top of page
  • Writer's picturePrisila Godahewa

🌺🌺මට හිමි ඔබයි 🌺🌺

💞මට හිම් ඔබයි💞

( 29 වෙනි කොටස )

https://www.facebook.com/groups/2653780434897311/permalink/2741685629440124/

නිදිපෙති බී වැඩිවෙලාවක් යන්නට මත්තෙන්, මට කලාන්ත ගතියක් මෙන් මුළු ශරීරයේම බර ගතියක් දැනෙන්න පටන් ගත්තාය.....වැඩි වේලාවක් නොයා...මගේ ඇහි පිල්ලන් වැසී ගියේ...මුළු ලෝකෙම අමතක වී දැනීම නැතිව යද්දීය ..... මා තද නින්දකට වැටුනි.


මගේ ආදරණීය රමේශ්ට.... මගේ නෑදෑයින්ගෙන් උන අසාධාරණයට, සාදාරණයක් කිරීම, දැන් මගේ එකම අභිප්‍රාය වී ඇත. ...,මම ඔහු වෙතට ගොස් නැවතීමේ බලාපොරොත්තුව ඇතුව... මේ වනවිට කරන හැම දේකම, අදිශ්ඨානයක් සිතේ දරාගෙන වැඩ කරන්නෙමි. ඔහු වෙනුවෙන් මා හට ඕන දෙයකට, මුහුන දීමේ දැඩි ශක්තියක් දැන් හිත තුල ඇතිවි ඇත. එතරම් එඩිතර ගතියක් ඇතුව මා ජීවත්වෙන්න පටන් ගෙන ඇත්තේ, රමේෂ්ට මගේ නෑදෑයින්ගෙන් උන ලැජ්ජාව හා අසාධාරණය නිසාය.


නිදිපෙති තුන හතරක් බිව්වාට, මා මැරෙන්නේ නැති බව, මම දැනන් උන්නෙමි. ඒ විශ්වාස ඇතුව, එදින රෑ, බාප්පාගෙ නිදිපෙති බී මා නිදාගත්තෙමි. එසේ කිරිම තුලින්, මට අවශ්‍ය වුවේ..... පසුදා උදේ මගෙයි, සුපුන්ගෙයි විවාහ ලියාපදිංචිය නවත්වා ගැනීමට හෝ එය කල්දමා ගැනීම පමණි.... ඉන් පසු කොහොමහරි විවාහ දිනයට ප්‍රථම ගෙදරින් පැන ගොස් රමේෂ් සොයා ඔහු ළඟටම යෑම මගේ බලාපොරොත්තුව වි ඇත. හෙටින් විවාහය ලියාපදිංචි කිරිමෙන් පසු ඇති ඉදිරි දින හතරක කාලය තුල,...

කෙසේ හෝ මම රමේශ් සොයා යෑම මගේ අරමුන වි ඇත.


නිදිපෙති බී ටික වේලාවකින් මට තද නිදිමතක් සමග ඔළුවේ බර ගතියක් දැනුණි. ඉන් පසු.... ඒ සමගම මට මා ගැනම ඇතිවුනේ බයකි. මේ නිදිපෙති බීමෙන් පසු මම මැරෙයිද කියා බයකුත් මට ඇති විය. එහෙම උනොත් මගේ රමේෂ් ....මම නැති සොවුන් මොනවා කර ගනීද....?? ඒ ගැන බියකුත් මට ඇත. කෙසේ නමුත් හෙට දවස ගෙවා දමා ගැනීමට, මගේ විවාහය ලියාපදිංචි කිරිම නවතාදැමීමට මට වෙන කල හැක්කක් නොතිබුනි. මා වටා බැද දමා ඇති මුරකාවල් නිසා, මම අන්ත අසරණ තත්ත්වයට පත්වී ඇත. එබැවින් අවසානයේ.. මා මේ තිරණය ගත් බව මගේ හිතින්ම මම මටම, සමාව අයැද සිටින්නෙමි .....


ඇදේ ඇලවී හොඳින් රෙද්ද පොරවගෙන ඇස්දෙක තදකර ගෙන සිටියෙදී මගේ දෑස් පියවී යන බව මතකය.


