top of page
  • Writer's picturePrisila Godahewa

🌺🌺මට හිමි ඔබයි 🌺🌺

💞මට හිමි ඔබයි💞

(50 වන කොටස )

https://www.facebook.com/groups/2653780434897311/permalink/2766878410254179/

"නෝනා තව හොද ගෙයක් තියෙනවා ...හැබැයි ඒකේ කුළිය ටිකක් වැඩියි....රට ඉන්න කෙනෙක්ගෙ ගෙයක් ..."


"අපි ඒකත් ගිහින් බලමුද...?" රමේෂ් ඇසිය.


" හොදයි ...යං මහන්තයා..."


එක දිගට වැලි ගොඩැලි වල තිබු, ගෙවල් ගොඩෙන් ,ටිකක් ඈත් වෙන්නට, පාළු තැනක උළු සෙවිලි කර, බිමට රතු සිමෙන්ති දමා තිබූ පොඩි ගෙය මගේ හිත් ගත්තේය.


“රමේෂ් මේ ගේ නම් අපට හොඳයි වගේ. .... මම මේ ගෙට කැමතියි. අපි මේ ගේ ගැන බලමුද... වතුර ටැප් එහෙම තියෙන ගෙයක් වගේ.... එහෙම උනොත් අපට ලේසියි නේ...."


“මහත්තයා මේ ගෙදර අයිතිකාරයා රට ඉන්නේ...මේ ගෙදර කුලිය නම් ගොඩක් වැඩියි....ලිදෙන් වතුර ගන්න මෝටරයක් දාලා තියෙනවා ..."


“කමක් නෑ, ටිකක් කුළිය අඩු කරලා ඉල්ලලා බලන්න ..."


තානායම් කළමනාකරුගේ උත්සාහය මත අපට, ටිකක් අඩුවට එම ගේ කුළියට ගන්න ලැබුණේය. ගෙයි අයිතිකරුවන් එය කලක් තිසේසේ කුලියට දෙන්න බලාගෙන සිටියද, කුළියට දීමට නොහැකිව තිබූ බැවිනි.


“කවදද මහත්තයලා මේ ගෙදර පදිංචියට එන්න හිතාගෙන ඉන්නේ...?" ගෙදර බලාගන්නා කෙනා ඇසිය.


“අපට ඉක්මනට ගෙදර පදිංචියට එන්න ඕනේ...හදිස්සියි. හෙට අඟහරුවාදා නේ... අපි අනිද්දා... බදාදා උදේ පදිංචියට එන්නම්..."


“හොඳයි මහත්තයා ,එහෙනම් ... මං මේ ගෙදර මකුළුදැල් අදම කඩලා බිම හෝදලා තියන්නම්.....හැබැයි

ඇඩ්වාන්ස් එකක් දෙන්න ඕනේ....ගෙදර බලාගන්නා අයිතිකරුගෙ අය්යා කෙනකු කිය.


“අපි අලුත බැඳපු දෙන්නෙක්... වැඩිය සල්ලි අතේ නෑ. මාස දෙකක ඇඩ්වාන්ස් එකක් දෙන්නම්...."


“අනේ මහත්තයා මාස තුනක හරි ඇඩ්වාන්ස් එකක් දෙන්න....අපිත් ගොඩක් දවසක ඉදන් මේ ගේ කුළියට දෙන්න බලාගෙන හිටියේ...


“හා හොඳයි. එහෙනම් අපි පොඩි ලියුමක් ලියලා සල්ලි දෙන්නම් දැන්මම.... නැත්නම් වෙන කවුරුත් ගේ ගන්න ආවොත්...."


“ආ ඒක හොඳයි මහත්තයා....."


ගෙට මාස තුනක අත්තිකාරම් මුදලක් ගෙවා දැමූ අපට, අපේ මූලික වි තිබුන, නිවාස සිහින බලාපොරොත්තුව ඉෂ්ට වීය. අපට නවතින්න තැනක් හොයා ගන්න ලැබීම මේතරම් ඉක්මනට සිදුවේ යැයි අපි නොසිතුවෙමු. කෙසේ හෝ අප දෙදෙනාගේ වාසනාවට අපට නිදහසේ සිටිය හැකි කාමර දෙකක ගෙයක් ලැබිණි. දෙදෙනාටම දැනුණේ ලොකු නිදහස් සතුටකි.


“අපි දෙන්නට දැන් ගෙදරට බඩු එහෙම ගන්න වෙයි නේද..?


