top of page
  • Writer's picturePrisila Godahewa

🌺🌺මට හිමි ඔබයි 🌺🌺

💞මට හිමි ඔබයි💞

(46 වන කොටස ) 🌺🌺දෙවන කොටසේ ආරංභය.🌺🌺https://www.facebook.com/groups/2653780434897311/permalink/2760427204232633/

අවුරුදු තුනකට කිට්ටු කාලයක් පුරා තිබු අපේ ආදර සම්බන්ධය..... ,නොයෙකුත් කරදර, බාදක, හිත් රිදීම් ඇතුළුව අටලෝ දහමට යටත්ව ගෙවි ගිය කාලය තුල.....ඒ සියල්ල හමුවේ නොබියව, නොසැලී, අනාගත සුභ සිහින දකිමින් අද දින තෙක් අප දෙදෙන ආ ගමන ගැන .....මට නම් ඇතිවි ඇත්තේ විශ්මයකි.... නමුත් ජීවිතයේ යම්කිසි දෙයක් ජයගැන්මට අවශ්‍ය නම්, නොබියව නොසැලී ගන්නා තීරණ තුළින් ජයෙන් ජයම ලබාගත හැකිබව නම් මට පසක්වි ඇත.


ඊයේ දින හින්දු කෝවිලක, දෙවියන් ඉදිරියේ විවාහ දිවියට ඇතුලත් උන මාත් රමේශ්ගෙත්, කලක සිට තිබු ආදර සිහිනය සැබෑ කරගන්නට අප දෙදෙනා උන මහන්සියේ ප්‍රතිඵල, සිතුවාටත් වඩා හොදින්, ඉක්මනින් ඉශ්ට සිද්දවී, ඊයේ දින එය මල්ඵල ගැන්වි‍ය...එයින් සතුටට පත්ව,අද දින මා ඇහැරුනේ බොහෝ ප්‍රබෝධමත්වය .....


පසු ගිය දින ඉතා ආදරනීය ලෙස ආරංභ උන අපේ මංගල රාත්‍රීය.....ආදරනීය ලෙස ගෙවි ගොස්,..

අද දින සිට,....අපේ අනාගතය, ආදරණිය යුවළක් ලෙස දුක් කම්කටොලු ජය පරාජ මැදින් විවාහ දිවිය ගතකරන්නට, අලුත් දිනයකට ....තවත් දිනයකට හිරු උදාවි ඇත.


පාන්දර මා නැගිට්ටේ බොහෝ ප්‍රබෝධමත් සතුටකිනි....අප නිදාසිටින කාමරය පුරා.

... ඊයේ රාත්‍රීයේ සිට තවමත් නැවුම් මල් සුවඳ පැතිර යයි.... . ඊයේ රෑ අපේ යහන වැසෙන්නට සරසා තිබූ නැවුම් මල්මාලා තවමත් එලෙසම ඇත....


රමේෂ් මගේ ඇඟ වටා අතක් දමාගෙන තවමත් නිදිය. මට ඔහු ගැන ඇත්තේ දුකකි... මා නිසා කොයිතරම් නම් ඔහු, පසුගිය කාලවල, හිතින් ගතින් දුක් විදින්න ඇත්ද....? කෙසේ නමුත් දැන් ඒ සියලු දුක් කරදර ඉවර වී අප දෙදෙනා එක තැනකට විත් සිටිම, කොයිතරම් නම් සතුටුවන්නට කාරනයක්ද..... මා දැන් ඔහුගේ වී හමාරය. මට පෙර දින රෑ පුරාවට අප අතර සිදු වූ සියලු සිදුවීම් සිහිපත් වී දැනුණේ ලැජ්ජාවක් මිශ්‍ර විශාල සතුටකි. මා ලග තවමත් සැහැල්ලුවෙන් නිදාසිටිනා රමේෂ්....

හෙමිහිට හුස්ම ගන්නා හඬ ඇසේ.... මම නෙත් නොපියා ඔහු දෙස ආදරයෙන් බලා හුන්නෙමි ... දැන් මාගේ සැමියා වූ රමේෂ් කොයි තරම් හොඳ ගතිගුණ, අදහස් තියෙන පුද්ගලයකු දැයි මට සිතේ...

