top of page
  • Writer's picturePrisila Godahewa

🌺🌺මට හිමි ඔබයි 🌺🌺

💞මට හිමි ඔබයි💞

(48 වන කොටස )

https://www.facebook.com/groups/2653780434897311/permalink/2765241577084529/

ඩක.... ඩක...... ග ගා එක දිගට වැනෙමින්, පැද්දෙමින් යන දුම්‍ රිය තුළ, නොනවත්වා ඇඟේ හැපෙමින් එහෙ මෙහෙ යන සුළං නිසා, ගමන් මහන්සිය තවත් දෙගුන තෙගුන කරයි. ඒ වගේම කෝච්චියේ ඇන්ජිමෙන්, නිතර හමා එන දුම් ගද නිසා මගෙ ඔළුවද රිදේ....


වටපිට ආසනවල වාඩි වි සිටින්නේ දෙමළ මිනිසුන් විතරමය....මේ සිංහල දෙමළ කෝළහාල කාළයක් බැවින් යාපනේ යන සිංහල මිනිසුන් නැතිම තරම්‍ ය. කෝච්චිය තුල සිටිනා දෙමළ මිනිස්සුන්ගෙ, වැඩි සද්ද කතා බහ නිසා, මගේ හිසරදය තවත් දෙගුණ තෙගුණ වේ...


රමේෂ්ගේ උකුලේ ඔළුව තියාන නිදාගන්නට හැදුවත්,

තෙහෙට්ටුවෙන් උන් මට පොඩි නින්දක් ගොස් නැවත ඇහැරිනි. එවිට මම ඇස් හැර, රමේෂ් දෙස බැලු කල, ඔහුද වාඩිවි සිටින ආසනයේ, පිටුපස ඇන්දට ඔළුව තියාන ඇස්පියාගෙන හිදිනවා දක්නට ලැබින.... මම නින්ද නොගියත්, රමේෂ්ගෙ උකුලේ, ඔළුව තියාන ඇස්පියාන සිටියේ, මහන්සි දැනුනත් සතුටිනි....


පැයකට විතර පසු ,දුම්‍ රියේ කවුළුවලින් ඇතුලට එන සුළං වල, වියළි උනුසුම් ගතියක් දැනුනෙන් , මම නැගිට දෑස් ඇර කවුළුවෙන් එළිය බැලුවෙමි ...


"ඔයා නැගිට්ටද...ඒක හොදයි ..

ඔයාට වටපිට බලන්නත් ඕනේ කිව්වනේ....?


"ඔව්..ඇගට උනුසුම් හුළං වැදෙනවා....වියළි දේශගුනයට ඇවිත් කියලා මට දැනුනා....මේ මොනාද රමේෂ් කෝච්චිය යන පාරේ දෙපැත්තේ තියෙන්නේ ....? කළුවරේ මම කවුළුවෙන් එලිය බළාන රමේෂ් ගෙන් ඇසුවෙමි.


"යාපනයේ යන පාර දිගටම ඔහොම තමයි ....ඔය දිගටම වෙරළ අයිනේ තියෙන්නේ වැලි කඳු...."


"වැලි කදු...ඒ මොනාද...?මේ කරුවලේ මට වැඩිය හරියට ඒවා පේන්නෙ නෑ..."


"ඔය වැලි කදු....ඕවා එක දිගටම, මුහුද අයිනේ බොහො ප්‍රදේශ වල තියෙනවා.... වැලි කඳු වලින් හා පිපිරුණු හුණුගල් තට්‌ටුවක් තමයි ඔය කලපු අයිනේ තැන්පත් වෙලා තියෙන්නේ ...."


"ඇත්තද...? මම අහල තියෙනවා යාපනේ වතුර හරි කිවුල් රහයි කියලා ...ඒ ඔය හුනුගල් තට්ටු නිසා වෙන්න ඇතිනේ...?"


"ඔව් රුවිනි ඒ නිසා තමයි .....වසර ගනනාවක් තිස්සෙ එකතු උන හුණුගල් තට්ටු වලින් තමා යාපන අර්ධද්වීපය ඇතිවෙලා තියෙන්නේ කියලත් කියනවා....."


"ඇත්තද...ඉතිං තව යාපනේ ගැන විස්තර කියන්නකෝ...."


