top of page
  • Writer's picturePrisila Godahewa

🌺බැද්දේ කුමරිය 🌺

🌺බැද්දේ කුමරිය🌺

(28 වෙනි කොටස)

https://www.facebook.com/groups/2653780434897311/permalink/3085972485011435/

උදේ දහයාමාරට පමණ අපි, කළුතර ජයන්තිලාගෙ නිවස බලා යන විට, මාළිගෙ මවත් පියත් ජයන්තිලාගෙ ගෙදරට ඇවිත් තිබුනේ ඔවුන්ගේ වාහනයෙනි. කළුතරම පිහිටා තිබුන ජයන්තිලාගේ මහ ගෙදර, මාළිලාගේ මහ ගෙදර තරම් විශාල නොවීය. ඔවුන්ගේ ගෙදර ඉඩමද පොඩිය.


"අපි ඉතිං නොදන්න දෙන්නෙක් නෙමේ උනාට මේ දෙන්නා....මේවායෙ චාරිත්‍ර වාරිත්‍ර තියෙනවනේ.....ඒකයි අපි මේ විදිහට පිළිවෙළට ලෑස්ති උනේ..."


ජයන්ති ලා රෝස පාට සාරියක් ඇද අත් කොට සුදු හැට්ටයක් ඇද, කොන්ඩය උඩට කර බැද සිටියාය. වෙනදාට ඇය අදින කොට ගවුමට වඩා ඇය

සාරියට හැඩ යැයි මට සිතේ......ඇය හෙප්පුවක් රැගෙන විත් මට අල්ලා, තාත්තා අක්කාටද එය ඇල්ලීය.


ඉන්පසු තේ මේසයට අපට ආරාධනා කලේ ජයන්තිගෙ මෑනියන්‍ ය.


නොයෙකුත් කෑවිලි වලින් තේ මේසය පිරි තිබුනි. හැමෝම හෙමිහිට රස කැවිලි කමින් තේ බොද්දී .....සිරිදාස පමනක් කිසිම ගානක් නැතුව රස කර කර කැවිලි හැම එකක්ම කමින්, තේ බොන්නේ ජයන්තිටද මටද විහිලු කරමින්‍ උන්නේය.


"අපි එහෙනම් දෙන්නගෙ කේන්දර බලවලා හොද දිනයක් දාගෙන ,මඟුල ඉක්මනට අහවර කරගමු ...."


"අපි නම් ඒකට කැමතියි .....සුමල් පුතා මඟුලෙන් ඉස්සර කළුතරට මාරුවක් හදාගෙන එනවනම් තමයි හොඳ......"


"මම කන්තෝරුවට ඉක්මනට ඒ ගැන දැනුම් දීලා....දැන්ම කළුතරට ඉල්ලුම් කරන්නම්"


"ඔව් ..ඒක ගොඩක් හොදයි ... එතකොට මේ ඉඩම්කඩනුත් බලාගෙන, මෙහෙට වෙලා රස්සාව කරන්න පුලුවන් .....අපට දැන් මේ ඉඩකඩම් බලාගන්න ශක්තියක් නෑ වගේම, උවමනාවකුත් නෑ....අපේ දුව නැති උනාට පස්සේ හැම දෙයක් ගැනම අපි කළකිරිලා ඉන්නේ....."


උදේ තේ බී අහවර වී සිරිදාසත්, මමත් ජයන්තිත්...

වත්තේ ඇවිදමින් කතාබහ කරමින් සිටියෙමු......සිරිදාසගෙ විහිලු කතා නිසා වෙලාව යනවා දැනුනේම නැත. ජයන්ති අද බොහෝම සතුටින් ඉන්නා බව පෙනේ...ඇය රෝස පාට සාරියට, වෙනදාට වඩා ලස්සනය. වෙනදා මෙන් තොරොම්බල් බඩු කරබු කෑලි ඇය කනේ කරේ එල්ලාගෙන නැති නිසා, මට ඇයගේ මුහුන බලා කතා කරන්නට සිතේ.....


දහවල් කෑම මේසයද ඉතා ඉහලින් සාදා සරසා තිබුනි.


දහවල් කෑමෙන් පසු, අපි සියලු දෙනා සමුගත්තේ...මගෙත් ජයන්තිගෙත් කේන්දර බලවා, පුලුවන් ඉක්මනට අපේ මඟුලට නැකත් බලා දිනයක් දාගන්න පොරොන්දව උඩය.


"අද ජයන්ති හරි ලස්සනයි නේද සාරියට...?

අක්කා එමින් ගමන් මට ඇසෙන්න කීය.


"අපරාදේ අක්කේ....ජයන්ති මූට කැමති උනේ....නැත්තම් මම බදිනවා ජයන්තිව....නියම කෙල්ල...මොනවායින් අඩුපාඩුවක්ද...? මොනව උනත් සුමල්, ලක් කාරයා...."

