top of page
  • Writer's picturePrisila Godahewa

🌺බැද්දේ කුමරිය 🌺

🌺බැද්දේ කුමරිය🌺

( 14 වෙනි කොටස )

https://www.facebook.com/groups/2653780434897311/permalink/3078374902437860/

පසුදින උදේ මම නැගිටින විටත්, සුනිලා වේලාසන නැගිට අපි හැමෝටම කන්න කිරිබත් උයා ලූණු මිරිස් සාදා තිබුනි.


‘‘ඊයේ දවල් ඉතුරු වෙලා තිබුණ මිරිස් මාලූත් තිබුණ නිසා මං වැඩිය මුකුත් හැදුවේ නෑ අය්යා .......‘‘


උදේ පිපුණු කෝපි මලක් වගේ නැවුම්ව සිනාසෙමින්..... අපට උදේ කෑම කන්නට ලෑස්ති කර දුන් සුනිලා දිහා මම බලා සිටියේ හිතේ ඇතිවුන නැවුම් මිහිර හොරෙන් විඳිමින්‍ ය.


‘‘අය්යා මං සාරියක් ඇඳ ගෙනද එන්න ඕනේ කොළඹ ඇවිදින්න යන්න..?....අපේ ලොකු අක්කා නම් කිව්වා සාරියක් ඇදන් කොළඹ යන්න කියලා ...මම දැන් ලොකු ගෑනියෙක් කියලා ......?"


‘‘නෑ.. නෑ... සුනිලා ගවුමක් ඇඳන් එන්න..... දවසම අද අපට ඇවිදින්න තියෙනවා....‘‘


ජුවානිස් සුදු ආරිය සිංහල ඇදුමක් ඇඳ සිටි අතර..... ගුණදාස සරමක් කමිසයකින් සැරසී උන්නේය....


"ගුණදාස මගේ මේ වැඩිපුර, අලුත් කලිසමක් තියෙනවා, කැමති නම් සරම ගලවා දමලා, මේ කළිසම ඇදගෙන එන්න....එතකොට හරි පහසුයි ඇවිදින්න යන්න....."


මම ඔහුට ඇඳ ගැනීමට මගේ කලිසමක් දුන් විට ඔහු කෝළ ලෙස තාත්තාත්, නංගීත් දෙස බලමින් එය අතට ගත්තේය.


"මට නම් මේවා පුරුදු නෑ මහත්තයා........‘‘


ගුණදාස කලිසම අඳින්න කැමැත්තක් හිතේ තියාගෙනම කීවේ ය.


‘‘අද ඔය කර්මාන්ත ප‍්‍රදර්ශනය බලන්නයි සංදර්ශනය බලන්නයි මහා සෙනඟක් කොලඹට එනවා...... අපි හැමෝම හොඳට ඇඳලා යන්න ඕනේ.... ගුණදාස ඔය කලිසම ඇඳ ගෙන එන්න වෙනසකටත් එක්ක....ඊටත් හරි පහසුයි.....බලන්නකෝ එක දවසක් ඕක ඇන්දහම ඊට පස්සෙ සරම් අදින්න හිතෙන එකක් නෑ......‘‘


ගුණදාස මා දුන් කලිසම කාමරයට ගොස් ඇඳ ගෙන් නුහුරු ලෙස එළියට ආවේය.


‘‘ටිකක් ලොකුයි වගේ.‘‘


‘‘ආ... මේ පටිය දා ගන්න එතකොට හැලෙන්නෙ නෑ.....‘‘


‘‘අම්මේ මේ ඉන්නෙ අපේ කොලූවා කොළඹ මහත්තයෙක් වගේ.....‘‘

ජුවානිස් සතුටින් ගුණදාස දෙස බැලීය. රෝස පාට හැට්ටයකට දනිස්ස ලඟට කොට , රෝස පාට සුදුපාට බෝල බෝල රැලි සායක් ඇද, තනි කරලට කොන්ඩය ගොත් සිටි සුනිලා තවත් ලස්සන වී ඇතැයි මට සිතේ......


අප හතර දෙනා විශ්වවිද්‍යාල භූමියේ තිබූ විවිධ කර්මාන්ත අලලා සැකසුන ප‍්‍රදර්ශනය නැරඹීමට යන විට දහවල් එකොළහට පමණ විය.....අපි පෝළිමේ ගොස් ටිකට් පතක් ගෙන, විශ්වවිද්‍යාල භූමිය තුලට ගියෙමු......එහි නානා මාතෘකා යටතේ, ශ්‍රී ලංකාවේ ඇති විවිධ කර්මාන්ත දියුණු කරගනු වස් තනා තිබු කුටි සරසා ඇත..... ඒවා විශ්වවිද්‍යාල සිසුන් හා කර්මාන්ත ශාලා සම්බන්ධ වූවන් විසින් කර ඇති ඒවායි....... අපි ඒවා එකින් එක නරඹමින් මුළු දවසම ඇවිද්දෙමු..... විශාල සෙනගක් එයට සහභාගි වි ඇත....එම උත්සවයේ තව කොටසක්, රේස් කෝස් නම් අශ්වයින් දුවවන පීට්ටනියේද ප්‍රදර්ශනයේ කොටසක් ඇති බව දැනගන්න ලැබුනි....


