top of page
  • Writer's picturePrisila Godahewa

🌺බැද්දේ කුමරිය 🌺

🌺බැද්දේ කුමරිය 🌺

( 12 වෙනි කොටස )

https://www.facebook.com/groups/2653780434897311/permalink/2686699118272109/

රුවන්ගමට යන්න තියෙන කඩමණ්ඞ්යෙදී, බසයෙන් බැස ගත් මම අවට පරිසරය දෙස බැලුවෙමි. මුළු පළාතෙම ඇත්තේ දැඬි අඳුරකි. මේ වන විට හිරු බැසගොස් පැයකට හමාරකට වැඩි බව පෙනේ..... මේ දැඬි අඳුරේ, කවදාවත් තනියම ගොස් නැති රුවන්ගම පාරේ, මම දැන් කෙලෙසද මේ ගමට යන්නේ කියා ඇතිවුනේ උගතෝකෝටික ප්‍රශ්නයකි........... දසතම පැතිර තිබු දැඬි අදුර, නිහඬතාවය මගේ හිත තිගැස්සීමකට පත්කර ඇත.


මම බසයෙන් බැස ගත් කඩමණ්ඩිය නොහොත්......

රුවන්ගමේ ජනතාව බඩුමුට්ටු ගන්න එන සිල්ලර බඩු කඩය හා එකම තේ කඩය තුල, පැට්ට්‍රල් ලාම්පුවක් දැල්වේ.... බඩු ගන්නට හා තේ බොන්නට, පැමිනි ගැමියන් දෙතුන් දෙනෙක්ද කඩ කෑල්ලේ දොරටුව ලඟ හා මිදුලේ ඉන්නවා ඈතට පෙනේ.....මම හෙමිහිට තේ කඩය දෙසට ඇවිද ගියෙමි.


රුවන්ගම හරහා පැල්මඩුල්ලට යන බසයෙන්, ඉර කළුවර වැටින පසු දවසේ අවසන් බසයෙන් පැමින කඩමණ්ඩියෙන් බැස ගත්, දිග කලිසම් ඇදගත් මහත්තයා..... තේ කඩය අසල ගැවසෙන ගැමියන් පුදුමයෙන් මෙන් මා දෙස බැලුවේය.....


"මහත්තයා....මේ කොහි යන ගමන්ද...මේ ගොම්මනේ....?


"මම මේ ඉහළ ගමට පාර කපන්න ...ඉඩම් මනින්න ආ මිනුම් දෝරු මහත්තුරු ඉන්න වාඩියට යන්න කියලා .....".


"මගෙ අම්මෝ මහත්තයා ...මේ රෑ....ගමේ අපිත් ඒ වාඩිය පැත්තෙ යන්නෙ නෑ මේ රෑට ... ඒක මහ කැලේනේ......"


"මහත්තයා පාර දන්නවද යන්න...? තවකෙක් අසයි.


" එක ගමනක් ගිහින් තියෙනවා වාහනයෙන්...හොයාගෙන යන්න පුලුවන් වෙයි...... මේ වෙලාවේ....ඔය කවුරු හරි ගම පැත්තට යන අය එහෙම ඉන්නවද දන්නැ....නේද?


"ඉන්න මහත්තයා බලන්න...අර තේමිස් මලය නම් ඉන්නවා......උන්දැ බැද්දට යන්න ඉස්සර , මඟින් හැරිලා කුරුඳු කෑල්ල පැත්තට බහිනවා....මහත්තයාට ටික දුරක් තේමිස් මලය එක්ක නම් යතහැකි....ඉන්න මම අහල කියන්න...."


"තේමිස් මලයෝ....දැන්ම කන්ද නගිනවද....?මේ මහත්තයාවත් තැන්න පැත්තට කලානම්....ඔය ඒ ගමේ කවුරු හරි මහත්තයාව මිනුම් වාඩියට එක්ක යයි......"


"මම මේ දැන් යන්න කියලා ......

ඉන්න මහත්තයා මම මේ බඩු.....ගෝනිය ඇරගෙන එන්නම්..... මේ හුළු අත්ත පත්තු කරගෙන ගියේ නැත්තම් සතාසීපාව පේන්නෙ නෑ කලුවරේ...."


"මහත්තයා මේ ඉටිපන්දමයි, පොල්කට්ටයි ගන්න.....මඟදි කළුවර උනොත් පත්තු කරගන්න ...."


