top of page
  • Writer's picturePrisila Godahewa

🌺බැද්දේ කුමරිය 🌺

🌺 බැද්දේ කුමරිය 🌺

(15 වෙනි කොටස )

https://www.facebook.com/groups/2653780434897311/permalink/3078766992398651/

කොළඹ පැමිණි සුනිලා ජුවානිස් අප්පුහාමි හා ගුණදාසව, කොළඹ සත්තු වත්ත නරඹන්න, මුහුදු වෙරළද දැක බලා ගන්න කොළඹ නොදැක්ක දේ බලාගන්න ඉඩ,සලසා දෙන්නට ලැබීම මට සතුටක් විය. ඈත දුෂ්කර ගමක ජීවත්වන ගම්මුලාදෑනීයකු වන ජුවානිස් හා ඔහුගෙ දරුවන් දෙදෙනාට කොළඹ නගරයේ ඇති විශේෂ දේවල් , ජීවිතේට නොදැකපු දේවල් බලන්න එක්ක එන්න ලැබීම මට සතුටක් විය. එය ඔවුන්ටත් අමතක නොවන සිදුවීමක් විය.


‘‘ගමේ ජීවිතේට වඩා මේ ජීවිතේ, මේ පළාතට මං හරි කැමතියි අය්යා.......‘‘


සුනිලා, කොළඹ ආපසු, සතුටින් උදම් වී ඇත. ගමේ ගොඬේ දැරියක් වුණත් ඇය, කොළඹ ආපසු එහි ජීවත් වෙද්දී කොළඹ ජීවිතයට හැඩ ගැහෙන ලෙස ඇඳුම් පැළඳුම් අඳියි... කතා බහ කරයි.., හැසිරෙන්න උත්සහ ගනියි....... ඇය ගමේ මිනිසුන්ගෙන් දැන ගෙන ඇති ලෙස කොළඹ දී හැසිරිය යුතු විදිය පියාට සහ අයියාට ද මට හොරෙන් සැරෙන් සැරේ ඇඟිල්ලෙන් ඇන ඇන කියා දෙයි.


‘‘තාත්තේ ඔය බුලත් විට ගෙදර දී විතරක් කන්න. පාර දිගේ බුලත් විට කකා යන්න එපා......‘‘ ඇය ජුවානිස්ට සැර කරයි.


‘‘කමක් නෑ බුලත් විට කෑවට ඒ උනාට බස්වල යනකොට කෙල ගහන්න විදිහයක් නෑනේ. ඒ නිසා පාරේ එහේ මෙහ යනකොට සුනිල කියන විදිහට නොකා හිටියොත් තමයි හොඳ?’’


‘‘ඒක තමයි අයියේ මං මේ තාත්තට කිව්වේ. මහත්තයාලගෙ ගෙදර වුණත් මිදුලෙ අතන මෙතන කෙළ ගහන්න එපා කියල.... මං තාත්තට පොල්කට්ටක් දුන්නා කෙළ ගහල පස්සෙ වැසිකිළියට ගිහින් දාන්න කියල.‘‘ සුනිලා ජුවානිස් කෙළ ගහන එක ගැන ද සිතා ඇත.


‘‘ඔය... ඔය... සරම කැහැපට ගහගෙන යන්න එපා තාත්තේ. කොළඹ ආව නම් කොළඹට ගැලපෙන විදිහට ජීවත් වෙන්න ඕනේ.....‘‘


සුනිලා කොළඹ ජීවත් විය යුතු විදිහ ගැන ඕනෑවට වඩා සිතා බලා කටයුතු කරයි.... හැසිරෙයි.... අයියාට හා තාත්තාට ද ඒ ගැන කියා දෙයි.


‘‘අපි කොළඹ බලන්න තියෙන ගොඩක් ලස්සන ,වැදගත් දේවල් බලාගත්තා මහත්තයාට පිං......‘‘ ජුවානිස් නිතර ඒ ගැන මතක් කරයි.


