top of page
  • Writer's picturePrisila Godahewa

🌺මට හිමි ඔබයි 🌺

💞මට හිමි ඔබයි💞

(55 වන කොටස )

https://www.facebook.com/groups/2653780434897311/permalink/2772576006351086/

අප දෙදෙනා මන්නාරමේ සිට යාපනයේ පදිංචියට ආදා පටන් දවසින් දවස දින ගෙවි යන්නේ හිතට සැකය, භය එකතු කරමින්‍ය.....ඉදහිට බයිසිකල් වලින් තුවක්කු කරේ තියාන එක ගොඩට එහෙ මෙහෙ යන මහ කළු ත්‍රස්තවාදීන් දකින කල, මගේ හිත ගැහෙන්නේ නොනවත්වාමය... දරුවෙක් ලැබෙන්න සිටින මට ඉදහිට ඇහෙන වෙඩි සද්ද ,බෝම්බ සද්ද සමග ගෙවන ජීවිතේ, බොහෝ භයාංකාර වී ඇත.....


ඒ අතර

දැන් නිතර නිතර හවස් යාමයේ, බයිසිකල් වලින් රමේෂ් හම්බවෙන්න මහා හැඩිදැඩි කළු මිනිසුන් දෙතුන් දෙනෙක් අපේ ගෙදර මිදුලට එන්න පටන් ගෙන ඇත... ඔවුන් සමග රමේෂ් කතා කරනුද මට පෙනේ....රමේෂ් ඔවුන් සමග දෙමළෙන් කතා කරන සද්දය ඇහුනත්, මට ඒවා එතරම් පැහැදිලි නැත... ..ඔවුන් ඇවිත් ගිය දිනට රමේෂ් කළකිරිමෙන් සිටින බව නම් පෙනේ.....


"රමේශ් කවුද අර ඔයා හම්බවෙන්න එන නපුරු පාට මිනිස්සු ...?මම මෙච්චර දවසක් ඔයාගෙන් ඒ ගැන ඇහුව්වේ නැත්තේ, කච්චේරියේ වැඩ වලට එන මිනිසුන් කියලා හිතුන නිසයි ..."


" අනේ මන්දා නිත්‍යා ....ඔයා දැන් මේ ඉන්න තත්ත්වය උඩ මට ඔයාට ඒවා කියන්නත් බෑ......"


"ඒකට කමක් නෑ...තියෙන ප්‍රශ්නයක් අපි දෙන්නම එකතු වෙලා විසදගන්න ඕනේ...ඉතිං කියන්න, ඇයි ඒ මිනිස්සු ඔයාව හම්බවෙන්න එන්නේ...?


"ඒ තමයි කොටි ත්‍රස්තවාදී කල්ලියේ මිනිස්සු .....

ඒ ගොල්ලන්ගෙ සංගමයේ වියදමට සල්ලි මගෙනුත් ඉල්ලනවා...."


" අනේ දෙවියනේ ....ඒ කියන්නේ කප්පම් සල්ලිද...?


"ඔව්...මට තර්ජනය කරලා වගේ සල්ලි ඉල්ලන්නේ...."


"අනේ දෙවියනේ රමේෂ් මට නම් දැන් හරි බයයි මෙහේ ඉන්න....ඉතිං ඔයා සල්ලි දුන්නද ඒගොල්ලන්ට ..."


"නොදි බෑ නිත්‍යා ...මම සැරෙන් සැරෙට ටික ටික දුන්නා...මේ මිනිස්සු දැන් හරි වදයක් වෙලා මට තියෙන්නේ ....මට මගේ රස්සාවත් හරියට කරගෙන ඉන්න දෙන්නෙ නැති හැඩයි...."


"ඉතිං අපි දැන් මොකද කරන්නේ... "


"අපිට ඉස්සරහ කාලේ ගොඩක් කරදර වලට මුහුන දෙන්න වෙයි නිත්‍යා ....අපි රස්සාව අමතක කරලා, කොළඹ අපේ මාමලාගෙ ගෙදර යමු ...මට වෙන රස්සාවක් හම්බ වෙනකම් අපි එහෙ ඉමු......මම පුලුවන් ඉක්මනට රස්සාවෙන් අස්වෙනවා නිත්‍යා ....ඔයා සිංහල කෙනෙක් කියලා වැඩිදවසක් යන්න ඉස්සර ඔය මිනිස්සු හොයාගන්නවා...එතකොට අපට තව කරදර වැඩිවෙයි.....ඒ හින්දා වැඩි කාලයක් නොගොස් මොනව හරි දෙයක් කරන්න වෙනවා...."


