top of page
  • Writer's picturePrisila Godahewa

බැද්දෙ කුමරිය කොළඹ ඇවිත්

(15 වෙනි කොටස)

💥සුනිලාගේ බාල දියනියගේ දැක්මෙන් මෙතැන් සිට මේ කතාව බලමු...💥


"අම්මේ දැන් අපේ ගමට යන පාර ලඟද ?


"තව ටික දුරක් යන්න තියෙනවා ළමයෝ ...."


"දැන් නම් හරි මහන්සියි මේ දුශ්කර ගල් ගොඩැලි පාර වල ඇවිදලා....."


"තව ටිකයි ගමට....ඒත් අපි ටිකක්මඟ නැවතිලා ඉඳලම යමු ...."


රුවන්ගම හංදියේ සිට සැතපුම් 4 ක් 5ක් පමණ ගිය පසු හමුවන, අපි ඉපදුන සුන්දර ගම්මානය කඳු වළල්ලකින් වට වූවකි.....කදු වළල්ලෙන් වටවු පහත් බිමේ වී ගොවිතැන ඉතා සරුසාර ලෙස කරන සියලු ගම්වැසියන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය හා රැකියාව වන්නේ ද වී ගොවිතැන ය. ඊට අමතරව ඔවුන්ගේ ආදායම් මාර්ග අතරට රබර්, තේ, කුරුඳු යන වගාවන්ගෙන් ලැබෙන ආදායම ද ඇතුළත් ය. මෙම ගම්මානයේ ජීවත් වන ගොවීහු තමන්ට අවශ්‍ය කරන එළවළු, පලතුරු හා අනෙකුත් භෝග වර්ග තම ගෙවත්තේ හේන්වල වගා කරති. ඔවුන්ට ජීවත් වීමට අවශ්‍ය ප්‍රමාණයට එම භෝග වර්ග ඉතිරි කර ගෙන අතිරික්තය කඩ මන්ඩියේ වෙළෙඳුන්ට විකුණා තමන්ට අවශ්‍ය අනිකුත් දෑ මිල දී ගැනීම මෙහි ජීවත් වන සියලු ගම්වැසියන්ගේ පුරුද්ද ය. ඉතා සශ්‍රීක ලෙස සියලු ගොවිතැන් කටයුතු කරන මේ අහිංසක සුන්දර මිනිසුන් ඉතා නිර්ව්‍යාජ ය. ඔවුන්ගේ ජීවිත ගෙවී යන්නේ ඉතා සුන්දර ව හා සැහැල්ලුවෙනි.


මගේ මවගේ උපන් බිම වන මෙම ගම්මානය මගේ ද උපන් බිම වීම විශේෂයකි. මා ඉපදී මාස 09ක් වැනි කාලයක දී මගේ පියාට කොළඹ ටොරිංටන්වලින් ලැබුන රජයේ නිල නිවාසය ලැබෙනතෙක් අප ජීවත් වී ඇත්තේ එහි ය. මාගේ වැඩිමහල් සහෝදරයා එම ගමේ පාසලට ගොස් ඇති අතර, එවක තාත්තා රැකියාව කර ඇත්තේ කොළඹ ය. එබැවින් තාත්තා අප බැලීමට ගමට ඇවිත් ඇත්තේ සෑම මාසයක ම අවසානයේය. තාත්තා‍ගේ ගම අම්බලන්ගොඩ වූ අතර, තාත්තා අම්මාව කසාද බැන්ද පසු ද, අම්මා ඇයගේ රත්නපුර නිවසේ ම පදිංචි වී ඇත. තාත්තා සුපුරුදු ලෙස රැකියාව කිරීමට කොළඹ නැවතී ඇත. දරුවන් තුන්දෙනෙක් සමඟ තනිව කොළඹ පදිංචියට යෑමට අම්මාගේ තිබු අකැමැත්ත නිසා ඇය ඇයගේ ගමේ දෙමවුපියන් ළඟ ම නැවතී ඇත. එබැවින් මාත්, සහෝදරයන් දෙදෙනාත් උපත ලබා ඇත්තේ මවගේ ගමේ දී ය. මා ඉපදී මාස නවයක් වැනි කාලයක දී තාත්තාගේ පහසුව සඳහා ඔහුට රජයේ නිල නිවාසයක් ලැබීම හේතුවෙන් අප කොළඹ පදිංචියට ගොස් ඇත. අපේ පදිංචිය ඉන් පසු කොළඹ ටොරිංටනය විය. අම්මා කොළඹ ජීවිතයට ඉක්මනින් ම පුරුදු වී ඇත.


පාසල් නිවාඩු කාලවලට අප අම්මාගේ ගමේ යන්නේ ඉතා ආසාවෙනි. අපි එහි ගිය විට මාසයක පමණ කාලයක් එහි ගත කරන්නෙමු. ගමේ යන්නට අම්මා ලකලෑස්ති වෙන්නේ සුමාන ගණනක සිටය. අප ද අපේ ඇඳුම් පොත්පත් පවා අරගෙන ගමේ යන්නට ලෑස්ති වෙන්නේ කොළඹ ගෙවන ජීවිතයෙන් මිදී කැලේ, දොළේ, වෙල් එළිවල ගමේ ළමයින් සමඟ ගත කරන්නට ලැබෙන, නිවාඩු කාලයේ නිදහස උපරිමයෙන් ම ප්‍රයෝජනයට ගන්නට ය.