පසුදින දහවල් වනතෙක් මා බිව් නිදිපෙති වැඩ කර තිබුනි...... නිදිපෙතිවල තිබු සැර ගතිය නිසා, මට පැය ගානක් නින්ද ගොස් ඉද ඇත....හරියට නිදිමත ගොස්, මට හරි සිහිය හරියට එන විට දහවල් දෙකද පසුවී තිබිණි.


එදින උදේ මට තේ ඇරන් කාමරයට ආ අක්කා, පෙර දින රෑ මම අම්මාට ලියු ලියුම දැක.... කෑගසා ගෙදර සියලු දෙනා නැගිට්ටුවා ඇත. සිහිසුන් ලෙස සිටින මා දැක, ගෙදර සියලු දෙනා හොඳටම බය වී මා ඉස්පිරිතාලයට ගෙන ගොස් ඇත්තේ කූළිරියකිනි....ඉස්පිරිතාලයට මා රැගෙන ගොස්, බෙහෙත්, සේලයින් දීමෙන් පසු මට සිහිය, විත් ඇත්තේ දහවලින්ද පසුය. මා සිටි විදිහට,මා මැරේවි යන බියෙන් අම්මා අඬ අඩා ඉද ඇති බව කීවේ මල්ලියි... මට හොද සිහිය ආවයින් පසු මා නැවත ගෙදර රැගෙන එනවාද මට මතකය.


මා සිතූ ලෙසම විවාහය කල් ගොසින් ඇත්තේ මගේ හදිසි අසනීපය උඩය. මා එය සිතා මතා කල දෙයක් ඌවත්,.... සුපුන්ගේ ගෙදර අයට අම්මා පවසා ඇත්තේ...මට වැරදීමකින් බෙහෙත් පෙති වගයක් පෙවි ඇති බවකී..... කෙසේ වෙතත් ,මට අවශ්‍ය ලෙස මගෙ විවාහ ලියාපදිංචිය කල්ගොස් ඇත....එය විවාහ උත්සවය ගන්නා දිනයටම කිරීමට වැඩිහිටියන් ගිවිස ගෙන ඇත.

දැන් ඉතින් තව දින හතරකින් මගේ විවාහය සිදුවීමට නියමිතය. එදිනට මා නැකතට පෝරුවට නග්ගා මා සුපුන්ට කසාද බැද දීමට වැඩිහිටියන් බලපොරොත්තුවෙන් හිදි.. ...


එම දිනට පෙර මා මේ ගෙදරින් පැනගොස් රමේෂ් හමුවිය යුතුය. ....එහෙත් එය කෙසේ කරම්දෝ කියා මට සිතා ගැනීමට නොහැක. උගතෝකෝටික ප්‍රශ්නයකට මැදිව, කාමරයේ මා හිරවී, තනිවි ඇත.


"ලොකු මාමගෙ දුවව මේ දවස් ටිකේ ගෙදර ගෙනත් නවත්වගෙන,රුවිනිගෙ කාමරයෙම තනියට තියමු...." අක්කා කීය.


"කවුරු හරි කාමරයේ හැම තිස්සෙම තනියට තියන්න...නැත්නම් මෙච්චර දවසක් ඉදලා, අන්තිමට මොනව කරගනීද දන්නෑනේ...."


"මෙයා මෙච්චර මෝඩයි නපුරුයි කියලා දන්නවා නම්.... අපි මෙච්චර ඉක්මනට මේ මගුළ ඉක්මන් කරන්නෙත් නෑ...ගාල්ලේ මිනිස්සුන්ට වෙච්ච පොරොන්දුව නිසා මිසක් , රුවිනිව මෙච්චර ඉක්මනට බන්දලා දෙන්න අවශ්‍යතාවයක් නෑ..."


"එහෙම නෙමේනේ රුවිනිගෙ අම්මේ...මගුල කල් ඇරලා බලාගෙන ඉන්න පුලුවන් කමක් තිබුනේ නෑනේ....මේ ළමයා අර දෙමළා එක්ක පැනලා ගියානම්...., අපේ පරම්පරාවට වෙන අවනම්බුව ගැන හිතලානේ අපි මේ තීරණය ගත්තේ..."


"ඒක එහෙම තමයි ....ඒ උනාට වැරදිලාවත් අර නිදි පෙති වලට ආයෙත් නොඇහැරි තිබුන නම් මොන දෙවියන්ට කියන්නද...?"


