top of page
  • Writer's picturePrisila Godahewa

💞බැද්දේ කුමරිය 💞

💞 බැද්දේ කුමරිය 💞 බැද්දේ කුමරිය

(26 වෙනි කොටස)

"අන්න මං සුනිලලාට තෑගි වගයක් ගෙනත් ඇති ඇරල බලන්නකෝ.... මං අර කනප්පුව උඩ බෑග් ටික තිබ්බා.‘‘


‘‘ආනේ....අය්යා අපට තෑගිත් ගෙනාවද....?.‘‘


"සුනිලා මට කරපු උදව්වලට මම කොහොම සලකන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ....."


"ඕවා මොනවද...මම අය්යගෙ බබා බලාගත්තේ හරි කැමැත්තෙන් ..."


‘‘අන්න මං පාලටත් ෂර්ට් එකකුයි සරමකුයි ගෙනාවා....‘‘


‘‘ඇත්තද මහත්තයා. බොහොම ස්තූතියි...."


"මහත්තයාලා ඇගපත හෝදගෙන ආවනම්....රෑවෙන්න ඉස්සර පොඩි අක්කා මොනව හරි, කන්න රත් කරලා ගනී...."


"කෝකටත් කියලා , එනකොට අපි දෙන්නා, සරමක් කමිසයක් බෑග් එකේ දාගෙන ආවා....ඒක හොදට ගියා...එහෙනම් අපි ඇගපත හෝදගෙන එන්නම් ..."


සෝමෙත් මමත් බෙලිමල් වතුර බී සුනිලාගෙ ගෙදර පිටුපස ඇති වතුර පීල්ලට ගොස්, කතා කරමින් සීතල වතුර නා ගත්තෙමු.


"මම උබට කිව්වේ ....සුනිලා බැදල ඇති කියලා ...එන මාසේ ඒකිගෙ මගුල....දැන් ඉතිං කරන්න දෙයක් නෑ....උබේ වෙලාව....ඒක තමයි කියන්නේ අපායට උනත් වේලාසන යන්න ඕනේ කියලා ....පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා....උබ නැකත් බැලුවනේ ඒකිට කැමතියි කියන්න...ඒකයි මේ ඔක්කොම ..."


"උබම කියපං සෝමේ....ගෑනි මැරිච්ච ගමන් මම, කොහොමද වෙන ගෑනියෙක්ට කැමතියි, ආදරෙයි කියන්නේ....සදාචාරය කියලත් දෙයකුත් තියෙනවානේ....උබලා කවුරුත් ඒක තේරුම් ගන්නෙ නෑනේ....උබ හිතන්නේ මගෙ කොන්ද පන නෑ කියලා ..."


"ඔය දැන් වෙලා තියෙන්නේ ...සදාචාරය ...දැන් ඉතිං එන සෙනසුරාදා කළුතර ගිහින්... අර සක්කරවට්ටමට වත් කැමතියි කියපං....නැත්තම් ඒ ගෑනිවත් වෙන මිනිහෙක්ට බන්දලා දෙයි...ඒ ගෑනි බැන්දොත් නම් උබට වරදින්නෑ..."


"අනේ මන්දා...මගේ වෙලාව නම් අන්තිම නරකයි...කරුමෙ කියන්නේ මේකට වෙන්න ඇති....."


"වෙලාව, කරුමෙ නෙමේ...උබ ඉල්ලන් කාලා තියෙන්නේ...කොන්ද පන නැතුව වැඩ කරාම ඔහොම තමයි වෙන්නේ..."


"උබත් මට බනිනනවා....හිත හැදෙන්න හරි දෙයක් කියපංකෝ..."


"දැන් මොනව හදන්නද....නාලා ඉවරනම් යං......මාව වෙව්ලනවා සීතලේ..."


අපි නාගෙන කරගෙන ගෙවල් පැත්තට යන විට, ජුවානිස් අප්පුහාමි ගෙදර විත් හාන්සි පුටුවේ වාඩිවී මොනවද බොමින් සිටියේය.....ඔහුත් බෙලිමල් වතුර බොනවා වෙන්නට ඇත....


"ආ....කොහෙමෙයි මහත්තයා ....මේ ළමයි කිව්වා මහත්තයාලා ආවා කියලා ...ඉතිං, ඉතිං කොහොමෙයි මහත්තයා කොළඹ තොරතුරු .....?


