top of page
  • Writer's picturePrisila Godahewa

🌺බැද්දේ කුමරිය 🌺

🌺බැද්දේ කුමරිය 🌺

(10 වෙනි කොටස )

https://www.facebook.com/groups/2653780434897311/permalink/2684906078451413/

මාලනී කොළඹ ජීවිතයට එතරම් කැමැත්තක් නොතිබුන බව කීවත්..., ඇය එම ජීවිතයට හරි ඉක්මනට පුරුදු විය.


දෙන්නා එකමුතුව ගෙදර අස්පස් කරන වැඩ ,රෙදි හෝදන හා උයන පිහන වැඩද කරමින් සතුටින් අලුත් ජීවිතය පටන් ගත්තෙමු.


‘‘හෙට ඔයා ඉස් ඉස්සෙල්ලම වැඩට යන නිසා, මං ඔයාට උදේට නැගිටලා ඔෆිස් ගෙනියන්න බත් මුලක් හදල දෙන්නම්....‘‘


‘‘ඔයා කරදර වෙන්න එපා මාළී..... මට කඩෙන් කාල පුරුදුයිනේ......‘‘


‘‘අපෝ පිස්සුද..... දැන් ඉස්සර වගේ කඩෙන් කන්න එපා.... යාළුවෝ හිනාවෙයි.... ඔයත් උදේම නැගිට්ටහම මට උයන්න උදව් කරන්න, එතකොට වැඩි වෙලාවක් යන එකක් නෑ උයාගන්න...."


"ඔයාගෙ කැමැත්තක් ......"


"මට එච්චර කෑම උයල පුරුදු නෑ..... අපේ ගෙදර ඉතිං උයන පිහින වැඩට ඕනතරම් අය හිටියනේ......මම කෑම උයලා ගත්තට, රස නම් නෑ කියලමයි මට හිතෙන්නේ .......‘‘


‘‘මට නම් හොඳට උයන්න පුළුවන්..…. අපේ අක්කා මට ඒවත් ඉගැන්නුවා. අම්මා නැතිවුණාට පස්සේ අක්කා ගෙදර උයන වෙලාවට, මාත් ගිහින් අක්කට උයන්න උදව් කරනවා... අක්කා ඔය නැන්දලා එක්ක වන්දනා ගමන් එහෙම ගිය දවසට.... මං තමයි තාත්තට, කෑම උයල කන්න දෙන්නේ.....‘‘


‘‘ඇත්තද ඒක කොච්චර දෙයක් ද? පිරිමි අයට උයන්න පුළුවන් ඒක ගෙදර ගෑණු කෙනාට වාසියක් .....‘‘


‘‘මං දැන් හෙට ඉදන් වැඩට ගියාම ඔයාට පාළුවෙයි ද තනියම ගෙදර ඉන්න....‘‘


‘‘අපෝ නෑ.... මට හැමදෙයකටම පුරුදු වෙන්න පුලුවන්.... කසාද බැන්දයි කියලා ඔයා හැමදාම මට ගෙදර ඉදන් තනි රකින්නයෑ......ඔයා මට වැඩ ඇරිලා එනකොට චිත්‍ර කතා පත්තර ටිකක් ගෙනත් දෙන්නකෝ........ එතකොට දවල් දවසට ඒවා කියවන කොට පාළුවක් නැතිවෙයි....‘‘


විවාහයෙන් පසුව මාළි සමග ගෙවුණු ජීවිතය, හිතුවට වඩා සතුටින් හොදින් ගත වි ගෙන යයි.... මම වැඩට ගිය පසු ගෙදර අස්පස් කර මගේ රෙදි සෝදා, හවසට තේ බොන්න පැණි රස කෑමක් සාදාගෙන, මාළි මම ගෙදර එනතෙක් බලා හිඳියි.....


