top of page
  • Writer's picturePrisila Godahewa

🌺බැද්දේ කුමරිය 🌺

🌺බැද්දේ කුමරිය🌺

(7 වෙනි කොටස )

https://www.facebook.com/groups/2653780434897311/permalink/3072476073027743/

මිනුම් මහත්තුරුන්ගෙ කූඩාරමට වටින් කොනින් එළිය වැටිගෙන එන යාමේ, මගේ ඇස් ඇරුනේ නොයෙකුත් අමුතු කුරුල්ලන්ගේ, කෘමීන්ගේ මිහිරි නාදයෙනි. මම නිදා සිටින්නේ කැලෑවක බව සිහියට නැගෙන්න මට ටික වේලාවක් ගියේය .....

දසතින් මහ ගස්වලින් වටවුන බැද්දේ, සතුන්ගෙ, කුරුල්ලන්ගේ සද්ද ඇරෙන්න වටපිටාවේ ඇත්තේ මහා නිහඬ ගුප්ත පාළුවකී. ඈතින් මහ දොලේ වතුර බැසයන හඬ, හෝ හෝ ගා නොනවත්වා ඇසේ.... පාන්දර යාමේ මේ පළාතේ ඇති, දැඩි සීතල වැඩි වැඩියෙන් ඇඟට දැනෙද්දි මම තව තවත් පොරොවන රෙද්දෙන් ඇඟ හොදින් වසා ගත්තෙමි .....


කූඩාරමට එළියෙන් ලී වංගෙඩියක යමක් කොටන සද්දයක් ඇසේ.... දර ලිපකින් නැග එන දුම් සුවදකින් කූඩාරමද පිරි යයි....ඒ දුම සමඟ හොඳ පරිප්පු හොද්දක සුවඳක්ද නාසයට දැනේ....


පසුගිය රෑ වේලාසනම නින්දට ගිය මට, කූඩාරමේ, බූරු ඇදේ දැඩි සීතලට, හොඳ සනීපයට ම නින්ද ගොස් තිබින....... පසුගියදා මුලු දවසම කඳු නැග, කූඩාරම් ගසා උන මහන්සිය හා සීතල ජලයෙන් නාගත් නිසා එසේ වන්නට ඇත....පොරවා ගෙන සිටි රෙද්ද තව තවත් කරේ සිට පොරවා ගත්තේ ඉවසන්න බැරි තරම් සීතලක් මේ කදුකර ප්‍රදේශයේ පාන්දරට දැනෙද්දිය.....නමුත් වැඩි පැය ගානක් නිදාගත් බැවින් තවත් නිදා ගැනීමට නම් මට අවශ්‍ය තාවයක් නැත.... කූඩාරමේ නිදාගත් අනෙක් අයගේ කටහඬවල් එයින් එලියේ ඇසේ.... උදේ පාන්දර බැද්දේ වටපිටාවේ සුන්දරත්වය විදීමේ ආසාවෙන්, ප්‍රබෝධමත් ලෙස ඇහැරුනු මම නිදා සිටි බූරු ඇදෙන් හෙමිහිට නැගිට, පොරවා ගෙන උන් රෙද්ද පිටින්, කූඩාරමෙන් එළියට ආවේමි.


මම කූඩාරමෙන් එළියට එන විටත් අනිත් සියල්ලෝද මා මෙන් ම පොරවන රෙදි පොරොවා ගෙන එළියේ තැන් තැන්වල වාඩි වී තේ බොමින් ඉදිති....


ඉවුම්පිහුම් කරන කුමාර දුම් දමමින් දර ලිපේ ,උදේට කන්න යමක් උයන බව පෙනේ.... ඒ අස්සේ ඔහු දර ලිප ලඟ ඇන තියාගෙන වාඩි වී අත් දෙක ලිපට අල්ලාගෙන සිටින්නේ අවට සීතලෙන් මිදෙන්නය.....


ශාන්ත අය්යා උදේ පාන්දර හැමෝටම කලියෙන් නැගිට, මුහුණ කට සෝදා කාකි ඇදුම ඇද, ඊට උඩින් සීතල කබායක් ඇද, කූඩාරමෙන් එළියේ නවන පොඩි මේසයක් තියා, ඒ උඩ සිතියමක් දිග ඇරගෙන මොකක්දෝ වැඩකය...


" ආ...මල්ලිත් නැගිට්ටද.....?තේ බීලා ඉන්න.....අපි නම් දැන් උදේට කාපු ගමන් බැද්දට යනවා.... උදේම වැඩ පටන් ගන්න......මල්ලිටත් අපිත් එක්ක බැද්ද මැද්දෙන් කපන පාර මනිනවා බලන්න යන්න එන්න පුලුවන් ....එහෙම නැත්තම් මල්ලිට අර ගමේ ලීනිස් කොල්ලා, ආවොත් ගම වටේ රවුමක් ගිහින් එන්න යන්නත් පුලුවන් ....


"මම අද ටිකක් ඈතට නොයා මේ බැද්ද කිට්ටුව ඇවිදලා හෙට දිහාට බැද්ද ඇතුලට ඇවිදින්න යන්න එන්නම් අය්යේ....තාම ඊයේ ගමන් මහන්සිය නිසා, කකුල් අතපය රිදෙනවා ...."


"අපට අද උදේට බොන්න කිරි නෑ...කහට තමයි ...ගමේ කාට හරි කියලා හෙට දිහාට උදේට කිරි බෝතලයක් ගෙන්න ගන්න බලමු...."


" අන්න වාඩියෙ කෙනෙක් මූණ හෝදගෙන එන්න දොළට ගියා.....මල්ලිත් ගිහින් මූණ කට හෝදගෙන එන්න ....උදේට කාලා වැඩ පටන් ගන්න ඕනේ ඉක්මනට.....දොලෙන් මූණ කට හෝද ගත්තට මල්ලි ....ඉතිං අනිත් රාජකාරියට නම්, බැද්දට හරි

..ඊයේ හදා ගත්ත වල කක්කුස්සියට හරි තමයි යන්න වෙන්නේ..." අයියා හිනා වෙවි කියයි....


"මේ බැද්දේ මොන වැසිකිලිද....අකමැති උනත් ඒ ගැන දන්නවා අය්යේ...."


වල කක්කුසි කියන්නේ ටිකක් ගැඹුරට හාරා ගත් වලක් උඩින් හොද ඝනකම් ළෑලි දෙකක්, මැද ඉඩ තියා දමා සාදන ලද තාවකාලික වැසිකිලියකටය.....එය පොල් අතු හෝ ඉටි කොළ යොදා වටේ වසා ඇත....බැද්දේ ජිවිතේ හැම දේම සුන්දර උනත්...., අපහසුම අවස්තාව තමයි එම වැසිකිලිය පාවිච්චි කිරිම. ...


