top of page
  • Writer's picturePrisila Godahewa

🌺🌺මට හිමි ඔබයි 🌺🌺

💞මට හිමි ඔබයි💞

(13වෙනි කොටස )

https://www.facebook.com/groups/2653780434897311/permalink/2725363001072387/

අක්කා ගෙදර නැති පාළුව මට ටිකෙන්ටික දැනෙන්න පටන් ගත්තේ මාත් අම්මාත් බාප්පාත් පමනක් ගෙදර ඉතුරු උන පසුවය.


මමත් අක්කාත් කොළඹ ආ දින පටන්, සිටි කාමරයේ දැන් ඇත්තේ මම පමනි. මම අක්කාගේ පාසැල් පොත් ඇද ඒවා දිහා බලමින්, අක්කාගේ පරණ ඇඳුම් දිහා බලාගෙන හොඳටම දුක් වුණෙමි. කොළඹ පදිංචියට පැමිණි පසු, අම්මා බාප්පාට ගොඩක් ළං වුණු බැවින් මා නිතරම සිටියේ අක්කා සමගිනි. මගේ මූණකට සෝදාගන්න මට බල කර, මගේ කොණ්ඩය පීරා මට කන්න, බොන්න වේලාවට කෑම සැපයූවේද අක්කාය. දැන් අක්කා ගෙදර නැත.


ගෙදරදොරේ වැඩපළ නිතර කළ අක්කා නැති නිසා ,අම්මාට දැන් පාළුවට වඩා පාඩුයි කියා ඇය නිතර කියයි.


"කසුනි නැතිව මට දැන් හරි පාඩුයි.....ඊටත් වැඩියෙන් අත කැඩුණා වගෙයි....මේ පොඩි කෙල්ල හිටියට වැඩක් නෑනේ... උදව් කරන්නෙත් නෑ හරියට...." අම්මා

නිතර බාප්පාට කීයයි.


“රුවිනි දුවේ.... දැන් අක්කා ගෙදර නැති නිසා ඔයා අම්මට උදවු කරන්න ඕනේ, හොඳද...? අම්මට දැන් එච්චර සනිප නෑනේ....

බාප්පා මට ආදරයෙන් කීවේය.


ඉන් පසු මම ටිකෙන් ටික අම්මාට ගෙදර වැඩට උදවු කරන්න පටන් ගත්තෙමි.


සාමාන්‍යයෙන් ,තාත්තාලා නැති වුන විට, අම්මලා නැවත දීග ගිය කල, ගෙදර සිටින තරුණ දූවරුන්ට බාප්පලාගෙන් නොයෙකුත් කරදර වන බව ,මම අසා ඇතත්,....අපේ අම්මා වාසනාවකට නැවත දීග ගියේ....අක්කාටත් මටත් උපරිමයෙන්ම ආරක්ශාව සපයන, හොද ගුණගරුක පුද්ගලයකු බව අක්කත් මමත් දැන උන්නෙමු. අප දෙදෙනාගේ සියලු ඕනෑඑපාකම් හොදින් හොයා බලමින් අම්මාට ආදරෙන් ඉන්නා ,බාප්පා ගැන මට ඇත්තේ හොද දැකීමකි....

අම්මා ,බාප්පා කසාද බැද, අපි කොළඹ ආ පසු, නැන්දාගෙන් අපි දැනගත් විදිහට ,සුමිත් බාප්පා මීට කලින් කසාද බැද සිටි කෙනෙකු බවත්, ඔහුට දරුවන් නැතැයි කියා ඔහුගෙ බිරිඳ ඔහු අත් හැර ගිය කෙනෙකු බවත් දැනගන්නට ලැබුනි. ඒ නිසා ඔහු අක්කාටත් මටත් ඔහුගෙ දරුවන් දෙදෙනෙකුට වාගේ සලකන බව අපි සිතුවෙමු.


අම්මාගේ උදරය බලා සිටියදී , මාසෙන් දෙකෙන් ඉදිරියට නෙරා එන්නට විය. ඇයට දැන් ගෙදරදොරේ වැඩ කර ගැනීමට අපහසු බව මට පෙනෙයි.


“අපි කවුරුහරි ගෙදර වැඩට හොයා ගමු නේද....? බාප්පා දිනක් කීවේය.