‘‘අද අල්ලපු ගෙදර ගෑණු කෙනා මාත් එක්ක කතා කළානේ..... අපි කොයි පළාතෙ අයද කියලත් ඇහුව්වා....... ඔයා වැඩ කරන තැනත් ඇහුව්වා. එයාගෙ මහත්තයත් ආණ්ඩුවේ රස්සාවක් කරන කෙනෙක්ලු ....... ඒ කෙනා හරි හොඳයි. මට ඕන වෙලාවක උදව්වක් ඕන වුණොත් කතා කරන්න කිව්වා. ඒගොල්ලන්ට දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා......‘‘


‘‘ආ... ඒක හොඳයි. වටපිටාවේ අය අඳුනගෙන ඉන්න එකත්.....‘‘


"එන පාර අපේ අම්මලා ගමේ හාල් පොල් එළවළු ගෙනාවහම, අපි ඒ අයටත් දෙමු නේද......?"


"ඔව්....ඒක නම් හොද වැඩක් ...."


‘‘අපි මේ සෙනසුරාදා දළඳා මාළිඟාව වඳින්න යමු ද?....මතක ඇති කාලෙක නුවර යන්න බැරිවුනා...


"ඉස්සර අපේ තාත්තා ගමේ හැමෝම කට්ටිය එකතු කරගෙන වන්දනාවෙ යනවා..... අපේ ලොරියෙන් තමයි වන්දනා ගමන් යන්නේ....ලොරියෙ උඩ හාල් පොල්, එළවළු හට්ටි මුට්ටු දර, කෙසෙල් කැන්...ඔක්කොම ගැට ගහගෙන තමයි යන්නේ.....ඒ ගිහාම විශ්‍රාම ශාලාවක නැවතිලා ....ගමේ ගෑනු එකතු වෙලා දර ලිප් ගහලා ලොකු හැලි වලං වලට කෑම උයලා ගන්නවා......අප්පේ ඒ කෑම වල තියෙන රස......කොහේ හරි වැවක්, ගඟක් අයිනෙ ගස් යට තමයි වාහනය නවත්තන්නේ....ඊට පස්සේ කට්ටියම දියරෙදි ඇදගෙන වතුරට බැහැලා නාලා කරලා තමයි කෑම කන්නේ.....පිරිමි කට්ටියයි, ළමයිනුයි නාන කම් ගෑනු කට්ටිය එකතු වෙලා කෑම උයනවා....

නාලා ගස් යට, ගල් යට වාඩිවෙලා වැවේ හුළග වැදි වැදි උනු උනුවේ කෑම කනකොට, ඒ කෑම පුදුම රසයි....ඔය වන්දනා ගමන් යනකොට වැඩිය එළවළු ජාති ගෙනියන්නේ නෑ..... නරක්වෙන්නෙ දේවල් තමයි ගෝනිවල දාලා ගෙනියන්නේ.....ගෙදර තම්බපු හාල්, පොල්, අල බතල, පරිප්පු , කරවලයි ලොකු කූරියෙක්, කෙසෙල් කැනක් එහෙම තමයි වන්දනා ගමන ඉවරවෙනකම් කන්න ගෙනියන්නේ.....වැවක නාලා, උනු උනු බත් එක්ක පරිප්පු, පොල්සම්බෝල, කරවල තෙල්දාලා උයල ගත්තහම බඩ පැලෙන්න කෑවැකි....කාලෙකින් එහෙම ගමනක් යන්න බැරි උනානේ..... ’’


‘‘ අපි දෙන්නා එහෙනම් කෝච්චියේ මහනුවර යමු... උදේම යන්න වෙයි...."


‘‘අනේ හරි ෂෝක්..... මං කෝච්චියෙ යන්න හරි ආසයි.... මම උදේම බත් මුල් දෙකක්, පාන් සීනි සම්බෝල හදාගන්නම් උදේටයි, දවල්ටයි කන්න ගන්න......‘‘


‘‘අපි උදේට කන්න ගෙනියන ඒවා රෑට ලෑස්ති කරලා තියාගමු..... අපි දෙන්නා දළඳා මාළිඟාව වැඳලා , ඊට පස්සෙ පේරාදෙණියේ මල් වත්තට ගිහින් එතන ඉදන් දවල්ට කෑම කමු.... උදේට කන පාන්, කෝච්චියේ යන ගමන් කත හැකිනේ ...අපි නුවර ඇවදලා එනගමන් රෑට කොහේ හරි සයිවර් කඩේකින් තෝසෙ කාලා එමු....".