“එහෙනම් ...දැන් වෙලා තියෙන එකේ අපි කඩමණ්ඩිය පැත්තේ ගිහින් දවල්ට මොනවා හරි කාලා, ගෙදරට ඕන කරන , කෝප්ප පිඟන්, වළං වැනි බඩු ටිකක් ගමු..."


“මොනවද අපි ගන්න ඕන බඩු?


“ඇඳක් නම් ඕන වෙයි...මට බිම පැදුරු වලනම් නිදාගන්න බෑ.. රමේෂ් හිනාවෙවී කීය.


“අනේ... අනේ... ඉස්සෙල්ලා උයාගෙන කන බඩු ටිකක් ගමු..."


“පොඩි කබඩ් එකක් ගමු ඇඳුම් දාගන්න. තව මේසයක්, සාලෙට පුටු හතරක් ගමු කවුරු හරි ආවත් වාඩිවෙන්න දෙන්න...."


“කුස්සියට කෑම උයන වළං පිඟන් එහෙම පොඩ්ඩ පොඩ්ඩ ගමු..."


“බෙඩ්ෂීට්, තුවා එහෙම සරෝජා දුන්න නිසා ලේසියි ..."


"නිත්‍යා ..මේ පලාත්වල එහෙ මෙහෙ යන්න බයිසිකලයක් ගත්තොත් නම් හොදයි වගේ...අපි තියෙන සල්ලි වලින් බයිසිකලයකුත් ගමුද..? එන සුමානෙ ඉදන් මට වැඩට යන්නත් තියෙනවානේ..."


"එහෙනම් තියෙන විදිහට ලාභෙට බයිසිකලයක් ගමු...නැත්නම් පාරේ යන බස් එනකම්, රස්තියාදු වෙන්නයි, අතේ සල්ලි නැති වෙනකම් බස් සල්ලි දෙන්නයි වෙන්නේ..."


අප දෙදෙනා මන්නාරමේ අපට නවතින්න හොයාගත් ගෙවල් කිට්ටුව, තිබුන,බොහෝම පොඩි කඩමණ්ඩියට ගොස් අපට අවශ්‍ය කරන පොඩි බඩු ගත්තෙමු. ලී බඩු සාප්පුවට ගොස් ඇඳක්, ලෑලි මේසයක්, සාලෙට පුටු හතරක්, පොඩි ඇඳුම් දාගන්න කබඩ් එකක් එහෙම මිලදී ගත්තෙ අතේ තියෙන සල්ලි වලට අනුවය.... ඒවා ඉතා බාල, ලාභ ඒවා විය. ජීවිතේ මුලින් පටන් ගන්න යන මේ මොහොතේ අත්‍යවශ්‍යම බඩු අතේ තිබුණු සල්ලි වලට අරගෙන, ජීවිතය අලුතෙන් අරපිරිමැස්මෙන් පටන් ගැනීමට අප දෙදෙනාටම ඕනෑ විය. අප දෙදෙනාම එකම විදිහට හැම දෙයක් ගැනම හිතන එක ගැන මට ඇත්තේ සතුටකි. එය ඉදිරි කාලේ අපේ ගමනට ලොකු ශක්තියක් වේවි....


බදාදා දහවල්ට අප සල්ලි ගෙවා දැමූ බඩු ගෙන යන්නට එන බව පවසා, ගෙස්ට් හවුසය දක්වා ආවේ අපි අලුතින් මිලදී ගත් බයිසිකලේය. මේ පලාතේ ගෑනු අය බයිසිකල් වල පිටුපස ඉස්සරහ වාඩිවී යන්නේ කකුල් දෙක එක පැත්තකට දමාය. මමත් රමේෂ් ගේ බයිසිකලේ ඉස්සරහ පොල්ලේ කකුල් දෙක එක පැත්තකට දා වාඩිවී ආවෙ සතුටිනි.


අලුතින් පටන් ගත් අලුත් ජීවිතය, අලුත්ම තාලයකට, අලුත්ම පරිසරයකින්, අලුත්ම නමකින්, අලුත්ම ඇදුම් පැළඳුම් වලින් මට පටන්ගන්නට ලැබි ඇත . නමුත් මේ සියලු අලුත් අමුතු දේ වලට, මම රමේශ්ට මෙන් ආදරය කරන්නෙමි. සියලු දේ රමේෂ් මෙන් ආදරයෙන් වැලද ගන්නෙමි.


