top of page

බැද්දේ කුමරිය දෙවන ඇරඹුම.

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Apr 8, 2022
  • 10 min read

* බැද්දේ කුමරිය කොළඹ ඇවිත්

( 15 වෙනි කොටස)


කාලය ගෙවි යන්නේ අපි තුන්දෙනා බලා ඉදිද්දි ලොකු මහත් වෙමින්‍ය. අපි ලොකු මහත්වෙන විට, අපේ කෑම බීම ,ඇදුම් පැලදුම් හා පාසැල් පොත් පත් වලට යන වියදම්ද වැඩි වෙමින් පවති. පියාගේ තනි පඩියෙන් සියල්ල කරන අපට එන්න එන්නම කරදර අමාරු කාල එමින් පවති. අම්මාගේ උනන්දුව කැපවීම මත සියලු අමාරුකම් මඟ හරවාගෙන අපි අපේ ජීවන ගමන යන්නෙමු.


"හෙට අනිද්දට අපට මේ කුලීගේත් දීලා වෙන ගෙයක් හොයාගන්න වෙනවා.....මේ ගෙදර අයිති කාරයන්ට,මේ ගේ ඕන කියන්නේ...."


"අනේ මන්දා දැන් අපි ගෙවල් කීයකට නම් මාරු වෙවි ගියාද...? කවද්ද අපි අපට කියන්න ගෙයක් හදාගන්නෙ...."


"ඒක නම් සිහිනයක් තමයි ...."


අපට මේ ඉන්න කුලී ගේත් ආයෙත් භාරදෙන්න වෙලා, මොකද අපි දැන් කරන්නේ...."


"එහෙනම් අපිට තව ගෙයක් හොයාගන්න වෙනවා නේද ? අනේ මන්දා මේ ළමයි තුන් දෙනකුත් ඇරගෙන අපට කුළි ගෙවල් ගානේ යන්න උනානේ....ගමේ හිටිය නම් අපි තියෙන විදිහට කාලා ඇඳලා සතුටින් ඉන්නවා නේ....කොළඹ ආවදවසේ ඉදන් ඉවරයක් නැති කරදර අඩුපාඩු කම්...මට නම් දැන් මේ ජිවිතය එපා වෙලා තියෙන්නේ ...."


"එහෙම කියන්න එපා සුනිලා, මොනව උනත් අපි කොළඹ ආවායින් ,දරුවො තුන් දෙනා කොළඹ හොඳ ඉස්කෝල වලට දාලා හොඳට උගන්නන්න ලැබුනනේ.... ඒකම මදෑ....ගමේ හිටියනම් ගමේ අනෙක් ළමයි එක්ක ගමටම කොටු වෙලා මේ ළමයින්ට ඉන්න වෙන්නේ...කොළඹ දකින්නවත්, හරියට ඉගෙන ගන්නවත් ලැබෙන්නෙ නෑ, ඒකම මදිද....මේ දරුවන්ගේ අනාගතය හොදට සලස්වා දෙන්න ලැබුන එකම....."


"දැන් අපි ඊට පස්සෙ කොහේ කුලි ගෙයක්ද හොයා ගන්නේ....මට තේරෙන්නෙ නෑ මොනවා කරන්නද කියලා ..."


"ඇරැව්වල කියලා ,මහරගම ගමක් තියෙනවා , එහෙ අපේ යාළුවෙක්ගෙ ගෙයක් තියෙනවා ,අපි ඒහෙ යමු , ළමයින්ට ඉස්කෝලේ යන්න නම් බස් දෙකක් විතර ගන්න වෙනවා, ඒකට කමක් නෑ අපි එහෙ යමු. "


"ඇරැව්වල කියන්නෙත් ගමක් නේද...?


"ඔව් ඒ උනාට පැයකින් විතර කොළඹ ළමයින්ගෙ ඉස්කොල වලට යන්න පුලුවන් ..."


"එහෙනම් එහෙවත් අපි යමු, වෙන කරන්න දෙයක් නෑනේ , මේ හදිසියේ කොහෙන් කියලා ගෙවල් හොයන්නද...?



"මේ ළමයි තව ටිකක් ලොකු උනාම අපි අපේ ගමේ ගෙදර විකුනලා කොළඹ අවටින් පොඩි ගෙයක් සල්ලි වලට ගන්න බලමු...."


"අපේ තාත්තගෙ බෙහෙත් සාප්පුව මගේ නමට ලියලා තියෙන නිසා අපි ඒකත් විකුනලා ගෙයක් ගන්න බලමු...."


