top of page
  • Writer's picturePrisila Godahewa

💥බැද්දේ කුමරිය දෙවන ඇරඹුම 💥

💥 බැද්දේ කුමරිය දෙවන ඇරඹුම💥

(දෙවන කොටස 2)


" එහෙනම් අපි හෙට , අපේ තාත්තා මට හදලා දුන්න ගෙදර පදිංචියට යමු නේද......? ඒ ගෙදර වැඩිය බඩු මුට්ටු එහෙම නෑ, ගෙදරකට අවශ්‍යම කරන පුටු හතරක් , ඇදක්, අල්මාරියක් පුටු හතරේ කෑම මේසයක් තියෙනවා එච්චරයි .... ලීනි අය්යා මට ගෙදරට පිඟන් බඩු ටිකක් වේලාසන ගෙනත් දුන්නා, ගුණදාස අය්යා තමයි ලී බඩු හදලා දුන්නේ....කුස්සියේ උයන පිහන හැලි වලං බඩුත් ටිකක් තියෙනවා අක්කා දීලා ....තව අපේ මඟුලට ආව අය ගෙනාපු පිඟන් බඩු තෑගිත් තියෙනවානේ..... "



"ඒ මදෑ සුනිලා අපි දෙන්නට...මට නම් බඩුමුට්ටු දේපළ මුකුත් ඕන නෑ, ඔයා එක්ක තියෙන දෙයක් කාලා, මේ ගමේ නිදහසේ ජීවත් වෙන්න තියෙනවා නම් එකම ඇති....කොළඹ රස්සාවට යන්න වත් මට උවමනාවක් නෑ දැන් ....."


"ඒ උනාට ඔයාගේ ආන්ඩුවේ රස්සාව ....ඒක පරිස්සම් කරගන්න ඕනේ....කවදහරි අපිට ඉස්සරහ කාලේ ජීවත් වෙන්න ඉතුරු වෙන්නේ ඒ රස්සාව තමයි ......අපි ටික දවසක් අපේ ගමේ ගෙදර ඉදලා කොළඹ පදිංචියට යමු...."

"ඔව් සුනිලා , මගේ රස්සාව පරිස්සම් කර ගන්න ඕනේ මොනව නැතත්....."


"හෙට උදේ අපි අපේ අලුත් ගෙදරට ගිහින් එහේ කිරි උතුරලා, එහෙම අලුත් කිරිබත් හදාගෙන කමු....., අපේ තාත්තා ,අය්යලා අක්කලා එහෙමත් ඒවී ....?


"ඔයාගේ අක්කලා අය්යලා ඔයා ගැන ඕනෑවටත් වඩා බලන හින්දා හොදයි ....මටත් කියන්න කවුරුත් නැති එකේ ...."


"ඔව්...ලොකු අක්කා ඇවිත් මට උයලා දෙයි....අය්යලා මල්ලිලා උනත් මට උදව් කරනවා. ඔයා මාව කසාඳ බැදපු එක ඒගොල්ලන්ට ලොකු දෙයක්, ආඩම්බරයක් ...., ඒගොල්ලෝ හැමෝම දන්නවා ඔයගොල්ලන්ගෙ ගෙදර අයගේ තත්ත්වය, වටිනකම, ඒගොල්ලන්ට ඔයාගේ පවුලේ අයගේ දේපළ වටින්නේ නෑ, ඔයාවයි වටින්නේ..."


"අපි යමු අද අපේ ලොකු මල්ලිලාගේ ගෙදර දවල්ට කෑම කන්න. ...."


"රෑට අය්යලාගෙ ගෙදර කෑම කන්න එන්න,කිව්වා නේද...? ඊයේ දවසෙම නෑදෑ ගෙවල් වලින් කෑවේ...."


"එහෙම තමයි මේ ගම්වල අය....අලුත් ජෝඩුවක් කසාඳ බැන්දට පස්සේ, හැමෝගෙම ගෙවල් වලට එන්න කියලා කෑම දෙන්නේ සතුටින් ....ඒක චාරිත්‍රයක්...."



