top of page
  • Writer's picturePrisila Godahewa

🌺🌺මට හිමි ඔබයි 🌺🌺

💞මට හිමි ඔබයි💞

(44 වෙනි කොටස)

https://www.facebook.com/groups/2653780434897311/permalink/2758341644441189/

මහරගම හංදියේ අප එන පෙරමගට, ඈතින් හෙමිහිට ඇවිද එමින් සිටියේ මගේ අම්මයි බාප්පායි....ඔවුන් දුටු වහා මම රමේශ්ට මුවා වී සිටි තැනින් ඉවත්වී..., රමේෂ් අතහැර, විගහට ලඟ තිබුනු කඩයක් තුලට දිවගොස් එහි රාක්කයකට මුවා වුවෙමි. මගේ පපුව තදින් ගැහේ...මම ඉන්නේ කොහේද කියා මට අමතකව ගොස් ඇත. රාක්කයට මුවාවි මම හොරෙන් සාප්පුවේ ඇතුල්වීමේ දොරටුව දෙස බලා උන්නේ ඉහෙන් කනින් දාඩිය වැක්කෙරෙද්දීය.... සාප්පුවේ ඇතුල්වීමේ දොරටුවෙන්, රමේෂ් හා සරෝජා ඇතුළු උනු කල මගේ බය ටිකක් තුරන් විය...


"ඇයි රුවිනි ඔයා දුවගෙන මේ කඩයට රිංගුවේ ..."?


"ඇයි දැක්කෙ නැද්ද ඔයා..., අපේ අම්මයි බාප්පයි...? ඒ දෙන්නා ඇවිදගෙන අපේ ඉස්සරහට ආවේ..."


"මම නම් ඔයාගෙ අම්මව අදුනන්නේ නැති නිසා දැක්කෙ නෑ..." සරොජා කිය.


"මම ඉස්සරහට ආව දෙන්නව දැක්කා....මට අදුනගන්න බැරි උනා...එදා මාව පාරේ බිම දාගෙන ඔයාගෙ බාප්පා ගැව්වට මට එයාව හරියට අදුනගන්න බෑ... අපේ ඉස්සරහට ඇවිදගෙන ආපු ඒ දෙන්නා ...අපිව දැක්කේ නෑ...දිගටම ඒ දෙන්නා ඇවිදගෙන ගියා..."


"අපි ඉක්මනට මෙහෙන් යමු රමේෂ් ....ආයෙත් කොහේදි හරි අපට අම්මලා හම්බුනොත්..."


තවමත් අම්මා දැක බයෙන් වෙව්ලමින් සිටි මා කීය.


"එහෙනම් ඉක්මනට පාරට එන්න....අපි ටැක්සියක් අල්ලාගෙන ගෙදර යමු..." සරෝජාද බය වි ඇත.


කෙසේ හෝ නැවත කූළී රියක නැග අප ගෙදර බලා ආවේ සැකෙන් බයෙනි.... අම්මයි බාප්පයි කඩ පේලිය දීගේ ඇවිද එමින් හිටි හැටි මගේ දෙනෙත ඉදිරියේ මැවි පෙනෙන්නට විය. අම්මා වෙනදාට වඩා ඇදී ගොස් ලෙඩ පාටක් ගෙන තිබීම නිසා මට ඇතිවුනේ දුකකි... මම කල නරක වැඩේ නිසා, මම නැති දුකෙන් ඇය ඒ ගැන කළකිරිමෙන් හිදින බව ඈ දුටු පොඩි මොහොතට මට පෙනෙනු හැටි.....මට අම්මා ගැන ලොකු දුකක් ඇතිවුනි. හෙට දිනයේ හොර රහසේ කසාද බදින්න ඉන්න මම ,නොසිතු මොහොතක අදම අම්මා දුටු හැටි හිතා ගන්නට බැරිවිය. මට ඇය ගැන ඇතිවුනේ ලොකු දුකකි...තාත්තා නැති වු කල අක්කත් මමත් ඇස් දෙක මෙන් හදාවඩා ගෙන, කොළඹ රැගෙන විත් හොදින් උගන්වා අප හොද තැනකට ගේන්න මහන්සි උන අම්මාගේ හිත කඩා බිද දා, ඇගේ බලාපොරොත්තු සුනු විසුණු කර මා හෙට දින ඇගේ අකමැත්තෙන්, දමිළ ජාතිකයකු කසාද බදින්න ලෑස්ති වෙන හැටි...මට අම්මා ගැන දුකක් මෙන්ම මා ගැන කේන්තියක්ද ඇතිවී දෑසින් කදුළු පැන ඉකිගැසී ඇඩෙන්න විය....මම දෑතින් මුහුණ වසා අඩන කල සරෝජා හා රමේෂ් කිසිත් නොකියා මට ඇති තරම් අඩන්න දී පසෙකට වී සිටියාහ.


