top of page
  • Writer's picturePrisila Godahewa

🌺බැද්දේ කුමරිය 🌺

🌺බැද්දේ කුමරිය 🌺

( 4 වෙනි කොටස )

https://www.facebook.com/groups/2653780434897311/permalink/2677995605809127/

අක්කාගේ සැමියා හා මගේ මස්සිනා වන ශාන්ත අය්යා රජයේ මිනුම්දෝරුවෙකි. රජයට අයත් වනසංරක්ශිත ඉඩම් මැනීම, සංරක්ශිත ඉඩම් මැදින් අනාගතයේ කපන්න නියමිත පාරවල් ලකුණු කිරීම, ඒ අනුව දත්ත සෑදීම, ප්ලෑන් ඇදීම හා ඒවා නීතිගත කරන්න අවශ්‍ය ලිපිලේඛන සෑදීම රජයේ මිනුම්දෝරුවන්ට අයත් රාජකාරි වේ. එබැවින් අක්කලාගෙ ගෙදර නැවති සිටි කාලයේ මට ශාන්ත අය්යා සමග, රජයට අයත් වන සංරක්ශිත වල, මහා වනයේ මිනුම් කටයුතු, කරන ආකාරය බැලීමට යන්නට ලැබීන. ඒ වගේම, මහ කැලේ මිනුම්දෝරුවන් සමඟ ගොස් ඔවුන්ගේ කූඩාරම් වල නැවති , කැලෑවේ අසිරිය බලා එන්නට ලැබිමත් අලුත් අත්දැකීම් විය. ඒවා නම් ජිවීතේට කවදත් නොලැබුන අලුත්ම අත්දැකීම් ගොන්නක් විය.


සතා සිව්පාවා ජීවත්වන මහ කැලේ කූඩාරම් ගසාගෙන, අතිදුශ්කර රැකියාවක් කරන මිනුම්දෝරුවන් සමඟ ඉදහිට කැලේට යන මට නම් එය විනෝද ජනක සවාරියක් විය. ඒ අතර ත්‍රාසජනක මතක ගොන්නක්ද නැවුම් අත්දැකීම්ද එකතු කරගත හැකි විය.


වැඩි කාලයක් නොගොසින්ම රැකියාවේ උසස් වීමක් ලැබ මට, කොළඹ දෙපාර්තමේන්තුවක රැකියාවට යන්න ලැබීම අක්කාට හා තාත්තාට ගෙන දුන්නෙ ලොකු සතුටකි. ආන්ඩුවේ රැකියාවක් කරනවා තරම් වැදගත් රැකියාවක් ගම්වල මිනිසුන්ට වෙන නැති තරම්‍ ය. ඒ වයසට ගිය කලක, විශ්‍රාම වැටුපක් ලැබෙන බැවිනි.


අම්මා අක්කා ගෙදර නැති වුන පසු ,ගෙදර නැවති සිටිමට අකමැති මම, කොළඹ අලුත් රැකියාව භාර ගැනීමට යන්න ලෑස්ති උනේ පුදුම ඕනෑකමකිනි. කොළඹ බෝඩිමක නැවති රැකියාවට යෑම, ගමන් පහසුව ගැන බැලීමේදි හොද තීරණයකි.


"මල්ලි දැන් කොළඹ යනකොට මල්ලිගෙ කාර් එකත් ඇරන් යනවද ?


මම අක්කලාගෙ ගෙදර නැවති සිටි කාලයේ….නිතර මගේ වාහනය එලවාගෙන යන්නට කැමැත්ත දැක්වු ශාන්ත අය්යාට, මම වාහනය කොළඹ ගෙන් යයි කියා තිබුනේ කලකිරිමකි. ඔහු ඒ තරමට මගෙ වාහනයට ආදරය කලේය. මම ගෙදර නැති වේලාවට ඔහුගෙ සියලු ගමන් ගියේ මගේ වාහනයෙනි.


"නෑ....කොළඹ ගිහින් මට නවතින්න හරියට බෝඩිමක් තැනක් හොයා ගත්තට පස්සේම තමයි වාහනය කොළඹ ගෙනියන්නෙ.... එතකම් අය්යා මගෙ වාහනය පදින්න, හැබැයි හොදට බලාගන්න.... ."


