top of page
  • Writer's picturePrisila Godahewa

🌺🌺මට හිමි ඔබයි 🌺🌺

💞මට හිමි ඔබයි💞

(16 වන කොටස)

https://www.facebook.com/groups/2653780434897311/permalink/2727947490813938/

මම අපොස සාමාන්‍ය පෙළ විභාගයට ලියන්න වැඩිපුර මහන්සි වී පාඩම් වැඩකටයුතු කලෙමි. එම විභාගය හොදින් සමත් වීම මගේ ඒකායන බලාපොරොත්තුව විය. විජිත් අය්යා කිව් ලෙස ආපොස සාමාන්‍ය පෙළ සමත් උවහොත් මා හට, රජයේ කන්තෝරුවක ලිපිකාර රැකියාවක පුහුනුවීම් සදහා, අය්යා ලෑස්ති කරදෙන්නන් කිව් වචන මගේ හිත නිතර මතක් කර දෙන්නට විය. එබැවින් මම තව තවත් වැඩිපුර මහන්සි වී පාඩම් වැඩ කටයුතු හොදින් කලෙමි.


ගෙදර දොරේ වැඩ කරන්න, සුමනාගෙ දිනපතා පැමිනීම නිසා, මම දැන් ගෙදර දොර වැඩ වලින් බොහෝ දුරට නිදහස් වී උන්නෙමි. නමුත් මම පුළුවන් විදියට පාසැල් වැඩ නැති අවස්තා වල අම්මාට ගෙදර වැඩට උදවු කළෙමි.


මල්ලිද පාසැල් යන්න ලග නිසා, මම වැඩිපුර ඔහුටද අකුරු කියාදෙමින් ඔහු උනන්දු කරමින් ඉන්නෙමි.


බාප්පා සුපුරුදු ලෙස උදේ වැඩට ගොස් හවසට ගෙදර එයි. ගෙදර දොරේ සියලු වැඩ කටයුතු බලා කියා ගනිමින් අම්මා ගෙදර පාලනය අතට ඇරන් ඇත. බාප්පා දැන් අම්මාට අවශ්‍ය ලෙස ගෙදර ජීවත් වෙයි. ඇයගේ උත්සහ වන්ත බව නිසා, බාප්පා අම්මාගෙ වැඩ වලට ඇගිලි නොගසයි.


පාසැලේ සාමාන්‍ය පෙළ විභාගය සදහා මම වැඩිපුර මහන්සි වන නිසා, දැන් වැඩිපුර අක්කලාගෙ ගෙදරද නොයමි. ඉදහිට අක්කලාගෙ

අක්කාගෙ ගෙදර ගිය අවස්තා වල, අක්කාගෙ දරුවා සමග මම සෙල්ලම් කරන්නට වැඩි කැමැත්තක් දක්වමි. අක්කාගෙ පුතා පුංච් අම්මා කියා මා ඇමතීම මට සතුටකි. එවැනි අවස්තා වල මට, මම වැඩිහිටි කෙනෙකු බව හිතට දැනේ...


අක්කාටද වැඩට කෙනෙකු සිටින බැවින්, දරුවාගෙ වැඩද ඇය කර දීම අක්කාට පහසු වක් වී ඇත. විජිත් අයියා අක්කාට ඉතා හොඳින් සලකමින් හොදින් ආදරය කල ආදරබර සැමියකු විය. ගෙදරදොරේ හැම අඩුපාඩුවක්ම බලන අයියා, ගෙදරට අවශ්‍ය කෑමබීම, බඩුමුට්ටු ගේන්න කඩේටද යයි.. දරුවාගෙ අමතර වැඩ කටයුතුද කර දෙයි. ගෙදරදොරේ වැඩවලටද උදවු කරන අයියා, ගෙදර සිටින හැම වෙලාවටම දරුවා සෝදා, නහවා, බත් කවා පොත් පත්වල වැඩ කියා දෙයි. අක්කාට තියෙන්නේ ගේ ඇතුළට වෙලා ඉඳගෙන, වැඩට සිටින කෙනත් සමඟ එකතු වී ගෙයි අඩුපාඩු බලන්නට පමනය. කවදාවත් අහලපහළ ගෙදරකට නොයන අක්කා කඩේට බඩුමුට්ටුවක් ගන්න යන්නේද නැත. සියලු අවශ්‍යතාවන් ඉටු කරන විජිත් අයියා හොඳ සැමියෙක් වගේම දරුවාට හොඳ පියෙක්ද වෙයි.