“ඒක තමයි දරුවා හම්බ වුණාට පස්සේ මට තනියම ගෙදර වැඩ කරගන්න බැරිවෙයි ...."


"මම පුලුවන් ඉක්මනට කවුරුහරි වැඩට හොයලා දෙන්නම්කෝ...."


බාප්පා කිව්වා සේම, වැඩට ගැහැනු කෙනෙක් වැඩි දවසක් යන්නට පෙර සොයාගෙන ආවේය.


ඇයද විවාහක කාන්තාවකි. උදේ ඇයගේ ගෙදර වැඩ අහවර කර, අපේ ගෙදරට එන සුමනා දහවල් දවසේ ඉවුම්පිහුම් කටයුතු කර, ගෙවල්දොරවල් අස්කර, අපේ ඇඳුම් සෝදා, වේලා, නවා තබා ගෙදර යයි. ඇය එන්නට පටන්ගත් පසු අම්මාට ඉතා පහසු වීය.


අක්කා ගෙදරින් ගිය පසු, මටද ගෙදර වැඩ කිරීමට සිදු වූ බැවින්, සුමනා එන්නට පටන් ගත් පසු, එය මටද පහසුවක් විය. එබැවින් මම නිදහසේ පාඩම් කටයුතු කරගෙන ගියෙමි


අක්කා කසාද බැඳ ගියාට පසු මාත්, අම්මාත්, බාප්පාත් අක්කා බැලීමට දෙතුන් පාරක්ම වත්තල අක්කාගේ ගෙදරට ගියෙමු.


අක්කලා පදිංචි වි සිටි එම නිවස, විජිත් අයියාට කන්තෝරුවෙන් දී තිබූන නිළ නිවාසය විය. එහි විජිත් අයියාගේ බඩුමුට්ටු ගොඩාක් තිබුනි. අපි සිටි නිවසට වඩා නිදහස් පරිසරයක පිහිටා තිබූ එම නිවසේ අක්කා පදිංචි වී සිටියේ ඉතා සතුටිනි. විජිත් අයියා උදේට වැඩට ගිය පසු ගෙදර ඉතිරි වන්නේ අක්කා පමණි.


“මට දවල් දවසේ හරි පාළුයි.... විජිත් ගෙදර එනකන් බලන් ඉන්නේ හරිම පාළුවෙන්...."


" අක්කට පාළු නම් මම එන්නද මෙහෙ නවතින්න ...?"


" නංගිට ඉස්කෝලේ නිවාඩු තිබුණා නම් මෙහේ ඇවිත් ඉන්න තිබුණා...

නංගි ඉස්කෝලේ යන්න එපෑ...."


“ඒක තමයි, මටත් ආසයි මෙහේ ඇවිත් නවතින්න."


“නිවාඩු කාලයේ බැරියෑ නවතින්න එන්න...."

බාප්පා කීවේය.


“ලොකු දුවේ ඔයා, විජිත්ලගේ නෑදෑ ගෙවල්වල එහෙම ගියේ නැද්ද...?

අම්මා ඇසුවාය.


“අපි ගිය මාසේ මාතර විජිත්ලගෙ මහ ගෙදර ගියා...එහෙ ඉන්නේ එයාගෙ ලොකු අය්යා... විජිත් ඒගොල්ලන්ගෙ හැම නෑදෑ ගෙදරකටම වාගේ මාව එක්කගෙන ගියා. ඒ හැමෝම පොහොසත් මිනිස්සු.....එදා මගුල් ගෙදර ඇවිත් හිටි කට්ටිය දැක්කනේ...."


“උඹේ වාසනාව, ලොකු දුවේ.....මේ වගේ හොද පෝසත් පවුලක කෙනෙක් උබට, කසාද බදින්න හම්බුනේ.... තාත්තා හිටිය නම් උඹ සැපට ඉන්නවා දැකලා ගොඩක් සන්තෝෂ වෙයි..." ,අම්මා ඇදන් හිටි සාරියෙ පොටින් ඇස් පිසදාගත්තාය.


“දැන් කවුද අම්මේ ගෙදර වැඩ කරන්නේ....? අම්මාටත් වැඩ කරගන්න බෑනේ....

අක්කා අම්මාගේ ලොකු බඩ දිහා බලාගෙන ඇසුවාය.