කොළඹින් එන විට මගේ හිතේ තිබුණ බලාපොරොත්තුව ,ආසාව, සතුට දැන් දිය වී ගොස් ඇත. සුනිලා කසාඳ බඳින්න යන බව දැනගත් පසු මට මම ගැනම දුක සිති ඇත..... මට මගේ ජීවිතයට ගෑණු ළමයෙක් ගැන ආදර හැඟීමක් ඇති වුණා නම් ඒ සුනිලා ගැන විතරමයි.... ඒත් එය, ඇයට කීමට කල්බලමින් ඉද මං පැරදි ඇත.... ඇය ලබා ගැනීමට අවස්ථාව හොදින්ම ලැබිලා තිබියදීත් මගේ පරක්කුව නිසා , දැන් ඇය වෙන කෙනෙකුගේ බිරිඳක් වෙන්න ලෑස්ති වෙමින් හිදී..... අක්කා ගැන දරුවා ගැන ,හොද නරක බල බල ඉන්නේ නැතුව, මම මගේ කැමැත්ත, ආදරය සුනිලාට පවසා තිබුනා නම්, අද ඇය මට මගේ කරගන්නට තිබුනි.....මට මං ගැනම ඇතිවෙන්නේ කේන්තියකි.


‘‘අපි මහත්තයාලගෙ ගෙදර එන්නමයි හිටියේ..... අපේ මේ පොඩි කෙල්ලගේ මඟුල් ගෙදර කියන්න.... මහත්තයා ආපු එක හොඳයි... මට දැන් මහත්තයාලට බුලත් දෙන්න පුළුවන් මෙහෙදීම.....‘‘


සුනිලා ඉස්සර වගේ මා සමඟ වැඩි කතා බහකට නොපැමිණියාය. ඇය කුස්සියට වී අපට කන්න රෑට උයනවා ඇති..... ඇය ඉස්සර හිටියාට වඩා වෙනස් වී කතාබහ අඩුවි ඇත.... ඇයි දුකෙන් වගේ ඉදී.... ඇය ඇගේ විවාහය ගැන ද මා සමඟ නොපැවසුවාය.


කලුවර වැටිගෙන එනකොට ,ගෙදර ඉස්තෝප්පුවේ, වහලේ කොනක පැට්ට්‍රල් මැක්ස් ලාම්පුවක පත්තු කර එල්ලුවේ සුනිලාගෙ මල්ලි පාලයි. එහි එළියෙන් ඉස්තෝප්පුව හොදින් එළිය වී, මිදුලටද එළිය වැටි ඇත...මිදුලේ ඈත තියෙන මහ ගස්වල රැහැයන්ගේ සද්දය, ගෙම්බන් ,කෘමීන්ගේ සද්දය පරිසරයේ නිහඩ බව බිදියි. ඈත ගහක බකමූනෝ දෙදෙනෙක් තරගෙට හූම්...කියයි. අවට ඇත්තේ ඇගට සනීප සීතලකී..... ජුවානිස් ඇගපත සෝදා ගන්නට ගොස්‍ ඇත. "පාල" සුනිලාට, රෑට කෑම උයන්න උදව් කරන්න කුස්සියට ගොස් ඇත....


සෝමේ ඉස්තෝප්පුවේ හාන්සි පුටුවක වාඩිවී ඇස්පියාන ගිමන් හරියි. කොළඹ හැදි වැඩුන සෝමේට ගම් පලාත්වල ඇවිද, මහන්සි වි පුරුද්දක් නැත. ඔවුන්ගේ දෙමව්පියන් කොළඹ පදිංචියට ගොස් ඇත්තේ ඔහු බොහෝ පොඩි කාලයේමය. දැන් ඔහුගෙ පියා වෙන ගෑනු කෙනෙක් එක්ක පවුල් කන අතර අම්මා ඔහුගේ බාප්පා සමග පවුල් කයි. සෝමේ මා සමග බෝඩිමේ නැවති ඉදමින් ගෙදර වියදමට මුදලක් අම්මා අතට දෙන බව මම දනිමි. ඒ ඔහුගෙ නංගිලා මල්ලිලාගෙ වියදමටය. ඔහු ගෙදර නැවති සිටින්නට කැමති නැත්තේ...බාප්පා ගෙදර ඉන්නා නිසයි.


