top of page
  • Writer's picturePrisila Godahewa

💞බැද්දේ කුමරිය 💞

💞 බැද්දේ කුමරිය 💞 බැද්දේ කුමරිය

(28 වෙනි කොටස)

ගෙදර සියල්ලෝ කළුතර ගොස්, ජයන්තිගෙයි මගෙයි මගුල තීරණය කර ආ පසු, මම පුලුවන් ඉක්මනට කොළබ කන්තෝරුවෙන් කළුතර කන්තෝරුවට මාරුවක් හදා ගත යුතු යැයි තීරණය කලෙමි.


"උබ ඉතිං කළුතරට මාරුව හදාගත්තහම මට තමයි පාලු, පාඩු...." සෝමේ මම කොළඹ සිට කළුතරට යන්න උත්සහ කිරිම ගැන දුක් වෙයි.


"මොකක්ද උබට තියෙන පාඩුව....?


"උබ එහෙට වෙලා, ජයන්තිගෙ ගෙදර කෑම රසට කයි....මට බෝඩිමට වෙලා පරිප්පුයි, කරවලයි උයාගෙන තනියම කන්න වෙනවනේ..."


එහෙනම් උබත් කළුතරට මාරුවක් හදාගෙන වරෙන්...අපි ඔක්කොටම මාළිගෙ ගෙදර ඉන්න් පුලුවන් ..."


"ඇයි උබලා මාළිගෙ ගෙදර නවතින්න යන්නේ...?


"ජයන්තිගෙ මහ ගෙදර ලියලා තියෙන්නේ ජයන්තිගෙ මල්ලිට....මාළිගෙ ගෙදර පාලුවට යන නිසා, මාළිගෙ අම්මලා අපට එහේ ඇවිත් නවතින්න කිව්වා...මාළිගෙ තාත්තා පාලනය කරන රබර් පොල් වතුවල වැඩ එහෙමත් මට බලන්න වෙයි කිව්වේ..."


"එහෙමද...ඒ ගේ ගොඩක් ලොකු නිසා මම ආවත් එහේ නවතින්න පුලුවන් වෙයි නේද...?" සෝමේ සතුටින් අසයි.


"පුලුවන් පුලුවන් ...උබත් මාරුවක් හදාගෙන වරෙන්... නිවාඩු දවසට මට වත්තේ පොල් ටිකක් හරි උබට කියලා ඇහිදවගෙන, පොල් ටිකක් ලෙලි ගහගන්න එහෙම පුලුවන් නෙව.. ..."


"පලයං යන්ඩ...උබේ පොල් ඇහිදින්න මම ...?

සෝමේ සමග විහිලු තහළුවෙන් සිටිමට හැකි විමත්, මගෙ හිතේ දුක පාලුව නැතිව යයි.


සෝමෙත් මමත් සුනිලා බලන්න රුවන්වැල්ලට ගොස් පැමිණ සුමානෙකට පසු බදාදා දහවල්, මම කාර්යාලයේ වැඩ කරමින් සිටින විට කාර්යාල සහයක "තේමිස්" පැමිණ මා හට කිව්වේ මා හමුවෙන්න කවුදෝ අමුත්තන් දෙදෙනෙකු පැමිණ ඇති බවකි..... කිසිදින මා හමුවන්න ගෙදර කවුරු වත්, යාළුවෙක්වත් කාර්යාලයට පැමිණෙන්නෙ නැති බැවින්, ඒ කවුරු දැයි සැකයෙන් මම කරමින් සිටි වැඩය නවත්වා කාර්යාලයේ අමුත්තන් පිළිගන්නා කුටියට ගියේ හිතේ දෙගිඩියාවෙනි...


ඈතදීම මා දුටුවේ සුනිලාගෙ සහෝදරයන් දෙදෙනා වන ගුණදාස හා පාල අමුත්තන් පිළිගන්නා කුටියේ, පුටුවක වාඩි වී ඉඳිනා අයුරුය.

