top of page

බැද්දෙ කුමරිය කොළඹ ඇවිත් 16 වෙනි කොටස

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Apr 8, 2022
  • 4 min read

රබර් වත්ත පාමුල තිබූ මැණිකලාගේ ඕවිට බලන්න ගිය ගමන ,මට කවදාවත් අමතක නොවන ගමනකි. පුවක් ගස්, කොස් ගස්වලින් වට වූ ඕවිට වටේට ම දිය අඟලක් ඇත. එම දිය අඟල ඇළක් ලෙස ඕවිට වටේට ගලා බසී. ඕවිටට ඇතුළු වීමට තිබුණේ පුවක් ගස් දෙකක් දමා සාදන ලද පාලමකිනි. ඕවිටේ තැන් තැන්වල පාත්ති සකස් කර එළවළු, මිරිස් වගා කර තිබිණි. බණ්ඩක්කා, වම්බටු, එළබටු සහ ගස්ලබු, නාරං, අඹ, ලොවි යන පලතුරු ගස් ද පලදාවෙන් පිරී තිබිණි. අපි රතු පාට ලොවි ගස අල්ලා සෙල වූ විට රතු පාට ලොවිගෙඩි සටපට ගා බිමට වැටෙන්නට විය.


‘අපි ලුණු දාල ලොවි කමු.*


මැණිකා ඕවිටේ තිබූ පැල තුළට ගොස් ලුණු කැට ගෙනාවාය. අපි අත් දෙකේ අල්ලෙන් ලොවි ගෙඩි හොඳින් මිරිකා ලුණු කැටයක් ලොවි ගෙඩියේ උඩින් ඇතුළට ඔබා ලොවි ගෙඩිය මිරික මිරිකා කන්නට පටන් ගත්තෙමු. ලොවි ඇඹුල් වුණත්, ලුණු දමා කන විට අමුතු රසයක් ඇත.


"ඕවිටේ පැලේ කවුද රෑට නවතින්නෙ"

ඕවිටේ ඇති පිදුරු දමා සෙවිලි කරන ලද වහලයක් සහිත පුංචි දර ළිපක් ඇති කුස්සි මුල්ලක් දැක මම ඇසුවෙමි.


‘‘කවුරුත් නවතින්නෑ. අම්මලා, තාත්තලා ඕවිටේ වැඩ කරන වෙලාවට මේ මැස්ස උඩ තමයි වාඩි වෙලා ගිමන් අරින්නේ. මේ දර ළිපෙන් කහට වත්කර ගෙන බීලා, ගෙදරින් ගෙන එන දෙයක් කන්නෙත් මේ මැස්ස උඩ ඉඳගෙන තමයි. සමහර දවස් වලට මයියොක්ක බතල එහෙම පැල ඇතුලේ තම්බගෙන, ඕවිටේ කොච් මිරිස් වලින් සම්බෝලත් හදාගෙනත් කනවා. ඕවිටේ තියෙන පොල් ගස් වලින් පොල් කඩාගෙන, පොල් කෑලී ගලවගෙන තමයි ඒ වෙලාවට කන්නේ.


‘‘අනේ මට හරි ආසයි මේ පුංචි පැල දැක්කම..."


‘‘අර... අර... අතන තියෙන දිය උල්පතෙන් තමයි අපි ඕවිටේ ඉන්න වෙලාවට වතුර බොන්න ගන්නෙ."


‘‘අනේ මේ දිය උල්පතේ ලස්සන....මට වතුර ටිකක් බොන්න ආසයි."


‘‘අර දිග කෝටුවක් ගහල පොල්කටු හැන්දක් තියල තියෙන්නෙ ඒකෙන් වතුර අරන් බොන්න."