එකා දෙන්නා දොළ පැත්තට ගිහින් මුහුණ කට සෝදා අනිත් වැඩ ද කරමින් පැමිණ ඇත. මිනින්දෝරු රැකියාවේ කාකි ඇඳුම් ඇඳගෙන, ලොකු උස බූට් සපත්තුත් දාගෙන ඔවුන් ලක ලෑස්ති වී සිටින්නේ රාජකාරියට යන්නටය.


‘‘එහෙනම් කට්ටිය ඉක්මන් කරන්න .... අපි ඉක්මනට උදේට කාලා මිනුම් වැඩවලට යන්න ඕනේ.....‘‘


‘‘කුමාර මොනවද උදේට කන්න තියෙන්නේ....‘‘


‘‘බත් උයලා, පරිප්පු උයලා කරවල බැද්දා....."


"ශා....නියමයිනේ....ආයි ඉතිං කුමාරගෙ තෙල් දැම්ම කරවල වලට ගහන්න බෑ කාගෙවත් කෑම..."


"ඊයේ විල්බට් ගෙනාපු බතලත් තැම්බුවා....ඒක නම් ලුණු මිරිස් ටිකක් එක්ක බැද්දේ ඇතුලට යනකොට ගෙනිහින් බඩගිනි උනොත් කට්ටියට කෑවැහැකි ....මම පොඩි මුට්ටියක්, කෝප්ප ටිකක් බැද්දට ගෙනියනවා පොල්කටු ටිකක් එක්ක....අපට ඔය ලී කෑලි ටිකක් එකතු කරගෙන තේ කහට ටිකක්, දවල් දහයට විතර බොන්න හදාගන්න පුලුවන් , හකුරුත් තියෙනවානේ........"


‘‘ෂා කුමාරගේ කෑම වල සුවඳ මෙහෙට එනවා..... නියම කෑම.... එහෙනම් කමු ඉක්මන් කරලා ...... ඊයෙ රෑට රොටි කෑව නිසා දැන් හොදටම බඩගිනි වැඩියි.... ‘‘


අපි බැද්දට යන්න ලෑස්ති වෙනවිට, උදේ පාන්දරින්ම දියෙස් හා ලීනිස් වාඩියට ඇවිත් තිබුනේ වල්දෙල් ගෙඩි වගයක් අඹ අන්නාසි වගයක්ද රැගෙනය.


සියල්ලෝ ම කෑම කා අහවර වී මිනුම් බඩු රැගෙන රාජකාරිය සඳහා පිටත් වන්නට විය.... මාත් අයියලත් සමඟ ඔවුන්ගෙ වැඩ බැලීමට පස්සෙන් ට්ක දුරක් ගියෙමි.


කැලෑවේ අඩි පාරවල් දිගේ යමින් ලඳු කැලෑ, අඟල් ඔස්සේ යමින් අයියත් අනිත් හතරදෙනත් මිනුම් බඩු දිග ඇරගෙන, වැඩ කරන්න පටන් ගත්තේය..... මං වනයේ සිරි නරඹමින් එහේ මෙහේ ඇවිදමින් සිටියේ ලොකු සතුටකිනි.....

උසට වැවුණු රූස්ස ගස්වලින් ද, ඇඳුරු රුක් ගොමු යටින් ද ඇවිද යනවිට, හීන් සද්දෙන් බැස යන දිය කඩිති හමුවෙයි.....ඒවා පසු කර ඇවිද යන අපට, එහෙන් මෙහෙන් පැන යන වලි කුකුලන්, හාවුන්, මීමින්නන් ද අහම්බෙන් දකින්නට ලැබේ..... බැද්දේ ඇති පදුරු යටින් පහත් වෙමින් ද පදුරු අස්සෙන් රිංගමින් ද කටු අකුල් මඟ හරිමින් කැලෑවේ සුන්දරත්වය නරඹමින් එහෙ මෙහ ඇවිද ගියත් අයියලා.... මිනුම් වැඩ කරන දුරින් ම සිටීමට මා අමතක නොකළේ කැලෑවේ පාර වරදියි යන බියෙනි.


‘‘මල්ලිට පුළුවන් නම් මේ ලීනිස් එක්ක ගම් මායිම් පැත්තෙ ගිහින් බලන්නකෝ ....අපට රෑට කන්න දඩ මස් ටිකක් හොයා ගන්න පුළුවන් ද කියලා.... ශාන්ත අයියා දඩ මස් කෑමට රුසියෙකි...ඔහු මිනුම් ජිවීතේ පටන් ගත්දා සිට යන එන හැම තැනකම දඩමස් හොයාගෙන කෑමට අමතක නොකරන කෙනෙකිය. ඒ වගේම මිනුම් වැඩ අහවර වී ගෙදර යනවිට ,අක්කාට හා ගෙදර අයටද කන්න වේලපු දඩ මස්ද රැගෙන යන්නේය.


"මල්ලි ඒ ගමන් ගම්මුලාදෑනීයාගෙ ගෙදරටත් ගිහින් ජුවානිස් අප්පුහාමිට කියන්න, අපි මිනුම් කදුවුර ගහලා අද වැඩත් පටන් ගත්තා කියලා .....පුලුවන් නම් වාඩිය පැත්තෙ හවස් වරුවක ඇවිත් යන්න එන්න කියන්න ....මට බැද්දේ ඉදන් පාර කපන්න, ඉඩම් මනින ඒවා ගැන තව විස්තර ටිකක් ගම්මුලාදෑනීයාගෙන් දැනගන්න ඕන වෙලාතියෙනවා......


‘‘ හා...අය්යේ .....මං යන්නම් මේ ලීනිස් එක්ක.....මටත් ගම පැත්තෙ යන්න ආසයි ....."


" මල්ලි පරිස්සමට කැලේ පාරවල් වල යන්නේ.....ලීනිස් මේ මහත්තයාව හොදට බලා ගන්න ...."


"හොදයි මහත්තයා ..."


"අපි එහෙනම් ගම පැත්තට යමුද ලීනිස්.....‘‘


"හොදයි මහත්තයා ...අපි එහෙනම් අර කටු අකුල ලඟ කෙටි පාරෙන් ගම පැත්තට බහිමු....."