සිරිදාස කීය.


"මල්ලි අද හෙටම කන්තෝරුවට දන්නලා කලුතරට මාරුවක් හදා ගන්න බලන්න ....තාත්තා එහෙනම් අද හෙටම මේ දෙන්නගෙ කේන්දර බලවලා දිනයක් දාගන්න මඟුලට...අපටත් ඉතිං මඟුලට ඇදුම් එහෙම ලෑස්ති කරගන්න වෙනවා දැම්ම තියා...."


"ඒ උනාට ගිය පාර වගේ ලොකු මඟුලක් ගන්නවාට මම කැමති නෑ ...."


අක්කා කළබලේ සතුටින් මගෙත් ජයන්තිගෙත් මඟුලට ලෑස්ති වෙන්න අනිත් අයවත් උනන්දු කරවයි....


අපි කොහොම හිතුවත්, පැතුවත්....., සංසාරයේ අපි පතාගෙන එන හැටියට හැම දෙයක්ම සිද්දවෙන බව පමණක් මම දැන් විශ්වාස කරමි. අපට වෙන්න තියෙන දේ ...ගිය ආත්ම වල අපි කරපු පව් පින් අනුවම සිද්දවෙන බව පමනක් තේරුම් ගන්න සිද්දවි ඇත.


මම ඉස්සරහ කාලේ, ජයන්ති මගේ බිරිඳ ලෙස පිලිගැනිමට දැන්ම තියා සූදානම් විය යුතුයි ....ඔව් තාත්තා අපේ කේන්දර බැලු පසු ,මම නිතර කළුතර ගොස් ජයන්ති මුණ ගැසි,ඇය සමග කතා බහා කර පැමිනිය යුතු යැයි මම සිතා ගත්තෙමි.


ගෙදර සියල්ලෝ කළුතර ගොස්, ජයන්තිගෙයි මගෙයි මඟුල තීරණය කර ආ පසු, මම පුලුවන් ඉක්මනට කොළඹ කන්තෝරුවෙන් කළුතර කන්තෝරුවට මාරුවක් හදා ගත යුතු යැයි තීරණය කලෙමි.


"උඹ ඉතිං කළුතරට මාරුව හදාගත්තහම මට තමයි පාලු, පාඩු වෙන්නේ...."

සිරිදාස මම කොළඹ සිට කළුතරට, මේ කන්තෝරුවෙන් මාරුවක් ගන්න සිතීම ගැන දුක් වන්නේය.


"මොකක්ද උඹට තියෙන පාඩුව....?


"උඹ එහෙට වෙලා, ජයන්තිගෙ ගෙදර කෑම රසට කයි....මට බෝඩිමට වෙලා පරිප්පුයි, කරවලයි උයාගෙන තනියම කන්න වෙනවනේ..."


එහෙනම් උඹත් කළුතරට මාරුවක් හදාගෙන වරෙන්.....අපි ඔක්කොටම මාළිගෙ ගෙදර ඉන්න පුලුවන් ..."


"ඇයි උඹලා මාළිගෙ ගෙදර නවතින්න යන්නේ...?


"ජයන්තිගෙ මහ ගෙදර ලියලා තියෙන්නේ ජයන්තිගෙ මල්ලිට....මාළිගෙ ගෙදර පාලුවට යන නිසා, මාළිගෙ අම්මලා අපට එහේ ඇවිත් නවතින්න කිව්වා...මාළිගෙ තාත්තා පාලනය කරන රබර් පොල් වතුවල වැඩ එහෙමත් මට බලන්න වෙයි කිව්වේ..."


"එහෙමද.....ඒ ගේ ගොඩක් ලොකු නිසා මම ආවත් එහේ නවතින්න පුලුවන් වෙයි නේද...?" සිරිදාස සතුටින් අසයි.


"පුලුවන් පුලුවන් ...උඹත් මාරුවක් හදාගෙන කළුතර වරෙන්... නිවාඩු දවසට මට වත්තේ පොල් ටිකක් හරි උඹට කියලා ඇහිදවගෙන, පොල් ටිකක් ලෙලි ගහගන්න එහෙම පුලුවන් එතකොට ...... ..."


"පලයං යන්ඩ...උඹේ ගෑනිගෙ පොල් ඇහිදින්න මම ...?


එදින සිරිදාස සමග විහිලු තහළුවෙන් සිටිමට හැකි විමත්, මගෙ හිතේ තිබෙන දුක, වේදනාව ටික මොහොතකට අමතක කරදමා සිටින්නට හැකි විය.