විවාහය ලියාපදිංචියට පෙර දින මා නිදිපෙති බිවූ නිසා කවුරුන් හෝ දැන් මගේ තනියට නිතරම මගේ කාමරයේ මා ළඟ හිදියි....කන බොන නිදියන වේලාවලදී මෙන්, වැසිකිළියට ගියද, දොරකඩ කවුරුන් හෝ මා සමග කතා කරමින් මට තනි රකිමින් හිදියි ...


අනේ දෙවියනේ මට නිදහසක් ඇත්තේම නැද්ද?.... මං කොහොමද දැන් මේ ගෙදරින් පැන ගන්නේ... මට තියෙන එකම සැනසීම මං කොයි වෙලේ හරි පැන ගිය විට රමේෂ් මාව බාරගන්න, කැමැත්තෙන් ඉන්නා බව දැන සිටිම පමනි.


මං මේ රැකවල් මැද ඉන්නා බව ශර්මිලා, රමේෂ්ට කියන්නට ඇතිබව මට විශ්වාසය. රමේෂ්ගේ හිතේ මා ගැන ඇති සෙනහස, බලාපොරොත්තුව නැති නොකර කෙසේ හෝ මා මේ රැකවල් මැදින් පැන ඔහු වෙතට යන්නට විදිහක් සිතමින් නිදි නැතුව කල්පනා කලෙමි.....


“පොඩි දුව....මේ සුපුන් ඇවිත් ඉන්නවා.....එළියට . ගිහින් කතා කරන්න...

අම්මා කීවාය.


“මට බැහැ....මම මුරන්ඩු ලෙස කීවෙමි .


“ගිහින් කතා කරන්න. ඒ ළමයා ඊයෙත් ආවා....ඔයා නිදි කියලා මම හරවලා ඇරියා..."


මම සුපුන්ට අකැමැත්ත පෙන්වන්න, පෙන්වන්න, ගෙදර අය මට තව තව මුරකාවල් යොදන බව මට වැටහේ..... ඒ නිසා මම මගේ මඟුලට කැමැති ලෙස අවසානයේ සැමට තේරුම් යන ලෙස හැසිරෙන්න සිතා ගත්තෙමි... ඒ තුලින් මා හට ගෙදරින් පැනගන්න අවස්තාවක් සලසා ගත හැකි වෙතැයි මම සිතුවෙමි ...


මම මූණ කට සෝදා , හොඳ ඇඳුමක් ඇඳගෙන සාලයට යන්නට ලෑස්ති උනද, මා බිව් නිදිපෙති අදිමාත්‍රව, හේතුකොටගෙන මගේ ඇගට තවම කෙලින් නැගිට ඉන්නට තරම් ශක්තියක් නොවීය. කෙසේ නමුත් මම හෙමිහිට සාලයට අම්මා සමග ඇවිද ගොස්, සුපුන් ළඟින් වාඩි වුණෙමි.


“දැන් කොහොමද ඔයාට රුවිනි ...? ඔච්චර පොඩි ළමයෙක්ද ඔයා, වැරදිලා බෙහෙත් බොන්න....." සුපුන් කරුනාව මිශ්‍ර ආදරයකින් මගෙන් ඇසීය.


මම සිනාසි බිම බලා ගත්තෙමි.

අම්මලා සුපුන්ලාගෙ ගෙදර අයට කියා ඇත්තේ මං වැරදිලා බෙහෙත් වගයක් බිව් කතාවකී.... එලෙස නොකිව්වානම් ඒ මිනිස්සු මං ගැන වැරදි විදියට හිතන බව සත්‍යයකි .


මට නිතරම සුපුන් සමග තනිවි කතා කරනාවිට, මම මේ මගුලට, නැතහොත් ඔහුව කසාද බදින්න කැමති නැතිබව කියන්නට සිතේ....නමුත් මම එසේ කීවත් ගෙදර අය මේ මගුළ මට අනිවාර්යයෙන්ම කර දෙන බව මම දැනන් උන්නෙමි . වැරදිලාවත් මට රමෙශ් එක්ක, අන්තිම මොහොතේ පැන යන්නට නොහැකි වුවොත්...., මට ජීවිත කාලයේම සුපුන් සමග ජීවත් වෙන්න සිද්දවෙන බවද මම සිතිය යුතුය.... එබැවින් ඔහු රමේෂ් ගැන නොදැන ඉන්නා එක මගේ වාසියටද හේතුවක් විය හැක.


