දුම් දාගෙන හූ කියාගෙන කොළඹ කෝච්චිය පැමිණියේය.... ස්ටේෂමේ සිටි මිනිසුන් කළබලවී තමන්ගේ බඩු මුට්ටු අතින් ගෙන කෝච්චියට නගින්න සැරසේ...


බාප්පා මාව අතින් අල්ලාගෙන අපේ ඇදුම් බෑගයකුත් අනිත් අතින් අරගෙන කෝච්චි පෙට්ටියෙන් පෙට්ටියට ඔළුව දමදමා ඉඩ තිබෙන පෙට්ටියක් සොය සොයා ගියේය. අම්මත් අක්කත් බෑග් මළු හා සූට් කේසයක් උස්සාගෙන අප දෙදෙනා පසුපසින් එයි. අන්තිමෙ....ඉඩ තිබෙන කෝච්චි පෙට්ටියක් දැක, බාප්පා අපට එයට නගින්න යැයි කීවේය. එම කෝච්චි පෙට්ට්යට නැග හතර දෙනාටම වාඩි වෙන්න පුළුවන් තැනකින් අපි වාඩි වුණෙමු.


ලොකු හූවක් කියා..

හෙමිහිට ගමන ආරංභ කල කෝච්චිය, ටික වේලාවක් යනවිට, ඩග ඩග ගගා වෙගයෙන් ගමන් කරන්න පටන් ගත්තේය. මම කෝච්චි පෙට්ටියේ වාඩිවි නොඉද.... ජනේලය ළඟ හිටගෙන වටපිට බලමින් ආසාවෙන් ගියෙමි.


ජනෙල් අතරින් වේගයෙන් එන සුළඟ මගේ හිසකේ හැම අතටම විසුරුවාගෙන යයි.... තවමත් හරියට ඉර පායා නැත. කෝච්චිය එක දිගට ගෙවල් දොරවල් ගහකොළ, පාරවල් පසුකරගෙන යයි....පසු කරගෙන යන හැම දෙයක් දෙසම මම ඔලුව දාගෙන බලා හිදිමි.....එයින් එළියෙ උදේ පාන්දර දකින්න ලැබෙන කඩ හංදි වල, සමහර තේ කඩවල් ළඟ පාන්දර තේ බොන , පාන්දර වැඩට යන ගැහැනු මිනිසුන් දකින්න ලැබේ.... දකින හැම දසුනකම ඇත්තේ නැවුම් බවකී.

තාත්තා සමඟ අපි හතර දෙනා මීට බොහෝ කලකට පෙර කැලණිය වඳින්න ගිය ගමන සිහියට නැගුණද, එදා පොහොය දවසක් වූ බැවින් කෝච්චියේ... පන්සල් යන බැතිමතුන්ගේ පිරී තිබුණෙන් මට එදා අද මෙන් වටපිටාව බලබලා යා නොහැකි විය. එදා කෝච්චියට නැග්ග තැන සිට බහිනකම් හුස්ම අල්ලාගෙන හිටියා පමනයි මට මතක .

අද නම් මට කෝච්චි ගමන උපරිමයෙන්ම විදිය හැකි වී තිබේ...


හෙට හමුවෙමු ...

*ප්‍රිසිලා ගොඩහේවා *

7 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page