top of page
  • Writer's picturePrisila Godahewa

🌺🌺මට හිමි ඔබයි🌺🌺

💞මට හිමි ඔබයි💞

(හත්වන කොටස)

https://www.facebook.com/groups/2653780434897311/permalink/2716882688587085/

ලොකු මාමා අනෙක් මාමා සමග අපේ ගෙදර ඇවිත් ගියදා, අම්මා ඔවුන්ට ඉතා හොඳින් කෑම උයා සංග්‍රහ කළාය. එදා අම්මා වෙනදාට වඩා ලස්සනට ඇද පැළද, සතුටින් සිටිමත් මට විශාල සතුටක් විය.... අම්මාගෙ මූණ හරිම සතුටකින් සිරියාවකින් එදින පිරි තිබුනි. අම්මා හැමදාම මේ ලෙසින් හැඩ වී සතුටින් ඉන්නවා නම් කෙතරම් අගේද කියා මට සිතේ...?


ලොකු මාමා, අපේ ගෙදර ඇවිත් ගොස් සුමාන දෙකකට පමණ පසු, නැවත දිනෙක, අප ගෙදර පැමිනියේය. ඔහු අප සමඟ අපේ පාසලට යන්නට ආවේ අපේ ලොකු ඉස්කෝලේ මහත්තයා මුණ ගැසිමටය. ඒ ගමනට අම්මාද සාරියකින් සැරසි පැමිනියාය.


ඔහු අක්කාත් මාත් ගමේ පාසැලෙන් , අස් කරගෙන ,කොළඹ ඉස්කොලෙකට දාන්න වැඩි දවසක් නොයා එක්ක යන බව ලොකු ඉස්කෝලේ මහත්තයාට වේලාසන දැනුම් දුන්නේය. ඒ සමගම අපේ පාසැලේ අස්වීම් සහතික ලිපිද වේලාසන සකස් කර දෙන මෙන් ඔහුගෙන් ඉල්ලීය.


තව මාසයකින් පමණ අපි පාසැලේන් අස්වි කොළඹ යන බව යාලුවන්ට , ගුරුවරුන්නට වැඩි වේලාවක් යන්නට මත්තෙන් ආරංචි වි තිබුනි.


“ඔයා කොළඹ ඉස්කෝලෙකට යනවා කියන්නේ ඇත්තද? එය දැනගෙන පංතියේ යාලුවො මාව වට කරගත්හ.


"ඔයාට ,කොළබ ගිහාම අපිව අමතක වෙයි නේද ....? "


" නිවාඩු කාලෙදි අපිව බලලා යන්න එන්න හොදේ...."

මගේත්, අක්කාගේත් යහළුවෝ නොයෙක් දේවල් කීහ. යහළුවන් දමා කොළඹ යන්නට දුක හිතුණත් ලොකු මාමාගේ දරුවන් සමඟ එකතු වීමට හැකි නිසා මා සිටියේ උද්දාමයෙනි....


ගමේ, වෙලේ, දොළේ, ගං ඉවුරේ, කටු අකුල්වල සෙල්ලම් කරමින් සිටි කාලය මතක් වෙනකොට දුක සිතුණත්..... කවදත් දැක නැති කොළඹ පදිංචියට යෑමට ලැබීම ගැන මා සිටියේ සන්තෝෂයෙනි.... කොළඹ කොයි වගේ ඇතිද.....? කොළඹ මිනිස්සු කපුටෝ වගේ කියනවා. ඒ අයගෙන් බේරී සිටීමට අපට හැකි වෙයිද....? ඒ ගැන බය සිතුණත් කොළඹ දකින්නට මට ඇත්තේ පුදුම ආශාවකි....


ලොකු මාමා ඇවිත් ගිහින්,....සුමාන තුනකට විතර පසු,

අම්මා ගෙවල් දොරවල් අස් කරමින් ඉතා සතුටින් කාලය ගත කිරීම අක්කාටත්, මටත් සතුටට කාරණයක් විය. ඇය අප දෙදෙනාද ඒ වැඩ වලට සහභාගි කරවා ගත්තාය.