ලීනිස් සමග ලඳු කැලේ, සතුන්ගෙ අඩි පාරවල් දීගේ.....ගල් මුල් උඩින් පැන පැන ගම් මායිම පැත්තට ගියේ පාන්දර ගස් උඩට, බිමට වැටුන පින්න ඇගේ පතේ සීතලට ගෑවි ගෑවි බිමට වැටෙද්දීය... ....උදේ පාන්දරට කැලේ ගස් කොලන් හා තණකොළ වලින් හමන නැවුම් පිරිසිදු සුළගින් මම හුස්ම පුරවා ගත්තේ ප්‍රබෝධමත් බවකිනි. ....


වදුරෝ රෑනක් අප යන අඩි පාරේ අවට ගස්වල උදේ පාන්දර දලු කන්න පටන්ගෙන ඇත.... අප ඔවුන් සිටිනා හරියෙන් යද්දි ,දලු කමින් සිටිය වදුරෝ ඒ වැඩය නවත්වා අප දෙස බලාහිදින්නේ කටේ ඇති ලපටි දලු, ඒ හක්කෙන් මේ හක්කට මාරු කරමින්ය..... වදුරු රැලේ බඩේ පැටව් එල්ලා ගත් වැදිරියන් හා පුංචි පැටව් ලග තියාන කෑම කන වැදිරියන් හරි සෝදිසියෙන් උන් දෙසට ඇහැගසා ගෙන කෑම කයි....කොයි වේලේ හෝ සතුරෙක් ඔවුන්ගේ දරුවන් රැගෙන යයි කියා බයෙන් මෙන් ඔවුන් පැටවුන් ලඟට කර ගන්නටද බලයි......ඔවුන්ගේ ක්‍රියාකාරකම් සහිත දර්ශනයන්, කෙතරම් වේලා බලා හිටියත් ඇති නොවන ගානය...


මම "ලීනිස්" නම් පහළ ගමේ තරැණයා සමග.... ගම් මණ්ඩිය පැත්තට ඇවිද ගියේ.... කටු අකුල්වල පැටලෙමින්, ගල් මුල් උඩින් පැනමින්, මඩ පාරේ ලිස්සමින්, වැටෙමින් සීතල පින්න වැටුන අඩිපාරේ, කූඩැල්ලන්ගෙන් බේරේන්න දුවමින් කළිසම් කකුල් උස්ස උස්සා, කූඩෑල්ලෝ එල්ලිලාද බලමින්ය.... ,


බැද්දේ මහ ගස් අතු, කටු අකුල් වලින් විහිදුවන නැවුම් පිරිසිදු සුවදින් පළාතම සුවඳවත් වි ඇත. පිරිසිදු වාතය ආශ්වාස ප්‍රශ්වාස කරමින් ප්‍රබෝධමත් උන මම ලීනිස් සමග මහ බැද්දේ සිට පහළ ගමට ඇවිදගියේ, කන්ද නැඟ ආවාට වඩා පහසුවෙන් නුහුරු වෙනස් පැත්තකටය.


අප ඊයේ ගම්මුලාදෑනීයාගේ ගෙදර සිට අපි කඳවුරු ගහ ගත් බැද්දේ ඉසව්වට නැග්ග පාරට වඩා, අද මේ ලීනිස් සමග මම මේ යන අතු පාර වෙනස්‍ ය. මේ හරියෙ ගෙවල් හතරක් පහක් එක කිට්ටුවට වෙන්න පිහිටා ඇති අතර, ඒ අතර, තේ කඩයක්ද ඇත.


ඉතා අහිංසක ගැමි ජනතාවක් ජීවත් වන මේ ගම්මානයේ ගෙවල් පහලොවකට විස්සකට වඩා නැත..... ඒවාද එකිනෙකට ඈතින් ඈතින් දොළපාරවල් , අතු පාරවල් නැතහොත් වතුර පීලි ඇති තැන් වල සාදාගත් ගෙවල්‍ ය... එම ගෙවල් වලිනුත් සමහරක්, පිදුරු පොල් අතු සෙවෙලි කළ පුංචි කටු මැට් ගෙවල්‍ වු අතර.... බිත්ති මැටියෙන් ,කබොක්ගල් වලින් හා මෝඩ ගල් වලින් ගල් බැඳ තනා ඇති ටිකක් හොඳ ගෙවල් දෙක තුනක් ද ඇත..... සුදු හුනු ගා උළු සෙවිලි කර තිබුන ගෙවල් හරිම අඩුය...

එවැනි ගෙවල් ඇත්තේ ගම්මුලාදෑනීයාට හා ඉඩම් කඩම් වැඩියෙන් තියාගෙන රබර් , තේ, කරාබුනැටි, කුරුදු , ගම්මිරිස් , කරදමුංගු වැනි කුළුබඩු වගා කර ටවුමට විකුනන ගැමියන්ගේය. මේ ගමේ මිනිසුන්ගේ ප්‍රදාන ආදායම් මාර්ග අතරට රබර්, කුරුදු , කුලුබඩු වර්ග , හකුරු ආදිය ඇතුලත්‍ය.


ඊට අමතරව ගමේ මිනිසුන්ගෙ ප‍්‍රධාන ජීවනෝපායන්ගෙන් තවත් එකක් වන්නේ හෙල්මළු ක්‍රමයට කරනා ගොවිතැන හා හේන් බෝග වගාවත්ය. එබැවින් මේ ගමේ වුන් ස්වයංපෝෂිත බවෙන් අගතැන්පත් බව පෙනේ........ සෑම නිවසකම ගෙවත්තෙ එළවලූ, පළතුරු ,මිරිස් ආදිය වගා කර ඇත. ඒවා ලොකු පොඩි හැම ගෙදරකටම පොදුය.

ගෙවත්ත වටා ඇති ඉනි වැටවල් පවා, මඥ්ඥොක්කා ,කතුරුමුරුංගා , වැනි කෑමට ගත හැකි යමක් සිටවා ඇත. ඒ ඉනිවැටවල් වලින් ආවරණය කර ඇති මිදුලේ මල් වගා කර ඇති ගෙවල් ද ඇත.


මමයි, ලීනිස්සුයි, ගම් මණ්ඩිය පැත්තෙ යනවා දැක ගමේ මිනිසුන් ,ගෙවල් වලින් එළියට විත් අප දෙස බලන්න පටන් ගත්තෙ පුදුමයෙනි.....ඊයේ අපි ගමට ආ බව ඔවුන්ට ආරංචි වී ඇතත්, බොහෝ ගැමියන්ට අප මුන ගැසි නැති නිසා ඕනෑකමින් ඔවුන් මා දෙස බලයි.... කරේ දමා සිටින ලේන්සු අතට අරගෙන බුලත් කහට වැටුනු දත් පෙන්වා මා සමඟ බයෙන් සැකෙන් බයාදු ලෙස හිනහෙන මිනිසුන් ,කෙතරම් නම් අහිංසක අව්‍යාජ මිනිස්සුදැයි මට සිතේ....