‘‘මටත් වැඩිය නිවාඩු ගන්න විදිහක් නෑනේ. ආයෙත් පාරක් ජුවානිස්ලා කොළඹ එන්නකෝ මං තව නොගිය තැන් බලන්න එක්ක යන්නම්.‘‘


‘‘අපෝ මේ මදෑ මහත්තයා...... අපි බලාගත්ත ඒවා..... දැන් ඉතිං ගමේ මිනිස්සු අපි ගමේ ගිහාම එයි කොළඹ විස්තර අහන්න......‘‘ ගුණදාස ද ඉඳහිට කතා කරයි..... ඔහු වැඩි කතා බහකට කැමති කෙනෙක් නොවන බව තේරේ..... නමුත් අවට සිරි බලමින් ඔහු හොඳ කල්පනාවෙන් ජීවත් වෙන බව පෙනේ.... ඔහු ද සුනිලා මෙන් කොළඹ ජීවත් විය යුතු ආකාරය ගැන ඕනෑවට වඩා හිතමින් හැසිරෙයි. පිළිවෙලකට කතා කරයි.


දින තුනක් කොළඹ සිරි නරඹපු ජුවානිස්, සුනිලා හා ගුණදාස පසු දින ගමේ යන්න ලෑස්ති වී ඇත.... සුනිලාට ගමේ යෑමට අවශ්‍යතාවයක් නැති ලෙස හැසිරෙයි. ඇය ගමේ යෑමට අකමැති, කොළඹ මේ ගෙදර දොර හැම දේකටම තියෙන පහසුකම් නිසා වන්නට ඇත.

‘‘ ගුණදාස අයියේ අපි හෙට ගමේ යනගමන් කළුතර සුමල් අයියගෙ නෝනවත් බලලම යමු කියලා මේ අය්යා කියන්නේ......‘‘ ඇය මාළිව ද දැක බලා යෑමටද ආසාවෙන් හිදී.....


‘‘යමු ... එහෙනම් හෙට උදෙන් ම ලෑස්ති වෙන්න වෙයි....අපට රෑ නොවී ගෙදරත් යන්න එපෑ....‘‘


‘‘ආ... ඒකට කමක් නෑ අපට උදෙන් ම නැගිටලා පුරුදුයිනේ..... අයියෙ මං උදේම නැගිටලා උයන්න ද දවල්ට ගන්නත් එක්ක ....‘‘


‘‘නෑ... නෑ... සුනිලා දවල්ට ගන්න උයන්න එපා....අපි කළුතර එන බව මම මාළිට දන්නලා යැව්වා..... අප මාළිලාගේ මහ ගෙදර ගිහින්ම දවල්ට කමු.....‘‘


‘‘මාළි අක්කලා දන්නෑනේ අපි හෙට එහෙ එනවා කියල ....‘‘


‘‘නෑ... නෑ... මං සුනිලලා මෙහේ ආබව දන්නලා ටෙලිග්‍රෑම් එකක් ගැහුව්වා....අපි හෙට එහේ එනබවත් ඒ ගමන් දන්නලා යැව්වා......වේලාසන සුනිලලා මෙහෙ එන කතාව කොහොමත් මම මාළිට කියලා තුබුනේ...... ගිය ගමන ගමේ ගිය වෙලේ.කිව්වා ... එයා කිව්වා පුළුවන් නම් එහෙත් එක්ක එන්න කියලා. එයත් ආසයි කියලා ජුවානිස්ලා සුනිලලා දකින්න කියලා ....‘‘

‘‘ඇත්තද එහෙනම් අපි අනිවාර්යයෙන් ම එහේ යන්න ඕනේ...මාත් දකින්න ආසාවෙන් හිටියේ මාළි අක්කව......‘‘


‘‘මොනවද මහත්තයා අපි මහත්තයාගෙ නෝනා බලන්න යනකොට ගෙනියන්නේ.‘‘ ජුවානිස් ද මාළි බැලීමට යෑමට සැරසෙයි.


‘‘ඔය ජුවානිස්ලා මට කන්න කියලා ගමෙන් ගෙනාපු දේවල් ටික, අපි මාළිලාගේ ගෙදර ගෙනියමු.... ඕවා ඉතිං මෙහේ තිබුණට මට කන්න වෙලාවක් ඇත්තෙත් නෑනේ.‘‘


‘‘අපි එහෙනම් මේ අලූත් කිතුල් හකුරු මුල් දෙකයි, කරාබු නැටි, ගම්මිරිස්, කුරුඳු, ගොරකා, තුනපහ ආදිය ගෙනියමු.......‘‘ සුනිලා පසුදින මාළි බලන්න ගෙනියන්න අවශ්‍ය දේ සකසයි.


