top of page
  • Writer's picturePrisila Godahewa

🌺මට හිමි ඔබයි 🌺

💞මට හිමි ඔබයි💞

🌺අද අවසාන කොටස 🌺

(56 වන කොටස )

https://www.facebook.com/groups/2653780434897311/permalink/2773341159607904/

"මගේ හිතට නම් බයයි වගේ අක්කේ ගෙදර යන්න ....බාප්පා ,මාමලා දැනගත්තොත් අපට කරදර කරයිද....?.."


"නෑ...දැන් එහෙම වෙන එකක් නෑ...අම්මත් නංගිව දකින්න ආසයි කියලා කිව්වා......"


අපි අපේ කිරිබත්ගොඩ මහ ගෙදරට යන විට අම්මා සහ මල්ලි ගෙදර සිටියාහ. අම්මා මා දැක ඇසේ කඳුළු පුරවා ගෙනැවිත් මා බදාගෙන ඉඹ, ඇඩුවාය. දරුවෙකු ලැබෙන්න ළං වී සිටි මා දැක ඇයගේ සිතෙහි දැඩි දුකක්, ආදරයක් ඇති වන්නට ඇත...


“පුතා ඇවිත් වාඩි වෙන්න...."


අම්මා රමේෂ්ට කිව්වේ බඩු මලු අතින් ඔසවාගෙන දොර ළඟ හිටගෙන ඉන්නා හැටි දැකලාය.


අපි ගෙදර හැමෝටම තෑගි භෝග ගෙන ආවෙමු ... රස කැවිලිවලට අමතරව අපේ වත්තේ වගා කළ එළවළු, පලතුරු කරවල ගෙන විත් තිබිම ,අම්මා හා අක්කා බොහෝ සතුටට පත් වි ඇත..... මල්ලි දැන් ලොකුය. ඔහු මා ළඟට විත් මා දුන් තෑගි භෝග පිළිගත්තේ ඉතා කැමැත්තෙනි.


“අද ඔයගොල්ලො මෙහේ නවතිනවද පොඩි දුවේ..? අම්මා ඇසුවේ දෙගිඩියාවෙනි.


“නෑ..නෑ.. අපි අපේ අම්මලාගේ ගෙදර, රෑට යන්න ඉන්නේ.....අපේ අම්මායි, තාත්තයි විතරනේ එහේ දැන් ඉන්නේ...". රමේෂ් කිව්වේ මට ඉස්සරය. ,ඔහු හොද සිංහලෙන් අම්මා සමග කතා කරයි.


රෑවේගෙන එන් විට බාප්පාද ගෙදර ආවේය. ඔහු කිසිම දෙයක් නොවූ ගානට රමේෂ් සමග දුක සැප, දේශගුණය ගැන කතා කරයි....


අම්මා අක්කා සමග එකතු වි ඉක්මනින් රෑ කෑම උයා අපට කන්නට දුන්නාය.


“ රෑට අක්කලාව ගෙදරින් බස්සවාගෙන යන්න වෙයි නේද පොඩි දුවේ....?

අම්මා මතක් කළාය.


“ඔව්, අපි අක්කලාව ගෙදරින් බස්සව ගෙනම රමේෂ්ලගෙ ගෙදර යනවා..."


එදා දිනය ,මගේ ජීවිතේ ඉතා සතුටින් ගත උන දිනයක් විය. මට අම්මා ගැන ඇතිවුනේ ලොකු ආදරයකි...මෙතරම් වැරැද්දක් මම ඔවුන්ට කර ඇතැත් ,ඇය ඒ සියල්ල අමතක කර මට කරුණාවෙන් සලකන හැටි....

අම්මලා සැවොම එහෙමයි කියා මට සිතේ...දරුවෙක් ලැබෙන්න ඉන්න මාත්, කවදාහරි එසේ වේයැයි මට සිතේ...


