💥බැද්දේ කුමරිය දෙවන ඇරඹුම 💥
(අටවන කොටස 8)
අපි විවාහ වි අවුරුද්දක කාලයක් ගිය කල...., සුනිලා කුළුදුලේ පුතෙක් ප්‍රසූත කර ඇති බව දන්වා, හදිසියේ මට කන්තෝරුවට ලැබි තිබුන ටෙලිග්‍රෑම්ය දුටු කල මම තැති ගත්තෙමි. ඒ වහා මම කාර්‍යාලයෙන් ලබා ගත් නිවාඩුවත් සමඟ රුවන්ගම බලා ගමන් ඇරඹුවේ ගැහෙන හදිනි.
සුනිලා රුවන්වැල්ලේ මහ ඉස්පිරිතාලයට ඇතුලත් කර ඇති බවත් ටෙලිග්‍රෑමයේ සඳහන් වි තිබුනේය. එබැවින් මම කාර්‍යාලයේ සිට කෙලින්ම රුවන්වැල්ලේ මහා ඉස්පිරිතාලේ බලා පිය නැඟුවේ ගැහෙන හදින්‍මය. මට මගේ පළවෙනි බිරිඳ මාළි, අපේ කුළුදුල් දරුවා ලැබෙන්න ඉස්පිරිතාලේට ඇතුළු කරතිබු සැට් සැරෙන් සැරේට මතක් වන්නට විය. සැරෙන් සැරේට ඒ මතකය මගේ හිත දැඩි බියකින් වෙලී යන්නටද විය.
කොළඹ රැකියාව කරන මට කන්තෝරුවට ටෙලිග්‍රෑමය එවා තිබුනේ සුනිලාගේ වැඩිමහල් සහෝදරයා වන ගුණදාස විසිනි. විදුලි පනිවිඩයෙන් දන්වා එවා තිබුනේ සුනිලා කුළුදුලේ පුතෙක් බිහිකර තිබු ආරංචිය සමඟ ඇය දැනට,රුවන්වැල්ලේ රෝහලට ඇතුලත් කර හිදින බවයි. සුනිලා කුළුදුලේ පුතකු බිහිකල පුවත මට සතුටුදායක ආරංචියක් උනත් , සුනිලාගේ තත්ත්වය ගැන හරි හැටි ආරංචියක් ගුණදාස ඉදිරිපත් නොකිරිම මගේ හිත තැති ගැන්මකට ලක් කොට ඇත.
කන්තෝරුවේන් දවස් භාගයක නිවාඩුවක් දමා තකහනියේ රුවන්වැල්ලේ රෝහල බලා ගිය මට, රෝහල් බිමට ඇතුළු වනවාත් සමඟම, සුනිලාගෙ නැන්දනියක වන මංගෝ හාමිනේ හමු විය.
"ආ....මේ අපේ මහත්තයානේ....මම මේ උදේ ඉදන් සුනිලා කෙල්ල ලඟ තනියට ඉදලා ගෙදර යන්න එළියට ආව ගමන්....මහත්තයා දැන්ද කොළඹ ඉදන් ආවේ....?
"ඔව් නැන්දේ මේ එන ගමන්මයි......සුනිලටයි දරුවටයි කොහොමෙයි....?
"ආ....ඔය ඉන්නේ දෙන්නම අපූරුවට.....හෙට දිහාවට ගෙදර යන්නත් පුලුවන් වෙයි...."
"එහෙමද නැන්දේ...දැන් කොයි වාට්ටුවේද සුනිලා දරුවා සමඟ ඉන්නේ...."
"යංකෝ මහත්තයාව මම සුනිලා කෙල්ල ඉන්න වාට්ටුව පෙන්නන්න..."
මංගො හාමිනේ නොන්ඩි ගසමින්, මට ඉස්සර වි රෝහලේ වාට්ටු තියෙන පැත්තට පය ඉක්මන් කලාය.
"දැන් කවුද සුනිලගෙයි දරුවගෙයි තනියට ඉස්පිරිතාලේ ඉන්නේ....?
" ආ ඔය සුනිල කෙල්ලගෙ අක්කා ආවේ අද රෑට තනියට ඉන්න කියලා ....ඒකයි මම මේ ගෙදර යන්න හිතුවේ.... ඔන්න මහත්තයා මේ තියෙන්නේ වාට්ටුව ...