"ඔව් රමේෂ් අපි කොළඹ ගිහින් ඉස්සර වගේ මොනව හරි රස්සාවක් කරලා ජීවත් වෙමු...මේ විදිහට අපට බයෙන් ජීවත් වෙන්න බෑනේ..."


"ඔව් නිත්‍යා ...මේ මිනිස්සු තාම දන්නෑ ඔයා සිංහල කෙනෙක් කියලා ...ඒක දැනගන්න ඉස්සර අපි කොළඹ යමු ...අපි ලගදිම කොළඹ ගිහින් ඒහේ අපට ඉන්න පුලුවන් විදිහක් බලලා ලෑස්ති කරගෙන එමු...."


"ඔව් රමේෂ් එහෙම හොදයි තමයි ...ඒ උනාට එතකොට....අපේ ගෙදර අය, නෑදෑයින්ගෙන් එහෙම අපට ප්‍රශ්න ආවොත්...?


"අනේ මන්දා නිත්‍යා ...මොනව කරන්නද කියලා හිතාගන්න බෑ...."


මම අම්මාට යැවු ලියුමට ඇගෙන් තාමත් උත්තරයක් නැත්තේ ඔවුන් මා සමග තවමත් තරහෙන් ඇතැයි මට සිතේ....මගෙ ලියුමට අම්මගෙන් පිලිතුරක් නැතුව මම දුකෙන් ඉන්න බව රමේශ්ට තේරුම් ගොස් ඇත.


"නිත්‍යා...ඔයා ආසනම් අපි කොළඹ ගිහින් සරොජලා, ශර්මිලලව බලලා,...අපි දෙදෙනා යාළුවෙලා හිටිය කාලේ අපි එහෙ මෙහෙ ගිය තැන්වල රවුමක් එහෙම ගිහින් දවස් දෙක තුනක් කොළඹ නැවතිලා ඉදලා එමු....ඒ ගමන් අපි කොළඹ නවතින්න පුලුවන් විදිහක් ගැනත් බලමු...

"

" ඒකනම් හොද අදහස...අපි දෙන්නා කසාද බැන්දට පස්සේ කොළඹ පැත්තෙ කොහේවත් ගියේ නෑනේ..වෙනසකටත් එක්ක අපි එහේ ගිහින් එමු....හැබැයි අපි කොළඹ නවතින්න යන එක ගැන නම් තව හිතන්න වෙයි...මොකද අපේ අම්මලා නිසා....කෝකටත් අපි කොළඹ ගිහින් අදුනන අය හම්බවෙලා බලලා එමු...."


"එහෙනම් ඔයා කොළඹ ගෙනියන්න ඕන බඩු ලෑස්ති කරලා තියාගන්නකෝ...මම ඔෆ්ස් එකෙන් නිවාඩුවක් දාන්න බලන්නම්..."


"මට හරි සතුටුයි රමේෂ් ...අපේ පරන යාලුවො ,පරණ අපි දෙන්නා ආගිය තැන් බලන්න යන්න ...කොළඹ යනකම් මට ඉවසිල්ලක් නෑ..."


අපි කොළඹ දින දෙක තුනක් නැවති ඉන්න යන්න මම ලෑස්ති වුනේ ගොඩක් සතුටිනි.... ඒ සරෝජා ,ශර්මිලා හමුවි කතාබස් කරන්න වගේම, රමේෂ්ශුයි මායි කන්තෝරු ගිය කාලයේ ආගිය තැන් වල ඇවිද, දැකබලාගෙන ටිකක් සතුටින් ගත කර එන්නයි.


මම අපේ අම්මාට අපේ විස්තර කියා ලියුම ඇර සුමාන දෙකකට විතර පසු, දිනක් උදේ මට අක්කාගේ අකුරෙන් ලියුමක් ලැබිණි.


එම ලියුම අක්කා ලියා තිබුනේ මම අම්මාට ඇරිය ලියුමට උත්තරයක් ලෙසය.... එහි අක්කා ලියා තිබුනේ... අම්මත් බාප්පාගේත් හිතේ අපි ගැන ඇති වි තිබු තරහ දැන් නැති වී, ගොස් ඇති බැවින් කොළඹ මහගෙදර ඇවිත් යන්න එන ලෙස කියායි.... එය දැක මාගේ සතුට නිම්හිම් නැති විය.


