top of page
  • Writer's picturePrisila Godahewa

💞බැද්දේ කුමරිය 💞

💞බැද්දේ කුමරිය 💞 බැද්දේ කුමරිය

(25 වෙනි කොටස )

සෝමේ සමග "රුවන්ගමට" බසයෙන් බසින විට දහවල් එකට පමණ කිට්ටු කර තිබුනි.


"මට නම් දැන් මාර බඩගිනියි...මොනව හරි නොකා මෙතනින් නම් එහාට කොහේවත් යන්න බෑ...සෝමේ කීය.


"මෙහෙ දවල්ට කන්න දෙයක් නෑ....කෝකටත් අර තේ කඩයට ගිහින් බලමු, මොනවද කන්න තියෙන්නේ කියලා ..."


රුවන්ගම හන්දියේ තුබුන එකම තේ කඩේට ගොඩවි අප දවල්ට කන්න දෙයක් තිබෙනවාද බැලුවෙමු ....


"මේ වන්ඩු තමයි කන්න තියෙන්නේ මොකද කරන්නේ...."


"මේවා හරි කාලා යමු...නැත්තම් බඩගින්නේ මැරෙයි..."


"උබට ඉතිං කන බනේමයි...එහෙනම් ඇරගෙන කාපං..."


"උබට මම කිව්වනේ...මාව එක්ක ආවොත්, මට කන්න ඇරන් දෙන්න ඕනේ කියලා .."


කඩෙන්, වන්ඩු දෙකක් හා ආනමාලු කෙසෙල් ගෙඩි දෙකක් කා කහට දෙකක් බී අප දෙදෙනා ගමන ආරංභ කලෙමු.


සුනිලාගෙ ගමට යන පාරේ, මග දිගට හමුවන ගම්මුන්ගෙන්, පාර අහගෙන ගියේ, ගම්මුලාදෑනීයාගේ ගෙදර සොයා යන ලෙසය.


"මාර ලස්සන ගමක්නෙ මේක .... හරිම නිදහස්, කදුවලින් ,කුබුරු වලින් වටවුන සශ්‍රික ගමකනේ අපේ සුනිලා නංගි ඉන්නේ......"

සෝමේ හුස්ම අල්ලාගෙන ගමේ අසිරිය බලමින් මා පසුපස එයි...


"ඒක තමයි අපේ රටේ කොයිතරම් නම් ලස්සන පැති තියෙනවද දැක බලාගන්න ....මේවායේ වටිනාකම් දැක බලා ගන්න උබට මාත් එක්කම එන්න වුනානේ..."


"පළයං යන්ඩ...මාත් හොද ගමේ කොල්ලෙක් තමයි ....අපේ අම්මලා තාත්තලා අපි පොඩි කාලෙම කොළබ පදිංච් යට නොගියා නම්..."


"සුනිලා ගෙදර ඉන්නවද දන්නෑ...දැනගන්න කම් මට ඉවසිල්ලක් නෑ...."


" දැන් තමයි උබේ නියම තත්ත්වය එළියට එන්නේ....මං නම් හිතන්නෑ ඒකි ගමේ ඇති කියලා ...උබලගෙ අක්කා කියපු විදිහට නම් ඒකිට දැන් ළමයිනුත් ඇති...."


"මගේ වැරද්ද...මම සුනිලා බලන්න එන්න පරක්කු උනා..."


"දැන්ද ඒක තේරෙන්නේ...මෝඩයා....?


" අර බලපන්කෝ අර පොඩි දිය ඇල්ලක්....ගලෙන් ගලට වැටි වැටි එන වතුර පාර....ඒකේ ලස්සන....අපි පොඩ්ඩක් මේ දොර පාර ලග නැවතිලා යමුද...මගේ කකුල් රිදෙනවා, මේ ගල් මුල් උඩ ගිහින්...."


"උබ දන්නවද...රෑට මේ ඇල්ල ලග තනි පිරිමින්,බිලි ගන්නවලු....පිරිමි තුන් හතර දෙනෙක්ම මේකට වැටිලා මැරිලා තියෙනවලු..."


"මගෙ අම්මෝ....මට බයයි එහෙනම් ....යමං.. ඉක්මනට මෙතනින් ..."


