top of page
  • Writer's picturePrisila Godahewa

🌺බැද්දේ කුමරිය 🌺

🌺බැද්දේ කුමරිය 🌺

( 6 වෙනි කොටස ) https://www.facebook.com/groups/2653780434897311/permalink/3071515456457138/

"රුවන්ගම" ගම්මුලාදෑනීයාගේ ගෙදරින් කුරුම්බා වතුර බි, ලොඳද කා ගිමන් නිවාගත් අපි..... එතනින් උඩහට තියෙන කන්දේ, මහ කැලේ නගින්න ලෑස්ති උනෙමු.


"මහත්තයා මේ පිරිමි දෙන්නට මේ බැද්ද හොදටම පුරුදුයි... මේ දෙන්නා දිගටම මහත්තයාලට කැලේ ඉන්නකම් උදව් කරයි.....ඒහෙනම් මහත්තයලා... දවල් නොවී කන්ද නැඟලා බැද්ද පැත්තට ගියා නම්......."


සරම් කැහැපට ගසා ,උඩු කයට ඇදුමක් නොඇද සිටින, ගැමියන් දෙදෙනා කට රතු පාට වෙන්න බුලත් විට හපමින් ඉදී...ඔවුන්ගේ ඉනේ පැත්තක වක් ගැහුනු පිහියක්ද ඇත. අහිංසක ඔවුන් දෙදෙනා ,එය දැන් ටිකකට උඩදි අපට කුරුම්බා කපා දීමට ප්‍රයෝජනයට ගත්තා දුටිමි....කුරුම්බා වතුර බිව් අපට, ඒ ගෙඩි දෙකට පලා, එහි ලොද කෑමට කුරුම්බා කෝම්බේ පැත්තක් හැන්දක් ලෙස පාවිච්චියට කපා දුන්නේද මේ දෑ කැත්ත වැනි පිහියෙනි. ඔවුන් ඉනේ ඒ පිහිය ගසාගෙන සිටින්නේ එවැනි වතු වැඩට, යමක් කපන්න කොටන්න ප්‍රයෝජනයට ගන්නට යැයි මට සිතේ....


"ඒහෙනම් වාහන වලින් ගෙනාපු කූඩාරම් බඩුත්, උයාගෙන කන්න ගෙනා බඩුමුට්ටු එහෙම කරට ඇරගෙන, අපි සුමන සමන් දෙවියන් සිහිකරගෙනම කන්ද නගින්න පටන් ගමු මහත්තයා ...."


"ඔව්... ඔව්...එහෙනම් අඩිය ඉක්මන් කරගෙන ඉස්සරහට යමු කට්ටියම.....හැමෝටම සුමන සමන් දෙවියන්ගේ සරණයි...!! සාදු සාදු....සාදු..!!!


කූඩාරම් බඩු විශාල පොදියක් කරේ තියාගත්ත දියෙස් නම් ගැමියා....සුමන සමන් දෙවියන් සිහිකරගෙන හැමෝම ඉස්සරහින් ගමන ආරංභ කරේ හරි ඉක්මනට දිග අඩි තියමින්‍ය.


‘‘ මහත්තයා , ඔය උඩහ ලඳු අස්සෙන් තියෙන අඩිපාර දිගේ විනාඩි තිහක් විතර උඩහට කන්ද නැග්ගහම..... දොළ පාරක් හම්බ වෙනව, ඒ කිට්ටුවට වෙන්න තියෙනවා නිදහස් තැන්නක්…. ඒ තැන්නෙ කූඩාරම් ගහ ගත්තනම් මහත්තයාලට හැම දේකටම ලේසියි….සතා සිව්පාවා උනත් ඒ තැන්නට එනවා අඩුයි…බොන්න නාන්න කරන්න උනත් වතුර ඒ දොළපාරෙන් ගන්න පුලුවන් , පිරිසිදුයි. ….කන්දෙ උඩහ වෙන ගෙවල් දොරවල් මොකවත් නෑ… ඒ නිසා පිරිසිදු දිය උල්පත් වලින් එන පිරිසිදු වතුර බොන්න ගන්න පුලුවන් …..එතන ඉදන් "පලාගමට" කෙටි පාරක් තියෙනවා යන්න එන්න…..කැලේ මැද්දෙන් තමයි මහත්තයාලාට ඒ පැත්තේ කැලෑව මනින්න යන්න වෙන්නේ, ඒ අඩි පාර තියෙන නිසා මහත්තයාලට ලේසියි. අඩි පාර ලඟට වෙන්නම "තැන්නේ කූඩාරම් ගහ ගත්තහම ලේසියි හැම දේකටම ..‘"