මහරගමට ගොස් මට අවශ්‍ය කරන ඇඳුම් පැලඳුම් පමණක් නොව ගෙදරට උවමනා කරන දෑ ද අපි ගෙදර ගෙනාවෙමු. ගෙදරට අවශ්‍ය කරන කෑම බඩු ගන්නා විට සරෝජා එයට විරුද්ධත්වය පෑවාය.


“පිස්සුද ඔයගොල්ලන්ට ගෙදරට බඩු ගන්නේ...?


“ඒ වුණාට මම දැන් මාසයක් තිස්සෙ මෙහේ ඉන්නවනේ...සරෝජා "


“ඒ වුණාට මේ වගේ වෙලාවකට යාළුවන්ගෙන් උදවුවක් නැත්නම් මොකටද...?අපි මේවා බලාගෙන නෙමේ ඔයගොල්ලන්ට උදව් කලේ..."


"ඒක දන්නවා අපි....ඒ උනාට කමක් නෑ හිත සන්තෝසෙන් ගෙනාපු දේවල්නේ..."


"රුවිනි සෙල්වම් ගෙදර ඇවිත්...මම අපේ වැල්ලවත්තේ නැන්දලාගෙ ගෙදර දැන් සෙල්වම් එක්ක යන්න ඕනේ... ඔය ඇඩුම නවත්වලා මුහුණ පිහිදගෙන ඉන්න..."


"රමේශ් ඔයා රෑට කාලා යන්න..."


"නෑ සරෝජා ...අද රෑ අපේ ගෙදර කට්ටිය ඔක්කොම ,නැන්දලාගෙ ගෙදර ඇවිත් ඇති...ඒ නිසා මම එහේ ගිහින් කන්නම්...මම අද රෑට එහේ නවතිනවා....හෙට හවසට අපි කෝවිලේදී හම්බවෙමු..."


"එතකොට ඔයාගෙ නංගි... රුවිනිට හෙට අන්දවන්න හවසට කා එක්කද එන්නේ..."?


"මම වාහනයක එයාව දවල්ට එවන්නම්...ඔයගොල්ලෝ ඔක්කොම ඊට පස්සෙ මෙහේ ඉදන් හවසට කෝවිලට එන්න..."


“ රමේෂ් ....අපි ඊට පස්සෙ කොහේද... කෝවිලේ චාරිත්‍ර ඉවරවුනාට පස්සෙ රෑට යන්නේ..."


“ අපි ඊට පස්සේ බෙලිහුල්ඔය යමුද...?


රමේෂ් විහිළුවට ඇසුවද, මට සුපුන්වව මතක් වී දුක සිතිණි....

ඒ මනුස්සයා මං හින්දා කොච්චර දුක් වෙන්න ඇත්ද?.... මට තිබුණා වේලාසන සුපුන්ට කියන්න එයාව මට මැරි කරන්න බෑ කියලා.... කොහේද මං එහෙම කිව්ව නම් අම්මලා මාව වෙන කෙනෙකුට බන්දලා දෙනවනේ.....එහෙම නැත්නම්

සුපුන් කැන්සර් එකක් තිබුණු කතාව දැනගෙන ඉඳලා හැමෝම අපට හැංගුවාද....? නැත්නම් මං කරපු ලැජ්ජාව නිසා එයාට ඒ වගේ අසනීපයක් හැදුණද? මට හිතාගන්න බෑ සුපුන්ට උන දේ.....මට බෙළිහුල්ඔය තානායම මතක් කරන විට, සුපුන් සිහිවී දුක සිතේ.....