සුනිලා පොඩි දරුවකු සේ ඇස් ලොකු කරමින් එහි තිබූ හැම ප‍්‍රදර්ශන භාණ්ඩයක්ම හා අවට වටපිටාවේ හැම දෙයක් ම ඉතා ඕනෑකමින් නැරඹුවාය.


‘‘අපි අයිස්ක‍්‍රීම් කමුද?.....‘‘


මං අයිස්ක‍්‍රීම් වෑනය ලඟට ගොස් ගෙනා අයිස් පලම් ඔවුන් තිදෙනා එක හුස්මට කා ඉවර කළේය..... සැරෙන් සැරේ වඬේ, මුරුක්කු, කඩල කමින් දවසම ප‍්‍රදර්ශන භූමිය තුළ ඇවිද්ද අප හවස් වනවිට ලඟ තිබුණ තෝසෙ කඩයකට ගොස් බඩ පිරෙන්න තෝසේ, සාම්බරු, සම්බෝල සමඟ කෑවෙමු.


ඉන්පසු .....නැවත අප ප‍්‍රදර්ශන භූමිය තුළට ගියේ.... එහි තිබුණු සංගීත සංදර්ශනය ද බැලීමටය .....රෑ වෙන කොට මුළු ප‍්‍රදර්ශන භූමියම සරසා තිබු විදුලි බුබුළු වලින්.... හතර අතට පාට එළි විහිදුවමින් විදුලි එළි පත්තුවන්නට පටන් ගත්විට මටද ඇතිකලේ සතුටකි.......ඒ සමගම ගස්වල හයිකර තිබු ලව්ඩ්ස්පීකර් නම් යකඩ කටවලින් නොනවත්වා, ලස්සන සංගීතයන් පැතිරේ.....එය උදේ සිට එකදිගට කියවයි.......සංගීතය පතුරුවයි.....ප්‍රදර්ශන භූමියේ හිටි ගමන් චීන මල්වෙඩි සංදර්ශනයක්ද පැවැත්විණි....එය නම් ඇස් අදහාගත නොහැකි තරම් ලස්සනය.....


ඒ සියලු දේ....සුනිලා, ගුණදාස , හා ජුවානිස් බලා හිටියේ කට ඇරගෙන පුදුමයෙනී.......ඔවුන්ට වගේම සමහර දේ මටත් අලුත්දේ විය........ ජුවානිස් මගේ ලඟට විත් කතා කළේ ය.


‘‘මහත්තයාට පින් සිද්ධ වෙනවා අපට මේවා පෙන්නන්න කොළඹ එක්ක ආවට...... අපි ගොඩක් පිං කරලා තිබෙනවා මේ දිව්‍ය ලෝකේ වගේ ලස්සන දේ දකින්න ...... අනේ මගේ කෙල්ලයි, කොල්ලයි වාසනාවන්තයි මහත්තයා ....... ගමේ ඉන්න අනිත් වුන් ඔක්කොටම වඩා......මේ වගේ මල්වෙඩි සංදර්ශනයක් මම ජීවිතේට දැකලා තිබුනේ නෑ....මේ පාට පාට විදුලි බුබුළු ....කොයිතරම් නම් ලස්සනද....මට ගෙදර යන්න හිතෙන්නෙත් නෑ......‘‘ ජුවානිස් කීය.


‘‘ඇත්තමය මහත්තයා මහත්තයාට ගොඩක් ස්තූතියි..... අපිව මේ දේවල් බලන්න කොළඹ එක්ක ආවට.....‘‘

ගුණදාස ද මං ලඟට ඇවිත් කිවේ සතුටිනි.


මගේ කලිසමක් ඇඳ හොඳ පුරුදු කාරයෙක් වගේ හැසිරෙන ගුණදාස දකින විට මට ඇති වූනේ සතුටකි....... රුවන්ගම කිසිම කෙනෙක් කලිසම් අඳින්නවා මා දැක නොතිබුනි. මම සිතන විදිහට ගුණදාස තමයි ඉස්සෙල්ලාම ගමේ කලිසමක් අඳින්න ඇත්තේ....... ගමේ යන විට මගේ තව පරණ කලිසම් දෙකක් දෙන්න ඕනේ ගුණදාසට ගමේ ගෙනිහින් අඳින්න කියල..... කොළඹ ගිහින් එන අයට ඒ ගමේ තියෙන්නෙ පිළිගැනීමකි....ඒ කොළඹ යනු යාමට අපහසු ගමනක් කියා ඔවුන් සිතිමයි..... එකක් දුර ප්‍රශ්නය අනික ගිහින් නවතින්න තැන් නොතිබීම හා කොළබ යන්න ඇති මුදල් අමාරුකම්‍ ය.