#######


සෝමෙත් මමත් සුනිලා බලන්න රුවන් ගමට ගොස් පැමිණ සුමානෙකට පසු බදාදා දින දහවල්, මම කාර්යාලයේ වැඩ කරමින් සිටින විට කාර්යාල සහයක "තේමිස්" පැමිණ මා හට කිව්වේ මා හමුවෙන්න කවුදෝ අමුත්තන් දෙදෙනෙකු පැමිණ ඇති බවකි..... කිසිදින මා හමුවන්න ගෙදර කවුරුවත් හෝ යාළුවෙක්වත් කාර්යාලයට පැමිණෙන්නෙ නැති නිසා, ඒ කවුරු දැයි සැකයෙන් මම කරමින් සිටි වැඩය ඉක්මනට නවත්වා කාර්යාලයේ අමුත්තන් පිළිගන්නා කුටියට ගියේ හිතේ දෙගිඩියාවෙනි...


ඈතදීම මා දුටුවේ සුනිලාගෙ සහෝදරයන් දෙදෙනා වන ගුණදාස හා පාල අමුත්තන් පිළිගන්නා කුටියේ, පුටුවක වාඩි වී ඉඳිනා අයුරුය.


මගේ සිතට ක්ෂණිකයෙන් ම මතකයට ආවේ, පාල හා ජුවානිස් මම ඔවුන්ගෙ ගෙදර ගිය දින කිව් දෙයයි.


"මහත්තයාට දුවගෙ මඟුල් කියන්න අපි කොළඹ එන්නයි හිතාගෙන හිටියේ.‘‘ යන්න.


‘‘ආ... ගුණදාස ,පාල කොහොමද...? අඳුන ගන්නත් බැරි වුණානේ. දැන් හරි හැඩයිනේ අලූත් ඇඳුමට.....‘‘


මම සිනාසෙමින් ඔවුන් ලඟට ගියෙමි. ඔවුන් දෙදෙනාම මම දුන් කලිසම් ශර්ට් ඇදගෙන මා හමුවීමට පැමින හැටි දැක මට,සතුටු සිතිනි. හැමදාම ඔවුන් අදිනා සරමට වඩා ඒ ඇදුම මේ කොළඹට, කාර්‍යාලයට ගැලපේ යැයි මට සිතේ....


‘‘ඉතිං... ඉතිං... කොහොමද පාල...? සුනිලගෙ මඟුල් කියන්නද ආවේ.....? මගේ කාර්යලය හොයාගන්න අමාරු වුණේ නැද්ද...? මඟුල් කියන්න ආවේ නැති වුණාට, මං පුළුවන් උනොත් කොහොමත් සුනිලගෙ මඟුලට එන්නයි හිතාගෙන උන්නේ..... අද උදෙන් මද ගමේ ඉඳන් කොළඹ ආවේ....?.‘‘


මම ඔවුන්ගෙන් නොයෙකුත් ප‍්‍රශ්න එකදිගට අසමින් ඔවුන් ලගින් වාඩි විය.


‘‘මහත්තයා හම්බවෙන්න ආවේ විශේෂ දෙයකට.... මෙතන කතා කරන්න බෑ වගේ මහත්තයා....‘‘


ගුණදාස හා පාල මට තවමත් මහත්තයා කියා කතා කරයි... පාල මට බාල වූව ද එසේ කතා කරන්නේ අප මුලින් මුණ ගැසුණු දවස්වල වගේමය. නමුත් මාගේ ඉල්ලීම පරිදි සුනිලා මට අයියා කියයි. ඇය මට වඩා බාල තැනැත්තියක් නිසා, ඇය ලවා මට මහත්තයා කියාවා ගැනීමට කැමති නොවීය.


‘‘මෙතන නම් ටිකක් කළබලයි තමයි .... කැමති නම් අපි එලියට ගිහින් මොනවහරි කෑමක් කන ගමන් කතා කරමු.... දෙන්නටම දැන් බඩගිනිත් ඇතිනේ.... උදේම ගමෙන් ආවනම්...‘‘


මොවුන් එන්න ඇත්තේ සුනිලාගෙ මඟුලට අතමාරුවක් ඉල්ලා ගන්න යැයි මට සිතේ.....


‘‘අපි එහෙනම් මහත්තයා එළියට යමු ද?’’


‘‘හා.... ඉන්න මං කන්තෝරුවේ කාට හරි කියල එන්නම්, කෑමට එළියට යන වග....."


මම මගේ කාර්‍යාලය ඇතුළට ගොස්, කාර්‍යාල සේවකයාට, දහවල් ආහාරය ගන්න මම, එළියට යන බව පවසා ගුණදාස හා පාල සමග කාර්යාලයෙන් පිටතට ආවේ මොවුන්ට මොනවහරි දවල්ට හොදට කන්ඩ අරන් දෙන්න හිතාගෙනය.