මගේ සිතට ක්ෂණිකයෙන් ම මතකයට ආවේ, පාල හා ජුවානිස් මම ඔවුන්ගෙ ගෙදර ගිය දින කිව් දෙයයි.


"මහත්තයාට දුවගෙ මඟුල් කියන්න අපි කොළඹ එන්නයි හිතාගෙන හිටියේ.‘‘ යන්න.


‘‘ආ... ගුණදාස ,පාල කොහොමද...? අඳුන ගන්නත් බැරි වුණානේ. දැන් හරි හැඩයිනේ අලූත් ඇඳුමට.‘‘


මං සිනාසෙමින් ඔවුන් ලඟින් ලගට ගියෙමි. ඔවුන් දෙදෙනාම මම දුන් කලිසම් ශර්ට් ඇද පැමින ඇත. හැමදාම ඔවුන් අදිනා සරමට වඩා ඒ ඇදුම මේ කොළඹට, කාර්‍යාලයට ගැලපේ යැයි මට සිතේ....


‘‘ඉතිං... ඉතිං... කොහොමද පාල...? සුනිලගෙ මඟුල් කියන්නද ආවේ.....? මගේ කාර්යලය හොයාගන්න අමාරු වුණේ නැද්ද...? මඟුල් කියන්න ආවේ නැති වුණාට, මං පුළුවන් උනොත් කොහොමත් සුනිලගෙ මගුලට එන්නයි හිතාගෙන උන්නේ..... උදෙන් මද ගමේ ඉඳන් ආවේ....‘‘

මං ඔවුන්ගෙන් නොයෙකුත් ප‍්‍රශ්න එකදිගට අසමින් ඔවුන් ලගින් වාඩි විය.


‘‘මහත්තයා හම්බවෙන්න ආවේ විශේෂ දෙකට.... මෙතන කතා කරන්න බෑ වගේ මහත්තයා.‘‘


ගුණදාස හා පාල මට තවමත් මහත්තයා කියා කතා කරයි... පාල මට බාල වූව ද එසේ කතා කරන්නේ අප මුලින් මුණ ගැසුණු දවස්වල වගේමය. නමුත් මාගේ ඉල්ලීම පරිදි සුනිලා මට අයියා කියයි. ඇය මට වඩා බාල තැනැත්තියක් නිසා, ඇය ලවා මට මහත්තයා කියාවා ගැනීමට මං කැමති නොවීය.


‘‘මෙතන නම් ටිකක් කළබලයි තමයි .... කැමති නම් අපි එලියට ගිහින් මොනවහරි කන ගමන් කතා කරමු.... දෙන්නටම දැන් බඩගිනිත් ඇතිනේ.... උදේම ගමෙන් ආවනම්...‘‘


මොවුන් එන්න ඇත්තේ සුනිලාගෙ මඟුලට අතමාරුවක් ඉල්ලා ගන්න යැයි මට සිතේ.....


‘‘අපි එහෙනම් මහත්තයා එළියට යමු ද?’’


‘‘හා.... ඉන්න මං කන්තෝරුවේ කාට හරි කියල එන්නම්, කෑමට එළියට යන වග....."

මං මගේ කාර්‍යාලය ඇතුළට ගොස්, කාර්‍යාල සේවකයාට, දහවල් ආහාරය ගන්න මම, එළියට යන බව පවසා ගුණදාස හා පාල සමග කාර්යාලයෙන් පිටතට ආවේ මොවුන්ට මොනවහරි දවල්ට හොදට කන්ඩ අරන් දෙන්න හිතාගෙනය.