සුනිලා තාම කුස්සියේ උයයි....පාල, සුනිලාට පොල් ගා දෙමින් සිටිනවා මා දුටුවේ...කුස්සියට වතුර එකක් බොන්න ගිය අවස්තාවේදිය. මොනවා උනත් මේ සහෝදර සහෝදරියන්ගෙ ඇති එකමුතු කම ගැන මට ඇත්තේ ලොකු සතුටකි.


"මහත්තයා අපි රා උගුරක් බොමුද..."?


පාල රා කාලයක් ඉස්තොප්පුවට ගෙන ආවේ උයපු ඌරු මස් හා තම්බපු රතු අල වර්ගයක් එක්කය.


"ආ...රා...මම බීලම නෑ... අහල තිබුන විතරයි .... අපූරුයිනේ....පාල....කොහෙන්ද මේවා...."


රා බොමු කියන වචනය ඇසුනු සැනින් සෝමේ හාන්සි පුටුවේ කෙලින් වී වාඩි ගත්තේ සතුටින් ඉපිලෙමින්‍ ය.


"අපේ වත්තෙ ඒවා...අපි හකුරු හදන්න, මල් කපන ඒවා...හොදට පැහිලා...සුමල් මහත්තයා බොන්නෙ නෑ කියලා අපේ අක්කා කිව්වා..."


"ඔව්...පාල මම සුරාමේරයට කැමති නෑ...මම අල කෑල්ලක් එක්ක මස් කෑල්ලක් කන්නම්....කෝ තාත්තා පාල...?"


"තාත්තා කුස්සියේ ..පොඩි අක්කට රෑට උයන්න උදව් කරනවා...තාත්තා අපිත් එක්ක එකට බොන්න කැමති නෑ...ඒකයි ඔය මග ඇරලා ඉන්නේ..."


"අද පාල හේනට පැල් රකින්න යන්නැද්ද...?


"මහත්තයාලා ආව නිසා ,තාත්තා මට අද ගෙදර නවතින්න කිව්වා ...ලොකු අය්යට පනිවිඩය ඇරියා, අද රෑට පැල් රකින්න යන්න කියලා ..."


සෝමේ හා පාල රා බොන්නේ....කොළඹ රටේ විස්තර කතා කරමින් ය. මමද ඒවාට උත්තර දෙමින් සිටියත්, මගේ සිහිය ඇත්තේ සුනිලාගෙ මගුල ගැනය..


ටික වේලාවකට පසු , ජුවානිස් ඉස්තෝප්පුවේ හාන්සි පුටුවට ඇවිත් වාඩි විය.


"ඉතිං මහත්තයා ... අපේ කෙල්ලගෙ මගුලට එනවනේද?කොළඹ නෝනලා මහත්තයාලා මගුලට එනව නම් ගමේ මිනිස්සුත් කැමති වෙයි..."


ජුවානිස් තොරතෝංචියක් නැතුව මා සමඟ සුනිලාගෙ මගුලෙ විස්තර,ගමේ තොරතුරු කියයි. කොළඹ විස්තර අහයි. ජුවානිස් ඉන්නෙ සතුටිනි. ඒ සුනිලා ඉක්මනට විවාහ කරදීමට ලැබෙන නිසා වෙන්නට ඇත.


‘‘අයියා රෑ කෑම නම් ලෑස්තියි.‘‘

සුනිලා කුප්පි ලාම්පුවත් රැුගෙන සාලයට විත් අපට රෑ කෑමට ආරාධනා කළාය.


‘‘යං එහෙනම් දවාලටත් හරියට කන්න බැරි වුණානේ.‘‘ සෝමේ කීවේ මට ඉස්සර පුටුවෙන් නැගිටමින් ය.


