top of page
  • Writer's picturePrisila Godahewa

🌺🌺මට හිමි ඔබයි 🌺🌺

💞ඔබ මට හිමියි💞

(14 වන කොටස )

https://www.facebook.com/groups/2653780434897311/permalink/2726203284321692/

අම්මාට මල්ලී ලැබී අවුරුද්දක් පමණ ගිය පසු, අක්කාටද දරුවකු ලැබෙන්න ඉන්නා බව අප දැනගත්තේ විජිත් අය්යාගෙනි. ඔහු අපේ ගෙදර විත් ඒ බව කිව් දිනයේ අම්මා සිටියේ බොහෝ සතුටිනි.


"අනේ මට මේ පොඩි කොළුවා දාලා යන්න විදිහක් නෑනේ කසුනි බලන්න ...තව ටික දවසකින් කසුනි මෙහෙ ගෙනත් නවත්ත ගන්න ඕනේ...."


"එන සුමානෙ මම කසුනි එක්ක මෙහෙ එන්නම්කෝ....කසුනිට මොනවත් ගෙදර උයන කෑම කන්න බෑ කියලා... , මම මේ දවස් වල කඩෙන් ගෙනිහින් කසුනිට කන්න කෑම දෙන්නේ..."


"අනේ එහෙමද පුතේ....එහෙනම් පොඩ්ඩක් ඉන්න මම දවල් උයපු කෑම වලින් කෙහෙල් කොලේ බත් මුලක් බැදලා දෙන්නම් කෙල්ලට...."


"කෙහෙල් කොලේ බත් ගෙනිච්චොත් නම් කසුනි ආසාවෙන් කෑම කයි. .."


"මම එන සෙනසුරාදා එන්නම්කෝ කසුනි බලලා යන්න...පොලොස් ඇබුලක් , ඇබුල්තියල් මාලු ටිකක් එහෙම හදාගෙන...."


"හොදයි අම්මේ....මම කසුනිට කියන්නම්...."


ඉන්පසු ඉඩ ලැබෙන වෙලාවට මම බාප්පා සමග, අක්කාට, අම්මා සාදා දෙන කෑම රැගෙන, අක්කා බලන්න නිතර අක්කලාගෙ ගෙදර ගියෙමු. අක්කා දැන් ඉස්සර හිටියාට වඩා මහත්වී ලස්සන වී ඇත. ඇය දකින විට මට දුකත් සිතේ...ඒ ඇය ඇයට වඩා ලොකු බඩක් උස්සාගෙන ගෙදර එහෙ මෙහෙ යන හැටි දකින විටය. විජිත් අය්යා අක්කාට ඉතා ආදරෙන් සලකමින් ඇගේ සියලු ඕනෑඑපාකම් බලන්නේය. විජිත් අය්ය වැනි කෙනෙකු අක්කාට ලැබීම ඇගේ වාසනාවක් යැයි මට සිතේ....


අක්කාට බබා හම්බවෙන්න සුමාන තුනක් පමණ තිබියදී ....අක්කා ඇවිත්

අපේ ගෙදර නැවතුනේය.... විජිත් අයියා අපේ ගෙදර නවතින්න ආවේ නැත. ඒ වත්තල ගෙදර වසා දමා එන්නට බැරි නිසාය. වැඩට යන්න තියෙන නිසාත්, වත්තල ගෙදර සිට වැඩට යෑම පහසු නිසාත් විජිත් අයියා වත්තල ගෙදර නැවති සිටියේය. නමුත් සුමානෙකට දවස් තුන හතරක්ම අක්කා බලන්න ,ඔහු හවසට අපේ ගෙදර ආවේය. ඒ බෑග් මළු පිරෙන්න එළවළු, පලතුරු, පැණිරස කෑම අරන්ය. අම්මාද විජිත් අයියා ආ විට, ඔහුට ඉතා හොඳින් සංග්‍රහ කරයි. අයියා එන හැම දවසකම රෑට අයියාට කෑම බීම දී සංග්‍රහ කර ගෙදර යවයි. අය්යා එනකම් අක්කාද මග බලා හිදියි.


"කසුනිට දැන් දින හරි නේද අම්මේ....?