‘‘ඉතිං ගුණදාස අද කොළඹ ඉඳල යන්න....දැන් මං තව යාළුවෙක් එක්ක බෝඩිමක තනියම ඉන්නේ.... අපි දෙන්නා තනියම උයා ගෙන කනවා. ගුණදාසටයි පාලටයි අද රෑට එහේ ඉඳල යන්න පුලුවන් ....‘‘


‘‘බලමු මහත්තයා.‘‘ ගුණදාස ලොකු කල්පනාවකින්, දුකකින් ඉනනා බව පෙනේ... ඔහු වචන දෙක තුනකට වඩා මා සමඟ කතා නොකරයි. ඔහුගෙ මුහුනේ ඇත්තේ ලොකු කරදරයක සේයාවකි.


අප තුන්දෙනා කොළඹ කොටුවේ මිලර්ස් භෝජනාගාරයේ කොනේ මේසයකට ගොස් වාඩි වුනෙමු.

මම ඇනවුම් කළ තෙම්පරාදු බත් හා කුකුල්මස් අප වෙත ගෙනෙනකම් මම ඔවුන් සමග කතාව පටන් ගත්තේමි.


‘‘ඉතිං ගුණදාසට මොනවද කියන්න තියෙනවා කිව්වේ...? මොනවහරි උවමනාවකටද ආවේ.‘‘


‘‘හරි වැඩෙනේ මහත්තයා....මහත්තයාට මේක කොහොම කියන්නද කියලා මට හිතාගන්න බෑ...."


"ඇයි...මොකක්ද ..අතමාරුවක් එහෙම ඉල්ලගන්නද...? ඔවුන්ට එය කීමට පහසු වෙන ලෙස මා ඇසීය.


"අනේ නෑ මහත්තයා ...වෙන දෙයක් ..."


"එහෙනම් මොකක්ද ..?


" මහත්තයාට මේක මුල ඉදලම කිව්වෙ නැති උනොත් තේරුම් ගන්න බැරි වෙයි....ඒ නිසා මහත්තයා නොදන්න කතාවක් තියෙනවා....ඒක කියලා හිටියොත් හොදයි කියලා හිතෙනවා...."


"ඒ මොකක්ද ...? මං නොදන්න විශේෂ දෙය..."


"මහත්තයා දන්නවනේ...අපේ නංගි.... ඒකි බදින්න හදන මණමාලයා, අපි ගොඩක් කාලෙකට උඩදි ලෑස්ති කරගත්ත මගුලක්නේ....නංගි ඒකට එච්චර කැමැත්තක් තිබුනෙ නෑ...ඒ උනාට දැන් මාස දෙක තුනකට උඩදි තමයි බදින්න කැමති උනේ....


"ඔව් ඒවා මම දන්නවා...ඉතිං ..?


"නංගි කොළඹ බලන්න ආසයි කියලා ඇවිත් මහත්තයාලගෙ ගෙදර මාස දෙකක් විතර නැවතිලා හිටියනේ....ඒ කාලේ නංගි බදින්න හිටිය කොල්ලා, අපට හරියට දොස් කිව්වා, නංගිව ගෙදර එක්ක එන්න කියලා ....කොහොම හරි නංගි ගමේ ගියාට පස්සේ ඌ මාසයක් දෙකක් නංගි බලන්න ආවෙත් නෑ කේන්තියට....නංගි කොළඹ ගිහින් ගොඩක් දවසක් හිටියා කියලා ...පස්සෙ දැන් මාස දෙකකට විතර උඩදි තමයි නංගිව කසාද බදින්න හරියට කැමති වෙලා නැකත් බලලා දින දාගත්තේ....


"ඉතිං...තව සුමාන දෙකයිනේ මගුලට තියෙන්නේ ..."