"වසර 3000 කට පමණ පෙර ඉදන් යාපනයේ ජනාවාස තිබිලා තියෙනවා කියලා විශ්වාස කරනවා......."


"ශා...ඔයා හරි ලස්සනට පැහැදිලි කරන්න දන්නවනේ.....ඉතිං ..ඉතිං..තව විස්තර ටිකක් කියන්නකෝ ... ."


"යාපනයේ දකින්න තියෙන භූ දර්ශනය තුළ , ඉතාමත් සුන්දර දසුනක්‌ තමයි ඔය වෙරළ තීරය..... යාපනය වෙරළ කිලෝමීටර 1-2 තරම ප්‍රමාණයකට විහිද ඇත්තේ නොගැඹුරු මුහුදයි.... වහින කාලයට ගොඩබිමින් සෝදාගෙන එන, පස්, සමග ඇති ද්‍රව්‍ය වලින් කලපු පිරි යන නිසා, ඒ කලපු වල, ඉස්‌සන් හා නොයෙක් මාළු වර්ග හොදින් බෝවෙලා ජිවත් වෙනවා.....ඒ නිසා ධීවර කර්මාන්තය යාපනේ අයට හොද ආධායම් මාර්ගයක්..."


"අම්මෝ...ඔයා දන්න දේවල් ....මට හරි වැදගත් ඔය දේවල් ඉගෙන ගෙනම යාපනයට යන්න ලැබෙන එක..."


"අපි කවුරු උනත් තමන් ඉපදුන රට...දැනට ජීවත් වන රට ගැන තොරතුරු, ඒ රට නිර්මාණය උන විදිහ, රටේ අතීත තොරතුරු , , පුරා විද්‍යාව ගැන තොරතුරු දැනගෙන සිටිම හරි වැදගත් ..යාපන අර්ධද්වීපය මගේ උපන් බිම නිසා මම ඒවා දැනගෙන ඉන්නේ හරි ආසාවෙන් ..."


"ඇත්තටම කවදහරි අපි දෙන්නගෙ ළමයින්ටත් ඕවා අපට කියලා දෙන්න පුලුවන් නේද රමේෂ් ...."


"ම්ම්..."


"ඔව් ඔයාට මම පස්සේ ඒ දේවල් කියලා දෙන්නම්කෝ..."


"පහුගිය කාලවල උතුරේ සිදුවුන සිදුවීම් එක්ක අපි මේ මන්නාරමට යන ගමන උනත් අවදානම් නැද්ද රමේෂ් ....?"


"නෑ මන්නාරම සාමාන්‍ය විදිහට එදිනෙදා දේවල් සිද්ද වෙනවා....උතුරේ දෙමළ ත්‍රස්තවාදීන් කොටසක් තමයි ඔය ඉද හිට යාපනේ එහෙ මෙහේ කැලෑවල පදිංචි වෙලා ඉදගෙන ඔය කළබල ඇතිකරන්නේ...ඒ ගැන අපි බයවෙන්න දෙයක් නෑ....අපි අපේ පාඩුවේ රස්සාව කරගෙන හිටියම හරි..."


"මම සිංහල කියන එක ප්‍රශ්නයක් වෙයිද...රමේෂ් එහේ ගිහාම ...?


"අපි දෙන්නා, මගේ දන්න කියන කවුරුත් නැති පැත්තක පදිංචි වෙන්න යන්නෙ ඒකයි....අපේ නෑදෑයෝ වැඩිපුර ඉන්නේ වවුනියාවේ ..., මේ මන්නාරමේදි ඔයා දෙමළ කෙනෙක් විදිහට හැසිරුනාම අපට ප්‍රශ්නයක් වෙන එකක් නෑ..."


"ඔයා මාත් එක්ක ඉන්න කම් මට බයක් නෑ රමේෂ් ...කොළඹ ඉන්නවට වඩා මට බයක් සැකක් නැතුව මන්නාරමේ ඉන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා......"


අප කොළඹ සිට ආ යාපනේ යන දුම්රිය , මන්නාරම් දුම්‍ රිය නැවතුමට එන විට හොඳටම රෑ බෝ වී තිබිණි.


“ සෙල්වම් අපට ඉන්න ලෑස්ති කල ගෙස්ට් හවුස් එක කොයි පැත්තෙද දන්නේ නෑ තියෙන්නේ ...