කොළඹ කන්තෝරුවේ රැකියාවට යන්න ලැබුන එක ගැන මට තිබුනේ සතුටකි. ඒ ගැන තාත්තා හා අක්කාද පුදුම විදිහට සතුටු වෙනබව පෙනින. ඒ කෙසෙ වෙතත්, සුමාන දෙකකට සැරයක් සිකුරාදා ගමේ ගොසින් අක්කා, බබා, තාත්තා බලා ඒමටත්, මගේ කාර් එකේ ගම වටා,යාලුවො සමග රවුම් ගසා ඒමටත් මම අමතක නොකෙරුවෙමි.


කොළබ පදිංචියට ගොස් වැඩි දවසක් යන්නට මත්තෙන් ,මට මගේ කාර් එක ගැන අහන්න ලැබුනු ආරංචිය නිසා නැවත මට ගමේ යන්නට නම් එපා විය.


ඒ ශාන්ත අය්යා මා නැති අතරේ කාරය පදවාගෙන ගොස් කොහේදෝ හප්පා වාහනය නැවත හොද තත්ත්වයට ගන්නට බැරි තරම් සවුත්තු කර තිබීම නිසයි.... ඒ අනතුරෙන් අය්යාටද තුවාල උන බව ආරංචි වුනත්, මම ඔහු බලන්න වත් ගමේ නොගියෙමි, ඒ මගේ වාහනය මට නැති වුන සොවිනි. එතනින්ම මගෙ වාහන ආසාවද නැති වී ගියේය. ගමේ යෑම ඒ සමගම බොහෝ දුරට නැතිවි ගිය නිසා අක්කා සිටියේ අසතුටිනි.


"මල්ලි, තාත්තා අසනීපෙන් ඇවිත් බලලා යන්න "


කියා අක්කා දෙතුන් ගමනක් එවා තිබු ලියුම් නිසා, අවසානයේ මම ගමේ ගොස් තාත්තා , චුටි නැන්දා හා ලොකු නැන්දා බලා ආවෙමි.


කොළබ කාන්තෝරුවෙ රැකියාව කරන අතර, මට ලැබුන උසස් වීමත් සමඟ ලංකාවේ විවිධ ප්‍රදේශ වලට, දිස්ත්‍රික්ක වල නැවති සේවය කරන්න සිදු විය. මාස ගනන්, අවුරුදු ගනන් ඒ ප්‍රදේශ වල නැවති සීටිමට සිදු විම නිසා මට නිතර ගමේ යන්නටද නොහැකි විය.

ලංකාවේ විවිධ දිස්ත්‍රික්ක වල නැවති රැකියාව කිරිම තුලින් මට , විවිධ ප්‍රදේශ වල ජනයාගේ ජනජීවිත ගැන විස්තර ,තොරතුරු දැනගන්නට ලැබින. ඒ තුලින් විවිධ අත්දැකීම්ද ජීවිතයට ලබා ගැනිමටද හැකි විය. සෙල්ලක්කාර ජීවිතයකට කැමති මම මගේ රැකියාවද විනෝද ගමනක් යනසේ සලකා

බොහෝ සතුටිනි රැකියාව කලෙමි.


මම මගේ රැකියාව උඩ, මාස ගනන් අවුරුදු ගනන් නැවති සිටි ප්‍රදේශ, දිස්ත්‍රික්ක වලින් මඩකලපුව ,යාපනය , මහනුවර, බදුල්ල මගේ සිත් ගත් ප්‍රදේශ විය. එයින් අවුරුද්දක පමණ කාලයක් නැවති රැකියාව කල යාපන අර්ද්වීපය මගේ සිත් ගත් විශේෂම නගරය විය.