"අප්පෝ....මහ ලොකු චන්ඩියා...උබ දන්නවද ..අපේ ශාන්ත අය්යලා මිනුම් කදවුරු ගහගෙන හිටිය කාලේ...මේ පාරේ, මහ රෑ තනියම මම ගිහින් ...පාර වැරදුනා...මොකක් හරි වාසනාවකට යන්තම් ගමට යන්න පුලුවන් උනා...නැත්තම් මාත් මේ ඇල්ල පල්ලෙ..."


"යමං..බං...මට බයයි...කකුල් දෙකත් රිදෙනවා ඇවිදලා....

උබට වෙන ලග ගමක් තිබුනෙම නැද්ද ගෑනියෙක් හොයාගන්න ...මේ කැලේ ආවේ..."


"අපේ අය්යා නම් කිව්වා ....ලගදිම මේ ගමට පාර කපනවා කියලා , ලංගම බස් යන්න..."


"එහෙම උනානම් ලේසියි ....දැන් නම් හරි මහන්සියි ...පයින්ම ඇවිදලා....මට බඩගිනියි දැන් ..."


" උබට ඉතිං කොහේ ගියත් බඩගින්න....තව ටිකයි....සුනිලගෙ ගමට...මේ ටිකත් මහන්සි නොබලම යමු...."


"යං...යං..උබට ඉතිං මේවායේ නැගලා හොදට පුරුදුයි නේ...මට තමා අමාරු...අර සක්කරවට්ටම්...ජයන්තිව හරි බැදගත්ත නම් ඉවරයි නේ....මේ කැලේ එන්නෙ නැතුව....එහෙම නම් මට අතමාරුවක් හරි ඉල්ල ගන්න තිබුනා....අපරාදේ ...."


සෝමේ මට බැන බැන හරි මගේ තනියට ආ එක ගැන මට ඇත්තේ සතුටකි.


"සුනිලගෙ තාත්තා තමයි මේ ගමේ ගම්මුලාදෑනීයා ...අපි ගම්මුලාදෑනීයා හම්බවෙන්න ආපු විදිහටම ගමට යමු..."


"ඔව්...ඔව්..සුනිලාගෙ නම කියලා ගමේ මිනිස්සු ලවා ඒ කෙල්ලට කතා හදන්නෙ නැතුව..."


මේ යන පාරේම දෙතුන් ගමනක් මම ඇවිද ගිය හැටි මට මතකයට එයි...මහ රෑ ඇවිත් පාර වැරදුන හැටි...පන බයේ ඉතිපිසෝ ගාතාව කියමින් දුව දුව ගිය හැටි....මට හැමදෙයක්ම සිහියට එයි....සියලු දේ මතක් කරමින් මම සෝමේ සමග ගල් මුල් උඩින් පැන පැන වැටි වැටි ගමන් කරන්නෙමු.


හවස තුනහමාර පමන වනවිට අපට සුනිලගේ ගෙදර කිට්ටුවට එන්නට හැකි විය.


"අර පේන තැන්න කිට්ටුව තමයි සුනිලාගෙ ගෙදර තියෙන්නේ....ආ...හරි අර ඈත පේන්නේ..."


"අර පේන උළු ගෙදරද... ගම්මුලාදෑනීයාගේ ගෙදර ? "


"ඔව් ඒක තමයි...සුනිලා ඉන්නවද දන්නෑ....අපි ඉදිකඩුල්ල පැනලා ඇතුලට යමු..."


අප ඇයගෙ නිවස ඉදිරිපිට ඇති වැට කඩුල්ල ලඟට ගොස් අවට බැලූවේ කවුරුවත් ගෙදර ඉන්නවද දැන ගැනිමටය. .... ගෙයි ඉස්සරහ දොර ඇර ඇත. මම සෝමෙත් සමග වැට කඩුල්ල පැන ගෙයි ඉදිරිපිටට ගොස් ජුවානිස්ට කතා කළෙමි.


‘‘ජුවානිස් අප්පුහාමි .....අප්පුහාමි ..... ගෙදර කවුද ඉන්නේ...?’’


දෙතුන් පාරක් අප කතා කරන විට "පාල" නම් සුනිලාගෙ වැඩිමහල් මල්ලි ගෙයි උළුවස්ස උඩට පැමිණ එළිය බැලූවේ ඇස් පොඩි කරමින්ය. ඔහු දහවල් බත් කා නින්දක් නිදාගෙන ඉන්නට ඇතැයි මට සිතිනි.


