top of page
Writer's picturePrisila Godahewa

මගේ වතු වගාවේ ආරම්භය

මට වයස අවුරුදු තුනක් විතර කාලයේ,(1971) අම්මා කුල්ලේ දමා හාල්වල වී ඇහිදින විට මම ඒ ලග පුංච් බංකුවක් තියාගෙන වාඩිවෙලා අම්මත් එක්ක හාල්වල වී ඇහිදපු හැටි මතක් වෙන කොට අදනම් දුකක් දැනේ.... ඒ මගේ අම්මා අද ජීවතුන් අතර නැතිනිසයි.😓😓 අම්මා කියා දෙන රස කතා අසමින් ඇය වටේ නිතරම ගැවසෙන මගේ තොරතෝංචියක් නැති ප්‍රශ්න වලට උත්තර දෙන අම්මා, මගෙන් නිදහස් වෙන්න මාව වෙන වැඩකට යොමු කරයි. "චුටී දුවේ මම මේ වැඩේ ඉවර කරලා එනකම් ඔයා මේ දැන් ඇහිදපු වී ටික ඔය ගේ පිටිපස්සේ පුංච් කුබුරක් කොටලා හිටවන්නකෝ" ඇය කියයි "අනේ අම්මේ, අපි අර ගමේ යනකොට දකින කුබුරු වගේ එකක්ද ? අනේ මට තේරෙන්නේ නෑනේ කුබුරක් මට හදලා දෙන්නකෝ" මගේ පෙරෙත්තයට ඇය මට ගේ පිටිපස්සේ අබ ගහ යට අඩියක විතර පුංච් කොටසක් සුද්දකරලා, කොටු කරලා මට පෙන්වයි. "දැන් ඔයා මේ කෝටුවෙන් මේක හොදට හාරන්න. වතුර ටිකකුත් දාලා හාරන්න . ඊට පස්සේ ඔයා ඇහිදපු වී ටික දාලා පැල කරන්න. හැබැයි දවස ගානේ වතුර දාන්න ඕනේ අමතක නොකර " අම්මා කියපු විදිහට කරපු මම හැමදාම උදේ හවස අඩියක් විතර ඇති පුංච් කුබුරට වතුර දැම්මෙමි. හැමදාම උදේ පාන්දර කුබුර බලන්න යන එක තමයි මගේ මුල්ම කාරිය උනේ. සුමානයක් විතර යනකොට වී ඇට පැලවී කුබුරේ පුංච් පැල ඉහලට එසවී ගෙන හැටි දැකලා මම විදපු සතුට අදටත් මට මතක ඇති ගානයි. පාසැල් නොයන වයසේ උන් මගේ පලමු ගෙවතු වගාකිරිම උනේ එයයි. මට වයස අවුරුදු 11විතර(1979-) කාලයේදී, අපි පදිංචි වී සිටි ගේ අවට වැවී තිබෙන තනකොල උදැල්ලක් ගෙන හොදින් සුද්දකර ,ගෙට එන පාර ලස්සනට එලිකර පාර දිගට අටපෙතියා, දාස්පෙතියා මල් පැල පැලකරපු හැටි අදටත් මතකයි. හවසට බුදුන් වදින්න හා ඇරැව්වල පන්සලේ ඉරිදා දහම් පාසැල් ගෙනියන්නත් අටපෙතියා මල් වට්ටි පිටින් කඩාගත්තේ මගේ පාත්ති වලින්මයි. පුංච් කාලේ ඉදන් වගාවට ආස කරපු මම අවුරුදු විසිඑකක් විතර කාලේත්, (1988- 1993) අපේ කොට්ටාව ගෙදර ගේ පිටිපස්ස සුද්දකර එලවලු පලතුරු ,හා මල්පැල වගා කෙරුවෙමි. ඒ කාලේ නම් වත්ත ගොඩක් හොදට සුද්දකරපු දාට තාත්තා ගෙන රුපියල් පනහක් ඉල්ලා ගත්තත් මතකයි .😄 1994 මගේ විවාහයෙන් පසු නම් මල් පෝච්චිවල තමයි මල් හදන්න පටන් ගත්තෙ. නමුත් මටයි සැමියාටයි මාස දහයක් වගේ කාලයක් ගම්පහ ඉහලයාගම පදිංචි වෙන්න ලැබුනේ අහම්බෙන් වගේ. (1996)ඒ කාලයේ තමයි මම අපි දෙන්නා පදිංචි වෙලා හිටිය මුලු වත්තම වගා කරන්න පටන් ගත්තේ. සැමියා වැඩට ගිහාම , ඔහු ආපහු එනතෙක් මුලු දවසම මම වතු වගාව වෙනුවෙන් කාලය යොමු කලෙමි. වම්බටු , බන්ඩක්කා , වට්ටක්කා ,මුකුනුවැන්නා, ගස්ලබු ආදිය තමයි මම වගාකලේ. අපේ ගෙවල් අවට අයටත් පලදාව දුන්නෙමි .