යාපනය අර්ධද්වීපය යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ප්‍රදේශයකි.එය විශාල කොටස් තුනකට කඩා වෙන් කෙරෙයි. ඒවා නම් වඩමරච්චි, තෙන්නමරච්චි සහ වලිකාමම් වෙති. පළාතේ අග නගරය වන, යාපන අර්ධද්වීපය තුන් පැත්තකින් ජලයෙන් වටවී ඇති අතර දිවයිනෙහි ඉතිරිය වෙත සම්බන්ධ වී ඇත්තේ සිහින් භූමි තීරුවකිනි. එහි හැඩය නාගයෙකු හිසට සමාන වන අතර එහි පුරාණ වැසියන් නාග ගොත්‍රිකයන් හා නාග අදහන්නන් ලෙසින් හැඳින්වීමට මෙයද හේතු වූවා යැයි සලකති. එහි භූගත ජලය භාවිතා වන්නේ පානීය ජලය කෘෂිකාර්මීය සහ කර්මාන්තමය අවශ්‍යතාවයන් සඳහාය. වී ගොවිතැන සඳහා අහස් ජලය භාවිතා කෙරෙන අතර එසේ කෙරෙන්නේ ඊසාන දිග මෝසම් වැසි පවතින කාලයෙහි තෙමසක කාල පරිච්ඡේදයක් තුල පමණි. අභ්‍යන්තර ජල ප්‍රදේශ හා සමග මුළු භූමි ප්‍රමාණය 1,030 Km වෙයි.

(1950/60) යාපන නගරය තරම් සරුසාර බිමක්, ස්වයංපෝෂිත ජනතාවක් සිටින ,රතුලුනු, මිරිස් , එළවළු පළතුරු වගාවෙන්, හා තල් නිපයුම් පිරි දිස්ත්‍රික්කයක් මා මින් පෙර නොදැකපු ස්වයංපෝෂිත පාරාදීසයක් විය..... එහි ජිවත්වු දෙමළ හා සිංහල මිනිසුන් තුල තිබු එකමුතු කම, හැදියාව, සහයෝගිතාවය, නොපසුබට උත්සහය හා අදිශ්ඨාන ශක්තින් පුදුමාකාරය. තනිකර සිංහල මිනිසුන් සිට් ගමකවත් නොතිබුනු තරම්‍ය එකමුතු කමක්, එකළ යාපනයේ පදිංචිව සිට් සිංහල ,දමිළ ජනයා තුල තිබුනි. භූගත ජලය ආඩි ලිංවලින් ඉහළට වතුර ඇද කරනා එළවළු, පළතුරු ,රතුලුනු හා මිරිස් ගොවිතැනින් මුලු යාපන අරධද්විපයම සරුසාර බිමක් විය. ඔවුන්ගෙ ඒ රතුලුනු , මිරිස් ලංකාව පුරා ව්‍යාපාරයක් ලෙස හොදින් ව්‍යාප්ත වි තිබුනි. එකිනෙකාට උදව් කරගනිමින් වගා කටයුතු වලින් ජිවත් වු දමිළ ජනයා ඔවුන්ගේ දරුවන්ට වෙර වීරිය යොදා අද්‍යාපනය අතින් ඉහලටම යන්නට සැලසුම් කලෝය. එහි ප්‍රතිඵලය ලෙස, එකළ ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑරම ,විශේෂයෙන් ඉහළ රැකියාවල, ඉහළ පුටුවල සේවය කල දමිළ ජනයා, එහි සක්ශියකි.


ලංකාව වටේ ඇවිදමින් , අත්දැකීම් ලබමින්, රටේ සිරි නරබමින් රැකියාව කරන්න ලැබිමත් මගේ වාසනාවක් යැයි මට සිතේ.


තාත්තා චූටි නැන්දා සමඟ තවමත් ගමේ මහ ගෙදර නැවතී හිඳියි. තාත්තාගේ බෙහෙත් සාප්පුවේ වැඩට අය සිටින නිසාත්...ඔහුට බෙහෙත් සාප්පුවේ කරන්න වැඩ තිබුන නිසාත්..අක්කත් මමත් ගෙදර නෑ කියා ඔහුට පාලුවක්, පාඩුවක් නොවීය.... මම සුමන දෙක තුනකට සැරයක් සෙනසුරාදා, ඉරිදා ගමේ ගොස් තාත්තාගෙ හා චූටි නැන්දාගෙ දුක සැප බලා පැමිණෙන අතර අක්කලාගෙ ගෙදර යන්නටද අමතක නොකරමි. ඒ ගිය දිනක අක්කා දෙවැනි දරු උපතකට සැරසී ඉන්නා බව පෙනින.