‘‘ඉතිං ගුණදාස අද රෑට කොළඹ ඉඳල යන්න....දැන් මං තව යාළුවෙක් එක්ක බෝඩිමක තනියම ඉන්නේ.... අපි දෙන්නා තනියම උයා ගෙන කනවා. ගුණදාසටයි පාලටයි අද රෑට එහේ ඉඳල යන්න පුලුවන් ....‘‘


‘‘බලමු මහත්තයා.‘‘ ගුණදාස ලොකු කල්පනාවකින්, දුකකින් ඉනනා බව පෙනේ... ඔහු වචන දෙක තුනකට වඩා මා සමඟ කතා නොකරන්නේය. ඔහුගෙ මුහුනේ ඇත්තේ ලොකු කරදරයක සේයාවකි.


අප තුන්දෙනා කොළඹ කොටුවේ මිලර්ස් භෝජනාගාරයේ කොනේ මේසයකට ගොස් වාඩි වුනෙමු.

මම ඇනවුම් කළ තෙම්පරාදු බත් හා කුකුල්මස් බැඳුම අප වෙත ගෙනෙනකම් මම ඔවුන් සමග කතාව පටන් ගත්තේමි.


‘‘ඉතිං ගුණදාසට මොනවද කියන්න තියෙනවා කිව්වේ...? මොනවහරි උවමනාවකටද ආවේ...?.‘‘


‘‘හරි වැඩෙනේ මහත්තයා....මහත්තයාට මේක කොහොම කියන්නද කියලා මට හිතාගන්න බෑ...."


"ඇයි...මොකක්ද ..අතමාරුවක් එහෙම ඉල්ලගන්නද...? ඔවුන්ට එය කීමට පහසු වෙන ලෙස මා ඇසීය.


"අනේ නෑ මහත්තයා ...වෙන දෙයක් ..."


"එහෙනම් මොකක්ද ..?


" මහත්තයාට මේක මුල ඉදලම කිව්වෙ නැති උනොත් තේරුම් ගන්න බැරි වෙයි....ඒ නිසා මහත්තයා නොදන්න කතාවක් තියෙනවා....ඒක කියලා හිටියොත් හොදයි කියලා හිතෙනවා...."


"ඒ මොකක්ද ...? මං නොදන්න විශේෂ දෙය..."


"මහත්තයා දන්නවනේ...අපේ නංගි.... ඒකි බදින්න හදන මණමාලයා, අපි ගොඩක් කාලෙකට උඩදි ඒක ලෑස්ති කරගත්ත මඟුලක්නේ....නංගි කොහොමත් ඒකට එච්චර කැමැත්තක් තිබුනෙ නෑ...ඒ උනාට දැන් මාස දෙක තුනකට උඩදි තමයි නංගි එයාව බදින්න කැමති උනේ...."


"ඔව් ඒවා මම දන්නවා...ඉතිං ..?


"නංගි කොළඹ බලන්න ආසයි කියලා ඇවිත් මහත්තයාලගෙ ගෙදර මාස දෙකක් විතර නැවතිලා හිටියනේ....ඒ කාලේ නංගි බදින්න හිටිය කොල්ලා, අපට හරියට දොස් කිව්වා, නංගිව ගෙදර එක්ක එන්න කියලා ....කොහොම හරි නංගි ගමේ ගියාට පස්සේ ඌ මාසයක් දෙකක් නංගි බලන්න ආවෙත් නෑ කේන්තියට....නංගි කොළඹ ගිහින් ගොඩක් දවසක් හිටියා කියලා ......පස්සෙ දැන් මාස දෙකකට විතර උඩදි තමයි ඒ කොල්ලා ආයෙත් නංගිව කසාද බදින්න හරියට කැමති වෙලා නැකත් බලලා දින දාගත්තේ...."


" ඔව් ඉතිං...තව සුමාන දෙකයිනේ මඟුලට තියෙනවා කිව්වේ.. ..."


"ඔව් ...ඒක හරි....දැන් තියෙන ප්‍රශ්නය තමයි ...... සුමල් මහත්තයා ,අර අනිත් මහත්තයා එක්ක, ගිය සුමානෙ අපේ ගෙදර ඇවිත් නැවතිලා ගිය එක ගුනේට ආරංචි වෙලා.... මූට හොදටම කේන්ති ගිහින්, මහත්තයා නංගි බලන්න ගමේ ඇවිත් තියෙන්නේ කියලා හිතාගෙන ... අපේ ගෙදර ඇවිත් නංගිට බැනලා ගහන්නත් ගියා....ඌට නංගිව විශ්වාස නෑ....ඕන නැති නරක කතා වගයකුත් කියලා ..... දැන් ඌට නංගිව කසාද බදින්න බෑ කියනවනේ...නංගිව ඌට සැකයිලු....."


"හරි වැඩේනේ.......මම නිසා සුනිලට වෙල තියෙන්නේ..."