"ඔව් ...ඒක හරි..දැන් ප්‍රශ්නය .. සුමල් මහත්තයා ,අනිත් මහත්තයා එක්ක ගිය සුමානෙ අපේ ගෙදර ඇවිත් නැවතිලා ගිය එක ගුනේට ආරංචි වෙලා.... මූට හොදටම කේන්ති ගිහින්, මහත්තයා නංගි බලන්න ගමේ ඇවිත් තියෙන්නේ කියලා හිතාගෙන ... අපේ ගෙදර ඇවිත් නංගිට බැනලා ගහන්නත් ගියා....ඌට නංගිව විශ්වාස නෑ....ඕන් නැති නරක කතා වගයකුත් කිව්වා... දැන් ඌට නංගිව කසාද බදින්න බෑ කියනවනේ...නංගිව ඌට සැකයිලු....."


"හරි වැඩක්නේ...මම නිසා සුනිලට වෙල තියෙන්නේ..."


" අනේ ඔව් මහත්තයා ....තව සුමාන දෙකයි මගුලට තියෙන්නේ ...අපි නෑදෑයින්ට ගමේ මිනිස්සුන්ට දැන් මොනවද කියන්නෙ කියලා හිතාගන්න බැරුවයි මහත්තයා හම්බවෙන්න ආවේ..."


"හරි ජංජාලයක්නේ උනේ...මම නිසා දැන් සුනිලාගෙ මගුල කැඩෙන්නද යන්නේ....?


"ඒකනෙ මහත්තයා ....

දැන් ගුණේව කසාඳ බඳින්න බෑ කියල නංගිත් අඩනවා..... නංගි කොළඹ ඉදන් , ගමේ ගියාට පස්සෙ ගුනේ නිතර නිතර නංගිට ඒවා මේවා කිව්වලු......ඒත් නංගි ඉවසගෙන ඉදලා මෙච්චර දවස්....අපට කිව්වෙත් නෑ....ඒවා දැනගෙන හිටියනම් අපි කවදාවත් මේ මගුලට නංගිට බල කරන්නෑ.....එදා මහත්තයා ගමේ ඇවිත් ගිය එක ආරංචි වෙලා තමයි ගුනේ ඇවිත් නංගිට බැනලා යකා නටලා තියෙන්නේ .... ...ඒ නිසා එයාව කසාද බඳින්න බෑ කියල නංගි දැන් අඩනවා.. .. ගෙවල් දෙකෙන්ම කැමති වෙලා හිටිය මඟුල.... තව සුමාන දෙකයි මගුලට තියෙන්නේ....අපි ගමටම බුලත් දීලත් ඉවරයි ....ගුනේ කොළුවට එහෙමට මගුල් කියන්න නෑදෑයෝ නෑ....ඒ නිසා ඌට මගුල නැවත්තුවා කියලා ගානක් නෑ....අපට එහෙම නෙමේනේ.. ..තාත්තව, අපිව මුලු ගමම දන්නවනේ....අපි කොහොමද ගමේ මිනිස්සුන්ට මූණ දෙන්නෙ කියලා හිතාගන්න බැරුව ඉන්නේ..." ගුණදාස කීය


"මාර වැඩේනෙ උනේ......"


"අක්කා දැන් කැමතිම නෑ කියනවා ගුනේ බදින්න ...අපට තියෙන ප‍්‍රශ්නය මේ මාසේ මැද අක්කගෙ මඟුලට අපි අපේ නෑදෑයින්ට ගමේ මිනිස්සුන්ටත් බුලත් දීලත් අහවරනේ.....ඉස්සර ගුණේ හොද එකා....ඌ වෙනස් උනේ අක්කා කොළඹ ගිහින් ආවට පස්සෙ .....ඌට දැන් අක්කව බදින්න බෑ කියන නිසා අක්කා ඌව බලෙන් බදින්න කැමති නෑ.. ....මිනිහගෙ අකමැත්තෙන් කසාද බැදලා වැඩක් නෑලු.....ජීවිත කාලෙම හිත හොදින් ඉන්න ලැබෙන එකක් නෑ කියන්නේ. ...." පාලද කීය.


"ඉතිං ...හරි වැඩේනේ, දැන් මොකද අපි කරන්නේ...මම නිසා සුනිලට හරි කරදරයක් නේ වුනේ...."