‘‘මට නම් දැන් හොදටම මහන්සියි මහත්තයා ....... මං ටිකක් මේ බංකුවේ වාඩි වෙලා ඉන්නම්....... උඹලා දෙන්නා මහත්තයත් එක්ක ඇවිදලා එන්න.......‘‘

ජුවානිස් දවසෙම ඇවිදලා ....සෙනග ගොඩේ කොනක තිබු බංකුවකින් වාඩි වුනේ මහන්සි ඇර ගන්නටය.....


‘‘මාත් ටිකක් වාඩි වෙලා ඉඳල එන්නම් මහත්තයා ...... මටත් මහන්සියි දවල් ඉදන් ඇවිදලා......‘‘ ගුණදාසද ජුවානිස් ලඟින් වාඩි වීය.


‘‘මම එහෙනම් සුනිලට අර පැත්තේ ලස්සන දේවල් ටිකක් පෙන්නලා ඇවිදලා එන්නම් ..... ඔය දෙන්නා කොහේවත් යන්න එපා ඔතනම ඉන්න. සෙනඟ ගොඬේ මඟ ඇරෙන්න පුළුවන්.‘‘ මම කීවෙමි


මම සුනිලත් සමඟ නොයෙකුත් වෛවර්ණ එළි විහිඳුවන ප‍්‍රදර්ශන භූමිය තුළ ඇවිද ගියෙමි ....... නොයෙකුත් සංගීත භාණ්ඩ සද්ද මිනිසුන්ගෙ කෑගැහිලි, කඩල විකුණන වෙළඳුන්ගෙ සද්ද, අයිස් ක‍්‍රීම් වෑන්වල සද්ද, නොනවත්වා කෑමොර දෙන යකඩ කටවල නානා සද්ද අතරින් මාත් සුනිලත් ඇවිද ප්‍රදර්ශන භූමියේ සිරි නැරඹූවෙමු.......


රෑවෙන්න් රෑ වෙන්න ප්‍රදර්ශන භූමියේ සෙනග වැඩි වන්නට විය....එකිනෙකා ඇඟේ හැපි හැපි යන ගානට සෙනග වැඩිවිය......ප්‍රදර්ශන භූමියේ ගසා තිබු විශල අට්ටාලයේ සංගීත සංදර්ශනයක් පටන් ගත්තාය..... විවිධ නම් ඇති ප්‍රසිද්ධ ගායකයෝ පැමින එහි සිංදු කියන්න පටන් ගත්තේ මහ සෙනගේ අත්පොලසන් මද්‍යයේය .......


සුනිලා සෙනඟ අතරින් යද්දී මගේ අතින් හෙමිහිට අල්ලන්න හැදුවේ මිනිසුන් ඇඟේ හැපි තදබදයෙ වැටෙන්න යද්දීය...... සෙනඟ අතරේ තෙරෙපෙමින් සංදර්ශන භූමිය තුළ දී..... මම සුනිලාගෙ අතින් අල්ල ගෙන මගේ ඇඟට ලං කර ගත්තේ..... අනිත් මිනිසුන්ගෙන් සුනිලාට වන තදබදයෙන් කරදරයෙන් වලකා ගන්නටය...... එයට කිසිත් අකමැත්තක් නොදැක් වූ සුනිලා තව තවත් මගේ ඇඟට ම තද වී, මගේ අත අල්ලාගෙන, අනිත් මිනිසුන් ඇයගෙ ඇඟට තද වෙන එක මඟ හැර ගත්තේය. .....පසුව දෙන්නා කතා නොකළත් එක ලඟින් ඇගේ හැපි නොහැපි ගානට ප‍්‍රදර්ශන භූමිය පුරාම ඇවිද්දේ ආශාවෙනි....... මගේ හිත සතුටින් පිරී ඇත..... ජීවිතයට කිසිදා හිතට නොදැනුන හැඟීම්වලින් මගේ හිත පිරී ඇත...... මගේ හිත සුනිලා ගැන ආදරයක් ඇති වී ඇතැයි මට සිතේ...... පුංචි දැරියක් සේ මගේ ලඟින් ඇවිදමින් තොදොල් බස් තෙපුල තෙපුලා වටේ සිරි නරඹන ඇය සිටින්නෙද ඉතා සතුටකිනි......


‘‘සුනිලා කැමති නැද්ද කොළඹ නවතින්න....?.‘‘


‘‘කැමතියි. ඒත් මං කොහේද නවතින්නෙ...?.‘‘


‘‘මං සුනිලට මගේ නෝනව අඳුන්නලා දෙන්නම්කෝ.......එයාගෙ නම මාළි.....මාළි අක්කා කොළඹ එන්න බයයි...... තනියම වැඩ කරගන්න බැරි වෙන නිසා.....මේ දවස්වල අක්කා බබෙක් හම්බවෙන්න ඉන්නේ..... සුනිලාට පුළුවන්නම් අක්කගෙ තනියට කොළඹ නවතින්න ....?