" අනේ ඔව් මහත්තයා ....තව සුමාන දෙකයි මඟුලට තියෙන්නේ ...අපේ නෑදෑයින්ට ගමේ මිනිස්සුන්ට දැන් මොනවද කියන්නෙ කියලා හිතාගන්න බැරුවයි අපි ඉන්නේ මහත්තයා....ඒකයි අපි මහත්තයා හම්බවෙන්න ආවේ....අපේ තාත්තා තමයි කිව්වේ , මේ කතාව මහත්තයාට කියලා එන්න කියලා....".


"හරි ජංජාලයක්නේ උනේ...මම නිසා දැන් සුනිලාගෙ මඟුල කැඩෙන්නද යන්නේ....?


"ඒකනෙ මහත්තයා ....

දැන් ගුණේව කොහොමත් කසාඳ බඳින්න බෑ කියල නංගිත් අඩනවා..... .නංගි කොළඹ ඉදන් , ගමේ ගියාට පස්සෙ ගුනේ නිතර නිතර නංගිට ඒවා මේවා කිව්වලු......ඒත් නංගි ඉවසගෙන ඉදලා මෙච්චර දවස්....අපට කිව්වෙත් නෑ....ඒවා දැනගෙන හිටියනම් අපි කවදාවත් මේ මඟුලට නංගිට බල කරන්නෑ.....එදා මහත්තයා ගමේ ඇවිත් ගිය එක ආරංචි වෙලා තමයි ගුනේ ඇවිත් නංගිට බැනලා යකා නටලා තියෙන්නේ .... ...ඒ නිසා එයාව කසාද බඳින්න බෑ කියල නංගි දැන් අඩනවා.. .. ගෙවල් දෙකෙන්ම කැමති වෙලා හිටිය මඟුල.... තව සුමාන දෙකයි මගුලට තියෙන්නේ....අපි ගමටම බුලත් දීලත් ඉවරයිනේ ....ගුනේ කොළුවට එහෙමට මඟුල් කියන්න නෑදෑයෝ නෑ....ඒ නිසා ඌට මඟුල නැවත්තුවා කියලා ගානක් නෑ....අපට එහෙම නෙමේනේ.. ..තාත්තව, අපිව මුලු ගමම දන්නවනේ....අපි කොහොමද ගමේ මිනිස්සුන්ට මූණ දෙන්නෙ කියලා හිතාගන්න බැරුව ඉන්නේ..." ගුණදාස කීය


"මාර වැඩේනෙ උනේ......?"


"සුනිලා දැන් කැමතිම නෑ කියනවා ගුනේ බදින්න ...අපට තියෙන ප‍්‍රශ්නය මේ මාසේ මැද අක්කගෙ මඟුලට අපි අපේ නෑදෑයින්ට ගමේ මිනිස්සුන්ටත් බුලත් දීලත් අහවරනේ.....ඉස්සර ගුණේ හොද එකා....ඌ වෙනස් උනේ අක්කා කොළඹ ගිහින් ආවට පස්සෙ .....ඌට දැන් අක්කව බදින්න බෑ කියන නිසා අක්කා ඌව බලෙන් බදින්න කැමති නෑ.. ....මිනිහගෙ අකමැත්තෙන් කසාද බැදලා වැඩක් නෑලු.....එයාව කසාඳ බැන්ඳොත් ජීවිත කාලෙම හිත හොදින් ඉන්න ලැබෙන එකක් නෑ කියන්නේ. ...." පාලද කීය.


"ඉතිං ...හරි වැඩේනේ, දැන් මොකද අපි කරන්නේ...මම නිසා සුනිලට හරි කරදරයක් නේ වුනේ...."


"අපට තියෙන ප‍්‍රශ්නය අපේ නෑදෑයන්ට ගමේ මිනිස්සුන්ට මුණ දෙන්න බැරි එක.....මෙහෙම සුමාන දෙකක් තියලා මගුල නැවැත්තුවා කිව්වහම ගමේ මිනිස්සු මොනව නොකියය්ද..?..‘‘


"සුනිලා මොනවද තව කියන්නේ...?


‘‘ඒකි කියනවා ....ගිය සුමානෙ මහත්තයා ගමේ ආපු වෙලේ, මහත්තයා කිව්වලු ඒකිව කසාද බඳින්න කැමතියි කියලා.... ඒකිත් මහත්තයාට කැමතියිලූ.....මහත්තයාගේ දරුවත් හදන් මහත්තයාව කසාද බැදලා කොළඹ එන්න ඒකී කැමතියි කියන්නේ.....මහත්තයා නංගිට අකමැති උනත් ගුනේව නම් නංගි කසාද බදින්නෙ නෑලු....බැදලා දෙන්නට කවදාවත් හොදින් ඉන්න බැරි වෙයිලු... ‘‘


මගේ හිස ගිනි ගත්තේ ය. මට ගුණදාසගෙ වචන අදහා ගැනීමට නොහැකි විය. ඔහු කිව් දෙය අසා මගේ හිත සතුටින් පිරුනත් ....ඒ සමඟම ජයන්තිගෙ ගෙදර අයට ගිය සෙනසුරාදා මම දුන් පොරොන්දුව මතක් වී ඔලුව කරකැවෙන්න පටන්ගත්තේය.....මට කිසි දෙයක් සිතා ගැනීමට නොහැකි විය.