‘‘මේ නයි මිරිස් බෑග් එකත් ගන්න ......දකුනෙ මිනිස්සුන්ට හැම දේම තියෙනවා....ඒ උනාට. මේ කරාබු නැටි, ගොරකා, කුරුඳු අපේ හේනෙ වත්තෙ අලූත් ඒවා නෙව......‘‘


‘‘මං හදා ගෙන ආපු කැවුම් , හැලප ටිකත් ගමු..... මෙහේ තිබුණොත් මේ අයියා කන්නෙ නැතුව නරක් වෙලා යයි.‘‘


‘‘දැන් එහෙනම් ජුවානිස්ලා හෙට උදේ ගමේ යන්න ලෑස්තියි නේද? .....අපි ඒ යන ගමන් හෙට උදෙන් ම මාළිලාගෙ ගෙදරත් යමු..... උදේ 5.30 බස් එක අල්ල ගත්තොත් අපට හත අට වෙනකොට කළුතරට යන්න පුළුවන්. ඊට පස්සෙ වේලාසන දවාලට කෑවාම එකොළහ, දොළහ වෙනකොට ජුවානිස්ලට රුවන් වැල්ලට යන බස් එක අල්ල ගන්නත් පුළුවන්......‘‘


දවස් තුනක් කොළඹ ගත කළ සුනිලා, ජුවානිස් හා ගුණදාස පසු දින ගමේ යන්න ලෑස්ති වෙයි..... සුනිලා ගෙවල් දොරවල් ද අතු පතු ගා කුස්සිය අස්පස් කර වලං, පිඟන් හොඳින් සෝදා මැද තැබුවාය..... ඇය ගෙදර දොරේ වැඩ ඉතා පිළිවෙලට කරයි. හරි කල්පනාවෙන් කොළඹ ජීවිතේට ගැලපෙන විදිහට හැසිරෙයි.


‘‘අපි හෙට මාළිගෙන් අහල බලමු...... සුනිලට කම්මැනිකම යන්නත් එක්ක එහෙ ටික දවසක් ඉන්න පුළුවන් ද කියල..... සුනිලා වැඩ කරන විදිහ දැක්කොත් නම් මාළි හැමදාම ඔයාට අපේ ගෙදර ඉන්න කියයි.....සමහර විට සුනිලට ,මාළිගේ තාත්තගේ ෆැක්ටරියක ලියන වැඩක් හොයලා දෙන්නත් බැරුනෑ....‘


‘‘මට ඉතිං පුරුදු වැඩනේ මං හරි ආසයි මේ වැඩ වලට. ගෙවල් දොරවල් පිළිවෙලට අස් පස් කර තියා ගන්න.....‘‘


‘‘අපි එහෙනම් අද රෑට වේලාසන නිදාගමු...... හෙට උදේ එලාම් එක තියල නැගිටලා උදේ 5.30 බස් එක අල්ල ගන්න බලමු.‘‘


‘‘ඒක හොඳයි එහෙනම් නිදා ගන්න යමු.‘‘


ජුවානිස් හා ගුණදාස ද කොළඹ බලා කියාගෙන නැවත ගම යන්න සතුටින් හිදියි..... ඔවුන්ට ගමේ යන්න උවමනාව ඇත්තෙ ඔවුන්ගේ හේනේ වැඩකටයුතු බලා කියා ගැනීමට ය.


පසුදින පාන්දරම අපි පහමාරේ බසය අල්ලා ගන්න ගියේ උදේ තේ පමනක් බීමෙන් පසුය. උදේ යන ගමන් මග දී, අප ගිය බසය උදේට කෑම කන්න හෝටලයක් ලග නතර කළ වේලේ..... අප එතන තිබුණ හෝටලයෙන් මාළු පාන් රෝල්ස් කා ප්ලෙන්ටි බිව්වෙමු.


‘‘මට නම් මේ කෑම අල්ලන් නෑ.....බත් කටක් අල බතල කනවා වගේ නෙමේ නේ......‘‘ ජුවානිස් රෝල්ස් පාන් වර්ග කෑමට අකමැති වුනත් ඒවා කෑවේය..


‘‘ඒ උනාට ගෙදර වගේ උදේට බත් කන්න බෑනේ. මේ ගමන් යන වෙලාවට......‘‘ සුනිලා ජුවානිස්ට හෙමින් කීය.


