top of page
  • Writer's picturePrisila Godahewa

🌺🌺මට හිමි ඔබයි🌺🌺

💞මට හිමි ඔබයි💞

(6 වන කොටස)

https://www.facebook.com/groups/2653780434897311/permalink/2715988755343145/

ලොකු මාමා ඇවිත් ගොස්, සුමානයකට පසු, අම්මා නමට ,ලොකු මාමා කොළඹින් එවා තිබු ලියමන දැක ,අම්මාගෙ මුහුණ සතුටින් වෙනස් වෙනවා අපි දුටිමු ...


"ලොකු දුවේ...අනිද්දා දවාලට ලොකු මාමා තව යාලුවෙක් එක්ක අපේ ගෙදර එනවා කියලා ලියුම් කඩදාසියක් එවලා තියෙනවා....අපි අනිද්දා දවල්ට මොනව හරි හොදට කන්න හදල තියන්න ඕනේ...."


"එහෙනම් අපිව කොළඹ එක්ක යන වැඩය කතා කරගන්න වෙන්න ඇති..." මා කීවේ සතුටිනි.


අම්මා අප දෙදෙනාවද එකතු කරගෙන ඒ දින දෙක, ගෙවල් දොරවල් අස්පස් කර ඊට පසු දිනට, කෑම බීමද හදන්න ලෑස්ති උනේ හරි සතුටිනි.


කියපු දින දහවල් වෙනකොට ලොකු මාමා අප බලන්න ආවේ තවත් මාමා කෙනෙකු සමඟය. ඔවුන් කොළඹ සිට බසයකින් විත් එතැන් සිට, සයිමන් මාමාගේ බක්කි කරත්තෙන් අප ගෙදරට එනවා මා බලා උන්නේ ගෙදර මිදුලට බැසය. ඈත තියාම සයිමන් මාමාගේ බක්කි කරත්තේ, එන හඩ අපට අදුනගන්න ලේසි වෙන්නේ....බක්කි කරත්තය ඇදගෙන එන හදයාගේ ගෙජ්ජි හඩිනි.


"අම්මේ.... ලොකු මාමා එනවා...තව කවුද මාමා කෙනෙකුත් එනවා...."


"රුවිනි කෙල්ලේ...ඔතන ඉදන් ගමටම ඇහෙන්න කෑගන්නේ නැතුව ගෙට වරෙන්.... "

අම්මා මට සැර දැමීය. ඇය ගමේ වටපිට නෑදෑයින්, යාලුවන්ට හොරෙන්, ලොකු මාමා සමග එන අනෙක් මාමා පිළිගන්න සැරසි ඇති ආකාරයක් මට තේරුම් ගියාය. අක්කා පේන්න සිටියෙ නැත. මම අක්කා සොයා කුස්සියට දිව ගියේ ලොකු මාමා තව මාමා කෙනෙක් සමග අපේ ගෙදර එන ආරංචිය කීමටය. ඔවුන් එන නිසා, මට ඇතිවුන සතුට නම් අක්කගෙ මූනේ නැත. ඇය මා කියු දෙය නොඇසුනා ගානට අන්නාසි ගෙඩියක් කපයි. මේ අන්නාසි ගෙඩිය, මාමලා දවල් බත් කෑ පසු දෙන්නට අපි වත්ත පිටුපස ගල් ගොඩ උඩ තිබී කඩා ගෙන ආ ගල් අන්නාසි ගෙඩියකි. මේවා මීපැණි රසය.... මම කවදත් අන්නාසි කන්න කැමතිය. අද දවාලට බත් කෑ පසු මටත් මෙයින් අන්නාසි කෑල්ලක් කෑ හැකි යැයි මා එදෙස බලා සිතුවෙමි.


"ලොකු දුවේ මෙහෙට ආවනම්.." ලොකු මාමා අක්කා සාලෙට කැදවූවේ...සාලයේ පුටුවක වාඩි වී හිදගෙනමය.