මම වයස අවුරුදු 16 සම්පූර්ණ වෙනවාත් සමඟම සාමාන්‍ය පෙළ විභාගයට වාඩි වුණෙමි. හොඳින් විභාගෙ වැඩ කළ මම විභාග ප්‍රතිඵල එනකම් අක්කලාගේ ගෙදර ගොස් නැවතුණෙමි. මා දැන් ගෙදර නැති වුණාට අම්මාට පාඩුවක් නැත. ඒ සුමනා සේම අහලපහළ ගෙවල්වල අයද අම්මාට හොඳින් උදවුපදව් කරනා නිසාය. මල්ලිගෙ වැඩ සුමනාවතී කරන අතර, අම්මා සමාජ් සේවය සදහා ඉදිරිපත් වී ඇත.


මා දිගටම අක්කාගේ ගෙදර නවතින්න ආබව දැනගෙන, අක්කාගෙ පුතා බොහෝ සතුටු විය.


“පුංචි එන්න සෙල්ලම් කරන්න. පුංචි මට මේක කරලා දෙන්න අරක දෙන්න...අපි කඩේ යමු...සරුංගල් අරිමු ආදි දේ මට කියයි....."


දරුවට අවශ්‍ය මාත් සමඟම සෙල්ලම් කරමින් සිටින්නටය.


“නංගී ආව නිසා මටත් ලේසියි. හවසට පුතාට අකුරු ලියන්න කියලා දෙන්නකෝ.... මං වැඩ ඇරිලා එනකොට පරක්කුත් වෙනවනේ..."

විජිත් අයියා කියයි.


විජිත් අයියාද මා අක්කලාගේ ගෙදර නැවතීම ගැන ඉතා සතුටු විය.


“ඔයාට පුළුවන් නම් දැන් නංගීට රස්සාවක් හොයලා දෙන්නකෝ. ඔය ඉගෙන ගත්තා මදැයි...."


දිනක් අක්කා, අය්යාට කී විට මට සතුටු සිතිණි.


“මාත් ආසයි ඉක්මනට රස්සාවක් කරන්න. ඒත් මට තවම අවුරුදු 16 ය ඉවර උනා විතරනේ.... මාව රස්සාවකට ගනීද.....පුහුනුවීමකට උනත් කමක් නෑ අය්යේ මුලින්..."


“බලමුකෝ උත්සාහ කරලා, මං අඳුනන අයත් ඉන්නවා. කෝකටත් ඉල්ලුම් පත්‍රයක් ලියලා දෙන්නකෝ...."

අයියා කීවේය.


විභාගය නිම වී මාස 4 ක් ගෙවි ගිය කළ විභාග ප්‍රතිඵල ආවේය. සාමාන්‍ය පෙළ විභාගයෙන් මම සමත් වී සිටියෙමි. එම නිසා සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලද දමා මම රස්සාවකට ඉල්ලුම්පත් සකස් කර අයියාට දුන්නෙමි.


“ඉක්මනින් රස්සාවක් හම්බ වෙනවා නම් හොඳයි, ගෙදරට වෙලා නිකම් ඉන්නත් කම්මැලියි. කීයක් හරි අතට හම්බ වෙනවා නම් බාප්පා මං වෙනුවෙන් වෙන මහන්සියටත් උදවුවක්නේ....."


“පුංචිට රස්සාවක් හම්බ වුණාම මෙහෙන් යයි. ඒ හින්දා රස්සාවක් හොයලා දෙන්න එපා තාත්තේ....."


අක්කාගේ පොඩි පුතා කියන විට මට දුක සිතුණි.


“මෙහේ ඉඳන් යන්න පුළුවන් රස්සාවක් මට හොයලා දෙන්න කියන්නකෝ තාත්තාට...."

මම පුතාට කීවෙමි.