"ඒවා එතකොට බලමු...."


"ඇරැව්වල තියෙන්නේ මහරගම හංදියේ ඉදන් තව බස්සෙකක යන දුර, එදිරිලාගෙ ළමයිනුත් එහේ ඉදන් තමයි කොළඹ ඉස්කෝල වලට යන්නේ ,ඉතිං අපේ අයටත් එහෙ ඉදන් ඉස්කෝලේ යන්න බැරැයැ ..."


"ගමන් ගාස්තු තව වැඩි වෙනවා නේද ?


"මොනව කරන්නද ඔක්කොම බලන්න බෑනේ ...අපි ඇරැව්වල පදිංචියට යමු...."


සියල්ල අවසානයේ මට අවුරුදු එකලොහා වෙනකොට කොළඹ ජීවිතය අතහැර, අපේ ගෙදර අයට ඇරැව්වල නම් සුන්දර ගමේ පදිංචියට එන්නට වාසනාව ලැබින.


ඇරැව්වල වැනි ගමක අපට ජීවත් වෙන්නට ලැබීමත්, අපට අපේ අම්මාගේ සුන්දර ගම මතක් කළ තවත් කාලපරිච්ඡේදයක් විය. කොළඹ නිල නිවාසයෙන් පසු අපට ඇරැව්වල වැනි ගමක ජීවත් වෙන්නට ලැබීම ගැන ගමේ ඉපදුණු දරුවෙකු විදියට මම අදටත් සතුටු වන්නෙමි.


මේ ගම , කොළඹට කිට්ටුවෙන් තිබුනත් අපේ ගමට ගොඩක් සමීපයි. මේ ගමේ මිනිස්සුත් රස්සාවල් කරන ගමන් ගොවිතැන් බත් කරනවා, එළවළු පළතුරු වගාවන්, එළහරක්, මී හරක් ඇති කිරිම කරනවා. ගමේ දරුවන් ගමේ පාසැලට ගිහින් අකුරු කරනවා වගේම , ගැමි දෙමව්පියන්ට කුඹුරේ වත්තෙ පිටියෙ වැඩ වලටත් උදව් කරනවා .....


"චුටි දුව නම් කොළඹ ජිවිතය ට වඩා, මේ ගමේ ජීවිතය ට කැමතියි වගේ, ඉස්කෝලේ ඇරිලා ආව ගමන් ,ගමේ ළමයි එක්ක සෙල්ලම් කරන්න යනවා...."


"කුඹුරු වල, කුරුදු වතු වල, පාලම් බෝක්කු උඩ , ඇල වල සෙල්ලම් කරන්න , මාළු අල්ලන්න යනවා ,එයා මේ ගම උපරිමයෙන්ම විදිනවා....."


"මේ ඇරැව්වල ගම කොළඹට ටිකක් කිට්ටු නිසා හොදයි ,දුවලා තුන්දෙනාට මෙහෙ ඉදන් ඉස්කෝලේ යන්න පුලුවන් එක..."


"හැබැයි ඉතිං උදේ හය වෙනකොට බස් එක අල්ල ගන්න ගෙදරින් යන්න ඕනේ....කොළඹ ඉස්කෝලෙට යන්න බස් දෙකක් ගන්න එපෑ ..."


"මේ ගමේ ඉන්න ගොඩක් ළමයි කොළඹ ඉස්කෝල වලට යන අය, ඒගොල්ලෝ එක්ක දැන් අපේ ළමයිනුත් එකතුයි...හැමෝම උදේට ඉස්කෝලේ යන්නේ එකතු වෙලා , එකම බස් එකේ...."


"ඉස්කෝලේ ඇරිලා ආව ගමන් ඉතිං චුටි දුවගෙ වැඩේ නම් ගමේ ළමයි එක්ක සෙල්ලම් කරන්න යන එක.... "


කොළඹ ටොරිංටන් නිවාසයේ සිට ඇරැව්වල ග්‍රාමයේ පදිංචියට ආ අපි ,ටිකක් දුශ්කර ජීවිතයකට වැටුනත්, මගේ බාල කාලය එම ගමේ ජීවත් වෙන්න ලැබිම ගැන , පසු කාලයක මට බොහෝ වැදගත් වෙයි කියා කවදාවත් මට හිතුන දෙයක් නොවිය. මගේ ජීවිතයට නොයෙකුත් බොහෝ අත්දැකීම් ලබා ගන්නට හැකිවුන කාලයක් තමයි ඇරැව්වල ග්‍රාමයේ අපි පදිංචි වි සිට් කාලය.