‘‘මං තාත්තගෙන් අහල කියන්නම්. මං නම් ගමේ ජීවිතයට ආස නෑ..... මං ආසයි කොළඹ මේ කළබල ජීවිතයට .....මෙහේ නවතින්නත් කැමතියි......‘‘


‘‘මේ පාර සුනිලලා ගමේ යන්න ඉස්සර ඔක්කොමලා අපේ නෝනලගෙ ගමේ යමුද.....? අක්කට බබා හම්බ වෙන්න ලඟයි...... එයාගෙ තනියටත් එක්ක සුනිලා එහේ නැවතිලා ඉන්න..... බබා හම්බ වුණාට පස්සෙ මං එයාව කොළඹ එක්ක එනවා. එතකොට සුනිලට අපිත් එක්ක කොළඹ නවතින්නත් පුළුවන්......‘‘


නොයෙකුත් දේ කතා කරමින් අපි සංදර්ශන භූමිය පුරා ඇවිද ගියෙමු. එදා දවස ම සතුටින් ගත කර රෑ ගෙදර ගියෙ සංදර්ශනය බලන්න ලෑස්ති කර තිබු විශේෂ ලංගම බස් සේවාවෙනි.......


ඉන් පසු දින මම ජුවානිස් හා ගුණදාස සමග කොළඹ කච්චේරියට ගොස් ජුවානිස්ගෙ කොළඹින් කරගන්න ආ වැඩය කර දුන්නෙමි......


‘‘ මං ඔයගොල්ලන්ව තව එක්ක යන්න හිතන් ඉන්නවා සත්තු වත්ත බලන්න. තව මුහුදු වෙරළ බලන්න. තව ගොඩක් තැන් තියෙනවා බලන්න.... ඉතිරි දවස් දෙකේ අපි තව කොළඹ ඇවිදිමු....මම කන්තෝරුවෙන් නිවාඩු දෙකකුත් ගත්තා ජුවානිස්ලා ආපු නිසා.....‘‘


"ඇත්තද අයියේ..... කොච්චර දෙයක් ද අපි කොළඹ ආපු එක.....අය්යා කන්තෝරුවේ වැඩත් පාඩු කරගෙන....‘‘


සුනිලා කට පුරා මට දැන් අයියා කියා කතා කරයි.


‘‘හැබැයි මහත්තයා, අපිට වැඩි දවසක් නම් කොළඹ ඉන්න බෑ.... මගේ හේනේ පැල බලාගන්න කියලා ආපු මනුස්සයත් දවස් හතර පහකට වඩා ඉන්න බෑ කිව්වා....‘‘


කොළඹ අවට සිරි නැරඹූ ජුවානිස්, ගුණදාස සහ සුනිලා බොහෝ සතුටින් කොළඹ ගැන කතා කලෝය.

සුනිලා ගමේ ජීවිතයට එතරම් කැමැත්තක් නොතිබුණි..... ඉතා දුශ්කර ගම්මානයක ජීවත් වුණ ඇය නිතර දෙවේලේ හම්බවන පත්තර පොත්පත් ආදිය කියවා කොළඹ ගැන දැනගෙන තිබුණ කෙනෙකිය.... කොළඹ ගොස් පැමිණ තිබූ ගමේ මිනිසුන්ගෙන් ද ඇය කොළඹ ගැන අසා දැන ගෙන තිබුණි. කොළඹ බලන්න යන්න අඬ ගැසූ සැනින් ඇය පියත්, සහෝදරයත් සමඟ කොළඹ බලන්න ආවේ කොළඹ යන්න වෙන අවස්ථාවක් නො ලැබෙන බව දැන සිටි නිසාය ......දන්න කියන කිසිම කෙනෙක් ඇයව කොළඹ එක්ක ගෙන ගොස් නො තිබුණු බැවින් ඔවුන්ට මා විශේෂ කෙනෙක්ද විය.


‘‘උබලා කොච්චර පෙරුම් පිරුවද කොළඹ එන්න. මේ පාර තමයි අපට ඒකට, අවස්ථාව, වාසනාව ලැබුනේ... ......නේද පුතේ...... මහත්තයාට පින් සිද්ධ වෙනවා.... උඹලව කොළඹ එක්ක ගෙන ඇවිත් මේ ලස්සන අමුතු දේවල් පෙන්නුවාට..... මෙන්න මේ කෙල්ල නිසා තමයි මං වැඩියෙන් ම කොළඹ එන්න ලෑස්ති වුණේ.....‘‘ ජුවානිස් කීවේය.


‘‘ඇත්තමයි මහත්තයා, මහත්තයාට පිං සිද්ධ වෙනවා අපිව කොළඹ බලන්න එක්ක ආවට.....‘‘


‘‘තව දවස් දෙක තුනක් හිටිය නම්, ජුවානිස්ලට මුළු කොළඹ ම බලාගෙන යන්න පුළුවන්..... කොහොමත් මටත් වැඩිය නිවාඩු නෑ. ඔයගොල්ලො යන්න ඉස්සර අපි කලුතර ගිහින් මගේ නෝනවත් බලලාම යමු......‘‘


‘‘ඒක නම් හොඳයි අපට තව පළාතක් බලා ගන්නත් පුළුවන්...... මහත්තයාගෙ නෝනවත් බලා ගන්න පුළුවන්.....‘‘

ජුවානිස්ද තවත් රට තොට ගැන බලාගන්න ආසාවෙන් පසු වෙයි.