######


කාලය එසේ ගෙවී යද්දී අක්කාට දෙවැනි දරුවා ද ලැබිණි. දෙවෙනි වරට ඇයට ලැබුණේ පුතෙකි. දැන් අක්කාටත්, ශාන්ත අයියාටත් දරුවන් දෙදෙනෙක් සිටිති. මම නිවාඩුවට ඔවුන්ගේ නිවසේ ගොස් ඉදහිට නැවති හිඳද එන්නෙමි.


ලංකාවේ විවිද ප්‍රදේශ වල රැකියාව කල මා හට රැකියාවෙන් උසස් වීමක් ලැබිණි. උසස් වීමෙන් පසු මා හට රජයේ නිවාසයක් පදිංචියට ලැබිණි. නමුත් එහි පදිංචියට යෑමට මා හට කිසිම අවශ්‍යතාවයක් නොවිය. හේතුව තනිකඩ මට තනියම ගෙයක් පාළනය කල නොහැකි නිසාය. එබැවින් මම රජයේ නිළ නිවාසය භාර නොගත්තෙමි. එය භාර ගැනීම පසුවට කල් දමා..අක්කලාගෙ ගෙදරත් බෝඩිං වලත්, රට වටේ සංචාරය කරමින්, යාලුවො සමග විනෝද ගමන් යමින් උපරිමයෙන්ම ජීවිතය වින්දෙමි.


"මල්ලි දැන් ඔයාට හොද රස්සාවකුත් හම්බ වෙලා තියෙන එකේ කසාදයකුත් බැඳගෙන පිළිවෙලක් උනොත් හොඳයි නේද?’’


"අනේ අපොයි ....මේ තනිකර ජීවිතය හරි සැපයි. මට කසාද ඕන නෑ...."


"එහෙම කියල බෑ මල්ලි. දැන් තාත්තත් වයසයි. තාත්තා මට කිව්වා ඔයාට කියන්න කියල දැන් කසාඳයක් ගැන හිතන්න කියල....‘‘


අක්කා කවදත් මගේ අනාගතය ගැන සිතන කෙනෙකිය. එන්න එන්නම මගේ කලවයසත් ගෙවි යන නිසා, අවසානයේ අක්කාගේ යෝජනාවට මම එකඟ විය.


"එහෙනම් අක්කලාම මට කෙනෙක් හොයලා දෙන්න....මාත් එන්න එන්න වයසට යනවා, මගේ තනියටත් කෙනෙක් ඉන්න එපෑ...."


අක්කාගෙ විවාහයෙන් දැන් අවුරුදු දහයක් පමන ගෙවි ගොස් හමාරය. ඒ කාලය තුළ මම කොළඹ හා ලංකාව වටා ගොස් තනිකඩ ජීවිතයට හොඳින් ම පුරුදු වී උන්නෙමි.


"මල්ලි යාලුවොත් එක්ක රස්තියාදු ගහපුවයි, අයියත් එක්ක කැලේ කූඩාරම් ගහගෙන ඉන්න යන ගමන් ටිකටත් දැන් ඉතිං ආයුබෝවන් කියන්න වෙයි .... අන්න තාත්තා මල්ලිට ගෑණු ළමයෙක් කසාද බන්දලා දෙන්න හොයලා...."


"මෙච්චර ඉක්මනට ..."


"ඉක්මනක් මොකද... මේ එන සෙනසුරාදා අපි මණමාලි බලන්න යන්න ලෑස්ති වෙන්නේ,... සිකුරාදා වැඩ ඇරිලා මල්ලි ඉක්මනට ගෙදර ගෙන්න...."


අක්කා මම වෙනුවෙන් සියලු දේ ලෑස්ති කරයි. අවසානයේ ඒ

සෙනසුරාදා තාත්තා, පුංචි නැන්දා , අක්කා , අයියා සමඟ මම මණමාලියෙක් බලන්න ගියෙමු.


මණමාලිගෙ ගෙවල් මාතර පැත්තේ නිසා, අපට උදේ නමය වෙනකොට ගෙදරින් පිටත් වන්නට සිදු විය. මනමාලිගෙ දෙමව්පියන් ඉතා හොදින් අප පිළිගෙන බත බුලතින් අපට සංග්‍රහ කලෝය.