මේ සතුටු ආරංචිය කියන්න මම ඇදන් හිටි ඇදුම පිටින්ම රමේෂ් වැඩකරන ස්තානය වෙත හනිකට ගියේමි. රමේෂ්ගෙ සේවා ස්තානය අපේ ගෙවල් වලට බොහෝ කිට්ටුවෙන් පිහිටා තිබුන නිසා මම නිතර එහි යන්නට පුරුදු වී උන්නෙමි .


මා රමේෂ්ගේ සේවා ස්ථානය වෙත ගියේ අක්කා එවා තිබු ලියුමත් අරන් කලබලේ සතුටිනි.


“ඇයි මේ වෙලේ වැඩ කරන තැනට ආවේ....? මා දැක රමේෂ් පුදුමයෙන් ඇසුවේය.


“ අපේ අක්කා, මම අම්මට ඇරිය මගේ ලියුමට උත්තර එවලා.... අපට ගෙදර ඇවිත් යන්න එන්න කියලා. බාප්පාගේ හිතේ අපි ගැන තරහක් නෑලු...." මම සතුටෙන් කීවේ රමේශ්ගෙ අත අල්ලා ගෙනය..


“අනේ රමේෂ් අපි මේ සුමානේ අන්තිමට කොළඹ ගිහාම, එහෙනම් අපේ අම්මලත් බලන්න යමු හොදද..? ඔයා අපේ අක්කට අදම ටෙලිග්‍රෑම් එකක් ගහන්නකෝ අපි මේ සුමානෙ අන්තිමට කොළඹ එනවා කියලා ..."


" නෑ...නෑ...ටෙලිග්‍රෑම් ගහන්න ඕනෙ නෑ නිත්‍යා ...අපි කොළඹ ගිහාම එහේ යමු....කියලා ගිහාම ඔයගොල්ලන්ගෙ මාමලත් ඇවිත් ඉන්න බැරි නෑ..."


"ආ...ඔව්...මට අමතක උනා...අපි එහෙනම් කොළඹ එන කතාව නොකියා ඉදලා කෙලින්ම අක්කලාගෙ ගෙදර ඉස්සෙල්ලා ගිහින්, ඊට පස්සෙ අක්කත් එක්කම අම්මලාගෙ ගෙදර යමු..."


"ඔව් එහෙම හොදයි...මම සෙල්වම්ට ටෙලිග්‍රෑම් එකක් ගහන්නම් අපි කොළඹ ඒගොල්ලන්ගෙ ගෙදර දවස් තුනක් විතර නවතින්න එනවා කියලා ...එහෙම හොදයි නේ... ඔයා දැන් පරිස්සමට ගෙදර යන්න...මම වැඩ ඇරිලා ඉක්මනට ගෙදර එන්නම්...."


"හරි එහෙනම් මම ගෙදර යනවා...මම සතුටින් ඉපිලෙමින් කීය..."


“අනේ අනේ තියෙන සතුට.... හදිස්සිය... පරිස්සමින් ඔය බඩත් උස්සගෙන පාරේ යන්නෙ....."

රමේෂ් ආදරයෙන් මා දිහා බලාගෙන කීවේය.


මේ සුමානෙ අන්තිම වෙනකම් මම නොවිසිල්ලෙන් හිටියේ කොළඹ යන්නයි...මම යාපනේට ආවේනික තල් ගසේ කෑම බීම වට්ටි පෙට්ටි, කරවල උම්බලකඩ , වත්තේ එළවළු පළතුරු ,කොළඹ ගෙනියන්න ලෑස්ති කර ගත්තේ හරි උනන්දුවෙනි....


ඒ සතියේ බ්‍රහස්පතින්දා අපි උදෙන්ම අපේ කාර් රතයෙන් යාපනේ, කරවල ,උම්බලකඩ එළවළු පළතුරු කැවිලි රැගෙන ,දින තුනකට පමණ ඇදුම්ද රැගෙන කොළඹ යන්න පටන් ගත්තේ හරි සතුටිනි.


"බලන්නකෝ රමේෂ් අපි යන මේ පාරේ, හැම හංදියකම පොලිස්, හමුදා මුරපොළවල්...අනේ මන්දා යුද්දයක් ලග ලග එන්න හැඩයි...මට නම් බයේ බෑ...ඒ මදිවට හැම යුදහමුදා මුරපොළකක්ම අපිව චෙක් කරනවා...මම කොළඹ ගෙනියන්න ගත්ත බෑග් ඔක්කොම ඇදලා ඇනලා බලනවා..."


