top of page
  • Writer's picturePrisila Godahewa

🌺🌺මට හිමි ඔබයි🌺🌺

💞ඔබ හිමි මටයි 💞

>>>>>>>>>>>>

(3 වන කොටස)

https://www.facebook.com/groups/2653780434897311/permalink/2713678552240832/

මගේ මවගේ උපන් ගමේ අප පදිංචිව හිදින්නෙමු ... ඒ මගේ මවට දෑවැද්දට ඇගේ දෙමව්පියන් සාදා තෑගි කරන ලද ගෙදරය.

වෑබඩ ගමේ සියල්ලෝ අපේ නෑදෑයින් වන අතර අප සියල්ලෝ නැන්දා, මාමා, අක්කා අය්යා කියමින් නෑදෑකම් කියමින් එකිනෙකා අමතන වුන්‍ ය. එබැවින් පුංචි අපට මුළු ගමම එකම පවුලක් ලෙස පෙනින.


හමුදාවේ සේවය කළ මගේ පියාගෙ ගම බදුල්ලේ සුන්දර ගම්මානයකි. ඔහු මගෙ මව කරකාර බැද බෙන්තර ,වෑබඩ ගමේ පදිංචියට එන්නේ කපුරාල කෙනෙක් ගෙනා මංගල යෝජනාවක ප්‍රතිපලයෙනි....මවට දෑවෑද්දට ලැබුනු නිවසේ අප පදිංචි වී හිදින්නෙමු. මගෙ පියා රාජකාරි කරන ලද්දේ රත්නපුරයේ බැවින්, ඔහු එහි, නිළ නිවාසේ පදිංචිව වැඩට යන්නේය. ඔහු සෑම මසකම අග අප බලන්නට බෙන්තරට පැමිනෙයි. සෑම මසකම අම්මාට දීමට ඔහුගේ වේතනය හා අපට කෑමට රසකැවිලිද රැගෙන ඔහු එනතෙක් අප සිටින්නේ නොවිසිල්ලෙනි.


ඔහු රත්නපුර හමුදා නිල නිවාසයක නැවතී සේවය සඳහා යෑමත්, රජයේ හමුදා සේවකයෙකු ලෙස වැඩ කිරීම නිසත්, තාත්තාට ගමේ සියල්ලෝම ඉතා ගෞරව පූර්වකව සලකති. ඔහු ඉතා කාරුණික කෙනෙකුද විය. එබැවින් ගමේ සියල්ලෝම ඔහු රැකියාව සඳහා රත්නපුරේ ගිය පසු අම්මාවත්, මාවත්, අක්කාවත් ඉතා ආදරයෙන් බලාකියා ගනිති. අපේ සියලු ඕනෑඑපාකම්වලදී උදවු උපකාර කරති. තාත්තා ගෙදර නැති පාළුව අපට නොදැනෙන්නට නෑදෑයන් වගබලා ගැනීම අම්මාට මෙන්ම අක්කාටත්, මටත් ලොකු සතුටකි.


තාත්තා හැම මාසෙම අන්තිමට, නිවාඩු ගෙන රත්නපුරේ සිට ගෙදර එන දවසට, පෙර දිනයේ පටන්.... අම්මා ඉතා කඩිසරව ගේදොර අස්පස් කර රස කෑම සාදා සතුටින් ඉන්නවා දැකීම අක්කාටත්, මටත් සතුටකි.


“ලොකු දුවේ මම ළිඳට යනවා නාන්න.... නංගිත් එක්ක ඉක්මනට පාඩම් වැඩ ඉවර කරලා ඇඟපත සෝදගන්න, තාත්තා දැන් මග එනවත් ඇති....


“තාත්තා අද අපට කන්න, මොනව ගෙනෙයිද දන්නෑ නේද අක්කේ.......


“නංගි ඉතිං බලන් ඉන්නේ තාත්තා එනකම් නෙවේ....ගේන රස කෑවිලි කන්න.....


“ඇයි මං විතරක්, ඔයත් එහෙමනේ."


මසකට වරක් ගම එන තාත්තා අපට රසකැවිලි හා ගෙදරට අවශ්‍ය කරන හාල් තුනපහ බඩුත් රැගෙන එයි. පුංචි මටත්, අක්කාටත් බූන්දී, නාරං බික්, කළු සුදු ඉරි පෙපර්මින්ට් කොට්ට ගෙන ඒම නම්, තාත්තා අමතක නොකරම කරයි. තාත්තා අක්කාට වඩා මට ආදරේ යැයි මම සිතමි. නමුත් අක්කා සිතන්නේද එලෙසමය.