‘‘අම්මේ මොනවද අපි ගමේ අයට ගෙනියන්නේ?


‘‘මං ලොකු පොල් කේක් එකක් හැදුවා. තව කැවුම් ටිකකුත් හදාගත්තා. යන ගමන් බිස්කට් පැකැට් ටිකක් ගෙනියමු. ගෙවල් කීයකට නම් බෙදන්න තියෙනව ද?


‘‘ දැන් අපි හෙට උදේ කීයට ද ගමේ යන්න බස් එකට යන්නේ?


‘‘ මෙහෙ ඉදන් උදේ පහේ බස්සෙකේ යමු. එතකොට උදේ හයට තියෙන රුවන්වැල්ලේ යන බස්සෙකට නගින්න පුළුවන්. "


‘‘අපි රුවන්වැල්ලේ ටවුන් එකෙන් උදේට කනව නේ ද?


‘‘බලමු..... මං සීනි සම්බෝල දාල පාන් ටිකක් හදාගෙන යනවා. බස් එකේ දී බඩගිනි වුණොත් කන්න."


අම්මා අපට කන්න බොන්න අවශ්‍ය හැම දෙයක් ම ගෙනියන්න ලෑස්ති කර හමාර ය. අපි ගමේ යන්න උදේට එළිවෙනකම් බලා ඉන්නේ පුදුම ආසාවකිනි. ඒ අවුරුද්දකට එකපාරකට වඩා අම්මාගේ ගමේ යන්නට නොලැබෙන නිසා ය.


අපි උදේ හයට රුවන්වැල්ල බලා යන බසයකට ගමන් කරන්නෙමු. ඇතැම් දවසට අපට කොළඹින් රුවන්වැල්ලට යනතෙක් ඉඳගන්නට ආසන නොලැබෙන අවස්ථා ද ඇත. සමහර දවසට අප තුන්දෙනාටත්, අම්මාටත් ඉඳගන්න ආසන ලබා දෙමින් තාත්තා හිටගෙන රුවන්ගමට යන තෙක් අවස්ථා බොහෝ ය. බස් එකක එක ළඟ ආසන වල අපට ඉඳගන්න අවස්තා ලැබුණේ එහෙමත් දිනකය. එහෙම යන අපට අම්මා, උදේට කන්න ගෙනියන දෙයක් කෑමට එළියට අරන් දෙයි. බොහෝ විට උදේට අප මොනවා හෝ කා බී ගෙදරින් එළියට බසින්නේ රුවන්ගමට යනකම් සමහර විට අපට කිසිම දෙයක් කෑමට අවස්ථාවක් ද නොලැබෙන නිසා ය. ඒ තරමට මිනිසුන්ගෙන් පිරී ඉතිරී ඇති බසය තුළ කෑමට යමක් තිබුණත් කැමට අවස්ථාවක් නොලැබේ.


උදෑසන නවය පමණ වනවිට අපට රුවන්වැල්ලට ළඟා විය හැකිය. අපි රුවන්වැල්ලේ ටවුමේ තියෙන හෝටලයකට ගොස් ඉඳිආප්ප හෝ මාළු පාන්, කට්ලට් වැනි දෙයක් කා, උදේට තේ බොන්නෙමු. ඉන් පසු රුවන්ගම යන බසය එනතෙක් කල්මරන්නේ ඉතා නොකැමැත්තෙනි. පොල් පටවන්නා සේ බසයට මිනිසුන් පටවාගෙන යන එම බස් රථය, මා ජීවිතේට දැක ඇති වැඩිම මිනිසුන් ප්‍රමාණයක් පටවාගෙන යන ලංගම බස් රථයයි. එම බසයෙන් අප බසින්නේ ඉහෙන් කනින් දාඩිය දාගෙන, බාගෙට මැරුණු මාළුවන් ලෙස ය.


‘‘බස් එක ආපු ගමන් නැගලා සීට් එකක් අල්ල ගන්න. නැත්නම් දිගට ම යන්න වෙන්නෙ හිටගෙන."


තාත්තා අපට කියන්නේ බස් එක බස් නැවතුමට එන්නටත් ප්‍රථම ය.


“ රුවන්ගමට යන බස් එක දැන් නම් ගිහිල්ලා ඇති. අපට දැන් ගමට යන්න වෙන්නේ කෑලෑ පාරෙන් තමයි. නැත්තම් තව පැය දෙකක් යනවා අනිත් බස් එක එන්න. එතකම් අපිට සමූපකාර කඩේ ළඟ ඉන්න වෙනවා.” ආම්මා අත්දැකීමෙන් කියයි.


අපේ ගමට යන්නට ඇත්තේ එකම බසයකි. එයත් පැය දෙකකට සැරයක් ගමට යන්න තිබෙන බසයකි.


“අපි කෑලෑ පාරෙන් ගමට යමු. අපට දොළ ළඟ ටික වේලාවක් ඉඳලා කෑලෑ පලතුරුත් කඩාගෙනම යන්න පුළුවන්” ලොකු අය්යා පුරුදුකාරයෙක් ලෙස කියයි. මටත්, පොඩි අය්යාටත් ගම ගැන ඒ තරම් මතකයක් නැත.


