top of page
  • Writer's picturePrisila Godahewa

🌺🌺මට හිමි ඔබයි🌺🌺

💞මට හිමි ඔබයි💞

(20 වන කොටස )

https://www.facebook.com/groups/2653780434897311/permalink/2732800796995274/

රමේෂ් ඔහුගේ යාලුවො සමග යන විනෝද ගමනට, මටත් සහභාගි වෙන්න තිබු දැඩි කැමැත්ත නිසා, .... ෂර්මිලා හා නිහාල්ද ඒ ගමන යන්න කැමති කරවා ගත යුතුයැයි සිතුවෙමි.

හේතුව ,මොනව උනත් අලුත අදුනගත්ත පිරිමි ළමයෙක් හා ඔහුගේ යාළුවන් සමග, විනෝද ගමනක් යෑම මම වැනි තරුණ ගැහැනු ළමයෙකුට නොගැලපෙන දෙයක් බව දැන සිටියෙමි.


රමේශ් මුණ ගැසුනු පළවන දිනෙන් පසු, ගෙවුනු හැම දිනයකම ද මම රැකියාවට ගියෙ, රමේශ් දැක ගන්න ලැබෙන බලාපොරොත්තුව හිතේ දරාගෙනය. වෙනදාට වැඩට යන්න, ලෑස්ති උනාට වඩා කල්වේලා ඇරගෙන,දැන් තව තවත් හැඩවෙමින් උදේට ලස්සන සාරිද, මේකප් හා කොන්ඩ මෝස්තරද දැම්මෙමි.


විජිත් අය්යා ,අක්කට ගෙනත් දී ඇති සියලු සාරි දැන් අදින්නේ මාය. අක්කා ගෙදරින් එලියට සාරි ඇදගෙන යන්නේ එහෙමත් දවසක නිසා මට ඒ වාසිය ලැබි ඇත. ඒ ගැන ඇගේ අකමැත්තක්ද නැත. එවැනි සොහොයුරියක් ලැබීම මගේ වාසනාවක්‍ බව මම නිතර සිතන්නෙමි.


සැමදා උදේ කාර්‍යාලය තුලට ගිය විගස, මම ෂර්මිලා හොයාගෙන යන්නට පුරුදු වී සිටියේ කාලයක සිටය. ඇයවන් හිතැති යෙහෙළියක් සිටිම මගෙ සතුටට හේතුවකි.

අද උදේ මම ශර්මිලා සොයා ඇගේ කාර්‍යාල මේසය වෙත ගියේ රමේෂ් ගැන සහ ඔවුන් යන ට්‍රිප් එක ගැන කීමටය.


"අප්පේ කෙල්ලගෙ මුහුනේ තියෙන සතුට...මොනවද ඊයේ, පෙරේදා රමේශ් කිව්වේ...?


"මොනවත් විශේෂ දෙයක් නෑ...ඒගොල්ලන්ගෙ යාලුවො සෙනසුරාදා කළුතර ට්‍රිප් එකක් යනව කියලා ,අපටත් යන්න අඩ ගැහුව්වා ...."


"අපට...කිව්වෙ කාටද..?


"මටයි...ඔය දෙන්නටත් එන්න කිව්වා වාහනේ ඉඩ තියෙනවා කියලා ..."


“මං නිහාල්ට කියලා බලන්නම්...., අපට නම් එන සෙනසුරාදා වෙන වැඩක් නෑ... කොහොමද ඒගොල්ලො කළුතර යන්නේ? බස් එකේද, වෑන් එකකද...?


“වෑන් එකක කිව්වා. තව ඒකෙ ඉඩ තියෙනවාත් කිව්වා..."


“වෑන් එකක යනවා නම් ඉතින් යං.... බස්වල යන්න තමයි කම්මැලි. මං කිව්වොත් ඉතින් නිහාල් අපායට වුණත් යන්න එයි...."


එදින සවස් වෙනකම් මා නොවිසිල්ලෙන් බලා උන්නේ...වැඩ ඇරි රමේශ් හමුවෙන තුරුය. .... ඒ ශර්මිලාලා සමග මමත් විනෝදගමන යන්න එන බව කියන්නටය.


