top of page
  • Writer's picturePrisila Godahewa

🌺🌺මට හිමි ඔබයි🌺🌺

💞මට හිමි ඔබයි💞

(17වෙනි කොටස)

https://www.facebook.com/groups/2653780434897311/permalink/2728795964062424/

මට රැකියාවේ පුහුණුවීම් කටයුතු සදහා යන්නට නියමිත දින, උදේ පාන්දර අක්කා, කිරිබත් හා ලුනුමිරිස් සාදා තිබුනි.


අක්කාගෙ අලුත් ලස්සන ගවුමකින් සැරසුන මා, අක්කාට වැද අය්යා සමග අලුත් රැකියාවේ, පුහුණුවීම් කටයුතු සදහා යෑමට ගෙයින් එළියට බැස්සේ ගොඩක් සතුටකිනි.


අක්කලාගෙ ගෙදර සිට , පැය භාගයක් පමණ දුරක් ,බසයක යන්නට තිබු, පුහුණුවීම් ස්ථානය වෙත අය්යා මා කැදවාගෙන යෑම මගේ හිතට ශක්තියක් විය.


පුහුණුවීම් කටයුතු වලට පෙර මාව සම්මුඛ සාකච්ඡාවකට කැදවා තිබීම නිසා, මගේ හිත බයෙන් ගැහෙන්නට විය.


"නංගි බය නැතුව අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඔයාට හොද ඉංග්‍රීසි දැනුමක් තියෙන නිසා, ඉංග්‍රීසියෙන් කතා කලොත් අමාරුවෙන් හරි ඉංග්‍රීසියෙන් උත්තර දෙන්න. මෙතන කන්තෝරුවට ඉංග්‍රීසි දැනුම හරි වැදගත් ...ඒ නිසා ඔයාට ප්‍රශ්නයක් වෙන එකක් නෑ...." අය්යා කීවේය.


සම්මුඛ සාකච්ඡාවේදී අය්යා කිව් ලෙසම ඔවුන් මා සමග ඉංග්‍රීසියෙන් කතා කලහ. පාසැලේදී මම ගොඩක් උනන්දුවෙන් ඉගෙන ගත් විශයක් වු ඉංග්‍රීසි භාශාව නිසා, මම පුලුවන් උපරිමයෙන් සම්මුඛ සාකච්ඡාවට හොදින් මුහුණ දුන්නෙමි .


සම්මුඛ සාකච්ඡාවෙන් පසු ඔවුන් මා පුහුණුවීම් කටයුතු සදහා එම ආයතනයේම වෙනත් ගොඩනැගිල්ලක් වෙත යන්නට කීය.


"කොහොමද නංගි සම්මුඛ සාකච්ඡාව..

මොකක්ද ඒගොල්ලෝ කිව්වේ...?

මා එනතුරු එළියට වී සිටි අය්යා උනන්දුවෙන් ඇසීය.


"ඔක්කොම හොදයි අය්යේ....මට පුහුණුවීම් සදහා අර පේන ගොඩනැගිල්ලට යන්න කිව්වා...එහිදි පුහුණුවීම් කටයුතු අදම ආරංභ කරනවත් කිව්වා...මම එහෙනම් ඒ පැත්තට යන්නද අය්යේ.......බොහෝම ස්තුතියි මම හින්දා අය්යා වෙච්ච මහන්සියට...."


"මටත් සතුටුයි නංගිට මෙච්චර ඉක්මණට, පුහුණුවීම් සදහා හරි තැනක් ලැබුන එකට....එහෙනම් මම දැන් යන්නම් මගේ කන්තෝරුවට. වෙලාවත් පහු වුනානේ...."


"හොදයි අය්යේ...බොහෝම ස්තුතියි කරපු උදව් වලට..."


පුහුණුවීම් කටයුතු සදහා ගිය මුල් දින, කාර්‍යාල ගමන මට නුහුරුම එකක් විය. මට වඩා වයසින් වැඩි බොහෝ උගත්, සුදුසුකම් ඇති දහ දෙනෙක් පමණ පුහුණුවීම සදහා පැමිණ සිටියාහ. අපේ මාස හයක පුහුණුවීම් කාලයෙන් පසු, අපව රැකියා ස්ථාන වලට, යොමු කරන බව ඔවුහු කීහ.