කඩේ මුදළාලි මට ගිනිපෙට්ටියක් සමඟ ඉටිපන්දමක් පොල්කට්ටක් දුන්නේ හොද හිතින් බව මට තේරුනි . ඒවාට මුදල් ගෙවා දැමු මම තේමිස් නම් ගැමියා සමඟ, රුවන්ගම පැත්තට යන්නට ගමන් ආරංභ කලෙමි.


තේමිස් නම් ගැමියා මා යන පාරේ මගක් දුරට යනවා කිව් නිසා....මම ඔහු පිටුපස වැටුනේ, කතාවට ඔහුත් අල්ලා ගනිමින්... ...... එක අතකින් විශාල බඩු ගෝනියක් කරේ තියාන.... අනිත් අතින් හුළු අත්ත එහෙට මෙහෙට වනමින් යන ඔහු ....අපහසුවක් නැතුව කන්ද නඟින බව පෙනේ.....ඔහුගේ වේගයට, ඔහුගේ පිටිපසින්, දිග අඩි තියමින්‍ මම ඇවිද ගියේ හති දමමින්‍ ය.


දැන් හොදටම අඳුර වැටී ඇත......දැන් රෑ අටට විතර ඇති යැයි මට සිතේ....... කඩමණ්ඩියේ සිට ගුරු පාර දිගේ ඇවිද ආ අප දෙදෙනා ......පසුව කුඹුරු යායක් මැද නියර දිගේ ඇවිදගෙන ගියෙමු.. ... . කුඹුරේ වක්කඩ වල දිය පාර වලින් බැස යන හීන් දිය සීරාවේ සද්දය....ගෙම්බන්, කුරුමිනියන්....රැහැයන්ගේ ශබ්දය ඇරෙන්න අවට පරිසරයේ වෙන කිසිම ශබ්දයක් නැත....කඳු යායෙන් වටවුන කුඹුරු යායෙ නියර දිගේ ආ අපට....ඊට පසු එතන තිබුන ඔයෙන්, ගම පැත්තට එගොඩට වෙන්නට තිබුනේ....පොල් ගසක කඳක් කපා දමා හදා තිබුන ඒදන්ඩෙනි......


"මහත්තයාට පුලුවන්ද ඒදන්ඩේ එන්න...බලාගෙන පය ලිස්සුවොත් ඔයට වැටෙයි...."


පොල් කොටන් දා සාදා තිබු ඒදන්ඩෙන් පහල ඔයේ.... , හීන් හඬක් නගමින් ජලය බැස යයි.....ගැමියා විශාල ගෝනියද කරේ තියාගෙන ඒදන්ඩ උඩින් සීරුවට එහාපැත්තට ඇවිද යයි....මම ඔහු පසු පස හෙමිහිට අඩි තබමින් සැකෙන් බයෙන් ඇවිද ගියෙමි .... කොයි මොහොතේ මම ඔයට ඇද වැටේද කියා ඇත්තේ සැකයකි......


ඔයෙන් එගොඩ වී අපට ඇවිද යන්නට උනේ මහ, ඝනට වැවුන, කළුවර මැංගුස් වතු යායක් මැදිනි.....මහා විශාල මැංගුස් ගස්වල අතු ඉති එහෙට මෙහෙට වැනෙන්නේ, මහ හොල්මන් අවතාර මෙනි....ඒ අතරින් යද්දි මගේ හිත බයෙන් ගැහෙන්න පටන් ගත්තත්....ගැමියාගේ ලඟින් ලඟින්ම මම හති අරිමින් ඇවිද ගියෙ හිතේ ඇති බය නැති කරගන්නටය....


මැංගුස් වතුයාය පසු කර පසු, අපට දිගටම යන්නට තිබුනේ.... ගල් මුල් උඩින් පැන පැන නැග නැග කළුවර අඩි පාරකය........


"මහත්තයා මම මේ කුරුදු කෑල්ලෙන් පහලට බහිනවා....අපේ ගෙවල් ඔය පල්ලෙහා....මහත්තයාට ඉතිරි ටික තනියම යන්න පුලුවන්ද ?......ඉස්සරහ අක්කර හතලිහේ රබර් කෑල්ල පාස් කලාම......ඔය අඩි පාරේ දීගටම ඉස්සරහට යන්ඩ....හැතැප්ම දෙකකට කිට්ටු වෙන්න දුරක් ගිහාම ගම්මානය හම්බ වෙනවා..... මහත්තයාට ඔය ගමේ කාවහරි අඩගහගෙන, බැද්දේ වාඩියට යත හැකී......අනේ මන්දා......මහත්තයා හරියට පාර වත් දන්නෙ නැතුව මොකට....මේ රෑ මේ ගමන් ආවද මන්දා....අපේ අම්මා ලෙඩ වෙලා ඉන්නේ....නැත්තම් මම මහත්තයා බස්සලා යන්ඩ එනවා...."