පාසල නිම වී ආ සැණින් ගමේ ගොඩේ ළමයින් සමඟ සෙල්ලම් කිරීමට යන මාගේ ළමා කාලය ඉතා සතුටින් ගත වුනේ ඇරැව්වල නම් ග්‍රාමයේදීය. කැලේ, වෙලේ, ඇළේ, පැන ගැමි දරුවන් සමග සෙල්ලම් කිරීමට අවස්ථාව ලැබිම මාව අලුත්ම ලෝකයට ගෙන යන්නට සමත් විය.


නාරං, හිඹුටු වැනි ගඩා ගෙඩි කඩා ගැනීමට කටු අකුල්වල රිංගා ගිය කාලය, අඹ, ලොවි, පේරගැට කමින් ගමේ ගැමි දරුවන් සමඟ ගත කරන්න ලැබුණු සුන්දර කාලයට මම බෙහෙවින් ආදරය කළ කාලයක් විය.


ඇරැව්වල ගමේ පදිංචියට යන කාලයේ, තාත්තා විශ්‍රාම දිවියට පිවිස සිටියේය. එබැවින් අපට ජීවත් වෙන්නට සිදු වුනේ තාත්තාගේ විශ්‍රාම වැටුපෙනි. එයින් ලොකු මහත්වුන දරු තිදෙනෙකුගේ වියදම් පියවා,ගෙන ජීවත් වන්නට සිදුවුනෙන්, එකල අපට බොහො අපට අගහිඟකම්ද ඇති කාලයක් විය.


ගෙවල් කුළී, පාසැල් බස් ගාස්තු ,පොත්පත්, ලොකු මහත්වුන දරුවන්ගේ ඇදුම් පැළඳුම් ගන්නට වියදම් බොහෝ ඉහළ ගියේය .නමුත් අම්මාගේ දැඩි උත්සාහය නිසා එම අගහිඟකම් මගහරවා ගෙන අපි කොළඹ පාසල්වලට ගොස් හොදින් ඉගෙන ගත්තෙමු. පාසලේ අමතර විනෝද ගමන්, නාට්‍ය සන්දර්ශනවලට හා අමතර වියදම් යන දේවලට අපි සහභාගි නොවුණෙමු. දෙමවුපියන්ට කරදර කරමින් කිසිම දෙයක් ඉල්ලා හඬ නොවැළපුණෙමු. දෙමවුපියන්ට කීකරු ලෙස හොඳින් හැදී වැඩෙමින් ගමේ අනිත් පවුල්වල දරුවන්ට ද ආදර්ශයක් ලෙස අපි තුන් දෙනා ජීවත් වුණෙමු.


