top of page
  • Writer's picturePrisila Godahewa

🌺🌺මට හිමි ඔබයි 🌺🌺

💞මට හිමි ඔබයි💞

(39වෙනි කොටස )

https://www.facebook.com/groups/2653780434897311/permalink/2752881098320577/

ශර්මිලා, සෙල්වම් අතේ මට එවා තිබු, ඇගේ ඇදුම් තුන හතර හා මුදල් ටික මට මහ මෙරකට වඩා වටින්නට විය.... ඇය සෙරෙප්පු දෙකේ පටන් මට අවශ්‍ය කරන හැමදෙයක්ම පුලුවන් විදිහට සුළුවෙන් එවා තිබිනි. මට ඇය ගැන ලොකු ආදරයක් ඇති විය. මෙවැනි යෙහෙළියක් සිටිම ගැන මට ඇතිවුනේ සතුටකි. ඇය සමග මගේ දුක කියා, ඒවාට විසදුම අසන්නවත්, ඇය බදාගෙන මගේ දුක කියා අඩන්නවත්, ඇය මම ඉන්නා තැනට ගෙන්වා ගැනිමට නොහැකි වීම මට ලොකු කණගාටුවක් විය. දමිළ ජාතික සෙල්වම්, ඇයගේ ගෙදරට මින් පසු, එවන්න එපා කියන්නට හේතුව , ඇයටත් ඔහු නිසා ප්‍රශ්න ඇතිවිය හැකි බැවින් වෙන්නට ඇත.


කෙසේ නමුත් ගේදොර , නෑදැයින්, නැති මම ඇනුන්ගේ ඇදුම් අදින හිගන්නියක ගානට දැන් වැටී ඇත්තේ මගේම වරදකින් බව,මේ වනවිට මට හොදින්ම තේරුම් ගොස් තිබුනි.... දෙමව්පියන්ට අකීකරු වීම, ඔවුන් අපහසුවට පත්කිරිම, හා මුරන්ඩු වීම, දෙවියන් මෙතරම් මට දඩුවම් දේ යැයි මම කිසිදා නොසිතුවෙමි... කෙසේ නමුත් ....මා අසරණ වු මොහොතේ

මා වෙනුවෙන් ඇදුම් ටිකක් මුදල් ටිකක් එවන්නටවත් මට නවාතැන පහසුකම් දෙන්නට කෙනෙක් හෝ සිටිම නම් මගේ, නොකැලැල් ආදරය වෙනුවෙන් මා කල පරිත්‍යාගය නිසාම වන්නට ඇත.... ශර්මිලා සරෝජා වැනි යෙහෙලියන් දෙදෙනෙක්, ඔවුන්ට පුලුවන් ප්‍රමානයට....

මට සැලකීම වෙනුවෙන් හෝ සිටිම ගැන මගේ හිතට අස්වැසිල්ලක් විය.


"ඔයාගෙ යාලුවා ඔයාට, එයාගෙ ඇදුම් හරි එවපු එක හොදයි ....ඔයාට මගේ ඇදුම් ගැලපෙන්නෙ නෑනේ...."

ශර්මිලා එවු ඇදුම් දැක සරෝජා සතුටින් කීය.


"අනේ ඔව්...ශර්මිලා හරි හොදයි... මට ඕන කරන ඒවා, පුලුවන් විදිහට එයා එවලා..."


"දැන් ඉතිං අපි රමේශ්ව තමයි පුලුවන් ඉක්මනට හොයාගන්න ඕනේ..."


"රමේෂ් ගැන මට බයයි සරෝජා .. එයාට කරදරයක් එහෙම වෙලාද කියලා ....මට රමේෂ් බලන්න යන්න බැරි වෙයිද..."


"යාපනයටද...?


"ඔව්..."


"මේ කාලයේ සිංහල මිනිස්සු යාපනෙ යන්නෙ හරි අඩුවෙන්.. ...ඔයගොල්ලන්ට කරදර වෙන්න පුලුවන් ..."


