top of page
  • Writer's picturePrisila Godahewa

🌺🌺මට හිමි ඔබයි🌺🌺

💞මට හිමි ඔබයි💞

(11 වන කොටස)

https://www.facebook.com/groups/2653780434897311/permalink/2722278388047515/

මේ දිනවල අක්කා පාසැලේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිට, ප්‍රතිඵල එනතෙක් ගෙදර ඉන්නා කාලය විය. නමුත් ඇය දින දිනපතා මා සමග පාසැල් ගියේ....පහළ පංති වල ගුරුවරුන්ට, ළමයින්ට උගන්නන්න උදව් කරන්නටය. ඇය පාසැලට උදේ හවස මා සමග ගිය අතර,

සමහර දවසට ඇය, පාසැල නිමවා හවස මා සමග ගෙදර නොආවාය. තව දුරටත් පාසැල් වැඩ කරන්න තියෙනවා කියමින් ඇය පාසැලේ නතරවී මා ගෙදර යැව්වාය. එවැනි දිනවලට නැවත ඇය ගෙදර ආවේ...හවස පහත් පසුවී බාප්පා ගෙදර එන වෙලාවටය. ඇය පාසැලේ වැඩට ගුරුවරු සමග නැවතීම අම්මාට ප්‍රශ්නයක් නොවීය. අම්මට අවශ්‍ය වී තිබුනේ...අක්කාගෙ විභාග ප්‍රතිඵල ආවාට පසු ඇයට, ගුරු පත්වීමක් ලබා ගැනීම කර දීමයි. ඒ සදහා ඇය පාසැලේන් පසු නැවති ගුරුවරුන් සමග පාසැලේ වැඩ කිරිම අම්මාට සතුටට කාරනයක් විය.


"ලොකු දුවේ...කොහොම හරි ඉස්කෝලේ ගුරුවරුන්ට කියලා ගුරුපත්වීමක් හදා ගන්න බලන්න...ඔය පහළ පංති වල ළමයින්ට මුලින් ස්වෙච්ඡාවෙන් ඉස්කෝල වල උගන්න යන්න පුලුවන් කියලා මම අහලා තියෙනවා ..ඊට පස්සෙ පුලුවන්ලු ගුරුපත්වීම් හදාගන්න."


"ඒක තමයි අම්මේ,..... මමත් ඒකට තමයි මහන්සි වෙන්නේ...."


"කොච්චර ලොකු දෙයක්ද ඉස්කෝලේ නෝනා කෙනෙක් වෙන්න පුලුවන් නම්...ගෑනු කෙනෙක්ට හොදම රස්සාවනේ...."


කාලය ගෙවි යද්දී ....දිනක් බාප්පා වැඩ ඇරී ගෙදර ආවේ කේන්තියෙනි.


“ කසුනිට, මෙහෙට එන්න කියනවා.....බාප්පා කෑගෑවේය. ඔහුගෙ සද්දෙට බය වී අම්මා...අක්කාට විගහින් කතා කළාය.


“ ලොකු දුවේ....මේ බාප්පා අඩගහනවා.....

අම්මා එතනම සිට කෑගැසුවාය. අක්කා හෙමින් හෙමින් කාමරයෙන් එළියට ආවාය. ඇගේ මුහුනේ ඇත්තේ තැතිගැන්මකි.....ඇය කිසිත් කතා බහක් නැතුව, බාප්පා සාලයේ වාඩි වී සිටි තැනට ටිකක් ඈතට වෙන්න ඇවිත් හිට ගත්තාය.


“මොකා එක්කද අද අර, වත්තල කූල් ස්පොට් එකේ හිටියේ....?


බාප්පා ඇසුවේ සද්දෙන්‍ ය...

අක්කා කතා නැත.