ගමේ මැද තිබුනු එකම තේ කඩේ ලඟ, ගමේ මිනිසුන් හතර පස් දෙනෙක්ම, මිදුලේ ඇති ලෑලි බංකුවේ හා ඒ ලඟ ඇති ගල් පොත්ත උඩ වාඩිවි පාන් විස්කෝතු ,හැලප, වංඩු ආප්ප වැනි දෙයක් කමින් ඕපාදූප දොඩවමින් කහට බොනහැටි පෙනේ......කඩය අවට ඇත්තේ පොල්කොළ මිශ්‍ර දර සුවදකී....කඩය පිටුපස දර ලිපකින් පිටවන දුමක් නොනවත්වාම අහසට නැගේ..... එහි සමහරවිට ආප්ප, රොටි වැනි දෙයක් හැදෙනවා ඇත....


මම ලීනිස් සමග කඩේ පැත්තට යන විට ඔවුන් දෙතුන් දෙනෙක්ම හිටි තැනින් නැගිට, කැහැපට ගසා ඇදන් හිටි සරම් පහතට දමමින් බායාදු ලෙස සිනා නැඟිය. සමහරු මුහුනේ සිනා පොදක් නැතුව ප්‍රශ්නාර්ථයෙන්ද මා දෙස බලා හිදි.... දිග කකුල් කලිසම් ඇද මේ ගමට ආ මහතැන් කවුදෝ කියා ඔවුනට තවමත් සැකයකි..


‘‘මහත්තයලා මේ උදෑහැනැක්කේ...... කොහේ යන ගමන්ද ? ....වයසක කෙනෙක් බුලත් කහට බැදුනු දත් ටික පෙන්නා අසයි...


‘‘අපි මේ එහා කැලේ සිට අනෙක් ගමට හදන්න නියමිත, පාර මනින්න ආ මිනින්දෝරුවරු.....මම මේ ටිකක් ගම පැත්තෙ ඇවිදලා යන්න ආවා.....‘‘


‘‘ඈ මහත්තයා කැලේ මනින්නෙ..., පාරක් කපන්නද....? එහෙනම් අපට එහා ගමට එන්න යන්න ලේසී වෙයි....’’


‘‘මං හිතන්නෙ එහෙම තමයි .......‘‘

ඔහුගේ හිත සතුටු වෙනු දැකීමට කැමැත්තෙන් මම කීවෙමි


‘‘අනේ එහෙනම් කොච්චර දෙයක් ද මහත්තයා .....අපට ආරංචි උනා මහත්තයලා ඊයේ ගමට උඩහ බැද්දේ , වාඩි ගහ ගන්න ආවා කියලා ...මහත්තයලාට මොනවහරි ඕන කමක් උනොත් අපට කියන්න..... අපි වෙනුවෙන් බැද්දේ වෙසෙන්න ආ

මේ උන්නැහැලාට අපි උදව් කරන්න එපෑ...‘


"අපි ඊයෙම කූඩාරම් ගහගෙන ඉවර කලා...... මේ පැත්තෙ ආවේ දඩමස් ටිකක් එහෙම හොයා ගන්න පුළුවන් ද බලන්න....‘‘


‘‘ඇයි මහත්තයෝ මොකෝ බැරි.... අර අපේ චණ්ඩිය,.... සයිමා.... ඊයෙත් ඌරෙක්ට පතරොමක් තියල මස් කරේ.... යං මං මහත්තයාව එහේ එක්ක යන්නම්.....කියන්න බෑ අදත් උදේ සතෙක් මස් කරද දන්නෑ....ඊයෙ රෑ වෙඩිල්ලක් පත්තු වෙනවනම් ඇහුනේ ගොඩක් ඈතින් බැද්දේ පැත්තෙන් .....සයිමගෙ වෙඩිල්ලක්ද දන්නෑ ඒ......ලීනිස් උඹත් වරෙන් යන්න....මටත් සයිමා දිහාවේ යන්න ඕනකමක් තියෙනවා අපි යමු එහෙනම් ...." ධර්මේ නම් ගැමියාද අප සමග එක්විය. ඔහු ගොඩක් තරුණ කොල්ලෙක් වේ.


ඔහු අපට ඉස්සර වී කැලෑ පාරක් ඔස්සේ අපව එක්ක ගෙන ගියේ ගෙවල් දොරවල් කිසිත්ම නොතිබුනු පැත්තකටය...... එය කැලෑව පැත්තට වෙන්න තිබූ පැල්පතකි..... පැල්පත අවට මුලු පරිසරයෙම ඇත්තේ අදුරකි......මහ විශාල නම් නොදන්නා ගස්‍...ඒ අතර හොර ගස්, විශාල ඇටබ ගසක්, පොල්, කොස්, කිතුල් ගස්ද ඇත. ඒ ගස් නිසා ඒ මුලු පරිසරයේම ඇත්තේ මූසල මුස්පේන්තු අදුරකි.....

ගෙයි මිදුලේ කොනක, පුවක් පටි, එක දිගට එකතු කර කන්දේ සිට එන වතුර පීල්ලකින් නොනවත්වා දිය පාරක් කඩා හැලේ.....ඒ අවට ඇති ගල් උඩට වැටෙන දිය පාරේ හීන් ශබ්දය මූසල අදුරු පරිසරයේ ඇති නිහඩබව මැකි යයි....


ගෙයි ඉදිරිපස මිදුලේ කොස්ගහක් යට බූරු ඇඳක් උඩ නිදිය ගෙන කවුරුන් හෝ ඇති බව පෙනේ ..... ඉතා නිස්කලංක ගස් කොළන්වලින් වට වූ ගෙයි මිදුල, කිසිම පිළිවෙලකට තබා ගෙන නැති බව ඈතටම පෙනේ....... ලට්ට ලොට්ට වත්ත පුරා දමා ඇත.