අම්මාගේ සහෝදර සහෝදරියන්ද වටපිට ගෙවල්වල පදිංචිව සිටින බැවින් තාත්තා ඔවුන්ගේ දරුවන්ටද ඔහු එනවිට සීනිබෝල ආදිය ගෙනැවිත් බෙදා දෙන්නේය.


තාත්තා මාසයකට සැරයක් ගෙදර එන්නේ ඔහුගේ වේතනයද රැගෙනය. ඔහු ඔහුගේ මාසික වේතනය, අම්මා අතටම ගෙනත් දී, පසුව ඔහුගේ අවශ්‍යතාවන්ට අම්මාගෙන්ම නැවත මුදල් ඉල්ලා ගනියි.


“සුදුනෝනා මං ගෙදර නැති දවස්වලට, ළමයි දෙන්න එක්ක හරියට මහන්සි වෙනවනේ තනියම...., මං බලන් ඉන්නේ, ගමට මාරුවක් කොයිවෙලේ හරි හදාගන්නයි."


“අනේ ඔව් මහත්තයා, පුළුවන් ඉක්මනට ගමට මාරුවක් හදාගන්න බලන්න..... මට විතරක් නෙමේ මේ කෙල්ලො දෙන්නටත් හරි පාළුයි ඔයා නැතිව......


තාත්තා ගෙදර ආ දවසට මාත්, අක්කාත්, තාත්තාගේ ඔඩොක්කුවේ වාඩි වී හුරතල් වීමට පොරකති. තාත්තා අප දෙන්නාවම මාරුවෙන් මාරුවට ඔහුගේ සරමේ බොක්ක සාදා...ඔඩොක්කුවේ තියාගෙන ඔළුව අතගායි. නැත හොත් කරේ තියාගෙන උප්පු ගෙනයයි. අම්මා නම් අප තාත්තා ළඟ හුරතල් වන විට බොරුවට අපට කෑගසයි....


“මේ ලොකු කෙල්ලත් හුරතල් වෙන හැටි...."

ඇය අක්කට බනියි.


"තාත්තා ගෙදර ආපුවහම තමයි මේ ළමයි ගෙදර ඉන්නේ..... නැත්නම් ඉතිං ගම පුරා කොල්ලො, කෙල්ලෝ එක්ක නටනටා රවුම් ගහනවා, මම කියන දෙයක් අහන්නෙම් නෑ...."


අම්මාගේ සහෝදර සහෝදරියන් වටපිට ගෙවල්වල සිටිනා බැවින්, තාත්තා කිසිදු බයක්, සැකක් නැතිව අපව ගෙදර දමා රැකියාවට යන්නේය. ඔහු මාසයක් දෙකක් ගෙදර නාවත් අප ගැන බැලීමට මාමලා සිටින බව තාත්තා දන්නේය. අක්කාත්, මමත් මාමලාගේ දරුවන් සමඟ නිතර කාලය ගත කරන්නේ සෙල්ලම් කරමින්‍ ය. පාසල් යන්නේද, සෙල්ලම් කරන්නේද ගගේදොළේ පැන නාන්නේද ඔවුන් සමඟය.


මවගේ සහෝදර සහෝදරියන්ගේ දූදරුවන් සමඟ හැදී වැඩුණ අපට, අපේ ළමා කාලය ඉතා රසවත් විනෝදාත්මක කාලයක් විය.

නිවාඩු කාලයේ කැලේ කටු අකුල්වල, ගං ඉවුරේ දුව පැන නටන අපි මුළු නිවාඩු කාලයම සෙල්ලමෙන් ගත කරන්නෙමු. මාමලාගේ සහ ලොකු අම්මාගේ දූදරුවන් සමඟ මුළු දවසේම සෙල්ලම් කරන අප ගෙදර එන්නේ බඩගිනි වූ විට පමනය.


අක්කා වැඩිවියට පත් වු පසු ටිකෙන් ටික අප සමග සෙල්ලම් කිරිමට එන එක නැවත්විය. ඇය අප සමඟ කැලේ, ගං ඉවුරේ නටන්න, සෙල්ලම් කරන්න ආවේ කලාතුරකිනි. එයට හේතුව අම්මා ඇයට නීති දමා තිබූ බැවින් බව මා දැනන් උන්නෙමි.