‘‘ෂා... හරි ෂෝක් මං හරි ආසයි එළියෙන්, හෝටල්වලින් කන්න...තෝසේ ඉතිං අපේ ගෙවල් වල හදන්නෙ නෑනේ....ඒවා හදන්නෙ දෙමළ මිනිස්සුනේ.... අපේ අම්මලා කඬේ කෑම කන්න දෙන්නෙම නෑනේ.... තුන්වේලටම ගෙදර උයන ඒවා තමයි කන්න තියෙන්නේ.....ඒ විතරක්‍ යෑ.. තුන්වේලටම බත්....සුදු.පාන් ගෙඩියක් ගෙදරට ගේන්නේ එහෙමත් වෙලාවක.....ඉදිආප්ප පිට්ටු ආප්ප ඉතිං එහෙමත් වෙලාවක තමයි හදන්නේ..."


විවාහයෙන් පසු අප දෙදෙනා ,නිවාඩු දිනවලට, නෑදෑයින්ගෙ ගෙවල්වල විනෝද ගමන් ආදිය ගියේ හරි සතුටෙනි...... මාළි කොළඹ ජීවිතයට හරි ඉක්මණට පුරුදු විම මට පහසුවක් විය. කෑම බීම හදන්න ද හරි ඉක්මණට ඇය ඉගෙන ගත්තේ මගෙනි.... දෙදෙනා එකතු වී ගෙවල් දොරවල් අස් කරමින් උයා පිහා ගනිමින් දවස් ගෙවුවේ සතුටින් සැහැල්ලුවෙනි.....


‘‘ඔයා ඉස්සර ශාන්ත අයියලත් එක්ක ඉඩම් මනිනවා බලන්න යනවලූ නේද.....?’’


‘‘ඔව්..... ඒ ගමන් හරිම විනෝදයි.... ඒ වගේම භයානකයි.‘‘


‘‘දවසක මාවත් එක්ක යන්නකෝ....කැලෑවල් බලලා එන්න....අපි ඉතිං දකුනෙ කට්ටිය නේ....අපට ඉතිං මහ විශාල වනාන්තර දකින්න නෑනේ....අපට ඉතිං නිතර යන්න තියෙන්නේ....මුහුද බලන්නයි මුහුදෙ නාන්නයි....වැල්ල පාගන්නයි විතරනේ.....‘‘


‘‘පිස්සුද ගෑණු අයට ඒ කූඩාරම්වල ගිහින් නැවතිලා ඉන්න බෑ.... ශාන්ත අයියා ඉහල පළපුරුදු මිනින්දෝරු මහත්තමයෙක් නිසා එයාට විතරයි වෙනම කූඩාරමක් තියෙන්නේ.... ශාන්ත අයියා මං ගිහාම එයාගෙ කූඩාරමට මාව ගන්නවා.... නැත්නම් ඉතිං මටත් වෙන්නෙ ඉඩම් මනින සේවකයන්ගේ කූඩාරමේ එකට ගුලි වෙලා නිදා ගන්න.....‘‘


‘‘කෑම එහෙම කොහොමද...?‘‘


මාළි ඉතා උනන්දුවෙන් කූඩාරම් ජීවිතය ගැන අසයි....මම කාපු බීපු කෑම ගැන දැනගන්නටද ඇය කැමතිය. එබැවින් මම රස කර කර ඇයට බැද්දේ අපි ගෙවපු ජීවිතය ගැන විස්තර කියන්නෙමි.


‘‘කෑම නම් කියල වැඩක් නෑ. අපේ ගෙවල්වල හදන කෑමවලට වඩා හරි රසයි.... අප්පු කෙනෙක් වෙනම ඉන්නවා, මිනුම් වැඩ කරන අයට උයන්න. මිනිහ හරි රසට උයනවා. දඩ මස් අල බතල වරදින්නෙ නෑ හැම වේලකටම. ලඟ පාත ගම්වල මිනිස්සු අල බතල ගෙනත් දෙනවානේ..... දඩ මස් එහෙමත් ගෙනත් දෙනවා. ගම්වල මිනිස්සු හරි හොඳයි. ලඟ පාත මිනුම් වැඩක් කරනවා දැක්කහම ඒ මිනිස්සු ඇවිත් අපේ තනියට වාඩිය ලඟ නවතිනවා.... ගොඩක් වෙලාවට ආණ්ඩුවේ කැලෑ මනින වැඩනේ ඒ ගොල්ලෝ කරන්නේ. ගම්වල මිනිස්සු ආසයි තමන්ගේ ගමේ ඉඩම් මැනලා පාරවල් එහෙම කැපිල එනකොට......‘‘