සාලයේ ලොකු මාමා කිට්ටුවෙන් ඔහු සමග ආ අනෙක් මාමාද ඉදගෙන හිදී. ඔහු අපේ තාත්තාට වඩා පෙනුමෙන් බාල තැනෙත්තෙක් යැයි බැලු බැල්මට පෙනේ....මම ඔහු දෙස ජනෙල් රෙද්ද අස්සෙ හැංගී, හොරෙන් බැලු කල, ඔහු මා දැක මා සමග හොදින් සිනාසුනි....නමුත් මට ඔහු සමග සිනාසෙන්න අමතක විය. ලොකු මාමා අක්කා ලගට කරගෙන මොන මොනවදෝ හෙමිහිට කියයි. අම්මාද සිනා කටක් මුහුනේ පුරවාගෙන, සාලේ ලොකු පුටුවේ සීරූවෙන් වාඩි වී හිදිමින් ලොකු මාමා අක්කාට කියන දේ අසා හිදී.


අම්මා අද වෙනදාට වඩා ලස්සනට කොණ්ඩය පීරා අලුත් ලාපාට සාරියක් හැද හිදී..... අම්මා අද හරිම හැඩයි යැයි මට සිතේ..... අම්මා හැමදාම මේ ලෙසින් හැඩ වී ඉන්නවා නම් කෙතරම් අගේද? ඇගේ ලස්සන පේන්නෙ ඇය මෙලෙස ලස්සනට කොන්ඩය බැද හොද ඇදුමක් හැද සිටින කලටය.


එම මාමා මා සමග සිනා සුන විදිහෙනුත්, ඔහු අපට කන්නට කේක්, බිස්කට් ආදිය ගෙනැවිත් තිබූ නිසාද... ලොකු මාමා අහන දේට, ඔහු පිලිවෙලට උත්තර දෙන නිසාද ඒ මාමා ගොඩක් හොඳ කෙනෙක් වෙන්න ඇතැයි මට සිතුණි.


මගේ හිතේ අලුත් මාමා ගැන පහළව තිබු බය, පහවී ගිය නිසා, මම හෙමිහිට අම්මා ලගට ගොස් ඇගේ උකුලෙන් වාඩි වෙන්න හැදුවේ අම්මාගේ සාරිපොට අල්ලාගෙනය.


"කසුනි...ලොකු දුවේ...මේ නංගීත් එක්ක ගිහින් වත්තෙ පල්ලෙහා ගස් ලබු ගස් වලින්, ඉදුනු ගස්ලබු ගෙඩි ටිකක් කඩාගෙන එන්නකෝ, මාමලාට කොළඹ ගෙනියන්න දෙන්න...."


මම අම්මාගේ ඇඟේ දැවටී ..උකුලේ වාඩිවෙන්න හදන කොට, අම්මා අක්කාට කීවාය.


“ අපි යමු නංගී.වත්ත පල්ලෙහාට ......"

අක්කා මට කතා කළාය.


එදින අම්මා ලොකු මාමාටත්, අලුත් මාමාටත් ඉතා හොඳින් කෑම උයා සංග්‍රහ කළාය. එදා අම්මා වෙනදාට වඩා ලස්සනට කොණ්ඩය පීරා සාරියක් සහ ලේස් හැට්ටයක් ඇඳ සිටි නිසා, අම්මා අද හරි හැඩට මා දුටිමි. අම්මා හැමදාම මේ ලෙසින් හැඩ වී ඉන්නවා නම් කෙතරම් අගේද කියාද මට සිතේ....


අක්කා මට කතා කල නිසා, මම අකමැත්තෙන් මෙන් ඇගේ පසු පස ගියෙමි.


“කවුද අක්කේ ඒ ඇවිත් ඉන්නේ....? ලොකු මාමගෙ යාළුවෙක්ද...?එයා හරි හොඳයි වගේනේ....?"

මම කීවෙමි.


“උඹට ඉතින් කේක්, බිස්කට් හම්බ වෙනවා නම් මහසෝනත් හොඳයි....."


“ඇයි අක්කා එයාට කැමැති නැද්ද...? ඇයි එයා අපේ ගෙදර ආවේ අක්කේ...?


