top of page
  • Writer's picturePrisila Godahewa

🌺🌺මට හිමි ඔබයි🌺🌺

💞මට හිමි ඔබයි💞

(23 වෙනි කොටස)

https://www.facebook.com/groups/2653780434897311/permalink/2735476203394400/

රමේෂ්ලා සමග ගිය විනෝද ගමනේදි, රමේෂ් ලගින් හිද , ඔහුගෙ නොනවතින කතාබහට සවන් දෙමින්, ඔහුගෙ සුන්දර සිනාව විදිමින්, ජිවිතේ මුල් වරට දැනුන ආදරය හිත පුරා පැතිර යද්දී ..... ඔහුගෙ පහසින් ලද උනුසුම.., ඔහුගේ දෙනෙතිහි පිරි ඉතිරි ගිය ආදරනිය බව, මගේ හිත අමුතුම ලෝකයකට ගෙන යන බවක් දැනුනි.....


විනෝද ගමන ගොස් ආ දිනේ පටන්.... ජීවිතේ මම වැඩියෙන්ම සතුටු උන, කිසිදින අමතක නොවන ඒ සුන්දර දවස මම සැරෙන් සැරේට සිහිපත් කරමින් සතුටු උනෙමි. ඔහු ගැන සිහිවන හැම මොහොතකම, නැගෙන රසවත් සිතිවලි වලින් මගේ හිත බරවි ඇත.

ඔහු සමග එකතු වී අනාගතයේ ගත කරන්නට හැකි රසවත් විවාහ ජීවිතයක් ගැන මම දැන් සිහින මවන්නෙමි. තනිවි සිටින හැම මොහොතකම, ඔහුගෙ පහසින් ලද උනුසුම, සැනසුම මතක් කර මම හොරහින් සතුටු වන්නෙමි. ඒ හැම මොහොතකම මගේ හදවත ඔහු ගැන ආදරයෙන් පිරි ඉතිරි යන්නේ තව තවත් මා ඔහු වෙතටම ඇද බැද තබා ගෙනය ....තනිවි සිටින හැම මොහොතකම, හැම රාත්‍රීයකම මම ඔහු ගැන සිහින මවමින් නින්දට යන්නෙමි .ඒ හැම දිනකම හැම සිහිනයකම, මා ඔහු සමග එකට එකතුවී එක වහලක් යට ගත කරනා ලස්සන සිහින දුටුවෙමි. ඔහුගේ ආදරය පිරුනු දෙඇස් මා ඉදිරිපිට රග දුන්නේ මා කුල්මත් කරමින්‍ ය. ඔහුගෙ ආදරයෙන් මා උන්මන්තකයකු ගානට වැටි දවස ගෙවනා හැටි...මටම මේ සිදු වී ඇති විපර්යාසය තේරුම් ගැනිමට නොහැකිය. සැමදා රාත්‍රීයේ

සිහිනෙන්, මගේ ලග ඔහු ජීවමානව සැරි සරන්නේය. ඔහු නිසා මගේ හිතේ ඇතිවි තිබෙනා ආදරය, කැමැත්ත, සතුටු ගගක මා පාවි යන්නා සේ දැනේ. ...


නමුත්.....විනෝද ගමන ගොස් ආ පසු, ඔහු ගැන හිතේ ඇතිවන සතුටු හැගීම් සමග, ඉදහිට මගේ හිත විශාල බයකින් හා නොසන්සුන් බවකින්ද පිරි යයි....සියලු සුන්දර සිහින අස්සේ මට අම්මා, බාප්පා සහ මාමලා...... රමේෂ්ගේ හා මගේ සම්බන්දයට කැමැති නොවේදෝ කියා සිතේ ඇතිවන්නේ විශාල සැකයකී... ඒ සමගම මට ඇතිවෙන්නේ ලොකු බයක් සමග දුකකි......


සැමදා උදේ රැකියාවට ගිය පසු, හවස වැඩ ඇරි රමේෂ් දකින කම්,මා නොවිසිල්ලෙන් පසු උනෙමි.