“ඔව්, ළමයින්ට ගමේ ලස්සන දැක ගන්නත් පුළුවන්. අපි කැලෑ පාරෙන්ම යමු” තාත්තාද කියයි.

බසයෙන් බැස අප ගමන් ආරම්භ කරන්නේ ලොකු කුඹුරු යායක් මැදින්ය. කුඹුරු යාය වට වී ඇත්තේ කඳු යායකිනි. කුඹුරු යාය මැදින් වැටී ඇති පාර දිගේ යන විට අවට දකින්න ඇති දර්ශනය මා ඉතා ආසාවෙන් දැක්ක, වින්ද ස්වාභාවික සෞන්දර්ය අතින් ලස්සන ම දර්ශනයකි. කිසිම ශබ්ද බද්ධයක් නැති පාරේ නොයෙකුත් කුරුල්ලන්ගේ මිහිරි නාදවලින් හා වේලේ වක්කඩවලින් වැටෙන වතුර ශබ්දය විතරක් අවට මුළු භූමිය පුරා ම විහි දී යයි. වෙල මැදින් ඇති පාර අවසන් වන්නේ පොල් කොටන් යොදා සාදා ඇති පාලමෙන් ය. ඊට යටින් මහා වතුරක් ගලා බසි. අපි පොඩි කාලායේ තාත්තා ගම ආ දිනක, මහ රෑ වැස්සේ මෙම පාලාමෙන් වැටි, වතුරට වැටුනු කතාවක් අම්මා කිව්වා තවමත් මට මතකය. අම්මට අපිට තාත්තා කොළඹින් කන්න ගෙනාපු කේක්, පාන් බනිස් ඔයේ පාවි ගිය හැටි ,මේ වතුර දිහා බලාගෙන සැමදා මෙතනින් යන කල සිහියට එයි.


එම පොල් කඳක් දමා හදා ඇති පාලමෙන් එගොඩ වූ විට, ව්ශාල මැංගුස් වත්තක් මැදින් ගමට යන පාර පෙනෙන්න ඇත. මැංගුස් වත්ත අවට කළුවර අඳුරු බවක් පැතිර ගොස් ඇත. විශාල මැංගුස් ගස්වල අඳුරු සෙවණැලි නිසා ඒ අවටින් යන විට හිතට බයක් ද දැනේ.

ගමට යන අතරමග ,ඉඳහිට මගදි හමුවන ගමේ මිනිසුන් අප එන විට පාරේ පැත්තකට වී ඉඩ දෙන්නේ ගමට එන අමුත්තන් කවුරුදැයි අසන්නට මෙනි. පාර දෙපැත්තේ ඇති ඉඳහිට දකින්න ලැබෙන කටුමැටි ගසා තනා ඇති ගෙවල් ද, තේ වතුවල හා අවට රබර් වතුවල වැඩ කරන දෙමළ මිනිසුන්ට සාදා ඇති ලැයිම් පේලිය ද මා හට අමුතුම හැඟීම් දැනෙන ප්‍රදේශයකි. පැයකට වරක් ගමට යන බසය මග හැරුනොත් කිලෝමීටර් හතරක් පමණ පයින් ඇවිදගෙන යා යුතු මගේ මවගේ ගම කවුරුන් විසින් සොයා ගන්නා ලද්දැක්දැයි මා හට, ගමට යන හැම දිනක ම සිතට නැගෙන්නකි. කුඹුරු යායට උඩින් ගොස් කැලෑව මැදින් වැටී ඇති ගමට, ඒ පාරේ බස් ගමනාගමනය නොකරනවා වගේ ම, එම ගමට විදුලිය ද නොමැති බව මතක් කළ යුතු ය.


‘‘දැන් තව ටිකක් යනකොට අක්කර 50 රබර් කෑල්ල හම්බ වෙනවා. ඊට පස්සෙ ඉතිං ගමට ළඟයි."


තම නෑදෑයන් බැලීමට ඇති ආශාවත්, තමන් හැදී වැඩුණු පරිසරයට ආ විට දැනෙන සතුටත් සමග අම්මා කතා කරයි.


අක්කර පනහේ රබර් වතු යාය මැදින් වැටී ඇති ගමට යන පාර ඇත්තේ කැලෑවක් මැදින් ය. කළුගල් තලා, පුංචි දියඅගල් පසුකර යන විට, ඇතැම් අවස්ථාවල වළි කුකුළන්, වඳුරන්, හාවන් වැනි පුංචි පුංචි සතුන්ද අපට දකින්නට ලැබේ. වෙරළු, පලු, අඹ, අන්නාසි වැනි පලතුරු ගස් ද මග දිගට දක්නට ඇත. අම්මා අපට ඒවායේ පලතුරු කඩා දෙන්නේ ඉතා පුරුදුකාරියක් ලෙස ය. අම්මා බාඳුරා මල් වැල්වල ඇති බාඳුරා මල් කඩා, එහි කෙණ්ඩිය විවෘත කර, ඒවායේ වතුර අපට බීමට දෙයි. අප ඒ දෙස බලන්නේ අකැමැත්තෙනි. කවදාවත් බාඳුරා මලක ඇති වතුර මා නොබොන්නේ ඇතැම් විට එහි දක්නට ලැබෙන පුංචි කෘමීන් නිසා ය.