වනාන්තරය ගැන හොඳින් දන්නා ගමේ විලබට් නම් ගැමියා, බැද්දේ විස්තර, ඔහු පිටුපසින් එන අපට සද්දෙන් ඇහෙන්න කියමින්, අපේ බඩු පොදියක් කර තියාන කන්ද නගී...


‘‘මේ සිතියමේ හැටියට තව කිලෝමීටර් දහයක් විතර ඈත ඉඳන් තමයි අපට කැලය මනින්න නියම වෙලා තියෙන්නේ.....‘‘


කැලෑවේ සිතියම දිග අරිමින් ,මග යන ගමන්, එය බලමින් ,ලකුණු කරමින් යන ශාන්ත අයියා, මට ඉස්සරහින් යන්නේ උස බූට් සපත්තු ජෝඩුවක් හා තොප්පියක්ද පැලදගෙනය..... ශාන්ත අය්යා මටත් එයින් සපත්තු දෙකක් ගෙනත් තිබුන නිසා, කකුල් හොදින් වැහෙන බූට් සපත්තු ජෝඩුව පැලද ගෙන මමත්, අය්යාගෙත් ඇදුම් මලු දෙකත් හා තව අක්කා දුන් කෑම මල්ලකුත් අතේ කරේ එල්ලාගෙන මිනුම් කටයුතු කරන අනිත් ඈයන් පිටුපසින්ම ගමන යන්නේ....වටපිට සුන්දරත්වය විදිමින් උනත්, හති අරිමින්‍ ය.


ගමේ විලබට් හා ලීනිස් නම් ගැමියන් දෙදෙනා අප සමග මිනුම් වැඩ කරන්න ආ අනිත් හතර දෙනා සමග වාහන දෙකේ බඩු කර තියාගෙන කන්ද නගින්නේ හරි ඉක්මනටය.... මාත් ශාන්ත අය්යාත් අපේ ඇදුම් බෑග් සහ පුලුවන් ප්‍රමානයට මිනුම් බඩුත් උස්සගෙන ඔවුන් පිටුපස යන්නෙ හති අරිමින්‍ කන්ද නඟින්නේ බාගෙට හෙම්බත් වය.


"තව ටික දුරයි බැද්දේ තැන්නට ….ගැමියන් දෙදෙනා අඩි පාරේ ඉස්සරහින්ම වැඩිපුර බඩු ප්‍රමාණයක් උස්සාගෙන අඩිය ඉක්මන් කරමින් ගල්, මුල් නැග බැස යන්නේ හොද පුරුදු කාරයින් නිසාවෙනි.


"අප්පේ.....මහත්තයා මේන්...කූඩැල්ලෝ ඇවිස්සිලා...ඉක්මන් කරලා අඩිය උස්සලා ආවනම්....…"


"මට මේ මිනුම් වැඩ එපා වෙන්නේ ......කූඩැල්ලෝ නිසා...එක මඟ කට්ටියක් කැලේ යනකොට මුලින් යන ඈයින්ගෙ ඇගේ කූඩැල්ලෝ නගින්නෙ නෑ...ඊට පස්සෙන් හෙමින් එන ඈයන්ගෙ ඇගේ තමයි කුඩැල්ලො නගින්නේ,.... මුලින් ගිය අයගේ ඇගේ ලේ සුවද දැනිලා තමයි කූඩැල්ලෝ රංචු පිටින් ඇවිස්සිලා එල්ලෙන්න ගන්නෙත්...…."