තාත්තාගේ විශ්‍රාම යෑමෙන් පසු අපි පැමිණි ඇරැව්වල ගමේ පදිංචියට පැමිණ පසු, එහි සිට පාසල් යන්නට පටන් ගැනීම ඉතා දුෂ්කර කාර්යයක් විය. ඒ පාසල වෙත ගමන් කිරීමට බස් දෙකක යෑමට සිදු වූ බැවිනි. පාන්දර පහ පමණ වනවිට අපට නැගිටීමට සිදු විය. උදේ පාන්දරින් ම තාත්තා නැගිට අප සැම අවදි කරයි. අම්මා හදාදෙන තේ කෝප්පය බී, මූණකට සෝදාගෙන එන අපට, අම්මා රෑට උයා ඉතිරි කර තිබෙන බත් කෑමට දෙයි. බොහෝ විට උදේ ආහාරය පොල් සම්බෝල, පරිප්පු, කරවල වැනි දෙයක් සමඟ ය. අම්මා දවාලට ඔතා දෙන පාන් පෙති දෙක, කෙසෙල් ගෙඩිය හෝ වෙනයම් දෙයක් පාසලේ දී කෑමට අපි ඔතාගෙන යන්නෙමු. බොහෝ විට බස් දෙකකින් පාසල් යන අප, බස්වල තැලී පොඩි වී පාසල් යන බැවින් උදේට ගෙනියන කෙසෙල් ගෙඩිය තැලී පොඩි වී කන්නට පුළුවන්කමක් නැති වෙයි. එබැවින් පසුකාලයේ කෙසෙල් ගෙඩි පාසලට ගෙන යෑම නතර කළේ, තැළුණු කෙසෙල් ගෙඩි කෑමට බැරි නිසා ය. සමහර දවසට අවට ගෙදරක සාදන ආප්ප, පාසල් ගෙන යෑමට අම්මා මිල දී ගෙන දෙයි. නමුත් ආප්ප ගන්නට ගිය හැම දවසක ම අපට පාසල් යන්නට වූයේ පරක්කු වීය. එබැවින් අප ආප්ප කන්නට කැමැති වුවත්, පාසලට පාන් ගෙන යෑමට උනන්දු වන්නේ ය. ඒ පාන් ගෙඩිය ඊට ප්‍රථම දින හවස ගෙදරට ගෙනත් තිබෙන බැවිනි. බටර් හා ලුණු මිරිස් සමඟ පාන් ගෙන යෑමට මා ඉතා කැමැති ය. සමහර දවසට පාන් ඇතුළට මාළු හෝ එළවළු, පරිප්පු, මුං ඇට වැනිදෑ ද අම්මා දමා සකස් කර දෙයි. අම්මා විසින් සකස් කර දෙනු ලබන කුමන කෑමක් හෝ රස කර කෑදරකමින් කෑමට අපි පුරුදු වී සිටියෙමු. හේතුව විසි කර කෑමට හෝ තෝරා බේරා කෑමට හෝ කෑම ඕන තරම් අපට නොතිබිණි. තාත්තාගේ විශ්‍රාම යෑමෙන් පසු ගෙදර වියදම ඉහල ගියේ අපට නිල නිවාසයෙන් නික්ම කූලී නිවසක පදිංචියට යෑමට වීමත් සමගය. අපි තුන් දෙනාම ඉහල පංති වල ඉගෙන ගත් බැවින්. අම්මා ගෙදර වියදම අරපිරිමැස්මෙන් පියවා ගත්තාය. ගෙදර කුලිය ද, අපගේ පාසල් කටයුතුවලට අවශ්‍ය වියදම් ද, පාසල් ගමන් ගාස්තු ද වැඩි වී තිබූ බැවින් අප කුඩා කාලයේදී අපට අවශ්‍ය තරමට වියදම් කිරීමට මුදල් නොතිබුනි. අම්මා අරපිරිමැස්මෙන් ගෙදර වියදම ගෙන ගියාය.


‘ගමේ අයගෙ ඇඳුම් මහල හරි මං වියදමට කීයක් හරි වැඩිපුර හම්බ කර ගන්න ඕනේ...." අම්මා තාත්තාට කියයි.


‘‘මං නම් ඒකට කැමැති නෑ. මොනව වුණත් අපි අමාරුවෙන් හරි වැදගත් විදියට ඉන්න අයනෙ‍."

තාත්තා නිතර ම තාත්තාගේ වැදගත්කම කියා ගෙන වැඩ කිරීමට කැමැති කෙනෙකි.


තාත්තා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගත් ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ වැඩිමහල් පුත්‍රයා ය. ඔහු සිය තරුණ කාලය සෙල්ලක්කාර ජීවිතයකින් ගත කළ අයෙකු බව අප දැනගත්තේ ශාන්ත මාමාගෙනි. ශාන්ත මාමා තාත්තාගේ අක්කාගේ මහත්තයා ය. අප හැම දෙයක් ම එනම්, තාත්තාගේ ළමා තරුණ කාලය දැනගත්තේ ශාන්ත මාමාගෙනි. ශාන්ත මාමාට තාත්තා ගොඩක් උදවු කළ කෙනෙක් බැවින් ශාන්ත මාමා තාත්තාට ඉතා ගෞරව කරයි. තාත්තාගේ තරුණ කාලයේ ඔහු ඉතා තදින් සිගරට් බිව් කෙනෙකු බවත්, කවදාවත් මත්පානය නොබිවු කෙනෙකු බවත් අපි දැන ගත්තෙමු. නමුත් පසුව තාත්තා සිගරට් බීම එහෙන් පිටින් ම නතර කරපු බවත්, තාත්තා අම්මා කසාද බැන්ද පසු එහෙන් පිටින් ම වෙනස් ම කෙනෙකු බවට පත් වූ බවත් අප දැනගත්තේද ශාන්ත මාමාගෙනි.