‘‘පාල මේ මම....ශාන්ත මහත්තයාගෙ මල්ලි."


"අප්පේ..... මේ අපේ ශාන්ත මහත්තයාගෙ මල්ලිනේ..... එන්න එන්න මහත්තයා මං මේ බත් කාලා පොඞ්ඩක් ඇල වෙලා හිටියා.....රෑට පැල් රකින්න යන්න තියෙන නිසා..... මං දවාලට ටිකක් නිදා ගන්නවා. රෑට පැල් රකින්න යන දවසට.....නැත්තම් මොහොතක් රෑට ඇස් පියා ගන්න හම්බ වෙන්නෙ නෑනේ....ආ මේ මහත්තයා කවුද යාළුවෙක්ද...සුමල් මහත්තයාගේ....‘‘


"ඔව්...මගේ යාළුවෙක් මෙයාට ගම බලන්න ඕනේ කියලා ආවා.. ....කෝ මේ ජුවානිස්, සුනිලා එහෙම.‘‘


‘‘ආ... තාත්තා නම් ගම් මංඩියට යන්න ඇති....තාත්තට වැඩ තියෙනවනේ.... නංගි නම් දොළට යන්න ඇති, ගෑනුත් එක්ක නාන්න..... මේ වෙලාවට තමයි ඒකී ගෙදර වැඩ ඉවර කරලා නාන්න යන්නේ.‘‘


‘‘ආ... එහෙමද? මගේ හිත සතුටින් පිරින....එහෙනම් සුනිලා තාම දීග ගොස් නැතුව වෙන්ඩෑ....ඇය ගෙදර ඉන්නවා කිව්වේ.... මගෙ හිත සතුටින් පිරින...."


"මහත්තයාලට මහන්සි ඇතිනේ කන්ද නැගලා....ඉන්න මම කුරුම්බාවක් කපන්න... ,පොඩි අක්කා ඇවිත් තේ හදනකම්...."


"පාල...ගෙයි පිළිකන්න පැත්තට දිවගිය සැනින් කුරුම්බා වල්ලක් රැගෙන, නැවත මිදුලට ආවේය. ඔහු මිදුල කොනක ඇනතියා වාඩ් වී අපට කුරුම්බා කපන්නට විය. අප දෙදෙනා මිදුලෙ කොනක තිබුන ලී බංකුවේ වාඩිවී එදෙස බලා සිටියෙමු.


"ආ...මහත්තයා බොන්න කුරුම්බා ගෙඩියක්...අපේ පොඩි අක්කා මාස ගානක් බලාගෙන හිටියා මහත්තයාලා මේ පැත්තෙ එයි කියලා ....මහත්තයාගෙ දරු පැටියවත් අපේ අක්කා නිතර මතක් කරනවා..."


"කෝ දෙන්න මහත්තයා ...කුරුම්බා ගෙඩිය දෙකට කපලා දෙන්න... ඕකේ හොදට ලොද තියෙනවා...." පාල කුරුම්බා ගෙඩිය එක කැති පහරින් දෙකට කර කුරුම්බා කෝම්බෙ කොනකින් හැන්දක් ආකාරයට කෑල්ලක් කපා ,අපට ලොද කන්නට දුන්නේය.


"සුනිලා හදිසියේ ගමේ ආවට...අපට බලන්න එන්නත් බැරි උනානේ..."


"ඔව්...මහත්තයාලගෙ අක්කා ලියුමක් එවල තිබිලනේ...අපේ ලොකු අය්යා කලබලේ ගිහින් අක්කව ගෙදර එක්ක ආවේ..."


" ලියුමක් ....මම ඒක දන්නෙත් නෑනේ...මම හිතුවෙ සුනිලා කසාද බදින්න හදිසියේ මෙහෙ ගෙන්න ගත්තා කියලා ..."