‘‘ඔයා ආයෙත් යන් නැද්ද ඉඩම් මනිනවා බලන්න....‘‘


‘‘දැන් ඉතිං කොහේද ඔයාව දාලා යන්නේ....?.‘‘


‘‘ඔයාට යන්න ආස නම් මාව අම්මලාගෙ ගෙදර නවත්වලා දවසක් දෙකක් එහේ ගිහින් ඉදලා එන්න.......ගමේ ගිහාම ඉතිං මට, අපේ පුංචි අම්මගෙ දුවයි, කුස්සියේ වැඩ කරන සෝමගෙ දුවයි එක්ක, මුහුදු වෙරලේ ඇවිදලා, ගමේ පන්සල් ගිහින් හොදට කාලාබීලා, නිදහසේ ඉන්න පුලුවන් කම්මැලි කම යන්නත් එක්ක...."


"ඔයා මුහුද කිව්වහම මට මතක් වුනේ....අපේ ගෙවල් වලටත් මුහුද ලඟයිනේ....පොඩිකාලේ මම හැමදාම ඉස්කෝලේ ඇරිලා ඇවිත්, හවසට වෙරලේ මාලු අල්ලන අය, ඔරු වලින් මාළු අල්ලන්න දියඹට යන හැටි බලන්න යනවා......එතකොට මාළු ඔරු ආවාහම, මාළු දැල් වෙරලට කට්ටිය එකතු වෙලා ඇදල ගන්න හැටි බලන්න යන්න හරි ආසයි...."


"අපිත් අපේ අම්මලා එක්ක මුහුදු වැල්ලට අලුත් මාළු ගන්න යනවා....ඒ වෙලාවට මාළු දැල් අදින හැටි බලන්න මම හරි ආසයි...."


"දවසක් මම මුහුදු වෙරළට වෙලා, මාළු අල්ලන්න මුහුදු යන ඔරු දිහා බලාගෙන ඉන්නකොට,....අපේ ගෙදර තාත්තාට නිතර මාළු ගෙනත් දෙන මුහුදෙ යන "කරාවේ දෙන්නෙක් හිටියා වෙරලේ .....,ඒගොල්ලෝ මාළු අල්ලන්න, බෝට්ටුවක මුහුදු යන්න ලෑස්ති වෙලා හිටියේ....... මම ඒ දෙන්නට කිව්වා කවදාවත් මම මුහුදෙ ගිහින් නෑ, මාවත් මාළු අල්ලනවා බලන්න එක්ක යන්න පුලුවන්ද කියලා .....


"ඉතිං ඔයාව එක්ක ගියාද....?


"එක්ක ගියාදත් අහනවා.....මගෙන් ඇහුව්වා ...වෙද මහත්තයා දැන ගත්තොත් අපට බනීද දන්නෑ.....ඒ හින්දා පොඩි මහත්තයා ගෙදර ගිහින වෙද මහත්තයාට කියල එන්න අපිත් එක්ක මුහුදු යනවා කියලා ....." ඉතිං මම ....ටික වෙලාවක් ගෙවල් පැත්තට ගිහින් ටිකක් වෙලා ඉදලා ඇවිත්.... ඒ අයට කිව්වා ,තාත්තාට කියලා ආවේ මුහුදෙ යනවා කියලා .....මම බොරුවට කිව්වේ......තාත්තගෙන් ඇහුව්වනම් කවදාවත් මට යන්න දෙන්නෙ නෑ කියලා මම දන්නවා...."


"ඉතිං....."?


"ඉතිං තමයි ....මාවත් බෝට්ටුවේ දාගෙන ඒ දෙන්නා හවස් ජාමේ දියඹට ගියානේ මාළු අල්ලන්න....හුලං වැදි වැදි...පැද්දි පැද්දි ගිය පළවෙනි මුහුදු ගමන හරිම විනෝදයි....."