“කතා කරනවා.... මම අමාරුවෙන් ඉස්කෝලෙ අරිනවා...... ඉස්කෝලේ යනවා කියලා ජවුසං නටනවා....ඉස්කෝලෙ වැඩ කියලා , ඉස්කෝලෙන් පස්සේ ඉන්නවා කියලා.... ගිහින් කොල්ලෙක් එක්ක රවුම් ගහනවා.... මට මීට ඉස්සරත් දැන ගන්න ලැබුනා....මම ගනන් ගත්තෙ නෑ....අද තමයි හරියටම දැන් ගත්තේ..... මීට පස්සේ එහෙම, එහේ මෙහේ ගිහින් අහුවුණොත් එහෙම අඬු කඩනවා..... මං හොයා ගන්නම්කෝ ඌ මොකාද කියලා....."


බාප්පා අක්කාට තර්ජනය කළේය... අක්කා හිමිහිට කාමරයට ගියාය. අම්මාද අක්කා පසුපසින් කාමරයට ගියාය.


“මොනවද අර බාප්පා කියන්නේ. ඉස්කෝලේ යනවා කියලා.... මොකා එක්කද උඹ රවුම් ගහන්නේ.....?


“ මම කා එක්ක ගිහාම කාටවත් මොකද...කවුරුත් මං ගැන හොයන්න ඕන නෑ.....මම කරන්නේ මට හොදයි කියලා හිතන දේ.....මම ගැන කවුරුත් හොයන්න ඕනේ නෑ...."


“මොකක්ද උඹ කිව්වේ....?

අම්මා අත උස්සාගෙන අක්කා ළඟට ගියාය.


“තාත්තා නැතිව උඹලව හදාගත්තටද උඹ ඒ මනුස්සයට එහෙම කියන්නේ...... කියපං උඹ කා එක්කද රවමු ගැහුවේ....? රස්තියාදුකාරයෙක් වෙන්න ඇති අනිවාර්යයෙන්ම....."


“ඒයා ලොකු රස්සාවක් කරන කෙනෙක්. අපි වගේ අයට එයා ගැළපෙන්නෙත් නැති කෙනෙක්...."


“ඇයි අපේ මොකක්ද තියෙන අඩුපාඩුව..... එහෙනම් එක්ක වරෙන්, අපට බලන්නත් එක්ක උබේ ලොකු මහත්තයව ...."


අක්කා ,කවදාවත් නැතිව අම්මා සමඟ එකට එක කියාගෙන ගියාය. බාප්පා අපිව කොළඹ අරන් ඇවිත් පාසල් යැව්වාට අක්කා බාප්පාට එතරම් කැමැති නැත..... ඇය බාප්පා සමඟ කතාවට යන්නේද නැත. ඇය බාප්පාට කියන්න අවශ්‍ය දෙයක් ඇත්නම් ,අම්මාට කියනවා මිස, කවදාවත් කෙළින් බාප්පා සමඟ කතා කරන්නේ නැත.... මා වුණත් බාප්පා සමඟ වැඩිය කතාවට යනවාට ඇය කැමැති නැත.


කොළඹ ආවාට පසු අප දෙදෙනා එකම කාමරයක නිදා ගත් අතර, අම්මා ගමේදී මෙන් අප සමඟ එකට නිදා ගන්නට ආවේ නැත. මුලදී මම රෑට අම්මාට, අප ළඟ නිදාගන්නට එන්න කියා කරදර කළද, .....අක්කා මට අම්මාට කරදර නොකරන්න කියා කිව් පසු......මම අක්කා සමග නිදාගන්න පුරුදු විය. අම්මා රෑට බාප්පාගේ කාමරයේ දිගටම නිදා ගන්නට පුරුදු විය. ඒ සමගම අම්මා හා අප අතර තිබුන බැදීම ටිකක් අඩුවුනා කියා මට සිතෙන්න පටන් ගත් දෙයක් විය....