"මහත්තයාගෙ අක්කා , අපේ පොඩි අක්කා එන දවසේ....අක්කට මහ ගොඩක් සල්ලි වගයක් දීලා...දරුවා බලාගත්තා කියලත්...ඒත් අපේ අක්කා ඒ සල්ලි ඇරගෙන නෑ...මොකද අපි ඒවගේ වැඩ කරලා , සල්ලි ගන්නෙ නැති නිසා....අම්මා නැති කිරි දරුවෙක් බලාගන්න අක්කා නැවතුන නිසයි, අපි මුකුත් නොකියා හිටියේ.....පස්සෙ මහත්තයාගෙ අක්කා කියලා, අපේ අක්කගෙ මගුලට ඒ සල්ලි තියාගන්න කියලා ....පොඩි අක්කා ඒ සල්ලිත් ඇරගෙන නෑ..."


"එහෙමද... මම ඒවා දන්නෙ නෑනේ..."


"මහත්තයා ආයෙත් බදින කතාවක් අපේ පොඩි අක්කා කිව්වා ....මහත්තයා ආයෙත් කසාද බැන්දද?


"නෑ...තවම නෑ...සුනිලා කොහේටද නාන්න ගියේ...අපිත් ටිකක් ඒ පැත්තට ගිහින් එන්නද පාල එහෙනම්..."

මට ඕන උනේ පුලුවන් ඉක්මනට සුනිලා දැක බලා ගැනිමටයි....


‘‘හා... මහත්තයා. ඔය ගේ පිටිපස්සේ අඩි පාරෙන් යන්න...එතකොට දොලේ සද්දෙ ඇහෙනවා.... ටික දුරක් ගිහින් බලන්නකෝ....පොඩි අක්කා දැන් ගමේ ගෑනුත් එක්ක මග එනවත් ඇති....‘‘


"එහෙනම් මේ බෑග් ටික ගේ ඇතුලෙන් තියන්නකෝ පාල...අපි දොළ පැත්තට ගිහින් එන්නම්..."


මං ගෙනාපු බෑග් මළු පාල් අතට දුන් මා,සෝමේ සමග විගහට සුනිලාගෙ ගෙදර පිටිපස තිබුන අඩිපාර දිගේ ඇවිද ගියේ. ...සුනිලා දැක ගැනිමේ නොවිසිල්ලෙනි.


"මොකක්ද බං අර මනුස්සයා කිව්වේ...උබලැයි අක්කා ලියුමක් එවපු කතාව...?


"ඒක තමයි ..මට හරි කේන්තියි අපේ අක්කා එක්ක....එයා තමයි සුනිලා කලබලේ ගෙදර එවලා තියෙන්නේ...ඒ මදිවට සල්ලිත් දෙන්න හදලා....ඕවා ඔක්කොම කරන්න ඇත්තේ මම සුනිලා ගැන බලාපොරොත්තු ඇති කර ගනියි කියලා හිතලා වෙන්න ඇති..."


"අක්කගෙ මාර ප්ලෑන්....කොහොම හරි හදන්නේ ජයන්ති උබේ කරේ එල්ලන්නමයි."


අපි ගේ පිටි පස්සෙන්, වැටී ඇති අඩි පාර දිගේ ඇවිදගෙන ගියේ දොලේ වතුර සද්දේ ඇහෙන දිසාවටය...ටික දුරක් ඇවිද යන කල, ලග ලගම මහ දොලේ හෝ..හෝ..ගා දියරළ ගල්වල හැපි බිදි පහලට ගලාබසිනා හඩ, අපට ඇහෙන්න පටන් ගත්තේය....මහ විශාල ගස් වලින් වටවුන කැලෑවේ අඩි පාරේ ඇවිද යනවිට විවිධ කෘමීන්ගේ, කුරුල්ලන්ගෙ මිහිරි අමිහිරි ශබ්දයන් ඇසේ...

"අය්යෝ...... අනේ බං සුමල් මේ මගේ කකුලේ කුඩැල්ලෙක් එල්ලිලා....අනේ බං මූව ඇරන් දාපන්කෝ.....මට අප්පිරියාවෙ බෑ...මේ මේ මූ, මගේ කකුල දිගේ උඩට නගිනවා...කොහේ යයිද දන්නෑ....අනේ බං මූව ගලවලා දාපන්කෝ...උබ මාව මගුල් කතා කරන්න එක්ක ආවනම්...මූව ගලවලා විසිකරපං...සෝමේ කකුල ගස ගස මට බනියි...."


"හිටපං ...මහ ලොකු චන්ඩියා ...කූඩැල්ලට බයයි..." මම ගහක කොළයක් කඩාගෙන ඇගිලි දෙකෙන් කූඩැල්ලා ඇදලා අයින් කරන්න හදන කොට ,ඌ කකුලේ තව තැනක් අල්ල ගන්න හදයි....