‘‘මට නම් දැන් මහන්සියි. අපි ටිකක් මේ ගල් තලාවේ වාඩි වෙලා ඉඳලා යමුද ?


තාත්තාට මේ ගමන ඉතා අමාරු ගමනකි. පුංචි අපට නම් අවට සිරි නරඹමින් කැලෑ ගෙඩි කමින් යන ගමන ඉතා විනෝදකාරී ය.


‘‘ඉන්න මං ඔයාට පොල්කේක් කෑල්ලක් දෙන්නම්. කාලා වතුර ටිකක් බීලා යමු. එතකොට මහන්සි ඇරෙයි. "


අම්මා ගෙදරින් ගෙනෙන ලද පොල්කේක් කෑලි අපට බෙදා දෙයි. ඒවා කා අප කැලේ මැදින් ගලා එන දිය පාරවල් , පුවක් ගස් වල කඳන් යොදා සකසා ඇති දිය පීල්ලකින් කට තියා වතුර බොන්නේ ඉතා ආසාවෙනි. අපට හුරු පුරුදු නැති කුරුල්ලන්ගේ මිහිරි නාද, ගස් අතු අතරින් පැන පැන යන වඳුරන් ගමට අලුතින් එන නෑදෑයන් කවුරුන්දැයි බලමින් අපට දත් විලිස්සා යන අන්දම දකින්න ලැබෙන ලස්සන ම දසුනකි. රබර් වත්තත්, කැලෑවක් අතරින් යන අපට ලොකු දොළක් මුණගැසේ. එම දොළට කඩාවැටෙන පුංචි දියඇල්ල ළඟ රෑට හොල්මන් තිබෙන බව අම්මා මීට ප්‍රථම කියා ඇති බැවින් අප ඒ අවටින් යන්නේ හිතේ බයෙනි. හුඟ කාලෙකට ප්‍රථම කැලෑව මැදින් වැටී තිබූ මෙම පාර අයිනේ දොළ ළඟ මැරී වැටී සිටි ගැහැනියකගේ අවතාරය හඳ ඇති රෑට හොල්මන් කරන බව ගමේ මිනිසුන් කියන්නකි.


‘‘අම්මේ ඇත්තද මේ හරියේ හොල්මන් තියෙනවා කියන්නේ?


‘‘ඒ ඉස්සර, දැන් ඉතිං පාරවල් හැදිලනේ.”

අම්මා අප බය වේයැයි, කියා ඒ ගැන කියන්නට කැමති නැත.


‘‘ලොකු අම්මා කිව්වා රෑට මේ හරියෙන් ගමන් යන තනි පිරිමි අයගේ ඉස්සරහින් පහනක් අරන් ඒ අවතාරය යනවලු.... ගමට යන කවුරුහරි කියල හිතාගෙන මිනිස්සුත් ඒ පස්සෙන් ගියොත් මේ දොළ ළඟට තමයිලු අවතාරය ඒ එන කෙනාව එක්ක එන්නෙ.... ඊට පස්සෙ දොළ පල්ලෙට තල්ලු කරනවලු.” ලොකු අය්යා එය ඇති සැටියෙන් කියන්නේ අපව බය කරන්නට ය.


කැලෑ පාර දිගේ යන අපට අම්මාගේ ගම ලඟ ලඟ දකින කොට, ඇතිවන්නේ සතුටකි. එහෙන් මෙහෙන් දකින්නට ලැබෙන උළු සෙවිලි කළ පුංචි ගෙවල්, උයන ගෙවල්, රබර් තැටි දමන ගෙවල් මෙන්ම වෙන වෙනම සාදා ඇති ගෙවතු ද දක්නට ලැබේ. ගෙවල් වතු වටකර වැටවල් සාදා ඇත්තේ මඤ්ඤොක්කා, වැටමාර ගස්වලින් හා මුරුංගා ගස්වලිනි. ගස්ලබු, මිරිස් ආදීය වගා කර ඇති ගෙවල්වල මිදුල් දකින්නට ලස්සන දසුන් ය. ගමට ඇතුළු වූ වේලාවේ සිට මුණ ගැසෙන ,දකින දකින කෙනා අම්මා සමඟ හිනා වී කතා කරති.


"ආ පොඩි අක්කේ, ආ නැන්දේ, ආ දුවේ ගමේ ආවද?

මුණ ගැගැසෙන හැම කෙනාම නෑදෑකම් කියමින් අම්මා සමඟ කතා කරන්නේ සතුටිනි. පුංචි අප දෙස බලා දත් කහට වැටුණු වයසක උදවිය අපේ ඔළුත් අතගායි.


"මේ පුංචි දුව ද? ආ... ලොකු පුතා නම් දැන් ලොකුයිනේ. ඈ පුතේ දැන් කොළඹ ඉස්කෝලේ කීයෙ පන්තියේද පුතා ඉන්නේ....? කොහොමද කොළඹ ඉස්කෝලෙ හොඳ ද? ලොකුද ?


දකින හැම කෙනා ම අසන්නේ එකම ප්‍රශ්න වැලකි. ඒ අය ලොකු අය්යාවව හොදින් හඳුනයි. මායි, පොඩි අය්යාවයි කාටවත් වැඩිය මතක නැති ගානය.