මේ වන විට ශර්මිලා සමග මම, කන්තෝරුව ඇරි එහේ මෙහෙ සාප්පු සවාරි ගිය ගමන් බොහෝ දුරට අඩුවී ඇත. ඒ වෙනුවට මම රමේෂ් සමග ඇවිදින්න යන්නට පටන් ගෙන ඇත.


අප දෙදෙනා මුල්ම වතාවට මුණ ගැසී....දැන් මාස ගානක් ගෙවී ගොස් ඇත. ඒ කාලය තුල, පාළු මංමාවත්..., මල් උයන්,... මුහුදු තීර .....අවන්හල්... සාප්පු සවාරි...විනෝද චාරිකා වටා.... අත්වැල් පටලවමින් හුරතල් වෙමින්, ආදරබර කතා දොඩමින් දෙදෙනා ඇවිද ගියේ....මුළු ලොවක් එරෙහි උනත් කිසිදා බිදිය නොහැකි තරම් දැඩි ආදර බැදීමකට යටවය.


"මට නම් බයයි රමේෂ් ...අපේ අම්මලා අපි දෙන්නගෙ සම්බන්දයට කැමති වෙන එකක් නැතිවෙයි කියලා ..."


"අනේ මන්දා රුවිනි ...තාම ඔයාට බදින්න වයස තියෙන නිසා, දැන්ම ගෙදරින් අහන්නත් මොකක්ද වගේ..."


"ඒක තමයි ...අපි තව අවුරුදු දෙකක් විතර මෙහෙම ඉදලම ගෙවල්වලට අපි ගැන කියමු...."


"මම ඊට වඩා බයෙන් ඉන්නේ රුවිනි ....මේ දවස්වල යාපනේ සිංහල දෙමළ කෝලහල වගයක් පටන් ගෙනනේ...."


"ඒක තමයි මටත් ආරංචි උනා...මේ දවස්වල පත්තර වල, රේඩියෝ එකේ නිව්ස් වලට නිතර ඒ ගැන කියනවා...."


"මම බයේ ඉන්නේ අපේ අම්මලා නංගිලා ගැන...."


"ඒගොල්ලන්ව කොළඹ එක්කගෙන එන්න...එතකොට ඔයාටත් ඒගොල්ලොත් එක්ක ඉන්න පුලුවන් නේ..."


"ඒගොල්ලෝ අපේ පරණ ගෙවල් දොරවල් දාලා එන්න කැමති නෑ....ඒගොල්ලන් කොළඹ ජීවත් වෙන්න ආස නෑ..."


"කොහේද ඔයගොල්ලන්ගෙ අනෙක් නෑදෑයෝ ඉන්නේ රමේෂ් "


"යාපනේ තමයි වැඩිපුර නෑදෑයෝ ඉන්නේ...හැමෝම දැන් හරි බයෙන්ලු එහෙ ඉන්නේ...දෙමළ කොටි හමුදාවෙන් ගෙවල් වලට ඇවිත් කරදර කරලා, කප්පම් සල්ලි ඉල්ලනවලු ඒගොල්ලන්ගෙ වැඩ වලට...දීලත් බැරිලු, නොදිත් බැරිලු....හරිම කරදරයක් තමයි අපේ අයට උනේ .."


"මාර වැඩේනෙ උනේ... ඉතිං ඒගොල්ලන්ගෙ රස්සාවලට යන, වැඩරාජකාරි එහෙම කොහොමද ...?


"ඔව්...හැමෝටම කරදරයි...කෑමබීම උනත් හොයාගන්න .."


" මේ කරදර නිසා අපේ ගෙවල් වලින් නම් කොහොමත් දැන් කැමති වෙන එකක් නෑ අපේ සම්බන්ධයට.."


"එහෙම උනොත් ඔයා මොනවද රුවිනි කරන්නේ...?"


"මට තාම හිතාගන්න බෑ මොනවද කරන්නෙ කියලා .."