"අපට තියෙන ප‍්‍රශ්නය අපේ නෑදෑයන්ට ගමේ මිනිස්සුන්ට මුණ දෙන්න බැරි එක.....මෙහෙම සුමාන දෙකක් තියලා මගුල නැවැත්තුවා කිව්වහම ගමේ මිනිස්සු මොනව නොකියය්ද..?..‘‘


"සුනිලා මොනවද තව කියන්නේ...?


‘‘ඒකි කියනවා ....ගිය සුමානෙ මහත්තයා ගමේ ආපු වෙලේ කිව්වලූ මහත්තයා ඒකිව කසාද බඳින්න කැමතියි කියලා.... ඒකි මහත්තයාට කැමතියිලූ.....මහත්තයාගේ දරුවත් හදන් මහත්තයාව කසාද බැදලා කොළඹ යන්න ඒකී කැමතියි කියන්නේ.....මහත්තයා නංගිට අකමැති උනත් ගුනේව නම් නංගි කසාද බදින්නෙ නෑලු....බැදලා දෙන්නට කවදාවත් හොදින් ඉන්න බැරි වෙයිලු... ‘‘


මගේ හිස ගිනි ගත්තේ ය. මට ගුණදාසගෙ වචන අදහා ගැනීමට නොහැකි විය. එය අසා මගේ හිත සතුටින් පිරුනත් ....ඒ සමගම ජයන්තිගෙ ගෙදර අයට ගිය සෙනසුරාදා දුන් පොරොන්දුව මතක් වී ඔලුව කරකැවෙන්න ගත්තේය.....මට කිසි දෙයක් සිතා ගැනීමට නොහැකි විය.


‘‘ඇත්තටම ගුණදාස අපේ ගෙවල්වලින් මට ආයෙත් කසාඳයක් කරල දෙන්න හදන නිසා තමයි මම ගිය බදාදා ගමේ ගිහින් සුනිලට මගේ හිතේ තිබුන දේ කිව්වේ....ඇත්තටම මම ගිය සුමානෙ ගමේ ගියෙත් සුනිලා හම්බවෙන්න තමයි ....ඒත් සුනිලා ලගදි කසාද බදිනවා කිව්ව නිසා....මම ඒ අදහස අත් ඇරලා දාලා ඇවිත්, ගිය සෙනසුරාදා ගෙදරින් කතා කරපු කෙනාට කැමති උනානේ....දැන් මොකද කරන්නේ...අපිව ලගදිම බන්දලා දාන්න තාත්තා නැකත් බලන්න ගියා....."


"අනේ මහත්තයා අපි ලොකු අමාරුවක වැටුනේ...ඒකි එක පැත්තකින් ගුනේට කැමති නෑ...අනිත් පැත්තෙන් ගුනේ ඒකිට කැමැති නෑ... එහෙව් එකේ මේ මගුල කරලා වැඩක් නෑනෙ... නංගිට ඒ මිනිහා එක්ක ගිහින් ඉන්න බැරි වෙයි.....මහත්තයා කල්පනා කරලා බලලා උත්තරයක් දෙන්න..."


"මාර වැඩේනේ උනේ....එදා මම සුනිලට කැමතියි කියපු වෙලේ...සුනිලා හිටියේ ගුනේට කැමති විදිහට...ඒ වෙලේ නිකමට හරි කිව්වනම්, මට එයා කැමතියි කියලා ...මම ගිය සෙනසුරාදා අර මට බලපු මණමාලි බලන්න යන්නෙත් නෑ...එයාට කැමති වෙන්නෙත් නෑ..."


"ඒකනේ මහත්තයා ...මේකි අපි ඔක්කොම අමාරුවේ දැම්මා...මහත්තය ගමේ ඇවිත් ගිය එක ආරංචි වෙලා ගුනේ නංගිට බැනපු එකට තමයි නංගි වැඩියෙම ගුනේ කසාද බදින්න අකමැති ...මහත්තයා දැන් අර පවුලට පොරොදුවක් උනානම් ඒකත් කඩන එක හොද නෑනේ..."


