top of page
  • Writer's picturePrisila Godahewa

🌺🌺මට හිමි ඔබයි🌺🌺

💞මට හිමි ඔබයි💞

>>>>>>>>>>>>

(හතරවන කොටස )

https://www.facebook.com/groups/2653780434897311/permalink/2714519978823356/

"අපි කොහොමද , එහෙම යන්නේ පොඩි දුව..... ලොකු මාමලා, බාප්පලා කොළඹ රස්සාවල් කරන නිසානේ එහේ පදිංච්‍ යට යන්න හදන්නේ..... ඒගොල්ලන්ට මෙහෙ ඉදන් කොළඹ යන්න එන්න අමාරු නිසානේ එහේ පදිංචියට යන්න හදන්නේ ....තාත්තා එහෙමද... හමුදාවේ වැඩ කරන් එක, ඒ ගොල්ලෝ කරන රස්සාවල්වලට වඩා කොච්චර ලොකුද ඒ රස්සාව..."අම්මා කවදත් තාත්තාගෙ රැකියාව ඉහලින් අගය කරයි.


“ ඒගොල්ලෝ ගිහාම මට තමයි සෙල්ලම් කරන්නවත් කවුරුවත් නැති වෙන්නේ....."


“ඇයි අක්කා ඉන්නේ..."

අම්මා සිනාසී කියයි.


“එයා හොඳයි ගෙයි මුල්ලට වෙලා ඉන්න."

අක්කාගෙයි, මගෙය වයස් පරතරය නිසා මට ඕන විදියට ගඟේ, දොලේ.. ඇළේ පැන නාන්න ,‍ කැලේ රිංගා සෙල්ලම් කරන්න බැරි එක ගැන මම නිතරම දුක් වුණෙමි.


වැඩි දවසක් නොයා...පුංච් අම්මලත් කොළඹ පදිංචියට ගිය පසු මට ඇතිවුනේ පුදුම පාලුවකි. ගමේ සෙල්ලම් කිරිමට.... තව , යාළු ළමයි හිටියට, මට මාමාගෙ හා පුංච් අම්මගෙ දරුවන් සමග සෙල්ලම් කිරිම තරම්, ඔවුන් එක්ක සෙල්ලම් කිරිමට හිත් නොදේ....


දවසක් මම අපේ වත්තේ කොනක තිබු ලෑලි බංකුවේ වාඩිවී, අවට ගේක දරුවන් සෙල්ලම් කරනවා බලන් ඉදිද්දි .....ඈත ගුරුපාරේ සිට ආ හමුදාවේ ජීප් රථයක් අප ගෙවල් දෙසට හෙමිහිට ඇවිත්.... අප මිදුලේ නතර කළේය.


මම වාඩිවී සිටි තැනින් නැගිට ජීප් රතය දෙසට යනවිටත් ,අල්ලපු වත්තේ "බට්ටා"පනිමින් හිටි පුංච් දරුවන් රෑන අපේ වත්තට පැමින, ජීප් රථය වට කර ගත්තේ වාහනයක් අප මිදුලට ආ සතුටෙනි....අප ගම් පළාතට වාහනයක් එන්නේ එහෙමත් දවසකය. වාහනයක් ගමට ආ කල, එය වට කරගෙන එහි හැඩ බැලීමට දරුවන් පුරුදු වී ඇත.

මාද ඔවුන් ලෙසම, වාහනය තුලට ඔළුව දා බැලුවේ .... තාත්තා ජීප් රතයෙන් ගෙදර ඇවිත්වත් කියා සැකේටය..ගමේ අපට නිතර වාහන දකින්න නොලැබිම් වගේම ,අපේ ගෙවල් වලට වාහනයකින් එන කවුරුත් නොසිටිම නිසා, අපේ වත්තට වාහනයක් පැමිනීම ගැන ඇත්තේ සතුටකි. පුංච් අපි සියල්ලෝ වාහනය වටා රොක්වී ,ඒ දෙස බල සිටියේ...ඇගිලි කටේ ගහගෙන ලොකු කල්පනාවෙකිනි.