නිදහස් ආර්ථිකය නිසා කෘශිකර්මාන්තය එකවර පහත වැටුන නිසාත් ,ඇතැම් දමිළ නායකයින්ගේ උසිගැන්වීම් මත උතුරේ සන්නද්ධ ත්‍රස්තවාදී කල්ලි මහ පරිමානයෙන් බිහිවන්නට වීම තුළ හා සිංහල අපේ ජාතිය ගැන රමේෂ් තුල ඇති වු පෞද්ගලික කේන්තිය, තරහා නිසා, ඔහු දමිළ ත්‍රස්තවාදීන්ගේ කල්ලියකට මෙලහකට බැදී ඇතිද..? මගේ විවාහය දෑසින් දුටු ඔහු...තව තවත් මා සමග කේන්තියෙන් ... ත්‍රස්තක්‍රියා වලට බැදිලාද....? අනේ දෙවියනේ කොහොමද මම රමේෂ්ට මම සුපුන් සමග නොගිය බව පවසා...ඔහුගෙ හිතේ මා ගැන තියෙන කේන්තිය නැතිකර හැර ...මා ලගට ගෙන්වා ගන්නේ....?


සෙල්වම් හෙමිහිට රමේෂ් හොයා ගැනීම වෙනුවෙන් ,මහන්සි වන බව මම දන්නෙමි .....නමුත් මට ඔහු මෙන් කාලය නාස්ති කරමින් එසේ බලා සිටිමට බැරිය....මට රමේශ් දකිනකම්, ඔහු ගැන තොරතුරක් දැන ගන්නකම් ඉවසුම් නැත....මොන බාදක තිබුනත්, මට දැන් රමේෂ් සොයා තනියම හෝ යාපනයට යෑමට නිතර සිතේ.......එයට පෙර මම රමේශ්ගෙ භාශාව ඉගෙන ගත යුතු යැයිද සිතේ... . නැතහොත් මට යාපනයට ගොස් ඔහු සොයා ගැනීමට නොහැකි වනු ඇත.... ඔව් මම පුලුවන් ඉක්මනට දෙමළ භාශාව ඉගෙන ගෙන, යාපනයට ගොස් රමේෂ් සොයා යෑමට සිතා ගත්තෙමි .


"සරෝජා මට දෙමළ ඉගෙන ගන්න ඕනේ....යන්තම් මට දෙමළ ටිකක් පුලුවන් උන ගමන් මම රමේෂ් හොයාගෙන යාපනයට යනවා....

මම දැන් මෙහෙම ඉන්න එක තේරුමක් නෑ සරෝජා.....මම රමේෂ් හොයාගෙන යන්න ඕනේ....මට බයයි එයා ගැන....එයාට කරදරයක් වෙලාද කියලා මට නිතරම හිතෙනවා.... අනික මම කසාද බැදලා, සුපුන් එක්ක ගියේ නැති බව එයාට පනිවිඩය අරින්න ඕනේ...එහෙම උනොත් එයා, කොහේ හිටියත් මාව හොයා ගෙන එයි.."


"අපි තව ටිකක් බලමු රුවිනි .....සෙල්වම් තව රමේෂ්ගේ යාලුවෙක් එක්ක රමේෂ් හොයාගෙන යාපනයට යන්න ඉන්නේ......ඒගොල්ලෝ ගිහින් රමේෂ්ට මොනවද උනේ කියලා හොයාගෙන එයි...එතකම් ඔයා ඉවසලා ඉන්න..."


