top of page
  • Writer's picturePrisila Godahewa

බැද්දේ කුමරිය

💞 බැද්දේ කුමරිය 💞 බැද්දේ කුමරිය

(30 වෙනි කොටස )

"මං කැමති සුනිලා කසාඳ බඳින්න....අක්කා අකමැති උනත් මම සුනිලා කසාද බදිනවා.....‘‘


‘‘ අම්මට සිරි.... එහෙනම් හිමිජ්ජා වගේ හිටියට උඹටත් දැන් පන ඇවිත් තියෙන්නේ .....දැන් අක්කලා මේ මගුලට කැමති නැත්තේ, ජයන්තිලාට මූණ දෙන්න බැරි නිසා නේද....?මට නම් අක්කගෙ කතාවෙන් තේරුනේ ඒකයි.....‘‘


‘‘ ඒක තමයි හේතුව...

ඊටත් වඩා ඕනේ...මාළිගෙ දේපළ පිට නොයවා, මාව ඒ ගෙදරටම කරන්න ... ගිය පාර වගේම මේ පාරත් මාව දෑවැද්දකට හිර කරලා බන්දලා දෙන්න.‘‘


‘‘එහෙම තමයි බං ගෑණු.... සල්ලි තියෙනවා නම් වෙන මොනවත් ඕනේ නෑ....මල්ලි සල්ලි තියෙන තැනකට බැන්දොත් අක්කට වාසියිනේ....ඒකයි ප්‍රශ්නය.."


‘‘ ගෑණි මැරුණු මිනිහෙක්ට....සුනිලා කැමති වෙච්ච එකත් ලොකු දෙයක් නේ....ඒ උනාට අක්කා කැමති නෑ සුනිලට... දැන් මගෙ ඔලුව විකාරයි බං..... "


‘‘ මම මොනව කිව්වත්....උබ සුනිලට කැමති නම් සුනිලා බැද ගනින් හැබැයි උබට ඉතිරි වෙන්නේ මායි සුනිලයි විතරයි.....හොදට මතක තියාගනින්....දේපළ , නෑදෑයෝ , දරුවා අක්කා, තාත්තා හැමෝම අමතක කරලා සුනිලා කසාද බැද ගනින්...මම පුලුවන් විදිහට උබට උදව් කරන්නම්....හිත ගිය තැන මාළිගාව කියනවානේ..."


"අක්කා මට දරුවා දෙන එකක් නැද්ද .."


"දරුවා කියන්නේ වස්තුවක්....ඒ දේපළ අක්කා තියාගනියි....මොනව උනත් අක්කා දරුවා හොදට බලාගන්නවානේ...මාළිගෙ දේපළ දරුවට ලැබෙන නිසා, උබට දරුවා ගැන දුක් වෙන්න දෙයක් නෑ...."


"අක්කා මාත් එක්ක තරහ වෙයි...එකයි දුක..."


"අනේ බං. අක්කට නිකං ඉන්න කියල, උඹ සුනිලා බැඳපං..... අක්කා නෙමේනෙ සුනිල එක්ක ඉන්නේ..... ඊටත් උඹනෙ උඹේ ජීවිතය තීරණය කරන්න ඕනේ.‘‘


‘‘අක්කා ජීවිත කාලයටම මාත් එක්ක තරහ වෙයිද?...‘‘


‘‘ටික කාලයක් තරහ වෙලා ඉඳියි. පස්සෙ ඕව හරි යයි බං.....‘‘


‘‘එහෙම වෙයි ද....? අනේ සෝමේ මේ වෙලාවේ මට උදව් කරපං....මට පස්සෙ අක්කා යාළු කරගන්න පුලුවන් වෙයිනේද...? කියපංකෝ...එහෙම නම් මට සුනිලා බදින්න පුලුවන් ....‘‘


‘‘ ඔව් බං....ඕවා ළමෙක් දෙන්නෙක් හම්බවෙනකම් විතරයි ...හරි... හරි... මං ඉන්නවා උඹත් එක්ක.... උඹ බය නැතුව සුනිල බැඳපං.... හැබැයි ඉතිං සුනිලව උඹ බැන්දොත් මට තමයි පාඩු....‘‘


‘‘ඒ මොකද?’’

මං පුදුමයෙන් ඇසීය.