"නෑ මට පුලුවන් යන්න.....මේ ඉටිපන්දම පත්තු කරලා පොල්කට්ටක ගහ ගත්තම මට පාර බලාගෙන යත හැකි....."


"එහෙනම් මහත්තයා පරිස්සමට යන්න....ටික දුරක් ගිහාම පොඩි ඇල්ලක් හම්බ වෙයි....එතන පහුකරලා ගිහාම ටික දුරයි ගම්මානෙට....."


"හොදයි බොහොම ස්තුතියි ....එහෙනම් ..."


කන්දේ..., ගල් මුල් වල හැපි හැපි වැටි වැටි.. යාන්තමට පෑදි තිබූ අඩි පාර ඔස්සේ ගම් යාය සොයා ගනිමින් තිත්ත කරුවලේ යන මට පාර කියන්න තිබුනේ....කඩමන්ඩියෙන් මිලදි ගත්, පොල්කට්ටක ගසා පත්තු කල ඉටිපන්දම පමනි..... පේනතෙක් මායිමේ ගෙයක් දොරක් නැති කැලෑවේ, නොයෙකුත් නොදන්න වන සතුන්ගේ හඩවල්...එක දිගට කෑගසන රෑහැයියන්ගේ, ගෙම්බන් බකමූනන්ගේ හඩ මගේ හිත තිගැස්සි ඇත..... සැතැප්මක් දෙකක් පමන ඝන අන්දකාරයේ යනවිට හිතේ ඇති තිගැස්මත් සමග හොඳටම හති වැටුනත්.....ඇඟ සීතල කර ඇත්තේ බයටය......පුලුවන් තරම් ඉක්මනට අඩි පාර දීගේ මම පය ඉක්මන් කරමින් යන්නේ වටපිට නොබලාමය........ හතර අතින් ඇති අන්දකාරයේ මම පාර සොයා ගත්තේ බාගෙට පායා තිබු හඳ එළියෙනි. අතේ ඇති ඉටිපන්දමෙන් නොවේය......අඩි පාර දෙපැත්තෙ ඇති කැලෑවල සිටින සතුන්ගෙ හඬවල් ද, රැහැයින්ගේ සද්දෙන් ද මගේ සිත බියෙන් ගැහෙයි.......ඒත් මෙලෙස බය වි බැරිය.... සිතට ශක්තිය ගෙන මම අඩිය ඉක්මණ් කර අඩි පාර දිගේ කන්දේ ඉහලට නැග්ගෙමි..... .ගැමියා කිව් පාරේ ඇති පොඩි දිය ඇල්ලෙන් වැටෙන ජලකඳේ සද්දය හා ඊට පහළින් ගලා බසිනා දොළ පාරෙ වතුර ශබ්දය මා සිතට ඇති කළේ අමුතුම බියකි .......දිය ඇල්ලේ සිට කඩා හැලෙනා වතුරත්, ඊට පහලින් ඇති දොලේ කලු ගල් ගෙඩිත්.... මට හොල්මන් ලෙස පෙනේ.....වටපිටාවේ හෙළවෙන ගස් කොළන් අතු ඉති තව තවත් මගෙ හිත සලිත කර ඇත.....


"ඉතිපිසෝ භගවා අරහං සම්මා.....සම්බුද්දො.......විජ්ජාචරණ.... යන බුදුන් වදින ගාථාව

හයියෙන්, හයියෙන් සද්දෙට කිය කියා මම දිගටම පය ඉක්මණ් කර ඇවිද ගියෙමි.....ඇල්ල පසුකර කලුවරේ ......තව ටික දුරක් ඈතට ඇවිද යනවිට ඈත ගේක පහන් එළියක් වැන්නක් දුටුවේ මගෙ හිත සතුටින් පුරවමින්‍ ය. ..... මගේ හිතට හරි පණ ආවේ ඒ එළිය දුටු කලය..... ..... මං හනි හනිකට ගල් මුල් වල හැපි හැපි වැටි වැටි ඒ දෙසට දිව ගියේ......ඇඟට ආ ශක්තියත් සමගිනි.....