"අපි නම් මේ උස සපත්තු දාගෙන ඉන්න නිසා ටිකක් බේරිලා ඉන්නේ.....ඒත් සපත්තු ගලවලා බලන්න ඕනේ කලිසම් කකුල් දෙකෙනුත් ඉහලට කූඩැල්ලෝ ගිහින්ද දන්නෑ..... …"


"ආං….මහත්තයා .....අපි කිව්ව තැන්න.....මම කිව්වේ ,හරි නිදහස් තැන...ඔය ඇහෙනවද ඈත දොලේ වතුර පාර පහලට බහින හෝ... හෝ ..හඬ…."


" ඔව් නේන්නම්….දොලේ වතුර සද්දේ මෙහෙටත් ඇහෙනවා..….ඔව්. මේ හරියේ තැන්න හොඳයි තමයි කූඩාරම් ගහගන්න....‘‘


‘‘එහෙනම් හරි…..අපි මේ බඩු ටික බිමින් තියලා කූඩාරම් ගහලා ඉවර උනාට පස්සෙ.... ඉතිරි බඩු ටික වාහනයෙන් ඇරන් එන්න යමු….‘


‘‘හරි... එහෙනම් අපි මේ හරියේ කූඩාරම් ගහගන්න බලමු නේද....විලබට් ...,දියෙස් ...අපට ටිකක් උදව් කරන්නකෝ මේ වැඩ වලට, මම වැඩ ඉවර වෙලා යනකොට ඒවට මුදල් ගෙවනවා....‘‘


"අපෝ මහත්තයා ,අපි මේ සල්ලි බලාගෙන කරන වැඩ නෙමේ....හිත හොදින්... අපේ ගමට පය තිබ්බ ඕන කෙනෙක්ට අපි සලකනවා .....ඊටත් ගමට පාරක් කපන්න හදන්න ,යනකොට අපි උදව් කරන්නම එපෑ...."


කලු ගල්, මුල්, වලින් පැන පැන බොහෝම අමාරුවෙන් බඩු මුට්ටුත් උස්සාගෙන් ආ හැමෝම බඩු බිමින් තියා ගිමන් අරියි.…...


‘‘ෂා... හරිම ලස්සන තැනක්.‘‘ අතින් කටින් උස්සන් ආබඩු බිමින් තියා මම අවට තැන්න දෙස බැලූවේ පුදුමයෙන් දසත විහිදෙන කැලෑවේ සුන්දරත්වයෙන් වශීවය.

"රුවන්ගම" සිට කිලෝමීටර් පහක් පමණ කඳුවැටි දිගේ කැලෑවේ ඉහලට නැග ගෙන ආ අප පැමිණ තිබුණේ ,කඳු මුදුනකට කිට්ටු වෙන්න තැනිතලා බිමකටය. එතැන සිට බැලූ කළ වටේටම දිස්වන කොළ පාට කඳු යාය ඊට පල්ලෙහායින් පෙනෙන පුංචි "රැවන්ගමත්" කදු වැටියේ පහතින්ම ඇති කුඹුරු යායවල්,... රබර් වතු, කුරුදු වතු හා අප ඉන්නා පලාතම වටවී ඇති කැලෑව තුල ඇත්තේ පුදුම නිස්කලංක නිහඬ බවකි .....


කැලෑවෙන් වට වී ඇති කඳු යායේ අප සිටින තැනිතලා භූමියට ඈතින් , හෝ... හෝ... ගා මහ සද්දෙන් ගලා බසිනා මහ දොලේ සද්දය ඇසෙයි...මේ නම් මැණික් ගඟේ අත්තක් වන්නට ඇතැයි මට සිතේ......ඒ හඬ පරසරයේ නිස්කලංක බව බිඳ දැමූවත්, දොලේ ශබ්දය හිතට ගතට ඇති කළේ පුදුම නිවුනු නිදහස් බවක් සමග තුරුලතා වල සිසිලසයි..... කැලෑවේ එහේ මෙහේ පියඹා යන අමුතු මාදිලියේ කුරුල්ලන් නැගූ මිහිරි නාදය, නොනවත්වා හඩ නගන රැහැයන්ගේ හඩ හා තවත් විවිධාකාර කනට නුපුරුදු සතුන්ගේ නාදයන් අවටින් ඇසේ.....