ඉතා හොද කඩවසම් , ශක්තිමත් ආදරවන්තයකු වු ඔහු , අද දින මගේ සැමියා වි මා ලඟ නිදා ඉන්නා අයුරු .......

උදේ පාන්දර මා වේලාසන ඇහැරී.... ,ඔහුගේ බරැති නිරුවත් දෑතට යටවී හිදිනා ගමන්,ඔහුගෙ මුහුණ දෙස බලමින් සිටියේ නිසොල්මනේය. මගේ ඇඟේ සෙළවුමකට වත් ඔහු ඇහැරෙයි කියා බයේ, සිටි විදිහටම එලෙසම සිටියෙ ඔහු ගැන මගේ හිතේ ඇතිවි උතුරා ගලා යන ආදරයෙනි ....


“මොනවද මගේ දිහා බලන් ඉන්නේ....?


“ආ හොරා වගේ ඉන්නවානේ..... මං හිතුවා නිදි කියලා...."


“නැගිටින්න හිතෙන්නේ නෑ....කම්මැලියි..

මහන්සියි, සතුටුයි ඔක්කොම ..... මෙහෙමම ඉන්න හිතෙනවා රුවිනි ....."


“එහෙම බෑ.... අද අපි රෑට මන්නාරම් යනවානේ.... තව ටිකකින් සරෝජයි, සෙල්වමුයි එයි අපිව එක්කන් යන්න. නැගිටලා ලෑස්ති වෙන්න ඕන නේද...මට නම් කොළඹ දාලා කොහේ හරි කමක් නෑ ඈතකට යනකම් ඉවසිල්ලක් නෑ...මම හිටියට ඉන්නේ බයේ...?


“ඒක නම් ඇත්ත. මටත් එහෙමයි...හැබැයි කම්මැලියි නැගිටින්න. තව නිදාගන්න හිතෙනවා...."


“තව ටිකකින් හොටෙල් එකේ උදේ කෑම ඉවරවෙයි....ඒ නිසා අපි මූණ හෝදගෙන කාලා එමු...."


අප දෙදෙනා මූණකට සෝදාගෙන, ඇඳගෙන හෝටලයේ කෑම ශාලාව වෙත ගියේ උදේ ආහාරය ගැනීමටය. අප එහි ගිය කල, සුදු ඇදගත් වේටර් වරයකු පැමිණ අපට උදේ ආහාර පිළිගැන්විය.


“හොඳට බඩ පිරෙන්න කන්න. අපි මන්නාරම් යන්නෙ කෝච්චියෙන්නේ..... අතර මගින් ලොකු කෑමක් ගන්න වෙන්නෙත් නෑ....."


“මට නම් මේ හැඳිගෑරුප්පුවලින් කාලා පුරුදු නෑ රමේෂ් ..."


“හැඳිගෑරුප්පු පැත්තකින් තියලා අතින් අනාගෙන කන්න... අත හෝදන්න වතුර කෝප්ප ඉල්ල ගන්න පුළුවන්...."


අපි දෙදෙනා ඉඳිආප්ප, කිරිහොදි, මාළු හොදි, පොල්සම්බෝල රස බලමින් හොඳින් බඩ පිරෙන්නම කෑවෙමු.


“එහෙනම් අපි කාමරයට ගිහින් ඇඳගෙන ඇඳුම් බෑග් එහෙම ලෑස්ති කරගෙන පල්ලෙහාට එමු...."


“ ඔව්,තව ටිකකින් සරෝජලා හෝටලයට ඒවි.... ඊට කලින් අපි පල්ලෙහාට යමු...."

දෙදෙනාම පහසු ඇඳුම්වලින් සැරසී හෝටලේ විසිත්ත කාමරයට වී සිටියේ සරෝජලා අප දුම්රිය නැවතුම්පොළ දක්වා රැගෙන යන්න එනවා කිව් බැවිනි......