නොයෙකුත් කරදර, බාධක, අගහිඟකම් මැද ගෙවුණු ළමා කාලය ගමේගොඩේ දරුවනුත් සමඟ කෙළිදෙළෙන් ගත කළ ජීවිතය නිසා අමතක ව ගියේය. පාසල් යෑමට උදේ පාන්දරින් ම බස් නැවතුමට ඇවිත් හුස්ම ගන්න බැරි වූ තරමට තෙරපෙන මගීන් රැගත් ඇරැව්වල බසයෙන් මහරගමට එනතෙක් විත්, මහරගමින් 138 හෝ 112 කොළඹ යන බස් එකේ බම්බලපිටියේ අප පාසල දක්වා ගියේ මගී බස් පාස් එකෙනි. උදේට දෙන කෑමට අමතරව ගෙදරින් මුදල් අතට නොදෙන බැවින් බස් එක නැති දවසට සත 50ක් හෝ රුපියලක් අතේ නැති නිසා ප්‍රයිවට් බස් එකක එන්න බැරිකමින් කිලෝමීටර දෙක තුනක් ම පයින් ම ගෙදර ආපු දවස් ද නැතුවා නොවේ. ඇරැව්වල වැනි ග්‍රාමිය පරිසරයක ජීවත් උනත් කොළඹ බාලිකා පාසලකට මට යන්න ලැබීම, භාග්‍යයක් ලෙස මම සැලකුවෙමි. මා සමඟ කෙළි සෙල්ලම් කළ ගමේ ළමයින්ට, කොළඹ පාසලකට යන මා ඉහළ කෙනෙකු විය. සති අන්තයේ සහ පාසල් නිවාඩු කාලයට ගමේ ළමයින් සමඟ උදේ කෑමෙන් පසු සෙල්ලමට යන මම නැවත ගෙදර එන්නේ දහවල්ට කෑමට කතා කරන විට ය. කෑමට තියෙන දෙයක් රසවත් නොබලා, එක හුස්මට උඩින් පල්ලෙන් ගිල දමන්නේ සෙල්ලම් කිරීමට තිබෙන කාලය විනාඩියක්වත් අතපසු කිරීමට ඇති අකැමැත්ත නිසාවෙනි. සවස පහ, හය වනවිට ගෙදර නොපැමිණිය හොත් තාත්තාගෙන් බැණුම් අසන්න වන බැවින් කෙසේ හෝ හවස හයට පෙර ගෙදර යන්නෙමි.


"උදේ ඉඳන්ම ගමේ කෙල්ලො කොල්ලො එක්ක නැටුවා, දැන් ගිහින් ඇඟ හෝදගෙන ඇවිත් පාඩම් කරනවා. "


තාත්තාට නෑහෙන්න අම්මා කියන්නේ එය ඇසුණොත් තාත්තාගෙන් ද අපට බැණුම් අහන්න සිදුවන බැවිනි.


‘‘හෙට මැණිකෙලාගේ කුඹුරේ ගොයම් කපනවා, මමත් යන්නද බලන්න?

මම අම්මාගෙන් අහන්නේ තාත්තාට හොරෙනි.


‘‘පොඩි අය්යත් එක්ක යන්න. තනියම යන්න එපා.*


අපි නිවාඩු කාලයටත් උදේ පාන්දර ම නැගිටින්නේ ගමේ ගෙවල්වල ගොයම් කැපීම්, පැළ සිටුවීම්, ගොයම් පෑගීම්, හුළං කිරීම් ආදිය දකින්න යෑමට ආසාවෙනි.


ගොයම් කැපීම බලන්න ගිය විට සිතට දැනෙනුයේ හරිම සතුටකි. ගොයම් කපන ගොවියෝ තාලයට කවි කියමින්, විහිළු තහළු කරමින් ගොයම් කපති. උදේට, දවල්ට ගෙවල්වලින් ඇඹුල ගෙන එන ගැහැනුන් පිළිවෙළට කෙසෙල් කොළ තබා ගොවියන්ට කෑම බෙදයි. ඔවුහු පුංචි අපටත් පැත්තකින් වාඩිවෙන්න කියා ඇඹුල බෙදා දෙති.


කෙසෙල් කොළේ හෝ නෙළුම් කොළේට බෙදන කැකුළු හාල් බත්, අල, බතල, කොස් දෙල් වැනි දෙයකින් සාදන මාළුවක්, කරවල හොඳි, පිපිඤ්ඤා සලාදය, මෑකරල් මාළුව, අඹ, අඹරැල්ලා ආදී දේවල් දවාලට ඇඹුල ලෙස ගෙවිලියෝ ගෙන එති. අපි ද කුඹුරේ වැඩ කරන මිනිසුන් සමඟ එකට වාඩි වී කෙසෙල් කොළයේ බත් කන්නෙමු. බත් කා අහවර වූ විට කෙසෙල් ගෙඩි ද කන්නට ලැබේ.