මට එම ඕවිටේ තිබුන හැම දෙයක්ම පුදුම හිතෙන, හිතට සතුටු හිතෙන දර්ශනයන් විය. ඕවිට. ගොඩබිමට වඩා ටිකක් පහලින් වතුර බැස යන්න හදා ඇති ඉඩම් ඕවිට කියා හදුන්වයි. එම ඉඩම් වටා වතුර බැස යන්න සාදා මැද හිස් බිමේ එලවලු අල බතල සිටවන ඉඩම් ඕවිට කියා හදුන්වයි.


රුවන්වැල්ලේ සිට කිලෝමීටර් ගණනක් ඈත ගමක ඉපදුණු මමත් මගේ සහෝදරියනුත් පසුව කොළඹ ටොරිංටන්වල ජීවත් වී, පසුව පියාගේ විශ්‍රාම යෑමෙන් පසු ඇරැව්වල ගමේ පදිංචියට පැමිණ ලබාගත් අත්දැකීම් ජීවිත කාලයටම මතක හිටින සුන්දර අත්දැකිම් විය.



බැද්දෙ කුමරිය කොළඹ ඇවිත්

(16 වෙනි කොටස )

.

ජීවිතයේ අමාරු කාලවල් පසු කරමින්, අත්දැකීම් ලබා ගනිමින් ආ ගමනේ මම අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වී, අ.පො.ස. උසස් පෙළ කිරීමට කොළඹ ගෝතමී බාලිකාවට යන්න ලැබීම මාගේ ජීවිතයේ මා ලද තව විශේෂ අවස්ථාවක් විය. කොළඹ ගෝතමී බාලිකාවේ වාණිජ අංශයෙන් උසස් පෙළ සමත් උනත් සරසවි වරම් නො ලද මම ජීවිතයට බොහෝ අත්දැකීම් එක්කර ගනිමින් වැඩිහිටි බවට පත් වි උන්නෙමි.


ලොකු අක්කා හා පොඩි අක්කා අපොස උසස් පෙළ නිමවා, රැකියාවන්ට යන්න පටන් ගැනිමත්, සමඟ අපට කොට්ටාවේ මාකුඹුර නම් ගමේ පදිංචියට යන්නට ලැබුනේ, මම උසස් පෙළ සමත් වීමත් සමඟය.


අපට කොට්ටාවේ නව නිවසක් මිල දී ගෙන එහි පදිංචියට යන්නට අවස්ථාව ලැබිම මගේ ජීවිතයෙ විශාල වෙනසක් සතුටක් ලැබුන තවත් අවස්තාවකි.. එය ජීවිතයේ තවත් නැවුම් පිටුවක් පටන්ගත් කාල පරිච්ඡේදයක් විය.


රත්නපුර උඩනිරියැල්ල නම් ගමෙන් කොළඹ ටොරිංටන්හි රජයේ නිවාසයටත්, එතනින් ඇරැව්වල නම් ගමටත්, එතනින් කොට්ටාව මාකුඹුර නම් ගමේ ,අපේම කියන ගෙදරක පදිංචියට එන්නට ලැබිමත් මගේ ජීවිතයේ නොයෙකුත් අමතක නොවන සුන්දර ,අසුන්දර කාල පසුකර ආ ගමනක් විය.


කොට්ටාව මාකුඹුරෙන් අපි මිලදිගත් නිවස සාමාන්‍ය ප්‍රමානයෙන් ,තාප්පය ගසා ඇති අලුත්ම නිවසක් විය. ඒතරම් සුන්දර නිවසක මම කවදාවත් නොදුටු තරම්‍ය. කොළඹ ඇවිත් එක දිගටම කුලී ගෙවල් වල ජීවත් උන අපට, අපේම අලුත් ගෙයක පදිංචි වෙන්න ලැබීම හිතට ඇති කර තිබුනේ ලොකු සතුටකි. ඒ මම ඒ ගෙදරට එතරම් ආදරය කල බැවිනි. පුදුම නිදහසක් ඇති එම නිවස අපට මාළිගාවක් බඳු විය. එම ගෙට අලුත්ම බඩුමුට්ටු ගෙන අපට සරසන්නද ලැබින.


