top of page
  • Writer's picturePrisila Godahewa

🌺බැද්දේ කුමරිය 🌺


🌺 බැද්දේ කුමරිය 🌺

(අදින් පටන් ගන්නා නවකතාව )

(පළවන කොටස (1)

https://www.facebook.com/groups/2653780434897311/permalink/3068817593393591/

ශ්‍රී ලංකා දීපයේ දකුනු දිග අකුරල නම් සුන්දර ගම්මානයේ , පදිංචිව සිටින පාරම්පරික ප්‍රසිද්ධ සිංහල වෙදමහත්තයෙකු වූ, මගේ පියාගෙ බෙහෙත් සාප්පුව අපේ ගෙටම අල්ලා වෙනම කඩ සාප්පුවක් ලෙස සාදා ඇත....


අපේ මහ ගෙදර හා බෙහෙත් සාප්පුවේ පිටුපස වත්ත පොල් , දෙල් හා අඹ ගස් වලින් හෙවන දෙන්නේය. බෙහෙත් සාප්පුව හා අපේ මහ ගෙදර එකට සම්බන්දව ඇත්තේ පියාගේ පහසුව සලකාගෙනය. බෙහෙත් සාප්පුව ඇති පැත්තෙ , වත්තේ කොනක විශාල ටකරං මඩුවක් සාදා ඇත. බෙහෙත් සාප්පුවෙ බෙහෙත් හදන්න ගන්න, බෙහෙත් කොටන ගල් වංගෙඩි, මිරිස් ගල්, බෙහෙත් ඔරු වගේම බෙහෙත් තම්බන විශාල ලිප්, හැලි ආදියත් ඒවා තම්බන්න ගන්න දර කොටන් ආදියද එම මඩුවෙ තැන තැන ගොඩ ගසා ඇත.

පාරම්පරික සිංහල වෙද මහත්තයකු වු මගේ පියාගේ බෙහෙත් සාප්පුවේ, බෙහෙත් කොටන, අඹරණ, බෙහෙත් ගුලි, කුඩු හදන, කසාය හා බෙහෙත් තෙල් හදන වැඩකරන්නට, තාත්තාට අත් උදව් දෙන කොලුවෝ දෙතුන් දෙනෙක්ද බෙහෙත් සාප්පුවේම නැවති හිදිති. ඔවුන් තමන්ගේ කෑම බීම හදාගන්නේ බෙහෙත් සාප්පුව පිටුපස ඇති තවත් මඩුවකය... ගෙට අල්ලාම තාත්තාගෙ බෙහෙත් සාප්පුව තිබෙන නිසා, අපට නිතරම බෙහෙත් තෙල්, කසාය තැම්බෙන ,කැකෑරෙන සුවදින් නම් කිසි අඩුවක් නොවීය.


ගමේ සියලු නෑදෑයෝ වගේම නොනෑයොත් තාත්තාගෙන් බෙහෙත් ගන්නට නිතර බෙහෙත් සාප්පුවට එන බැවින් බෙහෙත් සාප්පුව වගේම අපේ ගෙදරත් කොයිවෙලෙත් මිනිස්සුන්ගෙන් අඩුවක් නැත. ඔවුන් තාත්තාගෙන් බෙහෙත් ගන්න එන විට ඔවුන්ගේ ගෙවතු වල ඇති, තාත්තාට බෙහෙත් හදන්න අවශ්‍ය කරන ගස්වල කොළ, මුල්, අල ආදි බෙහෙත් නොමිලේ ගෙනත් දෙන්නටද අමතක නොකරති. නැතහොත් ලඟපාත ලඳු, කැලෑවලින් බෙහෙත් ඖශද නිතර සොයා ගෙනවිත් දෙන්නේ උදව්වක් ලෙසය. ඒ තාත්තා බෙහෙත් ගන්න එන ලෙඩ්ඩුන්ගෙන් කවදාවත් මුදල් ගන්නේ නැති නිසා බව අපි දනිමු. ඒවට හිලව් වෙන්න තාත්තාගෙන් බෙහෙත් ගන්න එන ඈයෝ...ඔවුන්ගේ වත්ත පිටියේ පලදාව වගේම...මුහුදට කිට්ටුවෙන් සිටිනා ඈයෝ නා නා වර්ගයේ මාලු වර්ගද රැගෙන තාත්තා බලන්න එන්නට අමතක නොකරති. එබැවින් අපේ ගෙදර කෑම, බීම එළවලු මාලු වලින් කිසිදා අඩුවක් නොවීය.... ගමේ සියල්ලෝ ගමේ වෙදමහත්තයා වු තාත්තාට වගේම අපටත් ඉතා ගරුසරුව සලකති.