එකදිගට දුවවිත් මම, ගෙදර ඉදිරිපස ඇති ඉනි වැට කඩුල්ල අනවසරයෙන්ම පැන ගත්තෙමි. ඒ ආ සැනින්, මම ගෙදර දොරට තඩි බෑවේ හිතේ තිබූ බය, සැකය, චකිතය සියල්ල නැති වි යන ලෙසය....මේ ආ ගමනේ , මුල්ම ගෙය දුටු සතුටිනි....


‘‘කවුද... කවුද... මේ මහ රෑ.... දොරට තඩි බාන්නේ......‘‘


වයසක උන්දෑ කෙනෙකු කරේ ඉඳන් චීත්තයක් පොරවා ගෙන කුප්පි ලාම්පුවක් ද අතින් ගෙන දොර ඇරියේ කේන්තියෙනි.... ඇය ඇස් පොඩිකරමින් මා අදුනාගන්න උත්සහ ගන්නා හැටිද පෙනේ......


‘‘ආ... මේ මහත්තයා කෙනෙක්නේ.. ....කවුද දෙවි හාමුදුරුවනේ මේ....? මේ මහ රෑ.....කොහේ යන ගමන්ද මහත්තයා ....?’’


මගේ මූණට කුප්පි ලාම්පුව අල්ලා ඇය මා අඳුනා ගන්නට උත්සහ ගනියි....


‘‘අම්මේ මං උඩහ කන්ද මනින්න ආ ලොකු මිනුම් මහත්තයාගේ මල්ලි..... ගෙදරින් පණිවිඩයක් ඇරගෙන ආවේ.... අනේ මට පාර වැරදිලා ද කොහේදෝ.....මට පුළුවන්නම් මිනුම් වාඩිය පැත්තට යන්න පාර පෙන්නුවානම්.....‘‘


‘‘මගෙ අම්මෝ.... කැලෑ මහත්තයලා වාඩි ගහගෙන ඉන්නේ කොයිතරම් නම් දුරකද? .....ඒ ඉන්නේ බැද්දේනෙ..........මේ රෑ නම් මහත්තයාට ඒ පැත්තට යන්න වෙන්නෑ...... තව හැතැප්ම 4 කටත් වැඩියි දුරක් ඒ පැත්තට තියෙනවා ....... මේ රෑ .....? සතා සිව්පාවා එළි බහින වෙලාවේ ඒ පැත්තට යන්න නරකයි තනියම.....මේ ගමේ මිනිස්සුවත් රෑට ඒපැත්තේ යන්නේ නෑ.....මහත්තයාට කවුරුත් ඒ ගැන කිව්වේ නැද්ද....?


"ඒක තමයි ,මමත් වැඩිය කල්පනා කරන්නේ නැතුව මේ ගමන ආවට මට දැන් තේරෙනවා ඒ ගැන....අනේ නැන්දේ මම දැන් කොහොමද ඒ පැත්තට යන්නේ....?


"පොඩ්ඩක් හිටින්නකෝ මහත්තයා ..... මං මහත්තයාව අප්පුහාමි ලාගෙ ගෙදරට බස්සන්නම්..... ජුවානිස් අප්පුහාමිගෙ පාල කොලුවත් එක්කවත් මහතත්යාට ඒ පැත්තට යන්න පුළුවන්ද බලන්න.......‘‘


ඇය එසේ කියා ගෙදර දොර අඩවන් කර අතේ තිබ කුප්පි ලාම්පුවත් ඇරන් මට ඉස්සර විය.


ඇයගේ පසු පස වැටුන මගේ හිතට සැහැල්ලූවක් සැනසීමක් දැනුණේ එවිටය..... ඇයගෙ පිටුපසින් මම ඇයට පිං දිදී ගමන් කලෙමි ....රෑ පානේ නොදන්න ගමකට ඇවිත් මම කරගත් මෝඩ වැඬේ කල්පනා කර ක‍ර යන කල මටම මම ගැන දුක සිතේ......


වයසක උන්දෑ මට වඩා,ශක්තිමත් පාටය....ඇය සමග සැතැප්ම කාලක් පමන ඇවිද ගිය කල....ඈතින් ලඟ ලඟ ගෙවල්වල පහන් එළි දැකගත හැකි විය....... මහළු අම්මා මා සමග එම ගෙවල් ද පසු කරගෙන ගොස් තැන්නකට පිවිසියාය..... තැන්නෙ තිබූ ගෙයි ඉදි කඩුල්ල පැන ඇය ගේ දොරකඩට යන කල, මට එම ගේ අදුනාගන්නට හැකි විය.....ඒ ගමේ මුළාදෑනියා වන ජුවානිස් අප්පුහාමිගේ ගෙදරය.