"පොඩි අක්කේ, ඔයාගේ අලුත් ගෙදර ගෙවදීම වෙනුවෙන් මොනවද අපි හෙට, දවල්ට කන්න හදන්නේ....?.


"උදේට නම් ගෙට ගෙවදිලා කිරි උතුරවලා ඉවර උනාම, කිරිබතක් හදලා ගන්නවා මම ...."


" මම පොලොස් ඇඹුලක් හදාගෙන එන්නම් . ...."


"පාල මල්ලි ගෝන මස් හැලියක් උයලා ගේනවා කිව්වේ... ...."


"අපි රෑට කන්න ඒවා තියා ගමු.....තව හොදට කිරිදාලා කහ බතක් උයලා , වම්බටු පැහියක් හදලා අල වර්ගයක් සුදට උයමු.....තව කොච්චි පිපිඥ්ඥා සම්බෝලයක් හැදුවම මදෑ...ගෙදර කට්ටිය විතරනේ...."


"අප්පේ ඒ මදෑ.....මගුලට වගේ...."


"තාම ඉතිං ,සුනිලා නංගිගේ මඟුලේ උනුසුමේනේ අපි ඉන්නේ....."


සියල්ල අවසානයේ අපේ විවාහයෙන් පසු අප දෙදෙනා , සුනිලාගෙ පියා ඇයට, ඇගේ නමට හදා දී තිබුන, රබර් වත්තක් අද්දර අලුත් නිවසේ පදිංචියට ගියෙමු .


අපි ගෙට ගෙවදුන දවසේ, සුනිලාගෙ පියා, සහොදර සහෝදරියන්ද එයට සහභාගි උනේ බොහෝම සතුටින් උද්‍යෝගයකිනි. ගෙට ගෙවදුන දා රාතියේ, කිතුල් රා, දඩමස් ,මඥ්ඥොක්කා සංග්‍රහයක්ද ගෙදර දොරකඩ පැවත්වින. රෑ වෙනවිට ඩෝලයකට ගසමින් සංගීතයක්ද ගේදොරකඩ පැවත්වුනේ, අපේ අලුත් ගෙට ගෙවදීමේ උත්සවය වෙනුවෙනි. රා අරක්කු නොබොන මම ,ඔවුන්ගේ සංගීත සාජ්ජය බලා සිටියේ ගෙදර ඉස්තෝප්පුවේ ඇදි පුටුවකට බරවය. සුනිලා ගෙදර ඇතුලේ ඇගේ සහෝදරිය හා ඇඟේ යෙහෙළියක සමඟ කැකිරි පළමින් සිනා සෙමින් කතා කරන හඬ ඉස්තෝප්පුවට ඇසෙන්නේ, සංගීත සාජ්ජය අස්සේය.


ගෙට ගෙවදීමේ උත්සවය ඉතා චාමෙට සතුටින් අහවර වි ,අප දෙදෙනා දැන් අපේ අලුත් නිවසේ තනිවි ඇත.


"මට දැන් හරිම සතුටුයි මහත්තයා , අපේ අලුත් ගෙදර මහත්තයා එක්ක එකට ජීවත් වෙන්න ලැබීම...." සුනිලා නිතර මගේ වටා දැවටෙන්නේ පොඩි ළමයෙක් ගානට සතුටින් උදම්වය. මම ඇයව තුරුළු කරගෙන ඇයව මට හිමිවුන සතුට සමරමි. ඒ අතර ඉදහිට මට ,මාළි සමඟ මම ගතකල සොඳුරු කාලයද සිහිවේ.....සැනෙකින් මම ඒ සොදුරු , අඳුරු , මතකය තුළින් සමුගෙන සුනිලාගේ මුහුන සිඹමින්, ඇයව මා තුරුලට ගන්නෙමි.