"එතකොට රෑ ඔයගොල්ලෝ මුහුදේද හිටියේ......?


"නැතුව,.... රෑ කරුවල වැටි ගෙන එනකොට ,බෝට්ටුවේ දෙන්නා පැට්ට්‍රල් මැක්ස් ලාංපුවක් පත්තු කරලා බෝට්ටුවේ පැත්තක එල්ලගෙන තමයි බෝට්ටුව හබල් ගාගෙන ගියේ...."


"ඉතිං ඉතිං... මම .හරිම ආසයි ඔය කතා අහන්න....කියන්නකෝ ඉතිං ....."


"ඉතිං.... මුහුදු වැල්ල පේන්නෙ නැති වෙන කම් බෝට්ටුව මුහුද මැදට ගිහාම තමයි මට තාත්තව, අක්කව මතක් වුනේ....දැන් මාව තාත්තයි, අක්කයි ගෙදර හොයනවා ඇති කියලා.....අම්මා හිටියෙ නෑනේ ඒ කාලේ.....ඉතිං මොකෝ මාළු කාරයන්ට ආයි හැරිලා ගොඩබිමට එන්න කියන්‍න යැයි.....මාළු අල්ලන මිනිස්සු හරි නපුරුයි....දන්නවනේ බෙන්තර ගගෙන් එහාට පූස් පැටියෙක්වත් ගෙනියන්න එපා කියන කතාව....හරි දරුණුයි කියනවානේ දකුනෙ මිනිස්සු.....ඉතිං හැබැයි මේ මාලු අල්ලන්න ගිය දෙන්නා මට හොදට සැලකුවා....මම වෙද මහත්තයාගෙ පුතා නිසා වෙන්න ඇති....."


"ඉතිං රෑ සීතලේ, කරදිය හුළගේ, කරුවලේ ඔයාට බය හිතුනෙ නැද්ද...?


"නෑ...එතකොට මට අවුරුදු දහ හතරක් විතර ඇති....කොල්ලා කාලෙනේ...ඊට පස්සෙ බෝට්ටුව මුහුදේ දියඹට ඇදිලා ගියාට පස්සේ.....අර වෙරළ කිට්ටුවදි වගේ මුහුදු රැලි එක පිට එක එන්නේ නැති නිසා....බෝට්ටුව පැද්දෙන එක අඩු වුනා......ඊට පස්සෙ අර දෙන්නා බෝට්ටුව මුහුදේ මැද නවත්තලා ගෙනාපු මාලු දැල් එලුවා මුහුදට ...ඊට පස්සෙ ඒවා බෝට්ටුවේ පැත්තක ගැටගහලා, දෙන්නත් එක්ක රෑට කන්න ගෙදරින් ගෙනා බත් මුල් ලිහාගෙන කන්න ගත්තෙ නැතෑ...."


"ඔයාටත් දුන්නද කන්න....?


"ඔව්...ඒ ඈයෝ බත් මුල් දෙක දෙක ගෙනත් තිබුනා....මොකද හදිස්සියේ වත් එළිවෙන්න ඉස්සර මාළු අල්ල ගන්න බැරි උනොත් දවස් දෙකක් හරි දියඹේ ඉදලා මාළු අල්ලගෙන තමයි ලු ඒගොල්ලෝ ආයෙත් ගොඩබිමට යන්නේ....... ඒ නිසා, කෑම වැඩියෙන් ගෙනාවා කිව්වා .....මාලි දන්නවද ඒ බත් මුල් වල මොනවද තිබුනේ කියලා...."


"ඒක තමයි මටත් අහන්න ඕනේ වුනේ..."


" එක්කෙනෙක් කෙහෙල් කොලේ ඔතපු බතුයි පොල් වැඩියෙන් දාලා හදපු රටදෙල් මැල්ලුමකුයි, ජාඩි කරවල තෙල් දාලා, බෝතලේක තක්කාලි කිරි හොද්දකුයි......මගේ අම්මේ ඒකේ රස නම් කියලා වැඩක් නෑ....

අනිත් කෙනාගෙ බත් මුලේ තිබිලා අපට ඇඹුල් තියල් මාලු කෑල්ලකුයි, උයපු කිරි අලයි, බිලිං අච්චාරු ටිකකුත් දුන්නා....පුදුම රසක් ඒ කෑම වල තිබුනේ...."