කවදාවත් නොකරපු ලෙස හවස වැඩ ඇරෙන්න ප්‍රතම වොෂ්රූම් එකට ගොස්, මූණ හෝදගෙන, ලිප්ස්ටික් ටිකක් ගාගෙන, ඔළුව පීරගෙන, ඇදුම් නැවත හදාගෙන ලෑස්ති වන්නේ, රමේෂ් හමුවන්නයි.


මගේ හිත අමුතු හැඟීමකින්, සතුටකින් පිරී ඉතිරී යන්නාක් මෙන් දැනේ.... මටවත් සිතාගන්නට බෑ...

මොකක්ද මේ මගේ වෙනස කියා.... අවුරුදු 21ක් වන මම මින් පෙර කිසිම දවසක තනියම තරුණයෙක් සමග මේතරම් ළං වි කතා කරමින් ඉද වත්, ඒ වගේ කෙනෙක් එක්ක කිසි දින, තේ බීමටවත් මං ගිහින් නොතිබුනි. එබැවින් දින දෙකක් රමේෂ් සමඟ කූල් ස්පොට් එකට ගිය ගමන් මට හරි විශේෂ දිනයන් විය..... මගේ හිත ඒ මොහොතවල්වල සතුටින් පිරි ඉතිරි තිබුනේ ජීවිතේ මා ලද අලුත් අමුතුම හැඟීම් ගොන්නකින් පුබුදුවාලමිනි.


රමේෂ්ගේ දිලිසෙන ඇස් ,එක එල්ලේම මගේ ඇස් දෙසට හැරි ඇතිවිට, මං අමුතුම අපහසුවකින් පෙළුනෙමි.....නමුත් ඒ බැල්ම මගේ හිත කොහේදෝ ඈත ලොවකට මා පාකර හරිනබවක් දැනෙයි..... ඔහුට හොරෙන්, ආසවෙන් මා ඒ සෙනහස පුරුනු බැල්ම ආසාවෙන් විද දරා ගන්නෙමි..... මට මේ මොනවද වේගෙන එන්නේ, මටවත් හිතාගන්නට බැරිය....මගේ හිත, පුළුං රොදක් සේ සැහැල්ලුවී, නිදහසේ සතුටින් අහසේ පාවෙන ලෙසක් දැනේ....


හැම දවසකම,මං සවස පහ වෙනවාත් සමඟ හෑන්ඩ්බෑග් එකත් අරගෙන රැකියා ස්ථානයෙන් එළියට දුවන්නේ රමේශ් දකින්න නොවිසිල්ලෙනි.


“මෙයාට තියෙන හදිස්සියක්.... මේ මොන විකාරයක්ද! ඒ මදිවට හම්බ වුණු ගමන් ට්‍රිප් යන්නත් දාගෙන? නංගි වේගය වැඩියි....කමක් නෑ ,කමක් නෑ...හොඳයි හොඳයි....ඔය වයස අපිත් පහු කරලනේ ආවේ.......".


බොරු තරහක් මවාගෙන ෂර්මිලා විහිලු කරත්,ඇය ගොඩක් හොඳ යහළුවෙක් බව මා දනිමි.


රැකියාවේ පුහුණුවීම් කටයුතු වලින් පසු,මම මෙම කාර්‍යාලයට පැමිනි මුල් දිනේ සිට අද වෙනකම් අවුරුදු තුනකට කිට්ටු කාලයක් මට සිටි හොදම යාළුවා ඇය විය. මෙම කාර්‍යාලයට මුළින්ම ආකල, මට ඇගෙන් කාර්‍යාල වැඩ කටයුතු අසාගැනිමට නියම විය. ඉන් පසු අප දෙදෙනා එකට දහවල් ආහාරය ගන්නට කැන්ටිමට යන්නට පුරුදු විය. අප දෙදෙනා, බත් මුල්වල ඇති එළවළු මාළු බෙදාහදා ගෙන කැමට, ගෙදර හදන විශේෂ කෑම හුවමාරු කරගැනිමට පුරුදු විය. පසුව පඩි දවසට එකට ශොපින් යෑම, දෙදෙනාගේ ප්‍රශ්න කතා කිරීම, අප දෙදෙනා ගෙවල් වලට ගොස් මුණ ගැසීම, අපේ නෑදෑයින් මුණ ගැස්සවීම් දක්වා අපේ යාළුකම් දුරදිග ගියේය. මගේ දුකට සැපට ඇය මා ලගින් සිටිම ගැන අද වන විට මට ඇත්තේ පහසුවක් වගේම සතුටකි.