"ඇත්ත නිත්‍යා ...මේ ත්‍රස්තවාදීන්ගෙ වැඩ නිසා සාමාන්‍ය දෙමළ මිනිස්සුන්ටත් හරියට පාරක බැහැලා යන්න බෑ....අපිව යන යන තැන චෙක් කරනවා...බෝම්බ ගෙනියනවා වගේ..."


"අපි දවල්ට මොනව හරි හොද කඩේකින් කෑම කාලා යමු නේද...? එක දිගට වාහනය එළවගෙනත් යන්න අමාරුයි ...ඔයාටත් වැඩිය මහන්සි වෙන්න හොද නෑනේ...."


"මට එහෙම මහන්සියක් නෑ...කොළඹ යන නිසා මම හරි සතුටෙන් ඉන්නේ..."


පැය දහයකටත් වැඩි දිගු ගමනකින් පසු අපි කොළඹට ලගාවුන පසු මගේ හිතට පුදුමාකාර සතුටක් දැනින.


මොනවා උනත් යාපනේ ත්‍රස්තවාදී කලබල නිසා හිතේ බයෙන් සැකෙන් ගෙවන කාලයට වඩා කොළඹ ජීවිතය කෙතරම් අගේද කියා මට සිතේ....


"අපි දෙන්නා මුළින්ම හමුවුන පලාත...මට හරි සතුටුයි මෙහේ ආවට පස්සෙ ...මොනව උනත් මම යාපනේ ඉන්නේ හරි බයෙන් රමේෂ් ..."


"මට තේරෙනවා නිත්‍යා ...අපි මේ ආපු ගමන් මාමට කතා කරලා කොළඹ පදිංචියට එන්න විදිහක් කතා කරගමු..."


"ඒකනම් හොද අදහස... අපි දැන් මුලින්ම යන්නේ සරෝජලාගෙ ගෙදරනේ...අපි අද එනවා කිව්ව නිසා ඒගොල්ලෝ බලාගෙන ඇති අපි එනකම්.."


කිව් ලෙසම අපි මුලින්ම අපි ගියේ සරෝජාලාගෙ ගෙදරටය. ඔවුන් අප දෙදෙනා ඉතා ආදරයෙන් පිලිගෙන අපට හොදින් සැලකුවේය. මම දරුවෙක් ලැබෙන්න ඉන්න බව දැක සරෝජා බෙහෙවින් සතුටට පත් විය. ඇය මට නොයෙක් අවවාද අනුශාසනා කරමින් දරුවා හදාගන්න හැටිද කියා දුන්නේ වැඩිමහල් සහෝදරියක් ලෙසය .


පසු දින අපි රමේෂ්ගේ දෙමවුපියන් බලන්න ගිය විට ඔවුන්ද අපව ආදරයෙන් පිළිගත්තේ රමේෂ්ගේ පවුලේ පළමු මුනුබුරකු මා හට ලැබෙන්නට සිටි නිසා බැව් මා හට වැටහිණි. රමේෂ්ගේ මව ඉතා කරුණාවන්ත කෙනෙකි. ඇය මට කෑම බීම පිළිගැන්වූයේ,


"දැන් දුව දෙන්නෙකුට තමයි කන්න ඕන... යැයි කැඩුණු සිංහලෙන් කියමිනි.


" හොදයි අම්මා...මට දැන් හොදට දෙමළ කතා කරන්න පුලුවන් .." මම ඇයට දෙමලෙන් කීය.


මට දැන් හොඳට දෙමළ කතා කරන්න පුළුවන් බව මා දෙමළෙන් ඇයට කී විට ඇය පුදුමයෙන් මෙන් මා දෙස බලා මගේ ඔළුව අත ගෑවේ ඉතා සතුටිනි. එතැනින් පසු රමේෂ්ගේ දෙමවුපියන් මා සමග කතා කළේ දෙමළෙනි.


අපි යාපනයේ සිට එන විට ඔවුන්ට කරවල එළවළු, පලතුරු, තල් නිශ්පාදන ආදිය ගෙනැවිත් දුන්නෙමු.


“අපි මේ අපේ වත්තේ වගා කරපු ඒවා..රමේෂ් තමයි මට ගෙදර පාත්ති හදලා එළවළු වගාකරන්න උදව් කරන්නෙ..." ,මම රමේශ්ගෙ අම්මාට කිව් කල ඇයට සතුතු සිතුන බව පෙනින.