අර දෙකේ ඇදේ ඉන්නේ සුනිලා .....එහෙනම් මම යන්නම්, ගමට යන බස් එක අල්ල ගන්නත් එපැයි...."
"හොදයි...හොදයි ...බොහෝම ස්තුතියි ....නැන්දේ "
මම සුනිලා හිටිය වාට්ටුවට ඇතුළු වි ඇයගේ ඇඳ ලඟට යන විටත්, සුනිලා දරුවා තුරුල් කරගෙන, ඇඳේ හොදටම නිදි බව මට වැටහින. ඇගේ සහෝදරිය ඇඟේ ඇඳ ලඟ තනියට සිටියාය. මා දුටු වහා ඇඳ අඟ තිබුන පුටුවෙන් නැගිට ගත් ඇය මා සමඟ හෙමිහිට කතා කලේ, සුනිලාට ඇහෙරෙයි කියා බයෙන් වගේය.
"හදිසියේනේ මහත්තයා නංගිට, දරුවා ලැබෙන්න අමාරු උනේ.....ඉස්පිරිතාලේන් නම් කිව්වා දරුවා කලට වේලාවට ලැබුන බව......ඒ උනාට මිඩ් වයිෆ් නෝනා, නංගිට දින දීලා තිබුනේ තව සුමාන දෙකක් ඉස්සරහටනේ.....ඒකනේ නංගි මහත්තයා ට එන සුමානේ දිහාවට කන්තෝරුවෙන් නිවාඩු දාලා ගම එන්න කියලා තියෙන්නේ ....."
"ඒක තමයි ,මමත් බයවුනා කළබලේ කන්තෝරුවට ටෙලිග්‍රෑම් එකක් ආපුවහම .....මම එන සුමානෙ දිහාවට නිවාඩු දාලා ගම එන්නයි හිටියේ....."
" සුමන සමන් දෙවියන්ගෙ පිහිටෙන් නංගිට අමාරු උනේ නෑ මහත්තයා ....ඉස්පිරිතාලේට ගෙනහල්ලා පැයකින් දරුවා ලැබුනා කරදරයක් නැතුවම.....ඔය නංගිට මහන්සියට නින්ද ගිහින් තියෙන්නේ , ඊයේ රෑ ඉදන් කොන්ද රිදෙනවා කියලා කෙදිරි ගගා හිටිය නිසා අපි අද උදේ ඉස්පිරිතාලේට එක්ක ආවේ....."
"එහෙමද....? ගමේ ඉදන් කොහොමද නංගිව ඉස්පිරිතාලේට එක්ක ආවේ....?
" නංගිව පුටුවක වාඩි කරවලා, ගමේ පිරිමි දෙතුන් දෙනෙක් තමයි කන්දේ ඉදන් පහළට නංගිව ඉස්පිරිතාලේට ගෙනියන්න එක්ක ආවේ...., ඊට පස්සෙ ඉස්කෝලේ මහත්තයාගේ මස්සිනාගේ කාර් එකෙන් තමයි නංගිව දරුවා ලැබෙන්න ඉස්පිරිතාලේට ගෙනාවේ ...."
"අපි නිසා අක්කලා අය්යලා හරියට මහන්සි වෙලා නේද...?
"ඕක මොකක්ද මහත්තයා , අපේ සහෝදරිය වෙනුවෙන් නොකරන උදව් අපි කාට කරන්නද...? මොනව උනත් සුනිලා නංගිට ලොකු අමාරුවක් උනේ නෑ...ඉස්පිරිතාලේට ගෙනත් පැයක් යනකොට දරුවා කරදරයක් නැතුවම හම්බ උනා...... හොදට අතපය මහන්සි වෙලා වැඩ කරන ගෑනුන්ට දරුවො හම්බවෙන්න ගිහාම අමාරු වෙන්නේ නෑ මහත්තයා .....සුමන සමන් දෙවියන්ගෙ පිහිටෙන් අපේ ගමේ ගෑනුන්ට කොහොමත් දරුවො හම්බවෙන්න අමාරුවක් වෙන්නේ නෑ.....අපි වැඩි පරිස්සමට සුනිලා නංගිව මේ මහ ඉස්පිරිතාලේට එක්ක ආවට මොකෝ, අපේ ගමේ ගොඩක් ගෑනු අයට දරුවො හම්බවෙන්නේ ගමේ ගෙදරමයි...ගමේ වින්නඹු අම්මා ඇවිත් ඒවට උදව් කරනවා. හැබැයි ඉතිං ...... ඒ වගේම ඉදහිට දරුවත් අම්මත් මැරෙන අවස්තාත් නැතුව නෙමේ...කොටින්ම කියනවා නම් සුමල් මහත්තයා..... අපේ අම්මා උනත් නැති උනෙ හත්වෙනි දරුවා හම්බවෙන්න ගිහින් නෙව.... ඒ නිසයි අපි නංගිව වැඩි පරිස්සමට ඉස්පිරිතාලේ එක්ක ආවේ....."