අක්කාගෙ මුරංඩු ගති එන්න එන්න වැඩි උන අතර, ඇය බාප්පා සමග මෙන්ම, අම්මා සමගද කතාව බොහෝ අඩු කලේය. ඇය හවස පාසැලෙන් පසු නැවති වැඩ කිරිමද බොහෝ අඩුවිය....ඒ අම්මා ඇයට නීතී දැම්මායිනි.


වැඩි දවසක් නොයා දිනක් සවස, නාඳුනන පුද්ගලයෙක් අපේ නිවසට පැමිනියේය.... ඉතා උස මහත හොඳ පෙනුමැති එම පුද්ගලයා තරුණ කෙනෙකිය. ඔහු පැමිනියේ වාහනයකිනි. එම වාහනය පදවාගෙන ආවේ ආන්ඩුවේ කාර්‍යාලයක සේවය කරන ඩ්‍ර්‍යිවර් කෙනෙක් බව අපට වැටහින....


එම හොද පෙනුමැති පුද්ගලයා අපේ ගේ දොරකඩට පැමිණ බාප්පා ගැන විමසුවේය.


“සුමිත් මහත්තයා ගෙදර ඉන්නවාද ?....

ගෙයි දොරකඩ සිටගෙන සිටි පුද්ගලයා ,අම්මාගෙන් එසේ ඇසූවේ... ගෙයි ඇතුළද විපරම් කරමින්‍ ය..


“දැන් වැඩ ඇරිලා ගෙදර එනවා ඇති මහත්තයා ..... ඇයි හදිස්සියක්ද....?

අම්මා ඇසුවේය.


“මේ කසුනිගෙ අම්මාද.....?


“ඔව් මහත්තයා ...."


අම්මා පුදුමයෙන් මෙන් ගේ ඇතුළ බැලුවේ අක්කා කොහේද කියා විමසන දෑසින්‍ ය...... "


“මං කසුනිගේ අම්මයි, තාත්තායි හම්බ වෙන්න කියලා ආවේ.....


“එන්න මහත්තයා ගෙට,....ඇවිත් වාඩිවෙන්න....දැන් අපේ මනුස්සයා එනවත් ඇති....."


අම්මා එම තරුණ පුද්ගලයාට ගෙට කතා කොට ඉඳගන්න පුටුවක්ද පෙන්විය.


“ලොකු දුව මේ....ඔයා අදුනන කෙනෙක් ඇවිත්.... ඇවිත් බලන්න ......

අම්මා අක්කාට ඇසෙන සේ කෑගැසුවේය. ඒ සමඟම බඩු මල්ලක්ද උස්සාගෙන බාප්පා ගෙට ඇතුළු විය.


“ සුමිත් .....මේ මහත්තයා ඇවිත් තියෙන්නේ අපිව හම්බ වෙන්න.....


“මේ සුමිත් වෙන්න ඇති.....එම

මහත්තයා බාප්පා දෙස බලා සිනාසි ඇසීය.


“ඔව් මහත්තයා......මොකක්ද දන්නෑ කාරණාව ....?


බාප්පාද ඔහු ළඟ තිබුණු පුටුවකින් වාඩි වී ඔහු දෙස බැලුවේ මේ කවුද අසන්නා සේය...... අම්මාද, දොර උළුවස්ස උඩ සිටගෙන ඔවුන් දෙදෙනා දෙස බලා හිදියි. මම අම්මාගේ ගවුමේ එල්ලීගෙන අම්මාගේ පිටි පස්සට වී ඔහු දෙස බලාගෙන සිටින විට


“මේ කසුනිගේ නංගීද....? කියා මා දෙස බලා ඔහු සිනාසී ඇසුවේය.


අම්මා මා දෙස බලා සිනාසී


“ඔව්

මහත්තයා" යැයි කීවාය.


“මං ආපු කාරණේ කෙළින්ම කියන්නම්.....එහෙම හොදයිනේ...... අපේ ගම දකුනේ..... මං දැන් පදිංචි වෙලා ඉන්නේ වත්තල. මං කොළඹ කච්චේරිය වැඩ කරන්නේ....මං ...ටික කාලෙක.... ඉදන් කසුනිව අදුනනවා..... මං කැමැතියි වැඩි කාලයක් නොගොස් කසුනිව කසාද බඳින්න..... ඒක ගැන කියන්න කියලා හිතාගෙන මං අද මෙහේ ආවේ....."