අකුරල ගමට කිට්ටුවෙන් පිහිටා තිබු තාත්තාගෙ බෙහෙත් සාප්පුව ගැන අහල ගම් හතක්ම දැන සිටින බව කවුරුත් දන්නා කරුනකි.


අපේ ගෙදර වත්ත පුරා ඇති පොල් ගස් නිසා, මාස දෙක තුනකට වරක් කඩන පොල් පලදාව , වත්තේ කොනක ගොඩ ගසා ඇත…. බෙහෙත් සාප්පුවට එන ඕන කෙනෙක්ට එයින් කෑමට පොල් ගෙදර ගෙනයාමට තහනමක් නැත….


අපේ ගෙදර කෑමට ගන්නා පොල් වලට අමතරව, ඉතිරි පොල් බිද "කොප්පරා" හදා ගන්නට වත්තේ කොනක පැදුරක නිතර පොල් බෑ, වේලෙයි…..එම කොප්පරා ගෙන යන්නට, මාසෙකට දෙකකට සැරයක් තම්බි මුදලාලි කෙනෙක් කරත්තයකින් ගමට එන්නේය.


කොප්පරා වලට අමතරව වත්තේ වැඩිපුර ඇති පොල් ගමේ ගැහැනුන් ලවා බිද ගා ගමේ සෙක්කුවට යවා පොල්තෙල් සින්දා ගැනීමද තාත්තා කරන දෙයකි. එම හින්දා ගන්නා පිරිසිදු පොල් තෙල් වලින් කොටසක්ද තාත්තා තම්බි මුදාලාලි විකුනන්නේය.

ගමේ වෙද මහත්තයා වන අපේ තාත්තාට ගමේ මිනිසුන් වැඩිපුර ගෙනත් දෙන මාලු වලින්, ජාඩි මුට්ටි දෙක තුනක්ද නිතර ගෙදර කුස්සියේ වසා තිබේ….කරවල ,

උම්බලකඩ වලින්ද කිසිදා අපේ ගෙදර අඩුපාඩුවක් නැත. ගෙදරට එන නෑහිතමිතුරන් අතර ඒවා බෙදා දීම අම්මාගේ කාර්‍යයකි.

වත්තේ තිබෙන රට දෙල් ගහේ කොළ ගානට සෑදෙන ගෙඩි…., පිටිවෙන්න තැම්බෙන දෙල්, අලුත් කලටි ගාගත් පොල්, ජාඩි කරවල, ඇඹුල්තියල් මාළු හා රතු කැකුළු බත් මගේ කැමතිම ආහාර අතර වෙයි.... බලමාළු, දෙල්වල ඇති ගිනියම යන්න වැඩිපුර පොල් එකතු කර කෑමට ගන්නා අපි…...දකුනේ මීකිරි කිතුල් පැණි කෑමටද රුසියෝ වෙන්නෙමු. .... මී කිරි පැනි පිඟානට, බත් ටිකක්ද එකතු කරගෙන කෑමට ගැනීම දකුනු පලාතේ ඈයන්ගේ හැටියක්‍ය.

ඒ වගේම බිලිං අච්චාරුවත් මගේ තවත් කන්නට කැමති කෑමක්ද වේ. ගමපුරා හැදෙන බිලිං වේලා, තාත්තාගෙ කොටස ගෙනත් දීමට ගමේ ගැහැනුන් අමතක නොකරති. එබැවින් වේලපු බිලින් තෙලේ බැද, හීන් හාල්මැස්සෝ දමා සාදන බිලිං අච්චාරුවත් මගේ ආසම කැමක් බව දන්නා අම්මා, ගෙදර නිතර සාදා තබන තවත් කෑමකි එය.