? මම වටපිට බලමින් රමේෂ්ගෙන් ඇසුවෙමි.


“ නිත්‍යා දැන් ඔයා දෙමලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි මාත් එක්ක කතා කරන්න ...අපි දැන් ඉන්නේ මන්නාරමේ...."රමෙශ් මට ඉංග්‍රීසියෙන් කීය.


"අපි දැන් ගොඩක් රෑ වුණු නිසා ටැක්සියකින් ගෙස්ට් හවුස් එකට යමු....".


“ඔව්, ඒක නම් හොඳයි. අපි දන්නෑනේ හරියට පාරවල්වත්, මේ රෑ හොයාගන්න ...එහෙනම් අපි ටැක්සියක් ගමු..."


“වාංග, වාංග, තම්බි .....කොහාටද යන්න් ඕනේ...?(දෙමළෙන් )

කුලී රථ ගාලේ නවතා තිබුන වාහන දෙකක හිටි මිනිසුන් දෙදෙනෙක් , රමේෂ් සමග කතා කළේ දෙමළෙනි. වාහන දෙක තුනකට වඩා නොතිබුණු කුලී වාහන රථගාල පිහිටා තිබුණේ මන්නාරම් දුම් රිය නැවතුම්පල ආසන්නයේමය. එහි තිබූ ඉබ්බා හැඩැති කුලී කාර් තුනේම හිටියේ බොහෝ කළු පැහැති දෙමළ ජාතිකයන්ය.


ඔවුන් රමේශ් සමඟ දෙමළෙන් කතා කරන දෙස මම බලා සිටියේ තැතිගැන්වය ... ඔවුන් කතා කරනා දෙමළ වචන සමහරක් මට තේරුම්ගත හැකි විය. ඒවා සරෝජලාගේ ගෙදර නැවති සිටි මාසයේම මට නිතර ඇසුණු වචනය. සරෝජා වචනවල තේරුම් මට කියාදී තිබීම... මට අද සිට ඉස්සරහටත් ගොඩක් වැදගත් වේ යැයි සිතේ.... රමේෂ් පෙන්වූ තානායම් ලිපිනය බලපු ගමන්ම, වාහන දෙකේම මිනිස්සු අත්වලින් ඈත පෙන්වමින්, පාර කියමින්, ඔවුන්ගේ වාහනවලට ගොඩවන්නට කීය.


“නිත්‍යා අපි මේ වාහනෙන් ගෙස්ට් හවුස් එකට යමු...."


රමේෂ් මට රුවිනි නොකියා නිත්‍යා කියා අමතයි....ඔහු මා සමග දෙමළෙන් කතා කළේ කුලී රථ ගාලේ හිටිය මිනිසුන්ට ඇහෙන්නත් එක්කය.


මම හරියටම දෙමළ කතා කිරීමට පුරුදු නැති නිසා ඔළුවෙන් හොඳයි කියමින් කුලී රථය ළඟට ගොස් එයට නැග ගතිමි.


මන්නාරමට එන්න ලෑස්ති වෙද්දී... කොළඹ හෝටලයට අපි රැගෙන යන්න ආ සරොජා දුන්, කරට දාන ශෝල් නම් දිග රෙදිකඩ මම කරේ දමාගෙන සිටියේ රමේශ්ගෙ අනුදැනුම මතය.... මගේ කරේ ඇති තාලිය වගේම, රමේශ් මගේ හිස්මුදුනේ හා, නළලේ අද උදේ ගෑ රතුපාට සින්දූර් කුඩු හා රතු මොට්ටුව නිසා දැන් මගේ දෙමළ පෙනුම, මන්නාරමට හොදටම ගැලපෙයැයි සිතේ...


වාහනයට නැගපු රමේෂ් මට නිත්‍යා කියමින් නොයෙක් දේ දෙමළෙන් කියයි. මට ඔහු කියන දේ එහෙන් මෙහෙන් තේරෙයි.... දෙමළ මිනිසුන් සිටින ප්‍රදේශයකට අප ඇවිත් ඇති බැවින් ඒ මිනිසුන්ට ගැළපෙන විදියට ,දැන්ම රමේෂ් ජීවත් විමට සැරසේ....