වත්ත වටේම තිබු දැඩි අදුරත් ..කිසි පිලිවෙලකට නොතිබුනු වත්ත පිටිය පුරා...දර, රබර් තැටි, පොල් අතු, පොල්ලෙලි වලින් හැඩිවි ඇත....වත්තේ කොනක වලක් සාදාගෙන වක ගැසි නිදා උන් බඩ ලොකු බල්ලා, අප දැක ඇඟ පත ගසමින් දත් විලිස්සමින්, බුර බුරාගෙන අප ලගට එද්දි මම ලීනිස්ට මුවා වුනෙමි .


"චුප්...චුප්..බල්ලා... එහාට පල.... "

ධර්මේ ලඟ තිබුන ලී කෝට්ටක් අතට ගෙන ඔහු බල්ලා එලවයි.....බල්ලා නොනවත්වා බුරන්නේ මා දෙසට හැරිය....ඒ මම කවදාවත් ඔහු මේ ගමේදි නොදකපු කෙනෙක් නිසා වන්නට ඇත.


‘‘සයිමෝ.........සයිමන් අය්යේ ... උඹ නිදි ද? .....මේං කොළඹ මහත්තයා කෙනෙක් ඇවිත් උබ හොයාගෙන...නැගිටලා වරෙන් විගහට...... ‘‘


සයිමා අපේ සද්දය ඇහී.. .. මහ දවාලේ.....කොස් ගහ යට ,බූරු ඇදෙ නිදාගෙන සිටි ඔහු හිටි තැනින් නැගිට කෙලින් වී මා දෙස බැලීය. ඔහු කෙළින්වි සරම හද හදා අපි දෙස බැලුවේ සැකෙන් මෙන්ය....ඔහු ඉතා හැඩිදැඩි බඩ මහත මිනිසෙක් වේ....ඇස් පොඩිකර අප දෙස ටික වේලාවක් බලා සිටි ඔහු...හිටි තැනින් නැගිට අප දෙසට හෙමිහිට එන ගමන්, නොනවත්වා බුරන බල්ලාට කෑගසා එලෙව්වේ අප දෙස සැකයෙන් බලමින්.....


"කවුද ධර්මේ මේ මහත්තයා ...?


"මොකද බං මහ දවල් නිදි... මේ කොළඹ ඉදන් ආව මිනුම්දෝරු මහත්තයා කෙනෙක් ....."


"ඊයේ රෑ වල් ඌරෙක්ට බැදපු තුවක්කුවක් බැද්දෙ පැත්තෙන් ,පත්තුවෙනව ඇහිලා .... එලිවෙන ජාමේ ගියා බලන්න.. ..එනකොට හොදටම එළිය වැටුනා....පොඩ්ඩක් මේ ඇහැ පියෙව්වා ...ආයෙත් හවස මීමින්නන්ට හාවන්ට උගුල් ටිකක් අටවන්න යන්න එපෑ....." ගමේ මිනිසුන් සැමට දඩමස් සපයන්නේ මොහු බව මට වැටහේ...


"මේ මහත්තයාලා ගමට පාර කපන්න..... මිනුම් වැඩවලට ආපු ඇත්තන්.......උඩහ බැද්දේ කූඩාරම් ගහගෙන ඉන්නේ.... ඊයෙ දවල් මේ ගමට ආවේ....මහතයාලට වල් ඌරු මස් ටිකක් හොයාගන්න කියලා මේ ඇවිත් තියෙන්නේ...."


"එහෙමද...? මම උදේම කන්දෙ පල්ලෙහා කඩ මන්ඩියට මස් ටික කොල්ලෝ දෙන්නෙක් අතේ යැව්වනේ... ....කාටහරි හදිස්සියකට දෙන්න කියලා ඉතිරි කරගත්ත ඒවා ටිකක් තියෙනවා....එහෙනම් හිටපන්කෝ බලන්න..."


එසේ කියමින් ,ඔහු ගේ පිලිකන්න පැත්තට, අගුව අයිනෙන් හෙමිහිට ගියේ සරම කැහැපට ගසමින්‍ය.


" දන්නවද මහත්තයා ....ඔය සයිමා කාලයක් මහා උළුගෙයිත් ලැගලා ආපු එකෙක්...."


" සයිමා කසාද බැදලා නැද්ද....ගෙදර කවුරුත් නැත්තේ... ..."?


"මොන කසාදද...මහත්තයා ..ඕකා ඔය කන්දෙ පල්ලෙහා වෙන මිනිහෙක්ගෙ ගෑනියෙක් ගෙනත් තියන් හිටියා කාලයක් ....කොහෙද කොයිවෙලෙත් ඒ ගෑනිව මූ මරාගෙන කන්න හදනවා ,ඉවරයක් නැති ගෝරි....ඒ ගැනි මේ මිනිහ එක්ක ඉන්නවට වැඩිය....කොයිවෙලෙත් තරහ වෙලා ඔය කන්දෙ පල්ලෙහා උංගෙ මහගෙදර ඉන්න යන්නේ .....පොඩි කෙලිත් හොක්කේ ගහගෙන...."


"ආ...මහත්තයා මේ ඌරු අන්ඩ....ආයෙත් දඩයමක් අහුවුනොත් මම, මහත්තයාලට හොදවයින් කෑල්ලක් ගෙනත් දෙන්නම්කෝ...."


"අපි එහෙනම් යමුද...ලීනිස් ගම්මුලාදෑනීයාට අය්යා පනිවිඩයක් කියන්න කිව්වා...ඒකත් කියලම යමු....කොයි පැත්තෙන්ද දැන් ගම්මුලාදෑනීයාගෙ ගෙදර පැත්තට යන්නේ ....මට නම් මේ කැලෑවේ උතුර දකුන මාරු වෙලා තියෙන්නේ....ඊයේ ගිය පාර අද මතක නෑ...."


"එහෙම තමයි මහත්තයා අක්කර දෙක තුන ඈතින්නේ ගෙවල් තියෙන්නේ....අපි අර පැත්තෙන් ලන්ඳ බහිමු එතකොට ලගයි ජුවානිස් අප්පුහාමිගෙ ගෙදරට...."


ගමේ මිනිසුන් ගම්මුලාදෑනීයාට අප්පුහාමි කියා වැඩි ලෙන්ගතු කමෙන් කතා කරන අවස්තාද ඇත. සමහරු ජුවානිස් මාමා කියාද අමතයි.


සයිමාගෙන් ගත් ඌරු මස් ගාතය , ඔහු එය විශාල හබරල කොළදෙකක තියා ගහක වැලකින් ඔතා ලීනිස් අතට දුන්නේය. ලීනිස් දුවගොස්, ඔහුගෙ වත්තෙ කොනක, පුවක් ගහකින් වැටි තිබු කොළපතක් ගෙන, මස් කෑල්ල එහි උඩ තබා කර තියාගත්තේය.