ඒයි...බං මේ මේ තව එකෙක් අනෙක් කකුලේ ....අනේ බං ඌවත් ඇරන් දාපන්.....පලාතෙම කූඩැල්ලෝ ටික ඇවිස්සිලාද කොහේදෝ...දුවපං මෙතනින් ඉක්මනට....අනේ මන්දා උබ මේ කැලේ මාවත් ඇරන් ආවනේ....අර සක්කරවට්ටම බැදගත්තනම් ඉවරනේ....අක්කා කියනව වගේම උබ නම් ගල් මෝඩයෙක්...."


සෝමේ මට බැන බැන කලිසම් කකුල් දෙක උස්සාගෙන තව කූඩැල්ලෝ එල්ලිලා ඉන්නවාද පරික්ශා කරයි.....


"ඔය ඇහෙන්නේ දොලේ වතුර සද්දේ ලග ලගම.....දිය බිංදු මෙහෙටත් එන ගානයි...මේ හරිය තව සීතල උනා....


මට සුනිලා දැක ගැනීමේ ආශාව එන්න එන්නම වැඩිවේ.... කැලෑවේ දැවැන්ත ගස් කොළන් අතරින් අඩි පාර දිගේ යද්දී.... ලග ලග දොළේ වතුර ගලා බසිනා සද්දය හෝ හෝ ගගා ඇසෙන්න විට.... පුදුම නිස්කලංක බවක් තිබු පරිසරයේ නිහඩ බව බිදී යයි.....නමුත් මෙහි ඇත්තේ වචනයෙන් කිව නොහැකි චමත්කාරයකි. හිතට පුදුම සහනයක් සැහැල්ලුවක් සතුටක් දැනේ.... ගස් උඩ පැන පැන යන වඳුරන් නොයෙකුත් පක්ෂීන්ගේ නාදයෙන්.... දොලේ දිය පාරේ හඩින් කැලේ නිහඬ බව බිදෙයි.... වැඩි වැඩියෙන් දොලේ සද්දය ඇසෙනවත් සමග වතුර ගලා බසින මහ දොළ දකින්න ලැබුනි..... ගෑණු දෙතුන් දෙනෙකු දොලෙ බැස නානවත්...තව කෙනෙකු දොළ අයිනෙ ගල් පොත්තක රෙදි වනමින් සිටිනවත් අපට දකින්න ලැබුනි. පොඩි ළමයි දෙන්නෙක් ගල් පොත්තක් උඩ වාඩිවී සිටින්නේ නා අහවර වී බව පෙනේ...


ඒ හිටි ගෑහැනුන් අතරින් ,නා අහවරවී දිය රෙද්ද පිටින්ම ගල් පොත්තෙ වනා තිබුනු වේලුනු ඇදුම් වගයක් එකතු කරමින් හිඳිනා සුනිලා අපට දැක ගත හැකි විය....... ඇය දැන් හිටියාට වඩා ටිකක් වෙනස් වී ඇත....ඒ නම් තවත් ලස්සන වී ඇතැයි මට සිතේ.... ඉතා දිගට වැටී තිබෙන ඇගේ දිගු කෙස් කළඹ ඇඟටම ඇලී ඇත. ඇය මේ දැන් නා ඉවර වී වතුරෙන් ගොඩට එන්නට ඇතැයි මට සිතේ..... වතුරෙන් පෙඟී ඇඟටම ඇලූනු දිය රෙද්දට ඇගේ, ඇගපතේ උස් පහත් උන හැඩ, සුන්දරත්වය හොදින්ම පෙනේ.... ඇය ඉතා සුන්දර යුවතියක් යැයි සිතමින් මම ඈ දෙස බලා උන්නේ....සෝමේ දෙකට නැමී කූඩෑල්ලෙක් ගහක කොලයකින් අල්ලා ඇගිලි දෙකෙන් ගලවන්න උත්සහ ගනිමින් ඉදිද්දීය....