‘‘මොකටද බොරු කියන්නෙ මහත්තයා. අපේ එකී තාම පොඩි කෙල්ලක්.... මහත්තයා කසාඳ බැඳල දරුවෙකුත් ඉන්න කෙනෙක් ... තාත්තයි, අපෙයි ඒ තරම් කැමැත්තක් තිබුනෙ නෑ නංගි මහත්තයාව කසාඳ බඳිනවට..... ඒ උනාට ඒකි බඳින්න හිටපු ගුණේට නංගි ගැන සැකයි... මහත්තයා නිසා.. ... ගුණේ දැන් ඒකිව හිතෙන් අත ඇරල ඇති.... ඉතිං කොහොමද ඒකි ගුණේ එක්ක ගිහින් පවුල් කන්නේ...... ඒ හින්දා තාත්තයි, අපියි කතා වෙලා, කැමති වුනේ... මහත්තයා කැමති නම් නංගිව මහත්තයාට බන්දලා දෙන්න.‘‘


‘‘මං සුනිලට හරි කැමත්තෙන් හිටියේ... මං සුනිලව කසාඳ බැඳල කොළඹ එක්ක එන්න කොච්චර ආසාවෙන්ද හිටියේ....ඒත් අපේ ගෙවල් වල මිනිස්සු මට කරපු යෝජනාව මමම ගිය සෙනසුරාදා ස්තිර කලානේ....මම කොහොමද අපේ ගෙදර මිනිස්සුන්ට දැන් ජයන්තිව බදින්න බෑ කියන්නේ...."


මම දෙලොවක් අතර අතරමං වී ඇත...මම මොනවද දැන් මේකට කරන්නේ...? මට හිතා ගැනිමට බෑ මම මොනවද කල යුත්තේ කියා....


"ගුනදාස...මේවා මෙහෙම කතා කරන්න බෑනේ...අපි අපේ බෝඩිමට යමු...මගේ යාළුවා සෝමේ...එදා මාත් එක්ක ගමේ ආවේ...මම එයත් එක්කත් ටිකක් කතා කරලා මොනවද ඉස්සරහට කරන්න පුලුවන් කියලා, ගුණදාසලාට අදම කියන්නම්...."


"අපිට හිස් අතින් ආයෙත් ගමේ යන්න බෑ මහත්තයා ...එහෙනම් අපි අද රෑට මහත්තයාලා ඉන්න තැන නවතින්නම්..."


"ඔව්...ඒක හොදයි...එහෙනම් අපි දැන් ගෙදර යමු... මම ආයෙත් කන්තෝරුවට ගිහින් වැඩ ඇරිලා එනකම් ගුණදාසලා අපේ බෝඩිමේ ඉන්න..."


මම ඔවුන් දෙදෙනා කැදවා ගොස් අපේ බෝඩිමේ නවත්වා, නැවත කන්තෝරුවට ගියේ සෝමේ හොයාගෙනය. මගේ ඔලුව ගිනිගෙන දැවෙන ගානය...මට මොනවද කරන්නේ කියා සිතා ගැනිමට නොහැක.


"සෝමේ...පොඩ්ඩක් එළියට වරෙන්කෝ....මාර පටලැවිල්ලක මම ඉන්නේ...උබ එක්ක කතා කරන්න ඕනේ...පල්ලෙහා කැන්ටිමට යමු තේ එකක් බොන්න..."


"මේ ,වෙලේ...දැන් මම බත් කෑවේ.."


"වරෙන් බං යන්න...ලෝක අමාරුවක මම වැටිලා ඉන්නේ...උබ එක්ක ටිකක් කතා කරන්න ඕනේ..."


