top of page
  • Writer's picturePrisila Godahewa

🌺🌺මට හිමි ඔබයි🌺🌺

💞මට හිමි ඔබයි💞

(15 වන කොටස )

https://www.facebook.com/groups/2653780434897311/permalink/2727176347557719/

" මේ රුවිනිට ටික දවසක් මෙහෙ නැවතිලා ඉන්න ඕනෙ කියන්නේ....රුවිනි ගෙදර නැති උනාම අම්මට පාඩුයි ....ඒ උනාට ඉස්කෝලේ නිවාඩු කාලේ එනකම් රුවිනි බලාගෙන හිටිය නිසයි මේ එක්ක ආවේ..."

බාප්පා කීය.


“ කොච්චර දෙයක්ද නංගි මෙහෙ ආපු එක....මට දවල්ට පාළු නැතුව ටික දවසක් ඉන්න පුලුවන් .......විජිත් උනත් සතුටු වෙයි නංගි ටික දවසක් මෙහේ නැවතිලා ඉන්නවට....."


“කවුද දැන් කසුනි දුවගේ ගෙදර වැඩ කරලා දෙන්නේ....? දරුවත් එක්ක තනියම වැඩ කරගන්නත් අමාරු ඇතිනේ.... බාප්පා ඇසුවේ අක්කාගෙනි.


“කවුරුත් නැවතිලා ඉන්නේ නෑ බාප්පේ. ..මේ ළඟපාත ගෑනු කෙනෙක් උදේට ඇවිත් ගෙවල් දොරවල් අතුගාලා, දරුවාගේ රෙදි හෝදලා, උයනපිහන වැඩට උදවු කරලා හවසට යනවා."


“එහෙමද? එහෙනම් නංගි ආපු එක හොඳයි. කසුනිගේ තනියටත් එක්ක....."


“අනේ ඔව් බාප්පේ, නංගි ආපු එක කොච්චර දෙයක්ද?


“නංගිගෙ ඉස්කෝලේ නිවාඩු කාලෙනේ.... ඒක හොඳට ගියා...අම්මට නම් ඉතිං වටපිටාවේ ගෑනු කට්ටිය ඉන්නවානේ උදව්වට...."


"දැන් මල්ලි ටිකක් ලොකු නිසා අම්මට කරදරයක් නෑ...."


“විජිත් ළමයා එනකොට තව පරක්කු වෙයිද කසුනි ..? මට යන්න ඕනෙ රෑ වෙන්න ඉස්සර..."


“ ඔව්...විජිත එනකොට තව ටිකක් හවස් වෙයි බාප්පේ...."


“එහෙනම් දුවේ මං ගෙදර යන්නම්.... මං ඇවිත් ගියා කියලා විජිත් ළමයට කියන්න කෝ...."


“හා බාප්පේ..... ඉන්න ටිකක් .... මේ බිස්කට්, පලතුරු වගයක් තියෙනවා, මල්ලිට ගිහින් දෙන්නකෝ, මං දුන්නා කියලා...."


“අන්න... කසුනිට අම්මා වැලිතලපත් හදලා එවලා ඇති... තව පොළොස් ඇඹුලක්, මිරිස් ඇඹුල් තියල් එහෙමත් එව්වා. ඔය ළමයා කන්න ආසයි කියලා....."


“අනේ ඔව් බාප්පේ.... නංගි මට කිව්වා.... අම්මට මම ස්තුති කරා කියන්න ...."


මා අක්කාගේ තනියට ගෙදර නැවතීම විජිත් අයියාට සතුටට කාරණයක් විය.


“කොච්චර දෙයක්ද නංගි මෙහේ නවතින්න ආපු එක...ඉස්කෝලේ නිවාඩුව මාසෙකට කිට්ටු වෙන්න තියෙන නිසා, අපට කොහේ කොහේ හරි රුවිනි නංගිවත් ඇවිදින්න එක්ක යන්න පුලුවන් ..."


"ඒක නම් කොච්චර දෙයක්ද...බාප්පයි අම්මයි එක්ක,ගෙදරට වෙලා ඉන්නවා මිසක් නිවාඩුවකටවත් අපිව කොහේවත් එක්ක යන්නෙ නෑනේ..."