“සුමනා කියලා ගැහැනු කෙනෙක් උදේට ඇවිත් ගෙදර වැඩ කරලා දීලා යනවා.... අනේ හොඳ ගෑනි.... ගෙදර ඔක්කොම වැඩ කරලා තමයි යන්නේ...ඒ යනකොට මම ගෙදර උයලා පිහලා ඉතුරු උන කෑම බීම එහෙම දෙනවා ගෙදර ගෙනියන්න ."


"ඒක හොදයි කවුරු හරි වැඩට ඉන්න එක....නංගී දැන් ඉස්කෝලෙ වැඩ එහෙම හොඳින් කරගෙන යනවද....හොදට ඉගෙන ගන්න ඕනේ..... හොඳද...?


“හොඳයි අක්කේ.."


අපි ගෙදර එන්න ලෑස්ති වෙනකොට අක්කා අම්මා අතේ සල්ලි වගයක් තැබුවාය. ඇය මගේ අතටද රුපියල් 20ක් දුන්නාය.


“ මේක නංගි ඉස්කෝලෙට ඕන කරන දෙයක් ගන්න...."

මම එය ආසාවෙන් අතට ගත්තෙමි.


“ලොකු දුවේ මට සල්ලි එපා.... උඹ හොඳින් ඉන්න එක මට ලොකු සතුටක්...."

අම්මා අක්කා දුන් මුදල නැවත ඇයට ආපසු දෙන්නට උත්සාහ කළාය.


“අම්මා ,ඕක තියාගන්න.... දැන් ඉස්සරහට සල්ලිත් එපැයි. මං නිකං ඉන්න නිසා පොඩි ඇඳුම් ටිකක් එහෙම මහලා දෙන්නම් බබාට.... අපි දෙන්නා කොහොමත් , එන සුමානේ දිහාවෙ ගෙදර එන්න හිතාගෙන හිටියේ...."


අපි අක්කා බලන්න ආපු එක ගැන අක්කා සිටියේ සතුටිනි. ඇය කඩිමුඩියේ බත් මාළු උයා අපට කන්නට දුන්නාය.


වේලාසන ගෙදර එන්න ඕන නිසා දවල්ට බත් කා අපි නැවත ගෙවල් බලා පැමිණියෙමු.


අක්කා කසාද බැද මාස හයක් පමණ ගිය පසු,

එක් දිනක් රාත්‍රියේ අම්මා තදින් කෙඳිරිගාන ශබ්දයක් ඇසී මා නැගිටින විට තවත් ගැහැනු දෙතුන් දෙනෙක් ගෙදරට පැමිණ සිටිනවා දැක ගත හැකි විය. ඔවුන් කලබලේ එහේ මෙහේ දුවපැන වැඩ කරමින්, වතුර රත් කරමින් සිටියාහ. ඔවුන්ගේ කෙනෙක් ගමේ වින්නඹු අම්මා බව මට මතකය . බාප්පා ගෙයි දොරකඩ පිළේ දෑත් බැඳගෙන වාඩි වී හිදියි....ගෙයින් එලියේ ඇත්තේ කලුවරකි.. අම්මා එක දිගට අඩමින් කෑගහන ශබ්දයක් ඇසුණත්, ගෙට ඇවිත් සිටි ගැහැනු දෙදෙනා අම්මා සිටින කාමරයට මට යන්නට නොදුන්නාය.


අම්මාට දරුවා හම්බවෙන්න ඇති ඔය තරම් කෑගහන්නේ කියා මට සිතේ....මට අම්මා කෑගහන සද්දය ඇහෙනකොට බයක් සමග දුක සිතේ....


ඉක්මනට මට නංගි කෙනෙක් හරි, මල්ලි කෙනෙක් හරි හම්බ වෙනවානම් හොද යැයි සිතමින්, මම බළාපොරොත්තුවෙන් බලා සිටියෙමි.

අම්මාගේ කෑගෑසිම මට ඇති කර තිබුනේ දැඩි බියකි.


මාත් ඉස්තෝප්පුවට ගොස් බාප්පා ඉන්න හරියෙම වාඩි වුණෙමි. බාප්පා කතාබහක් නැතිව මා දෙස බලා නැවත කල්පනාවට වැටුණේය.


“ඕහැ....ඕහැ.....ඕහැ.....