"අනේ දෙවියනේ මට උන දෙයක්....අම්මා තාත්තාට, සුපුන්ට කල අපරාදයට මට දෙවියන් දඩුවම් දී ඇති හැටි.....මම වගේ පව් කාරියක්....ඒ අහිංසකයට දුන් දුක තමයි මට මගේ පසුපස එන්නේ කියා සිතේ...අනේ මම කරපු පාපකර්මය නිසා එය රමේෂ්ට බලපා, ඔහුට කරදරයක් වෙයිද...? මට රමේෂ් මතක් වනවිට දෑසින් ගලායන කදුලු නවත්වාගත නොහැක. මම ඇදේ පෙරලි කදුලු පෙරමින් නිතර අඩන්නෙමි..


ඉතිරි දින තුන හතර ගෙවී ගියේ කිසිවක් සිදු නොවීය... මට රමේෂ් හොයාගන්න තියෙන උවමනාව සෙල්වම්ට නැති එක ගැන මට ඇත්තේ දුකකී. ගෙදරින් එළියට බහින්න බැරුව සිරවී සිටින මම ඔවුන් කියනා දෙයක් කරනවා ඇරෙන්න, මට දැන් තනි තීරණයක් ගැනීමට නොහැක. ඔවුන් කියනා ලෙස ,මම සරෝජාගෙ ගෙදරට කොටුවී රමේෂ් ගැන තොරතුරක් දැන ගැනීම වෙනුවෙන් දෑස් දල්වා බලා හිදින්නෙමි.


මම පුලුවන් හැම වෙලේම... සරෝජා හා සෙල්වම් ඇගේ දුවත් සමග දෙමලෙන් කතා කරනවා උවමනාවෙන් අසා හිදින්නෙමි ..... ඇගේ දියනියගේ දෙමළ පොත පත කියවමින් දෙමළ අකුරු ලියන්නට, ඇගෙන් ඉගෙන ගන්නෙමි. පුලුවන් විදිහට සරොජාගෙ දියනිය සමග දෙමලෙන් කතා කරන්න උත්සාහ ගත්තෙමි. ශර්මිලා කිව් ලෙස මම සරෝජාගෙ ගෙදරින් එලියට නොගොස් ගේ ඇතුලටම වී සිටින කල දෙමළ භාශාව ඉගෙන ගන්නට උත්සහ ගත්තෙමි.


මම සරෝජලාගෙ ගෙදරට ඇවිත් සුමාන දෙකක කාලයක් ගෙවීගියේ සෙල්වම් හා සරෝජාගෙ ගරු සැලකුම් මතය. සෙල්වම් පුලුවන් උපරිමයෙන් රමේෂ් සොයාගන්නට මහන්සි වන බව හැම දිනකම මට පෙනෙයි. ඔහුගෙ මහන්සිය වෙනුවෙන් මම නිතර ඔහුට ස්තුති කලෙමි.


මේ නිවාඩු කාලයේ උදේ වරුවේ, දරුවන්ට භරත නැටුම් උගන්වන සරෝජා නිසා මගේ පාලුව මදකට අඩුවි ඇත. ඇයගේ නැටුම් පන්තියට එන දෙමළ දරුවන්ද දෙමළෙන් කතා බහ කරනා දෙස බලමින් මම වචන දෙක තුන ඉගෙන ගන්නට උත්සහ ගන්නෙමි. සරෝජාගේ දුවත්, අනෙක් දෙමළ ගැහැනු ළමයින්ද මා සමග දැන් මිතුරු වි ඇත. ඔවුන් මා සමග ඉංග්‍රීසියෙන් කතා බහ කරන්න වැඩි උනන්දුවක් දැක්වුවාත් ...මම ඔවුන් සමග දෙමළ භාශාව කතා කරන්න උනන්දු වන්නෙමි.


දිනක් හවස සෙල්වම් වැඩ ඇරී ගෙදර ආවේ සිංහල පත්තරයක්ද අතේ ඇතුවය.... ඔහු ගෙට ආ වහා මට පත්තරය අතට දී ගෙට ගියේ බිම බලාගෙනමය.