මම පරිසරයේ සිරි නරඹමින් සිටින අතර, මිනුම් කටයුතුවලට උදව් කරනා කට්ටිය, කන්දෙන් පහළ සිට උඩහට රැගෙන ආ කූඩාරම් බඩු වලින් කූඩාරම් ගහන්නට සැරසෙති...... මාත් හනි හනිකට ඒ පැත්තට ගියේ ඔවුන්ට උදව් කරන්න සිතා ගෙනය.


‘‘හා... හා... සුමල් මහත්තයා පැත්තකට වෙලා ඉන්න. අපට පුරුදුයි මේ වැඩ.....‘‘


මිනුම් කටයුතුවල ප‍්‍රධාන අත් උදව්කරු වන සයිමන් මාව නැවැත්තුවත්... මං මට පුළු පුළුවන් විදිහට ඔවුන්ට උදව් කළෙමි.


‘‘කුමාර ලිපක් බැඳලා තේ ටිකක් රත් කරලා ගත්තනම් ....කට්ටියට මහන්සිත්, ඇති කන්ද නැගලා......‘‘


කට්ටියගෙන්ම වයසින් බාල කුමාර, උයන පිහින වැඩ කටයුතුත් අස්පස් කරන වැඩකටයුතු සඳහාම, මිනුම් මහත්තුරු සමඟ යන්නෙකි.

සැමටම උපදෙස් දෙන සයිමන් කැලෑව ගැන හොඳින්ම දන්නා වයසින් වැඩිමහලූම කෙනාය. මිනුම් කටයුතුවලට උදව් කරනා අනිත් දෙදෙනා ද තරුණයන් දෙදෙනෙකි. ඔවුන් සියල්ලෝ ම ශාන්ත අයියාට යටහත් පහත් බවෙන් කතා කරති. මේ මිනුම් කටයුතු භාරව සිටින ඉහලම නිලධාරියා ශාන්ත අයියායි. ශාන්ත අයියා ද කූඩාරම් ගසා ගැනීමේ කාර්යයන්ට උදව් කරමින් කඩිසරව අනිත් අයව මෙහෙයවයි.


‘‘ඉක්මණට ඉක්මණට ….හවස් වෙන්න ඉස්සර වැඩ ඉවර කරගන්න ඕනෑ.... හොඳ වෙලාවට අපි දවල්ට කෑම ගෙවල්වලින් ම ගෙනාවේ..... ගම්මුලාදෑනී මාමලාගෙ ගෙදරින් බීපු කුරුම්බයි කාපු ලොදයි නිසා තාම දවල්ට බඩ ගිනි නෑ…. ටිකක් හවස් වෙන්න ඇරලා අපි දවල්ට ගෙනාපු බත් කමු....මොකද අද රෑට වැඩි යමක් කන්න උයාගන්නත් බැරි වෙන නිසා....‘‘


"මහත්තයා ...කන්දෙන් පල්ලෙහා අපේ ගම් මුලෑදෑනි මහත්තයාට කිව්වනම් මහතයාලට රෑට අඩුක්කුව එවයි…"


"එහෙම කරදර කරන එක හොද නෑනේ...අපිට ඔය මොනව හරි උයාගන්න පුලුවන් ..උයන ළමයා ඉන්නවනේ….


"අපි කන්දට එන්න ඉස්සර, ගමට ගිහින් පාර කපන්න කැලේ මනින්න ආව බව මුලෑදෑනියාට දන්නලා ආපු එක හොදයි.... නැත්තම් අපි රෑට කන්දේ ගිනි මැල ගහගෙන ඉන්න කොට ගමේ මිනිස්සු කලබල වෙන්න තිබුනා... …"


"ආ...ඔය කුමාර වැඩ පටන් ඇරන් තියෙන්නේ….තේ වතුර වක්කරන්න හදන්නේ වතුර නටනවද කුමාර .... ?….එහෙනම් අපි තේ ටිකක් බීලාම ඉතිරු වැඩට බහිමු….."


"ඔව් මහත්තයා ..තේ ටිකක් බීලම ඉන්න…හොද කිතුල් හකුරුත් අපට හම්බුනානේ..."