‘‘අපිට අද වේලාසන දවල්ට බත් කන්න පුළුවන් නෝනලාගෙ ගෙදර ගිහාම.....‘‘


‘‘අපේ තාත්තට තුන් වේලටම බත් ඕනේ..... නැත්නම් අල, බතල හෝ කවුපි, මුං ඇට වගේ දේවල් තමයි තාත්තා කන්න කැමති.‘‘


‘‘තව ගොඩක් දුර ද මහත්තයාලගෙ නෝනලාගේ ගෙවල් වලට.....‘‘


‘‘තව පැය භාගයකින් විතර අපට යන්න පුළුවන්..... ටවුමෙන් බැහලා විනාඩි දහයක් පයින් යන්න ඕනේ වැඩි දුරක් නෑ.‘‘


මමත් සුනිලාත් ජුවානිස් හා ගුණදාස මාළිලාගේ මහගෙදර බලා උදේ නමය පමණ වනවිට ගියෙමු . සුනිලා මහ ගෑණියකු ලෙස ලාකහපාට සාරියක් පිළිවෙලට ඇඳ ගෙන සිටියාය. ජුවානිස් සුදු ආරිය සිංහල සූට් එක ඇඳ ගෙන සිටි අතර ගුණදාස මං දුන් කලිසම හා ෂර්ට් එක ඇඳ ගෙන පිළිවෙලට සිටියාහ.. සුනිලාට, ගෙදර දී ගවුම ඇදගෙන හිදිනවාට වඩා වැඩිමහල් පෙනුමක් සාරිය ඇන්ද විට පෙනේ.... ඇයගේ දිග කොණ්ඩය ඇය පිට දිගට ගොතා දමා ඇත. ඇගේ කරේ හීන් චේන් පොටක් ද ඇත. ඇය එම රත්තරන් චේන් පොට සාදා ගෙන ඇත්තේ ගමේ මිනිසුන්ට ඇඳුම් මසා එකතු කරගත් මුදලිනි..... ඇය කිකිළියන් ඇති කොට, එයින් ද බිත්තර විකුණා කීයක් හරි හොයා ගනියි. ඇය ඉතා ධෛර්යයවන්ත යුවතියකි. ඇයට අවශ්‍ය ඇගේ ජීවිතය හොඳ පැත්තකට ගෙන යාමටය. ඇය ගෙදර දොරේ වැඩ මෙන් ම මැහුම් ගෙතුම් වැඩ ද ඉගෙන ගෙන ඇත. ගමේ ජීවත්වන අනිත් යුවතියන්ට වඩා පෙනුමැති ඇය අනිත් යුවතියන්ට වඩා ඉගෙන ගත් දේවල්වලින් ද කරන කියන දේ වලින් ද ඉදිරියෙන් හිදී.... ඇය නිතර ම සිතන්නෙ ඇයගෙ ජීවිතය ඉදිරියට ගෙන යන ආකාරය ගැන ය.


‘‘ඔන්න අපි ටවුමට ආවා එහෙනම් බැහැගන්න. ඔය බඩු මලූත් ගන්න අමතක නොකර......‘‘


‘‘හරි... හරි... මහත්තයා මං ඒවා ගත්තා.‘‘ ගුණදාස ඔවුන්ගෙනා බෑග් මළු උස්සා ගෙන බසයෙන් බැස ගත්තේය . සුනිලා ඇඳ පුරුදු නැති සාරිය උස්සාගෙන බසයෙන් බැස්සේ අපහසුවෙන්ය.


‘‘මේ ටවුමේ ඉදන් ටික දුරක් ඇවිද ගෙන යන්න ඕනේ මාළිලාගෙ ගෙදරට, සුනිලට පුළුවන්ද....? සාරිය ඇන්දට තාම සුනිලට පුරුදු නෑ වගේ නේද....?‘‘


‘‘සාරිය වැඩිය ඇඳල නැති නිසා පුරුදු නෑ තමයි අයියේ.....කොහේද අපේ ලොකු අක්කා මෙන්සිනාගෙන් බේරෙන්න බෑනේ...දැන් මම ලොකුයි කියලා ..ගමනක් යනකොට සාරිය ඇදගෙන යන්න කියලා ...."‘‘


‘‘ඒ වුණාට ඇවිදගෙන යන්නත් ඕනේ.....ටික දුරක්....‘‘


"කමක් නෑ...ඔහොම ටිකක් හෙමින් යං...."