උදේට නම් කුඹුරේ වැඩ කරන අයට කිරි බත්, ඉඹුල් කිරි බත්, පාන්, පොල් සම්බෝල වැනි දෑ කෑමට ගෙන එයි. උදේ දහයට හා හවස හතරට තේ කහට බොන්නට දෙන්නේ හැලප, ලැවරියා වැනි රසකැවිලි ද සමඟ ය. කුඹුරේ වැඩ කරන මිනිසුන්ගේ ළමයින් සමඟ මා සහ පොඩි අය්යා ඒ කෑම රස බලන්නේ හරිම ආසාවෙනි.


ගොවිතැන් වැඩ තියෙන කාලවලට ඒ දේවල් බලා කියා ගැනීමට යෑමත්, සිංහල අවුරුදු කාලෙට අම්මා මසා දෙන අලුත් ගවුම ඇඳන් වටපිටාවේ ගෙවල්වල කෑම පිඟන් ගෙන යෑමත් මට හා අය්යලාට අදටත් මතක ඇති සුන්දර මතකයන් වේ.


ජනවාරි පළමු දාට, සිංහල අවුරුදු දවසට මෙන් ම සෑම මාසයක ම පොහොය දිනට අප සවසට ඇරැව්වල ගමේ පන්සලට යන්නේ සවස හතේ පූජාවට සහභාගි වන්නට ය. ගමේ ළමයින් සමඟ මල් වට්ටි, පහන්, සුවඳ දුම් ආදිය බෝධිය වටේ පෙළගැසී සිටින උපාසික උපාසිකාවන්ට අතගසා ගෙන යෑම මා ආසාවෙන් ම කරන දෙයකි.


ඇරැව්වල ගමේ සිටි එක් අවුරුද්දක, මම මාස දොළහම නොවරදවා පොහොය දිනට සිල් සමාදම් වී ඇත. සිල් සමාදන් වීමට යන්නේ ද ගමේ ළමයින් සමඟ ය. බොහෝ විට අප සිල් ගැනීමට ගොස් උදේ, දහවල් දානය බෙදන තෙක් බලා සිටි අයුරුත් මතක ය. සුන්දර ළමා කාලයේ දී අප නොකළ දෙයක් නැත.


"අද අපි දං කඩන්න යමු ද?


" කනත්ත තියෙන පැත්තෙ තමයි වැඩියම දං තියෙන්නෙ.


‘‘මගෙ අම්මෝ මට නම් බෑ කනත්ත වත්තට යන්න..... මං කනත්ත ළඟින් යන්නත් බයයි."


‘‘කනත්තෙ තියෙන දං ගස්වල දං ගෙඩි වෙරළු ගෙඩි වගේ ලොකුයි, හරිම රසයි."

මැණිකා මාව දං කඩන්න එක්ක යෑමට උත්සාහ ගන්නේ එසේ කියායි.


ඇරැව්වල පදිංචියට ආ පසු මාගේ හොඳම යාළුවා වූයේ මැණිකා ය. ඇය ගමේ පාසලට ගිය, ගොවිතැන් බතින් ජීවනෝපාය කරන ගැමි පවුලක බාල දියණිය යි.


අවසානයේ ගමේ ළමුන් එක්ක මාත් ගෙදරට හොරෙන් කනත්තේ දං කඩන්නට ගියෙමි.

දං කඩන්න කනත්ත වත්තට ගිය කල , මිනි වලවල් වලින් හොඩ දාපු පරණ මිනී ඇට කටුත් අපට දකින්න ලැබින. එය නම් හිත චකිතයකට පත් කල දෙයක්ම විය. ...මැණිකා කියූ තරම් දං ගෙඩි ලොකු නොවුවද, කැන්ද කොළවලින් ගොටු සාදා, ඒවා පිරෙන්න ඉඳුණු දං කඩාගෙන ගෙදර ආවෙමු. කනත්තේ දං කැඩීමට ගිය බව අම්මාට හෝ නොපැවසුවේ, ඇයගෙන් බැණුම් අහන්නට වන බැවිනි. මා සිතූ තරම් කනත්ත බය හිතෙන තැනක් නොවූ බැවින් යළි දං කැඩීමට යෑමට මම සිතා ගත්තෙමි. අප කනත්ත පුරා ඇවිද ඇවිද දං ගස්වල දං කඩන විට, කනත්තේ වළවල් හැරීමට පස් ගොඩදැමූ තැන්වලින් මතුව තිබූ මිනී ඇටකටු දැක අපට මහත් බියක් නොදැනුණේ අප කුඩා දරුවන් වූ බැවිනි.