දැන් පරණ සියලු මතක අමතක කර මම සුනිලා සමඟ සතුටින් ජීවත් විය යුතුයි. මගේ කියන්න සිටි සැවොම මාව අසරණ කර මා අමතක කලත්, මට දැන් සුනිලා සමඟ ඇගේ ගමේ අහිංසක නෑදෑයින් හිදී. ඔවුන්ගේ නෑදෑයින් , යාළුවන් මාව ඉහලින් පිළිගෙන ඔවුන් අතරට ගෙන ඇත්තේ ගෞරාන්විතයෙනි. මෙතැන් පටන් මට මගේ කියන්න අලුතින් එකතු වුන නෑදෑයින් සමග මම සගයෝගයෙන් සතුටින් ජීවත් විය යුතුයි.


"මහත්තයා අපි මහ දොළට අද නාන්න යමුද ?


" නෑ සුනිලා, ඔයාගේ අලුත් ගෙදර පල්ලෙහා තියෙන දිය උල්පතට ගිහින් අපි නාගෙන එමු......මට ආසාවේ බෑ ඒ දිය පොකුන දකින කොට...... දිය උල්පත් , බුබුළු දම දමා උඩට එන හැටි බලන්න ලස්සනයි ...කොයිතරම් නම් පිරිසිදු වතුර උල්පත්ද ඒ....? වතුර පොකුන උතුරලා කොයිවෙලෙත් පහළට වතුර ගලාගෙන යන හැටි....කොච්චර බලාගෙන හිටියත් ඇතිවෙන්න නෑ...."


"ඔව්...මේ ගේ මට අපේ තාත්තා මෙතන හදලා දුන්නෙත් මේ දිය උල්පත නිසාමයි...අත ලඟ වතුර තියෙන එක හරිම ලේසියි..."


"එතකොට අර ගේ පල්ලෙහා තියෙන රබර් කෑල්ලත් ඔයාගෙද...?


"ඔව්...ඔතන රබර් අක්කර දෙකක් තියෙනවා ....ඒකේ රබර් කිරි ආදායමත් මම මයි ගන්නේ.....රබර් කිරි කපන්න ඉන්න අක්කා ආවාහම මමත් එයාට උදව් කරනවා ආසාවට....., රබර් කිරි එකතු කරගෙන ගිහින් රබර් කිරි තැටි හදන්නෙත් ඒගොල්ලන්ගෙ ගෙදර මයි ......ඒ අක්කලාගෙ ගෙදර රබර් තැටි හදලා දුම් ගහන්න කාමරයකුත් තියෙනෙවා...."


" එහෙමද....?සුනිලා , මහන්සි වෙලා හම්බකරලා සල්ලි ඉතුරු කරන්නත් හරි කැමතියි වගේ...."


"ඔව්....මම ආසයි දියුණු වෙන්න....අර ඉන්න කිකිලියන්ගේ බිත්තර මම ගමේ කඩේට විකුනනවා, ගමේ ඈයින්ගේ ඇදුම් කුළියට මහලා දෙන්නෙත් මම..., වත්තේ එළවලු, පළතුරු , බටු , මිරිස් වගා කරලා කෑමට ගන්නවා, විතරක් නෙමේ, වැඩිපුර ඒවා කඩේටත් ගිහින් දාලා මම සල්ලිත් ගන්නවා....මම එක මොහොතක් නිකන් ඉන්න කැමති නෑ.... මම කැමති මොනවා හරි වැඩක් කරන්නමයි...."


"සුනිලා හරිම උත්සහ වන්ත කෙනෙක් .....මට ඒ ගැන හරිම සතුටුයි . අපි දැන් එන සුමානෙ කොළඹ ගිහාම කවුද මේ සුනිලගෙ ගෙවල් දොරවල්, කුකුල්ලු, රබර් වත්ත බලාගන්නේ එහෙම ....?