"ඔයා කියන කොටත් මගෙ කටට කෙළ ඉනුවා...ඉතිං ඊට පස්සේ....?


කාලා ඉවර වෙලා මම බලන් හිටියා දැන් දැලට මාළු අහුවෙයි... දැන් අහුවෙයි කියලා .....එහෙම උනොත් ආයෙත් ඉක්මනට ගෙදර යන්න පුලුවන් වෙයි කියලා ....මොන....ඒ මාමාලා දෙන්නා මාළු දැල් එලලා බෝට්ටුවේ ඉදන් විටක් කාරිය හප හපා ඕපාදූප කතා කියව කියව හිටියෙ නැතෑ එකිවෙනකම්.....ඉතිං මම බෝට්ටුවේ පැත්තක් අල්ලං උඩුපිලි අතට නිදාගෙන අහසේ තරු ගනන් කලා....ගොඩබිමක් පේන්න නැති ඈත මුහුදේ තැන් තැන් වල අපි වගේම මාළු අල්ලන්න ආව බෝට්ටු නැංගුරම් දාගෙන ඉන්න එළි පේන්න තිබුනා. ....මුහුදේ හෝ හෝ ගාන සද්දෙ විතරයි..... මට එහෙට මෙහෙට හෙමිහිට පැද්දෙන බෝට්ටුවේ හොදටම නින්ද ගියා..... සීතලේ කරදිය හුලං වැදි වැදි ....."


"ඉතිං ඉතිං ...?


"එළිවෙන්න කිට්ටුව මාළු කාරයෝ දෙන්නා..... මුහුදෙ එළලා තිබුන දැල් ඇදලා ඇදලා....බෝට්ටුවට මාළු දැම්මේ නැතෑ.... ඒ ගමන බෝට්ටුවේ හැම තැනම එක එක ජාතියේ මාළුවෝ..... එහෙට පනිනවා, මෙහෙට පනිනවා, උඩට පනිනවා බලා ඉන්න බෑ දුකේ....එදා හිටියේ හුරුල්ලෝ රෑනක්....තව කෙලවල්ලෝ තුන් දෙනෙක්, සාලයො එහෙම හිටියා.... නම් නොදන්න මාළුත් දැලට අහුවෙලා හිටියා ....මාළු අල්ලන මාමලා දෙන්නා උන්ව ආයෙත් පන යන්න ඉස්සර මුහුදට විසි කලා....".


"ඉතිං...ඊට පස්සෙ ගොඩබිමට ආවද...?


"ඔව්...එළිය වැටීගෙන එනකොට මාළුත් ඇරන් ගොඩබිම පැත්තට ආවා...උදේ හය හත වෙනකොට වෙරළ පේන්න ගත්තා ....තව ටිකක් වෙරළට ලං වෙනකොට ඈතටම මම දැක්කා..... අපේ තාත්තා කෝට් බෑයත් දාගෙන කුඩේකුත් අතේ තියාන වෙරලේ ඉන්නවා.....ඒ වෙලාවේ තමයි මට දෙයියෝ බුදුන් සිහි උනේ.....


"ඉතිං ...මාළි හිනහෙයි..."


"ඉතිං තමයි .....බෝට්ටුවෙන් මම බැස්සා විතරයි ...තාත්තා ඇවිත් මාව අල්ලගෙන කුඩේ කැඩෙන කම් මට ගැහුව්වෙ නැතෑ......ආයෙත් මුහුදු යනවද අහ අහ....ගැහුව්වා ...මේ බලන්න .....මගේ නහය....තාමත් තියෙනවා ,තාත්තගෙ කුඩේ මිට වැදිලා තුවාල වුන පැල්ලම.....අන්තිමට මාව ගෙදර එක්කගෙන ගිහිල්ලා තාත්තාම තමයි මගේ තුවාල වෙලට බෙහෙත් දැම්මෙත්.......


"අනේ...අනේ...වෙච්ච දෙයක්..."


"ගුටි කාලා හරි කමක් නෑ මම මුහුදේ මාළු අල්ලන හැටි දැන ගත්තනේ....ඒකම මදෑ...."


-නැවත හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

0 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page