“ඇයි ඔයා කල්පනා කරන්නේ...? මං විහිළුවට කිව්වේ බෙලිහුල්ඔය යමු කියලා....."


“නෑ රමේෂ් මට සුපුන්ව මතක් වුණා.... පව් මම කරපු දේ නිසා ඒ මනුස්සයා අකාලේ මියගියා කියලයි මට හිතෙන්නේ...."


“නෑ ඒක එයා ගෙනාපු ආයුෂ.... ඔයා දැන් ඕවා අමතක කරලා දාන්න.... මීට පස්සේ අපි සුපුන් ගැන කතා නොකර ඉමු...මම එහෙනම් දැන් වැල්ලවත්තේ යන්නම්...හෙට හවස අපි කෝවිලේදි හම්බ වෙමු . ඔයාට බයක් තනියක් නෑනේ...සරොජා ඉන්නවානේ ...අපේ නංගිත් හෙට දවල්ට මෙහේ එයි..ඔයා එයා කියන විදිහට හෙට ඇදුම් ඇදලා කෝවිලට එන්න..."


"අනේ රමේෂ් ඔයා පරිස්සමට සෙල්වම් එක්ක වැල්ලවත්තේ යන්න... ගෙදර ගියාට පස්සෙ ,ගෙදරින් එළියට බහින්න එපා හොදද..?


===========


මම දෙවැනි වරට කසාද බදින දිනටද හිරු උදාවිය....මම පළවෙනි පාරට කසාද බැදපු දින, අපේ අම්මලාගෙ ගෙදර ඇතුලේ තිබුනු කළබල ගති, කතා බස් හඩ, කිසිත් නොතිබුනි සරෝජාගෙ නිවසේ.....

සෙල්වම් ,සරොජා හා දියණිය පමනක් සිටීම මට දුකට කාරනයක්ද විය...

සරෝජා එදින උදේ රවුම් කහපාට මුරුක්කු වගයක් පිසිමින් කුස්සියේ සිටියාය .


"මාසයක් විතර කාලයක් ඔයා මාව ආදරෙන් බලාගත්තා සරෝජා ...මට තේරෙන්නේ නෑ ඔයාට කොහොම ස්තුති කරන්නද කියලා ..."


"අය්යෝ ඕවා මොනවද...මට සතුටුයි ඔය දෙන්නට ආයෙත් එකතු වෙන්න ලැබීම ...අදින් පස්සේ මගේ ඩියුටි එක ඉවරවෙනවා...තව පැය දෙකකින් විතර රමේෂ් ගෙ නංගි එයාගේ නෑදෑවන තව අක්කා කෙනෙක් එක්ක මෙහේ එනවා කියලා තියෙනවා. ඒ නිසා මම මේ ඒගොල්ලන්ට කන්න දෙන්න මේ මුරුක්කු වඩේ හැදුවා....අපේ සම්ප්‍රදායික කෑම වර්ග දෙකක්නේ මේ....ඔයත් නාලා කාලා ලෑස්ති වෙලා ඉන්න, ඒගොල්ලෝ එන්නේ ඔයාට අන්දවන්න...ඒගොල්ලෝ ඔක්කොම ඇදුම් ඔයාට ඇරගෙන එයි...."


"තැන්ක්ස් සරෝජා ...ඔයා අක්කා කෙනෙක් වගේ මගේ ගැන බලනවට.."


දහවල් ආහාර ගෙන නාගෙන පිරිසිදු වී මම බලා උන්නේ මගේ විවාහ දිනය වෙනුවෙන් කෝවිලට යන්න මා මණමාලියක ලෙස අන්දන්න රමේෂ් ගේ නංගි එනකම්‍ ය.