පවුලේ දෙවනියා වන පවුලේ එකම පිරිමි දරුවා වන මම, ගෙදර ගමේ කාගෙත් හොදහිත දිනා සිටින කෙනෙක්ද වෙන්නෙමි. පවුලේ එකම පිරිමි දරුවා ලෙස මව හා පියාගේ ආදරය මැද හැදෙන මට කෑම බීම , මිල මුදල්, ගරු පිළිගැනීම්

කිසි දේකින් අඩුපාඩුවක් නැත.


ගමේ ඉහළ තැනක් දරා සිටින ගමේ වෙදමහත්තයාගේ එකම පුතා වන මට, ඉංගිරිසි මාද්‍යයෙන් ඉගෙනීම කරගෙන යෑමට සියලු දේ සලසා දුන් තාත්තාගේ එකම බලාපොරොත්තුව වුයේ, මාව ඉංග්‍රීසි දොස්තර මහතකු කිරීමය..... ඔහුගෙ ආශාව ඉශ්ට කරදීම කෙසේ වෙතත් , ඉංග්‍රීසි මාද්‍යයෙන් ඉගෙනීම කරගෙන ගිය මා ගැන ගමේ ලොකු පොඩි සියලු දෙනා අතර මටද වැඩි සැලකිල්ලක් තිබින.


මාව වෛද්‍යවරයකු කරවීමේ ආශාව පියාට තිබුනත්.....ඒ ආශාව ඉශ්ට කරදීමට හැකියාවක් නොතිබුන මම, පාසැලේ අවසන් විභාගය ලියා පාසැලෙන් අස්වි ගමේ කොල්ලන් අතරට වැටිනෙ පියාගේ කනස්සල්ලත් සමඟය.


කාලයක් අසනීපව සිටි මගේ මව ආන්ත්‍ර උනේ,මම පාසැලේ අවසන් විභාගයට ලියන කාලයේදිය. එය මගේ එකම සහෝදරියගේ දැඩි කනස්සල්ලට හේතුවක් උනා වගෙම ,ඉන් පසු ගෙදර සියලු වගකීම භාරගත්තේ ඇය විසිනි.


‘‘ වෙද මහත්තයාගේ ලොකු දුව ගෙට වෙලා ටික දවසකට පස්සෙනේ, වෙද නෝනා ලෙඩ වෙන්න පටන් ගත්තේ.….ඒ ලෙඩ වීමෙන් තමයි වෙද නෝනා අන්තිමට අන්ත්‍රා වුනෙත්... දුවගේ මල්වර නැකතේ අපලෙම වෙන්න ඇති ඒ නම්…..‘‘


"‘අනේ පව්.... එහෙම කියන්න එපා .....යසෝමා සීදේවි කෙල්ල.‘‘


‘‘වෙද මහත්තයා තව කසාදයක් කර ගනීද දන්නෑ......තාම වෙද මහත්තයා තරුණයිනේ....ඔය පරම්පරාවෙන් එන වෙද කමක්නේ වෙද මහත්තයා කරන්නේ... ඉස්සර කාලේ ඉදන් අපේ අම්මලා තාත්තලා බෙහෙත් ඇරන් තියෙන්නෙත් ඔය වෙද මහත්තයාගෙ තාත්තගෙන්......‘‘


‘‘වෙද මහත්තයා ආයි කසාඳයක් කරගන්න එක්ක නෑ….. එයා දරුවෝ දෙන්නට හරි ආදරෙයි…..ඊටත් දැන් ලොකු දුව කසාද බදින වයසෙනේ...වෙද මහත්තයා තරුණ උනාට.... "


‘‘දැන් ඉතිං ලොකු දුවට තමයි ඉදිරියටත් ගෙදර දොරේ වැඩ බලාකියා ගන්න වෙන්නේ…..‘‘


" ශියා නංගි, ලෙඩ වෙලා ඉන්න කාලෙත්….ගෙදර ඔක්කොම වැඩ කලේ, අම්මට උදව් කලේ යසෝමා තමයි ..…. අම්මට කවල පොවලා බෙහෙත් ටික පවා දීලා….. වයසට වඩා එකී ගෙදර වැඩට උදව් කලා…කොච්චර වෙදමහත්තයාට වැඩට අත් උදව්වට මිනිස්සු හිටියත්…..‘‘