අපේ පරම්පරාවක සිංහල දෙමළ දෙදෙනෙක් එකතු වුන නෑදෑයෙක් ගැන මම කිසි දින අසා නැත. දමිළ ජාතිකයන් සමග සිංහල ජාතිකයන් එකතු නොවුනු කාලෙක, සිංහල දෙමළ කෝළහාල කාලේ... මම මේ කුමක්ද කරගෙන තියෙන්නේ කියා විටක සිතේ....රමේශ්ට මගේ ආදරය පූදකල පසු, ඔහුගෙ ආදරයෙන් හිත පිරි ගොස් ඇති කල, මම කෙසේද අම්මා බාප්පා, අක්කා අකමැති උනත් ඔහු දැන් අමතක කර වෙනතක් බලන්නේ.....මම ඔහුට දුන් පොරොන්දුව, කෙසේද මම දැන් කඩාබිද දමන්නේ... අපේ අම්මලා නම් මේ මගුලට කිසිදින කැමති නොවන බවනම් මට ඉරහද සේ විශ්වාසය.. ....එසේ නම් ඉස්සරහ කාලේ මම මොනවද කරන්නේ...? මට කිසි දෙයක් සිතා ගැනිමට නොහැක. ඒ ගැන සිහිපත් වෙන හැම මොහොතකම මගේ හිත සොවින් බරවේ...


රමේෂ් අප දෙදෙනාගෙ සම්බන්ධය ගැන මොනවා කිව්වත්....අපේ සම්බන්ධයට කවදාහරි සිංහල දෙමළ ප්‍රශ්නය නම් ඇති වෙනවා කියන එක මට හොදටම විශ්වාසය. රමේශ්ගෙ ආගම ජාතිය හැරෙන්න එයාගෙ වෙන කිසි අඩුපාඩුවක් නැත. ඔහුට හොඳ රස්සාවක් , හොද ගතිගුණ, හොද පෙනුමැති රමේෂ්ගෙ ගෙදර පසුබිමද ගොඩක් හොද බව මට තේරුම් ගොස් ඇත.

ඔහුට සිටින්නේ එක සහෝදරියක් පමනය. . ඇයත් කසාද බැඳ අම්මලා, තාත්තලා සමග වවුනියාවේ පදිංචි වි ඇත. රමේෂ් පාසැල් යන කාලයේ සිට කොළඹ නැවති හිද ඇති නිසා ඔහුට සිංහල හොදින් කතා කිරිමට හැකියාවත් ලැබි ඇත.


"මොනවද රුවිනි හැම තිස්සෙම කල්පනා කරන්නේ..."


"අනේ මන්දා.... මාත් ඉඳලා ඉඳලා ආදරය කරන්න පටන් ගත්තේ ප්‍රශ්න ගොඩකට කියලා මට වෙලාවකට හිතෙනවා...."


" ඇයි ඔයා දැන් මට කැමති නැද්ද ...?


"එහෙම නෙමේ රමේෂ් ...මට හිතා ගන්න බෑ ඉස්සරහ කාලේ මොනවද කරන්නෙ කියලා .."


"වැඩිය කල්පනා කරන්න එපා රුවිනි ....තව ටික කාලෙකින් අපි ගෙවල් වලට කියලා බලමු...

"


" මටත් එහෙමයි හිතෙන්නේ.....,ඒත් අපි කොච්චර ආදරයෙන් තේරුම් ඇරන් හිටියත්, අපේ දෙමව්පියන් නම් කවදාවත් අප තේරුම් ඇරන් අපට එකතු වෙන්න දෙන්නෙ නැති වෙයි...."


"ඔයාගෙ අක්කා අපට උදව් කරයිද...?ඔයා මුළින් එයාට මේක කියලා බලන්න ....මට නම් අපේ ගෙදර අය කැමති කරව ගන්න පුලුවන් වෙයි....අපි ඉස්සරහ කාලේ ඒ ගැන බලමු..."