ගමේ ගැහැනුන් සමග එකතුවී සුනිලා, දොලට නාන්න එන්නේ එහෙමත් දිනකට බව ඇය කියනවා මට මතකය. අනිත් දිනවලට ඇය ගේ පිටිපස්සේ වතුර පීල්ලෙන් රෙදි සෝදා නාගන්න බවද ඇය කීවා මතකය..... ගමේ ගැහැනුන් සමග දොලට නාන්න ඇවිත් යන දවසට...දොළ අයිනේ හල් ගස් වල ගෙඩි එකතු කරගෙන යෑමටත් කැරම් කොකු, ලේන හතු, කදන්හතු, ගොටුකොළ හා මැල්ලුමට කොළ වර්ග ආදියත් උයන්න කඩාගෙන යන බව කීවේ සුනිලාමය.


ඇයගේ සුන්දරත්වය දෙස ටික වේලාවක් ඇයට හොරෙන්, ඇයට නොදැනෙන්න බලා ඉද මා, ඈත සිටම ඇයට කතා කලෙමි.....


‘‘සුනිලා... සුනිලා...‘‘


මං ඈත තියාම ඇයට කතා කළෙමි.

මගේ කට හඬින් තිගැස්සුණු ඇය මා දෙස ටික වේලාවක් බලා සිටියේ පුදුම වෙලාය. ටික වේලාවක් මේ මමම දැයි කියා අසන සේ බලාවුන් ඇය....


‘‘ආනේ....සුමල් අයියා කියන්නෙම නැතුව ඇවිල්ලා..... කොයි වෙලේ ද ආවේ...අර අය්යගෙ කන්තෝරුවේ යාළුවා නේද...‘‘ සෝමේ දැක ඇය මගෙන් ඇසිය.


‘‘ ඔව්....ඒ සෝමේ තමයි.....තනියට එක්ක ආවා....අපි ඇවිත් ටිකක් වෙලා....පාල මල්ලි කිව්වා සුනිලා දොළට නාන්න ආවා කියල.....අපි ඒ හින්ද මේ පැත්තට ආවා.....‘‘


"මං මේ කාලෙකට පස්සේ දොළට නාන්න ආවේ...ලග පාත් ගෙවල් වල ගෑනු අයත් එක්ක...අපි තනියම දොළට නාන්න එන්නෑනේ.... දොළට නාන්න එන්නේ...මේ හල් ගෙඩි, පලා, හතු එහෙම එකතු කරගන්න ඕන උනාම තමයි ...


"මේ සෝමේ නම් මට බැන බැන ආවේ මේ පැත්තට ....කූඩැල්ලෝ ඇගේ එල්ලිලා කියලා ...."


"දොළට ලග නිසා, මේ හරියේ තෙත ගතිය වැඩියි...ඒකයි මේ හරියෙ කූඩැල්ලෝ වැඩි..."


‘‘යං අයියලා, ඔහොම ඉස්සරහට.... මං නාල ඉවරයි.....මම වේලුනු ඇදුම් ටික ඇරගෙන එන්නම් ...‘‘

ඇය හනි හනිකට ඇගේ සෝදපු රෙදි බාල්දියට දාගන්න පෙර තුවායක් කර වටේ දා ගත්තේ ඇගේ නිරුවත් උර මඬල අපට පෙනෙන නිසා යැයි මට සිතිනි. ඇය සමග නාන්න ඇවිත් සිටි අනෙක් ගැහැනුන්ට ,ඇය ගෙදර යනවා කියා, අප පසු පසින් ඇය ආවාය.


‘‘ යංකෝ ඉස්සර වෙලා ඔය අඩි පාරෙම....අය්යලා මොනව හරි බීවද...?ඉතිං අයියා අපිව අමතක කරලම දැම්මා නේද...? ’


‘‘ සුනිලව අමතක වුණේ නෑ..... එක එක වැඩ තිබුනා....මං ටිකක් සමහර දේවල් නිසා කළකිරිලා හිටියේ පහුගිය කාලේ......‘‘


‘‘ඉතිං අයියා කොහොමද පුතාට..... අක්කා පුතාව හොඳට බලාගන්නවා ඇතිනේ.....‘‘


‘‘ඔව් අක්කා එයාගෙ දරුවෙක් වගේ මගේ පුතාවත් බලා ගන්නවා. පුතා අම්මා කියන්නෙත් දැන් එයාට තමයි ....‘‘