කොට්ටාව මාකුඹුරේ අලුත් නිවස අසල නිවාසවල පදිංචි වී සිටියේ විවිධ පැතිවලින් පැමිණ මෙහි අලුතෙන් පදිංචි වූවන්ය. අලුත් නිවාසවලට පැමිණි අලුත් නිවැසියෝ, ඔවුන්ගේ ගෙමිදුල් අලුත් කරමින්, පැළ සිටුවමින්, තාප්ප සකස් කරමින්, අලුත් නිවාසවල තවමත් ඉවර නොවූ වැඩ කරමින් ඉතා කාර්යබහුල දිවියක් ගත කළහ. ඒ අතර නිවාස දහසයේ ම නිවැසියෝ එකිනෙකා හඳුනා ගනිමින් අලුත් මිතුදම් පවත්වා ගන්නට ද උත්සාහ ගත්හ. සියල්ලෝ ම තමන්ගේ අලුත් හිතමිතුරන් සතුටින් හඳුනා ගෙන කතාබහ කළහ.


අපේ ගෙදරට අල්ලපු ගෙදර සිටියේ පිරිමි ළමයින් තිදෙනෙක් හා ඔවුන්ගෙ දෙමවුපියන් ය. අප ගෙදර සිටියේ ගැහැනු ළමයින්ම තිදෙනෙකි. ඔවුන් හා අපි බොහෝ හිතවත් වුයෙමු.


"අලුත් ගෙට ආව නිසා අපි ගෙදර පිරිතක් කියලා ගමේ පන්සලේ හාමුදුරුවරු වඩම්මලා දානයක් දෙමු. අහල පහල අයටත් අපි එන්න කියමු.


"ගෙදර වැඩත් දැන් ඔක්කොම ඉවර නිසා අපි එහෙනම් එහෙම කරමු....."


",දානෙට බඩු ගෙනත් ලෑස්ති වෙන්න ඕනේ නේද..."


"වටපිටාවේ අලුත් ගෙවල් වල අයත් අපට දානෙට බනට උදව් කරන්නම් කිව්වා....ඩොරින් එන්නම් කිව්වා දානෙට කෑම උයන්න උදව් කරන්න ...මොනව උනත් කවදත් අපට, දරුවන්ට ගොඩක් උදව් කල කෙනෙක් එයයි එයාගෙ මහත්තයයි........"


කොට්ටාව මාකුඹුරේ අලුතින් අපි මිලදි ගත් නිවසේ පැවැත්වූ පිරිතට හා දානෙට අවට ගෙවල් වල හැමෝම වගේ සහභාගි විය.


ගොඩක් හොදින් දානේ පිරිතේ වැඩ අහවර විය. අපේ ගෙදර දානේ බනට අල්ලපු ගෙදර සියල්ලෝ ම දැඩි කැමැත්තකින් පැමිණ උදවු කළහ. ගෙවල් දහසයේම සිටි නිවැසියන් සියල්ලෝ ම අප නිවසේ තිබූ පිරිතට හා දානයට පැමිණයහ.


ඒ අතර මා දුටු උස, කළු පිරිමි ළමයා මාගේ හිත ගත් විශේෂ කෙනෙක් විය.


අල්ලපු ගෙදර හිට් අංජු නම් උස, කළු පිරිමි ළමයා..... දුටු පළමු දිනේම මගේ හිත ඔහු හොරා ගත්තේ පුදුම විදිහටය....... ඔහුව මම දුටු මුල් ම දිනය මට තවමත් මතකය.....