"ඊයේ රෑ හොඳට ම වැස්සනෙ. අද නම් වෙලේ බන්ට් එකේ වතුර පිරිලා ඇති."


‘‘අපි යමු ද ඔරු පදින්න…” මැණිකා, සුදු නෝනා, නිලන්ත යන ගමේ දරුවෝ මාව ද ඔවුන්ගේ ගමන්වලට එක්කගෙන යන්නට උත්සාහ ගනිති.


‘‘ඉතිං අපට බෝට්ටු නෑනේ."


‘‘නෑ.. නෑ... බන්ට් එක ළඟ තව ළමයි තාර බැරල් කපල හදාගත්ත ඔරු පදිනවා. අපිත් ඉල්ලගෙන පදිමු.*"


නිවාඩු කාලයට එක මොහොතක්වත් ගෙදර නොසිට ගමේ ගොඩේ, වෙලේ ඇළේ දුව පනින මම, සවස හයට පෙර ගෙදර ඒමට වගබලා ගන්නෙමි. ඒ රෑ වූ විට තාත්තා කෑගසන බැවිනි.


“ දරුවා මේ ළඟ පාත ඇති. වැඩිය දුර යන එකක් නෑ ළමයා. නිවාඩු කාලෙට විතරනේ මේ විදියට ඇවිදින්න යන්නේ” කියා අම්මා මා නිතර බේරා ගනියි.


මා හට අවුරුදු එකළොහක් පමණ කාලයේ කොළඹ සිට ඇරැව්වල ගමට පැමිණි අප හට ජීවිතයේ නොයෙකුත් අත්දැකීම්වලට මුහුණ දෙන්නට සිදු විය. එම ගමේ බොහෝමයක් මිනිසුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ වී ගොවිතැන හා එළවළු වගාව ය. ඊට අමතරව ඔවුහු කිරිහරක් ඇතිකර, ඔවුන්ගේ කිරිද ගෙදර ප්‍රයෝජනයටද ගනිති. කුඹුරුවල වී පැළ සිටුවා, ගොයම් කපා, හුළං කර, ගෝනිවලට පටවා, වෙළෙඳුන්ට භාර දෙන අවස්ථාව දක්වා කෙරෙන නොයෙකුත් පාරම්පරික ක්‍රම මා දැන කියා ගත්තේ ඇරැව්වල ගමේ පදිංචියට ආ පසු ය.


‘‘අපි අද මැණිකලාගේ ඕවිට බලන්න යමුද..?. එන ගමන් අපි ඕවිට ළඟ ළිඳෙන් නාල ම එමු."


ගමේ ළමයි හතර පස් දෙනෙක් ම මා සමඟ එකට එකතු වී සෙල්ලම් කිරීමට පුරුදු වී සිටියාහ. ඒ තමයි මගේ පාළු කැපු, මගේ ජීවීතයට නොයෙක් අත්දැකිම් එක්කල යාලුවෝ ගොන්න.


‘‘අපි ඕවිටට යන්න ඉස්සෙල්ලා රබර් ඇටයි, කෝටුයි ඇහිඳලා අම්මලාට ගිහින් දෙමුද?.

මැණිකා කිව්වේ ඇය නිතර ම කරන කාරියකි.


‘‘මටත් හිතෙනවා රබර් කෝටු ඇහිදලා අම්මට ගිහින් දෙන්න."


ඇරැව්වල පදිංචියට ආ පසු අම්මා දර ළිපේ උයන බව මතක් වී මම කීවෙමි.


‘‘ඇයි, රබර් ඇටවල පොතුත් ගිහින් දෙන්න. ඒවා ළිපට දැම්මහම හොඳට ඇවිළෙනවා."


‘‘ඇත්තට, අම්මා සතුටු වෙයි එහෙනම්..... අපි ඉස්සෙල්ල ම රබර් ඇට ඇහිඳිමු."


‘‘අපි රබර් වත්තෙ තියෙන ගොටුකොළත් ගලවලා අම්මලාට ගිහින් දෙමු."