"අප්පුහාමි....අප්පුහාමි..උඹලා නිදිද...? ඇය ගෙදර ඉදිරිපස දොරට ගසයි.....


වැඩි වේලාවක් නොගොසින්

ගෙදර ඉදිරිපස දොර ඇරගෙන එයින් එලියට ආවේ අප්පුහාමි මාමාය......ඉදිරිපස දොර ඇරුන විගස, ගෙයි ඇතුලත පත්තු කර තිබුන ලාම්පු එළිය මිදුලට වැටින.....


" අප්පුහාමි ......උඹ මේ මහත්තයාව අඳුනනවද බලන්න .......මේ මහත්තයාට පාර වැරදිලා ......ඒ හින්දා මං මේ මහත්තයාව මෙහෙට එක්ක ආවා....උඹට පුලුවන් විදිහකට මේ මහත්තයාට පාර පෙන්නපං.... "


ඇය ගේ දොරකඩ සිටි ගේ ඇතුලේන් එළියට ආ අප්පුහාමිට කීය......


ගෙයි උළුවස්සේ සිට අතේ ඇති පහන මිදුලට අල්ලමින් ඇස් දෙක පොඩි කර මා දිහා බැලූ ජුවාන් අප්පුහාමි පුදුමයෙන් පුදුමයට පත් විය.


‘‘මගෙ අම්මෝ.....මේ ලොකු මිනුම් මහත්තයාගෙ මල්ලි නේ..... මොකද මහත්තයා මේ රෑ ජාමේ...... ‘‘


‘‘මම මේ අය්යට, ගෙදරින් පණිවිඩයක් ඇරගෙන ආවේ...... වැඩ ඇරිලා එනකොට හොඳටම හවස් වුණා..... මට හරියට පාර මතක නැති නිසා මඟ දිගටම පාර අහ අහ ආවේ...... අනේ, අප්පුහාමි .....මාව ටිකක් වාඩිය පැත්තට කරන්න පුළුවන් ද? ......මෙතනින් එහාට නම් තනියම යන්න බයයි....‘‘


‘‘මහත්තයා දැන් රෑ දහයත් පහුවෙලා..... සතා සීපාවා මඟ දිගට ම ඇති...... මේ වෙලේ කැලේ යන එක නාකයි......නපුරුයි.....මේ ගම්වල ඉන්න අපිවත් රෑපානේ ඔය බැද්දට යන්නේ නෑ....දැන් මොකද කරන්නේ......? මහත්තයා අද රෑට මෙහෙ අපේ ගෙදර ඉදලා හෙට උදෙන්ම වාඩියට යන්න....."


"අනේ ලොකු උන්නැහේ ඒක නම් ලොකු උදව්වක් ....මට තවත් දුර ඇවිදගන්න පනත් නෑ....මට මේ ඉස්තෝප්පුවේ උනත් ඉන්න පුලුවන් ......උදේට බැද්දට යනකම්....."


" එන්න එන්න මහත්තයා ගේ ඇතුළට.....මොකට ඉස්තෝප්පුවේ ඉන්නවද මේ ගෙදර ඉඩ තියෙද්දී.... මංගෝ අක්කෙ .....ලොකු දෙයක් උඹ මහත්තයාව මෙහෙට කරපු එක.....‘‘


‘‘එහෙනම් මං ගිහින් එන්නම්. මහත්තයා....‘


‘‘අනේ අම්මේ, බොහොම පිං මාව මේ පැත්තට එක්ක ආවට.....‘‘


‘‘පිං මොකටද මහත්තයෝ..... කොහොමත් මාසෙකට දෙකකට සැරයක් අපේ ගෙදරට, රෑට පාර වැරදෙන අය එනවා.... මගේ ගේ නොවෑ ගමේ මණ්ඩියට එනකොට ඉස්සෙල්ලාම හම්බවෙන ගෙදර....‘‘


‘‘සුනිලා දුවේ.....මෙහෙට ආවනම්..., ....මේ බලපන් කවුද ඇවිල්ලා ඉන්නෙ කියල.....‘‘


ජුවානිස් කෑගෑවේ ගෙයි ඇතුලටය.....


චීත්ත රෙද්දක් කරේ සිට පොරවාගෙන, කුප්පි ලාම්පුවක් අතින් ගත් සුනිලා...

ගෙයි සිට එළියට ඇවිත් පුදුම වී මා දෙස බලා උන්නාය.....