"ඔය ඉන්නේ, අපේ තාත්තා ,අය්යලා මල්ලිලා...ඒ ගැන බය වෙන්න දෙයක් නෑ....ඒගොල්ලො ඒවා බලාගෙන මගේ කොටස කොළඹ එවයි...... දැන් මම කොළඹ යන්න මොනවද ගෙනියන්න ගන්න ඕනේ මහත්තයා......?


"මොනව ගන්නද...? ඇදුම් ටික විතරයි ....අපි දෙන්නා මුලින්ම බෝඩිමක නවතින්න යන්නේ....ගෙයක් ගත්ත දවසක අපු ඔයාගේ අඩුම කුඩුම ටික කොළඹ ගෙනියමු...."


"එතකොට අපි ගිහින් උයාගෙන කන්නේ කොහොමද ?


"නෑ...සිරිදාස කිව්වා, ඒ බෝඩිමේ අපිට තුන් වේලටම කෑම දෙනවා කියලා ...ඒ නිසා ඔයාට කරන්න වැඩක් නෑ....මම වැඩට ගිහාම, ඔයාට තියෙන්නේ , ලස්සනට ඇදගෙන කරගෙන ගෙදර නිකන් ඉන්න ....කෑම බීම ඔක්කොම ඒගොල්ලෝ උයලා කෑම මේසෙට එවනවලු...."


"අප්පේ ...එහෙනම් අපි දෙන්නට ලොකු වියදමක් යයිනේ ඒ බෝඩිමට ...."


"ඒක නම් එහෙම තමයි ....මට ආයෙත් ආන්ඩුවේ නිල නිවාසයක් හම්බ වෙනකම් අපි ඒකෙ ඉමු සුනිලා ..."


"අනේ මහත්තයා ....එහෙනම් මම ගමේ ඉන්නද, ඔයාට නිළ නිවාසයක් ආයෙත් හම්බ වෙනකම්....?


"ම්ම්....මුළින් අපි ටික දවසක් කොළඹ ගිහින් ඉදලා එමු සුනිලා ....ඔයා ආසයිනේ කොළඹ ඉන්න. .....පස්සෙ මට නිළ නිවාසය හම්බවෙනකම් ඔයා මෙහේ ඇවිත් ඉන්න ....ඊට පස්සෙ ඔක්කොම පිලිවෙලක් කරගෙනම අපි කොළඹ යමු ..."


" එහෙනම් අපි අනිද්දා උදේ කොළඹ යන්න ලෑස්ති වෙමු නේද?


"ඔයාගේ ඇදුම් ටික ලෑස්ති කරගන්නකෝ....අපි ඒ ගිහාම, ඔයා කොළඹ නොගිය පැතිවල තව ටිකක් වැඩිපුර ඇවිදමු.... ඔයා යන්න ආසා ගමන් බිමන් යමු...."


"ඒක නම් හොඳ අදහසක්, මට ආසාවේ බෑ කොළඹ ඇවිදින්න යන්න.. ....එතකොට මහත්තයා ඔයාගේ පුතා.....? එයාව කවද්ද අපි අපේ ලඟට ගන්නේ...."


"ඒක තමයි ප්‍රශ්නය ....අපේ අක්කා මාත් එක්ක,කේන්තියට, මගේ පුතාව අපට දෙන එකක් නෑම කියලයි මට හිතෙන්නේ ... ,ඊටත් වඩා, මාළිගෙ අම්මලා, ජයන්තිගෙ අම්මලා මාත් එක්ක තියෙන කේන්තියට දරුවට මොනව කරයිද දන්නේ නෑ.....ආයෙත් දරුවව කළුතර මාළිගෙ මහ ගෙදර ගෙනියය්ද දන්නෙත් නෑ, ......මේ ප්‍රශ්නය නම් සිරිදාස එක්ක කතා කරලම තමයි විසඳගන්න ඕනේ....."


-නැවත හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

1 view0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page