ඔහුගේ නම අංජු බව දැනගත්තේ අපේ ලොකු අක්කාගෙනි. ඔහු ගොඩක් උස, කළු, කොන්ඩය පැත්තට පිරා ඇති ආඩම්බර පාට පෙනුමැතිය. මම ඔහුව මුලින්ම දුටුවේ, අපේ අලුත් ගෙදර පදිංචියට යෑමට සුමාන දෙක තුනකට ඉහත දිනකය. අපි ගෙට පදිංචියට පෙර අලුත් ගෙය බැලීමට ගිය දවසක මම ඔහු දුටුවේ අහම්බෙනි...... බෑගයක්ද අතැතිව ගෙවල් පල්ලෙහා පාරේ සිට එන දුටු උස, කළු කොල්ලා දැක හිතට දැනුනේ අමුතු හැඟීමකි.....ඒ ඔහු මට මීට ප්‍රථම කොහේදි හෝ මට හොදින්, දැක පුරුදු බවක් හිතට දැනුණාය. ඔහු දුටු මුල් දවසේ මුල්ම වතාවෙම මගේ හිතට දැනුනේ අමුතු හැඟීම...ඒ නම් සසර පුරුද්දක්මද කියා මට සිතේ.......


‘‘මේ ගෙවල්වල ලස්සන කොල්ලොත් ඉන්නවා."

මම ලොකු අක්කා සමග පැවසුවේ ලැජ්ජාවෙන් උනත් සතුටින්.....


‘‘අපොයි ඔව්. නොම්මර 10 ගෙදර කොල්ලො හතර දෙනෙක්ම ඉන්නවා...ඔය දැන් මෙතනින් ගියේ බාලම පිරිමි ළමයා."


‘‘එහෙනම් එයා හොඳයි චුටිට යාළු කරගන්න....." ඩොරින් ඇන්ටි අපේ ගෙදර ආපු දවසක හිනා වෙලා කිව් හැටි මට තවමත් මතකය.


‘‘ඔය ළඟට ම ඇවිත් ඉන්නෙ....චුටිගෙ වයසත් දැන් හරිනේ, තවම කෙනෙක් හොයාගන්න බැරි වුණු එකේ අර ගෙදර පිරිමි ළමෙක් එක්ක යාළු වෙන්න..... "


ඩොරින් ඇන්ටි එදා විහිළුවට කී දේ කවදාවත් ඉටු වේ යැයි මම සිහිනෙකින්වත් නොසිතුවෙමි.


මාකුඹුර අලුත් ගෙදරට පැමිණ අවුරුදු දෙකකට විතර පසු අල්ලපු ගෙදර අංජු හා මා අතර ආදර සම්බන්ධයක් නොදැනීම ඇති විය.

අහල පහල එහෙ මෙහ් යන එන වෙලාවට අපට කතා,බස් කරන්න ලැබිමත් සමඟ අප දෙදෙනාම නොසිතු ලෙස ආදර වන්තයින් දෙදෙනකු උනේ අහම්බෙනි. ....


අප දෙගොල්ලෝගේම ගෙවල් එක තාප්පයකින් වටවි තිබුන නිසා, අල්ලපු ගෙදර හිටියත් මට ඔහුව දකින්න ලැබෙන්නේ එහෙමත් දවසකය.....එබැවින් ඔහු ඉදහිට ඔවුන්ගේ ගෙදර උස වතුර ටැන්කියට නැඟ , එය සෝදන ආකාරයෙන් අපේ ගෙවල් පැත්ත බලා හිදී...එවැනි අවස්තාවක

මම අපේ වත්තේ සිටිනවා දුටුවොත් ඔහු මට අත වනයි...හිනා වෙයි.....දැසින් මොනවා හෝ කියයි....එසේ පටන් ගත් අපේ ආදර සම්බන්ධය ....අවුරුදු දෙකකට පසු, දෙමව්පියන්ගෙද කැමැත්ත ඇතුවම ආදර සම්බන්ධයක් බවටම පත් විය.


**මීලඟ කොටස අපි චතුගේ ආදරවන්තයා වන අංජුගෙ ජිවිත කතාව තුලින් දකිමු.


*ප්‍රිසිලා ගොඩහේවා.*

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page