සෝමෙත් මමත් ජුවානිස් සමඟ ගොස් කෑම මේසයෙන් වාඩිවි බත් කන්නට පටන් ගත්තෙමු.....පාල හා සුනිලා අප ලඟට වෙලා අපට එළවලූ, මාළු බෙදයි. පාල රා බී වෙරි උන ගතියක් පෙනෙයි....ඔහු වැඩිපුර හිනහෙමින් කතා කරයි....අනවශ්‍ය ලෙස අපට හොදි මාළු බෙදයි....සුනිලාට ඒ ගැන ඇත්තේ කේන්තියක් බව අපට පෙනේ....ඇගේ මූණ කොහොමත් මැල වී ඇත. ඉස්සර කෝපි මලක් සේ නැවුම්ව නිතර ම හිනැහෙන ඇගේ මූණේ කිසිම ප‍්‍රාණවත් බවක්, සතුටක් දක්නට නැත. ඇය වෙනස් වී ඇත. ඇය දුකෙන් සිටිනවා යැයි මට සිතේ....


"‘ඇයි සුනිලා අසනීපෙන් වගේ.... වෙනදා වගේ මූණේ හිනාවක්වත් නෑනේ. ...සුනිලා ලඟ දී මණමාලියක් වෙන්න ඉන්නෙ කියල මේ ජුවානිස් කිව්වේ....අපිත් එන්නම් මඟුල් ගෙදර.... මොනවහරි කොළඹින් ගෙන්න ගන්න තියෙනවානම් අපට කියන්න මං ගෙනත් දෙන්නම්.‘‘ සෝමේ ඉතා ලෙන්ගතුව සුනිලා සමග කතා කරයි.


‘‘අනේ මහත්තයා කරදර වෙන්න එපා. අපි එතරම් ලොකුවට මඟුල් ගෙය ගන්නෙ නෑ. චාරිත‍්‍ර වාරිත‍්‍ර ටික කරල ගමේ ඈයන්ට කන්න ටිකක් දෙනව එච්චරයි.‘‘


ජුවානිස් කතා කළත් සුනිලා එයට උත්තර නොදී කතා බහක් නැතුවම අපට මාළු පිනි බෙදයි.


"කෑම ටික නම් පංකාදු පහයි...මම දන්නෑනෙ මෙච්චර රසට සුනිලා නංගිට උයන්න පුලුවන් කියලා...මේ මොනද මේ දීසියේ තියෙන්නේ....?


"මේ කදන් හතු මාලුව, මේ දෙල්කොස් මාලුව, මේ ගොටුකොළ සම්බෝලය....මේවා මේ කෙල්ල නාන්න ගිය වෙලේ කැලෙන් කඩාගෙන ආව ඒවා...මේ වල් ඌරු මස් නම් අද දවල් උයපු එකක්...දවසක් විතර මස් එක උයල පරන උනාම තමයි ,මස් බොරය රස...."


"හරිම රසයි කෑම ටික. "


‘‘ඇයි සුනිලා කතා නැත්තේ...කසාද බදින්න යන නිසා ආඩම්බරයෙන්ද ?.‘‘


‘‘නිකං අයියා... මං නම් මෙච්චර ඉක්මණට කසාඳ බඳින්න ආස නෑ. මේ අපේ මල්ලිට එයාගෙ ගෑණි මේ ගෙදරට එක්ක එන්න හදිස්සියනේ...ඒකයි. මාව බන්දල දෙන්න හදන්නේ.... මේ ගොල්ලෝ හැමෝගෙම කරදරයට තමයි මං, කසාඳ බඳින්නම් කිව්වේ.‘‘


‘‘දැන් ඉතිං සුනිලගෙ වයසත් හරිනේ. ගෙදර අය ඔයාගෙ හොඳටනේ කසාඳ බන්දලා දෙන්න හදන්නේ.‘‘

මම වෙනුවට සෝමේ කතා කරයි...එයට පිලිතුරු නොදී ...සුනිලා මා සමඟවත් කතා නැතිව ගේ ඇතුළට ගියේ තරහින් වගේය.


"අප්පේ.... බඩ, කට, හිත ඔක්කොම පිරෙන්න ඇතිවෙන්න කෑවා....සෝමේ බඩ අතගාමින් ඉස්තෝප්පුවෙන් එලියට බැස්සේ...බඩ ටිකක් අඩුකරගන්න ඇවිදින්න හිතාගෙන වෙන්නැති ....මමත් ඔහු සමග මිදුලේ එහෙට මෙහෙට ඇවිද්දෙමි.