හවස දෙක පමණ වනවිට සරෝජාගෙ නිවසට, කාර් රථයකින් රමේෂ් ගෙ නැඟනිය හා තවත් දෙමළ කාන්තාවක් පැමිණ සිටියාය. ඔවුන්ට සිංහල වචනයක්වත් කතා කිරිමට බැරි බව මට වැටහින.... රමේෂ් ගේ නංගිට භාගෙට ඉංග්‍රීසි කතා කිරිමට හැකියාවක් තිබීම මට පොඩි පහසුවක් විය.... සරෝජා ඔවුන් සමග කතා ක‍රන දෙමළ බස.... මා හට ඉංග්‍රීසියට පරිවර්තනය කරමින් අප ලඟටම වී හිදියි... . ඔවුන් දෙදෙනා මට, ඔවුන් ගෙනත් තිබූ ඉන්දියානු සාරිය අන්දා ඉංදියානු ආභරණ වලින් සැරසුවේ බොහො පුරුදු ඇදුම් අන්දන්නන් ලෙසය....


රමේෂ්ගෙ නංගි මට ගෙනත් තිබුන අලුත් සාරිය හා හැට්ටය අලුත් එකක් විය. එය ඇයට මිලදී ගත්තක් බව කීවේ සරෝජයි. රමේශ්ගෙ නංගිද ලගදි කසාද බදින්න ලෑස්ති වී ඉන්නා බවක් මට කීවේද සරෝජාමය.


ඇය මට ගෙනත් තිබුනේ තද තැබිලි , කොළපාට දිලිසෙන සාරියකී. එහි රත්තරං පාට ඝනකම් නූලෙන් මල් මෝස්තර ගෙත්තම් කර තිබේ..


එම ඉතා බරැති සාරිය ඉන්දියානු ක්‍රමයට මට අන්දවා, ඉනට පටියක් දමා සාරියේ රැළි ඉතා පරිසමට සකසා හොදින් තද කර සාරිය ඔවුන් මට ඇන්දුවාය. එතෙක් මම කිසි හැළහොල්මනක් නැති ලෙස උන්නෙමි. ඔවුන් ඉන්පසු මගේ දිග කොන්ඩය මෝස්තරයකට සරසා පිටුපසින් දිග කරලක් ලෙසද ගොතා, පිච්ච් මල් වලින් සැරසුවාය. මගේ ඔළුවට, කරට, අතට හා කනට බොහො බරැති ඉන්දියානු ආභරණ පළදවා, අන්දා ඉවර කරන ලදී....


ශා...ඔයා හරිම ලස්සනයි රුවිනි ...සිංහල කෙනෙක් කියල නම් කාටවත් අදුනගන්න බැරි තරම්...රමේශ්වත් ඔයාව අදුනයිද දන්නෑ..."


මම හෙමිහිට කාමරයේ ඇති කන්නාඩි මේසය ලඟට ගොස් මගේ රූපය දෙස බලා උන්නෙමි.


මීට මාසයක විතර උඩදී සිංහල යුවතියක ලෙස සුදු සාරියකින් සැරසී, සුදු දිග වේල් පටක් හිසේ රන්දා දකුනේ සිංහල මණමාලියක ලෙස සැරසී උන් මම අද දමිළ යුවතියක ලෙස සැරසී මංගල ගමන යන්නට සැරසී ඉන්නා හැටි...මට මං ගැනම ඇතිවුනේ පුදුමයකී....


මගේ ප්‍රථම විවාහ දින, ගෙදර තිබූනු කළබලය, නෑහිතමිතුරන්ගෙ සද්ද , කෑමබීම සුවඳ, සංගීත රාවයන්, විදුලි බුබුලු, අම්මා ,තාත්තා කිසිත් නැතුව ... සරෝජා හා සෙල්වම්ගේ ආරක්ශාව උඩ, මම මණමාලියක ලෙස සැරසී ඉන්නා අයුරු...