‘‘අනේ ඇත්තද...? මටත් ආසයි පුතාව බලන්න... මං තාත්තටත් ලගදි කිව්වා අපි ගිහින් අයියවයි, පුතාවයි බලල එමු කියලත්..... කෝ තාත්තට වෙලාවක් නෑනේ..... හේනේ වැඩයි ගමේ වැඩයි අල්ලගෙන ඉන්නවා.....‘‘


‘‘ඉතිං කොහොමද සුනිලා මොනවද අලූත් තොරතුරු....? සුනිලා දැන් ඉස්සර හිටියටත් වඩා ලස්සන වෙලා.‘‘


‘‘ ඉස්සර හිටියටත් වඩා කිව්වේ ..... අයියා කවදාවත් මං ලස්සනයි කියලා නෑනේ.....‘‘ සුනිලා ලැජ්ජාවෙන් සිනාසෙමින් කීය.


දොළට ගිය අඩිපාරෙම අපි නැවත ගෙවල් පැත්තට ආවෙමු.


‘‘මං ඉක්මණට ඇඳුමක් දාගෙන අයියලාට බොන්න මොනවහරි හදාගෙන අරගෙන එන්නම්.‘‘

ඇය ගේ දෙසට පය ඉක්මණ් කරේ අප දෙදෙනා පසු කරමින්‍ ය.


අපි සුනිලගෙ ගෙදර මිදුලේ ඇති ලොවි ගහ යට බංකුවේ වාඩි ගෙන අවට සිරි නරබමින් උන්නෙමු.


"මගේ මේ කලිසම අස්සෙත් කූඩැල්ලෙක් ගිහින් දගලනවා වගේ දැනෙනවා...මම මේ දැක්කමයි මෙච්චර කූඩැල්ලෝ ගොඩක්...උබට දෙයියන්ගෙම පිහිටයි...."


සෝමේ තවමත් කකුල්වල කූඩැල්ලෝ එල්ලිලාද බලයි....


"පාල" අප ලගට පැමිනියේ...කැහැපට ගසා ඇදන් සිටි සරම පහලට ඇද හදා ගනිමින්‍ ය. ඔහු අප කිට්ටුවෙන් තිබුන පොඩි ගල් පොත්ත උඩ ඇනතියා වාඩි විය. ඔහුගෙ උඩුකය නිරුවත්‍ ය. ඔහු ඉනෙ පිහියක් ගහගෙන ඉදී....කටපුරා බුලත් විටක් හපමින්, ඉද හිට රතුපාට කෙල පිඩක් එලියට ගසමින් ඔහු අප සමග මුව පුරා කතා කරන්නේ සතුටිනි.....


‘‘ඉතිං මහත්තයා...කොළඹින් කීයටද පිටත් වුනේ....? දවල්ට කෑම එහෙම සප්පායම් උනාද...? කොහොමද ඉතිං කොළඹ මොනවද අලූත් තොරතුරු ....?පොඩි අක්කත් කිය කිය හිටියේ මහත්තයායි බබයි බලලා එන්න යන්න බැරි වුණා කියලා ......පොඩි අක්කව ඉතිං කොළඹ එක්ක යන්න කෙනෙක් හිටියෙම නෑ....හැමෝටම වැඩ..."‘


‘‘හැමෝටම ඉතිං වැඩ තියෙනවනේ පාල..... මටත් බැරි වුණානේ මිට ඉස්සෙලල්ලා ඔයගොල්ලො බලන්න එන්න.‘‘


‘‘කොහොමද මහත්තයා පුතාට. මහත්තයාගේ අක්ක පුතාව හදා ගන්නවා කිව්වනේ.‘‘


‘‘ඔව්....පාල අක්කා පුතාව බලන නිසා මං නිදහස්.... මං පුතාට ඕන කරන දේවල් අක්කට ගිහින් දෙනවා.‘‘


‘‘ඒක හොඳයි..... තාත්තයි, ලොකු අය්යයි කොහොමත් කොළඹ යන්න තමයි හිටියේ එන මාසෙ දිහාට..... අපේ පොඩි අක්කගෙ මඟුල් කියන්න.‘‘


"ඒ කිව්වේ..."


" අපේ පොඩි අක්කා කසාද බදින්න යන්නේ..."


‘‘සුනිලා කසාද බඳින්න ද යන්නේ....‘‘ මට එය ඇසුන ගමන් ඇතිවුනේ කියා ගත නොහැකි දුකකි.