“ඔව් හෙට අනිද්දා බබා හම්බ වෙයි..." අම්ම කීය.


"මට දැන් ගෙදර තනියම ඉඳලා ඇති වෙලා....."

විජිත් අයියා අක්කා සමඟ කියයි.


“ බබා හම්බවෙන්න අන්තිම මාසය වෙනකම් ඉදලා , මං අම්මලාගේ ගෙදර ආවෙත් ඒ නිසයි..... නැත්නම් මාස තුනක් විතර වේලාසන මහගෙදර එන්න ඕනේ කියලයි අම්මා කිව්වේ.....ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට ගිහින් දරුවා හම්බ වුණා නම් ඉවරයි..... " අක්කා කීය.


"මටත් තනියම මොනවත් කර ගන්න බැරි නිසයි, ඔයාව මෙහේ ගෙනත් නැවත්තුවේ.... අම්මලා කැමැති දෙයක් කරපුවාවේ...ඒගොල්ලෝනේ මේ දේවල් දන්නේ..."

විජිත් අයියා කීවේය.


අක්කා අපේ ගෙදර විත්, සුමාන තුනකට විතර පසු,පොසොන් පොහොයදා..

... රෑ අක්කාට අමාරු විය. වින්නඹු අම්මා එක්කන් ආවේ බාප්පාය.... විජිත් අයියාත් එදින අපේ ගෙදර නැවතුණේ පොහොය දවසට බබා හම්බවෙයි කියා, අම්මත් වින්නඹු අම්මාත් කියා තිබූ බැවිනි.


නමුත් පෙර දින රෑ සිට අක්කා කෙඳිරි ගගා හිටියත් පසුදින හවස් වෙනකම් අක්කාට දරුවා නොලැබුනාය.


වින්නඹු අම්මා ගොස් තවත් වින්නඹු අම්මා කෙනෙකු එක්ක ආවේ අක්කාට දරුවා හම්බවෙන්න පරක්කු වෙන නිසායි.

අක්කා එක දිගට පැය ගානක් කෙඳිරි ගගා ඉඳ හවස් වෙනකොට හොඳටම දුර්වල වී සිටියාය. වින්නඹු අම්මලා සහ තව ගැහැනුන් ගෙදරට එකතු වී බලා හිටියේ කොයි මොහොතේ අක්කාට බබා හම්බ වෙයිද කියායි.


“දරුවා හැදිලා වැඩියි. ඒක තමයි එළියට එන්න අමාරු...."


“මං කසුනිට කිව්වා ඕනවට වඩා කන්න එපා කියලා...

දරුවා ලොකු වෙයි කියලා.... කොහේද විජිත් ළමයත් , මෙයාට ආසාවට කියන කියන කෑමජාති ගෙනත් දුන්නනේ......"


“කෑවට කමක් නෑ.... දෙන්නෙකුට එක්ක කන්න එපායැ.... ඒත් හොඳට මහන්සි වෙලා වැඩ කළා නම් දරුවා හම්බ වෙන්න අමාරු වෙන්නෑ...."


“කොහේද මේ ළමයා කම්මැලියිනේ.... කකා බිබී එක තැනම ඉන්න ඇති.... විජිත් ළමයත් කසුනිට තියෙන ආදරේට, ගෙදර වැඩ ඔක්කොම කරලා දුන්න කියලා මට ආරංචියි....

"


අම්මා නොක්කාඩුවෙන් අපි හැමෝටම ඇහෙන්න කියයි.


කොහොම නමුත් එක දිගට කෙදිරිගාමින්‍ අඩමින් සිටි අක්කා....වැඩිපුර හයියෙන් කෑ ගසා.... එදින හවස් වෙන කොට පුතෙකු බිහි කලාය.


බබා හරිම මහතයි. ලස්සනයි.... මුලින්ම පුතෙක් ලැබුණු නිසා විජිත් අයියා සතුටෙන් සිටියේය.