මිදුලට පැමිනි කොළපාට ජීප් රියේ....

කාකි ඇදුම් ඇදගත් පොලිස් රාළහාමිලා තුන් දෙනෙක් සිටියාහ. ඔවුන්ගෙ පෙනුම හරි තේජවන්තය. ගාම්භීරය....මම ඔවුන් දෙස බලා සිටියේ මගේ තාත්තාත් පොලිස් නිළ ඇදුමට මෙලෙසම ඇතැයි සිත්මින්‍ය. ඔවුන් තිදෙනා වාහනයෙන් බැස ගේ දොරකඩට ගියේ හිසේ පැලදි හිස්වැසුම් අතට ගනිමින්‍ ය.

අවට නෑදෑවන ගෙවල් වල මාමලා, නැන්දලාද ගෙවල් වලින් එළියට පැමින අප ගේ දෙස බලා හිදින්නේ...කවදාවත් නැති ලෙස ජීප් රියෙන් තාත්තා ගෙදර ඇවිත් ඇත්තේ ඇයිදැයි කුතුහලයෙනි.


අවට සිටින්නවුන්ගෙ දෑස් තුල ඇත්තේ කුතුහලය මුසු පුදුමයකි....ඒ ගොඩට මාත් වැටි ඇත. අම්මා හා අක්කා ගෙදර පේන්න නැත. ඔවුන් ගෙදර වත්ත පිටුපස මොනවා හෝ වැඩක නියලී ඇතැයි මට සිතේ....

“ මේ සිරිල් රාළහාමි ගේ ගෙදරද...?

හැඩිදැඩි පොලිස් නිලධාරියා අවට සිටි මිනිසුන්ගෙන් ඇසුවේ ගාම්භීර ලීලාවෙනි.


"එහෙමයි රාළහාමි ..."


පහල ගෙදර මාමා, කැහැපට ගසා සිටි සරම පහතට හෙලමින්,ඔලුව පහත්කර රාළහාමිලාට කීය.


"කෝ මේ ගෙදර කවුරුත් නැද්ද ..?

ඔහු එසේ අසනවත් සමගම

කලබලයෙන් ගෙයින් එළියට ආ අම්මා, ගේ දොරකඩට පැමිනියේ පුදුමයෙන් මෙන්‍ ය.


"ඇයි රාළහාමි ...? අම්මා බයාදුලෙස ඔහුගෙන් ඇසිය..."


"මේ සිරිල් රාළහාමිගෙ පවුලද...?


"එහෙමයි රාළහාමි ..."

අම්මා කලබලයෙන් හා බයෙන් එසේ කීවේ ....ඇයි මොවුන් මෙසේ ඇවිත් තියෙන්නේ කියා පුදුමයෙන් බලමින්‍ ය. ඇය හිටි තැනින් තව එළියට ආවේ...ඇද සිටි චිත්තයේ අත් දෙක පිසදමමින්‍ය.


“ පිටරටින් අපට දන්වලා එවලා තියෙනවා, යුද්දයට ගිය හමුදාවේ දහ දෙනෙක් අතුරුදන් වෙලා කියලා .... සාජන් සිරිල් ඇතුළු තව නම දෙනෙක් ...... සුමානයක සිට ඔවුන් ගැන ආරංචියක් නෑ කියලා .....ඔවුන් අතුරුදන් වී ඇති බව ගෙදරට දැනුම් දෙන්න කියා අපට නියෝග ලැබුනා.....ඒ රටේ හමුදාවෙනුත් ඔවුන් ගැන තව දුරටත් සොයා බලන බවත් කිව්වා..."


“අනේ දෙයියනේ, රාලහාමි මගේ මනුස්සයාට මොනවා වෙලාද....?