එදින දවාලට අක්කා බැද දුන් බත් පැකැට්ටුව මම දිග ඇරගෙන කාර්‍යාල කැන්ටිමේ වාඩිවී කෑවේ කෝළ ලෙසය. මා සමග එදින කිසිකෙනක් වැඩි ඇගෑලුම් බවක් නොපෑම මගේ දුකට හේතු විය. බත් මුළ කැන්ටිමේ මුල්ලක තිබුන මේසෙක වාඩිවී මා කන්න පටන් ගත්තත්, මාහට බඩගින්නක් නොදැනින. මම තවමත් වටපිට සිටින අය මා ගැන දක්වන නොසැලකිල්ල ගැන සිතමින් පසුවුනෙමි. ඒ ගැන පොඩි දුකක්ද සිතේ නොතිබුනා නොවේ... කවුරු මා සමග මිත්‍ර නොවුනත්, මම ආ වැඩේ හොදින් කරගෙන සිටිනවා යන දැඩි අදිශ්ඨානයෙන් වැඩ කටයුතු කරගෙන යන්නට මම සිතට ගත්තෙමි.


එදින වැඩ ඇරි ගෙදර යන විට අක්කා පුතා සමග ගෙයි දොරකඩ වාඩිවී සිටියේ මා එනතෙක්ය.


"කොහොමද නංගි, අලුත් වැඩ, ඉගෙන ගන්න ලැබුන තැන හොදද...? කොහොමද වැඩ පලේ අය...ඔයාට යාලුවො කවුරුත් හම්බුනාද...?"


"නෑ අක්කේ අද පළවෙනි දවසනේ...ඊටත් හිටපු ඔක්කොම අය මට වඩා ගොඩක් වැඩිමහල් ....කවුරුත් මාත් එක්ක වැඩිය කතා කලේ නෑ...."


"ඒ අද පළවෙනි දවසනේ....හෙට අනිද්දා වෙනකොට ඕවා හරි යයි..."


අක්කා කිව් ලෙසම ටික දිනක් වැඩට යන විට , මගේ හිතේ මුලින් තිබුන බය,කෝළ ගති හෙමිහිට නැතිවි යන්නට විය.


අක්කලාගෙ ගෙදර සිට මම පුහුණුවීම් සදහා, බසයෙන් දිනපතා ගියෙමි . මුලින් බොහෝ අමාරුවෙන් එහි වැඩ ඉගෙන ගත් මට වැඩි දවසක් යන්නට මත්තෙන් එහි සියලු වැඩ පහසු විය. වැඩ පහසු වීමත් සමග මට වැඩට යන ආසාවද වැඩි විය. ටික ටික පුහුණුවීම් කරන තැන, වැඩිහිටි අය මා සමග යාලු විය. එය මට හිතට සැහැල්ලුවක් ගෙනදුන් කාරනයක් විය. ඉන් පසු උදේ හවස මම අක්කලාගෙ ගෙදර සිට වැඩට ගියේ බොහෝ සතුටිනි.


මාස හයක පුහුණුවීම් කාලය අවසන්වී මට රජයේ කන්තෝරුවක රැකියාව ලද බව දැන ගත් දින, මට විශාල සතුටක් ගෙන දුන් දිනයක් විය.


"නංගි ගිහින් අම්මලාට කියලා ආවොත් හොදයිනේද....නංගිට ආන්ඩුවේ කන්තෝරුවක රස්සාවක් හම්බුන බව..."


"ඔව් අක්කේ...මේ සිකුරාදා ගිහින් අම්මලාට කියලා එනවා....දැන් ඉතිං ඉස්සර වගේ මට ගවුම් ,සායවල් ඇදගෙන වැඩට යන්න බැරි වෙයි....ගෙදර ගිහින් අම්මගෙ සාරි හැට්ට ටිකක් ඉල්ලගෙන එන්න ඕනේ, වැඩට අදින්න ...."


"අම්මගෙ පරණ මෝස්තර සාරි ගේන්න ඕන නෑ නංගි...මගෙ ඔය තියෙන අලුත් සාරි නංගි ඇදගෙන යන්න..."