‘‘ඇයි ඉතිං....ඒකි මෙහේ නවතිනන් ආවහම මට වෙන නවාතැනක් හොයා ගන්න වෙනවනේ.‘‘


‘‘ඒකද? ඉතිං කියපන්කෝ විහිළු නැතුව මට මේ මොනවත් තේරෙන්නෙ නෑ. මං මොනවද කරන්න ඕනෙ කියල.... අක්කලා තරහ කරගෙන කසාඳය කරගන්නවා නම් මං කොහොමද සුනිලව, බඳින දවසට සුනිලගෙ නෑදෑයින්ට පේන්න අපේ ගෙදර අයව එක්ක යන්නේ.....‘‘


"උබට නෑදෑයෝ කවුරුත් මගුලට එක්ක යන්න් වෙන්නෑ...මම කන්තෝරුවේ අපේ කොල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක එන්නම් මගුල් ගෙදර ...අපට කරන්න පුලුවන් එච්චරයි..".


"ලොකු දෙයක් සෝමේ උබ මාත් එක්ක හිටිය එක..."


"මොනව කරන්නද...? අපෙත් පව....උබලා වගේ උන් යාලුවො වෙන්නේ...."


"බොහොම ස්තුතියි බං..."


"හොදටම ඇදිරි වැටුනා, ගුනදාසලා බෝඩිමේ මොනව කරනවද දන්නෑ..."


අපි දෙදෙනා ඇදිරි වැටිගෙන එනවිට, බෝඩිමට යන විට, පාල අපට රෑට කන්න කෑම උයා තිබුනි.


"අද නම අපට ලේසියි ...පාල උයලා තියෙන නිසා...අපි ඇගපත හෝදගෙන එන්නම්..."


"ඔව්...රෑත් උනානේ ..මහත්තයාලා අද කන්තෝරුවේ වැඩිපුර වැඩ කලාද?


"නෑ ගුණදාස , අපි අපේ අක්කලාගෙ ගෙදර ගියා..මම දවල් කිව්වේ...මට අක්කලා කසාද බදින්න කෙනෙක් ලෑස්ති කරලා තියෙන්නේ කියලා ....මම දවල් ගිහින් අක්කට කිව්වා, මට එයාව කසාද බදින්න බෑ කියලා.... මම සුනිලා කසාද බදින්න කැමතියි කියලා ..."


"ඉතිං මහත්තයාගෙ අක්කලා කැමති උනාද සුනිලව කසාද බදිනවා කිව්වහම ..."


"බොරු කියන්නෙ මොකටද ගුණදාස ....අපේ ගෙදරින් කැමති නෑ ...ඒ උනාට මම මගේ තනි කැමැත්තට සුනිලා කසාද බදින්න කැමතියි ."


"එහෙම හොදද මහත්තයා ...?


"මොනව කරන්නද සුනිලගෙ මගුල කැඩුනේ මම නිසානේ...එකට මාත් වගකියන්න ඕනනේ....ඒ හින්දා අපේ ගෙදරින් අකමැති උනත් මම සුනිලා තනි කැමැත්තට කසාද බදිනවා කියලා හිතුවා..."


‘‘මහත්තයාට පිං...අපිව මේ අමාරු වැටුන වෙලේ බේරගත්තට... එහෙනම් අපි නංගි කසාඳ බඳින්න හිටපු දිනේටම කසාඳේ කරලා දාමුද...මහත්තයා ....? තව සුමාන දෙකයි මගුලට තියෙන්නේ..නෑදෑයින්ට ඉස්සෙල්ලා, මගුලට බුලත් දීපු දිනේටම මේක කරන්න පුලුවන් නම් අපටත් ලැජ්ජාවෙන් බේරෙන්න පුලුවන් ....‘‘


‘‘මගේ අකමැත්තක් නෑ....අපි එදාටම කරලා දාමු....හැබැයි මගේ නෑදෑයෝ කවුරුත් මගුලට එන්නෙ නෑ....කන්තෝරුවේ යාලුවො දෙතුන් දෙනෙක් ගෙන්න ගන්නම්....එච්චරයි. ඒකත් ජුවානිස්ලාගෙ නෑදෑයින්ට පේන්න ඕන නිසා.....‘‘


"එහෙම හොදයි මහත්තයා ....