“ඒක නම් අපි හරියටම කියන්න දන්නේ නෑ.... අපට දන්වලා තියෙන්නේ අතුරුදන් වෙලා කියලා ගෙදරට දැනුම් දෙන්න කියල විතරයි .... අපි එහෙනම් යන්නම්, අපටත් කනගාටුයි ඒ ආරංචියට....."


රාලහාමිලා අපේ ගෙදරින් නික්ම ගියේ, ගෙට ගොඩවි, වාඩි වෙන්නෙත් නැතුවමය. ඔවුන්ගේ මුහුනු වලද දුක්මුසු බවක් පෙනින.


“දෙයියනේ මං කොච්චර කිව්වද ඔය යුද්ධයට යන්න එපා කියලා....මම කී පාරක් කිව්වද රස්සාවෙන් අස්වෙන්න කියලා .... අනේ මගේ සිරිල්..... මගෙ කෙල්ලො දෙන්නගෙ තාත්තා.....


අම්මා මරළතෝනි දී කෑගසා හඬන්නට වූවාය..... එය ඇසී අහල පහළ ගෙවල්වල මිනිස්සුද අපගේ ගේ වටා රැස් වූහ. පුංචි මම කට ඇරගෙන බලා සිටියේ, මේ මොකක්ද වෙන්නේ කියායි...මට.

තාත්තා අතුරුදන් වූ කතාව තේරුම් ගත නොහැක. අක්කාද අම්මා වත්තන් කරගෙන කදුලු සලයි....අම්මා හා අක්කා ඉස්තෝප්පුවේ බිම වාඩි වි අඩද්දී.....අවට ගෙවල් වල ගැහැනුන් පැමින ඔවුන් වට කරගෙන ඇත.


තාත්තා වියට්නාම් යුද්දයට, ලංකාවෙන් ඇරපු යුදහමුදා කන්ඩායම හා සේවයේ යෙදී සිටියදි..අතුරුදන් වීම, කොළඹ යුද හමුදාවෙන් අපට දැනුම් දුන් ආරංචිය, ගම පුරා පැතිර යන්නට වැඩි වේලාවක් ගත නොවිනි. මුළු ගමේම සෙනග අපේ ගෙදරට එක් රොක් වෙන්නට පටන් ගද්දී ...අම්මා සිහිසුන් වී සිටියේ තාත්තාගෙ අතුරුදන් වීම ගැන තිබු ශෝකය හා බයටය. ඇයව ගමේ ගැහැනුන් වටකරගෙන ඇත...අම්මත් අක්කත් දුකින් හඩද්දී....ඒ ගැන වැඩි තේරුමක් නැති මමද ඔවුන් ලෙසම අඩමින් ඔවුන් ලගින් වාඩිවී ඩිටියෙමි....


එදින රෑ වෙන විට අහල පහල ගෙවල් වලින් අපට කෑම බීමද ගෙනත් තිබුනි. තවමත් ගමේ මිනිසුන් අපේ ගෙදරට එක් රොක්ව ඇත. ගමේ ගැහැනුන් තේ වතුර සාදා ඇවිත් සිටි සෙනගට අල්ලයි...අක්කා හා අම්මා ...තවමත් කදුළු සළයි. තාත්තා අතුරුදහන් වූ කතාව හරියට නොතේරෙන මම, ඔවුන් දෙදෙනා ලග වාඩිවී ඔවුන් ලෙසම කදුළු සලන්නෙමි.


ලොකු මාමාද ඊට පසු දින කොළඹ සිට අපේ ගෙදර ඇවිත් තිබුනේ...තාත්තා අතුරුදහන් වුන ආරංචියටය.

පුංච් අම්මා කසාද බැද සිටින පොඩි බාප්පාද හවස් වෙන විට කොළඹ සිට අප නිවසට ආවේය. ඔවුන් කොළඹ යුද හමුදා කාර්‍යාලයට ගොස් හරියට තාත්තා ගැන තොරතුරක් දැනගෙන එන්නම් කියා අම්මා සැනසුවාය. යමක් කමක් කිරීමට හැකි කෙනෙකු ලවා පිටරට සිටින තාත්තා ගැන සොයා බලන බව අම්මාට කීවේ ඇය සනසන්න වෙන්නට ඇත.