අප දෙදෙනා හොද යාළුවන් දෙදෙනෙක් වගේම අප අතර ඇති සියලු දුක සැප සෑම දෙයක්ම කතා කරන නිසා අපි, අපව හොඳට හඳුනන්නෙමු. ඇයගේ විවාහ උත්සවය තිබුණේ මීට මාස හතරකට පහකට පෙරය. ඒ වෙලේ මම ඇයට බොහෝ උදවුපදව් කළෙමි. ඇයට ඒ සියල්ලක්ම හොඳින්ම මතකය.


රමේශ් මුළින් හමු උනදාට පසු ගෙවුනු හැම දවසකම හවසට අපි මුණ ගැසී කතා කෙරුවෙමු. සිසිල් බීම සැලකට ගොස් කතා බහ කරමින් ඉදීම වගේම පාර දිගේ ඇවිද සාප්පු සවාරියේද ගියෙමු. නමුත් ඔහු සාමාන්‍ය යාළුවෙක් විදිහට මා සමග කතාබහ කිරීම මිස, වෙන කිසිම දෙයක් මගෙන් ඇසුවේවත් මට කැමතිද කියාවත් නොපැවසුහ. සාමාන්‍ය යාළුවෙක් විදිහට ඔහු මා ආශ්‍රය කරනවාද, යන්න මට දැන ගැනීමට අවශ්‍ය වි තිබුනි. සැමදා මුණගැසි, සාමාන්‍ය කතාබහ් කර අප දෙදෙනා හවසට විසිර යන්නෙමු . කෙලින් කිසිම දෙයක් නොකිව්වත්, ඔහුගෙ දෙඇස්නම්, මා බලාපොරොත්තුවෙන් සිටනා බව මට දැනේ....ඔහු මොනවා නොකිව්වත් සෑම දිනකම මම ගෙදර ගියේ නම්...බොහෝ සතුටින්ය. ඒ ඔහුගේ සමාගමෙන් මා උදම්වී සිටි බැවින...


"එහෙනම් මේ, සෙනසුරාදා, කලුතර යන ගමන හරිනේ....අපි උදේ හත වෙනකොට,කොළබින් යන්න ඉන්නේ... ශර්මිලාල එක්ක ඔයා උදේ හත වෙනකොට මේ හරියට ඇවිත් ඉන්න. අපි වෑන් එකේ මෙතනට ආපුවහම ඔයගොල්ලෝ නගින්න"


"අපි දවල්ට කන්න කෑම ගේන්නද..? ..."


" අනිත් අයත් කෑම ගෙවල් වලින් හදාගෙන එනවා....ඔයගොල්ලොත් ගේන්න ...මට නම් උයලා දෙන්න කෙනෙක් නෑ...අපි ඉතිං කඩෙන් තමයි හැමදාම කන්නේ..."


"මම ඔයාටත් එක්ක කෑම එකක් ගේන්නම්කෝ.." මම කිව් විට රමෙශ් සුන්දර ලෙස සිනාසුනි.


රමේශ් මුණගැසී සුමාන දෙකක් ගෙවි ගියේ සුන්දර මතක සිහින ගොන්නක් සමගිනි. ගෙවුනු හැම දිනයක්ම මට විශේෂ විය.


දිනපතා මම ශර්මිලා සමග

බස් නැවතුමට එනවිට රමේෂ් අපට පෙර නැවතුමට ඇවිත් හිදියි.... ඒ අපට පෙර ඔහුගෙ කාර්‍යාල වැඩ ඉවරවෙන නිසා බව ඔහු දිනක් කීවා මට මතකය. ඒත් අද ඔහු අප එනවිට බස් නැවතුමේ දකින්න නොලැබුනි.


“කෝ අලුත් මනමාලයා අද තාම නෑ.... මොකෝ දන්නෑ...?


"ඒක තමයි ...ඇයි දන්නෑ..."


"බයවෙන්න එපා...දැන්ම උන්නැහෙ මැරෙන්නෙ නෑ...අර එන්නේ...දිගංචියා වගේ..."