කෙසේ වුවද කාලය හෙමිහිට ගෙවිගොස්..... අවුරුද්දක විතර කාලයක් අපි දෙදෙනා ආදරයෙන් බැදී උන්නෙමු. හැමදාම උදේ සවස මුණගැසි ගෙවුන කාලය සතුටින් ගතවින. අපි අපේ නොයිදුල් ආදර සම්බන්ධය හොදින්ම පවත්වාගෙන ගියෙමු . දෙදෙනාට දෙදෙනා එක දවසක් නොදැක ඉන්න බැරි තරමට අපි ආදරෙන් බැදී උන්නෙමු.


දිනපතා සතියේ දිනවල වැඩ නිමකර මුණ ගැසෙනා අපි..., ඉද හිට සෙනසුරාදා ඉරිදාට හා සතියෙ දිනවල, වේලාසන වැඩ නිම කර කොහේ හෝ ඇවිදින්න යන්නෙමු. ඒ අතර ෆිල්ම් බලන්නට, අවන්හලකට ගොස් රස කෑම කන්නට හා සාප්පු සවාරිද ගියෙමු. එන්න එන්නම අප දෙදෙනා නොබිදෙන ආදරයකින් බැදී දෙදෙනාට දෙදෙනා අමතක කරන්න බැරි තරමට ලංවී සිටියෙමු. මේ වන විට මා හට රමේෂ්ව දවසක් හෝ දැකගත නොහැකි තත්වයට පත්ව ඔහුට පුදුම විදිහට ආදරයෙන් බැදි උන්නෙමි. රමේෂ්ටද එසේම වන්නට ඇතැයිද සිතුවෙමි. ඉස්සරහ කාලයේ එන ඕනෑම ප්‍රශ්නයකට බය නැතිව මුහුණ දෙමු යැයි අපි දෙන්නා, දෙන්නාටම පොරොන්දු වුණෙමු.


"රුවිනි දැන් නම් සිංහල දෙමළ කෝළහාල හොදටම වැඩිවේගෙන එන්නේ...මටත් දැන් නම් බයයි...."


"හරි වැඩේ නේද රමේශ් ...මෙච්චර කාලයක් සිංහල දෙමළ මිනිස්සු එකමුතුව ඉදලා.. හිටි හැටියේ මේ ත්‍රස්තවාදීන්ගෙ කලබල නිසා, මිනිස්සු වෙනස් උන විදිහ....මට ඔයා ගැන බයයි රමේෂ් ..."


"බොරු කියන්නේ මොකටද රුවිනි ..මමත් දැන් බයෙන් ඉන්නේ....ඔයාගෙ නෑදෑයෝ වගේම, මගේ ගමේ නෑදෑයෝ මම සිංහල කෙනෙක් එක්ක යාළුයි කියලා දැනගත්තොත් මොනව වෙයිද මන්දා..."


මේ වන විට ලංකාවේ සිංහල දෙමළ ජාතිවාදී ප්‍රශ්නය හෙමිහිට හිස ඔසවමින් එන කාලයක් විය. මගේ හිතේ රමේෂ් ගැන තිබුනේ විශාල බයකි. සිංහල මිනිසුන්ට දෙමළ මිනිසුන් නයාට අදුකොළ මෙන් විශ වී ඇති කාලයකි....රමේෂ් ඉදහිට ඔහුගෙ දෙමව්පියන් බැලීමට, වවුනියාවේ ගිය කලට මම හිත යටින් දෙවියන් යදිමින් උන්නෙමි.

පාරක තොටක උනත් අප දෙදෙනා එකට යනවිට මිනිසුන් දෙපාරක් හැරි බලන්නට පටන් ගෙන ඇතැයි දැන් නම් මට සිතේ...

මේ කාලය වන විට රමේෂ් නිතර බයෙන්, සැකෙන් පසුවන බවද මට තේරුම් ගොස් තිබුනි.... ඔහු ඔහුගේ දෙමව්පියන් සහෝදරිය ගැන හිතෙන් දුක්වන, කරදර වන බව මා හටද කීය. දැන් ඔවුන්ට දෙමළ ත්‍රස්තවාදීන්ගෙන් කරදර වෙන්න පටන්ගෙන ඇතිබව රමේෂ්ට ආරංචි වි ඇත.


- හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

11 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page