රමේෂ් දෙමළ කෙනෙකු වීමත්, මා ටිකක් දිග ගවුමක් ඇඳගෙන උරහිසට ෂෝල් එකක් දා නළලේ මොට්ටුවක් තියා, තාලිය එල්ලාගෙන සිටිම නිසා, අප නොදන්නා මිනිසුන්ට, මාද දෙමළ කෙනෙකු ලෙස පෙනෙන්න ඇත. ඔවුන්ට අප ගැන විශේෂ උනන්දුවක් නොතිබීමද වාසියක් විය.

රමේෂ් අප කසාද බඳින වෙලේ මගේ කරට දැමූ තාලිය සහිත කහ නූල් මාලය තවමත් මගේ කරේ ඇත. එය කිසි දිනක මගේ කරෙන් ගැලවීම තහනම් බවත් එය සැමියා වෙනුවෙන් පැලඳගෙන සිටිය යුතු බවත් කියා දුන්නේ සරෝජායි.. එය හින්දු ජනයාගේ විවාහ ජීවිතයේ විශේෂම වටිනාම දෙයකි. විවාහ වූවන් හඳුනා ගැනීමට විවාහක කාන්තාවන් තාලිය සහිත කහ නූල පැලඳ ගෙන සිටිය යුතුය. මාත් දැන් විවාහක ගැහැනියක් නිසා, මගේ කරේ ඇති කහ නූල දකින විට මාත් නියම දෙමළ ගැහැනියක යැයි මිනිසුන් සිතනවා ඇත.


"නිත්‍යා ඔයා අහල තියෙනවද රාම සීතා කතන්දරය .."


"ටිකක් අහල තියෙනවා ...ඒ උනාට ඔයා දන්න දේවලුත් කියන්නකො..."


"ඔයා දන්නවනේ...ලංකාවේ වයඹ දිගට වෙන්නට ඇති තලේ මන්නාරමේ සිට, දකුණු ඉන්දියාවේ "ධනුෂ්කොඩි" දෙසට විහිදෙන, වැලි පර දූපත් වලින් එක් කොටසක් ශ්‍රී ලංකාවට ද, අනෙක් කොටස ඉන්දියාවට ද අයත් වෙන බව....? ඒ වැලිපර ලොව පුරා ප්‍රසිද්ධියට පත්වෙලා තියෙන්නේ.... ‘ආදම්ගේ පාලම’ කියලා ...."


"ඔව් මම ඒ ටික දන්නවා...ඉතිං රාම සිතා කතාව කියන්නකෝ....ඒ කතාවත් අපේ කතාව වගේ එකක්ද...?


"නෑ අපේ වගේ දෙමව්පියන්ගෙ අකමැත්ත නිසා සිදුවුන මගුලක් නෙමේනේ......😉ඒක ආදර හුටපටයක් ...😁

‘රාමායනය’ කතා පුවතට අනුව.....ඉන්දියාවේ උන් ‘සීතා’ කුමරිය ‘රාම’ කුමාරයාගේ බිරිඳ, හරිම රූමත්ලු....

ඒකාලයේ ලංකාපුරයට අධිපතිවූ ‘රාවණ’ රජු, සීතාව පැහැර ගෙන ලංකාපුරයට පලා ගියා කියලා ඔයා දන්නවනේ...... ඇයව රාවණා රජුගෙන් බේරගන්න උදව්කරලා තියෙන්නේ "රාම" කුමරුන්ගේ ‘වානර හමුදාව’ කියලා තමයි කියන්නේ.....මේ වානර හමුදාව ලංකාපුරයට ඇවිත් තියෙන්නේ .... ඉන්දියාවේ ඉදන්.., මුහුද මැදින් ගල් පාලමක් ද ඉදි කරගෙන....

ඒ තමයි තලේ මන්නාරමේ සිට ඉන්දියාවේ දනුෂ්කොඩි වෙරළ දක්වා විහිදෙන ‘වැලිපර දූපත් පාලම....ඒවා වානර හමුදාව හැදූවා කියලා තමයි ප්‍රසිද්ධ ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වැලිපර දූපත් 27 ක් තියෙනවලු..... "