ෂර්මිලා මට ඇහෙන්න එසේ කියනවාත් සමඟම, ඈතින් සුදු ෂර්ට් එකක් හා කළු කලිසමක් ඇඳගෙන එන රමේෂ් මා හට දැකගත හැකි විය. ඔහු ඉතා පිළිවෙළට ඇඳුම් අඳින කෙනෙකිය. ඉතා කඩවසම් වූ ඔහු දකින ඕනෑම කෙනෙකුගෙ හිත ඔහුට යන එක පුදුමයක් නොවේ....


“ආ...

අර එන්නේ රමේෂ් " මම සතුටින් ශර්මිලා සමගම ඔහු දෙස බලා උන්නෙමි.


" ඌ ටිකක් දෙමළ පාටයි වගේ නේද...?බලන්නකෝ කළු පාට බේරෙන හැටි...... ෂර්මිලා මට විහිළු කරන්නට විය.


“ පළයං යන්න ....හිටපං මං කියන්නම් රමේෂ්ට..."


අප දෙදෙනා හිනා වෙමින් සිටින තැනට රමේෂ් ආවේද සිනාසීගෙනමය.


“ආ... ගැහැනු ළමයි දෙන්නා මොකද හිනාවෙන්නෙ, මටද හිනා වුණේ...?

රමේශ් බොහෝ විට අප දෙදෙනා සමග ඉංග්‍රීසියෙන් කතා කරයි. අප දෙදෙනා තනිවුන වෙලාවට විතරක් ඔහු මා සමග සිංහලෙන් කතා කිරිම මට විශේෂ විය.


“මේ ෂර්මිලා කියනවා ඔයා දෙමළ පාටයි කියලා....."


“මම.... එහෙම පේනවද..? රමේෂ් එසේ විහිළුවෙන් ඇසුවත්, ඔහුගේ මුහුණේ එයට අකමැත්තක් ඇති වුනබව මට පෙනින....


“ අදනෙ මට රමේෂ් ව එදායින් පස්සෙ හම්බුනේ....මේ රුවිනි කියනවා ඔයගොල්ලො යන ට්‍රිප් එකට, ඔයා අපටත් යන්න කතා කළා කියලා...."


“ආ ඔව් අපි සෙනසුරාදා කළුතර යනවනෙ... අපි යන වෑන් එකේ තව ඉඩ තියෙනවා. රුවිනි කිව්වා ඔයගොල්ලෝ එනවා කියලා ....."


“මගේ හස්බන්ඩ් යන්න කැමතියි කිව්වා ....අපි එන්නම්...රුවිනි නිසයි.... මේ රුවිනිට තමයි වැඩියම උවමනාව අපි දෙන්නවත් එක්ක යන්න....."


රමේෂ් ඇස්දෙක පුංචි කර මා දෙස බලා සිනාසුණේය.


මම සෙනසුරාදා වෙනකම් බලා සිටියේ නොවිසිල්ලෙනි.

ඒ රමේෂ්ලා සමග කළුතර යන්නටය.


මොකක්ද මම සෙනසුරාදාට අදින්නේ....මොනවද දාගෙන යන සෙරෙප්පු ...හෑන්ඩ් බෑඩ් එක...මම ගෙදර ගිය වේලේ සිට අල්මාරිය ඇරගෙන කල්පනා කලේ ,තියෙන ඇදුම් ඇද බලමින්‍ය.

අවසානයේ, හැමදාම වැඩට අදින සාරිය නැතුව ගවුමකින් එදාට සැරසීමට හිතා ගත් මම , මගේ ඇගේ ගානට ,ලස්සනට ගැලපෙන ඇදුමක් අක්කාගෙ අල්මාරියෙන් වේලාසන තෝරා තියා ගත්තෙමි. දැන් දැන් මම නිතරම කන්නාඩිය ලගට ගොස් මගෙ මුහුන පරික්ශා කරමින් , තව තව හැඩ වෙන්නට උත්සහ ගන්නෙමි....මගෙ හිත සතුටින් පිරි ඇත. බලන බලන අත , රමේෂ්ගෙ හිනහෙන දෑස පෙනේ..ඔහුගෙ ගැබුරු කටහඩ ඇසේ.... මම රමේශ් ගැන දැන් ඕනවාට වඩා හිතනවා යැයි සිති මටම ලැජ්ජාවක්ද දැනින.


සෙනසුරාදා ෂර්මිලාලත් එක්ක කළුතර ට්‍රිප් එකක් යන බව අක්කාට මම වේලාසන පවසා තිබ්බෙමි.