ඒ තරුණ පිරිමි කෙනා

කියවාගෙන ගියේය .....


බාප්පයි, අම්මායි මූණට මූණ බලාගෙන සිටියෝය. අක්කා තේ එකක් ඔහුට ගෙනැවිත් දී ආපසු කුස්සියට ගියාය.


“කෙල්ල මේ අවුරුද්දේ තමයි විභාගෙ කළේ..... මේ දවස්වල ඉස්කෝලෙ යන්නේ විභාග ප්‍රතිඵල එනකම්,..... පොඩි ළමයින්ගේ පන්තිවල ගුරුවරුන්ට ළමයි බලාගන්න උදවු කරනවා...... කසුනිට වැඩි ඉහළට උගන්වන්න කොහොමත් අපේ වැඩි කැමැත්තක් නැහැ.....හැබැයි තාම ඒකිට 18 ට ලැබුවෙත් නෑ....

අම්මා කීවාය.


“මහත්තයලාගේ අම්මා, තාත්තා සහෝදරයෝ එහෙම කොහොමද ? ...."

බාප්පා ඇසුවේය.


“අම්මා, තාත්තා නෑ..... සහෝදර සහෝදරියෝ පස්දෙනෙක් ඉන්නවා. හැමෝම කසාද බැඳලා. හැමෝම හොඳට ඉගෙන ගත්ත අය...."


“ඒ අය මේ මඟුලට කැමැති වෙයිද....?


“මං දැන් ඉන්නේ තනියම..... ඒ නිසා ප්‍රශ්නයක් නෑ. මට කැමැති තීරණයක් ගන්න පුළුවන්.....


“ අපට දැන්ම මේ ගැන මොනවත් කියන්න බෑ....කසුනිගේ විභාග ප්‍රතිඵල ආවට පස්සේ මේ ගැන බලමු.....තාම කෙල්ලට එච්චර වයසක් නෑනේ....ඒ හින්දා තව ටික කාලයක් අපි බලන්න ඕනේ....

අම්මා කීවාය.


“එන මාසේ විභාග ප්‍රතිඵල එනවනේ....."

මහත්තයා කීවේය.


“ඒ කියන්නේ මහත්තයා ...

මේ හදිසියේම කසුනිව, කසාද බඳින්නද කල්පනාව ...?

බාප්පා ඇසුවේය.


“මට වත්තල නිල නිවාසයක් තියෙනවා. මං තනියම ඒකෙ ඉන්න නිසා ඉක්මනට කසාද බැන්දයි කියලා ප්‍රශ්නයක් නෑ......"


“මඟුලක් කරන්න කියලා අපි දැන්ම හිතලත් නෑ....කෙල්ලට එච්චර වයසක් නෑනේ...... සල්ලි භාගෙ උනත් ලෑස්ති කර ගන්න එපෑ...... මඟුලක් කරනවා කියන්නේ ලොකු දෙයක් නේ......

අම්මා කීවාය.


“ අපි විභාග ප්‍රතිඵල ආවාට පස්සේ මේ ගැන කතා කරමුකෝ...... එතකම් මහත්තයා මගතොටේ කසුනිව හම්බ වෙන්න යන්න එපා..... හම්බ වෙන්න ඕන නම් ගෙදරට ඇවිත් කතාබහ කරන්න.

බාප්පා කීවේය.


“ඔව් ඔව් තාම ඉස්කෝලෙන් අස්වෙලා නැති නිසා නම කැතකර ගන්නවාට මම කැමැතිත් නෑ. අස්වීම් සහතිකේ ගන්නකම් කතාවක් හදාගන්නෙ නැතුව ඉන්න ඕනේ..... ඒ නිසා මහත්තයා තැන්තැන්වලදී කසුනිව හම්බ වෙන්න යන්න එපා......