"අම්මේ අර තියෙන්නේ අපේ ගෙදර නේද...? අර ජම්බෝල ගහේ ගෙඩ් පිරිලා, කනේරු කහ මල් ගහේ මල් පිරිලා ලස්සනේ බෑ....අර පැණි දොඩම් ගහෙත් ගෙඩි පිරිලා, අපි යනකොට කඩාගෙන යමු. "


"අම්මේ අපි අපේ ගෙදර නවතිමුකෝ...."


‘‘අපේ ගෙදර කාලයක් තිස්සේ වහල දාල තිබුණු නිසා දැන් පිරිසුදු කරන්න වෙලා ඇති. අපට ඒකෙ අද නවතින්න බැරි වෙයි. අපි අද තේමිස් මල්ලිලාගෙ ගෙදර නවතිමු. "


අම්මා අපි ගමේ හිටිය කාලයේ නැවතී සිටි අපේ ගෙවත්තට අපිව බලන්න එක්ක ගියාය. මට එම ගෙය මතක ඇත්තේම නැත. අප කොළඹ ගිය පසු එම ගෙය වසා දමා ඇති බැවින් එය දැන් ගොඩක් පරණ වී ඇත. ගෙය අවට වත්තේ ඇති දොඩම් ගස්, පළතුරු ගස් වල ගෙඩි පිරී ඇත. ගෙට පල්ලෙහායින් ඇති දිය උල්පත ළඟ ඇති පුංචි ළිඳයි, දියපාරයි අම්මා අපට පෙන්වයි. දිය බුබුළු දම දමා උඩට එන,පිරිසිදු වතුර ලිඳ උතුරා පහලට,ගලා යයි....


"ඒ දවස්වල මේ ළිඳෙන් තමයි අපි වතුර ගත්තේ බොන් නේ නාන්නේ ඔක්කොම කරන්නේ...." ලොකු අය්යාට ඔක්කොම මතකය.


රබර් වතුයායකින් වට වූ අපේ ගෙදර හරිම ලස්සන තැනක පිහිටා ඇත. කහපාට, රතුපාට හෙන්දිරික්කා මල් වත්තේ හැම තැනම පිපී ඇත. ඒවා අම්මා ඉන්නා කල හිටවන ලද ඒවා බව ඇය,කිවාය.

‘‘ආ.. නංගියේ කුරුම්බා ගෙඩියක් බීලම හිටිය නම්.... මේ දරුවන්ට දැන් තිබහත් ඇති නෙව..."


අල්ලපු වත්තේ පදිංචි වී සිටින පාල මාමා හෝ දියෙස් මාමා අපට කුරුම්බා කපා බොන්නට දෙන්නේ ගෞරවයෙනි..... අප ඒවා එක හුස්මට බොන්නේ මගදිගට ඇවිද ගෙනවිත් ඇති මහන්සියට ය.


‘‘කුරුම්බා ලොඳත් තියෙනවා. ඉන්න මං කපලා දෙන්නම් පුතාලට "


ගල් වැටියක් උඩ හෝ ලී බංකුවක් උඩ හෝ ගහක් යට ඉඳගෙන අපි කුරුම්බා වතුර බී, ලොඳ කන්නෙමු.


‘‘නංගිලා අද එනවා කියල තේමිස්ලට , මංගෝ හාමිනේට කිව්වද?


‘‘ඔව්.... ඔව්... අපි අද එනවා කියල මං ලියුමක් දැම්මා."


‘‘ආ.... එහෙනම් තේමිස්ලා අක්කලාට දවල් කෑම හදල ඇති නොවැ...."


‘‘ඔව්, මල්ලියෙ අපි එහෙනම් යන්නම්. මං මේ ළමයින්ට අපේ ගේ පෙන්නුවා. දැකල මතක තියෙන එකක්යැ පොඩි දෙන්නට. අපි මේ කාලකින්නේ ගමට ආවේ..."


‘‘ඒක නේන්නම් නංගියෙ, ළමයි තුන්දෙනා දැන් හුඟක් ලොකුයිනේ."


තේමිස් බාප්පලාගේ ගෙදරට යනකම් අපට අම්මාගේ නෑදෑ වන ගෙවල් දෙක තුනක් ම මගදිගට නවතින්නට වෙයි. ඒ හැම ගෙයක් ළඟම නැවතී ආ ගිය තොරතුරු කතා කරකර ඉද යන්නටද වෙයි.


‘‘තේ වතුර ටිකක් බීලම යන්න නංගියේ...." ඔවුහු අප දෙස බලා කතා කරන්නේ සතුටිනි.