රමේෂ් විසිත්ත කාමරයේ එදින පත්තරය බලමින් සිටි අතර, මම හෝටලයේ අවට සිරි නරඹමින් සිටියෙමි.


මීට මාසයකට විතර උඩදී මා බෙලිහුල්ඔය තානායමට සුපුන් සමඟ ගිය ගමන සිහි විය.... සුපුන් නාන කාමරයට ගිය විට මා කාමරයෙන් එළියට විත් තානායමෙන් පැන ගිය හැටි, ඒ යන අතරමග සිදු වූ සියලු සිදුවීම් චිත්‍රපට පෙළක් සේ මගේ මතකයට නැගිණි.


“මොනවද කල්පනා කරන්නේ අලුත් මනමාලි....?

සරෝජා මා ලඟට එනකම්ම මා දැක්කේ නැති හැටි...


“ආනේ..., ඔයගොල්ලො ආවද..? රමේෂ් සරෝජලා ඇවිත්....මම රමේශ්ට කතා කලේ තවමත් විසිත්ත කාමරයේ පත්තරයට හිස ඔබා සිටින ඔහු දෙසට යන ගමන් ය.


“කොහොමද, කොහොමද...ඉතිං . ඊයේ රෑ දෙන්නට සනීපෙට නින්ද ගියාද..? සෙල්වම් විහිළු කරමින් අප ළඟට ආවේය.


“අපි යමුද හොදටම දවල් වුණා...? කෝචිචිය තියෙන්නේ හවස 2 කට.. අපට කොළඹ කොටුවටම යන්නත් ඕනනේ..."


“හරි අපි ලෑස්ති වෙලයි ඉන්නේ... යමු එහෙනම් ..."


අපි දෙදෙනා අපේ ඇඳුම් බෑග් දෙකත් රැගෙන සරෝජලා සමග ඔවුන් ඇවිත් තිබු කුලී රියට නැග්ගෙමු.


“ඔයගොල්ලො මන්නාරමට යනකොට හොදටම රෑ වෙයි.... මං දවල්ට කන්න ඔය දෙන්නට උළුඳු වඩෙයි, පරිප්පු වඩෙයි සම්බෝල පාර්සලයකුයි අරගෙන ආවා.... වතුර බෝතලයකුත් තියෙනවා...අතරමගට කන්න මුරුක්කු කඩලත් තියෙනවා ....පැය ගානක් යන ගමනක්නේ......"

සරෝජා කීවාය.


“ඔව් ඔව්, කෝච්චියේ යනකොට අතරමගදී මුකුත් කන්න එපා. මන්නාරමේ ටවුමේ ,ඔය දෙන්නට අපි බුක් කරපු ගෙස්ට් හවුස් එකටම ගිහින් රෑට කන්න...."


“අපි දවස් තුනක් මන්නාරමේ ගෙස්ට් හවුස් එකේ ඉන්න ගමන් අපට ගෙයක් කුලියට හොයා ගන්නත් ඕනේ, එන සුමානෙ මගේ වැඩ පටන් ගන්නවානේ මන්නාරම් දිස්ත්‍රික් කාර්‍යාලයේ ...."


“ඔයගොල්ලන්ට ගෙයක් හොයාගන්න අමාරු වෙන්නේ නැහැ. මං අර කිව්ව මගෙ මාමගෙ පුතාගෙ ඇඩ්‍රස් එක හොයාගෙන ගිහිල්ලා එයාව හම්බ වෙන්න. එයා උදවු කරයි...."


“ඔය දෙන්නට කොහොම ස්තුති කරන්නද මන්දා, සෙල්වම් ,සරෝජා .... අමාරුවේ වැටුණු අපි දෙන්නට... කරපු උදවුවලට දෙන්නටම බොහොම ස්තුතියි.... බොහොම පිං....මාව මාසෙකටත් වැඩිකාලයක් බලාගත්ත සරෝජා, මට මගේ අක්කා කෙනෙක් වගේ...."