දහවල් ආහාරය ඔවුන් අපට හොදින්ම ලෑස්ති කර තිබුණි. අතුරුපස වලින්ද අඩුවක් නොවීය.


හොඳින් දවාලට ආහාර ගෙන අප නැවත ගමට යන ගමනේ දී අක්කා මුළින්ම මණමාලි ලස්සන මදි , ඉගෙන ගෙන මදි යැය ඇගේ විරෝධතාවය පළ කළේය….. චූටි නැන්දා ද ගෙයි බඩු මුට්ටු වටිනා ඒවා නොවේ යැයි, දෑවැද්ද මදියැයි යැයි කියා එම මගුල මට හොද හොද මදි යැයි කීය. .... ශාන්ත අයියත්, තාත්තත් අක්කටයි, චූටි නැන්දටයි දිනුම දී එම මණමාලිව එතනින්ම කපා දමන ලදි.


ඔය ලෙස විවිධ පැතිවල ,කිහිප ගමනක් මණමාලියන් බලන්න ගොස් මට එපාවි තිබුනේය.


"දැන් මල්ලිට නේද මණමාලි බලන්න යන්නේ…..හැමදාම යන හැමතැනම...ඔයාගෙයි නැන්දගෙයි කැමැත්තනෙ බලන්නේ .... නිකමටවත් මල්ලිගෙ කැමැත්ත අහන්නෙ නැත්තෙ ඇයි?’’


අවුරුද්දක් පමණ මණමාලියො බලන්න මාව එහෙ මෙහෙ එක්ක ගිහින් මට දැන් මනමාලියන් බැලීම එපාම වී ඇත…. . හැමදාම මණමාලියන් බලන්න ගොස් බඩකට පිරෙන්න කෑම කාවිත් අක්කයි, චූටි නැන්දයි මණමාලිගෙ, ගෙදර නැදෑයින්ගෙ, දෑවැද්දේ හෝ ගෙදර අඩුපාඩු කියයි….. තාත්තා හා ශාන්ත අයියා ඒ දෙදෙනාට අවශ්‍ය දෙයක් කරන්න දී කට පියාගෙන ඉදී.... මා හට ද මණමාලියක් හෝ ගැහැණු ළමයි ගැන ඒ හැටි හැඟීමක් නොතිබුණි. යාලුවො එක්ක ක්ලබ් ගිය කාලේ... නොයෙකුත් විච්චූර්ණ ඇදුම්, තට්ටම් පෙනෙන්න තරම් කොට ඇදුම් ඇදගත්, අඩි උස සපත්තු දාගත්, තොල් නිය පාට කරගත් ඕන තරම් ගෑනු ළමයි මම දැන හදුනගෙන තිබුනත්...කිසි දින ඒ ගැහැණු ගැන මට හාදකමක් ඇති කරගන්නට නොසිතුනි. මට ඒ කාලයෙත් දැනුත් විවාහ වීමට ද ඒ හැටි ආසාවක් නොතිබෙන්නේ මන්දැයි මම නොදනි.


අවසන් වතාවට අප කලුතර බලන්න ගිය මණමාලිට, අක්කා හා චූටි නැන්දා කැමැත්ත දුන්නේ මගේ කැමැත්ත වත් නොඅසාය…. ඇයට විශාල දෑවැද්දක් ඇති ඉහළ පෙළපතක එකම ගැහැණු ළමයා ඇය වීම ඇගේ විශේෂත්වය විය…. මා හට නම් ඇයගෙ කිසිම ලස්සනක් දකින්න නොලැබුණි. මට වඩා වසර දෙකක් පමණ වැඩිමල් ඇයට අක්කාත්, චූටි නැන්දාත් කැමති වෙන්න ඇත්තෙ ඇගේ දෑවැද්දට ඇති කැමැත්ත නිසා යැයි මට සිතේ…..


"මණමාලි මල්ලිට වඩා අවුරුදු දෙකක් වැඩිමල්නේ...."

මට කියන්න අවශ්‍ය දේ ශාන්ත අය්යා කීය.