“ලොකු මාමා කීවේ... ඒ මාමා අපි දෙන්නව කොළඹ ඉස්කෝලෙකට දාන්න කොළඹ එක්ක යනවලු....අපට කොළඹ ඒ මාමාගේ ගෙදර නවතින්නත් පුළුවන්ලු.....


“අනේ කොච්චර දෙයක්ද....? එතකොට මට පුළුවන් ලොකු මාමලාගේ ළමයි එක්ක ආයෙත් සෙල්ලම් කරන්නත්...කොළඹ ඉස්කෝලෙකට යන්නත්...."


“උඹට ඉතින්, කන්නයි සෙල්ලම් කරන්නයි තිබුණොත් ඇති....."


“අක්කා කැමැති නැද්ද කොළඹ යන්න....?


“ කැමතියි ....අම්මා කිව්වේ අපට ඉංග්‍රීසි ඉස්කෝලෙකට යන්න පුළුවන් කියලා..... ඒකට නම් මම කැමැතියි. එතකොට අපට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්නේ....".


“එහෙනම් අපි කොළඹ යමු අක්කේ....."


"ඔව්...මේ ගමේ හිටියට වැඩක් නෑ...කොළඹ ගියොත් අපට ලස්සනට ඉන්න පුලුවන් වෙයි...."


#########


"මහරගම බහින අය ඉස්සරහට එන්න....මහරගම මහරගම ...."

බසයේ කොන්දොස්තර තැන කෑ ගසන ශබ්දයට, මම සිටි පරන මතක සිහිනෙන් ඇහැරිනි.... මගේ ළමා කාලය සිහිකරමින් සිටි පැය දෙකාහමාරක පමණ කාලය ඉක්ම ගොස්, මා රත්නපුරේ සිට ආ බසය මහරගමට පැමින ඇත. මම දැන් මෙතනින් බැස මා යායුතු, ගෙදර සොයා තනියම යා යුතුයි. හරියට පාරක් තොටක් නොදන්නා මම මහ රෑ නොදන්නා ගෙයක් සොයා දැන් යා යුතුයි.


බසය මහරගමට ළඟා වන විට වේලාව රෑ එකොළහ පසුවී තිබිණි. බසයෙන් බැස ගත් පසු මාව බයෙන් ගැහෙන්න පටන් ගත්තාය. මට නුහුරුම පලාතකට මම දැන් ඇවිත් ඇත. සුදු මංගල සාරියකින් සැරසී....ආභරණ දමාගෙන අතේ සතයක් නැතිව මම මහරගම හංදියේ තනිවි ඇත.


මහරගම නගරයේ , මහ රෑ.... මුළු පරිසරයේම ඇති රාත්‍රී අන්දකාරය , පාරේ දැල්වෙන විදුලි බුබුලු වලින් යාන්තමට නැතිවි ඇත........පාර දෙපැත්තේ ඇති විදුලි බුබුලු මලානික එලියෙන් දැල්වේ...රෑ දොලහටත් කිට්ටු වී ඇති නිසා, පාරෙ යන එන වාහන බොහෝ අඩු වී ඇත....පාරේ ඇවිද යන මිනිස්සුන් නැති තරම්‍ ය...