අම්මාද කීවාය.


“හොඳයි එහෙනම් මං ගිහින් එන්නම්......"


එම පුද්ගලයා පුටුවෙන් නැගිට්ටේය.

අක්කා කාමරයේ උළුවස්ස ළඟටවිත් මහත්තයා සමඟ හොරෙන් හිනා වුනාය. මං බැලුවේ ඔහු එනකොට ගෙනත් තිබ්බ දුඹුරු පාට කොළේ ඔතපු පාර්සලය ආයිත් ඔහු ගෙනියයිද කියායි. එම මහත්තයා මං දෙසත් බලා සිනාසී ගෙයින් එළියට බැස ගියේය.


එදින රෑ බාප්පාත්, අම්මාත් කාමරයට වී කසුකුසු ගා බොහෝ වේලාවක් කතා කරනවා මට ඇසිනි. ඒ අක්කා හා හවස ආ තරුනයා ගැන වෙන්නට ඇතැයි කියා මට සිතේ..... ඔහු කියපු විදියට, අක්කව ඔහු, ඉක්මනට කසාද බැඳලා එක්ක යයිද කියා මගේ හිතේ ඇතිවුනේ ලොකු බයක් සමග දුකකි.......එහෙම වුණොත් මට තමයි මේ ගෙදර පාළුවේ ඉන්න වෙන්නේ....දැන් අම්මත් අප දෙදෙනාට වඩා සුමිත් බාප්පාට ගොඩක් ලං වී ඇති නිසා....අක්කට හා මට ...අපි දෙන්නාට දෙන්නා පමනක් ඉතුරු වී ඇති බවක් මට ලගදි ඉදන් නිතර සිතෙන දෙයක් විී ඇත....


“අක්කේ ඔයා, අද හවස අපේ ගෙදර ආව අය්යා කසාද බැඳලා ඉක්මනට ඒ අය්යලාගේ ගෙදරට යනවද.....?


මම රෑ අක්කා ළඟට ගොස් ඇසුවෙමි.


“නංගී එයාට කැමතිද..... . එයා ලස්සනයිද....? එයා මට හොදද නංගී....?


“අපොයි ඔව්....එයා හරි ලස්සනයි.....එයාට වාහනයකුත් තියෙනවා නේද...?

මම ඇසුවෙමි.


එදින අක්කා ඉතා සතුටින් සිටියාය.


“අක්කා ඉක්මනට ගියොත් මට තමයි පාළු......


“මං ඉන්න තැනකට නංගීවත් ගෙනියනවා....."


“එහෙනම් හොඳයි..... එතකොට මම කොහොමද ඉස්කෝලේ යන්නේ.....?


“අපි බලමුකෝ..... ඒ අයියට පුළුවන් ඔයාව වෙන ඉස්කෝලෙකට දාන්නත්..... එයාට ඕන දෙයක් කරන්න පුළුවන්....."


“එයාට හොඳට සල්ලි තියෙනවාද.....?


“ඔව්,... එයාට ඔෆිස් එකේ වාහනයකුත් තියෙනවා එහෙ මෙහෙ යන්නෙ ඒකේ....."


“අනේ මටත් ඒ කාර් එකේ යන්න ආසයි......මම කවදාවත් කාර් එකක ගිහින් නැහැ......


අක්කා කාසද බඳින්න ඉන්න අයියා මුලින් ඇවිත් ගිය පසු, සුමානෙකට දෙකකට සැරයක් ගෙදරට ඇවිත් අක්කා සමඟ කතා කර ඉඳ යෑමට පුරුදු විය..... අක්කා දැන් ජීවත් වෙන්නේ හරිම සංතෝෂයෙනි....


-සදුදාට හමුවෙමු -


*ප්‍රිසිලා ගොඩහේවා *

162 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page