පුංචි මාත් සමඟ සෙල්ලම් කිරීමට සිටි මාමලාගේ දරුවන් සියල්ලන්ම මගේ වයසේ බැවින් මා හට නම් කිසිදු කම්මැලිකමක් තිබුණේම නැත. පාසල් ගොස් පැමිණ උඩින්පල්ලෙන් බත් කා මා දුවන්නේ සෙල්ලම් කිරීමටය. සමහර විට අම්මාගෙන් බැණුම් අසන වේලාවන්ද ඇත.


“කොල්ලෙක් වගේ කොයිවෙලෙත් සෙල්ලම....පොතක් පතක්, පාඩම් කරන්න උවමනාවක් නෑ.... ආපුදෙන්කෝ තාත්තා මං කියන්න...."

අම්මා නිතර කියයි.


නමුත් තාත්තා ගෙදර ආ දවසට තාත්තාගේ තුරුල්ලට පැන සෙල්ලම් කරන මට අම්මා දොස් නොකියයි.


“ඔයා ගෙදර නැති නිසා තමයි මේ ළමයි නරක් වෙන්නේ....." අම්මා තාත්තාට දොස් කියයි.


“මං ගෙදර ඉඳලා කොහොමද සුදු හාමිනේ ....කවුද හම්බ කරලා අපට කන්ඩ දෙන්නේ.... මොකෝ අපට ඉඩම් කඩම් කියලා තියෙන එකක්ද බලා කියා ගෙන ආදායම් ගන්න..... මේ ගේ තියෙන ඉඩම් කෑල්ල විතරනේ අපට කියලා තියෙන්නේ...."

තාත්තා කියන්නේය.


“ඒක තමයි මේ කෙල්ලො දෙන්නට මොනව හරි ඉතිරි කරන්නත් ඕනේ....උන්ගෙ අනාගතය ගැන හිතලා.... අම්මා තාත්තා සමඟ නිතර කියන්නීය.


රත්නපුර සේවය කරමින් සිටි තාත්තා හිටි හැටියේ.... ...දෙවන ලෝක යුද්ද සමයේ.... වියට්නාමයට, ලංකාවෙන් යවන්න ලෑස්ති කල යුද බළ ඇනෑනියට තාත්තාද පිටත් කර හරින්නට, තෝරා ගෙනබව දැන ගත්දා ....., අම්මා කන්නෙත්, බොන්නෙත් නැතිව තාත්තා ළඟට වී හඬා වැලපුණේ දරුවන් දෙදෙනා හා තමන් තනිකර දමා පිටරට නොයා රස්සාවෙන් අස්වෙන ලෙස කියමින්‍ ය.


සුදුහාමිනේ....මාව පිටරට අරින්න තෝරා ගත් එක අත් හරින්න බෑ....මගේ පඩියත් වැඩි කරලා මාව එහෙ අරින්න තෝරාගෙන තියෙන්නේ.....ඔය යුද්දෙට යන හැමෝම මැරෙන්නෙ නෑ.....

කොහොම හරි මේ ඉතිරි අවුරුදු හතත් අමාරුවෙන් ගෙවා ගන්න ඕනේ....ඊට පස්සෙ මට පෙන්ශන් එක ලැබෙනුනම ....රස්සාවෙන් අස්වෙන්න බැරියෑ...."


"බැරිද මේ රටේ වෙන පැත්තකට මාරුවක් හදාගන්න කවුරු හරි ලොක්කෙක්ට කියලා ...එහෙම නැත්තම් අස්වෙලා වෙන රස්සාවක් කරන්න "


"එහෙම කොහොමද සුදුහාමිනේ රස්සාවෙන් අස්වෙලා, තවම පැන්ෂන් එකට කල් පිරිලත් නෑනේ..... තව අවුරුදු හතක් විතර තියෙනවා පැන්ශන් එක ලැබෙන්න, කල් පිරෙන්න..... මේ ටිකෙත් ඒක, දුක්විඳගෙන ඉන්නවා..... ඊට පස්සේ පැන්ෂන් ගිහින් වෙන රස්සාවක් කරන්න පුලුවන්නේ...... එතකොට පඩි දෙකක් ගන්නත් පුළුවන්නේ....අපට එතකොට මෙ ගෙදර තව ටිකක් ලොකු කරලා හදාගන්නත් පුලුවන් .....පොඩි කෙලිත් කොයිවෙලේ ගෙට වෙයිද දන්නෑනේ....ඊට පස්සෙ ඉතිං ගෙදර ටිකක් වැඩිපුර ඉඩකඩ තියෙන්න එපෑ..." තාත්තා ,අම්මා සනසන්න නොයෙක් දේ කියයි.