‘‘ඇත්තටම ගුණදාස, අපේ ගෙවල්වලින් මට ආයෙත් කසාඳයක් කරල දෙන්න හදන නිසා තමයි මම ගිය බදාදා ගමේ ගිහින් සුනිලට මගේ හිතේ තිබුන දේ කිව්වේ....ඇත්තටම මම ගිය සුමානෙ ගමේ ගියෙත් සුනිලා හම්බවෙන්න තමයි ....ඒත් සුනිලා ලඟදි කසාද බදිනවා කිව්ව නිසා....මම ඒ අදහස අත් ඇරලා දාලා ඇවිත්...., ගිය සෙනසුරාදා ගෙදරින් කතා කරපු කෙනාට කැමති උනානේ....දැන් මොකද කරන්නේ...අපිව ලඟදිම බන්දලා දාන්න තාත්තා නැකත් බලන්නත් ගියා....."


"අනේ මහත්තයා අපි ලොකු අමාරුවක වැටුනේ...ඒකි එක පැත්තකින් ගුනේට කැමති නෑ...අනිත් පැත්තෙන් ගුනේ ඒකිට කැමැති නෑ.....එහෙව් එකේ මේ මඟුල කරලා වැඩක් නෑනෙ... නංගිට ඒ මිනිහා එක්ක ගිහින් ඉන්න බැරි වෙයි.....මහත්තයා කල්පනා කරලා බලලා උත්තරයක් දෙන්න..."


"මාර වැඩේනේ උනේ....එදා මම සුනිලට කැමතියි කියපු වෙලේ.....සුනිලා හිටියේ ගුනේට කැමති විදිහට...ඒ වෙලේ නිකමට හරි කිව්වනම්, මට එයා කැමතියි කියලා ...මම ගිය සෙනසුරාදා අර මට තාත්තලා බලපු මණමාලි බලන්න යන්නෙත් නෑ...එයාට කැමති වෙන්නෙත් නෑ..."


"ඒකනේ මහත්තයා ...මේකි අපි ඔක්කොම අමාරුවේ දැම්මා...මහත්තය ගමේ ඇවිත් ගිය එක ආරංචි වෙලා ගුනේ නංගිට බැනපු එකට තමයි නංගි වැඩියෙන්ම ගුනේ කසාද බදින්න අකමැති ...මහත්තයා දැන් අර පවුලට පොරොදුවක් උනානම් ඒකත් කඩන එක හොද නෑනේ..."


‘‘මොකටද බොරු කියන්නෙ මහත්තයා. අපේ එකී තාම පොඩි කෙල්ලක්.... මහත්තයා කසාඳ බැඳල දරුවෙකුත් ඉන්න කෙනෙක් ... තාත්තයි, අපෙයි ඒ තරම් කැමැත්තක් තිබුනෙ නෑ නංගි මහත්තයාව කසාඳ බඳිනවට..... ඒ උනාට ඒකි බඳින්න හිටපු ගුණේට නංගි ගැන සැකයි... මහත්තයා නිසා.. ... ගුණේ දැන් ඒකිව හිතෙන් අත ඇරල ඇති.... ඉතිං කොහොමද ඒකි ගුණේ එක්ක ගිහින් පවුල් කන්නේ...... ඒ හින්දා තාත්තයි, අපියි කතා වෙලා, කැමති වුනේ... මහත්තයා කැමති නම් නංගිව මහත්තයාට බන්දලා දෙන්න.‘‘


‘‘මං සුනිලට හරි කැමත්තෙන් හිටියේ... මං සුනිලව කසාඳ බැඳල කොළඹ එක්ක එන්න කොච්චර ආසාවෙන්ද හිටියේ....ඒත් අපේ ගෙවල් වල මිනිස්සු මට කරපු යෝජනාව මමම ගිය සෙනසුරාදා ස්තිර කලානේ....මම කොහොමද අපේ ගෙදර මිනිස්සුන්ට දැන් ජයන්තිව බදින්න බෑ කියන්නේ...."


මම දෙලොවක් අතර අතරමං වී ඇත...මම මොනවද දැන් මේකට කරන්නේ...? මට හිතා ගැනිමට බෑ මම මොනවද කල යුත්තේ කියා....


"ගුනදාස...මේවා මෙහෙම කතා කරන්න බෑනේ...අපි අපේ බෝඩිමට යමු...මගේ යාළුවා සිරිදාස ...එදා මාත් එක්ක ගමේ ආවේ...මම එයත් එක්කත් ටිකක් කතා කරලා මොනවද ඉස්සරහට කරන්න පුලුවන් කියලා, ගුණදාසලාට අදම කියන්නම්...."