ධර්මේ මා ඉදිරියෙන් දිග අඩි තියමින් යන්නේ ඉද හිට නැවති මාදෙසද බළමින්‍ ය. ඔවුන්ගේ වේගයට මට දැන් ගස් ගල් උඩින් පැන පැන ගොස් හොදටම හතිය....

.

‘‘මහත්තයලාට වාඩියට කෑම බීම මොනව හරි ඕන උනොත් මට කියන්න.... මං විජාහින් මහත්තයාලාට ගෙනත් දෙන්නම්.....‘‘


‘‘ ධර්මේ මොනවද මේ ගමේ කරන්නේ....?’’


"මම ඔය අපේ වත්තේ කිතුලකට නැගලා..... ගමේ උන්ට හවස් වරුවට ඇඟ රත් කරගන්ට රා ටිකක් බා ගන්නවා.....වැඩිපුර කිතුල් රා වලින් හකුරු හැදි ගාලා පොල්කටු වලට දාලා හකුරු හදනවා.....ඒවා ඔය පල්ලෙහා කඩ මංඩියට ගිහින් දීලා ලුණු , කරවල තුනපහ ඇරගෙන එනවා....අපට ඉතිං අල බතල , එළවළු වලින් අඩුවක් නෑනේ...යලට මහට කුඹුරු ගොවිතැනත් අඳේට ඇරගෙන කරනවා.....තව බැද්දේ හේනකුත් කොටලා, අමු, කුරහං ටිකකුත් හදල තියෙනවා....කොහේද මේ සතා සිව්පාවා එක්ක නේ කරදරේනේ ඒවා ආරක්ෂා කරගන්න...."


"ගමේ ගොඩක් ඈයන්ගේ රස්සා ඕවා වෙන්ඩ ඇතිනේ...."


‘‘ඔව් මහත්තයා මුලු ගමේම ඈයන්ගේ රස්සාවල් ඕවා තමයි .... ගොවිතැනයි....හේනක් කුඹුරක් කොටාගෙන ගොඩ මඩ දෙකම ගොවිතැන කරගෙන සතුටින් ඉන්නවා.....වැඩි තන්හාවක් ආසාවක් නෑ..... අනිත් අය වගේම මමත් එහෙමයි... වී ගොවිතැන් වගාව වගේම.... අපි වගා කරන ඒව පොළට ගිහින් කීයක් හරි හොයා ගන්නවා. කරවල, ලූණු, සීනි, පරිප්පු ගන්න අනිත් දේවල් ඉතිං අපි ගෙවල්වලම හදා ගන්නවනේ. ඒ කිව්වේ එළවලූ, පලතුරු මිරිස් එහෙම....‘‘


"කොච්චර ස්වයංපෝෂිත ජීවිතයක්ද මේ ගමේ මිනිස්සු ගෙවන්නේ.....අහනකොටත් ආසයි ..."


" අද හවසට මම වාඩියට, හොද තෙලිජ්ජ ටිකක් ඇරගෙන එන්නම්කෝ...මහත්තයාලට ඇඟපත ටිකක් රත් කරගන්න ..."


කැලෑ පාරෙන් ඇවිද ආ අපට අප්පුහාමි ගේ ගෙවල් පැත්තට යන්නට තිබුණේ කුඹුක් ගස්වලින් වට වී සිහින් රාවයකින් ගලා බසිනා දොළ පාරෙකින් එගොඩ වීමෙන් ය..... දොලේ කළු ගල් , වැලි ගල් උඩින් පැන පැන යන ගමන් මම අවට සිරි නරබන්නේ ආසාවෙනි...


ගම් මැද්දට යන අතර අපට අතරමඟදී මුණගැසුණු ගෑණු පිරිමි සැවොම අහිංසක බයාදු ලෙස සිනාසී පාරෙන් ඉවත් වී අපට යන්නට දෙවටේ ඉඩ දුන්නේය....ලීනිස් ඔවුන් සමග උජාරුවෙන් කතා කරන්නේ....මා සමග එක මග යෑමත්, මට පාර පෙන්වමින් යෑමත් ඔවුන්ට ලොකු දෙයක් ගානය.


‘‘ජුවානිස් අප්පුහාමි ගෙදර හිටිය දැක්කද මළයෝ....? මේ මහත්තයාට උන්දෑ හම්බවෙන්න් ඕනෙ කියලා අපි එහේ යන ගමන්....."


පාරේ යන තරුණ ගැටයකුගෙන් ලීනිස් අසයි.....


"ඕං...මං දැක්කා කෝපි ගාලේ ඉන්නවා....වෙන කොහාටවත් යන්න ඉස්සර ගියානම්....."


‘‘අර ඇටඹ ගස් දෙවටෙන් හැරිලා ටිකක් දුර ගිහාම... උළු සෙවිලි කරල තියෙන ගෙදර තමයි ජුවානිස් අප්පුහාමිගෙ ගෙදර ... මහත්තයාට මතකනේ....ඊයේ අපි මහත්තයාලට කුරුම්බා කපලා දුන්නේ....ඒ වත්තෙ ඉදන්නේ....අර පේන්නේ මහත්තයාලා ඊයේ ආව වාහන දෙක තැන්නෙ නවත්තලා තියෙනවා..."


ජුවානිස්ට ගමේ හැමෝම ගමේමුලෑදෑනියා කියා හොදින් සලකයි. ...ඔහු ගමේ සියල්ලන්ට ම උදව් උපකාර කරනා අනිත් උදවියට වඩා ටිකක් ඉහළින් සිටිනා කෙනෙක් බව ජුවානිස්ගෙ, ගේ දොරකඩට ගිය විට පෙනේ....... ගමේ දුප්පත් පැල්පත්වලට වඩා උළු සෙවිලි කර කබොක් ගලෙන් බැඳ, බිත්ති සුදු හුනු ගා තිබුණ ගෙය, ගමේ තිබුන හොඳම ගෙය විය..... කඳු හෙල්වලින් සමන්විත භූමියේ තැන්නක සාදා තිබූ ජුවානිස්ගෙ ගේ ඉතා සුන්දර ගස් කොළන්වලින් වට වුණු ටිකක් විශාල නිවසක් ලෙස අනිත් ගෙවල් දෙස බලනා කල පෙනේ..... ගේ මිදුලේ දාස් පෙතියා සිටවා හොඳින් මිදුල අතු ගා ඉතා පිරිසිදුව තිබිණි. වත්ත වටා ඉනි වැටක් සිටුවා ඇත. ඉනි වැටට මඤ්ඤොක්කා, මුරුංගා, කෝපි යන පැලද සිටවා ඇත. කෝපි ගස්වල පාන්දර පිපී තිබූ සුදු පාට මල්වලින් තවමත් සුවඳ විහිදෙයි. මල්වල පැණි බොන්නට ඇවිත් සිටි මී මැසි රංචුවේ නාදය කනට මිහිරකි. ජුවානිස් අප්පුහාමි නම් ගම්මුලාදෑනීයාගේ ගෙයි ඉදිරිපිට වැට ලඟට ගොස් ලීනිස්, ඔහුට කතා කලේය...