“කොහොම වුණත් ඔයා පරිස්සම් වෙන්න...

මට බයයි.....වෙනදා වගේ මාසෙකට සැරයක් ගෙදර එන්නත් බෑනේ...."

අම්මා හැඬූ කඳුළෙන් කීවාය.


තාත්තා වියට්නාම් යුද්දය වෙනුවෙන් සිංගප්පූරුව හරහා තව 100ක යුද හමුදාවක් සමග යන්නට ලෑස්ති වී සිටිම නිසා.... අම්මාගෙ සහෝදරයන් සිටියේ පසුතැවිල්ලෙනි. ඒ අම්මාගෙ නිතර නාහෙන් හඩා වැලපීම නිසාය.


"මම එන්න පුලුවන් උන ගමන් ලංකාවට එන්නම්කෝ... මේ දරුවො දෙන්නා දකින්න නැතුව මට ඉන්නත් බෑ.....හමුදාවෙන් තෝර ගත්ත නිසා, මග ඇරලා ඉන්නත් බෑනේ...


"අනේ...මහත්තයා ,අපට පුලුවන් හැම වෙලාවකම ලියුම් කඩදාසියක් එවන්න නම් අමතක කරන්න එපා...."


"මම පුලුවන් උන හැටියේ නොවරදවාම ලියුම් කඩදාසි එවන්නම් ....නිතර යන්න එන්න පුලුවන් දුරකයෑ ඉන්නේ...."


"ඒක තමයි මහත්තයා , මට දුක...."


තාත්තා සිංගප්පූරුවට මාරුකර හැරිය පසු අපි නිතර තාත්තට ලියුම් හැරියෙමු. එකම ලියුම් කවරයේ....අම්මා, මම හා අක්කා ,වෙන වෙනම ලියුම් ලියා දමා ඔහුට තැපැල් කර හරින්නෙමු.....


මාස තුනක් විතර කාලයක් ගෙවි ගියේ එලෙසය. ඒ කාලය තුළ තාත්තා, අම්මාට ලිපි එව්වේ බොහොම අඩුවෙනි. ඒ හැම් ලිපියකම, තාත්තා නිතර කියා සිටියේ....වැඩ ගොඩවී ඇති බැවිනුත්, වියට්නාම් යුද්දය ඇවිස්සි ඇති බැවිනුත්....තාත්තලාට වැඩ වැඩිවි ඇති බවයි....

මාසෙකට සැරයක් තාත්තා අම්මාට මනි ඕඩරයක් එවන්නේය. ඒ තාත්තාගේ මාසෙ පඩියයි. තාත්තා මුළු පඩියම, අම්මා නමට එවන්නේ.... අප දෙන්නාගෙ අනගතය ගැන සිතාබලා බව අම්මා මාමලා දෙන්නාට කියනවා මා අසාගෙනය.


තාත්තා පිටරට වැඩට ගිය පසු අපට පාලුවක් සමග බියක්ද ඇතිවි තිබුනි.....අම්මා නිතර ඒ ගැන සිතමින් කනස්සල්ලෙන් හිදියි.


අක්කා වැඩි වියට පැමිනුන පසු අප සමග සෙල්ලම් කිරිමට නොපැමියාය. ඇය ගෙදරට වි ඇගේ පාසැල් වැඩකටයුතු කරමින්, අම්මාට ගෙදර වැඩටද උදව් කරම්න් හිදියි. අම්මාට ඇය නිසා ගෙදර වැඩ පහසුවී ඇත.


මම අම්මාගෙ සහෝදරයන්ගෙ දරුවන් සමග, උදේ හවස පාසැල් යෑම හා පාසැලෙන් ගෙදර ආපසු උඩින් පල්ලෙන් තියෙන දෙයක් කා සෙල්ලමට දුවන්නෙමු.