"අපිට හිස් අතින් ආයෙත් ගමේ යන්න බෑ මහත්තයා ...එහෙනම් අපි අද රෑට මහත්තයාලා ඉන්න තැන නවතින්නම්ද....?."


"ඔව්...ඒක හොදයි...එහෙනම් අපි දැන් ගෙදර යමු... මම ආයෙත් කන්තෝරුවට ගිහින් වැඩ ඇරිලා එනකම් ගුණදාසලා අපේ බෝඩිමේ ඉන්න..."


"හොදයි මහත්තයා ...."


මම කාර්‍යාලයෙන් පැයක නිවාඩුවක් ගෙන, ඔවුන් දෙදෙනා කැදවාගෙන ගොස් අපේ බෝඩිමේ නවත්වා, නැවත කන්තෝරුවට ආවේ, සිරිදාස හොයාගෙනය.


මගේ ඔලුව ගිනිගෙන දැවෙන ගානය...මට මොනවද කරන්නේ කියා සිතා ගැනිමට නොහැකිය.


"සිරිදාස......පොඩ්ඩක් එළියට වරෙන්කෝ....මාර පටලැවිල්ලක මම ඉන්නේ...උඹ එක්ක කතා කරන්න ඕනේ...පල්ලෙහා කැන්ටිමට යමු තේ එකක් බොන්න..."


"මේ වෙලේ......මේ දැන් මම බත් කෑවේ.."


"වරෙන් බං යන්න...ලෝක අමාරුවක මම වැටිලා ඉන්නේ...උඹ එක්ක ටිකක් කතා කරන්න ඕනේ..."


"එහෙනම් යං....දැන් මොකද වෙලා තියෙන්නේ.....?"


"සුනිලගෙ අය්යයි මල්ලියි මාව හොයාගෙන ආවනේ..."


"කවද්ද..?


"අද...මම ඒගොල්ලන්ට දවල්ට කන්න කෑම ඇරන් දීලා...අපේ බෝඩිමට බස්සලා ආවා...හෙට උදේ යන්න කියලා ...."


"දැන් මොකටද ඇවිත් තියෙන්නේ...?


"සුනිලා...."


"ඉතිං...?


"අර ගුනේව කසාද බදින්න බෑ කියලා ....මම ගමේ ගිහින් සුනිලාගෙ ගෙදර නැවතිලා ආව එක ගුනේට ආරංචි වෙලා ඌ සුනිලට හොදටම බැනලා, ගහන්නත් ගිහින් ....ඒ මදිවට දැන් ඌට සුනිලව කසාද බදින්න බෑ කියලා මඟුල අත් ඇරලාලු.....දැන් මඟුලට ගමේ නෑදෑයින්ට බුලත් දීලාත් ඉවර නිසා, ජුවානිස්ලාට ලැජ්ජාවෙ මොනවද කරන්නෙ කියලා හිතාගන්න බැරුවලු ඉන්නේ.. ...සුනිලගෙ මඟුල කැඩුන නිසා... ඒක මම නිසා උනේ හින්දා...මමත් මේකට වග කියන්න ඕනනේ...."


"හරි වැඩේ....ගුනේට මොනවද උඹ ගැන ආරංචි වෙලා තියෙන්නේ....උඹ එදා ගිය වෙලේ ඒකිට කරදරයක්වත් කලාද?


"එහෙම එකක් නෑ බං...ඒකි කොහොමත් මට කැමැත්තෙන්නේ හිටියේ...ඒක ගුනේට තේරිලා...ගුනේට ආරංචි වෙලා මම එහෙ ඇවිත් නැවතිලා ඉදලා ගියා කියලා...ඒකට ඌට කේන්ති ගිහින් කසාදේ කරන්න බෑ කියල තියෙන්නේ ....ඒ පාර සුනිලාත් ගුනේට කැමති නෑ කියලා ජුවානිස්ලට කියලා ....ඒ උනාට මාව නම් කසාඳ බදින්න කැමතියි කියලා සුනිලා ජුවානිස්ට කියලා ......"


"ඉතිං ...?


"ඉතිං...දැන් මොකද කරන්නේ...?


" දැන් ගිය සෙනසුරාදා, කළුතර ගිහින්, ජයන්තිව බදින්න පොරොන්දු වෙලා, වැඩිහිටියන්ටත් කියලා නේ ආවේ, නැකත් හදන්න භාර දීලා....?


"ඔව්...ඒකනේ ප්‍රශ්නය ...මම දැන් කොහොමද ගෙදර අයට කියන්නේ මට ජයන්තිව කසාඳ බදින්න බෑ කියලා ...අනේ සිරිදාස මට මේකට උත්තරයක් හොයලා දීපන්කෝ...?