"ඔව්...ඒක ලොකු දෙයක් ...සුනිලව ඉස්පිරිතාලේ එක්ක ආව එක.... මේ සුනිලාගෙ කුළුදුල් දරුවනේ....."
"අපේ ගමේ ගෑනුන්ට දරුවන්ගෙන් කියල නම් අඩුවක් නෑ මහත්තයා ......දරුවො හම්බ වෙන්න,ඉන්න ගෑනුන්ට මාස පතා ඉස්පිරිතාලේ යන ඒවා, විටමින් බෙහෙත් මුකුත් නෑ,...... සාමාන්‍ය විදිහට කාලා බීලා හොදට ගෙදර ,වත්ත පිටියේ වැඩ කරගෙන ඉදලා දරුවෝ ප්‍රසුත කරනවා මිසක්.... කොළඹ ගෑනුන්ට නෙව ඔක්කොම පහසුකම් ,ප්‍රශ්න තියෙන්නේ ...."
සුනිලාට දරුවා ලැබෙන්න අමාරු වුන වේලේ ඇයව ඉස්පිරිතාලේට රැගෙන එන්නට ගමේ මිනිසුන් උදව් කර ඇති බව මට වැටහින. ඔවුන් හැමෝටම මම, ගම ගිය පසු පෞද්ගලිකව ස්තුති කර යුතු යැයි සිතුවෙමි. ඇගේ සහෝදරයන් හා සහෝදරිය විසින් ඇයව රෝහලට රැගෙන විත් ඔවුන් කල උපකාරයන් ගැන මගේ හිතේ ඔවුන් ගැන ඇතිවුනේ ලොකු ගෞරවයක්...... මගේ හිතට ඇතිවුනෙත් ලොකු සහනයකි.
"හෙට දිහාවට සුනිලා නංගිට ගෙදර යන්න පුලුවන් වෙයි කියලා දොස්තර මහත්තයා කිව්වේ....සුනිලා නංගිගෙ මහත්තයා ආවාහම ,දොස්තර මහත්තයාව ගිහින් හම්බවෙන්න කියලත් නර්ස් නෝනා කිව්වා. දරුවට නම දාන්න ෆෝම් කොලයක් පුරවන්න තියෙනවා කියලත් කිව්වේ. ...."
"හොදයි අක්කා මම දොස්තර මහත්තයා හම්බවෙලාම එන්නම්, සුනිලට හොදටම නින්ද ගිහින් නිසා එයා ඔහොමම හිටියාවේ......"
"හොදයි මහත්තයා .."
සුනිලාගෙ අක්කා, ඇගේ සහෝදරයන් ගමේ අනෙක් ගැමියන් සියල්ලෝම මට මහත්තයා කියා කට පුරා කතා අමතති. ඒ මම ඔවුන්ට වඩා උගත් හොද පරම්පරාවකින් පැවත එන්නෙක් බව දන්නා නිසා වන්නට ඇත.
සුනිලා තවමත් දරුවත් තුරුල් කරගෙන තද නින්දක නිදා හිදී..... මම සුනිලාට නොඇරෙන ලෙස හෙමිහිට දරුවා දෙස ටික වේලාවක් බලා හිද සුනිලාගෙ ඔළුව හෙමිහිට අත ගා වාට්ටුවෙන් පිටවිය. ලොකු දොස්තර මහත්තයා හමු වි සුනිලාගේ හා දරුවාගේ විස්තර දැන ගත යුතුය.
-නැවත හමුවෙමු-
*ප්‍රිසිලා ගොඩහේවා *
Comments