අක්කා බබා ලැබුණායින් පසු ගෙදරදොරේ කිසිම වැඩක් නොකර ඇඳටම වෙලා බබා සමඟ සිටියාය. අම්මා අක්කාට ඇඳෙන් බහින්නවත් ඉඩ නොදුන්නාය. සුමනා සහ අම්මා අක්කාට ඉතා ඉහළින් ඇප උපස්ථාන කළහ. විජිත් අයියාද දවස් තුන හතරකට සැරයක් ඇවිත්, දවසක් දෙකක් අක්කා සහ බබා සමඟ ගෙදර නැවතී ඉද යන්න පුරුදු වුණේය.


“බබා හම්බ වෙලා දැන් මාසයක් සම්පූර්ණ වෙන්න යන්නේ..... කසුනිව මං ගෙදර එක්ක යන්න කියලා අම්මේ....මටත් දැන් තනියම ගෙදර ඉදලා එපා වෙලා...." විජිත් අය්යා කීය.


“මට නම් කසුනිව වැඩි නෑ.... තව හිටියත් ආසාවෙන් සාත්තු කරනවා. ඒත් ඉතින් පුතාට තනියම ඒ ගෙදර ඉන්නත් බෑනේ... ගෙවල් දොරවලුත් පාළු වෙනවනේ.... අපි එහෙනම් හොඳ නැකැතක් එහෙම බලලා දරුවව වත්තල ගෙදර එක්ක යමුකෝ....


“ඒක හොඳයි. එතකොට මට ලේසියි..... මං ඒ පැත්තෙන් වැඩට කෙනෙකුත් බලලයි තියෙන්නේ. කසුනිට බබා එක්ක තනියම වැඩ කර ගන්නත් බැරි නිසා....."


“ඒක හොඳයි පුතේ...."


අම්ම කිව් ලෙස ඊට පසු සුමානේ අක්කා පුතත් සමඟ නැකැතට ඒගොල්ලන්ගේ ගෙදර බලා ගියහ. විජිත් අය්යාගෙ කාර්‍යාලයේ වාහනයකින්, ඔවුන් ගියේ අම්මාද සමගය. ....එදින මට ගෙදර ඉදන්, මල්ලි බලා ගන්න සිදු විය..


ඊට පෙර දින අම්මා දරුවත්, අක්කාවත් පන්සල් එක්ක ගිහින් ගමේ පන්සලේ බාරයක් නිදහස් කළාය. ඒ අක්කා ළමයා හම්බ වෙන්න ඉන්දැද්දී අම්මා වූ භාරයක්ය.


අක්කා පුතත් සමඟ ගෙදර ගිය පසු මට නැවතත් පාළුව තදින් දැනිණි. ඊට පසු නැවත ගෙදර සිටියේ මාත් මල්ලීත් අම්මාත්, බාප්පාත් විතරය.


“අම්මේ, අක්කට බබාගේ වැඩ තනියම කර ගන්න බැරුව ඇතිනේ....ඒ නිසා මං, මේ ඉස්කෝලේ නිවාඩු කාලේ, ටික දවසක් එහේ ගිහින් නැවතිලා ඉදලා එන්නද?


“මගේ නම් අකැමැත්තක් නැහැ. උඹ කැමැති නම් පලයං. කුලුඳුල් දරුවනේ..... තාම ලොකු දුවට දරුවා හරියට වඩාගෙන පුරුදුත් නෑ.....


“ඇයි ඉතින් අක්කා මෙහේ හිටිය කාලේ අම්මයි සුමනයිනේ දරුවාගේ වැඩ ඔක්කොම කළේ.... අක්කත් කම්මැලිකමට ඇඳටම වෙලා හිටිය මිසක්...."


“ඒකි කොහොමත් කම්මැලි වුණා....., විජිත් ළමයත් එක්ක ගියාට පස්සේ.....


“විජිත් අයියා අක්කාට ගෙදර වැඩට උදවු කරනවා.....එයා හරි හොදයි ..."


“ඔව්, මොනවා වුණත් හොඳ මහත්තයෙක් ලොකු දුවට හම්බවුන එක මට හරි සතුටුයි....."


“විජිත් අයියලා ගොඩක් පෝසත් අයලු......අක්කා බැන්දට පස්සේ තමයි දැනගෙන තියෙන්නේ , අක්කලා නෑදෑ ගෙවල්වල එහෙම ගිය වෙලේ, විජිත් අයියලාගේ පවුලේ විස්තර...."