‘‘අපි හෙට උදේට සත්තු වත්ත බලන්න යමු.....‘‘


‘‘ගොඩක් දුර ද අයියා... සත්තු වත්තට...මොක්කුද අපි දැකලා නැති සත්තු එහේ ඉන්නේ.....‘‘ සුනිලා ආසාවෙන් අසයි.....


"ගිහිල්ලම බලාගන්නකෝ.... එක බස් එකක දුර අපේ ගෙදර ඉදන් සත්තු වත්තට යන්න ..... හැබැයි අපට දවල්ට කන්න මොනව හරි නම් ගෙදරින් ඇරගෙන යන්නම ඕනේ......‘‘


‘‘ ඕක මොකද්ද මං උදෙන් ම නැගිටලා අපට දවල්ට කන්න බත් උයා ගන්නම්. මොනවද අයියා කන්න කැමති....?. මං ඕන දෙයක් රසට උයල ගන්නම්.‘‘


‘‘සුනිලා මොනව ඉව්වත් රසයිනේ..... ඔයාට කැමති දෙයක් උයල ගන්න..... මොනවද සුනිලා අද රෑට කන්න තියෙන්නේ. මට සුනිලා ඉන්න නිසා හරි ලේසියි....මේ දවස් දෙක තුනේ මාත් රසට කෑම කෑවා....‘‘


සුනිලා අපේ ගෙදර ආපු දිනයේ පටන් උයන්න භාර ගත්තේ මගේ කැමැත්ත අකමැත්ත ද නොඅසාය..... ඇය ගෙවල් දොරවල් අතු ගා..., උදේට උයා පිහා, වලං පිඟන් හෝදමින් ගෙදර සියලූ වැඩ කරන්නේ ඉතා ආසාවෙනි.


"අපේ ගමේ වගේ නෙමේනේ අයියේ..... වතුර ටික.... කරාමේ ඇරියම කුස්සියෙ ඇතුළෙම තියෙනවා..... දර පත්තු කරන්න ඕන නෑ.... ලිප දාපු ගමන් විදුලියෙන් පත්තු වෙනවා..... ලාම්පු පත්තු කරන්න ඕන නෑ...... විදුලි බුබුලූ පත්තු වෙවා..... කොච්චර ලේසි ද? අනේ ඇත්තමයි අපි ගමේ දී කොච්චර මහන්සි වෙනවද....? වතුර කල ගෙඩි උකුලෙ තියාන පීල්ලට හරි, ඇල්ලට හරි යන්න ඕනෑ වතුර ගේන්න...... ලිප පත්තු කරන්න දර හොයා ගෙන එන්න කැලේ යන්න ඕනේ..... හවස් වෙනකොට කුප්පි ලාම්පු පත්තු කරන්න ඕනේ.... ගමේ වගේ ද මෙහේ කොයිතරම් ලේසිද හැම දෙයකටම.....? ඇත්තමයි අයියේ මං නම් ආයි ගමේ යන්න ආස නෑ..... මට මෙහෙන් රස්සාවක් හොයල දෙන්න බැරිද අයියේ....?.‘‘


"රස්සාවල් නම් ඉතිං හොයන්න ලේසි නෑ..... සුනිල ටික දවසක් අපේ නෝනා ලඟට ගිහින් ඉන්නකෝ..... ඔයාට පස්සෙ මම රස්සාවක් හොයල දෙන්නම්.....‘‘


"ඇත්තමයි තාත්තේ මං නම් ආයි ගමේ යන්න ආස නෑ..... මං මේ අයියට කියල කොළඹ රස්සාවක් හොයා ගන්නවා.....‘‘


‘‘උඹ ඉතිං පොඩි කාලේ ඉඳන් කොළඹ යන්න ඕනේ..... කිය කියානේ හිටියේ..... උඹ කොළඹ තනියම නැවත්තුවොත් ගමේ මිනිස්සු මට දොස් කියයි. ගෑණු දරුවෙක්ව කොළඹ අත් ඇරලා ආවා කියාල.....‘‘


‘‘තනියම නෙමේනෙ මං ඉන්න හදන්නෙ. මේ අයියගෙ නෝනා ලඟනේ..... අනේ තාත්තෙ මං කොළඹ ටික කාලයක් නැවතිලා ඉඳල ආයේ ගමේ එන්නම්......‘‘


‘‘අපි ඉස්සෙල්ලා නෝනව බලලා එමු.....නෝන උඹව නවත්ත ගන්න කැමති ද බලමුකෝ..... දැන් කවද්ද මහත්තයා අපි මහත්තයාගෙ නෝනව බලන්න යන්නේ.....‘‘


‘‘අපි අනිද්දා යමු..... හෙට සත්තු වත්ත බලන්න ගිහින් හවස එන ගමන් කොළඹ ගෝල්ෆේස් එකත් බලාගෙන එමු..... මටත් වැඩිය නිවාඩු නැති නිසා අනිද්දා උදේන් ම අපි කළුතර යමු නෝනා බලන්න.....‘‘