‘‘මේ දැන් පාල මල්ලිලාගෙ ගෙදරින් කුරුම්බා බිව්වා. අපි හෙට දිහාවට මේ පැත්තෙ එන්නම්කෝ. මාසයක් විතර මේ පාර ගමේ ඉන්නවා. දරුවන්ට ඉස්කෝලේ නිවාඩුනේ.*

‘‘ආ... හොඳයි. නංගියේ එහෙනම් ගිහින් එන්න. "


මඟ දිගට දන්න අදුනන අය සමඟ කතාවට නැවතෙමින් අපි තේමිස් බාප්පලාගේ ගෙදර එන විට දහවල්ද පසු වෙයි. අප ගමේ ආ විට නවතින්නේ තේමිස් බාප්පලාගේ ගෙදර, ලොකු අම්මලාගේ ගෙදර හෝ ජයන්ත නැන්දලාගේ ගෙදර ය. අපි අපේ ගෙදර නොනැවතෙන්නේ, එය අලුත් වැඩියා කරන්නට වී ඇති බැවිනි


අප ගමට ආ බව ගම පුරා පැතිර යන්නේ හරිම ඉක්මනට ය. අප බැලීමට අම්මාගේ නෑදෑයෝ තේමිස් බාප්පලාගේ ගෙදරට එති. ඒ එන විට අපට කන්නට හා නැවත යන විට ගෙන යන්නට ගමේ පලතුරු එළවලු ගෙනත් දෙති. නැති නම් අපට කන්නට දෙන ලෙස කියා මී අබ, රබුටං, ගඩිගුඩා, අල වර්ග, දෙල්, හතු වැනි දෑ ද ගෙනැවිත් මංගෝ නැන්දට දෙයි. අම්මාගේ නෑදෑයෝ ඉතා අහිංසක, නිර්ව්‍යාජ, හොඳ ගතිගුණ ඇති පුද්ගලයන් ය. ඔවුන්ගේ කතාබහ ඇසීමට මා ඉතා කැමැති ය.


‘‘නංගියෙ එහෙනම් ළමයි එක්ක ඇල්ලට ගිහින් මූණකට හෝදගෙන එන්න....මම කෑම ටික මේසෙට අරින්නම්. දැන් මහන්සිත් ඇති නොවැ.....තේමිස් බාප්පා හෝ මංගෝ නැන්දා අම්මට කියයි.

අපි අපේ ඇදුම් බෑග් කාමරයෙන් තබා තුවාය, සබන්, බාල්දි රැගෙන මංගෝ නැන්දලාගේ ගේ පිටිපස්සෙ ඇති දිය පීල්ලට ගොස් මූණකට හෝදාගෙන හෝ නා ගෙන ගෙදරට එන්නේ හොඳට ම බඩගිනි වීය.


‘‘ගමේ හැම දෙයක් ම හොඳයි, කූඩැල්ලො තමයි මට පේන්න බැරි."


‘‘අනේ ඇත්තමයි මට කූඩැල්ලො දකින්නත් අප්පිරියයි, බයයි..."


"එළියට යනකොට සබන් කෑල්ලක් කකුල් දෙකේ ගාගෙන යන්න. එතකොට කූඩැල්ලො කකුල්වල එල්ලෙන්නෙ නෑ.


තේමිස් මාමයි, මංගෝ නැන්දයි අපට දවල් ආහාරයට අඬගසන පරක්කුවෙන් අපි කෑම මේසය ළඟට යන්නෙමු. එහි රතුහාල් බත් උයා, කිරි කොස් මාළුවක්, කරවල බැදුමක්, හතු මාළුවක්, ඇබරැල්ලා හෝ අඹ මාළුවක් ,ගොටුකොළ සම්බෝලයක් වැනි දෑ ඇත. කුරුඳු දර දමා, දර ළිපේ උයා සකසා ඇති ගමේ කෑම අප බඩකට පුරා කන්නේ ඉතා ආසාවෙනි. (ඔවුන්ට කුරුඳු ඉඩම් තිබෙන බැවින් ඔවුහු ළිපට දැමීමට කුරුඳු පොතු ඉවත් කළ ලී කෝටු ප්‍රයෝජනයට ගනියි. එම දර දමා උයන විට හොඳ සුවඳක් සේම කෑමද රසවත් වෙයි.)


දවල්ට කෑම කා ටිකක් ගිමන් නිවාගන්නා අප, හවස් වරුවට ලොකු අම්මලාගේ ගෙදර, පාල මාමලාගේ ගෙවල් පැත්තේ යන්නේ අම්මා කොළඹින් එන විට ගෙනා ආ පැණි රස කෑම ජාති ද රැගෙන ය. සමහර දවස්වලට අම්මා ඔවුන්ට සරමක්, චීත්ත රෙද්දක්, ළමයින්ට ගවුම් කලිසම් ද ගෙන එයි. අප ඒවා ඔවුන්ට බෙදා දෙන විට ඔවුහු ඒවා දෝත බදා ආසාවෙන් පිළිගනිති. හවසට ගමේ නෑදෑ ගෙවල්වල ඇවිදින්න යන අපට හැම ගෙදරකින් ම තේ බොන්නට දෙයි. තේ බොන්න පැණි රස කෑමක් හෝ කිතුල් හකුරු වරදින්නේ නම් නැත. මේ ගමේ මිනිසුන්ගේ තවත් ආදායම් මාර්ගයක් වන්නේ, කිතුල් හකුරු වෙළෙඳාමය. එබැවින් හැම ගෙදරකම වාගේ කිතුල් හකුරු වරදින්නේ නැත. අපට තේ බොන්නට සමහර ගෙවල්වලින් කිතුල් හකුරු භාගයක් හෝ කාලක්ම අපේ අතට දෙයි. අප තේ එක, එක හුස්මට බී කිතුල් හකුරු පළුව කන්නේ පස්සේ ය. සමහර දවස්වලට අපට කිතුල් හකුරු කෑ විට මත්වෙන ගතියක් ද දැනේ.