“හරි අපි ස්ටේෂමට ආවා.... එහෙනම් දෙන්නත් එක්ක පරිස්සමින් යන්න....ඒ වගේම ගොඩක් පරිස්සමින් දෙන්නත් එක්ක ඉන්න... සුබ ගමන් ඔය දෙන්නට...."


"රුවිනි මේ ශෝල් එක මන්නාරමෙන් බැස්සට පස්සේ , ඔයා කරට දාගන්න...ඔය නළලේ තියෙන රතු මොට්ටුව හොදට පේන විදිහට ආයෙත් තියා ගන්න.... එතකොට කාටවත් ඔයා සිංහල කියලා අදුනගන්න බැරි වෙයි..."


වාහනයෙන් අපව බැස්ස වූ සරෝජා හා සෙල්වම් අප දෙදෙනා වැලඳගෙන සුබ පැතූහ.


“එහෙනම් දෙන්නත් එක්ක යන්න. කෝච්චියට දැන් වෙලාවත් හරි ඇති...."


“එහෙනම් අපි යනවා. දෙන්නටම බොහොම ස්තුතියි කරපු උදවුවලට..."


සෙල්වම්ට හා සරෝජාට මම නැවත, නැවත ස්තුති කලෙමි. අප දෙදෙනා පසුව ගියේ කොටුවේ දුම්‍ රිය නැවතුම ඇතුලතටය..... අපට වේලාසන මන්නාරමට යන්න ටිකට් පත් මිලදිගෙන තිබුනේ සෙල්වම්ය.... ඒ නිසා අපි දෙදෙනා කෙළින්ම එහි ඇතුළට ඇතුලතට ගියෙමු.


“කොහොම ස්තුති කරත් මදි ඒ දෙන්නට.... . හරිම හොඳ දෙන්නෙක්...."


“ඒක තමයි මාව බලාගත්තේ අක්කා කෙනෙක් වගේ... මාසයකට කිට්ටු කාලයක් එයාලගේ ගෙදර ඉන්නකොට මට කොච්චර දේවල් සරෝජා ඉගැන්නුවාද....? උයන්න, පිහන්න, මහන්න, ගොතන්න. ඇයි මට දෙමළ ලියන්නත් ඉගැන්නුවානේ... මට දැන් දෙමළ හොඳට තේරෙනවා. ටිකක් දෙමළෙන් කතා කරන්නත් පුළුවන්.... නටන්නත් පුළුවන්..

... මම සිනාසී කීවෙමි.


“ ඔයාටදෙමළෙන් කතා කරන්න පුළුවන් නම් ඒක හරිම වටිනවා රුවිනි... . අපි යන පැත්තේ වැඩිපුර ඉන්නේ දෙමළ අයනේ... ඒ නිසා දෙමළ භාශාව ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වේවි...."


අපි දෙදෙනා කෝචිචියට නැග අපට නියමිත ආසන දෙකේ වාඩි වුණෙමු. වැඩි වේලාවක් නොගොසින්ම කොළඹ සිට මන්නාරම හරහා යාපනය බලායන දුම්‍ රිය දඩ දඩ...ගොස, ගොස, ගා හූ කීයගෙන ගමන් ආරංභ කලේය.


කෝච්චිය පුරාවට බොහෝ සිටියේ හින්දු ජාතිකයන්‍ ය.... ඔවුන් බොහෝ බඩු මුට්ටු අතින් කටින් රැගෙන කෝච්චියට ගොඩවී ඇත. ....මම රමේශ්ගෙ අතින් අල්ලාගෙන කෝච්චියේ කවුළුවක් අද්දර වාඩිවී එයින් එළිය බලාගෙන උන්නේ සතුටිනි.


මීට අවුරුදු ගන්නාවකට උඩදි අම්මයි අක්කයි, බාප්පයි එක්ක කෝච්චියේ කොළඹ ආහැටි මට සිහි විය. අද දින මම රමේෂ් එක්ක, අපේ අලුතින් ආරංභ උන විවාහ දිවියත් සමගම කොළඹ අතහැර මන්නාරම බලා යන හැටි....


-හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

2 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Commenti


bottom of page