"සුමල් ...දැන් උබ පරක්කු වැඩියි....මගුලට බුලත් බෙදලත් ඉවරයි. උබ දැන් හිතේ තියෙන ඒවා, සුනිලට නොකියා සද්ද නැතුව ඉදිං...කරන්න දෙයක් නෑ...උබේ වෙලාව හොදයි මම හිතන්නේ....උබට මේ කැලේ හරියන්නෙ නෑ...අර අක්කා ජෝඩු කරපු ජයන්ති කසාද බැදලා , දරුවත් හදාගෙන සතුටින් ඉදපං...."


"මට දුකයි බං...

අපේ අක්කා නිසා තමයි මේ ඔක්කොම..

මාළි මැරුන දවසේ ඉදන් මාව ජයන්තිට දෙන්න අක්කා ලෑස්ති උන නිසයි මෙහෙම උනේ...සුනිලව ගෙදර එවල තියෙන්නෙත් අක්කනේ....සුනිලා එක්ක අක්කා නිතර ජයන්ති ගැන කියලා තියෙනවා ,ඒකයි සුනිලා මේ මගුල කරගන්න හදන්නේ...."


"දැන් ඕවා අතැරලා දාපං...හෙට උදේ පාන්දර අපි යමු....අද දවසේ කන්තෝරුවෙන් ගත්ත නිවාඩුවට හරි යන්න රසට පැලෙන්න කෑවා...ඒක තමයි වෙච්ච හොදදේ..."


"යමු නිදාගන්න ...සීතල වතුර නාලා රසට කෑව නිසා දැන් හරි නිදිමතයි..."


"මහත්තයා කාමරය ලෑස්තියි...නිදාගන්න. කාමරයේ එක ඇදයි තියෙන්නේ...මම බූරු ඇදකුත් දැම්මා ඒ කාමරයටම...දැන් දෙන්නටම ඒ කාමරයේ නිදා ගන්න පුලුවන් ..

"

"මම මේ ඉස්තෝප්පුවේ නිදාගන්නේ...මහත්තයාලට මොනව හරි ඕන උනොත් මට කතා කරන්න ..."


පාල තව බූරු ඇදක් ගෙනවිත් ඉස්තෝප්පු කාමරය ඉස්සරහින් දිග ඇර රෙද්දක් කොට්ටයක් එයට දමා ගෙන එහි ඇල විය.


"එහෙනම් අපිත් නිදාගන්න යමු...."

ජුවානිස් ඇඳි පුටුවේ ඈනුම් අරිමින් නිදි කිරා වැටේ....පසුව ඔහු පුටුවේ කෙලින් වි පාලට කතා කලේය.


‘‘පුතේ මේ මහත්තයාට එහෙනම් කාමරය ලෑස්ති කරල දෙන්න.... මට නිදිමතයි දවල් දවසේ මහන්සි වෙලා.‘‘


"කාමරය ලෑස්තියි තාත්තේ..."


‘‘මහත්තයාලා එහෙනම් ඉස්සරහ කාමරයෙ නිදාගන්න.... පාල පුතා, කාමරය ලෑස්ති කරල ඇති... එහෙනම් මහත්තයා මං නිදගන්න යනවා.‘‘


අපිත් පුටුවෙන් නැගිට අපට නිදාගන්න ලෑස්ති කරපු කාමරයට ගියෙමු..... මීට වසරකට පමන පෙර, මම මහ රෑ කැලේ අතරමං වී ආදා.... මට සුනිලා නිදාගන්න ලෑස්ති කරදුන් කාමරයම, අද ද අපට නිදාගන්න ලෑස්ති කර ඇත. කාමරය තවමත් එදා මෙන් ම ය. වෙනසකට ඇත්තේ ඒ තුල සෝමෙට නිදාගන්න බූරු ඇදක් ගෙනත් තබා තිබීම පමනි.