‘‘මේ මං හැලප හැදුවා, නංගිලා ආවා කියල ආරංචි වුණ ගමන් ම. උණු උණු හැලප කන්න...."


‘‘බඩේ ඉඩක් නෑ අක්කේ...., දැන්. ඒ වුණාට නොකාත් බෑනේ අක්කලා අපට ම කියලා හදපු නිසා."


අම්මා අකැමැත්තෙන් වුවත් හැලපයක් දිග ඇරගෙන කන්න පටන් ගයි.


‘‘අද රෑට නංගිලා කොහෙන්ද කෑම කන්නේ ? හෙට දවල්ට අපේ ගෙදර කන්න එන්න. අපේ එක්කෙනා දඩමස් වගයක් ගෙනාවා. හෙට දවල්ට මං දඩමස් හදලා මඤ්ඤොක්කා තම්බලා තියන්නම්."


‘‘කාලෙකින් දඩමස් කන්න හම්බ වුණේම නෑ." තාත්තා ද කතා කරයි.


‘‘අපි එහෙනම් යනවා අක්කේ. හෙට දවාලට මේ පැත්තෙ එන්නම්කෝ..."


ඉන් පසු අප යන්නේ ලොකු අම්මලාගේ ගෙදරට ය. ලොකු අම්මලාගේ ගේ අවට ලොකු කළුගල්තලාවක් හා පොඩි පොඩි ගල් වැටී ඇත. ගෙය පිටුපස්සේ ඇති විශාල කළුගල්තලාවේ ලොකු අම්මා ගොරකා, කොස්, දෙල් ආදිය වේලා ගැනීම කරයි. ගෙට පැත්තකින් ඇති ගල්තලාව උඩට නැගගන්නා අපි, ඊට පල්ලෙහායින් ඇති පාරවල්, ගෙවල්, ඈත කඳුවැටි දෙස බලාගෙන සවස් වෙනකල් කාලය ගත කරන්නෙමු. ගල්තලාව යට ඇති පැෂන් ෆෘට් වැල්යායේ ඇති ගෙඩි ගණන් කරන්නට බැරි තරම් සාරෙට සෑදී පල දරා ඇත. අනිවාර්යයෙන් ම අපි කොළඹට යන විට ලොකු අම්මා පැෂන් ෆෘට් හා වත්තේ අහම්බෙන් තැන් තැන්වල සෑදී ඇති මුරිසි අන්නාසි, නැව් අන්නාසි, ගල් අන්නාසි ආදිය කඩා පොදි බැඳ දෙන්නේ අපට කොළඹ ගෙනහින් කන්නට ය.


ගමේ ආදා සිට අම්මාගේ නෑදෑ ගෙවල් වල අපි යන්නේ සතුටිනි. ඒ යන එන හැම තැන් වලින්ම අපට කන්ඩ බොන්ඩ අඩුවක් නැතුවම ලැබෙයි. ගමට ආවේනික ඈම බීම, පළතුරු එළවලු අපි රස කර කර කන්නෙමු.


"අද හවසට අපි කොහේද අම්මේ යන්නේ ?


"අපි අද හවස ලොකු අම්මලාගේ ගෙදර යමු. "


හවස් වරුවේ අපි ලොකු අම්මලාගේ ගෙදර ගොස්, එහි කන්ද උඩට වෙන්නට ඇති ගමේ පාසැලටද අපි යන්නෙමු. ඒ වේලාවට පාසල වසා ඇති බැවින් අවට ඇත්තේ පුදුම පාළු බවකි. ලොකු දිග ශාලාවක් ඇති ගමේ පාසලේ එකම ගොඩනැගිල්ලේ පාසල පවත්වා ගෙන යයි. එහි ඇති කෙටි බැම්ම ළඟට ගිය විට අපට එහි පන්ති වෙන් කර ඇති අයුරු පෙනෙයි. ඒවා කළු බෝඩ්වලින් වෙන් වී ඇත. පස් වෙනි පන්තියට වෙනකම් පන්ති පවත්වාගෙන යන මේ පාසලේ ඇත්තේ ගුරුවරුන් තිදෙනෙකු පමණි. ගමේ දුවා දරුවන් තමන්ට තියෙන පාට ඇඳුමකින් සැරසී ගමේ පාසලට එන බවත්, ඔවුන්ට දවල්ට කන්නට බිස්කට් බෙදා දෙන බවත් පැවසුවේ ලොකු අම්මාගේ පුතාය. කන්ද උඩ පාසැල් වත්තෙ එළවළු හා අල වර්ග වගා කර ඇත. ඒවා පාසලේ ළමයින් විසින් කරන ලද බව ලොකු අම්මා පැවසුවාය. ඇයගේ සැමියා එම පාසලේ මුල් ගුරුවරයා වෙයි.


‘‘එන්න අපි ඉස්කෝලේ පීල්ල ළඟට යමු....සීතල වතුර ටික ,කන්දෙ උඩහ ඉඳන් එන්නේ......"

ලොකු අම්මාගේ පුතා සුනිල් අපට කතා කළේ ය.


‘‘ආනේ හරිම ලස්සනයි.මේ දිය පීල්ල..."