කාලය සෙමින් ගෙවී ගියේය. මා අක්කලාගේ ගෙදරට ඇවිත් මාස තුනක් පමන යන විට අයියා දෙපාර්තමේන්තුවක දන්න කියන ඉහළ තනතුරුවල සිටින අය මාර්ගයෙන් මට රැකියාවක් සොයා දුන්නේය. නමුත් එය මාස හයක පුහුනුවීමක් සදහායි. පුහුණුවීම් කාලයෙන් පසු රැකියාවක් ලබා ගැනිමට අවස්තාවක් එන බව අය්යා කීය.


“රුවිනි නංගි.... මං මේ පුහුණුවීම හදලා දුන්න විදිය නම් එතැන ඉන්න අයට කියන්න එපා...."


“ඒක තමයි නංගි. ඔයාට තාම අවුරුදු 18ක් වත් නැති නිසා අය්යට ප්‍රශ්න ඇති වෙයිද දන්නෙත් නෑනේ....අක්කාද කීය.


“මං කාටවත් මේ ගැන කියන්නේ නෑ....."

මම පොරොන්දු වුණෙමි.


“නංගිට මෙහේ ඉඳන්ම කන්තෝරුවේ පුහුණුවීමට යන්න පුළුවන්.... දරුවත් ආසයිනේ නංගි මෙහේ ඉන්නවට. ඊටත් මෙහේ ඉඳන් පුහුණුවීම් මද්‍යස්තානයට ළඟයි.....

අයියාද කීවේය.


“ අක්කේ මං අද ලොකු පුතත් එක්ක ගෙදර ගිහින් මේ ගැන අම්මාටයි, බාප්පාටයි කියලා එන්නද...? අම්මාට සතුටු හිතෙයි ආණ්ඩුවේ රස්සාවක පුහුණුවීමකට හරි මට යන්න හම්බ වුණා කියලා දැනගත්තාම...."


“අපොයි ඔව්. රජයේ රැකියාවක් කියන්නේ වයසට ගියාම පෙන්ෂන් එකක් හම්බ වෙන එකක් නේ. පුහුණුවීමෙන් මාස හයකට පස්සේ රස්සාව ලැබෙනවා කියනවනේ....අපේ පරම්පරාවේ රජයේ රැකියා කරන අය කී දෙනාද ඉන්නේ......

අක්කාද කීවේය.


“මං අද ගෙදර ගිහින් ,එහේ නැවතිලා අනිද්දට එන්නම්.... අම්මාත් අදම මට ආයෙත් එන්න දෙන එකක් නෑ.....


“එතකොට ලොකු පුතා...?


“එයාවත් මම එහේ තියාගන්නම්.... අනිද්දට මං එනකොට එක්ක එන්න බැරියැ..... ආච්චිත් ආස ඇතිනේ ලොකු මුනුපුරා දකින්න, සංග්‍රහ කරන්න එහෙම ...."

මම ලොකු පුතාගේ ඔළුව අතගාමින් කීවෙමි.


“පරිස්සමින් යන්න එහෙනම්....."

අයියාද කීවේය.


ලොකු පුතා සමඟ මා එදින අපේ ගෙදරට යන විට හොඳටම හවස් වි තිබුනි. ගෙදර දොරකඩටම යන විට මල්ලී ඇවිත් මගේ ඇඟේ එල්ලිණි. අක්කා ගෙදරින් එන විට සාදා දුන් රස කැවිලි පාර්සලය ඔහුගෙ අතේ තැබූ විට එයත් රැගෙන ඔහු ගේ ඇතුළට දිව්වේය. ලොකු පුතාද ඔවුන්ට එකතු විය.


“ඈ පොඩි දුවේ.... මේ හදිස්සියේ මොකද ආවේ...? හොඳටම හවස් වුණත් එක්කනේ....."


“අම්මාට සතුටු ආරංචියක් කියන්න ආවේ....."


“ඒ මොකක්ද?


“මට රස්සාවකට පුහුණුවීම් වලට එන්න කියලා ලියුමක් හම්බ වුණානේ...."


“මොනවා, මේ ඊයේ පෙරේදනේ විභාගයේ ප්‍රතිඵල ආවෙත්..."


“අයියා හඳුනන අයට කියලා අමාරුවෙන් තමයි හදලා දීලා තියෙන්නේ....."