දොල පාරෙන් ගෙනා ගල් ගෙඩි තුනක් එකට ලං කර වටපිටාවෙන් එකතු කරගත් වේලූනු දර කෝටු දමා කුමාර ඒ වන විටත් වතුර උණු කරමින් සිටියේය.... ඔහුට එක ගැමියෙකුත් ලං වී ලිප පත්තු කරන්න උදව් කරන්නේය. ඔවුන් ඉතා අහිංසක අව්‍යාජ මිනිසුන්‍ බව පෙනේ....කොළඹින් ආ අපි සමග ගමේ කට්ටියම කතා කරන්නෙ, ඉතා යටහත් පහත්වය. ඔවුන් කැහැපට ගසන් ඇඳ ඉන්නා සරම පහලට දිග අරිමින්‍ය.


‘‘මල්ලි අර මගේ බෑග් එක ඇතුලෙ ඇති වැලිතලප වගයක්. ...මං හිතන්නෙ නැන්දා හදල දීලා ගමෙන් එවපුවා වෙන්න ඇති…. අක්කා අපට තේ බොන්න ගන්න කියලා එව්වා..... ඒ බෑග් එක ඇරන් ඇවිත් හැමෝටම කන්න දෙන්න.‘‘


කුමාර සාදා දුන් කහට තේ, ප්ලාස්ටික් කෝප්ප වලට බොමින් වැලිතලප කන්නට පටන් ගත්තේ තැන්නේ අවට තිබු ලොකු ගල් පොත්තේ ,එකා දෙන්නා වාඩි වෙමින්‍ ය....


"කට්ටියට හොදට පුරුදුයිනේ කූඩාරම් ගහලා...එහෙනම් ඉක්මන් කරමු....හවස් වෙන්න ඉස්සර මේ වැඩ ඉවර කරගන්න ඕනේ.... ...අත ඉක්මන් කරලා වැඩ පටන් ගන්න ඔක්කොමලා ...."

අය්යා කට්ටිය උනන්දු කරයි. ගැමියන් දෙදෙනාද හනි හනිකට කඩියෝ මෙන් වැඩ කරති....


මීට ප්‍රථම කූඩාරම් ගසා පුරුදු උන්... ,වැඩේ භාගයක් පමන මේ වෙනකොට ඉවර කර ඇත..... කූඩාරම් දෙකක් ගසා ගැනීමට ඒ හැටි වෙලාවක් නොගියේ ඒවා කලින් සාදා නිම කර තිබූ එවා බැවිනුත් ඒවා එකට එකතු කර සාදා ගන්නට හැමෝම පුරුදු පුහුණු වී තිබුණ බැවිනුත් ය.


"මහත්තයා අපි එහෙනම් පහලට ගිහින් ඉතිරි බඩු ටික වාහනයෙන් ඇරගෙන එන්නම්….මහත්තයලාට මේ ලදු කැලෑවේ යන්න එන්න අමාරුයිනේ... අපි අර අඩි පාර දිගේ විගහින් ගම්මානෙ පැත්තට බැහැලා ඉතිරි බඩු ඉක්මනට ඇරගෙන උඩහට එන්නම්.."


"ආයෙත් කන්දට එනකොට කජු ලෙලි ටිකක් ගේන්න අමතක කරන්න එපා...රෑට ගිනි ගොඩට දැම්මෙ නැත්තම් නිදාගෙන බොරු...."


"හා මහත්තයා ...අපි ගේන්න පුලුවන් උනොත් තව අල බතල ටිකක් ඇරගෙන එන්නම්කෝ මහත්තයාලාට උදේට රෑට තම්බන් කන්න..."


කූඩාරම් භාගෙට ගසා ඉවර වෙන්නත් ප්‍රථම , වාහනවල තිබූ බඩු මුට්ටු ගම්මානයේ ඉදන් කන්දා මුදුනට නැවත ගෙනැවිත් දුන්නේ ගැමියන්ය..... ඒ එන විට ඔවුන් අපට කජු ලෙලි වලට අමතර ඇම්බුම් කෙසෙල් ගෙඩි ඇවිරි දෙකක් හා බතල මල්ලක්ද ගෙනවිත් ඇත .... ඔවුන් කූඩාරම් වටා ඇති තණකොළ සුද්ධ කරමින් ඒ වටා ඇති කටු පඳුරු හා අතුරිකිලි කපමින් කූඩාරම් අවට එළිපෙහෙළි කලේ කඩිනමින්ය.