"ලොකු දුවේ එන සෙනසුරාදා අපි කොළඹ යනවා නවතින්න ....සිකුරාදාට ලොකු මාමලයි පුංච් අම්මලයි දවල් කෑමට මෙහෙ එනවා...අපි එදාට හොදට රසට කෑම උයන්න ඕනේ...උදේට කිරිබත් ටිකකුත් හදන්න ඕනේ....ගමේ කාටවත් අපි සුමිත් මාමලාගෙ ගෙදර නවතින්න යන කතාව කියන්න ඕන නෑ...අපි ලොකු මාමලාගෙ ගෙදර නවතින්න යනවා කියලා හැමෝටම කියන්න ....රුවිනි දුවේ....ඔයාට තේරුනාද...මම කියපු එක... ."


"ඇයි අම්මේ ඒ...."


"අපි සෙනසුරාදා කොළබ යන නිසා,.... එදා ලොකු මාමා එක්ක ආව මාමත් එක්ක අපි කොළඹ යන්නේ....සිකුරාදාට ලොකු මාමලා එක්ක කච්චේරියට ගිහින් මම ඒ මාමා කසාද බදිනවා...."


"අම්මා හොරෙන්ද සුමිත් මාමා කසාද බදින්නේ...."


"හොරෙන් නෙමේ....ලොකු මාමලා පුංචිලා හැමෝම දන්නවා...ගමේ අය ඒවා දැනගන්න ඕනේ නෑ...ඒකයි...."


අපි එතකොට සිකුරාදා ම කොළඹ යනවද?


" නෑ....ඊට පස්සෙ දවසේ සෙනසුරාදා අපි කොළඹ යන්නේ....අපි දැන්ම තියා, කොළඹ ගෙනියන ඇදුම් එහෙම ලෑස්ති කරගන්න ඕනේ.... අම්මා අක්කා සමග කියනවා මම අසා සිටියෙමි . අක්කා අම්මා, කියපු දේ අසා සිට ,මුකුත් නොකියම මූණ ඇබුල් කරගෙන, කුස්සිය පැත්තෙන් එලියට බැස වත්තට යනවා මම බලාගෙනය.


අම්මා ආයෙත් කසාද බදින්න යන කතාව අක්කාගෙ හිතට හොද නැති විය. එය අම්මාට තේරුම් ගොස් හැඩයි. එදින රාත්‍රීයේ අම්මා නැවත, අප දෙදෙනා සමග, රාත්‍රීයට බත් කන වෙලේ ඒ ගැන කතා කලාය.


“ අපි සිකුරාදා දවාලට ලොකු මාමලාට කන්ඩ කෑම හදලා තියන්න ඕනේ..... මං මාළු ඇඹුල්තියල් හදලා පොලොස් මාළුවකුත් වේලාසන හදල තියන්න හදන්නේ ..."


අම්මා කතා කලාට අක්කා මුකුත් කතාවක් නැතුවම ඉදී....


"දැන් උඹලා දෙන්නත් ලොකුයිනේ ලොකු පුතේ,.....උබලට යමක් කමක් තේරෙනවනේ... මං උඹලා දෙන්නගේ අනාගතේ ගැන හිතලයි සුමිත් බාප්පාව කසාද බඳින්න හිතුවේ.... ලොකු මාමලා මට වැරදි දෙයක් කරන්නේ නෑනේ....ඒකයි මම බය නැතුව උබලා දෙන්නත් එක්ක කොළඹ යන්න තීරණය කලේ...."


"ඇයි සිකුරාදා කච්චේරියට යන්නේ...? මම ඇසිමි.


"සිකුරාදට කච්චේරියට ගිහින් අපිව කසාද බන්දවන්නයි ලොකු මාමා හිතන් ඉන්නේ....ඊට පස්සේ අපට කොළඹ යන්න පුළුවන් සුමිත් බාප්පත් එක්කම...., සුමිත් බාප්පගෙ ගෙදර ..... උඹලා දෙන්නට හොඳට උගන්වන්න ඕන නිසයි මම මේ තීරණය ගත්තේ.... තාත්තා ජීවත් වෙලා හිටිය නම්, මේ අවුරුදු දෙක ඇතුළත අපිව බලන්න නොයා ඉන්නෑ.... තාත්තා කොහේ හරි හොඳ ආත්මෙක ඉඳන් අපි දිහා බලන් ඇති..... උඹලා දෙන්නට තාත්තා පණ වගේ ආදරේ කළා. උඹලට හොඳට උගන්වන්නයි තාත්තාට ඕන වුණේ... උඹළට කොළඹ යන්න වාසනාව ලැබෙන්න ඇත්තේ තාත්තා උඹල දිහා බලන්න ඉන්න නිසා වෙන්න ඇති..... පුතේ...".