අපි ආපසු යාපනය බලා යෑමට ප්‍රථම, රමේශුත් මමත් අප දෙදෙනා අත්වැල් අල්ලාගෙන, කන්තෝරු යන කාලේ ආදරයෙන්, හොරෙන් ආ ගිය තැන්ද බලන්න ගියෙමු .


සරොජා , ශර්මිලා ඇතුළු දන්න කියන නෑ හිතමිතුරන් හමුවි කතාබහ කර, සතුටුවි එන්නටද අපි අමතක නොකෙරුවෙමු.


නෑහිත මිතුරන් සැවොම සමග හිත මිතුරු වී සිටීමට ලැබීම මාගේ හිතට එක් කළේ ලොකු සතුටකි.


දින තුනකට පසු අපි නැවත යාපනය බලා ගියේ හිතේ සතුටින් උනත්, යාපනයේ ත්‍රස්ත ක්‍රියා මතක් වී සැකෙන් බයෙන් ය.


කොළඹ ගොස් ආදා පටන් මගේ හිත, කොළඹ මතක් වෙන හැම දිනකම...අම්මා ,අක්කා යාලුවො හැම කෙනෙක්ම මතක් වි, උදාවන සෑම දිනයක්ම මා සතුටට පත් කලාය.


දින තුනකට පසු අපි නැවත යාපනය බලා ගියේ පුලුවන් ඉක්මනට අපටත් කොළඹ නැවතෙන්න එන්න ඇත්නම් යැයි සිතමින්‍ ය.


අපි කොළඹ ගොස් ආවට පසු, අක්කා ,අය්යා අම්මලා වාහනයකින් කොළඹ සිට යාපනයට, අප බලා යන්නට එන්න අමතක නොකලාය... ඒ ආවිට අම්මා, මට මගේ දරුවා හම්බවෙන්න කොළඹ මහගෙදර නවතින්න එන්න යැයි කතා කලාය.


"පොඩි දුවට බබා හම්බවෙන්න කොළඹ එන්න බැරිද...?


"බෑනෙ අම්මේ...රමේෂ් තනියම දාලා මට කොළඹ එන්න බෑ...එයාට නිවාඩු ගන්නත් බෑ...."


"එහෙනම් මම මල්ලිව, අක්කලාගෙ ගෙදර නවත්වලා බබා හම්බවෙන්න කිට්ටුව යාපනේ එන්නම්..."


"ඒකනම් ලොකු දෙයක් අම්මේ..."


"හැබැයි ඉතිං මේ පැතිවල ත්‍රස්තවාදී කළබල තියෙන නිසා, මම මෙහේ ඇවිත් ඉන්න කැමති නෑ....ඔයගොල්ලොත් පුලුවන් ඉක්මනට කොළඹට මාරුවක් හදා ගෙන එහේ පදිංචියට එන්න..."


"එහෙම තමයි අම්මේ අපිත් හිතාගෙන ඉන්නේ..."


මගේ කුළුදුල් දරුවා ලැබෙන්න සිටි නිසාත්, අම්මා මල්ලිට පාසැල් යා යුතු නිසාත් අක්කලාගෙ ගෙදර ඔහු නවත්වා ,බාප්පා සමග කෝච්චියේ යාපනයට ඇවිත් තිබුනේ කැවුම් කොකිස් වැනි සිංහල කෑම වර්ග බොහොමයක් හදාගෙනය. බාප්පා අම්මා අපේ ගෙදර බස්සා දින දෙකක් අපේ ගෙදර හිද නැවත කොළඹ බලා පිටත් විය.


මට දරුවා ලැබෙන්න ලග නිසා අම්මා ගෙදර සියලු වැඩ බලා කියාගෙන මට සිංහල විදිහට කෑම බීම හදා, කන්නට දුන්නේ ඉතා ආසාවෙනි. ඇගේ සිංහල රස කෑම මම කෑවේ බොහොම කැමැත්තෙනි. මට දරුවා ලැබෙන්න කාළය ලංවු විට ඇය අපේ ගෙදර නැවතී මගේ සියලු වැඩකටයුතු කටයුතු කලේ සතුටිනි....