අප විනාඩි දහයක් පමණ කළුතර ටවුමේ සිට ඇවිදගෙන ගොස් මාළිලාගේ මහ ගෙදරට ළඟා විය. ඔවුන්ගේ මහ ගෙදර පිහිටා තිබුණේ විශාල පොල්වත්තක් මැදය.... ඔවුන්ගේ ප‍්‍රධාන ආදායම් මර්ග අතර පොල් වෙළඳාම , රබර්, මැංගුස්ටින් ආදිය වේ....මාළිගෙ පියා පොල් වත්ත හොඳින් බලා කියා ගෙන එයින් ආදායම් ලබා ගනී. ඔවුන් කළුතර ඉතා හොඳ ව්‍යාපාරික වැදගත් පෝසත් පවුලකි.


‘ලොකු පොල් වත්තක්.... හරිම ලස්සන පැත්තක්. පොල් වත්තෙන් හොඳ ආදායමක් ලැබෙනවා ඇති නේද මහත්තයා.....‘‘ ජුවානිස් ඇසීය.


‘‘ඔව්... නෝනලාගේ තාත්තලා ආදායම ඕක තමයි.‘‘


‘‘අපේ පැතිවල නම් ඉතිං රබර්, තේ නේ..... මේ ලංකාවේ එක එක පැතිවල එක එක වෙනස් වගාවල්නෙ තියෙන්නේ.‘‘


‘‘ඇයි ඉතිං අපේ පැතිවල කරඳමුංගු, කරාබු නැටි, කුරුඳු වලටත් ප‍්‍රසිද්ධයිනේ....ඊටත් වැඩිය මැනික් වලටනේ සබරගමු දිස්ත්‍රික්කය ප්‍රසිද්ධ .....‘‘


‘‘ඒක තමයි මේ ලංකාව කොයිතරම් නම් හොඳ වටිනාකමක්, තියෙන රටක්ද? රටේ එක එක පැතිවල එක එක දේශගුණයන්. .....දේශගුණයන්ට හරියන්න විවිධ වාගවන්.... කොයිතරම් හොඳ දේශගුණයක් ද ලංකාවේ තියෙන්නෙ. සමහර පැති රස්නෙයි, සමහර පැති සීතලයි, සමහර පැති ඒ දෙකම මැද. කොයිතරම් ආදායම් ලබා ගන්න පුළුවන් රත්තරං පොළොවක්, රටක්ද.මේ..... තේ, රබර්, පොල් වලට අමතරව මැණික් මුළු ලෝකෙම ප‍්‍රසිද්ධයි..... ලංකාව වටේට ම තියෙන මුහුද නිසා කරදිය මාළුවලින් ද අඩුපාඩුවක් නෑ..... ඇයි ඉතිං මිරිදිය මාළු .....කොයිතරම් නම් තියෙනවද ගංගා ඇල, දොලවල්, දිය ඇලි ..... එතකොට කඳු නිම්න කැලෑ තැන්නවල් ......ඕන දෙයක් වගා කරන්න හොද සරු පස.....නිතර ලැබෙන වැස්ස, ඉර අව්ව....මොනවද අඩු.....ලංකාවේ ලස්සන වටිනාකම අපටත් වඩා දන්නෙ පිටරැටියන්...ඒකනේ සුද්දා මේ රට අල්ල ගන්න මෙච්චර මහන්සි වුනේ...... නිකන් නෙමේනේ ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියන්නේ..... හැබැයි ඉතිං අපේ සිංහලයට මේ රටේ වටිනාකම තේරෙන්නෙ නෑ.....‘ සුද්දා කිව්වලුනේ....

සිංහලයා මෝඩයා....

කැවුම් කන්නා සූරයා ....කියලා..‘


‘‘ඒක නම් ඇත්ත මහත්තයා. අපේ රට කොයිතරම් නම් වටින රටක් ද? ඒකේ ප්‍රයෝජනය මේකේ ජීවත් වෙලා ඉන්න උන් දන්නේ නෑ...."


‘‘ඇයි ඉතිං ඒ වගේම ලංකාවේ මිනිසුන්ගෙ ආගන්තුක සාත්කාරය දේශදීපන්කරෙත් ප‍්‍රසිද්ධයිලූනේ.‘‘


‘‘නැතුව... නැතුව. ඒකනේ අපේ මහත්තයා අපිව කොළඹ එක්ක ඇවිත් කරපු සංග‍්‍රහ ඒවා තමයි අපේ පරම්පරාවලින් එන හොඳ ගුණධර්ම.‘‘


‘‘ඔන්න අපි කතා කර කර මාළිගෙ ගෙදර ගාවට ම ආවා.‘‘


අපි ඈත තියාම එනවා බලන් හිටිය මාළි, හෙමින් හෙමින් පෙර මඟට ආවේ හිනාවෙමින්ය.... ඇය තවත් තරබාරු වී මූණ තඩිස්සි වී හිදියි.... ඇය ඇවිදින්නේ තාරාවකු ලෙස ය. ඇය දරුවා ලැබෙන්න ලං වී සිටි නිසා ඉඳින්නේ අපහසුවෙන් යැයි මට සිතේ.....