"ඕක මොකක්ද ...අවුරුදු දෙකනේ... මනමාලිට හොදට දේපළ තියෙන එකේ, කාලා බිලා සැපට ඉන්න තියෙන්නේ ...." අක්කා කීය


තාත්තා ද දවසින් දවස වයසට යන බැවින් අවසානයේ මම එම මඟුලට කැමැත්ත දුන්නෙමි. වැඩියෙන්ම අක්කා සහ නැන්දාගෙ කැමැත්ත ලැබුනු පළවෙනි යෝජනාව නිසත්, නැතහොත් මට තවත් මණමාලියෝ බලන්න යන්න වෙන නිසාවෙනුත්‍ එය එසේ සිදුවිය.


"එහෙනම් ඉතිං දැන් මල්ලිගෙ මඟුලට ලෑස්ති වෙන්න වේවි.... ඒ පැත්තතෙන් නම් මුළු ගමට ම මඟුල් කියයි….. එකම ගෑණු ළමයනේ. ඒ ගමේ හොඳ නමක් තියාගෙන ඉන්න මිනිස්සුලූ... ඒ ගෑණු ළමයාටත් කාලයක් තිස්සේ මණමාළයෝ හොයලා හරි ගිහින් නෑ…. ඒ ළමයා මල්ලිව දැක්පු ගමන් මල්ලිට කැමතියි කියලනේ...කපුරාල අපි එහේ ගිහින් ඇවිත් දවස් දෙකක් යන්න ඉස්සර ඇවිත් පනිවිඩය කිව්වේ…..‘‘


මනමාලියෝ බලන්න ගොස් ඇතිවි සිටි මාත් ශාන්ත අය්යාත් අක්කාගෙ හා නැන්දාගේ අවසාන කැමැත්ත ලැබුන නිසා විවේක සුවයෙන් පසු උනෙමු.


කොළබ රාජකාරිය කරන අතර විවේකයක් ලැබුනු විට මම අක්කලාගෙ ගෙදර දුවන්නේ අක්කගෙ දුවත් පුතත් දකින්න ඇති ආසාවටය.... ඒ යන වෙලාවට කොළඹින් ඔවුන්ට රස කැවිලි සෙල්ලම් බඩුද ගෙන යාමට අමතක නොකරමි. ඔවුන් ඒ නිසා මම එනකම් සිකුරාදා දිනට මග බලාන ඉන්නේ නොවිසිල්ලෙනි. මම අක්කලාගෙ ගෙදර ගිය විට ශාන්න අයියා සමගද විහිලු තහලු කරමින් දොඩමළු වෙමින් කල්ගත කරන්නේ සතුටිනි. අප දෙදෙනා හොද මස්සිනාලා දෙදෙනෙක් බව පවසමින් අක්කා සතුටුවනවා මා දැක ඇත.


"මල්ලි දැන් කවද්ද මාලි බලන්න කලුතර යන්නේ...වැඩිය පරක්කු කරන්න එපා…ඉක්මනට ගිහින් එන්න... මඟුලෙන් ඉස්සර දෙන්නා දැන අඳුනගන්න එක හොදයිනේ..."


"එන සෙනසුරාදා දිහාට මම සිරිදාස එක්ක ගිහින් එන්නම්...තනියම යන්න මොකක්ද වගේ..."


"ඒක හොදයි ..."


අවසානයේ මගේ අනාගත බිරිද බලන්න , මම සිරිදාස සමඟ ඔහුගෙ වාහනයෙන් මාළනිගේ ගෙදර බලා ගියෙමු. කලුතර විශාල කලුවර මැංගුස් වත්තක් අයිනේ... පොල් ගස් වලින් වටවුන විශාල වත්තක මාලිගෙ විශාල සොල්දර ගෙදර පිහිටා තිබුනි. ආරුක්කු බූරුක්කු වලින් හැඩවුන ඒ නිවස වලව්වක හැඩ ගත්තේය. පවුලේ එකම දියනිය වුන ඇයට මේ සියලු දේපල හිමිවන බැව් දැනගෙන, අක්කා ඇයට කැමති වී මට ජෝඩු කරපු බව නම් නොරහසකි . ….මට මේ දේපල වල නම් ඇති වැදගත්කමක් නැත. අක්කාගෙ හා තාත්තාගෙ හිත සතුටු කරනු සදහා මම ඇයට කැමති වුන බව පමනක් මම දන්නෙමි.