පසුව රමේෂ් ඉංග්‍රීසියෙන් මට අපි යන එන ගමන ගැන විස්තර කළේය. පාසැලේදි උවමනාවෙන් ඉගෙන ගත් ඉංග්‍රීසි භාශාව, රැකියාවට ගිය පසු බොහෝ උනන්දුවෙන් මා ඉංග්‍රීසි ඉගෙන ගනිමින් කතා කරන්නට ගත් උත්සාහය දැන් ප්‍රයෝජනවත් වි ඇත.


අපව මන්නාරමේ තානායමට බැස්ස වූ කුලී රිය නොපෙනී ගියේය.


“ මේ ගෙස්ට් හවුස් එක වැඩිය සෙනඟ නැති තැනක් වගේ යං ඇතුළට...."

රමේෂ් සහ මම තානායම තුළට ගොස් එහි කළමනාකරුවා යැයි සිතිය හැකි පුද්ගලයෙකු සමඟ කතා කෙරුවෙමු. ඔහු අපව තානායමේ අපට නියමිත කාමරය වෙත රැගෙන ගියේය.


ගෙස්ට් හවුස් එකක් යනුවෙන් හැදින්වුවාට, එය විශාල ගෙයකි. දුරබැහැර පළාත්වල සිට යාපනයට එන්නන්ට නවාතැන් පහසුකම් දෙන්න ලෑස්ති කර තිබූ තැනකි.


“රෑට කාලාද මහත්තයලා ආවේ...? ඔහු රමේෂ්ගෙන් දෙමළෙන් ඇසීය.


“නෑ මොනවා හරි රෑට අපි දෙන්නට කන්න තිබුනොත් හොදයි ... .... අපි කෝච්චියෙන් බැස්ස ගමන් කෙළින්ම මෙහෙට ආවා...".


“එහෙනම් මහත්තයලා කාමරයට ගිහින් නාගෙන කරගෙන එන්න. මං මොනවාහරි කෑමට ලෑස්ති කරලා තියන්නම්..."


“ආ ඒක හොඳයි...අපිට ගොඩක් මහන්සියි, බඩගිනියි ....අපි ඉක්මනට එන්නම්...."


සුළු සේවකයන් කවුරුත් නැති ගෙස්ට් හවුස් එකේ කළමනාකරු සිටියේ ඔහුගේ බිරිඳ සමඟය..

.. ඔවුන් දෙදෙනා අපට කෑමට යමක් ලෑස්ති කරන්න කුස්සියට ගිය බව පෙනින.


ඒ අතර, අප දෙදෙනා කාමරයට ගියේ උදේ ඉඳන් කෝච්චියේ ඇවිත් ඇඟෙ තිබූ තෙහෙට්ටුව ,ගමන් මහන්සිය හා නිදිමත සමගය.


කෝච්චියේ දුම්ගඳ , දැඩි රස්නය, සෙනග ගොඩේ ඇවිත් තිබු නිසා, දහඩිය දමා හොඳටම අපහසුවෙන් සිටීම, ඉක්මනට අප දෙදෙනාට ඇගපත සෝදා ගෙන පිරිසිදු වීමේ අවශ්‍ය තාවය තිබින.


“එහෙනම් රමේෂ් ඔයා ඉක්මනට නාගෙන එන්න.... මං පස්සේ හෝදගන්න යන්නම්...."


“ඒක හොඳයි. මට වැඩි වෙලා යන්නෑ. ඔයාට තමයි ඉක්මනට නාගන්න බැරි....


රමේෂ් නාන කාමරයට වැදී නාන්ත පටන් ගත් අතර, මම අපේ ඇඳුම් බෑගයෙන් එළියට ගෙන තැබුවෙමි. අප පෙර දින රෑ නැවතුණු හෝටල් කාමරයත් එක්ක බලන විට මෙය ඉතා සරල කාමරයකි. ඇඳක්, පොඩි මේසයක්, ඇඳුම් එල්ලන බෝල කූඩුවක් පමණක් මුළු කාමරයට ඇත..

බිත්තියේ සවිකර තිබූ ෆෑන් එක නොනවත්වා කැරකෙයි. මේ පළාතේ ඇති රස්නෙන් බේරෙන්න එය ලොකු උපකාරයකැයි මට සිතේ..