එහෙනම් මහත්තයා අපි හෙට උදේම ගමේ ගිහින් තාත්තටයි, නංගිටයි කියන්නම්, මහත්තයා මඟුලට කැමති වුණා කියල.... අපි එහෙනම් එදාටම මඟුල කරල දාමු.....කච්චේරියට ගිහිල්ලා කසාදේට අත්සන් කරලා නංගිගෙ මගුලට බුලත් දීපු නෑදෑයින්ට එන්න කියලා දවල්ට කෑම කන්න දෙමු.....එහෙම හොදයිද මහත්තයා....? කැමතියිනේ ඒ විදිහට ....‘‘


‘‘ඔව් ගුණදාස මං කැමතියි ඒ විදිහට .....


‘‘අනේ ලොකු දෙයක් මහත්තයා ....අපිව ලැජ්ජාවෙන් බේර ගන්න හදනවට...අනික නංගි කැමති මහත්තයා කසාද බදින්න ...ඒකිටත් දැන් සතුටු හිතෙයි, මේ කතාව අහලා...

"අපි එහෙනම් හෙට උදේම ගමේ ගිහින් මේ ආරංචිය නංගිටයි තාත්තටයි කියන්නම්.... මං ගෙදර ගිහින් මේ ගැන කිව්වහම නංගි ගොඩක් සතුටු වෙයි..... ඒකි පහුගිය කාලේ හිටියේ මැලවිලා ගිහින්.... අපි එක්ක නිතරම තරහෙන් තමයි කතා කළෙත්. අපේ උවමනාවටනේ ඒකිව ගුණේට බන්දලා දෙන්න හැදුවේ. දැන් ඉතිං කෙල්ලගෙ මූණේ මලක් පිපෙයි මහත්තයාව බැඳල කොළඹ එන්න ලැබෙනවා කිව්වහම.‘‘


මගේ හිත ගත දෙකම සතුටින් පිරී ඇත. මගේ මූණ ඉස්සරහ සුනිලා හිනාවෙමින් හුරතල් වෙන අයුරු මට මැවි මැවී පෙනෙන්න විය. මගේ ජීවිතේ මෙතරම් සතුටු හිතුණු දිනයක් නැති තරම් යැයි මට සිතේ...ඒත් අක්කා තාත්තා මතක් වෙනකොට නම් කියාගන්න බැරි දුකක් සමග බයකුත් දැනේ...


"සෝමේ මට හිතෙනවා කළුතර ගිහින් ජයන්ති හම්බවෙලා මේ විස්තරේ කියන්න..."


"ඒකි උබට බනී...."


"උබගෙන් දෙයක් අහන්නද මම ...?


"මොකක්ද...?


"උබ කැමති නැද්ද ජයන්තිට...?


"මම...? සෝමේ ලැජ්ජාවෙන් ඇබරේ...


"අකමැත්තක්....ම නෑ...කෙල්ලගෙ තොරොම්බල් ටික බැන්දට පස්සෙ හලලා ගත්තොත්...නරකම නෑ...ඔක්කොටම වඩා ..දේපළ ටික..මගෙ අම්මෝ...මේ කන්තෝරුවේ කුරුටු ගගා ජීවිත කාලෙම ඉන්න ඕනත් නෑ එහෙනම් ....එහෙම උනොත් මට බැරියැ උබට අතමාරුවක් එහෙම දෙන්නත්...😀මොකද සුනිලා බැන්දා වගේ නෙමේ...උබට නෑදෑයෝ සල්ලි බාගේ, දේපළ මුකුත් නැතුව...සුනිලගෙ ලස්සන විතරක් බල බල ඉන්න වෙන්නේ....".


" ඒකට කමක් නෑ...බඹා කෙටුව හැටියට නේ....හැම දේම සිද්ද වෙන්නේ..."


"අපි එහෙනම් හෙට කළුතර ගිහින් ජයන්ති හම්බවෙලා මේක කියමුද...?


"නියමයිනේ....කෙල්ල මට කැමති වෙයිද...?එහෙම උනොත් මම ගොඩ...උබ වලේ...මට බැරියැ උබට අත මාරුවක් එහෙම් දෙන්න..."


"ඔව්...ඉස්සරහ කාලේ එහෙම නම් වෙන්න බැරි නෑ....එහෙනම් හෙට උදේ අපි එහේ යමු..හැබැයි ජයන්තිට බොරුවක් කියන්න වෙනවා...."