මා දැන් මොනවද කරන්නේ කියා සිතා ගැනිමට නොහැකිය...මා අතේ මුදල්ද නැත. මා යායුතු ගෙදර, මහරගම පන්සල පාරේ ඇති බව පමනක් මට මතකය. ඒ නිවසේ ලිපිනය මට කට පාඩම්‍ ය. නමුත් මීට පෙර, කිසිදින මම එම ගෙදරට ගොස් නැත. එම ගෙදර නිවැසියන්, එකම එක දිනක් පමනක් මට මුණ ගැසි ඇත. එම නිවසට යන්නට නම්, මම මහරගමින් තව බසයක නැගී මේ මහ රෑ යා යුතුයි . අතේ සතේ නැතුව, සුදු මගුල් සාරියකුත් ඇදගෙන තරුණ ගැහැනු ළමයකු කෙසේද එම නිවස සොයා යන්නේ....මට ඇඩෙන්න ලංව ඇත. මට අද හවස බෙළිහුල්ඔය තානායමේ සිට පැන ආ අවදානම් ගමන සිහිවේ....අද හවස සිට මගේ හිතේ තිබුන,ද්‍යීර්ය ශක්තියත් සමග , මෙපමණ දුරක් ආ මම, ඇයි දැන් මේ....ගමන අවසාන මොහොතේ මා බයවි සැලෙන්නේ.... ඔව්,...මෙපමණ දුරක් ආ මම මේ ඉතිරි ගමනත් හිතට ශක්තිය ද්‍යීර්ය ගෙන යා යුතුයි ... ඔව්....මම කෙසේ හෝ ඒ ගමන යෑමට සිතට ශක්තිය ගත්තෙමි....මහරගම බස් නැවතුම අසල නවතා තිබූ කූළී රිය ගාල අසලට මම හෙමිහිට ඇවිද ගියෙමි.


මහ රෑ...කුළී රිය ගාලේ නවතා තිබුනේ වාහන දෙකක් පමනි. විදුලි කනුවක් යට නවත්වා තිබු එක කුලී රියක, රියදුරු ඉදිරිපස ආසානය පසු පසට කර, කෙනෙක් නිදා ඉන්නා අයුරු පෙනෙයි. අනෙක් වාහනයේ රියදුරු ...ඈතටම මම එනවා දැක වාහනයෙන් බැස මා දෙසට ආවේ කළබලයෙනි. ඔහුගෙ මුහුනේ තිබුනේ නින්දෙන් බය වුන ගතියක් පිරි විමැත්තියකි.


"ආ...නංගි කොහාටද යන්න ඕනේ....මම ගිහින් බස්සන්නම්..."


ඔහුගේ මුහුනේ ඇති විමැත්තිය යටින්, කපටි මුහුනක්ද දුටිමි. මාගෙ හිසේ සිට දෙපතුල වන තෙක් ඔහු බලමින් හිදියි.


“මට පන්සල පාරට යන්න ඕනේ..."

මම හිතට දයිර්‍ර්‍ය ගෙන පැවසිමි.


“ආ නගින්න නංගි මොකද මේ මහ රෑ තනියම...මොනව හරි කරදරයක්ද... එහෙම නැත්නම්....පුරුදු ගමනක් යන ගමන්ද....සල්ලි එහෙම ඕන නම් කියන්න ... මේ ලග පාත අපි දන්න ගෙවල් එහෙම තියෙනවා ....වැඩි වෙලාවක් යන්නෑ මම පැය භාගෙකින් නංගිට යන්න ඕන තැනට ගිහින් බස්සන්නම්...ඔහු කපටි මූනකින් හිනාවෙමින් කියයි...."


මගේ පපුව හිරවෙන්නට ආවේ...මේ මිනිහා මම ගැන හිතපු විදිහ ගැන සිතිය..මේ මිනිහා හිතාගෙන ඇත්තේ මම අවලමේ යන ගැහැනු කෙනෙකු බව මට තේරිනි. මට මම ගැනම ඇතිවුනේ ලොකු දුකක් සමග භීතියකි.

කූළි රිය නැවතුමේ නවතා තිබු අනෙක් වාහනයේ සිටි රියදුරු අපේ කතාව ඇසි..ඔහුද වාහනයෙන් බැස අප දෙසට එයි. ඔහු වයසක සරමක් ඇද ගත් මනුස්සෙයෙකි...මම මුලින් කතා කරපු රියදුරු ගනන් නොගෙන වයසක රියදුරු දෙසට විගහින් ඇවිද ගොස් ඔහුට කතා කලෙමි .


"මාමේ මට පන්සල පාරට යන්න ඕනේ....බස්සන්න පුලුවන්ද ...?


"ආ...යමු නෝනා...මේ වෙලාවට හයර් අඩු නිසා ..මම ටිකක් ඔලුව තියාගත්තා......හොද වෙලාවට මට ඇහැරුනේ...."