මට කුළුදුල් දරුවා ලැබෙන්න ලංවු විට අම්මා මා බැලීමට යාපනයට පැමිණ,ඇය මාසයක් පමණ නැවති මගේ වැඩකටයුතු කර මගේ දරුවා බලාගැනීම ගැන, මට ඇතිවුනේ ලොකු සතුටකි...

රමේශ්ද අම්මාගෙ පැමිනිම ගැන බොහෝ සතුටට පත්ව සිටියේය. රමේශ්ගෙ දෙමව්පියන්ද මගේ දරුවා බැලිමට කොළඹ සිට යාපනයට ආදා ..

මගේ මව සමග හොදින් මිතුරු විය...


මට කුළුදුලේ ලැබුනේ පුතෙකි.....රමේෂ් හා මම ඔහුට අප දෙදෙනාගේම නම් එකතු කර සිංහල හා දෙමළ නම් දෙකක් දැම්මාය.


"පොඩි දුවේ...මේ ළමයත් එක්ක ,මේ බෝම්බ පිපිරෙන, කළකෝළහල තියෙන, මේ පැත්තේ නොඉද කොළඹ ඇවිත් පදිංචි වෙන්න...රමේෂ් ළමයට කොළඹ වෙන රස්සාවක් හොයාගන්න කියන්න ...මේ පැත්තේ දැන් ඉන්න එක හරි භයානකයි...."


"ඔව් අම්මේ එන්න එන්නම මේ පලාත් වල කලබල වැඩි වෙනවා...රමේෂ් උනත් ඒ ගැන බයේ ඉන්නේ...රමේෂ් කොළඹ වෙන රස්සාවල් වලට ඉල්ලුම් කරලයි තියෙන්නේ ...."


ඉස්සර ඈතින් ඇසුනු වෙඩි හඩවල්, බෝම්බ හඩ, දැන් දැන් ගෙවල් අසලින්ද ඇසෙන්න පටන් ගෙන ඇත. අප දෙදෙනා රෑ වෙන්න ඉස්සර කාබි දරුවත් සමග වේලාසන නිදිය ගන්න යන්නේ පසුදිනට එළිවෙන්නේ කොයි මොහෝතේද බලමින්‍ය.


දරුවා ලැබි මාසයක් පමණ මගේ තනියට සිටි අම්මා කොළඹ ගිය පසු අප දෙදෙනා තනියම දරුවත් බලාගෙන ඉන්න පටන් ගත්තේ සැකෙන් බයෙන්‍මය..


අම්මා කොළඹ යන විට මම මට පුළුවන් විදියට අම්මාට මුදලකින්ද උදවු කළෙමි. ‍යාපනයේ කරවල ,උම්බලකඩ රතුලුනු ආදිය මලුවලට දමා කෝච්චියේ ඇය පිටත් කර හැරියේ, පුලුවන් ඉක්මනට අපිත් කොළඹ බලා එන බව පවසායි..


පුතා ඉපදි අවුරුද්දක් විතර යන විට, යාපනේ ත්‍රස්තවාදීන්ගෙන් ඒ පළාත්වල ඉන්න සාමාන්‍ය අහිංසක දෙමළ මිනිස්සුන්ටද කරදර ඇති වෙන්න පටන් ගෙන තිබුනි. නිතර නිතර ත්‍රස්තවාදී කණ්ඩායම් අපේ ගෙදරට පැමිණ අපට කරදර කර කප්පම් මුදල් ඉල්ලීය.


යාපනය යුද්ධයේ ගිනිදලු හෙමිහිට පැතිරෙන්නට පටන්ගත් පසු මා සිටියේ කොයි මොහොතේ මේ පලාත අත් හැර වෙන පලාතකට යම්දෝ කියා සිතමින්‍ය.


“දැන්නම් කලබල කාලය එන්න එන්නම වැඩි වෙනවා නිත්‍යා ... රමේෂ් ඉතා කලකිරීමෙන් සිටින බැව් මා හට වැටහිණි.