මම මීට වසරකට උඩ දී මෙහි නිදාගන්න ගිය වේලේ හිතට දැනුණු හැඟීම, සතුට සුනිලාගෙ සුන්දරත්වය විදි මොහොත.... මතක් වී මට දුක සිතිනි. එදින මා සුනිලා දැක හිතින් උදම් වී සතුටින් සිටි හැටි, මට මුල්ම වරට ඇය ගැන ආදරයක් ආශාවක් ඇතිවුන හැට්.....ඉන් පසු සුනිලා හමුවුන හැම දවසකම මගේ හිත සතුටින් පිරුන හැටි....ඇය ගැන හිතේ බලාපොරොත්තු තියාන ගෙවුණු වසරක කාලය....අදින් අවසන් කිරීමට සිදුවි ඇත... අද සුනිලා විවාහ වීමට යන ආරංචිය ඇසී මගේ හිත දුකෙන් පිරී හදවත රිදුම් දෙන්නට පටන් ගෙන ඇත.


මෙපමණ කාලයක් සුනිලා ගැන හිතේ තියාන සිටි කැමැත්ත ,අක්කා මාව ජයන්තිට බන්දා දීමට සැරසෙද්දී ඉස්මතුවී ආවේ....ඇය ගැන හිතේ තිබුන කැමැත්ත,ආදරය නිසාමය.

පුතා ද දැන් ටිකෙන් ටික ලොකු වෙයි. සුනිලා මට කසාද බැදගන්නට ලැබුනා නම්, ඇයත් සමග පුතාවද මගේ ලග තියාගන්නට හැකිවෙනවා. ඒ ඇය පුතාට ආදරේ නිසා....නමුත් ජයන්ති කසාද බැන්දොත් මගේ දරුවා අක්කා ලගම හදාගන්නට දෙන්නට වෙනු ඇත. ඒ ජයන්ති අනුන්ගෙ දරුවෙක් හදාගන්නට එච්චර කැමති නැති නිසාය...


තාත්තා මට නැවත විවාහ වීමට, අක්කාගෙ අනුදැනුම මත ජයන්ති යෝජනා කල පසු.... මට මතක් වුණේ සුනිලාවය.

ඒ ඇගේ ගතිගුන, මම කැමති පෙනුම, ඇගේ ඇති ආදරනීය බව, මගේ දරුවාට දක්වන ආදරය නිසාය....


ජීවිතේ කිසිදිනක ආදර හැඟීමක් හිතට දැනි නොතිබුනු මට, මාළි විවාහ කර දුන්නෙ, අක්කගෙ හා නෑදෑයින්ගෙ කැමැත්තටය. ඔවුන් ඇයට කැමති වි තිබුනේ...ඇගේ දේපළ වලටය. නමුත් මා විවාහයෙන් පසු මාළිට නියම සැමියකු ලෙස ආදරයෙන් කරුණාවෙන් සැලකූවෙමි.


පසුව සුනිලා හමුවුන පසු ,මාගේ හිතට සුනිලා ගැන ඇති වුන හැඟීම මම හිත ඇතුළෙම සඟවා ගෙන අමතක කර දැම්මෙමි.... මා හට අවශ්‍ය වුණේ මාළි නොහොත් මාගේ නීත්‍යානුකූල බිරිඳට අවංක කෙනෙකු වීමටය. මා එය එසේම කළෙමි. ඇගේ හදිසි වියෝවින් පසු, නෑහිතමිතුරන් සියල්ලන්ගේ ම කැමැත්ත මට නැවත විවාහයකට ලැබී ඇත්තේ...මගෙ දරුවා ගැන සිතාය. ඒ අවස්තාවෙන් ප්‍රයෝජන ගෙන මම , සුනිලා මගේ ජීවිතයට සම්බන්ධ කරගන්නට හැදුවට, ඇය දැන් වෙන කෙනෙකුගෙ බිරිද වීමට සැරසේ....


මගේ දෙනෙතට හීන් කඳුලක් නැගි ආවේ මා ගැනම දුක සිතීය.


සෝමේ, බූරු ඇදේ රෙද්දක් පොරවාගෙන දැනටමත් නිදිය....ඔහු බාගෙට ගොරවයි... මට නින්ද අහලකටවත් නොඑයි....

කාමරය කුප්පි ලාම්පු එළියෙන් එළිය වි ඇත...

...මම දැන් එය නිවා දමා නිදාගත් යුතුයි.