කවදාවත් නැතුව, ඔහු මගේ අතට ගෙනත් දුන් සිංහල පත්තරය මම කියවන්නට පටන් ගත්තෙමි.


පත්තරයේ මුල් පිටුවේ පහලට වන්නට රතු පාටට තිබුනු විශේෂ දැන්විම දැක මගේ හිත තදින් ගැහෙන්න විය...ඇස් දෙකෙන් කදුළු ගලන්නට විය.... පත්තරයේ තිබුන දැන්විම මෙසේය.


"මංගල දින මණමාලිය ඇගේ පෙම්වතා සමග පැන යයි.....ඒ දුකට මණමාලයා ලෙඩ වී නසී... "

එම විශේෂ උප සිරසිය කියවා, පසුව එහි පහලට වෙන්න ඇති සටහන කළබලේ මම කියවාගෙන ගියෙමි.


එහි තිබු ලෙස, මගේ සියලු විස්තර පත්තරයේ පළවි ඇත.... මගේ පෙම්වතා ගැන විස්තර එහි නොතිබුනු අතර...මගේ සැමියා සුපුන් ගැන ලොකු විස්තරයක් එහි තිබුනි. ඒ අනුව සුපුන් මා කසාද බදින්න පෙර පිලිකා රෝගයකින් පෙලී ඉද ඇති බවත්... ඔහු පවුලේ එකම දරුවා නිසා දෙමව්පියන් ...ඔහුගේ අසනිපය හංගා මණමාලියට බන්දා දුන් බවක් එහි ලියා තිබුනි. මට ඒ විස්තරය අලුත් දෙයක් විය.... කෙසේ නමුත් අපේ විවාහයෙන් සුමාන දෙකකට පසු සුපුන් අන්ත්‍රා වී තිබීම ,මට දරා ගන්නට බැරි දුකක් විය. ..සුපුන් වැනි අහිංසක කෙනෙකුට මම දුන් දුක ඉවසාගන්නට බැරුව ඔහු අන්ත්‍රා වීම නිසා...මම මහා විශාල පාපකර්මයකටද දායක වී ඇති බවක් දැනී ඇතිවුනේ...විශාල දුකක් සමග කළකිරිමකි.


"බලන්න, ඔයා සුපුන්ට කරපු දෙයින්...ඒ මනුස්සයාට වෙලා තියෙන දෙයක් ...ඔයගොල්ලෝ මනුස්ස ජීවිත එක්ක සෙල්ලම් කරලා....දැන් මේ මොකක්ද මේ පත්තරෙ තියෙන්නේ...සුපුන් අසනීපයකින් හිටිය බව...ඔයා ඒක දැනගෙන හිටියද..?


"මම ඒ මුකුත් දැනගෙන හිටියේ නෑ සෙල්වම් .....සුපුන්ලගෙ අම්මලා, මාව බලන්න ආපු දවසෙම මට කැමති වෙලා, මාසෙකින්නේ අපේ වෙඩින් එක ඔක්කොම ලෑස්ති කලේ...ඒ අයට වෙඩින් එක ගන්න ලොකු හදිස්සියක් තිබුනා...මට අඩු ගානේ සුපුන්ව තේරුම් ගන්න වත් වෙලාවක් දුන්නෙ නෑ...මට ඒ හින්දා ඉක්මනට එයාට කැමති වෙන්න බැරි උනා....ඒකයි මම රමේෂ් හොයාගෙන ආවේ...රමේෂ් මාව භාර ගන්න කැමති වෙලා හිටිය නිසා තමයි මම බය නැතුව ආවේ..