“ඔව්, ඔව්, ලොකු දුව කිව්වා, විජිත් පුතාලගේ තාත්තාත් දෙවැනි කසාදයක් කරගෙන තියෙනවාලු..... මං හිතන්නේ ඒ හින්දා තමයි මායි බාප්පගෙයි දේවල්වලට විජිත් පුතා කිසි වෙනස්කමක් කරන්නෙ නැත්තේ...."


“විජිත් අයියලාගේ අම්මා නැතිවෙන කොට ළමයි පස් දෙනෙක් ඉඳල තියෙනවා .... විජිත් අයියා පවුලේ තුන්වැනියලු.... ඔය වැඩිමහල් අක්කලු විජිත් අයියලාව, බලාගෙන තියෙන්නේ, අම්මා නැති වුණාට පස්සේ...."


“ඒක තමයි නිතරම විජිත් අයියා, අක්කා කෙනෙක් ගැන කියන්නේ....ඒ, එයා ගැන වෙන්නැති..."


“ඒ අක්කට විජිත් අයියා දැන් උදවු කරනවාලු...."


“ඒ වුණාට ලොකු දුවට කියන්න ඕනේ... වැඩිපුර නෑදෑයන්ට උදවු කරන්න දෙන්න එපා කියලා .... ටික ටික ඕවා නවත්තන්න කියලා...."


“ඒ මොකද අම්මේ....ඒ...?


“නෑ ඉතින් දැන් ඒ දෙන්නටත් ළමයෙක් ඉන්නවානේ..... ඉස්සරහට ගොඩක් වියදම් තියෙයි ඒගොල්ලන්ට කරන්න..."


“ඒ වුණාට විජිත් අයියාගේ හිත හරි හොඳයි... ඕන කෙනෙකුට උදවු කරන්න ආසයි...."


“අම්මේ එහෙම ,නම් බාප්පට කියන්න මාව හෙට අක්කලාගේ ගෙදර ගිහින් බස්සලා එන්න කියලා ..... මේ නිවාඩු කාලේ නිසා..අම්මත් මල්ලිත් එක්ක එන්නකෝ එහෙ යන්න....."


“අනේ කෙල්ලේ මට මේ මල්ලිත් එක්ක ඔය ගමන් යන්න බෑ.... බස් එකේ මේ දරුවා වඩාගෙන යන එක මට එපා වෙලා."


“එහෙනම් බාප්පට කියන්න මාව ගිහින් බස්සලා එන්න කියලා...."


“උඹ යනවා නම් සුමනාට කියලා අක්කට ගෙනියන්න කෑම මොනවා හරි උයලා දෙන්න ඕන....."


“අක්කා අම්මාගේ පොළොස් ඇඹුලට හරි ආසයි...."


“හිටපන්කො මං අද හවස් වරුවේ දිහාවට වැලිතලප ටිකක් එහෙම හදලා ගන්න...."


“ආ.... මගේ ආසම කෑම. ටිකක් වැඩිපුර හදන්න. මට අක්කලාගේ ගෙදරත් ගිහින් ,තියන් කන්න...."


“උඹට කන්න නෙමේ වැලිතලප හදන්නේ.....අක්කට අරින්න ..."


පසුදින මම බාප්පාත් සමඟ අක්කාගේ ගෙවල් බලා ගියෙමි. මගේ ඇඳුම් ටිකකුත්, අම්මා සාදා දුන් පැණිරස කෑමත්, පොළොස් ඇඹුල හා තව මිරිස් ඇඹුල් තියලුත් රැගෙන මාත්, බාප්පාත් සවස් වන විට අක්කලාගේ ගෙදරට ගියෙමු. මා අක්කා බලන්න ආ බවත්...ඉස්කෝලේ නිවාඩු කාලේ එහේ ඉන්න බවත් දැනගෙන ඇය සතුටින් ඉපිලිණි.


-හෙට හමුවෙමු --

*ප්‍රිසිලා ගොඩහේවා *

2 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comentarios


bottom of page