"ඒ..මොකක්ද ?


"හෙට ගිහාම බලා ගනින්කෝ..ගල් පැලෙන බොරුවක් කියලා තමයි ....අක්කයි, තාත්තයි වගේම මටත් බේරෙන්න වෙන්නේ...."


"මට නම් ලැජ්ජයි....ලැජ්ජයි වගේ...අපි දෙන්නව ගහලා පන්න ගනීද...?


"ගිහිල්ල බලමු...."


පසුදින උදේ අපි කළුතර ජයන්ති ලගෙ ගෙදර ගිය එක ජයන්තිටත් ,ඇයගෙ දෙමව්පියන්ට පුදුමයට කාරනයක් විය. හොද වෙලාවට ඒ වෙනවිටත් අක්කා මම ජයන්ති කසාද බදින්න අකමැති බව ඔවුන්ට කියා නොතිබිම හොදට ගියේය.


"අය්යලා තකහනියේ මේ හදිසියේ කියන්නෙවත් නැතුව ආවේ ඇයි...? ජයන්ති පුදුම වී ඇසුවේය.


"නිකම්...මේ සෝමෙට ඔයාව දකින්න ආසයි කිව්වා...මම කාටවත් නොඇසෙන්න ජයන්තිට කිව් විට ඇය පුදුමයෙන් මෙන් සෝමේ දෙස බැලීය.


සෝමේ විලියෙන් මෙන් බිම බලාන ඇඹරෙයි.


ඔවුන්ගේ තේපැන් සංග්‍රහයෙන් පසු, මම ඇය තනියම ඔවුන්ගේ ගෙදර වත්තට කැදවාගෙන ගොස් ඇය සමග කතා කලෙමි.


"ඇයි සුමල්.....මට තනියම කතා කරන්න තියෙනවා කිව්වේ...?


" අපේ අක්කලා හරි ප්‍රශ්නයකින් ඉන්නේ....ඔයගොල්ලන්ගෙ දෙමව්පියන්ට මේක කියන්නේ කොහොමද කියලා....ඒ නිසයි මමම මේක ඔයාට කියන්නම් කියලා මෙහේ ආවේ..."


"ඒ මොකක්ද සුමල් ඒ...කියන්න තියෙන්නේ නරක දෙයක්ද..? මට අහන්න බයත් වගේ.....


"නරක දෙයක් තමයි ජයන්ති...අපේ තාත්තලා අපි දෙන්නගෙ කේන්දර බලවලා...ඒ දෙක ගැලපෙන්නෙ නෑලු...මාළිගෙයි මගෙයි කේන්දර දෙක වගේම ඒ දෙකෙත් දෝශ තියෙනවලු...."


"අනේ...මම කොච්චර ආසාවෙන්ද අපේ කසාදය ගැන හිතාන උන්නේ.....මම මගේ යාලුවන්ටත් කිව්වා ලගදිම මම කසාද බදින්න යන්නෙත් කියලා ..."


"ඔයා දන්නවද දන්නෑ...මගෙයි මාළිගෙයි කේන්දර හරියට ගැලපිලා නෑ...අපේ අක්කා ඕවා ගනන් ගන්නෙ නැතුව තමයි මට මාළිව බන්දලා දීලා තියෙන්නේ .....ඒ නිසා තමයි මාළිට ඔහොම උනේ....මම කැමති නෑ ඔයාටත් ඒ වගෙ දෙයක් වෙනවට...අපි මේක දෙමව්පියන්ට කියන්න ඉස්සර, හිතෙන් අත් ඇරලා දා ගමු...අපේ අක්කලා අපේ මගුල ගන්න හැදුවත් ඔයා ඒකට කැමති වෙන්න එපා...ඒක කියන්න ඕන නිසයි මම මේ තකහනියක් මෙහෙ ආවේ... මම හෙන ලොකු බොරුවක් ජයන්තිට කිව්වේ...මේ මගුල නොකෙරෙන විදිහටය...


"මට හරි දුකයි සුමල් ....".ජයන්ති බාගෙට අඩමින් කීය.