"එහෙනම් යං....දැන් මොකද වෙලා තියෙන්නේ....."


"සුනිලගෙ අය්යයි මල්ලියි මාව හොයාගෙන ආවනේ..."


"කවද්ද..?


"අද...මම දවල්ට කන්න ඇරන් දීලා...අපේ බෝඩිමට බස්සලා ආවා...හෙට උදේ යන්න කිව්වා..."


"දැන් මොකටද ඇවිත් තියෙන්නේ...?


"සුනිලා...."


"ඉතිං...?


"අර ගුනේව කසාද බදින්න බෑ කියලා ....මම ගමේ ගිහින් සුනිලාගෙ ගෙදර නැවතිලා ආව එක ගුනේට ආරංචි වෙලා ඌ සුනිලට හොදටම බැනලා, ගහන්නත් ගිහින් ....ඒ මදිවට ඌට සුනිලව කසාද බදින්න බෑ කියලා මගුල අත් ඇරලා.....දැන් මගුලට ගමේ නෑදෑයින්ට බුලත් දීලාත් ඉවර නිසා, ජුවානිස්ලාට ලැජ්ජාවෙ මොනවද කරන්නෙ කියලා හිතාගන්න බැරුව ඉන්නේ.. ...සුනිලගෙ මගුල කැඩුන නිසා... ඒක මම නිසා උනේ හින්දා...මමත් මේකට වග කියන්න ඕනනේ...."


"හරි වැඩේ....ගුනේට මොනවද උබ ගැන ආරංචි වෙලා තියෙන්නේ....උබ එදා ගිය වෙලේ ඒකිට කරදරයක්වත් කලාද?


"එහෙම එකක් නෑ බං...ඒකි කොහොමත් මට කැමැත්තෙන්නේ හිටියේ...ඒක ගුනේට තේරිලා...ගුනේට ආරංචි වෙලා මම එහෙ ඇවිත් නැවතිලා ඉදලා ගියා කියලා...ඒකට ඌට කේන්ති ගිහින් කසාදේ කරන්න බෑ කියල තියෙන්නේ ....ඒ පාර සුනිලාත් ගුනේට කැමති නෑ කියලා ජුවානිස්ලට කියලා .... මාව නම් බදින්න කැමතියි කියලා ......

"

"ඉතිං ...?


"ඉතිං...දැන් මොකද කරන්නේ...?


"දැන් සෙනසුරාදා ජයන්තිට පොරොන්දු වෙලා, වැඩිහිටියන්ටත් කියලා නේද ආවේ, නැකත් හදන්න භාර දීලා....?


"ඔව්...ඒකනේ ප්‍රශ්නය ...මම දැන් කොහොමද ගෙදර අයට කියන්නේ මට ජයන්ති බදින්න් බෑ කියලා ...අනේ සෝමේ මට මේකට උත්තරයක් හොයලා දීපන්කෝ...?


"අනේ මංදා...මගේ ඔලුවත් අවුල් උනා...උබ නම් පබ ගාලක පැටලැවිලා ඉන්නේ....උබ මාවත් ඒකට පටලවගන්න හදන්නේ... දැන් උබ කියපන් මට උබ ජයන්ති අමතක කරලා සුනිලා කසාද බදින්න කැමතිද කියලා ...?


"ඔව්...මම සුනිලට කැමතියි .."


"එහෙනම් උබ...අක්කලාගෙ ගෙදර ගිහින් අක්කට කියපං...උබ ජයන්ති බදින්න කැමති නෑ... සුනිලව කසාද බදින්න කැමතියි කියලා ...."


"අක්කා...මාව කයි...උබ හිතන තරම් ලේසියිනේ ඒක කියන්න බෑ...අපේ තාත්තා , මාළිගෙ අම්මලා, ජයන්තිගෙ අම්මලා තාත්තලාට මම කොහොමද දැන් මුණ දෙන්නේ...."