“ඒක තමයි මාත් බයෙන් ඉන්නේ. මං සිංහල කියලා ආරංචි වුණොත් එහෙම මේ ත්‍රස්තවාදීන් අපට මොනව කරයිද දන්නෑ..


“ඒක තමයි මං ඒගොල්ලො ඉල්ලන, ඉල්ලන වෙලාවට සල්ලි දීලා ෂේප් කරගෙන ඉන්නෙ. ඒ වුණාට දැන් අපේ පුතාගෙ වැඩවලටත් අපට ඉස්සර කාලේ සල්ලි ඕන වෙනවනේ...


දිනක් රමේෂ් වැඩ ඇරි ගෙදර ආවේ බොහෝ සතුටිනි...


'"ඔයා අද හරි සතුටින්..ඇයි රමේශ් ඒ...."


"අපි යාපනේ ආපු මුල්දවස්වලම, මම කැනඩාවට , පදිංචියට යන්න ඇප්ලිකේෂන් දාපු එකට උත්තර අද ආවා...අපි දෙන්නට කැනඩාවට යන්න විසා ඇවිල්ලා..."


"අනේ ඒක නම් කොච්චර දෙයක්ද...එතකොට ඔයාගෙ රස්සාව..."


",මම රස්සාවෙන් ඉල්ලලා අස්වෙන ලියුම හෙටම දෙනවා...අපි මේ සුමානෙම මේ ඔක්කොම අතැරලා කොළඹ යමු...ඒ ගිහින් රට යන්න ඕන දේවල් අපේ අම්මලාගෙ ගෙදර ඉදන් කරගමු... ඊට පස්සෙ රට යමු..


"අනේ රමේශ් ඒක නම් හරිම සතුටු ආරංචියක් අපේ අම්මලාටත් ඒක ලොකු සතුටු ආරංචියක් වෙයි.....අපි පුලුවන් ඉක්කමනට රට යමු...."


"මේක නම් අපේ පුතාගෙ වාසනාවට ලැබුන දෙයක් වෙන්නැටි රමේෂ් .."


"ඔව් මටත් හිතෙන්නේ එහෙම......"


“අනේ ඔව්....අපට රට යන්න ලැබෙන එක කොච්චර දෙයක්ද? , යාපනේ ආපු දවසෙ ඉදන් මම පන බයේ ජීවත් වුනේ..දැන් ඉතිං නිදහසේ අපට ඉන්න පුලුවන් රටකට යන්න ලැබෙන එක කොච්චර දෙයක්ද ...?


"අපි ඉස්සෙල්ලම පුළුවන් ඉක්මනට කොළඹ යමු ... මේ හැම තැනම වෙඩි සද්ද ඇහෙනකොට, බෝම්බ පිපිරෙනකොට මං හරි බයෙන් ඉන්නේ. දරුවත් බය වෙනවා මේ ඇහෙන සද්ද වලට...

හැමදාම බයෙන් ගේ ඇතුළට වෙලාම ඉන්න බෑ...අපි මේ සුමානෙම කොළඹ යමු..."


අපට කැනඩාවට යන්න වීසා ලැබි තිබිම නිසා, අපි කොළඹ ගොස් සුමාන දෙකක් ඇතුලත, අවශ්‍ය වැඩකටයුතු කරගෙන, නෑදෑයින් ,යහලුවන් සියල්ලන්ට කියා, කැනඩාව බලා පියාසර කෙරුවෙමු .....


යාපනයේ ත්‍රස්තවාදී කලබල නිසාත්, මා සිංහල වීමත්, රමේෂ් දෙමළ කෙනෙකු වීමත් නිසා... අපට අපේ රටේ ජීවත් වීමට ඇති අපහසුව හේතුකර ගෙන, රාජ්‍ය සේවකයෙකු ලෙස ඉල්ලුම් කළ විට අපට කැනඩා රජයෙන් වීසා ලැබිම නම් අපේ වාසනාවකටම, සිදු වෙනට ඇතැයි අප දෙදෙනා සිතුවෙමු...