ගෙයි උළුවස්සේ ලග සිට, ඇස් දෙක පොඩි කර අදුරේන් එළියට කර පෙවූ සුනිලා .... මා දුටු වහා කඩිමුඩියේ ගෙයි දොරකඩට ආවාය.


‘‘ මගෙ අම්මේ.......මහත්තයා මොකෝ මේ රෑ ජාමේ....තනියමද ආවේ මේ කැලෑ පාරෙන්....කෝ වාඩියෙ කවුරුත් ආවේ නැතෑ.... අපි නම් දැන් මේ නිදාගන්නයි ලෑස්ති වුණේ....‘‘


‘‘නිදාගෙන හරියන්නෑ කෙල්ලේ.... මහත්තයාට හොදටම බඩගිනි ඇති.....හවස ඉදන් එනව කියන්නේ......මොනව හරි කෑම ටිකක් හදලා හරි, ඉතුරු වුණ කෑම රත් කරල හරි ගනින් මහත්තයාට කන්න දෙන්න.... "


"එන්න එන්න මහත්තයා ගෙට..."


මම ජුවානිස්ගේ ගෙයි ඉස්තොප්පුවට ගොඩවි එහි පුටුවක් උඩින් මගේ බෑගය තිබ්බෙමි.


"මොනව හරි තිබහට බොනවද...මහත්තයා ?


" මට වතුර එකක් දුන්න නම් බොන්න ...ඇඟපත ටිකක් හෝදගන්න තිබුන නම් ලොකු දෙයක් අප්පුහාමි ....උදේ වැඩට යන්න ඇදගත්ත ඇදුම් පිටින් මේ ඉන්නේ....බස්වල ඇවිල්ලා හරි දාඩියයි....මහන්සියි....."


මහත්තයා එහෙනම් මුහුණ කට සෝදගන්න යං පීල්ල ලඟට.....ඉන්න මං කුප්පි ලාම්පුවක් ඇරගෙන එන්නම් ......ඒ වෙනකොට සුනිලා ඔය මොනව හරි රත් කරලා ගනියි කන්න.....‘‘


‘‘මහත්තයාට ගෙයි එළියෙ කාමරයත් ලෑස්ති කරල තියපන් කෙල්ලේ නිදාගන්න...... මං මහත්තයා එක්ක පීල්ල ලඟට ගිහිල්ලා එන්නම්....‘‘


එසේ කියමින් ජුවානිස් කුප්පි ලම්පුවකුත් රැගෙන ඉස්තෝප්පුවෙන් එලියට බැස්සේය.


ඉස්තෝප්පුවේ තිබුන හාන්සි පුටුව උඩ මම ගෙනා බෑගය තියා...එහි තිබුණ සරමයි, තුවායයි රැගෙන මං ඔහු පසු පස ගියේ, උදේ ඉඳන් තද කරගෙන හිටපු ඇඳුම් ගලවා මුහුණ කට සෝදා ගන්නටය. අප්පුහාමි කුප්පි ලාම්පුවකුත් රැගෙන මට ඉස්සර වී ගෙයි ඉස්සරහ පැත්තෙන් පිලිකන්න පැත්තට ගියේය.....


ගෙයි පිලිකන්නෙ ඉදන් ගල් පඩි පෙලක් බැස අප දෙදෙනා ගියේ....එක දිගට නොනවත්වා සද්දෙන් ගලා හැලෙන දිය පීල්ලක් ලඟටය........

කැලෑවෙන් වට වූ හිස් බිමේ ....කන්දේ හොදම දිය උල්පතකින් ගලා එන සීතල වතුර ..... , පුවක් පිති එක දිගට එකතු කර ගෙදර ලඟටම වතුර ගෙනවිත් ඇත. දිය පීල්ලෙන්, හීන් සද්දෙන් බිමට වැටෙන සීතල දිය පොද එකතුවි, වතුර පොකුනක් ලෙස සෑදී ඇත.... ඒ පොකුනේ වතුර උතුරා වැලි ගල් අතරින් කන්ද පහලට ගලා බසී.....