මම මීට පෙර මෙලෙස යාලුවො සමග ගමන් ගොස් නැති නිසා, අක්කා එයට අකමැත්තක් නොදැක්විය.


සෙනසුරාදා උදේ පාන්දර ,අක්කට ප්‍රථම නැගිට, දවල්ට කෑමට ගෙනයාමට බත් මුල් දෙකක්ම බැද ගත්තෙමි. ඊට ප්‍රථම දිනම, අක්කට පහසු වන්නට ගෙවල් දොරවල් අස්කර පුතාගෙ වැඩද කරදී...මම සෙනසුරාදා රමේශ්ලා සමග කළුතර යන්නට ලක ලෑස්ති වුනෙමි.


මම ගෙදරින් යන මොහොතේ අක්කා මගේ බෑග් එකට දාගත් බත් මුල් දෙක දැක..


" කාටද ඔය අනෙක් බත් මුල..?.."

අක්කා ඇසිය.


"ශර්මිලාට..

එයාට අද උදේ උයන්න වෙන්නෑ කිව්වා....ඒ නිසා ඒයාටත් එක්ක මම බත් මුලක් ගත්තා.... ." ,මම අක්කාට බොරුවක් කීවෙමි .

බත් මුල් දෙකත් ලෑස්ති කරගෙන මම වේලාසන ගෙයින් එළියට බස්සෙමි. වෙනදා අඳින සාරිය නැතුව අක්කා අලුත මස්සවා තිබූ අක්කාගේ ලස්සන ගවුමක් ඇඳගෙන මම ගෙදරින් එළියට බැස්සෙ සතුටින් ඉපිලෙමින් උනත් ,අක්කාට කිව් බොරුව ගැනද දුක්වෙමිනි.


උදේ හත වෙනකොට ඔෆිස් එක ළඟ තිබුණු බස් හෝල්ට් එකට එන්නට රමේෂ් කියා තිබූ බැවින්, මා එතැනට යන විට ෂර්මිලා සහ ඇයගේ සැමියාද ට්‍රිප් එකක් යන්නට ගැළපෙන ලෙස දිග කලිසම් හා ටී-ෂර්ට්වලින් සැරසී පැමිණ සිටියහ.


“ෂා අද රුවිනි හරි හැඩයිනේ... සාරියටත් වඩා ගවුමට හැඩයි..."

ශර්මිලා කීය.


“ඇයි මං විතරක්.. ඔයත් ඔය ඇඳුමට හරි ලස්සනයි...."


“අර අර සුදුපාට වෑන් එකක් නැවැත්තුවා. රමේෂ්ලා එන වෑන් එකද දන්නෑ...."


“ආ... ඔව්.. ඔව් අර රමේෂ් ඒකෙන් එළියට බැස්සේ...."


“එන්න එන්න.... ඉක්මනට නගින්න. මෙතැන බස් හෝල්ට් එක නිසා වෙන වාහන නවත්වන්න බෑ.... රමේෂ් කලබලයෙන් අපට කතා කළේය.


අපි දුවගෙන ගොස් වාහනයට නැග ගත්තෙමු.


" නිහාල් ,මේ මගේ යාළුවෝ. ...මෙයා ශිවා, මෙයා වසන්ති, මේ රාජ්...

රමේෂ් නිහාල්ට ඔහුගෙ යාළුවන් හඳුන්වා දුන්නේය.


ඔහු ඔහුගේ යහළුවන්ව ෂර්මිලාගේ සැමියාට හඳුන්වා දී, පසුව අපවද හඳුන්වා දෙන ගමන්ම අපට වාඩිවෙන්නට ආසන පෙන්නුහ. නිහාල් හා ෂර්මිලා එක ළඟින් වාඩි වූ අතර වාහනයේ තව ජෝඩු යැයි කිව හැකි ජෝඩු තුනක්ම සිටියෝහ. රමේෂ් ඔවුන්ව හඳුන්වා දෙද්දී කියපු නම් හැම එකක්ම දෙමළ නම් විය. ඔවුන් හැමෝම කතා කලේද ඉංග්‍රීසියෙනි. එතකොට රමේෂ්ගේ යහළුවෝ ගොඩක් දෙමළ අය වුණේ කොහොමද..?