‘‘ඔව්....පොඩි අක්කගෙ වයසත් හරිනේ දැන්...මෙච්චර කාලයක් බදින්න බෑ කියලා කල් දදා ඉදලා දැන් ඔය සුමාන දෙක තුනකට උඩදි කසාද බදින්න කැමති වුනේ....ඒ කැමති උන වෙලේම, අපි බැලුවේ මේ මගුල ඉක්මනට කරලා දාන්න...තාත්තා කිව්වා මහත්තයාලටත් මගුල් කියමු කියලා ...එන මාසේ පහලොව මගුල් තියෙන්නේ...."


"එහෙමද...? මගේ හිතට දැනුන දුක කියා නිම කිරිමට බැරි විය.


"මහත්තයාට කියන්න, මං බඳින්න ගෑණු ළමයෙක් ඉන්නවා මේ ගමේම.... මට ඒ ගැණු ළමයා බඳින්න විදිහක් නෑ පොඩි අක්කා ගෙදර ඉන්න නිසා..... තාත්තා ඒ හින්දා කපුරාළට කියල ,පොඩි අක්කට ඉස්සර කතා කරලා තිබුන මණමාලයාට මගුල ගන්න කියලා ඉක්මන් කලා.... එන මාසේ පහලොස් වෙනිදට මඟුල් ගන්න හිතන් ඉන්නේ....මහත්තයාලා අක්කගෙ මගුලට එන්න....ඊට පස්සේ මං බැඳලා මගේ ගැණු ළමයා මේ ගෙට එක්ක එන්න හිතන් ඉන්නේ.‘‘


‘‘එහෙමද සුනිල බඳින්න යන්නෙ කාවද?’’


‘‘එහා ගමේ කෙනෙක්. සමාගම් කඩේ බිල් ලියන අය්යා....පොඩි අක්කගෙ නම් එච්චර කැමැත්තක් නෑ එයාට..... මුලින් කැමති වුණේම නෑ.... ඒ වුණාට අපේ ලොකු අක්කලා ,පොඩි අක්කට අවවාද කළා බඳින වයස පහුවෙන්න ඉස්සර ඒ කෙනාට කැමති වෙලා කසාඳ බඳින්න කියලා.‘‘


‘‘දැන් මඟුල ලොකුවට ගන්නවද?’’


‘‘ලොකුවට නෙමේ මහත්තයා ගමේ ඈයන්ට නොකියා බෑනේ....දෙපත්තේ නෑයොයි ..ගමේ කට්ටියටයි කියන්න් එපෑ.....‘‘


සුනිලා උනු උනුවෙන් බෙලි මල් වතුර වීදුරු දෙකක් හා විශාල කිතුල් හකුරු කෑලි දීසියක් ගෙනැවිත් අපට පිළිගැන්වූවාය.... සුනිලා කසාඳ බඳින්න යන වග පාලගෙන් දැනගත් පසු, මට ඇතිවුනේ කියාගත නොහැකි දුකකි..... මා පරක්කු වූවා වැඩිය. මගේ හිතේ සුනිලාට කැමැත්තක් තිබුණත් එය පැවසීමට මා කල් යල් බලමින් ඉද පරක්කු වී ඇත. සුනිලා එන මාසේ කසාඳ බැඳ වෙන කෙනෙකුගේ මණමාලිය වී යන්නට ලෑස්ති වෙයි.


‘‘අයියලා දවල්ට කෑම කාලත් නැතුව ඇති නේද...? මං ඉක්මණට රෑට මොනවත් රත් කරල ගන්නම්....දැන් හොදටම හවස් උනානේ.....‘‘


‘‘නෑ... ඕනෙ නෑ සුනිලා අපි දැන් යනවා....‘‘


‘‘ඒ ඇයි මහත්තයා.... ආ පයින්ම යන්න හදන්නේ.... තාත්තා දැන් එනවත් ඇති.... තාත්තයි ලොකු අය්යයි හම්බවෙලාම යන්න....‘‘


‘‘ඔව්....අය්යා.... අද යන්න එපා..... අද මෙහේ ඉඳලා හෙට උදේ යන්න.... දැන් ගියොත් කොළඹට යනකොට දෙගොඩහරියත් වෙයි.‘‘


හෙට හමුවෙමු


*ප්‍රිසිලා ගොඩහේවා *

10 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page