සීතල පිරිසිදු දිය පීල්ල දුටු විට, මට මුහුණ කට සෝදා ගැනීමට වඩා ඔලුව ඇඟපත සෝදා ගැනීමට ඇත්නම් කියා සිතිනි. .... ඇද සිටි ඇඳුම් ගලවා, පසෙක ගල් පොත්ත උඩින් තිබා යට ඇඳුම පිටින් පීල්ලට අල්ලා හොඳට ඔලුව ඇඟ පත සෝදා ගත්තේ සීතල වතුරෙනි. ....මා නා ගන්නා තුරු ගල් පොත්ත උඩ ඇන තියාන වාඩි වී උන් ජුවානිස් ,මා සමඟ එක එක දේවල් ගැන කතා කරයි........ ඇඟපත සෝදන ගමන් ඔහු මා සමග, කතා කරේ මා කැලෑ පාර දිගේ දිගටම එන විට සිදු වූ දේ ගැනමය..... දැඩි සීතල වතුරෙන් නාගත් පසු ඇඟට දැනෙන සැප පහසුව කියා නිම කල නොහැකි විය ....


"නාගෙන ඉවර නම් යමු මහත්තයා ....සුනිලා කෙල්ල මොනව හරි කෑමට රත් කරලා ඇති ..."


පීල්ලේ සිට ඇඟපත සෝදා ගෙන ගෙට ආපසු , ජුවානිස් ඉස්තෝප්පුවේ හාන්සි පුටුවේ වාඩි වුන අතර, මම එහි පිල් කණ්ඩිය ලඟ තිබුණු වැල් පුටුවේ ඉදගෙන සිටියේ ඉවසාගත නොහැකි බඩගින්නකිනි.....දහවල් අක්කලාගෙ ගෙදරින් ගෙන ගිය බත් මුල කෑ පසු හවස කෑ හැලපයේ කෑලිත් දැන් බඩේ නැත....බඩ පනුවො කෑ ගසන හඩ, කෙනෙකු ලඟ හිටියොත් ඇහෙන තරම්ය........


‘‘මහත්තයා කෑම ලෑස්තියි.... තියන විදිහට කමු.....‘‘ සුනිලා ගෙයි සිට එළියට විත් කීවාය.


බඩගින්නේ සිටි මම ,ගේ තුල සිට ආ සුනිලා කෑම කන්න එන්න කිව් වහාම, පුටුවෙන් නැගිට්ටේ ජුවානිස්ටත් ප‍්‍රථමය......


"මහත්තයා ගිහින් කන්න....මම හොදට බඩ කට පිරෙන්න සප්පායම් වෙලා ඉන්නේ....සුනිලෝ .... උඹ මේ මහත්තයාට කෑම බෙදපං මම එන්නම් ටිකකින්......එසේ කියා ජුවානිස්......ඉස්තෝප්පු හාන්සි පුටුවේ දිගෑදිනි....


ගෙයි ඇතුළේ මැද සාලයේ කොනක, පුංචි මේසයක් උඩ ,මට කන්නට කෑම තියා ඇත...... ගෙයි ඇතුළත දැල්වෙන කුප්පි ලාම්පු දෙකක එළියෙන් ගේ ඇතුළත එළිය වෙයි....ඒ එලියෙන් මම ඇවිදින විට, මගේ හෙවනැල්ල ගෙයි එහාට මෙහාට යයි...... කෑම මේසයට මම වාඩි වනවිටම, එතනට කුප්පි ලාම්පුවක් හා උස මහත වතුර වීදුරුවක් රැගෙන ආ සුනිලා මේසයේ තිබුණ පුංචි දීසි මට ලං කළාය....


‘‘වැඩිය මුකුත් නෑ මහත්තයා. .....මහත්තයාට මෙහෙම කන්න පුළුවන්ද මංදා.... මං නයි මිරිස් දාලා පොල් සම්බෝලයක් කොටල ගත්තා අනිත්වා අපි රෑට කාලා ඉතුරු වුන ඒවා......‘‘


‘‘මේ දේවල් වැඩිත් එක්ක.... මං හොඳටම බඩගිනි වෙලයි හිටියේ සුනිලා .....‘‘


රතු කැකුළු හාල් බතට, දඩ මස් බොරයකුත්, කොච්චි මිරිස් දා අලුත් දෙහි සුවද එන පොල් සම්බෝලයයි, රට දෙල් මාළුවකුත්, ලේන් හතු ඇඹුලකුත් පමණක් මේසයට තියා තිබුණේය..... හොදටම බඩගිනි වී සිටි මට, එම කෑම රජ බොජුනක් වු ගානය......මම කෑම රස කර කර කෑවේ බඩගින්න ඉවසා සිටීමට බැරි තරමට බඩගනින්නේ සිටි බැවිනි.....


මා කෑම කන දෙස බලාන ඉන්නා සුනිලා දැක මට ලැජ්ජාවක් දැනින......