ඇයගෙ මවත්, පියාත් තව නෑදෑයින් දෙදෙනෙකු ද අපව ඉතා ආදරයෙන් පිළිගෙන කෑම බීම දී හොඳින් සැලකුවෝය. මාලිනි නොහොත් මගේ අනාගත බිරිඳ, ඇය ඉතා සතුටින් මා සමඟ එදින කතා කළාය. ඇයගෙ පාසැල් දිවියේ තොරතුරුද ඇයට හිමි දේපල පිළිබඳවද ඇය මට නිතර නිතර මතක් කර දුන්නාය. මට ඒ කිසි දේක වැදගත් කමක් නොවුනු අතර….අක්කාගෙ කීමට ඇය මුණ ගැසි කතා කරන්නට ආගමනක් පමනක් විය.


විශාල සොල්දරයක් සහිත ආරක්කු බූරුක්කු වලින් සමන්විත මාළිනිගෙ ගෙදර දොරජනෙල් සුදු බීරලු හා ලේස් රෙදි වලින් සැරසි ඇත.... ආරක්කු දෙකකින් වෙන්වුන ලොකු සාලේ ගාම්භීර පුටු පහේ සෙට්යක්, කැටයම් කවිච්චි දෙකක් විශාල කලුවර කැටයම් පෙට්ටගමක්ද ඇත. අඩි හයේ පිත්තල කුකුලා පහන, පිත්තල මල් වාස් වලින් ගේ ඇතුලත සැරසී ඇත.


"අපේ අම්මලා, ඔයාගෙ අක්කලා එක්ක, අපේ මගුල් ගෙයට දිනත් දාගෙන තියෙන්නේ….වැඩි දවසක් නැති නිසා අපට ඒවට ලෑස්ති වෙන්න වෙයි නේද?..…"


"මට නම් ඕවා තේරෙන්නෙ නෑ....අක්කලා නැන්දලා ඒවා ලෑස්ති කරයිනේ… මම කොළඹ වැඩ කරන නිසා මට ඒ වැඩ වලට වැඩිය සහභාගි වෙන්න බැරිවෙයි...."


"අපේ මගුල්ගෙදර වැඩ අක්කලාට ඕන විදිහටද කරන්නේ…මාලිනි ඇසුවේ අකමැත්තෙනි.


"ඔයාට හොද විදිහක් බලන්න… මට නම් ඕවා ගැන කිසි දැනුමක් නෑ….මම හොද මගුල් සූට් එකක් මහ ගන්නවා...අක්කා කිව්වා ඔයාට රත්තරං බඩු හදල දෙන්න ඕනේ කියලා ….ඇට් හෝම් එකේ, අපේ ගෙදර වැඩ තාත්තා අක්කලා ලෑස්ති කරනවා කිව්වේ…මම කොළබ වැඩ නිසා මට ඒවට එන්න වෙලාවකුත් නෑ..."


"අපේ අම්මලා නම් මගුල් ගෙදර, හොදට ගන්න දැම්ම තියා ලෑස්ති වෙනවා...මුලු ගමම එයි අපේ මගුල් ගෙදරට...ගොක්කොළ, පොල් වලින් තොරනකුත් ගහනවා කිව්වේ...ඔයත් අපේ මගුල් ගෙදර වැඩ ගැන ඕන කමින් බලන්න…. ."


එදින දහවල් ආහාර මේසය ඉතා සරුවට තිබින. සාලයට අල්ලා වෙනම තිබු විශාල කෑම කාමරයේ පුටු දොලෙහෙ කෑම මේසයට සුදු මේස රෙද්දක් එලා ඇත. එකම පාට ඔටුන්න සලකුන තියෙන කෑම පිඟන්, බන්දේසි, කරදීසි පළන්ගන් වලට බෙදා ජයට තිබුන කෑම මේසයේ, රීදී හැදු ගෑරැප්පුද තියා ඇත…..කොතනින් කෑම කන්න පටන් ගන්නද කියා සිතා ගැනීමට බැරි තරම්‍ය.. .කෑම මේසේ පුටු ඉස්සරහින් මේසේ උඩ කෑම කන බත් පිඟාන මුනින් නමා ඇත. ඒ ඉස්සරහින් තව කරදීසියක් වැනි පිඟානක්ද නමා ඇත. ඒ පිඟාන නම් බත් කලා කන්න මීකිරි තිබෙන බව අගවන පිඟාන බව නම් මම දනිමි.