අම්මා අක්කාවත්, මාවත් තුරුළු කරගෙන ගොඩක් වෙලා ඒ ගැන කතා කළේ දුකෙන් කදුළු සළමින්‍ ය....


බ්‍රහස්පතින්දා ඉදන් අම්මත් සමග අක්කා සහ මම සිකුරාදා දවල්ට, උදේට උයන්න දේවල් ලෑස්ති කලෙමු.....සෙනසුරාදාට කොළඹ ගෙනියන්න අපේ ඇදුම්ද ලෑස්ති කරගත්තෙමු. අම්මා මේ දිනවල ඉතා සතුටින් සිටිම අක්කාට කෙසේ වෙතත් මට ලොකු සතුටක් විය.


"ඇයි අපි,... සිකුරාදා අම්මා සුමිත් බාප්පව කසාද බැදපු ගමන් කොළඹ යන්නේ...."


"අම්මා කැමති නෑලු...සුමිත් බාප්පා කසාද බැදලා මේ ගමේ මිනිස්සුන්ට පේන්න මෙහෙ පදිංචිය වෙලා ඉන්න..."


බ්‍රහස්පතින්දා දවල් අම්මා අග්ගලා හා අතිරස හැදුවේ සිකුරාදා උදේ තේ මේසයට තියන්න බව කීවාය. එයට නම් මම බොහෝ කැමතිය .....

සිකුරාදා උදේ පාන්දර, අම්මා නැගිට උදේට කන්න කිරිබත් ලුණු මිරිස් සාදා....දවල්ට කන්න එළවළු මාළු උයාපිහා කුස්සිය අස්කරන ලදී. අක්කාත්, මමත් ගේ අස්කොට සාලය පිරිසුදු කළෙමු.


“මම ඉක්මනට ඇඟපත සෝදාගෙන ඇඳුමක් ඇඳගන්නම්..... දැන් ලොකු මාමලා මග එනවත් ඇති.... ඔය දෙන්නත් මූණ කට හෝදාගෙන හොඳ ඇඳුමක් ඇඳගන්න."


අම්මා කඩිමුඩියේ ළිඳ ළඟට යන ගමන් කීය. උදේ පාන්දර වැඩ අහවර කර අම්මා ලිදෙන් වතුර ඇද නාගත්තාය.

පසුව ඇය...ගිය සුමානේ ටවුමෙන් ගත්

සුදු පාටට හුරු ලස්සන සාරිය ඇඳ ගත්තේ....කමලා නැන්දා කළබලේ මසා දුන් ලේස් හැට්ටය සමගය. ඇය එයින් සැරසී, ඇට මාලයක්ද පැලඳ ගත්තාය. කාලයකට පසු ඇය මෙතරම් ලස්සට සිටිනවා මා දැකපු ප්‍රථම අවස්ථාව අද විය.....

තාත්තා නැති වුණාට පසු ,අම්මා ලස්සනට ඇඳුම් ඇඳීමද නවත්වා දමා තිබුණි. කාලයකට පසුව ඇය හැඩට සාරිය ඇඳ කොණ්ඩය බෙල්ලට බැඳ සිටින විට, ඇය රූප සුන්දරියක් තරම් ලස්සනට මම දැක්කෙමි.


අක්කත් මමත්.... අප දෙදෙනා ලොකු ළමයි උන දින, අම්මා අදින්න මසා දුන් ගවුම් දෙක ඇදගෙන ලෑස්ති උනෙමු .


ලොකු මාමලා උදේ නමය විතර වෙනකොට, අපේ ගෙදර ආවේ කුලී කාර් රථයකිනි. ලොකු මාමාත්, නැන්දාත්, පුංචි අම්මත්, සුමිත් බාප්පත් ගෙට ඇවිදින් හනි හනිකට අම්මා සාදා තිබූ කිරිබත් කන්නට විය. කැවිලි නම් ඔවන් කෑවේ නැත. නමුත් මම ඒ ඇසිල්ලේ අග්ගලාවක් හා අතිරස දෙකක්ම කටේ දමා ගත්තෙමි .....ඒ මාමලා ඉන්න නිසා, අම්මා බනින්නේ නැති බව දන්නා නිසාය.