‘‘අයියේ රෑ කෑම ලෑස්තියි..... මං වැඩිය මොනව හැදුවේ නෑ. බතක් උයල, පොල් සම්බෝලයක් හැදුවා. දවල්ට උයපු මාළුත් තියෙනවා ඇති නේද?‘‘


‘‘ඇති... ඇති... අපි එහෙනම් අද ඉක්මණට කාලා නිදා ගමු. ..... එහෙනම් සුනිලා උදේට නැගිටලා මොනව හරි උයල ගන්නව ද, සත්තු වත්ත බලන්න යන්න.‘‘


‘‘හොඳයි අයියේ...... මං මොනව හරි උයල ගන්නම්.‘‘


සුනිලා ඉන්නෙ පුදුම සතුටකිනි..... ඇය ගෙයි එහෙ මෙහේ දුවමින් ගෙයි වැඩ කරන්නේ වැඩිහිට කෙනෙකු ලෙසය. ගමේ දුෂ්කර ජීවිතයක් ගත කළ ඇයට කොළඹ සැප පහසු ජීවිතය හිතා ගන්න බැරි තරම්ය..... ගෙයින් එළියට නොගොස් කුස්සියෙ ඇතුළෙම තියෙන වතුර පයිප්පය ඇය වැඩියෙන් ම ආස කළ දෙය වේ....... සිවිලිමේ එල්ලෙන විදුලි බුබුලූ දිහා ඇය බලා සිටින්නෙ පුදුමාකාර ආසාවකිනි. මුළු ගෙයිම බිමට දමා ඇති රතු මැදපු සිමෙන්තිය ඇය රෙදි කෑල්ලක් දමා හොඳින් දිලිසෙන්නට මැද්දේ ඇය මෙහි ආ දෙවන දිනයේය..... ඇය නිතර ම ගෙයි බිම වාඩි වී කකුල් දෙක දිග ඇරගෙන වාඩි වී හිදියි.


‘‘ඇයි මේ... සුනිලා බිම වාඩි වෙලා......‘‘ මම ඇය පුටුවෙන් වාඩි නොවී බිම සිටින විට අසන්නේ පුදුමයෙනි.


‘‘මැදපු සිමෙන්ති පොළවේ මං හරි ආසයි වාඩි වෙලා ඉන්න. බිම හරි සීතලයි. හරි පිරිසිදුයිනේ..... තාත්තයි, අයියයි රෑට බිම රෙද්දක් දාගෙන නිදාගන්නෙ හරිම ආසාවෙන්....කොහොමත් ගමට වඩා රස්නෙ නිසා බිම වාඩිවෙලා ඉන්න කොටත් සනීපයි......‘‘


‘‘ඒක තමයි ඊයේ රෑ මං බැලූවා ජුවානිසුයි, ගුණදාසයු මොකද මේ සාලේ මැද්දෙ බිම රෙදි දාගෙන නිදාගෙන ඉන්නෙ කියල.....‘‘


‘‘ගමේ වගේ නෙමේ මහත්තයා මේහෙ එළියත් රසනෙයි. බිම නිදා ගත්තහම ඒ රස්නෙ අඩුවෙලා යනවා.....‘‘


සුනිලා ගෙයි තිබෙන වැඩිපුර කාමරයේ නිදා ගනියි..... මං අනිත් කාමරයේය. ජුවානිස් සහ ජුවානිස් ඇඳුම් ඇඳ ගන්න සුනිලා සිටින කාමරයට ගියත්, වැඩිපුර සිටින්නෙ ගෙදර සාලයේය..... ජුවානිස් සහ ගුනදාස නිතර හේනේ වැඩ මතක් කරමින් සිටින්නෙ ගමේ යන්නෙ කවදාද බලමිනි. ....සුනිලා නම් කොළඹ නවතින්නෙ කෙසේ දැයි සිතමින් හිදියි.....


ගෙදර තිබෙන ගුවන් විදුලිය ලඟ වාඩි වී ජුවානිස් සහ ගුණදාස එයට ඇහුම්කන් දෙන්නෙ කැමැත්තෙනි..... ගමේ රේඩියෝ තිබෙන ගෙවල් ඇත්තෙම නැති තරම් ය. ඔවුන්ට රේඩියෝ එක සුපෝපභෝගී භාණ්ඩයක් සේය.


පසුදින උදේ ආහාරය ගත් පසු අපි, දවාලට සුනිලා සකසා ගත් බත් මුල් ද වතුර බෝතල් දෙකක් ද රැගෙන සත්තු වත්ත බලන්න ගියෙමු.......


දෙහිවල සත්තු වත්ත ලඟින් බසයෙන් බසිනවත් සමඟ නොයෙකුත් සතුන්ගෙ හඬවල් ඇසී සුනිලා ගුණදාස හා ජුවානිස් සිටියේ නොවිසිල්ලෙනි.


‘‘අනේ අයියෙ සත්තු වත්තෙ හැමතැනම සත්තු ඇවිදිනව ද? මට නම් බයයි. සිංහයොත් ඉන්නවද.....අපේ ගමේ කැලෑව වගේද.....?‘‘ සුනිලා බයෙන් හා කුතුහලයෙන් අසයි.