"හවස් වේගෙනත් එනවා, අපි දවල්ට කන්න ගෙනාපු බත් මුල් ලිහාගෙන කමුද...නැත්නම් බත් මුල් නරක් වෙන්න පුලුවන් ..."


"ඔව්...ඔව්...කාලා ඉමු ..."


ටික මොහොතකට වැඩ නවත්වා , ගෙවල්වලින් ගෙනා බත් මුල් ලිහා ගනිමින් තැන් තැන්වල වාඩි වී සැවොම කන්නට පටන් ගත්තෙමු.....ඒ වන විට හවස තුනත් පසු වි තිබුනි..... සැවොම හොදින්ම මහන්සි වී බඩගිනි වී සිටිය බැවින්, එකිනෙකා කතා නොකරම බත් කෑවෝය. ගැමියන් දෙදෙනාට අපේ බත් මුලක් කන්නට කතා කරත්, ඔවුන් ගමට බඩු ගේන්න ගිය වෙලේ දහවලට කෑම කා පැමිනි බව කීවෝය. බත් කා ඉවර වී කූඩාරම් සාදා නිම කිරීමේ ඉතිරි වැඩකටයුතු කළෙමු.....


හවස පහ විතර වනවිට සියලූ වැඩ නිම කලේ සැමගේ උදව්වෙනි.....


සැවොම එළියෙ තැන තැන වාඩි වී ගිමන් අරිමින් සාදා නිම කළ කූඩාරම් දෙකේ හැඩ බැලූවේ කොයි වෙලේ, මේ ඇතුලට ගොස් ගිමන් අරින්නේ ද යන බලාපොරොත්තුවෙනි.


මටත් කුමාර අයියාටත් වෙනම කූඩාරමකුත් අනිත් හතර දෙනාට තවත් කූඩාරමකුත් වෙන් කර එක ලඟ සාදා තිබුණි.... අපට නිදා ගන්න බූරු ඇදන් දෙකක් වාහනේ දා ගෙනවිත් තිබුනු අතර අනිත් හතරදෙනාට දිගට නිදාගන්න පුළුවන් ලෙස, දිග එක මැස්සක් සාදා තිබුණි. අපේ ඇඳුම් පැළඳුම් බෑග් කූඩාරමේ පැත්තක එල්ලා දැමුවෙමු. අයියාගේ මිනුම් වැඩ ලියන පොත්පත් තියා ගන්න නවන යකඩ මේසයක් හා පුටුවක්, තව දිග අරින්න පුළුවන් පුටු දෙකක් තිබුණ බඩු භාණ්ඩයි.


සේවකයින්ගේ නිදාගන්න කූඩාරම පැත්තකට වෙන්න ඉටි කොළ ගසා කෑම උයන කුස්සියක් සාදා ඇත.... එහි මැටි වලං දෙක තුනක් ප්ලාස්ටික් පිඟන් කෝප්ප ද තුනපහ බෝතල් ද තිබුණි. අමතර හාල් තුනපහ කෑම බඩු තිබුණේ අප සිටි කූඩාරම තුළය. අවශ්‍ය කෑම බඩු ,ශාන්ත අයියා විසින් ටිකෙන් ටික කෑම උයන කුමාරට සැපයිමට නියමිතය. ඒ කැලෑව තුළ දී කෑම බඩු හිඟතාවයක් ඇති වුවහොත් යන සැකයෙනි.


" රෑ වෙන්න ඉස්සර කට්ටියම දොළට ගිහින් නාගෙන කරගෙන ආවොත් හොඳයි නේද?‘‘


කුමාර අයියා වැඩ කළ සියල්ලන්ට ම ඇහෙන ලෙස කීවේය.


වැඩකරන අය නාගෙන ආපසු එන වෙලාව අල්ලා..... අය්යත් මමත් නාන්න යන්න ලෑස්ති වුනෙමු.