අම්මා සේම අක්කාද නිතර කඳුළු සලා අඬන නිසා මමත් ඔවුන් ළඟට වී දවස් ගානක් ඇඩුවෙමි. මමත් අක්කත් ඒ දිනවල පාසැල්ද නොගියෙමු. තාත්තා මුළු ගමේම අය හොදින් අදුනන නිසා, ගමේ බොහෝ දෙනා අපේ ගෙදරට ගොඩවි..

තාත්තා ගැන තොරතුරු අසා දැනගන්නට එයි.... ඒ දිනවල අපේ ගෙදර කෑමක් බීමක් නොඉදුනි. අහල පහල ගෙවල් වලින් ගේන කෑම හරියට කෑවේ මම පමනය. අම්මා හා අක්කා, ගමේ ගැහැනුන්ගෙ පෙරෙත්තයට බත් කටක් දෙකක් කෑවා පමනය.

තාත්තා අතුරුදන් වූවත් නැවත අප සොයා අනිවාර්යයෙන්ම පැමිණේවි කියා මම නිතර සිතුවෙමි, පැතුවෙමි....


සුමාන දෙක තුනක් යන විට ගමේ මිනිසුන්ද අපේ ගෙදරට යන එන එක අඩු විය. අම්මා නිතරම පුටුවක් උඩට වී හඬමින් සිටි අතර, අක්කා විසින් ගෙදරදොරේ වැඩ සියල්ලක්ම කරන ලදී.


වෙනදා මෙන් කොල්ලො කුරුට්ටෝ සමඟ සෙල්ලමට නොගොසින් මමත් පුළුවන් ආකාරයට ගෙදරදොරේ වැඩට අක්කාට උදවු කළෙමි.


වෙනදා මෙන් නැවතත් මාත්, අක්කාත් පාසැල් යන්නට පටන් ගත්තෙමු.


මාසයක් දෙකක් යන විට අම්මා නිතර කනස්සල්ලෙන් සිටිම නවත්වා දමා...සාමාන්‍ය තත්ත්වයට ගෙදර දොරේ වැඩ කරන්නට පටන් ගත් හ. අම්මා අක්කා හා මම නිතර පන්සල් ගොස් තාත්තාට සෙත් පැතීය. තාත්තාට ඉන්න් තැනක කිසිත් කරදරයක් නොවෙන්න දෙවියන් යැද්දාය.


ලොකු මමා හා චූටි බාප්පා, අප බලන්න නිතර ඇවිත් ගියේය. ඔවුන් එනවිට ගෙදරට හාල් තුනපහ ගෙනත් දමා, අම්මා අතට මුදලක්ද දෙන්නට අමතක නොකලේය.


“තාම සිරිල් අය්යා ගැන ආරංචියක් නැද්ද මල්ලී....?


අම්මා ලොකු මාමා එන හැම දවසකම අහන එකම ප්‍රශ්නය තමයි ඒ.....


“දැන් ඉතිං ඔය බලන් හිටියා මදෑ.....දැන් මාස තුනකටත් කිට්ටු වෙන්න ආවනේ... අපි පන්සලකටවත් ගිහින් අය්යා මතක් කරලා දානයක් දීලා පිං දෙමු අක්කේ.....


“අනේ මල්ලියේ....මම කොහොමද එහෙම දෙයක් හිතන්නේ..... මට එහෙම කරන්න හිතක් නෑ..... මට හිතෙන්නේ සිරිල් ආයෙත් එයි කියලමයි......අම්මා කදුලු සලමින් අඩන්න පටන් ගත්තාය.

අම්මා ඇඳන් හිටිය රෙද්දෙන් නහය පිහදමින් තව තවත් හැඬුවාය.