ගෙවල් ලග පොල්වත්ත අපේ ක්‍රිඩා භූමිය වෙයි.....සෙල්ලම් කර නැවත ගෙදර යන විට පොල්වත්තේ වැටි තිබෙන වේලුනු පොලඅතු, හනසු, අම්මාට ගෙන ගොස් දීමට අපි අමතක නොකරන්නෙමු. මා මෙන්ම සෙල්ලම් කිරිමට එන අනෙක් දරුවන්ද එලෙස කරන්නේ...තරගෙට මෙන් රංඩුද කරමින්‍ ය. පොල්වත්තේ වැවි තිබෙන ගොටුකොළ ගලවා ගෙන ගෙදර යෑමද කරන්නෙ අම්මාගෙන් පැසසුම් ලැබිමටය. එයට නම් ඇගෙ අකැමැත්තක් නැත.

අපේ සෙල්ලම් බිමට ගොඩක් එහායින් තිබෙන රබර් වත්තේ...වේලී වැටි තිබෙන රබර් දර කෝටු ඇහිද ගෙන ගොස් අම්මාලාට දෙන්නට සියලු දරුවන් පුරුදු වි ඇත. රබර් ඇට මෝරා ,පුපුරා බිමට වැටෙන කාලයට ...අපි සියල්ලෝ සෙල්ලම් නවත්වා...රබර් ඇටවල පොතු ඇහිදින්නේ... තරගයට දුවමින්‍ ය....සෙල්ලම් කිරිමට අමතරව අම්මට ගෙදර කෑම උයන්න දර, ගොටුකොළ ,පළාවර්ග,පළතුරු කඩා ගෙනවිත් දීම නිසා, අම්මා මට සෙල්ලම් කිරිමට යෑම ගැන දොස් නොකියයි..


ඔය අතරතුර කාලයේ අම්මාගේ ලොකු මල්ලී එනම්, ලොකු මාමා හා නැන්දා ළමයි සමඟ කොළඹ පදිංචියට යන්නට සැරසුනි......ලොකු මාමාට කොළඹ සමාගමක අලුත් රැකියාවක් සදහා යෑමට සිද්දවීම නිසා ඔවුන් කොළඹ යෑමට සැරසීම මගේ නම් දුකට හේතු විය. ඒ අපත් සමඟ සෙල්ලම් කිරීමට සිටි නංගිලා, මල්ලීලා අඩු වීම නිසා මා සිටියේ දුකෙන්ය.


"අක්කලාටත් අපිත් එක්කම කොළඹ යන්න තිබුනනම් හොදයිනේද...? ඒත් ඉතිං අය්යගෙ රස්සාව තමයි ප්‍රශ්නය ...කවදා පිටරට ඉදන් එයිද කියන්න බෑනේ...... මේ පොඩි කෙලීට තමයි පාලු අපි කොළඹ ගිහාම....කොයිවෙලෙත් අපේ ළමයි එක්ක සෙල්ලමනේ...."


"ඒක නම් ඇත්ත මල්ලි.....නංගිගෙ මනුස්සයාටත්, ලොකු මල්ලි රස්සාවක් කොළබින් හොයලා දීලා එහෙ පදිංචියට එක්ක යන්න හදන්නේ කියලා මට ආරංචි උනා..."


"ඔව්...අක්කේ නංගිගෙ මනුස්සයාටත් මේ ගමේ එහෙමට කරන්න හොද රස්සාවක් නැති නිසා,..නංගිගෙන් බේරෙන්න බැරි නිසා ..මම අපේ වැඩපල අයිති මහත්තයාට කියලා රස්සාවක් හොයලා දුන්නා....ඒ ගොල්ලොත් ලගදිම කොළඹ යයි...."


"එතකොට දරුවෝ ඉස්කෝලේ යන්නෙ කොහොමද ..?"


"එහෙ...කොළඹ ඉස්කෝලෙකට දාගන්න පුලුවන් ...එච්චර අමාරු වෙන එකක් නෑ....."


"එහෙමද..අපේ රුවිනි කෙල්ලට තමයි පාලු වෙන්නේ ඔක්කොමලා කොළඹ ගිහාම...".


ළඟදීම පුංච් අම්මලත් කොළඹ පදිංචියට යන බව අම්මා කිවූ දිනයේ, මට නම් ඇඬුණේය.


“මට සෙල්ලම් කරන්න කවුරුවත් නෑ. අපිත් කොළඹ යමුද....අනේ තාත්තටත් රට ඉදන් මෙහේ ඇවිත් ,කොළඹ රස්සාවකට යන්න කියමුකෝ...අපිත් කොළඹ පදිංචියට යමු...මම නාහෙන් අඩමින් අම්මට කීයන්නට විය ...."


-හෙට හමුවෙමු -


*ප්‍රිසිලා ගොඩහේවා *

7 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Kommentare


bottom of page