‘‘අයියේ අපිත් ගිහින් දොලේ නාගෙන එමුද...උදේ ඉදන් ඇදගෙන හිටි ඇදුම් හෝදලා දාගන්නත් ඕනේ...?’’


‘‘ඔව් යං එහෙනම් තව හවස් උනොත් දොලේ නාන්න බැරි තරමට වතුර සීතල වෙයි.‘‘


අපි කුඩාරමේ සිට අඩි පාරකින් දොල පැත්තට ගියේ ගල් වැටි, ගස් මුල් , ලදු අස්සෙන් පරිස්සමට පහළට බහිමින්‍ ය. කන්දේ උඩින් දොළේ පහලට බහිනා කල ඈතින් ඇසුන දොලේ වතුර ශබ්දය ...,ගලින් ගලට වැටි වැටි බිදි වැටි... පහලට බහින මහ ජල කඳේ සද්දය...... ලඟ ලඟ දෝංකාර දී ඇහෙන්න ගත්තේ හිතට සතුටක් ඇති කරමින්‍ය........දොලේ ගලා බසිනා වතුර වල පිනි දසත හීනියට විසිරි යයි....දොළ කිට්ටුව ඇති රවුම් විශාල, කලු ගල් තලාවේ.... මිනුම් කටයුතු කරනා කට්ටිය නා ඉවර වී වාඩිවී ඉන්නා හැටි පෙනේ....ඔවුන් ඇද සිටි ඇදුම්ද සෝදාගෙන අහවරය......


"කට්ටිය නාගෙන ඉවර නම් වාඩියට ගියා නම් හොදයි...කුමාර විතරයි ඒ පැත්තෙ ඉන්නේ...."


ශාන්ත අය්යට හැමොම කීකරුය. ඔවුන් ගල් තලාවෙන් නැගිට අපට නාන්න ඉඩදි වාඩිය පැත්තට යන්නට ගියේය .


කලු ගල් තලාවෙන් පහළ විශාල කලු ගල් අතරින් මහ සද්දෙට වැටි වැට් ගලනා මේ විශාල ජලකද කොහේ සිට කොහේට ගලනවාද කියා මම කල්පනා කරමින් ඒ දෙස බලා උන්නෙමි .


අය්යත් මමත් සීතල ජලයෙන් හිතූ සේ නාගෙන කරගෙන එනවිටත්, අවට පරිසරය හොදටම අදුර වැට් තිබුනි.....


කුමාර ඒ වන විටත් කූඩාරමේ, පත්තු කර තිබූ පැට්ට‍්‍රල් මැක්ස් ලාම්පුවේ විහිදෙන එළියෙන් හතරවටේ අඳුර මදකට අඩු කර ඇත..... බැටරිවලින් වැඩ කරනා මිනුම් කදවුරේ රේඩියෝවෙන් සිහින් මිහිරි නාදයක් නිකුත් වේ. ... එම රේඩියෝවෙන් කැලේ වැඩට එන සියල්ලෝ රට තොට තොරතුරු දැන ගනී.....


ඒ වන විටත් ගල්තලාව කිට්ටුව ගිනි මැලයක් ගසා එයට කජුලෙලි දමා ඇති බව සුවදින් හා දුමෙන් දැනේ....


මිනුම් වාඩිය අවට ගල් තලාවේ නාගෙන කරගෙන ආ සේවකයො ගිමන් හරින්නේ....කුමාර සාදා දී ඇති තේ කහට හකුරු සමග බොන ගමන්‍ ය.


එකිනෙකා නොයෙකුත් කතා කියමින් සිනාසෙමින් දවසේ මහන්සිය නිවා ගනිමින් ගිනි ගොඩ අවටට ම වී සිටියේ එළියේ අති ශීතලෙන් මිදෙන්නට ය


‘‘ආ... හොඳ රොටි සුවඳක් එනවා...අද රෑට . කුමාර රොටි පුච්චනව වගේ.....‘‘ මගෙ කටට කෙළ ඉනින. ඒ නම් මම කන්නට ආසම කෑමකි....


‘‘හෙට අනිද්දා දිහාට ගමට ගොසින් දඩ මස් ටිකක් හොයාගෙන එන්න ඕනේ.‘‘ කුමාර කියයි....