මගේත් රමේෂ්ගේත් ඉගෙනීමේ ප්‍රතිඵල වගේම, රමේෂ්ගේ සේවා කාලය තුළ ඔහු හොඳින් උසස් වීම් ලබා, ඉදිරියට ගිය කෙනෙකු බැවින්ද රමේෂ්ට කැනඩාවේ ආයතනයක හොඳ රැකියාවක් ලැබිණි.


අප දෙදෙනාටම හොඳින් ඉංග්‍රීසි, දෙමළ කතා කරන්නට හැකි වීමද එම වීසා ලබා ගැනීමේදී ඉතා වැදගත් විය.


නමුත් මගේ දරුවාට සිංහල ඉගැන්වීමට මට අවස්ථාවක් උදා නොවීම නිසා මා සිතේ පොඩි දුකක් නොතිබුණාම නොවේ.

අපගේ නෑහිත මිතුරන් සියල්ලන්ම තනි කොට, අප කැනඩාව බලා පියාසර කළේ 1985 වර්ෂයේය.


#####


දැන් මාත්, රමේෂුත් කැනඩාවේ යේ ආයතන දෙකක සේවය කරන්නෙමු.


අපට කාළයාගේ ඇවෑමෙන්... තව දුවෙක්ද එහිදි ලැබුනි...


දරුවන් දෙදෙනාද කැනඩාවේ හොද පාසල්වලට යවා ඔවුන්ට හොදින් ඉගැන්වීමට අප දෙදෙනා සමත් වි ඇත.


අද වන විට අප දෙදෙනා බොහෝ කරදර කාල ,ගෙවා දමමින් විත්....දෙදෙනාට දෙදෙනා එක හිතින් ආදරය කල නිසා ජීවිතය ජයගෙන ඇත..... අප දෙදෙනා බෝහො ආදරයෙන් කැනඩාවේ දරු දෙදෙනා සමග අද ජීවත් වන්නෙමු ....


ජීවිතය ඉතා පුදුමාකාරය. අප සිතන දේ, පතන දේ අපට ඉෂ්ට කර ගැනීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් අප මහන්සි විය යුතුය. බලාපොරොත්තුවලින් ජීවිතය පිරී ඇති විට ජීවිතය ගෙන යෑමේ ආසාව ඇති වේ. ජීවිතයේ මුල්ම වරට හිතට දැනුණු ආදරය, ආගම් කුලභේද හමුවේ කඩාබිඳ දමා නොගනිමින්, සියලු කරදර බාධකවලට නොබියම මුහුණ දුන් මාත්, රමේෂුත් අපේ ප්‍රේමය ජය ගත්තෙමු. අපි අපේ ආදර ලෝකයේ දරුවනුත් සමග අදටත් සතුටින් ජීවත් වන්නෙමු.


*අවසානයි.*


මෙය සත්‍ය කතාවක් ඇසුරු කරගෙන ලිව් නවකතාවකි. මෙහි සිටින රුවිනි නැතහොත් නිත්‍යා හා රමේෂ් බොහෝ සතුටින් දරුවන් දෙදෙනෙක් සමග කැනඩාවේ පදිංචි වි හිද ඇත...... ඒ දරුවන්ද දැන් දරුවන්ගෙන් දරුවන් ලැබ සතුටින් ඉන්නා බව සතුටින් කියන්න කැමතියි.


* කියන්න තියෙන දුඛ්ත කතාව නම්, මීට වසර තුනකට පමණ පෙර රමේෂ් අසනිප වී හිද... ජීවිතය අත් හැර ගිය කතාවයි. රුවිනි අදටත් සැහැල්ලුවෙන් සතුටින් දරුවන් සමග කැනඩාවේ ජීවත් වේ...


මට හිමි ඔබයි නවකතාව අදින් නිමයි...


*ප්‍රිසිලා ගොඩහේවා *


6 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page