“එයාට කැන්සර් එකක් තිබිලා.... එයාගේ අම්මලා දැනගෙන ඉඳලා තියෙනවා ඒක... ඒත් කාටවත් කියලා නෑ....සුපුන් පවුලේ එකම දරුවා නිසා එයා මැරෙන්න ඉස්සෙල්ලා එයාව සතුටු කරන්න තමයි එයාගේ අම්මලා එයාව ඔයාට බන්දලා දීලා තියෙන්නේ....ඒ මිනිස්සුන්ට ගොඩක් සල්ලි තියෙන අය...ඒ උනාට මේ ලෙඩේ නිසා, සුපුන් මෙච්චර ඉක්මනට මැරෙයි කියලා හිතන්න නෑ...එයාගෙ හිතට දුක වැඩිවෙලා ඉක්මනට නැතිවෙන්න ඇත්තේ..."


“දෙවියනේ මේ මිනිස්සු ඇයි ඒකට අහිංසක මාව තෝර ගත්තේ...මොනවා වුණත් සුපුන් හරිම අහිංසක කෙනෙක්. එයා කොහොමත් ටිකක් ලෙඩ පාටයි.... වැඩි කතාබහකුත් නෑ. වැඩි කඩිසරකමකුත් නෑ. හැබැයි මං එයාට අසනීපයක් ඇති කියා නම් හිතුවේ නෑ.... පව් මට එයා ගැන ඇතිවුනේ කියා ගන්නට බැරි දුකකි. අපේ වෙඩින් එකෙන් පස්සේ, මම පැනලා ගිය නිසා එයා ගොඩක් ඒ ගැන දුක් වෙන්න ඇති....ඒකයි එයට එහෙම වෙන්න ඇත්තේ ..."


“හැබැයි දැන් නම් රුවිනිගේ අම්මලා සතුටු වෙනවා ඇති... ඔයා එයාව බැඳල එකට ජිවත් උනේ නැති එකට...."


“ඔව්, ඉතිං මොන දෙමවුපියන්ද කැමති තමන්ගෙ දුව අසනීපකාරයෙකුට බන්දලා දෙන්න..ඔයාගෙ

අම්මලා ඒවා දන්නෙ නැතුව තමයි සුපුන්ට කැමති වෙන්න ඇත්තේ...."


“ඔයා දන්නවද රුවිනි ඔයගොල්ලන්ගේ වෙඩින් එකෙන් පස්සේ ඔයාගේ අම්මයි, බාප්පයි ඔයා මැරුණා කියලා බලු කපුටන්ට දානයකුත් දීලා, ඔයත් එක්ක තරහට ඔයා මැරුණා කියලා....."


“දැන් ඉතිං ගිය දේවල් ගියා.....ඉස්සරහට කරන්න පුලුවන් දෙයක් ගැන කතා කරමු....."


මං කිව්වේ අම්මලා, බාප්පලා මං මැරුණයි කියා දානයක් දුන් බව දැනගත් පසු හිතට දැනුණු දුකටය. ඒත් ඒ මිනිස්සුන්ගේත් හිතට දුකක් ඇතිනේ.... මඟුල්ගෙදර දවසේ දුව පැනලා ගියාම.... ඊටත් වැඩිය ලැජ්ජාව.... සල්ලි වියදම් කරලා, නෑදෑ හිතමිතුරන්ට ආරාධනා කරලා මනමාලි පැනලා ගියා කිව්වාම කාටද දුක නොහිතෙන්නේ, ලැජ්ජා නොහිතෙන්නේ.....


“දැන් ඉතිං රමේෂ් ආවනම්...

ඔය දෙන්නට බදින්න තියෙන බාධා ඔක්කෝම ඉවරයි....අමුතුවෙන් ඩිවෝස් වෙන්න කියලත් නෑනේ... රමේෂ්ව පුලුවන් ඉක්මණට හොයා ගන්න එක තමයි දැන් කරන්න තියෙන්නේ ..."


සරෝජා කිව්වේ මගේ දෙස බලමිනි.