"අපි එහෙනම් රුවිනි නංගිත් එක්කගෙන හෙට මුහුදු වෙරළ බලන්න යමු....නේද කසුනි....? අපටත් කාලෙකින් ගෝල්ෆේස් යන්න බැරි වුණානේ...."


“අනේ කොච්චර දෙයක්ද? මටත් මේ පුතාගේ වැඩ කරකර ගෙදරටම වෙලා ඉඳලාම, ඇති වෙලා තිබුණේ....."


අක්කගෙ පුතාටත් දැන් අවුරුද්දකට ලං වෙන්න ඇවිත් ඇත. ඔහු දැන් යාන්තමට, යමක් අල්ලාගෙන නැගිටින්න හදයි. කිරි සිනා පාමින් ඔහු එහෙ මෙහෙ වැටි වැටි යමින් මා සමග වැඩිපුර එකතුවී ඇත.


අක්කාට ගෙදර වැඩ කර දෙන්න ගෑනු කෙනෙක් දිනපතා එන නිසා...අක්කා,ගෙදර වැඩ වලින් නිදහස් වී පුතාගෙ වැඩ කරගෙන ගෙදරට වෙලා ඉදියි. ගෙදරට ඕන කරන එලවළු තුනපහ, මස් මාළු ගේන්නේ විජිත් අය්යාමයි. ඔහු අක්කාට හැම තිස්සෙම ගෙදර වැඩට උදව් කරන්නේය. ඔහු වැනි හොද ස්වාමිපුරුෂයකු ලැබීම අක්කාගේ වාසනාවක් යැයි මට සිතේ...එය අපේ අම්මා ඇතුලු සියලු නෑදෑයෝ කියනා දෙයක්ද වේ.


පසුදින සවස අපි තුන්දෙනා පුතාවත් අරගෙන ගෝල්ෆේස් පිටියේ ඇවිදින්නට ගියෙමු. කාලයකට පස්සේ නිදහසේ ඇවිදිමින් මුහුදු හුළං විඳින්න ලැබීම සිතට ඇති කළේ සතුටකි. විජිත් අයියා අක්කාටත් මටත් ඉස්සො වඩේ, තම්බ්පු කඩල ගෙනත් කන්නට දුන්නේය. අපි ඒවා ගෝල්ෆේස් පිටියේ තණකොළ පිස්සේ වාඩිවී කෑවෙමු.


“මේ මේ පුතත් අත දික් කරන්නේ එයාටත් අපි කන ඒවා ඕන වෙලා වගේ...."


අපි පුතාව බිම රෙද්දක් එලා ඒ මත තබා බොහෝ වේලාවක් මුහුදු සුළඟ විඳිමින් සිටියෙමු. ගෝල්ෆේස් පිටියේ හැම තැනම සරුංගල් අරින ළමයින් වගේම වැඩිහිටියන්ද පිරි ඇත. රටකජු ,වඩේ, කඩල කරත්ත, අයිස්ක්‍රීම් විකුනන වෑන්, ගෝල්ෆේස් පිටියේ තැන තැන ඇත. ඔවුන්ගේ සද්ද හතරවටේටම පැතිර ගොස් ඇත.... තනපිස්සේ වාඩි වී සිටින්නන් වගේම...මුහුදු වෙරළ පාගන අයද ඉතා සතුටින්, සැහැල්ලුවෙන් සිටිනුපෙනේ..... ගාළුමුවදොර පිටිය නම්, මෙවැනි නිදහස් විශාල බිමක් කොළඹ පිහිටා තිබීම කොයිතරම් නම් කොළඹ මිනිසුන්ට අගේද යන්න මම කල්පනා කරමින් අවට පරිසරය වින්දෙමි...