"ඒවා ඉතිං ...අය්යා අක්කට ගෙනත් දීපු ඒවනේ...එහෙම හොද නෑනේ..."


" ගෙදර ඉන්න මම සාරි කොහේ ඇදගෙන යන්නද....ඔයා ඒවා අදින්න..."


"අනේ...බොහෝම ස්තුතියි අක්කේ.. මම වැඩ කරලා පඩි ගන්නකම් මට අදින්න සාරි දෙක තුනක් දෙන්නකො...ඊට පස්සෙ මම හෙමිහිට සාරි ටිකක් සල්ලි දීලා ගන්නම්..."


අක්කලාගෙ ගෙදර සිටම මට අලුත් රැකියාව සදහා යාමට අවස්තාව ලැබුනු එක මගේ වාසනාවක් කියා මම සිතුවෙමි. උදේට මම අක්කා සමග නැගිට, දවල්ට ගෙනියන්න අය්යාටත් මටත් බත් මුල් සකසාගන්නා මම, රැකියාව සදහා පිටත් වෙන්නේ...විජිත් අය්යා වැඩට යන වේලාවටමය.


අලුතින් රැකියාව ලැබුනු කන්තෝරුවේ කවුරුත් මා දෙස බැලුවේ නීතියට පටහැණි ලෙස රැකියාව ලබා පැමිණි අයෙකු ලෙසිනි...ඒ මගේ වයස නිසා වන්නට ඇත.

ඇත්ත තත්ත්වයද එයම විය. සැවොම මා දෙස බැලුවේ නොකැමැත්තෙනි. වයසින් බාල තවමත් පාසල් යන වයසේ සිටින මාව ඔවුන් ගණන් ගත්තේම නැති තරම්‍ය. නමුත් මගේ ඉංග්‍රීසි කියවීමේ කතා කිරිමේ හැකියාව නිසා, ආයතනයේ ඉහළ තැන් වලින් මට ඉල්ලුම මෙන්ම මගේ වැඩ වලට පැසසුම්ද ලැබින. ඒගැන නම් මම සිටියේ ආඩම්බරයෙන් උදම්වය. රැකියාවට යන්න පටන් ගත් පසු, මගේ ඉංග්‍රීසි කතා කිරිමේ හැකියාව එන්න එන්නම දියුනු වෙමින් පවති..... මම පුලු පුලුවන් හැම අවස්තාවකම ඉංග්‍රීසි කතා කිරිමට හැකි අය සමග ඉංග්‍රීසියෙන් කතා බහ කිරීමට උත්සහ ගත්තෙමි . ඒ මගේ ඉංග්‍රීසි භාශා හැකියාව තව තව දියුණු කර ගැනීමටය. නමුත් කාර්‍යාලයේ වයසක, පරණ, ඉංග්‍රීසි කතා කිරිමට හැකියාවක් නැති කට්ටිය, ඒ ගැන ,මා සමග තරහින් සිටින බව මට වැටහෙන්නට පටන් ගත්තේ ...ඔවුන්ගේ කතා බස් වලිනි. මාහට ඇසෙන නොඇසෙන ගානට ඔවුන් කතා කරනා දෙයින් මට ඒ බව හොදින්ම වැටහිනි.


“පන්දමකින් ඇවිත් තියෙන්නේ....."


“ඔහොම තමයි අඳුනන ,ලොකු මිනිස්සු ඉන්නකොට...."


“ඒකට අපි මෙතැනට එන්න කොච්චර දුක්වින්දද...? "


“කොහේවත් යන අය, පන්දමෙන් නිකම්ම ඇතුළට එනවා.."


"ඉංග්‍රිසි ටිකක් කතා කරාම ලොක්කන්ටත් ඉතිං හොදයි ...පොත්ත රතුයිනේ...ඒකයි ඔය..."


“මේවා නිකම්ම අරින්න හොඳ නැහැ..."


"ඔව්...ඔව්..අපි මැරෙනකම් විභාග පාස් කරලා මෙතනට ඇවිත් ඉන්නේ...පේන්නෙ නැද්ද...ලොකු ඈයන්ගෙ අදුනන කමට ඇතුලට රිංගගෙන අපට දාන ගෑස්...ඉංග්‍රීසි කතා කරන නිසා වෙන්න ඇතී..."