රමේෂ් ත්‍රස්තවාදී කල්ලි වලට සම්බන්ධ බව මම දැනගෙන හිටියනම් කීයටවත් සුපුන් දාලා එන්නෙ නෑ....දැන් මට රමේශ් ඇර වෙන කෙනෙක් එක්ක යන්නත් බෑ...එයා ත්‍රස්තවාදීයෙක් උනත් මම එයා එක්කම යනවා ඇර මට වෙන විසදුමකුත් නෑ......මම ඇඩුම්බරව සිතුවෙමි.


"සෙල්වම් ඔයා රමේශ්ලගෙ යාපනයේ ගෙදරට ඇරපු පනිවිඩයට උත්තරයක් ආවේ නැද්ද ..ඒගොල්ලන්ගෙ ගෙදරින් හමුදා කදවුරට ගිහින් රමේෂ් බේරගත්තද නැද්ද කියලා ...?


"ඒක තමයි දැන් සුමාන තුනකුත් පහුවුනානේ... මෙච්චර දවස් අපි බැලුවා ඇති.....හෙට සෙනසුරාදා උදේ...මම තව මගේ යාළුවෙක් එක්ක රමේශ්ව හොයාගෙන යාපනයට යන්න හිතුවා.....අපි ගිහින් එයාව හොයාගෙන ,ඔයා මෙහේ ඇවිත් ඉන්න කතාව කියන්නම්..

සමහරවිට අපට රමේෂ් හම්බවෙන්නත් පුලුවන් ...හම්බ නොවෙන්නත් පුලුවන් ...ඔයා මෙහෙම එයා ගැන බලාගෙන අපේ ගෙදර ඉන්න කොට ,අපටත් බලාගෙන ඉන්න බෑනේ..."


"ඔයගොල්ලන්ට පිං සිද්ද වෙනවා සෙල්වම් ...මට මේ කරන උදව් වලට.."


සෙල්වම් පසුදින පාන්දර ඇදුම් වගයක් හා කෑමට බත් මුල් දෙකක්ද දමා ගත් බෑගයක් ගෙන කොටුවේ දුම්රිය පල වෙත ගියේ... තව යාළුවෙක් සමග යාපනය බලා යෑමටය.


"පරිස්සමින් යන්න සෙල්වම් .." මමත් සරෝජාත් ඔහුට සමුදුන්නේ ..හිතෙන් දෙවියන් යදිමින්‍ය.


අනේ දෙවියනේ මම දැන් සරෝජාගෙ ගෙදරට ඇවිත් සුමාන තුනක් ගෙවී ගොස් ඇත . රමේෂ් ගැන කිසිම තොරතුරක් මට තවමත් දැනගන්නට ලැබී නැත. ඔහුව කොළබින් කිළිනොච්චියට මාරු කර හැරියත් එතනින් එහාට වෙන කිසි විස්තරයක් දැනගන්නට නැත.


සෙල්වම් රමේෂ්ගෙ යාළුවෙක් සමග යාපනයේ ගොස් දින හතරක් ගෙවි ගියද..මටත් සරෝජාටත් සෙල්වම් ගැන ආරංචියක් නොලැබුනි. මට නොකිව්වට සරෝජා ඒ ගැන කළකිරිමෙන් ඉන්නා බව පෙනේ... මම නිසා මේ මිනිස්සු හැමෝටම කරදර සිද්දවී ඇති නිසා, මට මම ගැනම ඇත්තේ කේන්තියකි. නමුත් අහිංසක මට වෙන කරන්න දෙයක්ද නැත.මොවුන්ගෙ පිහිට මිස මට වෙන සරනක්ද නැත. මගේ මේ ජීවිතයෙන් ගොඩ යෑමට මිස වෙන කරන්න දෙයක් නැත. දිනක් උදේ වරුවේ සරොජා මගේ නම කියා කතා කල හඩින් මම කාමරයෙන් එලියට ගියෙමි.


"රුවිනි බලන්න ... මේ කවුද ඔයාව හොයාගෙන ඇවිත් ..."


හෙට හමුවෙමු

*ප්‍රිසිලා ගොඩහේවා *

3 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page