ඒ නිසා මම මේ මඟුලට අකැමැති බවක්, සුපුන්ට නොකියා සිටිම හොද යැයි මට සිතේ...


බාප්පලා එදා රමේෂ්ට බස් නැවතුමේදී, බිම දමාගෙන ගැසූ අවස්තාවේ මගේ හිතේ බාප්පා ,මාමලා ගැන ඇති වුන කේන්තිය.... එන්න එන්න වැඩිවීම මිස අඩුවීමක් නම් සිදු නොවේ...එබැවින් ඒ පළිය ගැනීමේ චේතනාවෙන් මම නිහඩවම පසුවෙමි.


“අනිද්දට අපේ වෙඩින් එක....ඒකට හැම දෙයක්ම දැන් ලෑස්තියි..... මං හිතන්නේ රුවනිලාගෙ අම්මලා හැමදෙයක්ම ලෑස්ති කරගෙන ඉන්නේ.... ඇයි රුවිනි කැමැත්තෙන් නෙමෙයිද ඉන්නේ මාව කසාද බඳින්න....?


සුපුන් එසේ අසන විට එහෙම දෙයක් නැතැයි , හිස දෙපැත්තට සලා, බිම බලාගෙන "නැතැයි "කීවෙමි.


සුපුන් ඉතා අහිංසක තැනැත්තෙක් යැයි මට සිතේ.... ඉතා හොඳ වැදගත් පවුලක එකම පිරිමි දරුවා ඔහුය. හොඳ දේපොළකට හිමිකම් කියන, හොදින් සල්ලිබාගෙ තියෙන ඔහු ඉතා උසස් රැකියාවක් කරන්නෙකු බව කීවේ මගේ අක්කායි. ඔහුගේ හීන්දෑරී, නෝන්ජල් පෙනුමට නම් මගේ කිසිම කැමැත්තක් නැත.


“රුවිනි කැමැති නම් බැන්දට පස්සේ රස්සාවට යන්න....ඔයගොල්ලන්ගෙ අම්මා කිව්වා, ඔයාව රස්සාවෙන් අස්කරපු එකට ඔයා තරහින් ඉන්නේ කියලා .... මගේ අකැමැත්තක් නැහැ ඔයා රස්සාවක් කලාට.....මම ගාල්ලේ පැත්තෙන් ඔයාට හොද රස්සාවක් හොයලා දෙන්නම්...... බැදලා ගාල්ලේ නවතින්න ගිහාම හොයා ගන්න පුලුවන් ....."


“ අපි ඒක පස්සෙ බලුමු....."


මම කෙටියෙන් කීවෙමි.


විවාහ දිනයට පෙර දින....දහතුන් වැනිදා දවසටද දිනය උදාවිය.....තවමත් මට රමේෂ් සොයා යෑමට අවස්තාවක් උදා නොවීය. මා වටකරගෙන මුරකාවල් දමගෙන සිටින නෑදෑයින්ගෙන් බේරී මම කෙසේ පැනගම්දෝ කියා සිතමින් කාලය ගත කලෙමි.....


"මොනවද රුවිනි අක්කේ...හෙට ඔයාගෙ වෙඩින් එක නිසා සතුටින් හිනාවෙලා ඉන්නකෝ....ඔයා හරියට මරන්න ගෙනියන හරකෙක් වගේනේ දුකෙන් ඉන්නේ..." මට තනි රකින ලොකු මාමගෙ දියණිය කීය.


එදින මුළු දවසේම මම හොඳ ඇඳුමක් ඇඳගෙන.... මුදල් ටිකක්ද හැට්ට කර අස්සේ දමාගෙන ලෑස්ති වී සිටියේ කොයි වෙලාවේ හෝ ඉඩක් ලැබුණු ගමන් ගෙයින් එළියට බැස රමේෂ් සොයා යන්නටය....