පිඟානෙට බෙදාගන්නට බැරි තරමට මාලු පිනි ව්‍යාංජන වලින් මේසය පිරි ඇත. මාළනිගේ දෙමව්පියන් ,මාළනි සිටින නිසා, ලැජ්ජාවෙන් කෑම කන ගමන් මම සිරිදාස දෙස හොරඇහින් බැලුවෙමි. මගේ වගක් නැතුව සිරිදාස නම් බඩ කට පිරෙන්න ඉස්මුරුත්තාවට යන ලෙස කෑම කන්නේ අවට සිටින මාලිගෙ දෙමව්පියන් ගැනද නොතකාය.…..

ඉදින හවස් වෙනකම් මාලිගෙ ගෙදර ,ඇයත් සමග කතා කරමින් ඉද හවසට නොයෙකුත් කැවිලි සහිත තේ මේසයෙනුත් තේ බී අප දෙදෙනා නැවත ගෙදර බලා ආවෙමු.


"උඹ මාලි බලන්න කලුතර යන හැම දවසකම මාවත් එක්ක පලයං හොදද........මම මාසයකට ඇතිවෙන්න කෑම කෑවා...එහෙම කැමක් නම්....මතක ඇති කාලෙකට කාල තිබුනේ නෑ....සිරිදාස තවමත් කෑම මතක් කර තලු මරයි....


"උඹව නම් මම ආයි ඒ පලාතේ එක්ක යන්නේ නෑ....ලැජ්ජාවෙ බෑ... කිඹුලෙක් වගේ කෑම ගිලගෙන ගිලගෙන ගියා...ඒ මිනිස්සු මොනව හිතුවද දන්නෑ...."


"කෑම දිහා බලන් ඉන්නද උබ කියන්නේ.....ආයි මොනවද...බෝඩිං කෑම එපා වෙලා ඉන්න එකේ. ....බඩපැලෙන්න දීලා ඇද්දා...මට හිතුනා, මාළිගෙන් අහන්න කෑම ටිකක් බෝඩිමට ගෙනියන්න ඔතලාදෙන්න බැරිද කියලත් ....කොහේද උඹ මට කට අරින්න නොදි, සැරෙන් සැරෙට මගේ කකුල පාගපු නිසා, මුකුත් ඉල්ලන්න බැරි උනා...."


කලුතර ගිහින් මාළනි සමග කතා කර ආවාට පසු මම, මාලනි ගැන සිතන්න පටන් ගත්තෙමි.


"කොහොමද මල්ලි ඔයාගෙ අනාගත බිරිඳ එහෙම ...? මාළිට ලොකු දෑවැද්දක් තියෙන නිසා, මල්ලිට සැපට ඉන්න පුලුවන් වෙයි...."


"අනේ මන්දා...ඒක නෙමේ ශාන්ත අය්යා ලඟදි ඇත පැත්තක මිනුම් වැඩවලට එහෙම යන්නෙ නැද්ද ...? මඟුලෙන් ඉස්සර ආයෙත් සැරයක් මට, මිනුම් වාඩියක නැවතිලා එන්න යන්න ආසයි. ...බැන්දට පස්සෙ ඉතිං මට ආයෙත් ඔය ගමන් යන්න ලැබෙන එකකුත් නෑනේ ...."


"අපි එන සුමානෙ රුවන්වැල්ලෙ ආණ්ඩුවේ ඉඩම් මනින්න යනවා.....මාස තුනක් විතර කැලේ ඉදින්නයි හිතාගෙන ඉන්නේ....මල්ලිගෙ මඟුලට නිවාඩු දාලා තමයි මට එන්න වෙන්නෙත්.... කැමතිනම් මල්ලිත් අපිත් එක්ක එන්න යන්න ....‘‘


"ශා....නියමයිනේ අය්යේ.... මමත් එන්නම්….ආයේ.කසාද බැන්දට පස්සෙ ඔය ගමන් යන්න ලැබෙන්නෙත් නෑනේ....මම දවස් දෙක තුනක් නිවාඩු දාලා යන්න එන්නම්......"


- නැවත හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

6 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page