‘‘ආ... සුමල් මට කියල එවල තිබුණා ජුවානිස්ලා මාව බලන්න මෙහේ එන්න ඕනේ කිව්වා කියලා..... අද එනව කිව්ව නිසා අම්මා අන්න කුස්සියෙ ලූසියා එක්ක උයන්න පටන් ගත්තා. මං මේ උදේ ඉඳන් බලන් හිටියේ කොයි වෙලේ ද ඔයගොල්ලෝ එන්නෙ කියලා.....‘‘ මාළි ඉතා ලෙන්ගතු ලෙස කතා කරයි.


‘‘අනේ නෝනා දකින්න ලැබීම කොච්චර දෙයක් ද....? අනේ වාසනාවන්.....අපේ මේ සුනිලා කෙල්ලට තමයි නෝනව වැඩියම දකින්න ඕන වෙලා හිටියේ.‘‘ ජුවානිස් ඉතා ගරු සරු ඇතිව කතා කරයි.


‘‘එන්න... එන්න....ගෙට, මං අම්මට කතා කරන්නම්. මේ සුමල් කිව්ව සුනිලා වෙන්න ඇති නේද......? සුනිලා හරි හැඩකාරියක්නේ..... එන්න සුනිලා වාඩිවෙන්න. මේ සුනිලගෙ අයිය ද? සුමල් මට ඔයගොල්ලන්ගෙ විස්තර කිව්වා ගිය පාර ආපු වෙලේ..... මං හිතුවෙ නෑ ඔයගොල්ලෝ මෙච්චර ඉක්මණට කොළඹ බලන්න එයි කියලා.‘‘


‘‘මේ කෙල්ලගෙන් කොළබ බලලා එමු කියලා බේරෙන්න බැරි උනා.....ඒකයි නෝනා අපි ආවේ..... අපට ඉතිං මීට ඉස්සර අවස්ථාවක් හම්බවෙලා තිබුණෙත් නෑනේ කොළඹ ඇවිත් නැවතිලා කොළඹ ලස්සන බලන්න..... මේ සුමල් මහත්තයා කොළඹ ගෙයක් නවතින්න තියෙනවා කිව්වා.....ඒ නිසයි අපි කල් නොයවම අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත්තේ.......‘‘ ජුවනිස් මාළිට කොළඹ එන්න හේතුව විස්තර කරයි.


‘‘කොච්චර දෙයක් ද? කොළඹ ආපු එක. ඉන්න මං අම්මට කියල එන්නම් ජුවානිස්ලා ආපු වග.....‘‘


ආරක්කු බූරුක්කු යොදා සාදන ලද පරණ වලව්වක් වන මේ ගෙය අවුරුදු තිහ හතළිහක් පමණ පරණ මාළිලාගේ පියාගේ මහ ගෙදරය. ...එය පරණ වටිනා කියන බඩුමුට්ටුවලින් ද සමන්විතය.


ගෙදරට ඇතුල්වන තැන ඇති වැරැන්ඩාව පරණ හාන්සි පුටු, කනප්පු ආදියෙන් ද සරසා ඇත. කනප්පු උඩ බීරළු තුන්මුලස් හැඩයට ගොතන ලද මේස රෙදිද දමා ඇත. ගෙට ඇතුල් වෙන උළුවස්සට ද සුදු පාට බීරළු රේන්දවලින් මසන ලද දොර රෙදි බාගයක් දමා ඇත. ඉතා ගාම්භීර පෙනුමැති වලව්වක සිරිගත් නිවස ඉතා පැරණිය. මෙහි ජීවත් වෙන්නේ මාළිත් ඇගේ දෙමව්පියන් හා ගෙදර වැඩට සිටින ලූසියා සහ සිංඤෝය..... සිංඤෝ මොවුන්ගෙ බක්කි කරත්තය පදවන වත්ත පිටියේ වැඩ කරන තැනැත්තාය.