ඉන්දියාවත්,ලංකාවත් වෙන්කෙරෙන ‘පෝක් සමුද්‍ර සන්ධිය’ අතර, දෙරට අතර අඩු ම දුර ප්‍රමාණයක් ඇත්තේ, ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙරළත්, ලංකාවේ තලේ මන්නාරමත් අතරලු.... එහි දුර ප්‍රමාණය නාවික සැතපුම් 27කි. එනම් කිලෝමීටර් 50කි....ඒවා වැලිපර වලින් හැදුනු දූපත්...අවට මුහුද නො ගැඹුරුයි.... එබැවින් මන්නරම් බොක්ක සහ පෝක් සමුද්‍ර සන්ධිය හරහා නැව් හෝ විශාල යාත්‍රා ගමන් කරන්න බෑ..... වැලිපර දූපත් වල මිනිස්සු නෑ.... ඒවා පාළුවට ගිය මිටි පඳුරු සහිත කැලෑවෙන් වැසීලා තියෙන්නේ.....


තලේ මන්නාරම් පැත්තෙන් යන විට හමුවන හත් වැනි දූපත මැද සිටුවූ විශාල ලී කණුවක් තියෙනවා ...ඒ . කණුවෙන් එහා පැත්ත ඉන්දියාවට අයත් බවත්, මෙහා පැත්ත ලංකාවට අයත් බවත්, ඇතැම් ධීවරයෝ විශ්වාස කරනවා.... ඔවුන් පවසන අන්දමට එය දෙරට අතර ගොඩබිම් මායිමයි. එනම් ඉන්දු-ලංකා දේශ සීමාව කියලා කියනවා...

ඒ වගේම නිත්‍යා,.... අපේ රටේ සුන්දරම හිරු නැග ඒම සහ බැසයාම එකම තැනක ඉදන් බලන්න පුලුවන් ලස්සනම තැන තමයි ...මන්නාරම් , තලෙයිමන්නාරම් වෙරළ තීරය...ඒක තමයි ලංකාවේ වැඩිම සුළං හමන වෙරළ තීරය කියලත් ප්‍රසිද්ධයි...


සුදු වැලි තලාවන්ගෙන්, තල් රුප්පාවන්ගෙන්, මුහුදු ලිහිණින්ගෙන් සහ නිදහසේ ඇවිදයන බූරුවන්ගෙන් ගහන මන්නාරම් දුපත, පෝක් සමුද්‍ර සන්ධියෙන් මන්නාරම් බොක්ක වෙන් කරන ආදම්ගේ පාලම.... හැම දෙයක්ම බලන්න දවසක අපි යමු නිත්‍යා .. ....."


" අනේ ඔව්...අපි අනිවාර්යයෙන්ම යමු ....මට ආසයි ඒ මුහුදු වෙරළ බලන්න ... ....එතකොට ඔය බූරුවො කොහෙන් ආව උන්ද..?"


"මන්නාරම, ඉස්සර ඉදන්ම වෙළඳා කටයුතු වලට ප්‍රසිද්ධ නගරයක්...ඉතිං වෙළඳා කටයුතු වලට ආව ආරාබි වෙළදුන් ඔවුන්ගෙ බඩුමුට්ටු එහෙ මෙහෙ ගෙනයන්න ගෙනාව බූරුවන් තමයි ඔය බූරුවන්....."


"ඇයි එතකොට පුත්තලම් බූරුවෝ කියන්නේ..."


"මන්නාරමේ සිට පුත්තලම දක්වා බුරුවන් බෝවෙලා තියෙන නිසා... ඔයා අහල තියෙනවනේ මෝඩ මිනිස්සුන්ට කියන්නෙත් පුත්තලම් බුරුවෝ කියලනේ...😁ඒ තරමට ඔය සතා මෝඩ අහිංසක සතෙක් ..."


"අනේ පව් ඒ සතා...හරිම අහිංසක පාටයි...උන්ගෙ මූණ බැලුවම පේන්නේ උන් හරියට හිනාවෙලා ඉන්නවා වගේ...ඔය යන්නේ බූරුවො රංචුවක් අර පාර දිගේ...."


අඟහරුවාදා උදේ වරුවේ... අප කඩමණ්ඩියට ගොස්, බදාදා ට අලුත් ගෙදරට ගෙනයන්න, අවශ්‍ය හාල්, තුනපහ ඇතුළු ගෙට ගෙවැදීමට අවශ්‍ය සියලු බඩු ලෑස්ති කර ගත්තෙමු.


“අපි අද සවස සෙල්වම් කියපු, එයාගේ මාමගෙ පුතාගෙ ගෙදර යමුද..?