මට පොඩි සැකයක් ඇති උනත්.. එය අමතක කර රමේෂ් මට පෙන්වූ සීට් එකේ කොනටම වෙන්න මම වාඩි වුණෙමි.


“රුවිනිට ඔතන හොඳද? රමේෂ් එසේ මගෙන් අසන ගමන්ම මගේ ළඟ සීට් එකේ අනිත් පැත්තෙන් වාඩි විය.


“ මෙතන හොඳයි....මම කීවෙමි.

රමේෂ් මගෙ සීට් එකේ මගෙ ඇගේ ගෑවෙන්නම ලගින් වාඩි වු කල, මගේ හිතේ පොඩි තිගැස්මක් ඇති වුණේ සතුටෙන්ද, බයෙන්ද කියා මට හිතා ගන්නට බැරි විය.


මම වෑන් රථයේ ජනේලයෙන් එළිය බැලුවෙමි. වෑන් රථය ගාලු පාර දිගේ ඉදිරියට ඇදී යන්නේ වේගයෙනි. උදේ පාන්දර, පාර දිගේ යන වාහන පසු කරමින්, පාරේ එහෙ මෙහෙ යන මිනිසුන් පසු කරමින් ඉදිරියට ඇදී යන අපේ වාහනය මගේ හිතට සතුටක් ඇති කර තිබුනි.


“ඇයි රුවිනි තරහින් වගේ එළිය බලාගෙන යන්නේ? මං මෙතැන වාඩි වුණාට තරහද..

?


“අනේ නෑ.... කමක් නෑ. මං නිකං එළිය බැලුවා...."


“අද රුවිනි හරි වෙනස්නේ. ගවුමට හරි ලස්සනයි. සාරියට තරම් ලොකු පාටක් නෑ....

රමේෂ් ඇඳ සිටියේ කොට කලිසමක් හා ටීශර්ටයකි. ඔහු සුදුපාට ඩෙක්ෂූස් දෙකක්ද දමාගෙන සිටියහ. ඔහු තුළින් වෙනදාට වඩා කෙළිලොල් තරුණ පෙනුමක් දැකගත හැකි විය. ඊටත් වඩා ඔහු ලගින් කවදත් වහනය වන පර්ෆුම් සුවද මගෙ නැහැපුඩු හරහා ගොස් මගෙ හිතත් කොහේදෝ අමුතු ලොවකට ගෙන යන බවක් මට දැනින.


“ඔයත් වෙනස් මේ ඇඳුමට...."

කිව යුතු දෙයක් නැති තැන මම කීවෙමි.


“ අපි කොහෙද යන්නේ මේ...?


“ඉස්සෙල්ලම අපි යනවා කළුතර පැත්තේ තියෙන හොඳ කෝවිලකට.... අපි එතැනට ගිහිල්ලා වැඳගෙන ඊට පස්සේ තමයි බීච් එකට යන්න හිතාගෙන ඉන්නෙ..."


“ඇයි කෝවිල්...? ,,මම පුදුමයෙන් ඇසීය.


“මගේ යාළුවෝ ඔක්කොම කෝවිල් යන්න ආසයි..ඒකයි...."


“ඔයත් කෝවිල් ගිහින් වඳිනවද..මම හිතේ තිබුන සැකය මග හරවාගන්නට ඇසීය.


“ඔව්, රුවිනි කෝවිල් ගිහින් නැද්ද...?


“නෑ කවදාවත් කෝවිල් ගිහින් නෑ...."


“අද එහෙනම් ගිහින් බලමුකෝ...."


රමේෂ් ඉස්සරහ පිටුපස සිටින යාළුවන් සමඟ විහිළු කරමින් කතා කරමින් මා සමඟද කතා කරයි. ඔවුන් සියල්ලෝ ඉංග්‍රීසියෙන් කතා කරති.


නිහාල් හා ෂර්මිලා වෑන් රථයේ සිටි යාළුවන් සමඟ හොඳටම එකතු වී ඉංග්‍රීසි සින්දු කියන්නට පටන්ගෙනය. මමත් ඒවාට අත්පුඩි ගසමින් තාල අල්ලන්ට වීමි.