‘‘පහල ගමට ගියොත් දඩ මස්, ඌරු මස් හොයා ගන්න බැරි වෙන එකක් නෑ.‘‘


‘‘මහත්තයලා දැම්ම කනව ද? ...මං රොටි පුච්චලා කොච්චි ලූණු මිරිසක් හැදුවා...වැඩි දෙයක් නෑ මහත්තයා .....‘‘


"ආ....ඔය ඇති...නෝනා මාළු ඇබුල් තියල් වගයක් හදල එවල ඇති, ඒවත් කන්න ගමු...."


"දකුනේ ඇබුල් තියල් මාලු තියෙනවනම් ඉතිං වෙන මොනවත් ඕනේ නෑ....අපරාදෙ කියන්න බෑ...ශාන්ත මහත්තයාගෙ නෝනා, හැමදාම මිනුම් වැඩ වලට එනකොට, හැමෝටම කන්න ලොකු ඇබුල්තියල් මාලුවක් හදලා එවනවා...."


‘‘කමු... කමු... නෑවට පස්සෙ හරි බඩගිනියි.... මහන්සිත් වැඩියි. ...අද උදේ පාන්දරින් ආපු ගමන්, වාඩිය හදා ගන්නත් මහන්සි උනානේ......අද ඉක්මණට නිදාගන්න ඕනේ.‘‘


‘‘කුමාර ලූණු මිරිසුයි, රොටියි , ඇබුල්තියල් මාලුයි අපට බෙලෙක් පිඟන්වලට ම බෙදා ලඟටම ගෙනැවිත් දුන්නේය.


‘‘අද වැඩිය මුකුත් හොඳට හදාගන්න බැරි වුණා මහත්තයා .... හෙට ඉඳන් මං මහත්තයලාට රසට උයලා කන්න දෙන්නම්කෝ....‘‘


‘‘මේ හොඳයි කුමාර.... අද අපි ආව ගමන්නේ.‘‘


රෑට කාපු ගමන් හැමෝම කූඩාරම් තුළට ගියේ මහන්සිය වැඩිකමට නිදාගන්නටය....


‘‘අපි දෙන්නා මාරුවෙන් මාරුවට නැගිටලා වාඩිය ළගට සතා සිව්පාවා එනවද බලන්නම්....‘‘


සයිමන් සහ ධර්මේ පුරුදු විදිහට කඳවුරු රැකීමේ කාරියේ යෙදෙන්නෙ කැමැත්තෙන්මය.


කූඩාරම තුළ ඇති බූරු ඇදන් දෙකේ ගෙදරින් ගෙනා ඇද රෙද්ද එලා ඝනකම රෙද්දකින් ඔලුවේ සිට පොරවාගෙන අයියයි, මමයි වේලාසනම නින්දට ගියෙමු.


අනිත් කට්ටියත් දවසේම මහන්සි වී සිටි නිසා වේලාසනම නින්දට ගිය ලකුණු පෙනෙන්නට ඇත. නොයෙකුත් කෘමි සතුන්ගෙ,රැහැයියො, ගෙම්බන්ගේ හඬවල්වලින් ද, ගෝන්නු, මුවන් හා නරියන්ග හූ හඬවල් ද ඈත බැද්දෙන් ඇහෙයි.... නොයෙකුත් පුරුදු නැති නපුරු සතුන්ගේ විවිධ හඬවල් ඈත කැලෙන් ඇහෙද්දි නම් හිතට බයකුත් දැනේ.... සියල්ලෝ ම සැප නින්දට වැටුනේ වැඩි වේලාවක් යන්නට මත්තෙන්ය.


කූඩාරම ඉදිරිපිට ගසා ඇති ගිනි මැලයෙන් චිරි චිරි චටාස් යන හඬ නගමින් ගිනිමැලයේ නළියන ගිනිදැල් හා කජුලෙලි දුම කූඩාරම් වටේටම විහිදි යයි.... කූඩාරම ඉදිරිපිට එළි විහිදවමින් ගිනිමැලය තවමත් පත්තු වෙයි.


- නැවත මුනගැසෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා*

6 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Σχόλια


bottom of page