‘‘ගෙදර කවුද....? අප්පුහාමි මාමා....මේ කොළඹ මහත්තෙයෙක් ඇවිත් මාමාව හම්බවෙන්න.... ලීනිස් සද්ද නගා දෙවන වර කතා කරන විට තේ කොප්පයක් ද අතින් ගත් ජුවානිස් ගෙයින් එලියයට ආවේය.


‘‘ආනේ මේ මහත්තයනේ.... ඇයි අප්පේ මේ පැත්තෙ.... මට පණිවිඩයක් එව්වනම් මං එනවනේ වාඩිය පැත්තේ.‘‘


‘නෑ... නෑ... මට හිතුනා ගම පැත්තෙ ටිකක් ඇවිදලා එන්න. අනිත් කට්ටිය නම් මිනුම් කටයුතුවලට ගිහින්....‘‘


‘‘ඇයි මහත්තයා යන්නෙ නැද්ද මිනුම් කටයුතුවලට....‘‘


‘‘අනේ නෑ... මම ලොකු මිනුම් මහත්තයාගෙ මස්සිනා..... මම මේ නිවාඩුවකට ආපු ගමන්. මේ ලීනිස් තමයි මාව බැද්දේ ඉදන් මේ පැත්තට එක්ක ආවේ....ලොකු මිනුම් මහත්තයා කිව්වා අප්පුහාමිට වෙලාවක් තිබුනොත් හවස් කරේ වාඩිය පැත්තේ ඇවිත් යන්න කියලා .....

මොනවද බැද්දේ ඇති, වන සංරක්ශිතයේ මායිම්, වගයක් දැන ගන්න...."


‘‘ආ... එහෙමද මහත්තයා...මම අද හවස් කොරේ ඒ පැත්තේ ඇවිත් යන්න එන්නම්කෝ...... එන්න එන්න මහත්තයා ගෙට ....අපි තේ එකක් බීලා ඉමු. ඊයේ අපි අලූත් කිතුල් හකුරු හැදුවා පොළට ගෙනියන්න. අලූත් කිතුල් හකුරු එක්ක අපි තේ බොමු...."

.

"දුවේ..... දුවේ... මේ මහත්තයාලට තේ ටිකක් වත් කරන්න.‘‘ අප්පුහාමි ගේ ඇතුළ බලාගෙන හයියෙන් කෑ ගැසුවේය .


"කවුද මෙහෙ කුතුල් රා, පැණි ගන්න, කිතුලේ යන්නේ...?."


"ඇයි අපේ පාල කොලුවනේ....ඌ හරි දස්සයා කිතුලෙ නගින්න...මගේ තුන්වන කොලුවා ...මහත්තයාලට ඊයේ කුරුම්බා කපල දුන්නේ....ඕකා කොයිවෙලෙත් ගෙදර නෑ....ගම වටේ රස්තියාදුවේ යනවා.....ඔය දැනුත් ගෙදර නෑ....


ටික වේලාවකින් අඩු කොප්ප දෙකකට තේ කහටත්, කිතුල් හකුරු පීරිස්සියකුත් සමඟ තේ අරගෙන ආවේ මට හිතාගන්නවත් බැරි තරම් සුන්දර යුවතියකි......


ගැමි සුන්දරත්වයෙන් අනූන දෙදණ දක්වා වැටුණු දිග කෙස් කළඹ එක කරලකට ගොතා,... ඇද සිටි ගවුමට උඩින් රෙද්දක් ඇඳගෙන සිටි ඇය ඉතා පැහැපත්ය. මුතුවන් දත් දෙපල පෙන්වා බයාදු ලෙස සිනාසුණු ඇය අපට තේ කහට පිළිගැන්වූවා ය.


‘‘මේ ජුවානිස්ගෙ දුව ද?’’


‘‘ඔව්.... මහත්තයා. මගේ බඩපිස්සි.... මේකි තමයි මායියා නැති වුණාට පස්සෙ ගෙදර ඔක්කොම වැඩ කරන්නේ....මේ දවස් වල ගමේ ඉස්කෝලෙ මහත්තයාට උදව් කරන්නත් එක්ක, උදේට පොඩි උන් බලාගන්නත් එක්ක ඉස්කෝලේ යනවා.... ලොකු ඉස්කෝලේ මහත්තයා විතරනේ මුලු ඉස්කෝලෙටම ඉන්න එකම ගුරුවරයා.....උන්දැට අමාරුයි ළමයි ඔක්කොටම එකට උගන්නවන්න...ඒ හින්දා මේ කෙල්ලත් ගිහින් ඉස්කෝලේ මහත්තයාට උදව් කරනවා....ඉස්කෝලේ ළමයින්ට දවල්ට බිස්කට් එහෙම බෙදල දෙන්න ඕනේ නේ....ඒවා ඉතිං මේ කෙලී පිලිවෙලට කරනවා කියලා.... ලොකු ඉස්කෝලේ මහත්තයා කියනවා ,අනිවාර්යයෙන් කෙල්ල සතියෙ දවසට උදේට ඉස්කෝලේ එවන්න කියලා තියෙන්නේ.....මෙකිගේ අක්කා තමයි ලොකු ඉස්කෝලේ මහත්තයා කසාද බැදලා ඉන්නේ...ඔය ඉස්කෝලේ පල්ලෙහා ගෙදරනෙ ලොකු මහත්තයා පදිංචි වෙලා ඉන්නේ....මේ දවස්වල ඒකිට දරුවෙක් හම්බවෙන්න...ඒකයි වැඩිපුර මේකි එහේ යන්නේ....ඊට පස්සෙ ඉතින් දවල්ට ගෙදර ඇවිත් මේකි ගෙදර වැඩ කරනවා......‘‘


ගමේ සිටින අනිත් ගැහැණුන්ට වඩා වෙනස් සුන්දර අහිංසක පෙනුමැති තරුණ ඇය දෙස සුමල් බලා සිටියේ පුදුමයෙනුත් ආසාවෙනුත් ය...... සිහින් ඉඟත් පළල් උකුලත් වඩා උස් නොවූ ලැමත්, පැහැපත් සිනිඳු මුහුණෙන් මතු වූ සිනා රැල්ලත් ඉතා සුන්දරය.... මෙවන් නොදියුණු ඈත එපිට ගම්මානෙක ඉපදී සිටින මෙතරම් සුන්දර යුවතියක ඔහුට හිතා ගැනීමටත් බැරි තරම්ය.....