මම කාමරයේ ඇඳේ ඇල වී ගෙන මා මීට අවුරුද්දකට පෙර මෙම කාමරයේ නිදාගත් විට සිදුවු දේ මෙනෙහි කළෙමි. මීට ප‍්‍රථම මෙම ගෙදර මා නැවතුන දවසේ සුනිලාගේ මූණේ තිබුණ සිරියාව, හිනාව, ආදර බැල්ම අද කිසිදෙයක් නැත. ඇය මට මූණ නොදී මඟ අරියි. කතා නොකරයි. ඇය ඇගේ අනාගත සැමියාට අවංක කෙනෙකු වීමට දැන්ම තියාම සැරසේ. මීට ප‍්‍රථම මා මෙහි නැවතුන දවසේ සුනිලා වතුර වීදුරුවක් රැගෙන කාමරයට ආ ආකාරය මට මැවී පෙනෙයි. මා මෙපමණ වේලාවක් බලා සිටියේ අද ද ඇය මේ කාමරයට ඒවි යැයි කියායි.... නමුත් මා දැන් මේ කාමරයට පැමිණ පැය භාගයක් ඉක්ම ගොස් ඇතැත් ඇය කාමරයට නොආවාය. මා කර උස්සාගෙන කාමරයේ දොර රෙද්ද අතරින් ඇය ඒදැයි බලා සිටියෙමි...

තවමත් මැද සාලයේ කුප්පි ලාම්පු එළියක් දිස්වේ.... සුනිලා තවම නිදි නැතුව ඇතැයි මට සිතේ.... මම ඇඳේ කෙලින් වී වාඩි වුනෙමි. මා මේස උඩ බැලූවේ අපට බීමට වතුර එකක් තිබේ දැයි කියායි..... නමුත් අද මේසේ උඩ වතුර එකක්ද නැත...එහි ඇත්තේ කුප්පි ලාම්පුව පමනි.... මලානික කුප්පි ලාම්පු එළිය නිසා,එහි විහිදෙන එලියෙන් අවට ඇති බඩුවල සෙවනැලි බිත්ති මත වැටී ඇත. කුප්පි ලාම්පුව වටා කුරුමිණියෙක් කර කැවී කැවී දගලයි....ඔහු ඒ එළියට ආසාවී ඒවටා කරකැවෙන්නේ ඒ දැල්ලෙන් පිච්චි යන්නටය.


මගේ මුවට වතුර පිපාසයක් දැනේ....ඊටත් වඩා සුනිලා දැක ගැනිමේ ආශාවක් ඇත. ඇය තවම නිදි නැති බව කුප්පි ලාම්පු එලියෙන් කියයි....


කුස්සියට ගොස් වතුර එකක් ඇගෙන් ඉල්ලා ගත යුතු යැයි, මට දැනුණු ක්ෂණික සිතිවිල්ලක් සමගම, මං ඇඳෙන් නැගිට කාමරයේ දොර ලඟට ගොස් දොර රෙද්ද මෑත් කර මැද සාලය දෙස බැලිමි. කිසිකෙනෙක් එහි නැත. ජුවානිස් බූරු ඇඳේ ඉඳ ගොරවන සද්දය විතරක් මුළු ගෙය පුරාම විහිදෙයි....පාල අපේ කාමරය ඉදිරිපිට බුරු ඇදේ නිදිය. මම හෙමිහිට , ඉස්තෝප්පුවේ ඇර තිබුන දොරෙන් ඇතුලට ගොස්, මැද සාලය හරහා ගොස් ගෙට අල්ලා තිබුණ කුස්සියට කර පොවා බැලීමි.... සුනිලා එහි කිසියම් කටයුත්තක් කරමින් මට පිටුපා සිටගෙන සිටි. ඇය මා මෙහි ආ බවක් නොදනී. ඇය උදේට, අපට කන්න යමක් රෑම ලෑස්ති කරන බවක් පෙනේ...


‘‘සුනිලා.‘‘ මා හෙමින් එළියට නෑසෙන සේ ඇයට කතා කළෙමි. ගැස්සී පිටුපස බැලූ ඇය පුදුමයෙන් මෙන් මා දෙස බලා,


‘‘ඇයි අයියේ... මොනවත් ඕනද?’’