"ජයන්ති අපි මෙහෙම කරමුද....මම නම් එක පාරක් කසාද බැදලා දරුවෙකුත් ඉන්න මිනිහෙක්....ඒ උනාට මගේ යාළුවා සෝමේ තවම තරුණ තනිකඩයා....එයා ඔයාට හරි කැමතියි ...ඔයා එයාට කැමති වෙලා, අම්මලාට කියලා ,එයාව කසාද බදින්න. සෝමේ ගොඩක් හොද කෙනෙක්...මම වගේම ආන්ඩුවේ රස්සාවක් කරන කෙනෙක්නේ...සෝමේගෙ තාත්තට ව්‍යාපාරයක් එහෙම තියෙන කෙනෙක් ....ජයන්ති මොකද කියන්නේ...මම කියන්නද සෝමෙට ඔයත් එක්ක කතා කරන්න කියලා ..."


" මම කැමැත්තෙන් හිටියෙ ඔයාට, මගෙ යාලුවො ඔක්කොම බලාගෙන ඉන්නේ, ලගදිම මගෙ මගුල බලන්න ....ඒගොල්ලෝ ඔයාව, සෝමෙව දන්නෙ නැති නිසා, මටනම් ඒක ප්‍රශ්නයක් නෑ....සෝමෙත් එක්ක මම කතා කරලා, ආශ්‍රය කරලා තියෙන නිසා, දන්නවා එයා හොද කෙනෙක් කියලා ... .... ඔයාගෙයි මගෙයි කේන්දර ගැලපෙන්නෙ නැත්තම් අපි අම්මලාට සෝමේ ගැන එහෙනම් කියලා....මේ මගුල කෙරෙන විදිහක් ගැන බලමු....අපේ අම්මලත් කැමති වෙන එකක් නෑ...මාළි අක්කා වගේම මාත් මැරිලා යනවට..."."


"මට හරි සතුටුයි ජයන්ති ..ඔයා මේක හොදටම තේරුම් ගත්ත එක.....ඉන්න එහෙනම් මම සෝමෙට කතා කරන්නම්...ඔයා එයා එක්ක ඉස්සරහ කාලේ, වෙන්න ඕන දේවල් , පවුල් වල දැනගන්න ඕන දේවල් ඔයාම එයත් එක්ක කතා කරලා දැන ගන්නකෝ. ..."


එදින අපි ජයන්තිලාගෙ ගෙදරින් දවල්ට බත් කා හවස බෝඩිමට එනවිටත් ,ජයන්තිගෙ අම්මලත් සෝමෙට කැමති බව මට තේරි ගොස් තිබුනි. සෝමෙත් මම වගේම ආන්ඩුවේ රැකියාවක් කරන, ඉංග්‍රීසි කතා කරනා කෙනෙක් වීම නිසා එය එසේ වන්නට ඇත.


මගෙයි ජයන්තිගෙයි කේන්දර නොගැලපීමට ඔවුන් හොදටම බය වී ඇත්තේ මාළිට උන දෙය ජයන්තිටත් සිදුවේවි යැයි බියෙනි...... මම ජයන්තිට කිව් බොරුවට, ඒ ගෙදර හැමෝම අහුවීම නිසා අපේ තාත්තයි අක්කටයි ඇතිවෙන්න ගිය ලැජ්ජාවෙන් මම ඔවුන්වත් නිදහස් කලා යැයි මට සිතේ......එය එසේ හෝ සිද්ද වීම ගැන මට ඇතිවුනේ සතුටකි. මාළිගෙ මරනින් පසු එයට පසුතැවිල්ලෙන් සිටි ජයන්තිගෙ දෙමව්පියන් මම කිව් දේ විශ්වාස කර සෝමෙට කැමති වීම සෝමෙටත් ලොකු සතුටක් විය.


වැඩි දවසක් යන්නට මත්තෙන්, සෝමෙගෙ දෙමව්පියන් අඩගසාගෙන ජයන්ති බලන්න එන පොරොන්දුව පිට, අප නැවත කොළබ ආවේ ලොකු සතුටකිනි.


"උබ ජයන්තිගෙ අම්මා කිව් විදිහට ,පුලුවන් ඉක්මනට ජයන්තිලාට උබේ කේන්දර කොපිය ගිහින් දීපන්....හැබැයි මගෙ මගුල ඉවර වෙනකම් ඉදලා....හදිස්සියෙවත් උබලා දෙන්නගෙ කේන්දර ගැලපුනේ නැත්නම්....තමා ප්‍රශ්නය..."


-හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

4 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page