මේ වන විට රමේෂ්ගෙ දෙමව්පියන් වවුනියාවේ ගෙවල් දොරවල් විකුනා දමා, ඔවුන්ගෙ මාමාගෙ ගෙදර තිබුන පොඩි ඇනෙක්සියේ පදිංචිව හිදියි. රමේෂ්ගෙ නංගි තවමත් වවුනියාවේ පදිංචි වි හිදියි....උතුරේ ඇති කළබල නිසා, මොවුන් දෙදෙනා කොළඹ පදිංචියට ආ එක ගැන රමේෂ් බොහො සතුටින් හිදියි...


“අපි මේ වත්තේ වගා කරපු එළවළු ... මං අපේ අම්මලාට ගෙනියන්නත් ගත්තා...

"

“ඒක හොඳයි දුව, අම්මලා, තාත්තලා හැමෝම එක්ක හොඳින්න ඉන්න ඕන දරුවෙක් ලැබෙන්න ඉන්නකොට...." රමේශ්ගෙ අම්මා කීවේ කරුනාවෙන්‍ය.


ඉදින දහවල් ආහාර අපි රමේශ්ගෙ අම්මලාගෙ ගෙදරින් ගෙන හවස් වරුවේ අපේ අක්කලාගෙ ගෙදර ගියේ අපේ අලුත් කාර් රතයෙන්මය.


"අනේ... ඇයි නංගිලා කොළඹ එන බව අපට නොකියා ආවේ...නංගි මහත්වෙලා ලස්සන වෙලා...හැබැයි ටිකක් කළු වෙලා...නංගිට දැන් වාසියි වගේ...ඇය මගේ බඩ දෙස බැලමින් මා ආදරයෙන් පිලිගත්තේ මුහුණ සිඹය."


" කළු වෙලා ඇත්තේ ... යාපනේ දේශගුනයට වෙන්න ඇති අක්කා..."


අක්කා මා බදාගෙන මගේ බඩත් අතගා සතුටෙන් මා ගෙට කැන්දාගෙන ගියාය.... "


"අපි ඊයෙ ආවේ....අද දවල් රමේශ්ගෙ අම්මලාගෙ ගෙදරින් කාලා මේ ආවේ...අනිදා උදේ අපි ආපහු යාපනේ යන්න ඉන්න..."


"ඇයි එච්චර ඉක්මනට .."


"රමේශ් දවස් දෙකක නිවාඩු දාලයි මේ ආවේ...ඒ නිසා වැඩිදවසක් ඉන්න බෑ....ඉක්මනට යන්න ඕනේ...මට අම්මලාගෙ ගෙදර යන්න ඕනෙ අක්කේ...අක්කා එන්වද අපිත් එක්ක අම්මලාගෙ ගෙදර යන්න ...මට තනියම යන්න බයයි..."


"හා...මම පුතත් එක්ක එන්නම්...අපි තේ ටිකක් බීලාම යමු. .."


"පුතා දැන් ගොඩක් ලොකුයිනේ....මම දැකපු නැති කාලෙට උස ගිහිල්ලා..." මම අක්කට පුතාට අය්යට ගෙනා තෑගි පිලිගැන්විය .


යාපනෙන් ගෙනා එළිවලු, කරවල, තල් නිශ්පාදනද ගෙට ගෙනත් තිබ්බේ රමේෂ්ය ...


"අපි එහෙනම් යමුද අක්කේ...අද අය්යා වැඩට ගිහිල්ලද....?"


"ඔව්...මම දැන් එයාට කෝල් කරලා කිව්වා..නංගිලා ඇවිත් ඉන්නවා ,අපි අම්මලාගෙ ගෙදර ගිහින් එන්නම් කියලා ..."


"එහෙනම් අපි යමු.." අක්කත් පුතත් සමග අපි අපේ කාර් එකේ අම්මලාගෙ ගෙදර ගියේ නම් හිතේ සැකෙන් හා බයෙන් මෙන්‍ ය.


අපේ ගෙදරට හැරෙන පාර ලගදි මගේ හිත ගැස්සෙන්නට විය...අම්මා, බාප්පා මා කෙසේ පිලිගනීද ....?රමේෂට බනියිද කියාත් මගේ හිතේ ඇත්තේ සැකයකි.


"මගේ හිතට නම් බයයි වගේ අක්කේ...අම්ම මට බනියිද කියලා ...පරන කතන්දර මතක් වෙලා..."


-අද රෑට බෝනස් කොටසකින් හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

4 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page