කාර්යාලයේ සැවොම මට ඇසෙන්නට එක එක කතා කියති...ඒ ඉරිසියාවට කියන කතා බව මට තේරුම් ගොස් ඇත. මා මෙම කාර්‍යාලයට ආ හැටි හොදින් දන්නා නිසා, කවුරු මොනවා කීවත්.....ගනන් නොගෙන මගේ වැඩ හරියට කරමින් සිටියෙමි. ඔවුන් කියන කිසිවක් නොඇසුණු ලෙස මම මගේ වැඩ කර ගෙන ගියෙමි... ඒ මාගේ රැකියාව ලැබුණු ආකාරය මා හොඳින්ම දැනගෙන සිටි නිසාය. කතා කර ප්‍රශ්න ඇති කර ගන්නවාට වඩා නිශ්ශබ්දව සිටින එක ඇඟට ගුණයැයි මම සිතුවෙමි. කාර්යාලයේ සිටි පිරිමි අයට වඩා ගැහැනු අය මට ඊර්ෂ්‍යා කරන්නට පටන් ගත්හ.


විජිත් අයියා අක්කාට ගෙනත් දී තිබූන ,පාට පාට සාරි හැම එකක්ම අක්කා මට කාර්‍යාලයට අදින්න දී තිබුන නිසා.... මා දිනපතා මාරු කරකර ලස්සන සාරි අඳින බැවින් කාර්‍යාලයේ කාන්තාවන් ඒ ගැනද ඊර්ෂ්‍යාවෙන් කතා කරන බවද ඒ දිනවල මම දැන සිටියෙමි.

කාර්යාලයේ සැවොම මා හට වෙනස්කම් කළත් ඒ සියල්ල ඉවසාගෙන හොඳින් රැකියාවේ වැඩකටයුතු සියල්ල කරගෙන ගියෙමි.


කාලය හෙමින් ගතවී ගොස් මම රැකියාවට ගොස් අවුරුදු දෙකක පමණ කාලයක් ගෙවි අවසන් විය. ඒ කාලය වන විට මම කාර්‍යාලයේ සැවොම අදුනගෙන ඔවුන් සමග එකමුතුව හොදින් වැඩ කරමින් සිටියෙමි.


රැකියාවට ගොස් අවුරුද්දක් දෙකක් යන විට මා හට එරෙහිව කතා කළ සැවොම මාගේ හොඳ යහළුවන් බවට පත් වී තිබුනි.... සැවොම මට කතා කළේ පොඩි නංගී කියායි. සමහර වයසක නිලධාරීහු මට දුව කියාද අමතයි.


ඒ අතරින් ළඟදී විවාහ වූ ෂර්මිලා මට ගොඩක් හොඳ මිතුරියක වූවාය.


දවාලට එකට කෑම කන්න, තේ බොන්න යන අප දෙදෙනා අපේ ඕපාදූපද කතා කෙරුවෙමු. ඇදුම් පැලදුම් ගැන, ගෙදර දොරේ විස්තර ඒ ගොඩට ඇතුලත්‍ය.


ශර්මිලා සමග ඇදුම් පැලදුම් ගන්නට යෑම වගේම, ඇය කරන අලුත් ඇදුම් මෝස්තර , කොන්ඩය මෝස්තරයට කපා ගැනීම, මේකප් කිරිම වැනි දෑ මම දැන් ටික ටික ඇගෙන් පුරුදු වෙමින් සිටි.... ඉස්සර පාසැල් ගිය පොඩි කෙල්ලට වඩා....සාරියක් ඇදගෙන ලස්සනට කොන්ඩය බැද හෝ කඩා දමා, ලාවට මේකප් එකක් මා දමා මා යන වෙලාවට මම ඇත්තටම ගොඩක් ලස්සන යැයි මටම සිතේ....දැන් දැන් මා දකින පිරිමි ළමයින් මා සමග වැඩිපුර කතාවට පැමිනිම, හිනාවීමට උත්සහ කිරීම වැනි දෑ කරයි.ඒ නම් මම ඇත්තටම ලස්සන නිසා වන්නට ඇති යැයි මට සිතේ....