කළුවර වැටීගෙන එන විට ගෝල්ෆේස් පිටියේ වටේට තිබු, විදුලි පහන් කනුවල එළි දිස්වෙන්න පටන් ගත්තේ පලාතම එළිය කරමින්‍ය. ...තණපිටියේ තවමත් තැන තැන වාඩිවී මිනිසුන්, සැහැල්ලුවෙන් ගිමන් හරිනු පෙනේ.... තව වේලා අක්කත් මමත් , මුහුදු හුළං වදිමින් ඇවිද්දෙමු....අය්යා පුතා සමග තණපිටියේ වාඩිවී ඔහු බලාගැනිම අපට පහසුවක් විය. කෙතරම් වේලාවක් මේ නිදහස් බිමේ නැවති සිටියත් ඇති නොවන ගානය. මුහුදු සුළං වදිමින්, අවට සුන්දර දසුන් බළමින් අක්කාත් මමත් සැහැල්ලුවෙන් තව තවත් ඇවිද්දෙමු ....

කළුවර වැටිගෙන් එන කිට්ටුව අයියා ,අපට ගෙදර යෑමට කතා කළේය.


“අපි දැන් ගෙදර යමු නේද ? රෑවේගෙන එනවානේ.... අපි යන ගමන් කොල්ලුපිටියේ තෝසෙ කඩේකට ගිහින් තෝසෙ වගේ දෙයක් කාලම ගෙදර යමු නේද කසුනි ..... එතකොට ඔයාට රෑට උයන්න ඕන නෑ...."


“ෂා හරි ෂෝක් එහෙනම් ලේසියි.... අපට ගෙදර ගිහින් නිදියගන්න විතරයි තියෙන්නේ."


"මම නම් තෝසේ කඩේකින් තෝසේ කාලම නෑ..." මම කීවෙමි


"එහෙනම් අද කාලා බලන්නකෝ..."


අපි තුන්දෙනා පුතා සමග ගාලු පාර දිගේ හෙමිහිට ඇවිදගෙනම කොල්ලුපිටියේ තෝසේ කඩයකට ගියෙමු . එය ඉන්දුලංකා තෝසේ නමින් තිබුන දෙමළ කඩයක් විය. එහි තිබුනේ එළවළු කෑම වර්ග විතරය.

අපි තුන්දෙනා...එහි ඇතුලට ගොස් කෑම මේසයකින් වාඩි වුනෙමු.


වැඩි වේලාවක් නොගොස්ම කඩේ ආහාර බෙදන සේවකයින්, අපි වාඩිවී සිටි මේසේ අපේ ඉස්සරහින් කෙහෙල් කොළ තියාගෙන ගියෝය. ඉන් පසු තෝසේ හා වඩේ පිගන් වගයක් මේසෙ උඩින් තියා....පසුව පුංච් රිදී පාට බාල්දි වලට සාම්බාරු හොදි, රතු පාට චෝරු සම්බෝල , කොළ පාට සම්බෝල කෙහෙල් කොලවලට බෙදාගෙන ගියේ...ලොකු රිදී පාට හැදි වලිනි. තෝසේ හොදි, සම්බෝල සමග හොදින් අනාගෙන, අපි ඇති වෙන්න තෝසේ හා වඩේ වර්ගද කෑවෙමු.

මසාලා වඩේ, උළුදු වඩේ හා මසාලා තෝසේ සාම්බාරු හොදි කොළපාට, තැඹිලිපාට සම්බෝල එක්ක මේ කෑමේ ඇත්තේ පුදුම රසකි. ගෙදර දී අම්මා සුමනාට කියා කොච්චර තෝසේ වඩේ හදලා දුන්නත් ඒවා මේතරම් රහ නැතැයි මට දැන් නම් සිතේ ....


එදින රෑට තෝසේ කා අපි ගෙදර එනවිට රෑ නමයට කිට්ටු වී, පුතාට අය්යා අතේම නින්ද ගොස් තිබුනි. අක්කා හා මම එදින හුගකාලෙකට පසු එකට විනෝදයෙන් සැහැල්ලුවෙන් සිටි දිනයක් විය.


"දැන් එන අවුරුද්දේ අන්තිමට නේද නංගිගේ සාමාන්‍ය පෙළ විභාගය තියෙන්නේ ?


"ඔව් අය්යේ..."