ගමේ ළමයි ඔවුන්ගේ පුරුදු රාජකාරිවලට මාව ද පුරුදු කරන්නට වූහ. ඇත්තට ම එය විනෝදජනක ක්‍රියාවකි. ගෙවල් ළඟ තිබුණු රබර් වත්තේ රබර් ඇට පුපුරා පොතු වැටෙන විට ළමයි දුව දුව ඒ පොතු එකතු කර වේවැල් කූඩ පුරවති. මා ද එය කිරීමට පටන් ගත්තේ හරිම සතුටෙන් හා කැමැත්තෙනි. ඉන් පසු අපි රබර් වත්තේ ඇති ගොටුකොළ ගලවා හබරල කොළයකට එකතු කර ගෙදර ගෙන යන්නටද පටන් ගත්තෙමු. එවා දැක අම්මා පුදුම විය.


‘‘ඒ වුණාට චූටි දුවේ රබර් වත්තෙ ඇවිදිනකොට පරිස්සමින් නයි ඇති "


නිවාඩු කාලයට රබර් වත්තේ දර කෝටු එකතු කර අම්මාට ගිහින් දී මම කුස්සියේ වැඩට ඇයට උදවු කළෙමි. ගමේ දරුවන් සමඟ කුඹුරට ගිය වේලාවට නියරවල ඇති තම්පලා, මුකුණුවැන්නා වැනි පලා වර්ග ගලවා අම්මාට ගිහින් දුන්නෙමි... අක්කලා දෙන්නා පාසලේ වැඩ කරමින් ගෙදරට වෙලා සිටින අතර, මම ගමේ ළමයින් සමඟ සෙල්ලම් කිරීමට ගොස් එන විට අම්මාට උදවුවක් ලෙස පලා වර්ග, දර ගෙන දීමට පුරුදු වුණෙ එලසය.


ගෙදර ඉන්න වෙලාවට ගේ අවට ඇති තණකොළ ගලවා මුළු ගෙවත්තම ලස්සනට සුද්ද කරන්නත්, මල් පැළ සිටුවා ඒවායේ මල් එනකම් බලා සිටින්නත් පුරුදු වුණෙමි. තැඹිලි පාට දාස්පෙතියා යාය මා වගා කළ මල් පාත්තිවලින් මම ආසම කරන මල් පාත්තිය විය.


‘‘අද අපි මැණිකලාගේ ඕවිටට යන්නෙ නැද්ද?


‘‘යමු... යමු... මං එන ගමන් නාන්න යන්න ඇඳුනුයි, බාල්දියත් ගෙනාවා.*


‘‘මාත් ගෙනාවා. එහෙනම් යමු."


"ඕවිට කියන්නෙ මොකක්ද? ඒක ගොඩක් දුර ද?


‘‘නෑ... නෑ... රබර් වත්ත පාමුල ඒක තියෙන්නේ. ගිහිල්ලම බලමු."


‘‘අද මැණිකෙලාගෙ තාත්තා ඕවිටේ වැඩ ද?


‘‘අද අපේ ඕවිටේ කොහිල ගලවනවා.*


‘‘අපේ අක්කා තමයි කොහිල ගලවන්නේ.


‘‘ඉතිං කොහිල කටු ඇනෙන්නෙ නැතිව කොහොමද කොහිල ගලවන්නේ.?


‘"ඔයා බලන්නකෝ එයා කොහිල කොටුවට බැහැල ඉන්න හැටි.*


අප මැණිකෙලාගේ ඕවිටට යන විට මැණිකාගේ තාත්තා හා අක්කා කකුල්වල ගෝනි ඕතාගෙන කොහිල කොටුවට බැස, කොහිල අල ගලවමින් සිටියේය. එය මට නම් පුදුම හිතෙන, බය හිතෙන දෙයක් වුවුද, ඔවුන් එය කළේ හුරු පුරුදු ලෙස ය. අත්වලට ද ගෝනි කෑලි ඔතා ගෙන ඔවුන් කොහිල ගලවන්නේ කෙතරම් අමාරු ලෙස ද කියා මට සිතේ. කොහිල හා වෙනත් ඕවිටේ ඇති එළවළු පොළට ගෙන ගොස් විකිණීම ඔවුන්ගේ එකම ආදායම් එන මාර්ගයකි.


*ප්‍රිසිලා ගොඩහේවා*



 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comentários


bottom of page