හැබැයි ඒ පර්චස් දහයක් වගේ පුංචි ඉඩමකයි. ඉන්පසු දරුවනුත් ලැබුනට පසු (2002-2009) අපේ මිරිහාන නිවසේ පලතුරු හා මල් පැලත්, මිරිස් ,කරපිංචා ,රම්පේ හා ඉගුරු ආදිය වගා කලෙමි 2010 හෝකන්දර නිවසේ පදිංචි වීමට ගිය පසුනම් මුලු වත්තෙම මල් පැල , එලවලු , පලතුරු වගා කිරිම මට අවශ්‍ය ලෙස අවශ්‍ය තැන්වල සේවකයන් ලවා කරවා ගත්තේමි. එම නිසා කාලයක් යනවිට වගාකටයුතු අමතක කරදැම්මේ, වතුවගාව ගැන උවමනාව නැතිව ගොස් තිබුන නිසයි . වතුවගාව (2) කොටස ඔස්ට්‍රේලියාවට පැමින අපි මුලින්ම මාස දෙකක් දුවලා දෙන්නගේ පාසැල පේන දුරින් තනි කාමරයක පුංච් අලුත්ම ගේක( granny flat ) කුලියට තමයි පදිංචි උනේ. ඒ sydney නගරයට ටිකක් කිට්ටුවෙන්. ඒ පලාතේ ලංකාවේ මිනිස්සු හිටියෙම නැති තරම්. මම ඒ ගෙට පදිංචි උන දවස් වලම, මල් පෝච්චි ගෙනත් මල් වර්ග ටිකක්, පාස්ලි, කැරට්, ටිකක් හිටෙව්වා . චූටි දුව ඉස්සෙල්ලාම හිටිව්වේ එයා කාලා දාපු ඇපල් ගෙඩියක ඇට. ඒ ඇටයක් පැල වෙලා, එයා පුදුම ආසාවකින් ඒ පැලය පරිස්සම් කලා. ගෙදර වටේ තියෙන පුංච් ඉඩ ප්‍රමානේ මට පුලුවන් විදිහට එලවලු ,මල් ජාති පැල කලත්, මාස දෙකකින් අපි අලුත් apartment එකක් මිලදිගෙන එහේ පදිංචියට ගිය නිසා අපට බිම හිටවලා තිබුන එලවලු පැල ගලවලා පෝච්චි වලට දාගෙන යන්න උනා. මම Apartment එකට ගියාට පස්සෙ ඒකේ බැල්කනිය පුරාම මල් පෝච්චි වල එලවලු මල් පැල හිටෙව්වා. පුදුම ආසාවකින් මම ඒවට සාත්තු කලා. ඒත් ඒ ගෙදරත් අපි මාස දෙකයි පදිංචි වෙලා හිටියේ....ඉඩකඩ අඩුපාඩු නිසා ...ඊට මාස දෙකකට පස්සෙ අපි ටිකක් ලොකු ගෙයක් මිලදිගෙන පදිංචිය ගියා. ඒ ගියාට පස්සෙ වත්තේ ගොඩක් ඉඩ තිබුන නිසා මම ආස හැමදෙයක්ම පැල කලා, කැරට් ,බීට්, ගෝවා , ඇපල් , පේර, කරපිංචා ආදිය. ඒවායේ හොදට පලදාව ආවා. ඔස්ට්‍රේලියාවට ඇවිත් මාස දහයක් යනකම් අපට ලංකාවේ කිසිකෙනෙක් ඒ කිට්ටුව අදුනගන්න හිටියේ නෑ. එකම එක අදුනන පවුලක් හිටියා ටිකක් ඈත. ඒ ශාමිනි හා දුලාර . ටිකක් ඒ අය දුර හිටිය නිසා නිතර මුනගැසුනේ නෑ. අපි ඇවිත් මාස දහයකට පස්සෙ රේනු කියලා මගේ වයසම යාලුවෙක් මට හම්බුනා. එයා මට එයාගේ නැන්දයි මාමයි අදුනලා දුන්නා. ඒ අය පසුව අපේ හොදම යාලුවො උනා. ඒ දෙන්නා තමයි රංජන් , තාශා. ඒගොල්ලො අපට ගොඩක් උදව් කලා. රෝස පැල , සේරපැල ගෙනත් දුන්නා හිටවන්න. නිතරම කරපිංචා ගෙනත් දුන්නා කැද හදන්න තරමට . අපි ඒ ගෙදර අවුරුදු හතරකට කිට්ටු කාලයක් පදිංචි වී හිද ...ඒ ගේ විකුනලා Baulkum Hills වල අලුත් ගෙයක් මිලදිගෙන පදිංචියට ආවා. ඒ නගරයෙන් ටිකක් ඈත ලස්සන පරිසරයකට. දැන් මම ගොඩක් ආසාවෙන් ඒ ගෙදර වටේට තියෙන ලොකු ඉඩකඩේ වගාකරන්නේ ගොඩක් ආසාවෙන් . මතක ඇති කාලයේ පටන් ගෙවතු වගාවට ආසකල මගේ හිතේ අදටත් තියෙන ආසාවක් සිහිනයක් තමයි, නගරයෙන් ගොඩක් ඈතක ජනයා අඩු පලාතක ජීවත් වන්න ලැබේවායි කියා සිතීම. එලවලු පලතුරු වගාකරමින් කුකුලන් හා, බල්ලෙක් පූසෙක් ඇතිකරමින්, සැහැල්ලුවෙන් විවේකයෙන් නිදහස් පාලු පරිසරයක පොතක් පතක් කියවමින්, ලියමින් ජීවත් වෙන්න මම ගොඩක් ආස කරමි, ප්‍රර්තනා කරමි.කවදාහරි ඒ ප්‍රර්තනාව ඉශ්ට වෙනතෙක් බලා හිදිමි. 😄😄

75 views0 comments

Recent Posts

See All

Comments


bottom of page