‘‘මට වතුර එකක් දෙනවද රෑට නිදා ගන්න ගිහාම මට වතුර බොන්න ඕන වෙනවා.‘‘


‘‘අනේ.. මට අමතක වුණානේ අයියට වතුර එකක් තියන්න. ඉන්න අයියා මං දෙන්නම්.‘‘


‘‘සුනිලා ගොඩක් වෙනස් වෙලා ඉස්සර වගේ නෙමේ.... මාත් එක්ක තරහින් ද සුනිලා ඉන්නේ.‘‘


‘‘අනේ නෑ අයියා. මං මොකටද අයියා එක්ක තරහ වෙන්නේ.‘‘

සුනිලා සිනාසී මා අතට වතුර වීදුරුවක් දෙන ගමන් කීය.


‘‘මං මේ ගමන ආවේ සුනිලත් එක්ක විශේෂ දෙයක් කතා කරගන්න හිතලා..... ඒත් දැන් ඒ දේ කියන්න පරක්කු වැඩයි කියලා හිතෙනවා....‘‘


‘‘මොකද්ද අයියා විශේෂ දේ.‘‘ ඇය පුදුමයෙන් මෙන් ඇසීය.


‘‘ මම කියන්න ආපු දේ කිව්වා කියලා ,සුනිලා හිත කරදර කර ගන්න එපා....නිකමට තකහනියක් මෙහෙ ආපු නිසා, කියන්න ඕනේ කියලා හිතුනා...."


"මොකක්ද අය්යා ඒ....කියන්න මට දැනගන්නත් එක්ක..."


"අපේ තාත්තයි, අක්කයි මට ජයන්තිව විවාහ කරදෙන්න හදනවා.....ඒත් මම ජයන්තිට කැමති නෑ... කාලයක් සුනිලව ලඟින් දැන හඳුනගෙන තිබුණ නිසා මට හිතුනා සුනිල කැමති නම් මාව කසාද බදින්න ,මට ගෙදර අයගෙනුත් අහල සුනිලව කසාඳ බැඳලා කොළඹ එක්ක යන්න.‘‘


මම කිව් දෙය අසා ඇයගෙ මූණ එක පාරටම වෙනස් විය. කට ඇදවී, ඇහිබැම නැටවී ඇස් වලට කදුලු ආබවක් පෙනින...ඇය වහා අතකින් මුහුණ වසා ගෙන බිත්තිය පැත්තට හැරිණි.


‘‘ඇයි සුනිලා කතා නැත්තේ.‘‘ ඇය හෙමිහිට අඩන බව මට දැනින.


ඇය හිටි විදිහට ම ඉඳ ගෙන කතා කරන්න පටන් ගත්තේ නහය බර වුණු හඬකිනි.


‘‘දැන් අයියා පරක්කු වැඩියි. තාත්තලා මඟුල් තීන්දු කරවලා අහවරයි නේ....එන මාසේ මැද අපි බදිනවා...මගුලට එන අයට බුලත් දීලත් ඉවරයි ....‘‘


‘‘කමක් නෑ සුනිලා. සුනිලට හොඳ දෙයක් වෙනවනම් මාත් කැමතියි. පාල මට කිව්වා සුනිල බඳින්න යන කෙනා ගැන....‘‘


‘‘මගේ ලොකු කැමැත්තක් තිබුනේ නෑ එයාව බදින්න... තාත්තටයි, අයියයි අක්කටයි ඕන විදිහට තමයි හැමදෙයක් ම සිද්ධ වෙන්නෙ.... ඒ කෙනාගෙ ගතිගුණ නම් ගොඩක් හොදයි ..."


‘‘එහෙනම් කමක් නෑ. සුනිලා එයාව කසාඳ බැඳල හොඳින් ඉන්න. මගෙනුත් සුභ පැතුම්...හැබැයි මම පොඩි තෑග්ගක් ගෙනාවා...ඒක නම් එපා නොකියා ගන්න ඕනේ.....‘‘


"ඇයි අය්යා හවසත් මට ඇදුම් වගයක් තෑගි දුන්නනේ..."


"ඒවා නෙමේ...සල්ලි වගයක්...සුනිලා ඒ සල්ලි මගුලට ගන්න...එහෙම නැත්තම් පොතක දාලා තියාගන්න .."


බොහෝම ස්තුතියි.. අය්යා හිත හොදින් දෙන දේ මම ගන්නම්..."


"හෙට හමුවෙමු "


*ප්‍රිසිලා ගොඩහේවා *

9 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

コメント


bottom of page