"එහෙනම් ගොඩක් මහන්සි වෙලා පාඩම් වැඩ කටයුතු කරගන්න වෙයි...ඊට පස්සෙ නංගි මොනවද කරන්න හිතාගෙන ඉන්නේ...? උසස් පෙළ විභාගය කරලා විශ්වවිද්‍යාලයට යන්න එහෙමද අදහස...?


"නෑ අය්යේ...මම ඉක්මනට රස්සාවක් කරන්නයි කැමති...බාප්පටත් හැමදාම කරදර කරන්න බෑනේ....තව ටික කාලෙකින් මල්ලිගෙ ඉස්කෝලේ වැඩවලටත් බාප්පට ගොඩක් වියදම් යයිනේ...දැනටත් බාප්පා මගේ ඉස්කෝලේ වැඩවලට අමාරුවෙන් උදව් කරන්නේ කියලා මම දන්නවා...."


"එහෙමද...? එහෙනම් රුවිනි නංගි සාමාන්‍ය පෙළ විභාගය හොදින් කරගන්න. ඊට පස්සේ මම මොනව හරි කරලා ඔයාට රස්සාවක් හොයලා දෙන්න බලන්නම්කෝ....මම අදුනන අය ආංඩුවේ රස්සාවල ඉන්න නිසා..."


"එහෙම නම් කොච්චර ලොකු දෙයක්ද ..අය්යේ...?


"හැබැයි ඉතිං ,මුලින් පුහුණුවීම් කාලයකට ගිහින් වැඩ ඉගෙන ගන්න වෙයි...ඔයාට වැඩි වයසක් නැති නිසා...."


"ඒකට කමක් නෑ අය්යේ...ආන්ඩුවේ තැනක පොඩි පඩියකට හරි රස්සාවක් හම්බ වෙනවනම් කොච්චර ලොකු දෙයක්ද...."


"අපි ඉස්සරහට බලමුකෝ ...ඉස්සෙල්ලා නංගි විභාගෙ හොදට කරගන්නකෝ..."


"අනේ ඔව් විජිත ,නංගිට සාමාන්‍ය පෙලින් පස්සේ රස්සාවක් හොයලා දෙන්න පුලුවන් නම් ලොකු දෙයක් ..."


පාසැල් නිවාඩු කාලේ ඉවර වෙන තෙක් මම අක්කලාගෙ ගෙදර, අක්කා හා අය්යා සමග සතුටින් ඉද, නැවත ගෙදර ආවෙමි.


එලෙස හැම පාසැල් නිවාඩුවකටම මම අක්කලාගෙ ගෙදර යන්නට පුරුදු වුනෙමි .


කාලය ටිකෙන් ටික ගෙවි ගොස්, මම සාමාන්‍ය පෙල පංතිය දක්වා පැමිනියෙමි. වසර අවසානයේ සාමාන්‍ය පෙල විභාගයට ලියන්න, මම ඉතා උනන්දුවෙන් ලක ලෑස්ති වෙමින් උන්නෙමි.

මේ වනවිට මල්ලිද පාසැල් යන්නට පටන් ගෙන තිබුනි. අම්මා හා බාප්පා මල්ලිගෙ වැඩ කටයුතු වෙනුවෙන් මහන්සි වෙන්නේ ඉතා සතුටිනි.

අම්මා අහල පහල ගෙවල් වල ගෑනු හා ළමයින්ගෙ ඇදුම් මසමින් වැඩිපුර කීයක් හරි වියදමට සොයා ගනී. ඊට අමතරව අම්මා , ගෙවල් වටේ අයට පොළියට සල්ලිද දෙයි. අවුරුද්දේ දෙකේ මුදල් සීට්ටු, බඩු සීට්ටු දාන්නේද ඇයයි. මේ වන විට අම්මා අප සිටි ප්‍රදේශයේ ඉතා ප්‍රසිද්ධ චරිතයක් වී ඇත. ඇයගේ ප්‍රදානත්වයෙන් ගමේ බොහෝ වැඩ කටයුතු සිද්දවෙයි. ඇයගේ උත්සහවන්ත ,කඩිසර නුවනැති බව නිසා, අපි ගමේ අනෙක් මිනිසුන් අතර හොද නමක් දිනාගෙන ජීවත් වන්නෙමු.


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

3 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page