‘‘කොච්චර දෙයක් ද ඒ වගේ දරුවෙක් පවුලට ඉන්න එක….වෙද මහත්තයාගේ වාසනාවට ඒ වගේ දුවෙක් මේ පවුලට ඉපදුනේ.....‘‘

මගේ අම්මා අන්ත‍්‍රා උනේ, කාලයක් තිස්සේ තිබූ නොදන්නා රෝගයකින් පීඩා විඳිමින් ඉඳය…. ඇය ගමේ කා හටත් ඉතා කරුණාවෙන් උදව් උපකාර කළ ඉතා හොඳ ගුණ යහපත් කාන්තාවකි.... මට වැඩිමල් එකම අක්කා, අම්මා ආන්ත්‍ර වන කාලය වන විට කසාද බදින වයසට ලංවී සිටි බැවින් අම්මා අසනීපව සිටි කාලෙත්, විශේශයෙන් අක්කා ගැන සිතමින්, දුක්වෙමින් කළ කිරී සිට් බව කවුරුත් දන්නා කාරනයකි.


අම්මාගේ අසනීපයට මුලින් මුලින් තාත්තා බෙහෙත් හේත් කලත්, පසුව හික්කඩුවේ ප්‍රසිද්ධ වෙදමහත්තයකු ගෙදරට ගෙන්නා ගෙනද අම්මට බෙහෙත් කලාය…..නමුත් හොද කරන්නට බැරි රෝගී තත්ත්වයකින් පෙළී සිටි ඇයගේ අවසන් කාලයේ, තාත්තා නිතර ඇය ලඟ ඉදිමින් ඇයට ඇප උපස්ථාන කළේය... තාත්තාගේත්, අක්කාගෙත් ඇප උපස්ථාන දැඩි ලෙස අසනීපයෙන් සිටි අම්මා වින්ඳේ කළකිරීමෙන්ය.


අක්කා වැඩිවියට පැමිණි අලුත, අම්මා අසනීප වීම නිසා, ගමේ ගැහැණුන්ගේ කතාබහ වුණේ එය අක්කාගෙ අපලයක් නිසා සිදු වුණා බවයි.... අක්කා වැඩිවියට පැමිණියේ අවුරුදු දහහතරත් පහුවී නිස එය නරක නපුරු කාලයක් යැයි ගමේ ගැහැණුන් අතන මෙතන කතා වෙනවා මට ඇසී ඇත.


‘‘කෙල්ලගෙ ඇති අපලයක් නෑ..... ඒකිගෙ අම්මා ගෙනා ආයුෂ ඉවර වෙලායි ඒකිගේ අම්මා නැති වුණේ….’’


ගමේ ගැහැණුන්ගේ කතා ඇසී දිනක් තාත්තා එම ගැහැණුන්ට කෑ ගසා බැන්නේ, ආයෙත් ඒවැනි කතා නැවත කියන්න එපා කියමින්....


අම්මාගෙ වියෝවෙන් පසු තාත්තාත්, අක්කාත්, මාත් ගෙදර තනි වුනත්...තාත්තා නිතර බෙහෙත් සාප්පුවේම රැදි සිටි නිසා ඔහුට මගේ මව නැති පාලුව මගහැර ගන්නට හැකි විය.

අම්මාගෙ මළ ගෙදරින් පසු නෑ හිත මිතුරන්ගෙන් පිරි තුබුන ගෙය හෙමිහිට පාලුවට යන්නට පටන් ගත්තේ ඉන් පසුවය.... පසුව ගෙදර ඉතිරි උනේ.... බෙහෙත් සාප්පුවට එන අය හා වැඩට එන අයගෙන් පමනි.

අක්කා, තාත්තාටත්, මටත් අම්මා කෙනෙක් උනේ හරි ඉක්මනටය ....ඇය ඉවුම් පිහුම් වැඩට අමතරව මැහුම් ගෙතුම් වැඩද ඒ කාලයේ ඉගෙන ගත්තාය. නිතර පත්තර පොත් පත් බලමින් ගෙදර උන් අක්කා...., තාත්තාත් මාත් බලාගත්තේ , කෑම බීම උයා පිහා, ඇදුම් සෝදා මැද දෙමින්‍ය.