“අපි පරක්කු නොවී කච්චේරියට යන්න ඕනේ.... වෙලාව පහුවුණොත් වෙන දවසකට මේ වැඩේ දාගන්න වෙනවා ලොකු මාමා කීය....


“ඒක තමයි අපි කච්චේරියට ගිහින් ඇවිත් පැණි රස කෑම නිදහසේ කමු... නැන්දත් කීවාය.


“දරුවනේ අපි යනවා. උඹලා දෙන්නා එහෙනම් ගෙදර ඉන්න....වාහනේ ඔක්කොටම යන්න ඉඩ නෑනේ ......"


“ලොකු දුවේ අපි එන්න දොළහ පහුවුණොත් ඔය දෙන්නා... උයලා තිබ්බ කෑම ටික රත්කරලා මේසෙට අරින්න පටන් ගන්න....."


අම්මා අක්කාගේත්, මගේත් හිස සිඹ තුරුල් කරන් කීය ....අපි දෙදෙනා අම්මාගෙ ලග දෙකට නැමි ඇගේ කකුල් දෙක අල්ලා වැන්දෙමු.....එවිට අම්මාගෙ ඇස් දෙකේ කදුළු පිරිනි.....


ලොකු මාමලා ආ කුලී රථයට ඔවුන් පස් දෙනා නැගී කච්චේරිය බලා ගමන් කරනවා අක්කාත් මමත් මිදුලේ ඉද බලා සිටියෙමු .


“අක්කේ අම්මා මොනවද දවල්ට කන්න හදලා තියෙන්නේ...?

කවදත් කෑමට ප්‍රිය මම ඇසීමි.


“කහ බත් හැදුවා ...., මිරිස් මාළුයි, පොලොස් ඇඹුලයි, වම්බටු බැදලා උයලා ,පරිප්පුයි, සාලයෝ මාලු බැදලා ,අල තෙල්දාලා.... මට තක්කාලි සලාදය හදන්න කිව්වා.....


“අම්මෝ මඟුල් ගේකට වගේ උයලා ...


“ මේක මඟුල් ගෙයක් තමයි නංගි .... අද අපේ අම්මා සුමිත් මාමා කසාද බඳිනවනේ.....


“මට නම් දැන්ම බඩගිනියි වගේ අක්කේ...."


“අම්මලා එනකම් ඉන්න.... "


"නංගි ගිහින් හෙට ගෙනියන ඇදුම් ලෑස්ති කරන්න. ...."


"අක්කේ අපි තක්කාලි සම්බෝලය දැම්ම හදමුද..?


"එහෙනම් යමු දැන්ම......"


"අක්කේ අපි තක්කාලි සලාදය හදලා, පපඩමුත් බදිමු නේද ?...."


දවල් වන විට ලොකු මාමාත්, නැන්දාත්, අලුත් බාප්පාත්, පුංචි අම්මා, අපේ අම්මා හා සුමිත් මාමා කුළී කාර් රතයෙන්,කච්චේරියට ගොස් ගෙදර ආවෝය.


අක්කාත්, මමත් කට්ටියට කන්න කෑම මේසයට ඇර ලෑස්ති කළ අතර, අම්මාද පැමිණ අපට උදවු කරමින් අඩුපාඩු සකස් කළාය.


ඔවුන් සියල්ලෝ මේසයට වාඩි වී බත් කෑවෝය. අම්මා සුමිත් මාමාට වැඩි වැඩියෙන් බත් බෙදුවාය.


“දුවලා දෙන්නා මීට පස්සේ මේ මාමාට කතා කරන්නේ බාප්පා කියල හොඳද.....? හෙට උදෙන්ම ඔයගොල්ලන්ට කොළඹ යන්න පුළුවන් මේ බාප්පා එක්ක.... ඊට පස්සේ දෙන්නට කොළඹ ඉස්කෝලෙට යන්න පුළුවන් උජාරුවට."


ලොකු මාමා කෑම කන ගමන් අක්කාටත්, මටත් කීවේය.


හෙට හමුවෙමු


*ප්‍රිසිලා ගොඩහේවා *

2 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page