රමේෂ් එහෙට මෙහෙට නැගිට යමින් යාළුවන් එක්ක කතා කරමින් අත්පුඩි ගසමින් සතුටින් හැසිරෙයි. ඔහුගේ කෙළිලොල් බවට මගේ හිත යන්නේ නිතැතින්මය. ඔහු මගේ ඇඟේ ගෑවෙන්න නොගෑවෙන්න වාඩි වී සිටින විට මගේ ගතට අමුතු හැඟීමක් දැනේ.... මගේ ඇගේ ගෑවෙන ඔහුගෙ අතේ උණුසුමට මම බොහෝ කැමැති යැයි මට සිතේ... රමේෂ්ට එහි ගාණක් නැත. ඔහු එහෙට මෙහෙට දඟල දඟල යාළුවොත් සමඟ යන විනෝද ගමන උපරිමයෙන්ම විඳියි.


“ආ හරි කෝවිලට ආවා. අපි ගිහින් වැඳලා එමු....."

සැවොම වාහනය තුළ සෙරෙප්පු ගලවා කෝවිල තුළට ගියහ‍.


මාත්, ෂර්මිලාත් අනිත් ගැහැනු අයත් කතාබහ කරමින් කෝවිල තුළට ගොස් අවට බැලුවේ වෙනස් පරිසරයක් බැවිනි. පන්සල් ගොස් පුරුදු මට කෝවිල අමුතු තැනකි.


සුදු වේට්ටි ඇඳගෙන පූන නූල් කරේ හරහට දමාගෙන නළලේ සුදු කුඩු ගා, රතු මොට්ටු තියාගත් පූසාරිලා දෙවියන් ඉදිරිපිට මල්පෙති කඩමින් ශ්ලෝක කියති. කපුරු දැල්වූ පහන් බැතිමතුන්ට අත්දෙක අල්වා වඳින්නට දෙන ඔවුහු බැතිමතුන්ගේ නළලේද පොට්ටු තබති.


“රුවිනි එන්න..."


රමේෂ් මාත් කැටුව පේළියට ඇති දේවාල එකින් එක වැඳ ගියේ නියම හින්දු බැතිමතෙකු සේය. මමත් ඔහු අනුගමනය කරමින් පිළිම අතගා වඳිමින් ඔහු පසුපස ගියෙමි.


“ඔයාට හොඳට පුරුදුයි වගේ කෝවිල් ඇවිල්ලා..."


“අපි නිතරම කෝවිල් එනවා රුවිනි ..."

මා ඔහු දෙස බලා සිටියේ ඒ ඇයි ,කියා අසන්නා සේය.


“අපේ අම්මලා, තාත්තලා නිතරම කෝවිල් යනවා... අපි හින්දු අය.... මට හොඳට සිංහල කතා කරන්න පුළුවන්. මං ගියේ කොළඹ සිංහල ඉස්කෝලෙකටනෙ....මට ඉස්කෝලේ හිටිය යාලුවො ඔක්කොම සිංහල . මම ඉස්කෝලේ යන දවස්වල, මුළින් නැවතිලා හිටියෙත් සිංහල ගෙදරක. ඒකයි මට හොදට සිංහල කතා කරන්න පුලුවන් ... "


මගේ හිත ගැහිණි. රමේෂ් දැන් කියනකම් මම, ඔහු දෙමළ පුද්ගලයෙකු යැයි නොසිතුවෙමි. හැබැයි ෂර්මිලා නම් නිතරම කිව්වා ඔහු දෙමළ පාටයි කියා ... ඇයි මට ඒක එහෙම නොසිතුණේ. මගේ හිතේ රමේෂ් ගැන ළාවට ආදර හැඟීමක් ඇතිවේගෙන එන මොහොත වෙනකම් ඇයි මට රමේෂ් දෙමළ ජාතියකු යැයි නොසිතුණේ.

ඔහු දෙමළ ජාතියකු වුණත් හිත හොඳ පුද්ගලයෙක් යැයි මට සිතේ.... මම හොද බෞද්ධ සිංහල පරපුරකින් පැවැත එන කෙනෙක්මි. මගේ හිතට මුල්ම වරට ඇතිවුණු ආදර හැඟීම, ,ඔහු දෙමළ කෙනෙකු බව දැන ගත් මොහොතේ මට ඇතිවුනේ නම් බයකි.


-හෙට හමුවෙමු -


*ප්‍රිසිලා ගොඩහේවා *

5 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page