“ඔව්නේ, ඇත්තමයි මට ඒක අමතක වුණා ... අපි එහෙනම් අපිට ආශ්‍රය කරන්නත් කවුරුත් නැති එකේ... ඒගොල්ලන්වත් ගිහින් හම්බවෙලා එමු. ...."


අපි දෙදෙනාට එදින හවස් වරුවේ වෙන කළ යුතු වැඩක් නොතිබුණු බැවින්....අපි අපේ අලුත් බයිසිකලේට නැග සෙල්වම් කියූ ඔහුගෙ, මාමාගෙ පුතාගෙ ගෙදර සොයා ගියෙ, වටපිට පළාතෙ නොදන්නා තොරතුරු කතාබහ කරමින්‍ය.


"මේ මන්නාරම වැඩියම ප්‍රසිද්ධ කරවල, උම්බලකඩ වලට නේද රමේෂ් ...."


"ඔව්.....

මන්නාරම් නගරය ,කරවල වලට තමයි වැඩි ප්‍රසිද්ධිය ... මන්නාරම් තුඩුවේ ඉදලා වෙරළ තීර, පුරාවටම ධිවර ගම්මාන පිහිටලා තියෙනවා ... ඒවායේ කරවල, උම්බලකඩ වේලලා විකිනීම් කටයුතු සිදුකරන ප්‍රදේශ... මන්නාරමේ බොහොමයක් ජනයාගෙ රැකියාව කරවල වෙළදාම තමයි ...

ඊට අමතර මේ දේශගුනයට ඔරොත්තු දෙන බවබෝග එනම් කවුපි, මුං ,තල, කුරක්කන් ආදිය ඔවුන් වෙරළ තීරයෙන් එහා ඇති ප්‍රදේශ වල වගා කරනවා.... ඒවායෙ ඇති ගම්මාන වල ජනයා, තමන්ගෙ ගෙවල් වල තමන්ට අවශ්‍ය මිරිස්, වම්බටු ,තිබ්බටු මුරුංගා වැනි එළවළු වගා කරගෙන ආහාරයට ගන්නට පුරුදු වෙලා ඉන්නේ....


අප දෙදෙනා අවට ගෙවල් දොරවල් වල, වේලන කරවල හා වගාවන් දෙස බලමින් අපේ අලුත් බයිසිකලේ නැග ගියේ සතුටිනි.... ඒ යන අතරමග ගල් වැට් පල්ලම් ආ කල අපි.... බයිසිකලෙන් බැස එය තල්ලු කරගෙන ගියෙමු. අප සිටි තානායමේ සිට කිලෝමීටර් හතරක් පමණ දුරක් අපට සෙල්වම්ගෙ, යාළුවාගේ ගෙදර සොයා යන්නට සිදුවිය.

එම යාළුවාගෙ ගෙදර තිබුණේ, ලොකු සියඹලා ගස් හා කොහොඹ ගස් පෙළකින් වට වුණු විශාල ඉඩමකය. ඉඩම වටා තල් අතු කොළවලින් වැට සාදා තිබිණි. ඔවුන්ගෙ ගෙය තල්කොළ හා පිදුරු වැනි දේකින් වහලය සෙවිලි කර සාදා තිබුනි. ගෙට නුදුරින් තල්කොළවලින් අටවා වහලෙට අමුතු කොළ ජාතියක් දමා සාදා තිබූ කුස්සිය වැනි ගේ තුලින් දුමක් අහසට නගී..එයින්

අවට වටපිටාව අමුතුම සිරියක් ගත්තේය....

ගේ අවට වම්බටු, බණ්ඩක්කා, තිබ්බටු ගස්ලබු ආදී එළවළු හා පලතුරු වවා තිබිණි. වත්තේ එහෙමෙහෙ ඇවිදින කුකුළන් සඳහා තල්කොළවලින් සාදන ලද කුකුළු කූඩුවක්, වඩා උස නොමැති සියඹලා ගසක සාදා තිබුණේ රෑට කුකුළන්ට නිදා ගැනීමට යැයි මට සිතේ..... එම ගසේ ඇති කූඩූවට කුකුළන්ට නැගීමට ලීවලින් තනන ලද පුංචි ඉනිමගක්ද ඇත. ගේ අවට සිරි නරඹමින් අපි එම ගෙයි වත්ත මායිමේ, ඉනිවැට ළඟ සිටගෙන ගෙයි සිටින අයට කතා කළෙමු.


-සදුදාට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

4 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comentários


bottom of page