කුප්පි ලාම්පු එළියෙන් ඇගේ වත පුන් සඳක් ලෙස දිලිසෙයි..... මුතුවන් දත් දෙපල පෙන්වා සිනාසෙන ඈ මා ලඟටම විත් තව මාළු පිනි බෙදන්න විය.... මා ලඟට විත්, පහත් වී මාළු පිනි බෙදන විට ඇයගෙන නික්මුණේ සිහින් නාමල් මිශ‍්‍ර සබන් සුවඳකි.... ඇය හවස නාන්නට ඇත. ඇය ඇගේ වරලස කඩා සිටිනවා මා මුල් වරට දැක්කේ දැන්‍ ය....... හවස නා ඇය කොණ්ඩය කඩා දමා වේලෙන්නට ඇර තිබේනවා වන්නට ඇත..... මගේ හිතට දැනුණේ අමුතු හැඟීමකි. අවුරුදු විස්සක් පමණ වන ඇය ඉතා සුරූපීය, හුරුබුහුටිය. නිතරම ඇගේ මුවේ සිනාපොඳක් ඇත. ඇය දෙස කෙතරම් වේලාවක් බලා සිටියත් මදි යැයි මට සිතේ.....


‘‘මහත්තයා තව බෙදා ගෙන කන්න.....ගොඩක් බඩගිනි ඇති....හොදටම රෑ උනානේ..... මං තව මාළුපිනි බෙදන්නද මහත්තයා ...?‘‘

ඇයට මා ලඟට විත් කෑම බෙදන්න ඇර මං ඇයගෙ වතින් එන සුවඳට ඉව ඇල්ලීය.....


රෑට කෑම කා ඉවර වුණාට පසු මා ඉස්තෝප්පුවට විත්, පිල් කන්ඩිය උඩින් වාඩි වුණේ හුස්ම ගන්න බැරි තරමට කුස පුරවාගෙනය. .....


ඉස්තෝප්පුවේ කනප්පුව මත දැල්වෙන කුප්පි ලාම්පුවේ එළිය, ගෙයි මිදුලටද යාන්තමට වැටි ඇත. එතනින් එහාට කිසි දෙයක් නොපෙනේ....කළාමැදිරි එලි එහෙ මෙහෙ යන අතර රැහැයන්ගේ ගෙම්බන් හා නොයෙක් කෘමීන් ගේ සද්දය අවට පරිසරයේ නිහඩ බව රජයයි. .... ජුවාන් අප්පු ඉස්තෝප්පුවේ හාන්සි පුටුවේ දිග ඇදි බුලත් විටක් හපයි.....


‘‘මහත්තයාලා කොළඹ කිව්වා නෙව පදිංචිය....."


"එහෙමයි අප්පුහාමි ..."


"මහත්තයාට කියන්න.... මට කොළබ කච්චේරියට යන්න උවමනාවක් තියෙනවා....හුඟ දවසක ඉදන්, මම ඒ වැඩේ කල්දම දමා හිටියේ, කොළඹ හිහින් ඕවා කරගෙන එන්න, පුරුද්දක් නැති නිසා...... මම මේ කල්පනා කර කර ඉන්නේ කොහොමද කොළඹ යන්නේ කියලා ...."


"ඉතිං අප්පුහාමිට කොළඹ වැඩක් තියෙනවා නම් එහේ එන්න...., මම එක්ක ගිහින් පෙන්නලා වැඩේ කරලා දෙන්නම් කච්චේරියෙන්....."


"එහෙම නම් කොච්චර ලොකු දෙයක්ද මහත්තයා ...මම අපේ ලොකු කොළුවටත් අඩ ගහ ගහා හිටියේ කොළඹ ගිහින් එන්න.....මහත්තයා උදව් කරනවා කිව්වොත් ඒකත්, කම්මැලි නොකර මගේ තනියට එයි......."


"අප්පු හාමි කොළඹ එන දවසක් කියන්නකෝ..... මම ආයේ කොළම යන්න ඉස්සර ...., එතකොට අප්පුහාමිට පුලුවන් කොළඹ එන දවසට, කොළඹ පිටකොටුවට, මෙහේ ඉදන් බස් එකේ කෙලින්ම එන්න....මම එන්නම් අප්පුහාමි එක්ක යන්න.... අප්පුහාමිට බැරියැ දවසක් දෙකක් අපේ ගෙදර ඉදලා කොළඹ නොදැකපු දේවලුත් බලාකියා ගෙන එන්න....."


-නැවත හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

0 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

コメント


bottom of page