අපි දෙදෙනා මහරෑම නාගෙන පිරිසුදු වී සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන කෑමට ගියෙ...

.. දවල් සිට කෝච්චියේ පැමිණීම නිසා ඇති වූ අධික තෙහෙට්ටුවත් , දැඩි කුසගින්නත් හේතුවෙනි.


“එන්න මහත්තයා. කලබලේට වැඩිය මුකුත් හදාගන්න බැරි වුණා.... රොටී, ලුණු මිරිස් හා වම්බටු කරියක් තමයි තියෙන්නේ. ඔවුන් දෙමළෙන් කියන දේ මට හොදින් තේරේ...රමේෂ් හරි හරියට ඔවුන් සමග දෙමලෙන් කතා කරන දෙස මම ආසාවෙන් බලා උන්නෙමි .


“ආ ඒකට කමක් නෑ, හොඳටම බඩගිනි හින්දා මොනවා වුණත් කතහැකි.....

අපි දෙදෙනා වම්බටු කරියත් සමඟ රොටී කෑවෙමු. වම්බටු කරියේ අමුතුම තෙල් රසක් ඇතැයි මට සිතේ.... සමහර විට වම්බටු කරිය තලතෙල් දාමා උයා ඇති බව මට වැටහුනි. මා දැන් මේ කෑමවලට පුරුදු විය යුතුය. ගෙදරින් පිටවි ආදා පටන්...අම්මා හදන පොලොස් ඇඹුල, කිරිකොස් මාළුව, පොල්සම්බෝල , පරිප්පු තෙම්පරාදුව ,කෑම කන්න යන හැම මොහොතකම මගේ මතකයට එයි...

මට හොඳටම බඩගිනි නිසා බඩ පිරෙන්න රොටී කෑවේ ලුණුමිරිස් හා වම්බටු හොදි ඩිංගක් සමඟය. වෙලාවේ හැටියට එයත් හොඳටම ප්‍රමාණවත් විය.


අප දෙදෙනා කෑම කා සැනින් කාමරයට ගියේ ඇස් පියවෙන තරමට ඇති නිදිමත හා මහන්සිය නිසාය.


මන්නාරමට ගොඩ බැස්ස මොහොතේ පටන් මගේ හිතේ නොයෙකුත්

බලාපොරොත්තු වලින් පිරී ගොස් ඇත....මා මෙන්ම රමේෂ් ගෙ හිතේද එසේ වන්නට ඇත. අපේ අනාගතය කොයි වගේ වෙයිද? ඒවාට අප මුහුණ දෙන්නේ කොහොමද? අප දෙදෙනා අතර ඇති සිංහල දෙමළ නොගැලපීම නිසා, ඉස්සරහ කාලේ සමහර විට ඇතිවිය හැකි නොයෙකුත් ප්‍රශ්නවලින් අපේ හිත් සැකයකින්, බයකින්ද පිරී ඇත. නමුත් දෙදෙනාගේම හිතේ ඇත්තේ ,අප දෙදෙනාට එකට එකතුවෙන්න ලැබුනු සතුටයි..... අප දෙදෙනාට එකට එක්වීමට ලැබීම වගේම කොළඹින් ඈත් වී මෙවැනි ප්‍රදේශයකට එන්න ලැබීම අප දෙදෙනාටම සතුටක් විය... අප දෙදෙනා දන්න කියන කිසිම කෙනෙක් නැති පළාතක ජීවිතය අලුත් පටන් ගන්න ලැබීම ලොකු දෙයක් ලෙස මට පෙනේ.... මට ඕන අම්මා, බාප්පා, අක්කා, සුපුන්ගේ නෑදෑයෝ හැමෝගෙන්ම ඈත්ව, රමේෂ් පමණක් සිටින තැනක තනියම ජීවත් වෙන්නට ය. එය අද දින සාර්ථක වී ඇත. මගේ හිතේ තිබුණු බලාපොරොත්තුවලින් බොහොමයක් ඉටු වී ඇතැයි යන අහිංසක සිතුවිල්ලෙන් යුතුව මම රමේෂ්ගේ පපුව මත හිස හොවා ඔහුට තුරුලු වී නිදාගන්නට පටන් ගත්තාය.


-හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

6 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page