කඳු යායත්, අවට කැලෑවෙනුත් වට වී කඳු මුදුනේ තිබූ පාසල පිටුපස මෙම දිය පීල්ල ඇත. එය පාසලේ ළමුයින්ට දිය බීමට ඇති දියපීල්ල ය. අපි එහි ඇති සීතල වතුර දෝතට ගෙන රස බැලුවෙමු


‘‘හරිම පිරිසුදු වතුර. කන්ද උඩ තියෙන උල්පතකින් පුවක් ගස් කපා දමා තමයි මෙතැනට වෙනකම් වතුර ගෙනත් තියෙන්නේ. "

සුනිල් මල්ලි ,අපට පීල්ල ගැන පැහැදිලි කර දෙයි.


‘‘රෑ වෙන්න ආවා, අපි ගෙදර යමු."


අපි ලොකු අම්මාගේ ගෙදරට යන විට එහි චිමිනි ලාම්පු හා පැට්ට්‍රෝල් මැක්ස් ලාම්පුවක් එල්ලා ගෙය එළිය කර තිබිණි. මේ ගමට තවම ලයිට් නැත. ඔවුහු චිමිනි ලාම්පු, භූමිතෙල් ලාම්පු ආදිය පත්තු කර රාත්‍රීයට එළිය ලබා ගනිති. රෑට වේලාසන කෑම කන ඔවුන්, රාත්‍රී අට, නවය වනවිට සියලුම දෙනා, නිදියන්නට යති. දවල් දවසේ වත්තෙ පිටියේ, හේනෙ කුඹුරේ වැඩ කර මහන්සි වන ඔවුහු, පසු දින වේලාසනින් නැගිට නැවත වැඩ පටන් ගනිති.


‘‘ලොකු අම්මේ හොද කෑම සුවඳක් එනවා මොනවද උයන්නේ...?


‘‘මං මේ මස් හොද්දක් හදලා, පොල් රොටි හැදුවා. කොච්චි මිරිස්වලින් හදපු ලුණු මිරිසුත් තියෙනවා . තව දවල් බත් එහෙමත් තියෙනවා. දෙල් උයලා ඇඹරැල්ලා මාළුවක් එක්ක හතු මාළුවකුත් තියෙනව, කැමැති විදිහකට කන්න පුළුවන්...."


"අපේ මහ ගොඩක් ජාති තියෙන්නේ ...."


‘‘හෙට උදේට මං හල් පිට්ටු හදන්න කියල, ගාපු හල් දියේ දැම්මා පීල්ල ළඟ ඇති..... හෙට උදේ වෙනකොට ගාපු හාල්වල තිත්ත ගිහින් තියෙයි."


ගමේ සිටින කාලවල දී අපට උදේට කන්නට ලැබෙන්නේ අල, බතල වර්ග, රොටි, පිට්ටු වැනි දෑ හෝ පොල්සම්බල සහ රතු බත් ය. එවෙලේ ම ගහෙන් කැඩූ දෙහි දමා, වත්තේ කොච්චි මිරිස් දමා සාදන ලද පොල් සම්බලය මතක් වනවිට අදටත් මාගේ කටට කෙළ උනයි.


පාසල් නිවාඩු කාලය ගතකර අප කොළඹ යන්නට සැරසෙන විට ගමේ නෑදෑයෝ ඔවුන්ගේ වත්ත පිටියේ තිබෙන නොයෙකුත් කුළු බඩු එනම් ගම් මිරිස්, ගොරකා, කොච්චි මිරිස් වගේ ම පැපොල්, අන්නාසි, පැෂන් ෆෘට් වැනි පලතුරු ද අපට කොළඹ ගෙන යන්නට කඩා ගෙනැවිත් දෙති. බොහෝ විට අපට ඒ හැම දෙයක් ම ගෙනියන්නට නොහැකි ය. අඹ, කෙසෙල් වැනි දෑ අපි කෙසේ හෝ ගෙන යන්නෙමු.


ගමේ සිටි කාලවල දවාලට දොළේ නාන්න යෑම කවදාවත් අමතක නොවන, මා ආසම කළ දෙයකි. ගල්මුල් අතරින් කඩා හැලෙන දොළේ වතුර වළවල බැස අප සීතල වතුරේ නාන්නත්, දොළේ ඇති මාළුන්ට කියා අපේ කකුල් කිති කවා ගන්නත් ආස කළ දෙයකි. පැය ගාණක් දොළේ නා ඇවිත් බඩකට පිරෙන්න ගමේ කෑම කන අපි, හත අට වනවිට නිදාගන්නෙමු. ගමේ සුන්දරත්වය විඳිමින් එහි ඇති නිර්ව්‍යාජ මිනිසුන් සමඟ මුළු නිවාඩු කාලය ම ගත කර අපි නැවත කොළඹ පැමිණෙන්නේ පාසල් යෑමට අකැමැත්තෙනි. කොළඹ ගෙවල් ඇතුළට වෙලා ගත කරන ජීවිතයට අකැමැත්තෙනි.


"දැන් ඉතිං නිවාඩු කාලේ ඉවරයි ....ගමේ ගිහින් මාසයක් හිටියා දැන් පොත් පත් ඇරගෙන පාඩම් කරන්න ...."


-නැවත හමු-වෙමු

*ප්‍රිසිලා ගොඩහේවා*

0 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page