"සරෝජා, එහෙනම් රුවනිව අපි අන්දලා ඉවරයිනේ.... අපි දැන් ගෙදර යනවා...අපිත් ගෙදර ගිහින් ඇදගෙන කෝවිලට එන්නම්...ඔයගොල්ලන්ට වාහනයක් සෙල්වම් ලෑස්ති කර ගත්තා කිව්වනේ...ඔයගොල්ලෝ එහෙනම් ඒකෙන් එන්න...." රමේෂ්ගෙ නැගණිය හා අනෙක් කාන්තාව මට අන්දා ඉවරවී යන්නට ගියාය.


හවස හතර වනවිට, සරොජා ,සෙල්වම් හා ඔවුන්ගේ දියණියද දමිළ ජාතිකයන් අදින ඇදුමින් සැරසී කෝවිල වෙත යන්නට සැරසී සිටියාහ....


වැඩි වේලාවක් නොගොසින්ම අපව කෝවිල වෙත ගෙන යන්නට කුළී රියක් පැමිනියේය. අප හතරදෙනා දොරවල් වසාදාමා එයට නැගි කෝවිල බලා ගියෙමු.


"දැන් රමේශ්ලා කෝවිලට ඇවිල්ලත් ඇති..."


"මගේ යාළුවා ශර්මිලා හස්බන්ඩ් එක්ක කෝවිල ලගට එනවා කිව්වලුනේ මට ඒගොල්ලෝ දකිනකම් ඉවසිල්ලක් නෑ...මගේ කියන්න මගේ පැත්තෙන් ඒගොල්ලෝ විතරනේ එන්නේ .."


"ඔව්..දැන් පහට කිට්ටුයිනේ ඒගොල්ලෝ ඇවිත් ඇති..."


අප හතර දෙනා රැගත් කුළී රිය පැමිණියේ වැල්ලවත්තේ තිබු හින්දු කෝවිලකටය. අප එහි යන විටත් රමේශ්ගෙ නෑදෑයින් දහ දොලොස් දෙනෙක් පමණ කෝවිල් භූමියේ හිදිනවා ඈතදීම අපට දැක ගත හැකි විය. එහි සිටි සියලු ගැහැනු අය තදපාට දිලිසෙන සාරි ඇද, ආභරණ පැළද, ඔළුවට මල් ගසා සිට්යාහ. පිරිමි පක්ශය සුදු වේට්ටි ඇද සිටිමත් මට ලොකු වෙනසක් විය.

මම ආ වාහනයෙන් බිමට බසිනවත් සමග, ශර්මිලා හා නිහාල් මම සිටි තැනට පැමිනියේ මගේ හිතට සතුටක් එකතු කරමින්‍ ය.


"අනේ රුවිනි .....ඔයා අද හරිම වෙනස්...අදුනගන්න බෑ සිංහල කෙනෙක් කියලා....කොහොම උනත් ඔයා හරිම ලස්සනයි ...."

ශර්මිලා සතුටින් මා දෙස බලා හිදී....


ශර්මිලාද දිලිසෙන සාරියක් ඇද උන්නාය. මම ඔවුන් සමග කෝවිල් භූමිය තුලට ගියේ හිතේ චකිතයකිනි....මෙතෙක් කලක් මා දැක නොතිබුනු රමේෂ්ගේ දෙමව්පියන් ,නෑදෑයින් දුටු කල මට ඇති වුනේ ලොකු බයකි. මගේ ජාතියෙන් ආගමෙන් පිට , දමිළ භාශාවෙන් කතා කරනා ඔවුන් දෙස නොබලා මම බිම බලාගෙනම කෝවිල ඇතුලට ගියෙමි.


කෝවිල ඇතුලට ගිය විට, මට රමේෂ් දැක ගත හැකි විය. සුදු වේට්ටියක්, සුදු අත්දිග කමිසයක් ඇද සුදුපාට රෙදි තලප්පාවක් හිස පැළද සිටින රමේෂ් දුටු කල මා තිගැස්සිනි. මෙපමණ කළකට මා නොදුටු ඔහුගේ දමිළ පෙනුම මම හරියටම දුටුවේ මේ දැන් යැයි මට සිතේ....


හෙට හමුවෙමු

*ප්‍රිසිලා ගොඩහේවා *

.

7 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page