“ මම පුලුවන් තරම් අය්යා ගැන හෙව්වා....මං දන්න මහත්තුරු කිහිපදෙනෙක්ම කිව්වා අතුරුදන් වුණා කියලා යුද්ධයේදී කියන්නේ....මිනියවත් හඳුනගන්න බැරි වුණ අයටලු......

මාමා කියවාගෙන යයි.


“මේ ළමයි දෙන්නගේ වැඩවලටත් සල්ලි බාගේ එපැයි අක්කේ..... අක්කා මේක තියාගන්න....."


"ගිය මාසේ පොලිස් රාළහාමි කෙනෙක් ඇවිත් සිරිල්ගෙ මාසයක පඩිය දීලා ගියා......සිරිල්ගෙ පඩිය, විශ්‍රාම වැටුපක් ලෙස මට ගන්න පුලුවන්ලු...ඒකට ඉල්ලුම් කරන්න කිව්වා....මම මේ මල්ලි එනකම් හිටියේ ඒ වැඩය කරගන්න යන්න ..."


"ඒක හොදයි අක්කේ...ඒක ලොකු දෙයක් ...මම අද හෙට දවසක එන්නම්, අපි ගිහින් ඒ වැඩය කරගමු....මේ ළමයින්ගෙ වියදමට සල්ලිත් එපෑ....


“ ඔව්,මල්ලිලාට කියලා අපට හැමදාමත් කරදර කරන්න පුළුවනෑ..... මාත් දැන් නිකන් ඉන්නෑ.... ලොකු කෙලී එක්ක පොල් අතු දියේ දාලා වියලා, කරත්තකාරයන්ට දෙනවා.... මට ගෙදර ඉදන් කරන්න පුළුවන් ඒ වැඩේ.... යන්තම් පහුගිය දවස් වල වියදම ඒකෙන් පිරිමහගත්තා....සිරිල්ගෙ පඩිය හම්බුනාට මම ඒකෙන් එක සතයක් වියදම් කලේ නෑ...මල්ලී මීට පස්සේ කරදර වෙන්න එපා....මට දරුවො දෙන්නා ගැන දැන් බලාගන්න පුලුවන් ....."


“පොල් අතු වියලා මොනවා හම්බ කරන්නද....?


“උදේට, උදේට මම කඩයප්පන් හදලා, හන්දියේ තේ කඩේට දානවා..... මාත් නිකම් ඉන්නෑ. ලොකු කෙලිත් මට උදවු කරනවා...."


“කෙල්ලො දෙන්නට කොහොම හරි හොදට උගන්න ගන්න.... එච්චරයි අක්කට ඉතිරි වෙන්නේ..... මාත් පුළුපුළුවන් හැටියකට අක්කට උදවු කරන්නම්.....


“පොඩි මල්ලිත් පඩි ගත්තු දවසට කෙල්ලො දෙන්නට ඕන කරන දේවල් ගෙනත් දෙනවා....


“අපි අක්කව අමතක කරන්නේ නෑ..... තව ටිකක් අපි සිරිල් අය්යා ගැන හොයමුකෝ.... එහෙම නැත්නම් අපි එන මාසේ දිහාවට බණක් කියලා පන්සලට දානයක් ගිහින් දෙමු අක්කේ...."


“මල්ලිලාට හොඳ විදියක්....මටත් දැන් එහෙම හිතෙනවා....ඒකයි මම එයාගෙ පඩි සල්ලි වියදම් නොකලේ....ඒ මුළු පඩියම දානෙ ,බණ කියන වැඩේට ගන්න ඕනේ...."

අම්මා දෙගිඩියාවෙන් කීවාය.


තාත්තා නැති වී මාස තුනකට පසු මාමලා, ගමේ අය එකතු වී හාමුදුරු නමක් ගෙදරට වඩම්මවා බණක් කියවා දානයක් දී තාත්තාට පිං දුන්හ.... අම්මා ඒ දාන වැඩවලට ඉතා ඕනෑකමින් සහභාගි වූවාය.


-හෙට හමුවෙමු -


*ප්‍රිසිලා ගොඩහේවා *

8 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comentarios


bottom of page