“එහෙමද....විජිත් ළමය හොඳ කෙනෙක්. අක්කව කසාද බැන්ද කියලා නිකම් හිටියේ නෑ.... නිතරම අපටත් උදවු කරනවා....."


“ඒක තමයි අම්මේ. විජිත් අයියා හරි හොඳයි. අක්කාටත් හරි ආදරෙයි. මොනවයින්වත් අඩුපාඩුවක් කරන්නේ නෑ. අක්කා ඉල්ලන දෙයක් දෙනවා. දරුවටත් ඒ වගේම ආදරෙයි. හොඳ කෙනෙක් නිසානේ මටත් රස්සාවක් හොයලා දුන්නේ....."


“කවද්ද පොඩි දුව දැන් වැඩට යන්න තියෙන්නේ....?


“එන සඳුදා උදේ...."


“උඹට ඇඳගෙන යන්න එහෙමත් ඇඳුම් නෑනේ....."


“ඒකට ප්‍රශ්නයක් නෑ. අක්කා කිව්වා මුලින් එයාගේ ඇදුම් ඇඳගෙන යන්න කියලා....."


“ඔව් ඉතින් විජිත් ළමයා ගෙනත් දෙන ඇඳුම් ගොඩ ගහගෙන ඉන්නව මිසක් කඩේකටවත් එළියට යන එකක් යැ එයා.."


ලොකු පුතත් සමඟ දවස් දෙකක් ගෙදර සිටි මා තුන්වැනි දවසේ අක්කලාගේ ගෙදර ආවේ සඳුදා වැඩට යන්න තියෙන නිසාය. අම්මාට, බාප්පාට, මල්ලීට කියා මං ගෙදරින් එන්න හදනකොට අම්මා මට කතා කොට..


“පොඩි දුවේ මේ ගවුම් රෙදි දෙක ඔයා, අලුත් ගවුම් දෙකක් මහලා අඳින්න ගන්න. අක්කාට වැඩිය කරදර කරන්න එපා...."

යැයි කීය.


“රුවිනි.... මේ සල්ලි ටික තියාගන්න. මුලින් මාසේ බස් එකේ යන්න සල්ලිත් එපෑ.......

බාප්පා සල්ලි වගයක් මගේ අත මිට මෙලෙව්වේය.


“ඕන නෑ බාප්පේ...."

මම අදිමදි කළෙමි.


“නෑ නෑ ගන්න, විජිත් මහත්තයට කරදර කරන්න හොඳ නෑනේ..."


අම්මායි, බාප්පායි තවම විජිත් අයියාට කතා කරන්නේ විජිත් මහත්තයා කිය‍යි. ඒ විජිත් අයියා දැනඋගත් කෙනෙක් නිසා වෙන්නට ඇති.


එදින බාප්පා මායි, ලොකු පුතයි බස් නැවතුමට එන තෙක් එක්ක ඇවිත්, බසයට නැග්ගුවේය.


ඈත පිටිසර ගමක හැදීවැඩී, පසුව කොළඹ පැමින, කොළඹ පාසලකට යන්න වරම් ලැබුව, තාත්තා නැති අක්කගෙයි මගෙයි ජීවිත කතා වෙනස් ආකාරයකට පෙළගැසුණේ තාත්තා නැති අපට තාත්තා කෙනෙකු සේ බාප්පා හොඳින් සැලකූ නිසාය.

ඒ වගේම අප දෙදෙනා හොඳින් ඉගෙන ගත් නිසාත්ය. අපි බාප්පාට ණයගැති වෙමු. අක්කා රස්සාවක් නොකළත්, විජිත් අයියාගේ ආදරය, කරුණාව මැද හොඳ ජීවිතයක් ගත කරන්නේය. කවදාවත් නොසිතූ ලෙස මටද රජයේ රැකියාවක් ලැබෙන්න යන්නේය. පුංචි කාලයේ තාත්තා නැති වුණත් අප දෙදෙනා හදාගන්න අම්මා කොළඹ ආ නිසා අපිත් සමාජයේ හොඳ මිනිසුන් වී ඇත. උගත්කමක් ලබා ඇත. අපව කොළඹ රැගෙන ආවාට අපි අම්මාටද ණය ගැතිය.


-හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

6 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Kommentare


bottom of page