“ අද අපි ෂොපින් යමුද...?

ෂර්මිලා නිතරම ඇයගේ බඩුබාහිරාදිය ගන්න යන ගමන්වලට මා සහභාගි කරවා ගන්නට උත්සහ ගනී.


“අද බෑ.... හෙට යමු...හෙට පඩි දවසනේ,.."


"එහෙනම් අපි හෙට නිහාලුත් එක්කම යමු...."


“ඔයාට ඉතින් නිහාල් නැතුවම බෑනේ...."


“ඒක තමයි රුවිනි ඔයාට තාම කවුරුත් බොයි කෙනෙක් නැද්ද...?


“ඒ කිව්වේ...?


“යාළු කොල්ලෙක් එහෙම...?


“මට තාම එහෙම පිස්සුවක් හැදිලා නැහැ...."


“ළඟදීම එහෙම පිස්සුවක් හැදෙන්නේ නැද්ද බලමුකෝ....."


“ඇයි එහෙම කිව්වේ...?


“මං දවස් දෙක තුනක්ම බලාගෙන අර ඉස්සරහ ඔෆ්ස් එකේ ඉදන් හවසට බස් හෝල්ට් එකට එන කළු කොල්ලා උඹ දිහා බලාගෙන ඉන්නවා..."


“මොන කළු කොල්ලද...?

මම මුකුත් නොදන්නා ලෙස ඇසුවෙමි.


“අර ඉස්සරහ ඔෆිස් එකේ ඉඳන් හවසට බස් හෝල්ට් එකට එන කලු උස කොල්ලා ...ඇයි බං බොරුවට අහන්නේ...."


මාත් දවස් දෙක තුනක්ම බලාගෙන ඉස්සරහා ඔෆිස් එකේ ඉඳන් එන කළු උස කොල්ලා මං දිහා බලාගෙන මාත් එක්ක යන්තමට හිනාවෙනවා..... එහෙනම් ෂර්මිලාටත් ඒක පෙනිලා තියෙන හැඩයි....


හැම මාසේම අන්තිමට පඩිය ගත්තාම, ඊට පසු දින ගෙදර ගොස් අම්මාට මගේ පඩිය දෙන්නට මම පුරුදු වී සිටියෙමි. මාසේ වියදමට බස් ගාස්තුවලට අමතරව මම සතයක්වත් තියා නොගෙන අම්මාට මුළු මාසෙම පඩිය දෙන්නෙමි. එය පුරුද්දට ගොස් නිසා මා මාසෙ අන්තිමට ගෙදර එනතුරු අම්මා බලා හිදියි. මම ද එය කවදාවත් වෙනස් නොකළෙමි. මල්ලි දැන් පාසල් යන නිසා ගෙදර වියදම වැඩියි. බාප්පා ලබන සුළු පඩියෙනුත්, අම්මා ඉඳහිට කරන මැහුම් ගෙතුම් ආදියෙනුත් ගෙදර වියදම් පියවා ගත්තාට අමතර කිසිම දෙයක් ගන්න, කරන්න අම්මා අතේ සල්ලි ඉතිරි වෙන්නේ නැති බව මම දනිමි. නමුත් මා දෙන පඩිය අම්මා බැංකු පොතකට දමා මා වෙනුවෙන් ඉතිරි කරන බව අම්මා නිතර කියයි. එබැවින් මම නොවරදවාම අම්මාට මාගේ මාසේ පඩිය දෙන්නෙමි.


“රුවිනි දන්නවද වැඩක්...?


“මොකක්ද...?


“අර බෝයි මාත් එක්ක අද කතා කළානේ...." දිනක් ෂර්මිලා පාන්දර වැඩට ආ ගමන් මගේ ළඟට පැමිණ කීවේ අලුත් ආරංචියකි.


“මොන බෝයිද...?


“අර කළු බෝයි ඉස්සරහා ඔෆිස් එකේ ඉදන් එන්නේ..."


“ඉතින්....?


“මිනිහට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනලු....ඔයාව එයාට අඳුන්නලා දෙන්න බැරිද ඇහුවා...."