"යමු නෝනා වාහනයට නගින්න..."එම රියදුරු කරුනාවන්ත යැයි මට සිතුනි.


"කිව්වට තරහ වෙන්න එපා නෝනා....නෝනා වගේ තරුන අය, මේ වගේ රෑ දෙගොඩහරියේ තනියම මේ වගේ ගමන් යන එක හොද නෑ....කවුරු හරි වැඩිහිටි කෙනෙක් එක්ක එපෑ පාරට බහින්න...."


"ඔව් මාමේ...මං මේ මඟුල් ගෙදරක ගියා.... මගදී බස් එක කැඩුණා. ඒකයි පරක්කු උනේ...."


"ඔව්...එහෙම කරදරයක් වෙන්න ඇති කියල මට හිතුනා....ඒ උනාට මේ වගේ වෙලාවට, ඔය වයසේ ගෑනු දරුවෝ එළියට බැස්සහම හොදට ඉන්න පිරිමිත් ඇවිස්සෙනවා....ඔය ළමයා ඔය සාරියක් පලවගෙන හිටියට යම්තම් අවුරුදු විස්සක් විතර ඇති කියලයි මට හිතෙන්නේ......දැන් කොහාටද පන්සල පාරේ, යන්න ඕනේ...?


"නොම්බර 17"


" ආ....නො.17 ට තව ටිකක් දුර යන්න තියෙනවා ....හොද වෙලාවට ඔය ළමයා මගේ වාහනයට නැග්ගේ...නැත්නම් කොහෙ ගිහින් ඔය ළමයට නවතින්න වෙයිද දන්නෑ..."


"අනේ ඔව් මාමේ...ගෑනු කෙනෙක්ට තනියම මේ රටේ රෑකට එළියට බැහැලා යන්න නැති හැටි.....අම්මලා සහෝදරියන් නැති ගානටනේ මේ මිනිස්සු හැසිරෙන්නේ...."


"නූගත් කම දරුවෝ...ඒකයි ගෑනු ළමයි උනාම පරිස්සම් වෙන්න ඕනේ..."


කුළී රතයේ පසු පස ආසනයේ වාඩි වී සිටි මම ,එහි ජනේලයෙන් එලිය බලාගෙන වාඩිවී සිටියේ....මෙතනින් එහාට මම මොනවද කරන්නේ කියා සිතමින්‍.ය. දැන් රාත්‍රී දොලහට කිට්ටු වී ඇත. වාහනේ ජනේලයෙන් එළිය බැලු කල පේනෙන්නේ ....තනිකර අන්දකාරයි. මහරගම පන්සල පාර දිගේ, වාහන වලින් හිස් වුන පාර දීගේ කූළී රතය වේගයෙන් ඇදී යයි. මෙම කුළී රියට නැග්ගාට, මගේ අතේ සතයක් නැතිය. මම යන ගෙදර අයිතිකාරයෝ ගෙදර හිටියොත් , කුළී රථ රියදුරාගේ කුලිය ඉල්ලාගෙන ගෙවීමට හැක. නැතහොත් මම මොනවද කරන්නේ...කොහොමද මම මොහුගෙ, වාහනයේ කුළිය ගෙවන්නේ...සීයක් ප්‍රශ්න මගේ හිතේ ඇත.


මම මේ මොකද කරන්නේ...කොහේද මේ යන්නේ...මම යන ගෙදර අය මා පිලිගනිද..? මම කොහේ හිටපු කෙනෙක්ද...ඇයි මට මෙහෙම උනේ....ඇයි මම මගේ මංගල දින මෙලෙස පැන ආවේ....මගේ හිත බොහෝ පසු පස කාලයකට හිත දුව යයි...මම, අම්මා හා අක්කා, තාත්තා නැතුව, තනිවුන පසු අපට සිවුවුන සිදුවීම්...මගේ හිතට ගලා එන්නේ මම ගැනම හිතේ ඇති වුන කනගාටුවෙනි......


සදුදාට හමුවෙමු


*ප්‍රිසිලා ගොඩහේවා *

6 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page