"ඔව්...සමහර විට උබේ බෙල්ල කඩයි, ඔක්කොමලා එකතු වෙලා.....ඒ උනාට මේක විසදන්න පුලුවන් විදිහ ඕක තමයි ..."


"මට බයයි සෝමේ අක්කට කියන්න...."


"මෙහෙම කරමු...අපි දැන් නිවාඩුවක් දාලා කෙලින්ම අක්කලාගෙ ගෙදර ගිහින් මේක අක්කට කියලා ...මේකට විසදුමක් අහමු....එයාට තමයි මේකට විසදුමක් දෙන්න පුලුවන් හොදම කෙනා..."


"අක්කා අකමැති උනොත්...?


"අනිවාර්‍ය්යෙන්ම අකමැති වෙනවා...මොකද ගිය සෙනසුරාදා ජයන්තිලගෙ ගෙදර ගිහින්, ඒ කට්ටියට කැමති වෙලා, සුමානෙකින් කොහොමද ආයෙත් කියන්නේ දැන් ඒ මගුලට කැමති නෑ කියලා ....උබ කොහොම වෙතත් ..උබේ ගෙදර මිනිස්සු කොහොමද රෙද්දක් ඇදගෙන දැන් ඒකට බෑ කියන්නේ ..."


" එහෙනම් උබ කියපන්කෝ, මම මොනවද දැන් කරන්න ඕනෙ කියලා ..මට මුකුත් තේරෙන්නෙ නෑ......"


" මට හිතෙන්නේ...සුනිලා අමතක කරලා ..ජයන්ති බැදපං... උබ උබේ පැත්තෙ නෑදෑයෝ ගැන බලපං...උබේ ලමයත් අක්කා ගාව හැදෙන්නේ...අක්කා අකමැති දෙයක් කරලා කොහොමද උබ ජිවත් වෙන්නේ ...අක්කා කොහොමද ජයන්තිගෙ ගෙදර කට්ටියට මුහුන දෙන්නේ...අක්කා අකමැති දෙයක් කලොත් අක්කා අනිවාර්යයෙන්ම ළමයා බලාගන්න එක නවත්වනවා...උබේ තාත්තා බෙන්තර ගගෙන් එහා එකෙක්....සුනිලා කසාද බැදලා උබට යහතින් ඉන්න හම්බවෙන්නෑ....උබේ නෑදෑයෝ අර කැලේ යන්න කැමති වෙන්නෙත් නෑ....උබට රස්සාව ගෙවල් දොරවල්, නෑදෑයෝ ඔක්කොම අමතක කරලා , අර කැලේට වෙලා සුනිලා එක්ක කැලේම ඉන්න වෙන්නේ.....ඒ විතරක්ද, මාළිගෙ ජයන්තිගෙ දේපළ ...ඒ ඔක්කොම නැතුව උබට පාරට බහින්න වෙනවා මොන අපරාදයක්ද...මොන ගොංබූරු වැඩක්ද ඒ....මාළිගෙ කොහොම වෙතත් උබේ තාත්තගෙ දේපළත් උබේ අක්කම අයිති කරගනියි.....උබට හුළං තමයි සුනිලා බැන්දොත්.....අර ගුණදාසලා අද ගෙදර ඇරපන්....සුනිලා තාම තරුනයි...ඒකිට වෙන කොල්ලෙක් පස්සෙ බැදගන්න පුලුවන් ...උබ ජයන්ති බැදගෙන ළමයත් හදාගෙන සතුටින් සැපෙන් හිටපං...ඒ දේපළ වලට පයින් ගහන්න එපා...අපටත් දෙය්යනේ කියලා අතමාරුවක් ඉල්ල ගන්න පුලුවන් තැනකින් කසාදය කර ගනින්..."


-ඉරිදට හමුවෙමු -


*ප්‍රිසිලා ගොඩහේවා *

3 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comentarios


bottom of page