රමේෂ් ,ශර්මිලා අතේ එවා තිබු ලියුමේ තිබුන, ලිපිනය සොයාගෙන යන්නට මම එම ලිපිනය හොදින් හිතේ මතක තියාගෙන උන්නෙමි .....එම ලිපිනය රමේෂ්ගේ යහළුවෙකුගේය....එම යහලුවාගේ බිරිඳ සමග, මීට ප්‍රතම අපි ගිය කලුතර විනෝද ගමනේදී මට කතා කරන්න අවස්තාව ලැබී තිබුනි. ඔවුන්ට රමේෂ් මං ගැන කියා ඇති බැවින් ඉඩක් ලැබුණු වහාම එහෙට යන්න මම සූදානමින් උන්නෙමි. ඒත් ගෙදර හැමෝම මගේ පස්සෙන් වැටී මට මුරකාවල් දමා ඇති නිසා..... කොහෙත්ම මට ගෙදරින් එළියට බහින්නට නම් ඉඩක් නොලැබෙන බව පෙනෙන්න ඇත..... කිඹුහුමක්වත් අරින්නට විදියක් නැති ගානට, මගේ ළඟටම වී කවුරුම හෝ තනි රැකීම....මා තව තවත් මුරන්ඩු බවට පත් කරමින් හිදී..... වතුර එකක් බොන්න ගියත් වතුර එක වක්කර මගේ අතටම දෙන්නට තරම් මා සැක කරමින් ගෙදර අය පසුවේ....


එදින උදේ ඉදන් රෑ වෙනකම් මම ගෙයින් පිටවීමට උත්සහ ගත්තත්....මුළු දවසම ගෙවුණේ එසේ මුරකාවල් මැදය. මට මුරකාවල් දමමින්....පසු දින මගේ මඟුලට ගෙදර සැවොම කළබලේ ලෑස්ති වෙන බවද මට පෙනේ...... කෑම, බීම හදති. ගෙවල් අස්කරති... මගේ හනිමූන් ගමනට ගෙන යන්න ඇඳුම්, පැලඳුම් ලෑස්ති කරන්නේද ඔවුන්‍ ය.... හැම වැඩ රාජකාරියක් මද්‍යයේම කවුරුන් හෝ මගේ සෙවණැල්ල මෙන් ඉඳ මට තනිද රකියි.


එදින මුළු දවසම ගෙවී....රාත්‍රීයද උදාවිය. ගේ ඇතුලේ සද්ද බද්ද ගොඩකී. ගෙයි සාලය කොනක මගේ මගුල් පෝරුව ගොක්කොළ වලුන් සරසමින් ගෙවත්තේ කූඩාරම් ගසමින් පිරිමි කට්ටිය වැඩය...ගැහැනුන් කෑම බීම සදමින්, හෙටට අදින්න ඇදුම් පැලදුම් ලෑස්ති කරමින්...ගෙවල් දොරවල් අස්පස් කරන වැඩද කරයි....


“පොඩි දුව මේ බත් එක කාලා අද ඉක්මනට නිදාගන්න.....හෙට උදේම මණමාලියන්ට අන්දවන කෙනා එනවා කියලා තියෙනවා ...."


අම්මා බත් එකක් ගෙනත් මගේ අතේ තැබුවේ කරුනාවෙනි.


“මට බඩගිනි නැහැ අම්මේ....මට එපා..."


“එහෙම කියලා බැහැ දුවේ.... හෙට දවසේ ලස්සනට ඉන්න...ඇගට පන තියෙන්න ඕනේ.... ඉන්න මම ඔයාට කවන්නම්..."


අම්මා මට බත් කටවල් හත අටක්ම කැව්වේ ආදරයෙනි..... මට ඇය ගැන දුක සිතිණි.

හෙටින් පසු මා කසාද බැද වෙන ගෙයක නවතින්න යන නිසා වෙන්නට ඇති,... අම්මා පොඩි කාලේ මෙන් මට ආදරෙන් බත් කැව්වාය.... මට අම්මා ගැන දුක සිතෙයි. ඒත් දැන් මට ඊට වඩා දුක හිතෙන්නේ ..... මං ගැන බලාපොරොත්තුවෙන් සිටින රමේෂ් ගැනය....


හෙට උදේ මගේ මඟුල කෙරෙන්නට හැම දෙයක්ම සුදානම් බව පෙනේ.....හෙට මා සුපුන්ට කසාද බන්දා දුන්නොත්....ඉන් පසු මම කොහොමද දෙවියනේ .... රමේෂ් ළඟට යන්නේ....අම්මා බත් කවද්දි මට මම ගැන ,රමේෂ් ගැන සිහි වී කදුළු ගලන්න පටන් ගත්තේය.


-හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

3 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Commentaires


bottom of page