මාළිට බාල සහෝදරයෙක් ද ජීවත්ව සිට ඇත....... නමුත් ඔහු පොඩි කාලේ දී ම නොදන්නා රෝගයක් සෑදී මිය ගොස් ඇත. ඉන්පසු මාළිගෙ දෙමව්පියන් වෙන දරුවන් නැති නිසා.....මාළිව ඇස් දෙක මෙන් පරිස්සම් කරමින් රැක බලා ගෙන දීග දුන්නෙ මා හටය..... ඔවුන් මා හට කැමති වී ඇත්තේ මා උසස් පෙළ දක්වා ඉගෙන ගෙන හොඳින් ඉංග‍්‍රීසි කතා කරනා රජයේ රැකියාවක් කරන්නෙකු බැවින්ය. රජයේ රැකියාවක් කරන්නන්ට තමන්ගෙ දියණියන් දීග දීමට හැම දෙමව්පියෙක් ම ඉතා කැමතිය. හේතුව වයසට ගිය විට විශ‍්‍රාම වැටුපක් ලබා ගත හැකි බැවින් වගේම, මාසේ පඩියක් ලැබිය හැකි රැකියාවක් නිසාය...... . මා ද රජයේ රැකියාවක් කිරීම මාළිගේ දෙමව්පියන්ට ඉතා වටිනා දෙයක්‍ වේ. ඔවුන් මට ඉතා හොඳින් සලකයි. නෑදෑයින්ට මාව අඳුන්වා දෙන්නේ ද මාගේ රැකියාව ගැන කියමින්ය.


‘‘ආ... සුමල් පුතාලා මෙච්චර ඉක්මණට එයි කියල අපි හිතුවෙ නෑ. හොඳයි... හොඳයි... වේලාසන ආපු එක......‘‘ මාළිගෙ මෑණියන් ජුවානිස්ලා අත් එකතු කොට පිළිගත්තාය.


‘‘මේ ජුවානිස්ලට හවස් වෙන්න ඉස්සර ගමේ යන්න ඕන කිව්වනේ ඒකයි අපි උදේන්ම ආවේ.‘‘


‘‘ඇයි ඉතිං දවසක් දෙකක් මෙහේ නැවතිලා ඉඳලම ගියානම්......කොළඹ වගේ මේ පළාත් වලත් දැක බලා ගන්න දේවල් තියෙනවා .....ඒවා බලලම යන්න පුළුන්නේ.‘‘


‘‘අනේ නෝනා අපි වෙන වෙලාවක ආයෙත් එන්නම්..... මේ දවස්වල ගමේ හරියට වැඩ.. . මගේ හේනේත් එළවලූ ඇට පැලවෙන්න දාලා දවස ගානේ වතුර දාන්න එපෑ..... මං මේ වෙන දෙන්නෙක්ව හේනෙ වැඩට නවත්වලා ආවේ......කවුරු හරි හේන බලාගන්න හිටියෙ නැත්තම් සත්තු ඇවිත් හේන විනාශ කරනවා.....අනික මම ගමේ නෑ කියලා වැඩි දෙනෙක් දන්නෙ නෑ....ඒ හින්දා ඉක්මනට යන්න ඕනේ.... මට මේ කච්චේරියේ වැඩක් කරගන්න තිබුනා...සුමල් මහත්තයා .....ඒකත් මාව එක්ක ගිහින් කරලා දුන්නා....අපිව කොළබ බලන්න එක්ක ගියා...මීට ඉස්සර නොදැකපු දේවලුත් එක්ක ගිහින් පෙන්නුවා..... මේ කෙල්ලගෙ වදේට තමයි කොළඹ බලන්න ආවේත්..... ආයි ඉතිං අපට කවද මේ වගේ අවස්ථාවක් ලැබෙයි ද දන්නෑනේ..... සුමල් මහත්තයා කොළඹ නවතින්න ගෙයක් තියනවා කියපු නිසයි අපි ආවෙත්..... අනේ සුමල් මහත්තයා අපට හොඳට සැලකුවා. කොළඹ බලන්න තියෙන විශේෂ තැන් බලන්න එක්ක ගියා. මහත්තයාට පිං දි දී අපි ඒවා බලන්න ගියේ.‘‘


‘‘එහෙනම් එන පාර අපේ පළාත බලාගන්නත් එක්ක එන්නකෝ... මුහුදු ගිහින් මාළු අල්ලලා... ලයිට් හවුස් එක බලලා... කොප්පරා මඩුවල පොල් තෙල් හිඳින විදහත් බලා ගෙන යන්නත් එක්කම එන්නකෝ.‘‘