"අනේ මංදා...මගේ ඔලුවත් අවුල් උනා...උඹ නම් පබ ගාලක පැටලැවිලා ඉන්නේ....ඒ මදිවට උඹ මාවත් ඒකට පටලවගන්න හදන්නේ... දැන් උඹ කියපන් මට උබ ජයන්ති අමතක කරලා සුනිලා කසාද බදින්න කැමතිද කියලා ...?


"ඔව්...මම එක පයින් සුනිලට කැමතියි .."


"එහෙනම් උඹ...අක්කලාගෙ ගෙදර ගිහින් අක්කට කියපං...උබ ජයන්ති බදින්න කැමති නෑ... සුනිලව නම් කසාද බදින්න කැමතියි කියලා ...."


"අක්කා...මාව කයි...උඹ හිතන තරම් ලේසියෙන් ඒක කියන්න බෑ...අපේ තාත්තා , මාළිගෙ අම්මලා, ජයන්තිගෙ අම්මලා තාත්තලාට මම කොහොමද දැන් මුණ දෙන්නේ...."


"ඔව්...සමහර විට උඹේ බෙල්ල කඩයි, ඔක්කොමලා එකතු වෙලා.....ඒ උනාට මේක විසදන්න පුලුවන් විදිහ ඕක තමයි ..."


"මට බයයි සෝමේ අක්කට කියන්න...."


"මෙහෙම කරමු...අපි දැන් නිවාඩුවක් දාලා කෙලින්ම අක්කලාගෙ ගෙදර ගිහින් මේක අක්කට කියලා ...මේකට විසදුමක් අහමු....එයාට තමයි මේකට විසදුමක් දෙන්න පුලුවන් හොදම කෙනා..."


"අක්කා අකමැති උනොත්...?


"අනිවාර්‍ය්යෙන්ම අකමැති වෙනවා...මොකද ගිය සෙනසුරාදා ජයන්තිලගෙ ගෙදර ගිහින්, ඒ කට්ටියට කැමති වෙලා ඇවිත්, ආයෙත් සුමානෙකින් කොහොමද කියන්නේ දැන් ඒ මඟුලට කැමති නෑ කියලා ....උඹ කොහොම වෙතත් .....උඹේ ගෙදර මිනිස්සු කොහොමද රෙද්දක් ඇදගෙන දැන් ඒකට බෑ කියන්නේ ..."


" එහෙනම් උඹ කියපන්කෝ, මම මොනවද දැන් කරන්න ඕනෙ කියලා ..මට මුකුත් තේරෙන්නෙ නෑ......"


" මට හිතෙන්නේ...සුනිලා අමතක කරලා, ජයන්තිව බැදපං... උඹ උඹේ පැත්තෙ නෑදෑයෝ ගැන හිතපං, බලපං...උඹේ ලමයත් දැන් අක්කා ගාව හැදෙන්නේ...අක්කා අකමැති දෙයක් කරලා කොහොමද උඹ ජිවත් වෙන්නේ ...අක්කා කොහොමද ජයන්තිගෙ ගෙදර කට්ටියට මුහුන දෙන්නේ...අක්කා අකමැති දෙයක් කලොත් අක්කා අනිවාර්යයෙන්ම ළමයා බලාගන්න එක නවත්වනවා...උඹේ තාත්තා බෙන්තර ගගෙන් එහා එකෙක්.... සුනිලා කසාද බැදලා උඹට යහතින් නම් ඉන්න හම්බවෙන්නේ නම් නෑ....උඹේ නෑදෑයෝ අර කැලේ යන්න කැමති වෙන්නෙත් නෑ....උඹට රස්සාව ගෙවල් දොරවල්, නෑදෑයෝ ඔක්කොම අමතක කරලා , අර කැලේට වෙලා සුනිලා එක්ක කැලේම ඉන්න වෙන්නේ.....ඒ විතරක්ද, මාළිගෙ ජයන්තිගෙ දේපළ ...ඒ ඔක්කොම නැතුව උඹට පාරට බහින්න වෙනවා මොන අපරාදයක්ද....? මොන ගොංබූරු වැඩක්ද ඒ....මාළිගෙ කොහොම වෙතත් උඹේ තාත්තගෙ දේපළත් උඹේ අක්කම අයිති කරගනියි.....උඹට හුළං තමයි සුනිලා බැන්දොත්.....අර ගුණදාසලා අද ගෙදර ඇරපන්....සුනිලා තාම තරුණයි...ඒකිට වෙන කොල්ලෙක් පස්සෙ බැදගන්න පුලුවන් ...උඹ ජයන්ති බැදගෙන ළමයත් හදාගෙන සතුටින් සැපෙන් හිටපං.....ඒ දේපළ වලට පයින් ගහන්න එපා...අපටත් දෙය්යනේ කියලා අතමාරුවක් ඉල්ල ගන්න පුලුවන් තැනකින් කසාදය කර ගනින්..."


-නැවත හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

7 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comentários


bottom of page