‘‘මොකක්ද නංගිගෙ නම කිව්වේ.‘‘

මං ඇය දෙස බලා ඇසුවෙමි.


‘‘මම සුනිලා.‘‘ ඇගේ කටින් පිට වූ මෘදු කටහඬ ඉතා මිහිරිය.... දත් පෙන්වා සිනාසුණු ඇය කෝල ලෙස අප සමඟ කතා කරයි....


‘‘තාත්තා කිව්වා ....මහත්තයාලා ගමට පාරක් කපන්න ඉඩම් මනින්න ඇවිත් ඉන්නෙ කියලා...... අනේ ඒක ලොකු දෙයක්..... අපි කඩ මණ්ඩියට යන්න හරිම දුකක් විඳින්නෙ. ගස් ගල් උඩින් පැන පැන සැතැප්ම 5ක් 6ක් විතර පයින් යන්න එපැයි.... අපි කෙටි පාරවල් හොයාගෙන තමයි කඩ මණ්ඩියට යන්නෙත්....‘‘


‘‘සුනිලලා මොකට ද කඩ මණ්ඩියට යන්නේ.‘‘


‘‘ඇයි හේනේ වත්තෙ පිටියෙ බෝග අපි විකුණන්නෙ කඩමණ්ඩියටනේ......ඒවා විකුනලා තමයි කඩ මණ්ඩියෙන් අපට ඕන කරන කරවල ,ලුනු, පාන් පිටි, එහෙම ගන්නේ...... ගොඩක් වෙලාවට අපි ගෙනියන බඩුවලට ඒවා හුවමාරු කරගන්නවා.‘‘ සුනිලා කෝල ලෙස වුවත් පැහැදිලි ලෙස අප සමඟ කතා කරයි.


"එහෙමද..? මට මේ ලීනිස් කිව්වා....ගමේ හැමෝම තමන්ට කන්න බොන්න ඕන එලවළු අල බතල ගෙදරම හදා ගන්නවා කියලා ..."


‘‘හවසට මං කුරක්කන් හැලප හදනවා..... මහත්තයාලාට කන්න හවසට කූඩාරමට ඒවා එවන්නම්..... මටත් හරි ආසයි කූඩාරම් ගහගෙන මහත්තයාලා ඉන්න හැටි බලන්න.... කවදාවත්ම මං දැකලා නෑ කූඩාරම් ගහගෙන ඉන්න අය....."


"ඉතිං ...සුනිලා තාත්තා එක්ක ඒ පැත්තෙ ඇවිත් බලන්න .."


"තාත්තට මං කිව්වා ...., මාවත් ඒ පැත්තෙ එක්ක යන්න කියලා. කෝ තාත්තා මට කඩා පැන්නෙ නැතෑ.‘‘


‘‘‘ඒ මොකද..?


‘‘අපෝ මහත්තයා, තාත්තා කැමති නෑ මාව කූඩාරම් පැත්තෙ එක්ක යන්න.....‘‘


‘‘මොනවද මහත්තයා අපේ මේ කෙලි කියන්නේ.‘‘


එසේ අසාගෙන ගෙයින් එළියට ආ ජුවානිස්.... ගෙයි ඉස්තෝප්පුවේ තිබුන බුලත් හෙප්පුවත් රැගෙන හාන්සි පුටුවේ කෙලින් වී වාඩි විය. බුලත් හෙප්පුවෙන් ගත් බුලත් කොළයක දෙකොන කඩා විසිකර දැමු ඔහු එය හතරට පහට නමා කටේ ඔබා ගෙන ,ගිරයෙන් කපන ලද පුවක් කෑලි දෙකක් හා, දුංකොළ කැබැල්ලක් හා හුනු ටිකක් හක්කෙන් තියා හෙමිහිට හපන්න ගත්තේය.


‘‘මේ සුනිලට අපේ කූඩාරම් බලන්න ආසයි කියන්නේ. ඉතිං ජුවානිස් ඒ පැත්තෙ එන වෙලාවක සුනිලවත් එක්ක එන්න.‘‘


‘‘බලමු... බලමු.... මහත්තයා.... ගෑණු උදවිය ඔය වාඩි ගානේ යන්නෙ නෑ.... ගමේ උන් දැක්කොත් මං මේකි එහෙ එක්ක යනවා මට විසුමක් වෙන්නෑ.....‘‘


ලොකු හකුරු කෑලි දෙකක් කා තේ කහට බිව් අප ගමේ වටේ ඇවිද එහි සිරි නරබමින් වාඩිය පැත්තට ගියෙමු.... ගමේ මිනිසුන් සමඟ කතා බහ කරමින් ඔවුන්ගෙ දුක සැප අසමින් ගම වටේ යනවිට හිතට දැනුණේ හරිම නිදහස් සැහැල්ලු බවක්ය. ජීවිතය ජීවත් කරවන්න, බැද්දේ දුශ්කර පැත්තක මේ මිනිසුන් විඳින දුක ....දුර සිට බලන අපට, හිතට දුකක් ඇති කළත්.... ඔවුන් මේ ජීවිතයට පුරුදු වී එයින් සෑහීමකට පත් වී සතුටින් ජීවත් වෙන්නෝ වෙති...... උදේ පාන්දර හේනට කුඹුරට යන ඔවුන් දා බිඳු වගුරවමින් භවබෝග සිටුවා, පරිස්සම් කරමින් ලබන අස්වැන්න විකුණා එයින් ලබන ලාභයෙන් තමන්ට අවශ්‍ය දෑ ලබා ගනිමින් ගෙනියන සැහැල්ලූ ජීවිතය තුළ ඔවුන් සෑහීමකට පත් වී තෘප්තියෙන් ජීවත් වන්නන්වේ. ඔවුන් ස්වයංපෝෂිත ජීවිතයක් ගත කරන සතුටින් සැහැල්ලුවෙන් ජීවිතය ගතකරන උන්වේ.....


-නැවත හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

1 view0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page