පුංචි දරුවෙකුගේ සද්දයක් ඇසෙනවාත් සමඟ මාත්, බාප්පාත් හිටි තැනින් ඉක්මනින් නැගිට කාමරය දෙස බැලුවෙමු. කාමරයේ සිටි ගැහැණු හනි හනිකට එහෙ මෙහෙ දුවමින් එකෙක් උණු වතුර බේසමක්ද තව කෙනෙක් දුම් කබලක්ද ආදිය ගෙන කාමරයට යමින් එමින් සිටියාහ.


විනාඩි 10 ක් පමණ ගිය පසු වින්නඹු අම්මා කෙනෙක් ..... සිනාසීගෙන බාප්පා ළඟට පැමිණියේය.


“පුතෙක්...."

හිනාවෙමින් ඇය කීවේය.


බාප්පාගේ මුහුණේ හිනා මලක් පිපුණේය.

මල්ලී කෙනෙක් එහෙනම් මට ලැබිලා තියෙන්නෙ..... මට ද සතුටු සිතිණි.


“සුමිත් මහත්තයා ,කාමරයට ගිහින් බබා බලන්න...."

වින්නඹු අම්මා බාප්පාට කීවේය.

මං වින්නඹු අම්මාගේ මූණ බැලුවේ මාත් ඇතුළට යන්නද අසන්නාක් මෙනි. මම හෙමිහිට බාප්පා සමග කාමරයට යන්නට, හිටි තැනින් නැගිට ගත්තෙමි.


“ඔය ළමයා කොහේද යන්නේ...මෙන්න මෙහෙ ඉන්නවා....

.. පස්සේ බබා බලන්න යන්න පුලුවන් ...."

වින්නඹු අම්මා කියපු විදියට මට දුක සිතුණි.


“ හැබැයි කෙල්ලේ.... මල්ලි බැලුවට කමක් නෑ.... ජරා අත්වලින් එහෙම මල්ලි අල්ලනවා නෙවේ.... බාප්පා එළියට ආවට පස්සේ යන්න...."


වින්නඹු අම්මා පසුව මට කරුණාවෙන් කී විට මට සතුටු සිතුණි.


මල්ලි හම්බ වුණු පසු අම්මා වැඩිපුර කාලය ගත කළේ මල්ලීත් සමඟය. අම්මාත්, බාප්පාත් එකතු වී මල්ලී හුරතල් කරන සද්දය ඇසෙන විට, මට ඇඬෙන තරමට දුක හිතෙයි.....අම්මාට දැන් මාව මතක නැත. කොයි වෙලෙත් මල්ලී... මල්ලී....මල්ලි බලගන්න .....මල්ලිගෙ කිරි බෝතලය ගේන්න....මල්ලිගෙ රෙදි වැලෙන් ගන්න....මල්ලිගෙ පොඩි පොඩි වැඩ ඔක්කොම මට කරන්න වී ඇත.


දැන් ගෙදර උයන පිහන ගොඩක් වැඩ කරන්නේ සුමනාය. අම්මාට මල්ලී ලැබුණු අලුත සුමනා අපේ ගෙදර සුමානයක් දෙකක් නතර වී අම්මාට ඇප උපස්ථාන කළාය. දැන්නම් ඇය උදේට අපේ ගෙදර ඇවිත් හවසට ගෙදර යයි.


මල්ලීගේ පුංචි රෝස පාට අතපය දකින කොට මට සතුටු සිතෙයි.... දැන් දැන් මල්ලී මාව හඳුනනවා වගේ මාත් එක්ක හොදින් හිනාවෙයි.... හොඳින් අතපය හෝදාගෙන ඇවිත් මම අම්මාගෙන් මල්ලීව ඉල්ලාගෙන වඩාගෙන ඉන්නෙමි. පාසල් ගොස් පැමිණි වහාම මං යන්නේ මල්ලී බලන්නටය. මල්ලී මාව දැන් හොඳින් හඳුනන්නේය. එන්න එන්නම, මම මල්ලීට ආදරය කරන්නට පටන් ගත් අතර මල්ලීද මට හොදින්ම ආදරේ බව මට තේරුනි.


-හෙට හමුවෙමු --

*ප්‍රිසිලා ගොඩහේවා *

5 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page