‘‘නෑ... නෑ... නපුරු සත්තු ඉන්නෙ ලොකු ගල් ගුහා වගේ හදපු කූඩුවල..... අනිත් හැම සතෙක්ම වගේ කූඩුවල තමයි ඉන්නේ. දැන් අපි ටිකට් ඇරගෙන ඇතුළට ගිහාම බලා ගන්නකෝ සුනිලා නොදැක්ක සත්තු හැම එකෙක්ම වගේ මේකේ ඉන්නවා.....‘‘


‘‘ටිකට් ගන්නත් ඕනද සත්තු බලන්න.....‘‘


‘‘ඔව්... ඒ සල්ලිවලින් තමයි සත්තු වත්ත පවත්වා ගෙන යන්නේ..... සත්තුන්ට අවශ්‍ය කෑම බීම, සත්තු වත්තේ සත්තු බලාගන්න ඉන්න අයට පඩි නඩි ගෙවන්නෙත් මේ සත්තු වත්ත බලන්න එය අය ගන්න ටිකට් වලින් තමයි.....‘‘


අපි සත්තු වත්තේ විශාල ගේට්ටුවෙන් ඇතුල් වුණේ නොයෙකුත් සතුන්ගෙ හඬවල් මධ්‍යයේ ය.


‘‘අනේ අර බලන්නකෝ අර කොක්කුන්ගේ කකුල් තැඹිලිම තැඹිලි පාටයි. අර ඉරි ඉරි ඇගේ තියෙන සතා මොකාද අයියේ....?.‘‘


‘‘ඒ සීබ‍්‍රා... මේ වෙලාවට සීල් මාළුවාගේ සංදර්ශනයක් තියෙනවා. අර... අර... මිනිස්ස යන්නෙ ඒක බලන්න. එන්න අපිත් යමු සීල් මාලුන්ගෙ සංදර්ශනය තියෙන මණ්ඩපය ලඟට.‘‘


‘‘හරි ලස්සන තැනක්..... පඩි පෙලේ ඉදගෙන සීල් මාළුවාගෙ සර්කස් බලන්න හදපුම තැනක් නේද මේක....‘‘


‘‘හරි ලස්සන අමුතු සතෙක් අර බලන්නකෝ බෝලේ කටේ තියාන උඩට දාලා අල්ලන විදිහ.‘‘


‘‘අනේ අර බලන්නකෝ .....අපේ ගමේ කැලේ ඉන්න වඳුරෝ, රිලව්වත් කූඩුවල දාලා මිනිස්සුන්ට බලන්න.....‘‘ සුනිලා ගුණදාසට පෙන්වා හිනහෙයි...


‘‘ඒක තමයි මී මින්නෝ, මොණරු, උලමෝ, බකමූණෝ, ඌරෝ අපේ ගමේ කැලෑවල ඉන්න සත්තුත් මේ කූඩුවල දාලානෙ මේ අය පෙන්නල සල්ලි ගන්නේ....‘‘


‘‘අර මී හරකුත් ඉන්නවා..... එළ හරකුත් ඉන්නවා.‘‘ ජුවානිස් එසේ කියා කට වසාගෙන හිනාවෙයි.


‘‘එහෙම තමයි ජුවානිස්ලා.... ගමේ ඉන්න සත්තු දැකල තිබුණට මේ කොළඹ මිනිස්සු ඒ සත්තු දැකල නෑනේ..... කොළඹ මිනිස්සු සල්ලි ගෙවල තමයි ඒ සත්තු දැක බලා ගන්නේ.‘‘


‘‘ඔව්... මහත්තයා අපිත් නොදැකපු සත්තු ගොඩක් බලා ගත්තා. ඒක හරි වටිනවා.‘‘


"අපි එහෙනම් කොහේ හරි වාඩි වෙලා දවල් කෑම කමුද....? දැන් හොඳට ම දවල් වුණා. හවස දෙකට අලි නැටුම් බලන්නත් තියෙනවා..... ඊට ඉස්සර අපි කාලා ඉමු.‘‘


‘‘අලි නටනවා මං කවදාවත් දැකල නෑ අලි කුලප්පු වෙනවා විතරයි මම දැකලා තියෙන්නේ ....අලි කුලප්පු වෙන්නෙ නැද්ද මහත්තයා.....?. අපි නම් ඉතිං වල් අලි එන කොට කැලේ කඩන් දුවල ගිහින් හැංගෙනවා..... ඒ ඇරෙන්න සමන් දේවාලේ පෙරහැරේ යන අලි තමයි අපි දැකල තියෙන්නේ.....‘‘


‘‘ඇයි වලව්වේ අලි දෙන්නා.‘‘

ගුණදාස ජුවානිස්ට මතක් කර දෙයි.