"ලොකු දුවට පුලුවන් යෑ මේ ගෙදර වැඩ තනියම කරන්න .... අපි පොඩිනැන්දව ගෙදර ගෙනත් නවත්ත ගනිමුද..?


‘‘ ඕන නෑ තාත්තේ මොන කරදරයක් ද …. මං අම්මා ඉන්න කාලෙත් මේ වැඩ කරානේ.‘‘


‘‘දැන් ලොකු දුව ගෙදරට වෙලා මොනවද කරන්න හිතාගෙන ඉන්නේ.‘‘


‘‘ වැඩි දුර ඉගෙන ගන්න කැමැත්තක් නෑ තාත්තේ….මං මැහුම් ගෙතුම් වැඩ ටිකක් වැඩිපුර ඉගෙන ගන්න කියලා හිතාගෙන ඉන්නේ.......‘‘


‘‘ඒකනම් හොඳයි ගෑණු ළමයි වුණාම මැහුම් ගෙතුම් වැඩ ඉගෙන ගෙනම තියෙන්න ඕනේ නේ…..‘‘

අක්කා ගෙදර දොර බලා කියා ගෙන මැහුම් ගෙතුම් වැඩ ඉගෙන ගන්න ලග ගෙදරක නැන්දා කෙනෙක් ලගට යන්නට පටන් ගත්තේ ඉන්පසුය. ඇය මටත් තාත්තාටත් අම්මා කෙනෙක් මෙන් සලකන කල මට අම්මා නිතර මතක් වෙයි. කෑම උයා පිහා දෙමින් ගෙවල් දොරවල් අස්පස් කරමින් අපේ ඇඳුම් සෝදා මැද දෙමින් ගෙදර සියලූ වැඩ කිරිමට පටන් ගෙන ඇත.


අම්මා ආන්ත්‍ර වි අවුරුද්දක් පමණ කාලයක් යන විට, පාසැලේ අවසන් විභාගය කර ගමේ කොල්ලෝ සමග කැරළි ගසමින් සිටි මට තාත්තා, ගාල්ලේ කාර්‍යාලයක ලිපිකාර රැකියාවක් කරන්න සොයා දුන්නේය. මම ගෙදර ඉදගෙනම උදේ රැකියාවට ගොස් හවස ගෙදර ආවේ කෝච්චියෙනි.


‘‘දැන් ඉතිං යසෝමව කසාඳ බන්ඳලා දුන්නොත් හොඳයි නේද?.....දැන් කසාද බදින වයසත් පනින්න... ලඟයිනේ....නැත්තම් ගෙදරටම නාකි වෙයි….‘‘

"නැන්සි" නැන්දා තාත්තාට නිතර නිතර කියන්න පටන් ගත්තාය.


‘‘ඒකි මට තාම පොඩි එකෙක් ගානයි...ඔන්න ඔහේ තව ටිකක් ගෙදර හිටියාවේ….. ‘‘


‘‘ඒ උනාට උඹ නිතරම ඉන්නේ බෙහෙත් සාප්පුවේ.. එකී දවල් දවසෙ තනියම ගෙදර ඉන්නෙ…. කොලූවත් වැඩට ගිහින් එන්නෙ හවස් වෙලානේ….. ඒකිව පිළිවෙලක් කරලා දැම්මොත් හොඳයි නේද?....අම්මත් ගෙදර නැති නිසා...’’


‘‘අක්කා දන්න තැනක් එහෙම තියෙනවා නම් බලන්නකෝ…. මට ඕවා තේරෙන්නෙ නෑ….මගුල් කපුවෙක්ට වත් කියලා බලමුද...?‘‘

තාත්තා ඇගේ වැඩිමල් සොහොයුරිය ගැන දැඩි විශ්වාසයක් තබා අක්කාට මණමාලයෙක් සොයා දෙන කටයුත්ත ඇයට භාර කලේය .


‘‘ එහෙනම් මං කපුරාලලා දෙතුන් දෙනෙක්ට කියල බලන්නම් යසෝමට මණමාලයෙක් හොයන වැඩේ…. ඒ වැඩත් වෙන්න ඕන ඒවානේ …ඕවා අපේ යුතුකම්...අම්මත් නැති කෙලී.....‘‘

- නැවත හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

9 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

コメント


bottom of page