“ නෑ....මාත් එක්ක කතා කරන්න...?

මම පුදුමයෙන් ඇසුවෙමි.


“ඔව් මං කිව්වා අද හවසට අඳුන්නලා දෙන්නම් කියලා...."


“ උබට පිස්සුද .... මාව අදුනලා දෙන්න...මම එහෙම එන්නෑ...මට බෑ...."


“උඹට හැමදාම ඔහොම ඉන්න බැහැනේ.... ඊටත් මිනිහට යමක් කමක් තියෙන හාදයෙක් පාටයි...හරි ඩීසන්ට්..... උඹටත් වාසනාවක් තියෙන්න ඕන ඒ වගේ මිනිහෙක් සෙට් වෙන්න....මාර හැන්ඩියා...."

ෂර්මිලා කියවාගෙන යයි..

"ඇයි....එයා විතරද මම ලස්සන නැද්ද ..."?


"නැත්තෙ මොකෝ....බස් හොල්ට් එකේ, සාරියක් ඇදගෙන ඉන්න, ලස්සනම කෙල්ල නිසා වෙන්න ඇති කොල්ලා කතා කරන්න ඕනේ කියන්න ඇත්තේ....".


කවදාවත් පිරිමි ළමයෙකු ගැන වෙනස් විදියට නොබලපු, කවදාවත් යොවුන් ආදරයක් කියා දෙයක් හිතට නොදැනුණු මට ඒ ළමයා දැකපු දවසේ....ඉදන් මගේ හිතටද අමුතුම හැගීමක් සතුටක් දැනී තිබුන බව මම දැනන් උන්නෙමි . ඔහු මා සමග හොරෙන් සිනා සීම, මා දෙස හොරෙන් බැලීම මගේ හිතට සතුටක් දැනුණද, මම එය හිත තුළම සඟවා ගෙන සිටියෙමි. ඒ ළමයාටත් මට සේම මං ගැන හිතක් ඇති වී තිබීම පුදුමය. ෂර්මිලා කියන සේ මට ද හැමදාම තනියම සිටිය නොහැකිය. මා දැන් රස්සාවක් කරන නිදහස් තැනැත්තියක්මි. මට ද කාටහරි ආදරය කරන්නට ඇත්නම් කියා මට දැන් සිතේ....මම දැන් විසි වන වියේ පසු වු අතර වැඩි කාලයක් නොගොස් ...අම්මලා මට විවාහයට කෙනෙකු සොයා දෙන්නට ප්‍රතම .... මටත් ආදරය කරන්න කෙනෙක් සොයා ගන්නට ඇත්නම්, කෙතරම් අගේද කියා මට දෙතුන් පාරක්ම සිති තිබුනි...


එදින වැඩ ඇරෙන්නට කිට්ටු වෙද්දි මම බාත් රූම් එකට ගොස් මූණ සෝදා පවුඩර් ටිකක් දමා, කොණ්ඩය පීරා, ලිප්ස්ටික් ටිකක්ද ගාගෙන ඇඳ සිටි සාරිය නැවතත් සකස් කරගත්තෙමි.


“මොකද මේ හැඩ වැඩ වෙන්නේ ,කවදාවත් නැතුව...

මාව දැකපු ෂර්මිලා මට විහිළු කළේය.


“මං හැමදාම මෙහෙම තමයි ගෙදර යන්නෙ...".මම ලැජ්ජාවෙන් කීවෙමි .


“ඒ වුණාට, වෙනදාට වඩා අද ගොඩක් වෙනස්.... මූණෙ පෙම්පාට ඉතිරිලා....ලිප්ස්ටික් ගාලා...කොන්ඩෙ පිරලා....හරි...හරි..එහෙනම් අපේ නංගිටත් වැඩේ හරියන්නයි එන්නේ....අනේ...හොදයි හොදයි ....." ශර්මිලා මට විහිලු කරයි.


“පලයං යන්න....විහිලු නොකර ..."

මම මුහුණ සවුත්තු කරගෙන කීවෙමි.


-සදුදාට හමුවෙමු -


* ප්‍රිසිලා ගොඩහේවා *

5 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Commentaires


bottom of page