‘‘ඔව්... මහත්තයා අපේ පහළ ගමේ වලව්වේ මහත්තයා ලඟ අලි දෙන්නෙක් ඉන්නවා. උන්ට හරි වියදමක් යනවා කියලා, උන් සුදු අලි කියලා වලව්වේ නිලමේ කියන්නේ. ... අලි බලා ගන්න එකත් ලේසි පාසු වැඩක් නෙමේ....‘‘


අපි ගස්වලින් හෙවන වී තිබුණ තැනක බංකුවල වාඩි වී, දවාලට සුනිලා උයා කෙහෙල් කොළවල ඔතා ගෙනවිත් තිබූ බත් මුල් කෑවේ හොඳට ම බඩගිනි වූ පසුය.


‘‘සුනිලගෙ බත් මුල හරිම රසයි..... කෙහෙල් කොලේ ඔතල තියෙන නිසා තවත් රසයි.‘‘


‘‘බත් මුල් බඳින කොට කිරි දාල උයන හොඳි මාළු, සම්බෝල දමන්න හොඳ නෑනේ. ඉක්මණට නරක් වන නිසා, ඒ නිසයි මං පරිප්පු හින්දලා පොල් මැල්ලූමුයි කට්ට කරවල තෙල් දාල ගත්තේ..... කෙහෙල් කොළ කපා ගත්තෙ ගෙදර වත්ත පල්ලෙහා තිබුණ කෙහෙල් ගසෙන්......‘‘


‘‘ඒක තමයි මං කල්පනා කළා කොහෙන්ද කෙහෙල් කොළ කියල. මට අමතක වුණානේ....කෙහෙල් ගස් ටික......‘‘


"‘‘තාත්තා තමයි මට උදේ බත් මුල් බඳින්න කෙහෙල් කොළ කපල ගෙනත් දුන්නේ......‘‘


දවල් කෑමෙන් පසු අපි අලි නැටුම් බලන්න සංදර්ශණ භූමියෙ වාඩි වී බලා සිටියේ නොවිසිල්ලෙනි. .....සංදර්ශනය පටන් ගැනීමට පේළියේ ආපු අලි දැක මිනිසුන් අත්පුඩි ගසන්න විය. පේළියේ මුළින් ම ආපු සත් දන්ත අලියා පෝස්ටරයක් කටින් එල්ල ගෙන ආවේය...... එහි ගසා තිබුණේ

"අපේ නැටුම් සංදර්ශනය බලන විට, ඔබලාගේ කැමරාවලින් එළි පිට නොවන ලෙස ඡායාරූප ගන්න, අපට කරදර නොකර නැටුම් සංදර්ශනය බලන්න" කියායි...... දෙවනුව ආ අලියා කටින් පිඹින නලාවක් වාදනය කරමින් පැමිණියාය. අලි හත් දෙනෙක් ආ පෙරහැරේ අන්තිමට සිටියේ අලි පැටවුන්ය...... දකින්න ලස්සන සංදර්ශනයේ අලින්ව මිනිසුන් අත් පුඩි ගසමින් පිළිගත්තෙ ඉතා ආසාවෙන් හා නොවිසිල්ලෙනි. ඉතා ලස්සන මැජික් සංදර්ශනයක් සේ පුදුම හිතෙන නැටුම් ඉදිරිපත් කළ අලීන් දිහා හැමෝම පුදුමයෙන් බලා සිටියෝය.


සත්තු වත්තේ සිරි නැරඹූ අප ඉන් පසුව ගියේ කොළඹ ගාලූ මුවදොර පිටිය බලාය.


‘‘අනේ මුහුද මෙච්චර ලස්සනයි කියලා මම දන්නේ නෑනේ.....මේ මහ මුහුද දිහා, කොච්චර බලාගෙන හිටියත් මදි...... නාන්න හිතෙනවා....අපි මුහුදු රැල්ල පාගමුද....?‘‘


‘‘මුහුදු වතුර ටිකක් බෝතලයකට ගෙනියන්න ඕන මහත්තයා ගමේ අයට පෙන්නන්න.‘‘


‘‘ආ... අපි බොන්න වතුර ගෙනාපු බෝතලයට එහෙනම් වතුර ටිකක් පුරවගෙන යන්න.... .‘‘


‘‘මුහුදු වැලි ටිකකුත් ගෙනියන්න ඕනේ. අපි කොළඹ ආපු ගමන මතක් වෙන්නත් එක්ක.‘‘


‘‘අපි අයිස්ක‍්‍රීම් කමුද....?’’ මං සුනිලගෙන් ඇසූ සැනින් ඇය දත් පෙන්නා සතුටින් සිනාසුනාය.


‘‘අද දවසේ අපි ගොඩක් දේවල් බලාගත්තා. මහත්තයාට පිං අපිව මේ වගේ වටින කියන දේවල් බලන්න එක්ක ආවට. ඒ වගේම සල්ලි වියදම් කළාට අපි වෙනුවෙන්...අපි ළගත් සල්ලි තියෙනවා මහත්තයා ...ගමෙන් එනකොට වියදම් කරන්න ඇරගෙන ආපු ඒවා වියදම් උනේම නෑනේ.....‘‘


‘‘ ඕව මොනවද මටත් සතුටුයි කොළඹ දැකල තිබුණ නැති අයට කොළඹ පෙන්වන්න පුළුවන් වීම.‘‘


-නැවත හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

0 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page