‘‘අනේ නෝනා ඇත්තමයි..... මම හරි ආසයි ඔය පොල්තෙල් හිඳින විදිහ බලන්න නම්..... ඒක බලන්න නම් අනිවාර්යයෙන්ම ආයෙත් එන්න ඕනේ.‘‘


‘‘මේ පළාතේ තියෙන පොල්වතුවල වැඩිහරියක් තෙල් හිඳින වැඬේට පොල් එකතු කරනවා....කොප්පරා වේලනවා.....ඒවා සෙක්කු තියෙන තැන්වලට පොල් හිඳින්න මිනිස්සු ඇරගෙන යනවා..... තනිකර කලු ගලෙන් හදන ලද පොල් තෙල් හිඳින සෙක්කුවල වැඩ කරන්න ,වෙන ම මිනිස්සු ඉන්නවා. ඒවා දැක බලා ගන්න එකනම් හරි වටිනවා.‘‘


‘‘එන්න එහෙනම් තේ ටිකක් බීලම ඉන්න.....අපේ කුස්සියේ වැඩ කරන ගෑනු කෙනා හදපු රස කැවිලිත් ඇති....දැනට තේ ටිකක් බීලා..... වේලාසන දවාලට බත් කමු...... එතකොට ජුවානිස්ලට වේලාසන බස් එක අල්ල ගන්න යන්න පුළුවන්.....‘‘

කැවිලි දෙක තුනක් සමග ඔවුන් අපට තේ මේසයක් ලෑස්ති කර තිබුනේය. උදේ හරි හමන් කෑමක් නොලැබුන අපි ඒවා කා තේ බුව්වෙමු.


‘‘සුනිලා ඉතිං ටික දවසක් මෙහේ ඉඳල යන්න. ....අයියටයි, තාත්තටයි ගමේ යන්න කියල.... සුනිලා රටතොට බලාගන්න ආසයි කියලා සුමල් කිව්වා......මෙහේ ටික දවසක් නැවතිලා මේ පළාත එහෙම බලා කියා ගෙන ඉදලා යන්න......‘‘


‘‘මාත් ආසයි අක්කේ..... ඒ උනාට මං ඇඳුම් එහෙම වැඩිය ගෙනාවෙත් නෑනේ......‘‘ සුනිලා හිනැහී කීවාය.


‘‘ඒකට මොකද මගේ ඇඳුම් ඕනතරම් තියෙන්නේ.....සුනිලාට ඒවා අඳින්න බැරියැ.......‘‘


‘‘ජුවානිස්ලා අද ගමේ යන්න..... සුනිලට බැරියැ ටික දවසක් මෙහේ නිවාඩු පාඩුවේ අපේ ගෙදර නැවතිලා ඉඳල යන්න..... මටත් තව බබා හම්බ වෙන්න මාසයයි තියෙන්නෙ..... මගේ තනියටත් එක්ක සුනිලා මෙහේ නවතින්න.‘‘


‘‘ඒක නම් හොඳ අදහස...... අපේ දුවත් තනියම ගෙට වෙලා ඉන්නවා මිසක් ටිකක් වත්ත පිටියෙ ඇවිදින්න යන්නෙත් නෑ කම්මැලියි කියල..... සුනිලා මෙහේ නැවතුනොත් දෙන්නත් එක්ක ගමේ ටිකක් ඇවිදලා එන්න යන්නත් පුළුවන්..... අක්කයි, නංගියි වගේනේ දෙන්නා.‘‘

මාළිගෙ අම්මා ද සුනිලා නවත්ත ගන්න කැමති බව පෙනේ.....


‘‘තාත්තෙ..... මේ මාළි අක්කලාගෙ අම්මත් කියන නිසා මං ටික දවසක් මෙහෙ නැවතිලා ඉඳල එන්නද....?’’


‘‘උඹේ කැමැත්තක්..... ගමේ හිටියැයි කියල ඒ හැටි වැඩක් තියෙන එකක් යෑ....දැන් ඉස්කෝලෙත් නිවාඩු කාලෙනේ..... ටික දවසක් ඉඳල එහෙනම් උඹට ඇතිවුනාම මට ලියුමක් එවපන්කෝ මං හරි අය්යා හරි ඇවිත් උඹ එක්ක යන්නම්......‘‘


-නැවත හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

0 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page