top of page
  • Writer's picturePrisila Godahewa

💞බැද්දේ කුමරිය 💞

(24 කොටස)

"මොකක්ද කිව්වේ..."


" මම ජයන්ති කසාද බදින්න කැමති නෑ.....‘‘


"මේ මොන කතාවක්ද මේ කියන්නේ....මම ඒ මිනිස්සුන්ට පොරොන්දු වෙලා ඉවරයි ..."


"ඔයා පොරොන්දු උනාට,මම පොරොන්දු උනේ නෑනේ ..."


"ඔයාගෙ දරුවා මම හදාගන්න ගත්තේ....ඒ පොරොන්දුවත් උඩ...."


"මොකක්ද ඒ පොරොන්දුව


"ඔයාගෙයි ජයන්තිගෙයි මගුල ඉවරවෙලා ටික කාලයක් යනකම් මම දරුවා හදාගන්නම් කියලා ....ජයන්ති ඉස් ඉස්සෙල්ලා කසාද බදින්නේ දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක් බව එයාගෙ යාලුවො නෑදෑයින්ට නොදැනෙන්න ඕන නිසයි....මේ දරුවා මාළිගෙ ගෙදර නොතියා මෙහෙ ගෙනාවේ....දරුවා එහෙ හිටියනම් ,ජයන්තිගෙ නෑදයො යාළුවොත් ඒක දැනගන්න නිසා....."


"දැන් මොකක්ද එයාට තියෙන ප්‍රශ්නය මගෙ දරුවා....මගෙ දරුවට කැමති නැත්නම් ,මොකටද මාව බදින්න හදන්නේ......? මගෙ දරුවට අකමැති ගෑනියෙක් මට ඕන නෑ....එයාට හොද වෙන තරුණ කොල්ලෙක් බැදගන්න පුලුවන්නේ..."


"ඔයා මාළිව කසාද බදින කොටත් ....මාළිගෙ අම්මලා එයාට දේපළ ලියලා තිබුනේ නෑ....කොහොමත් ඒවා එයාට කවදහරි අයිති වෙන නිසා....දැන් මාළිගෙ අම්මලාට ඕන, ඒගොල්ලන්ගෙ දේපළ පිටට නොයන ලෙස ඔයා ඒ පවුලෙම කෙනෙක් බදිනවා දකින්නයි...ඔයාට වෙන කෙනෙක් බැදලා ඒ ගෙදර ගිහින් ඉන්න බෑනේ....ඒ දේපළ ඔයාටත් අයිතියි....ඒත් ඒ මිනිස්සු කැමති ඔයා ඒගොල්ලන්ගෙ පවුලේ කෙනෙක්ම බදිනවට....නැත්තම් ඔයාට ඒ ගෙවල් දොරවල් මොනවත් හම්බවෙන්නෙ නෑ....."


"ඒක හරි වැඩක්නේ .. මට අයිතියක් නැද්ද මට ඕන කෙනෙක් කසාද බදින්න..මට කොහොමත් ඒ දේපළ වලින් ඇති වැඩක් නෑ....."


"ඇයි මෝඩයෝ තේරෙන්නෙ නැද්ද....උබ වෙන කසාදයක් බැද ගත්තොත්....මාළිගෙ අම්මලා උබට සතපහක් දෙන එකක් නෑ....අර ළමයට කැමැත්තෙන් දෙන දෙයක් විතරයි.... මාළිගෙ නමට මොනවත් දේපළ ඒ මිනිස්සු ලියලා තිබුනෙ නෑ...ඒ නිසා උබටත් මොනවත් හම්බවෙන්නෙ නෑ....ඒ නිසා ඒ අම්මලා, ජයන්තිටයි එයාගෙ මල්ලිටයි තියෙන දේපළ ඔක්කොම පස්සේ ලියලා දායි....මොකද උබ වෙන ගෑනියෙක් ගෙනාවොත් ඒ කිසිදෙයක් උබට දෙන එකක් නෑ.... හම්බවෙන්නෙත් නෑ...ළමයත් අපටම හදාගන්න වෙයි...."


"මොනවද අක්කේ මේ කියන්නේ....අක්කා ඇයි ඔයතරම් තන්හාවක් මාළිලාගෙ දේපළ වලට ... ...."


"උබට ඕවා තේරෙන්නේ නෑ....අපි මාළිව උබට කසාද බන්දලා දුන්නෙත්, ඒ ගැනත් හිතලා....දැන් නිකන් අපරාදේ ඒ දේපළ වෙන කාටවත් අයිති වෙන්න දෙන්න බෑ.....මාළිගෙ අම්මලා කිව්වා ජයන්ති කසාද බැන්දහම, මල්ලිට කළුතර ඒ ගෙදරම නවතින්න පුලුවන් කියලා ....එතකොට ඔය ආන්ඩුවේ කන්තොරුවෙ, කුරුටු ගගා ඉන්න ඕන නෑ....ඒ පවුල් දෙකේම දේපළ පාලනය කරගෙන සැපට ඉන්න පුලුවන් ....දරුවත් තමන්ගේ ළගම තියාගන්නත් පුලුවන් ......"


"මට ඕන දේපළක් නෑ.....ගිය පාරත් අක්කලාට ඕන විදිහට මම කසාද බැන්දා....අක්කලා මට මාළි හොයල දුන්නෙ මාළිට තිබුන දේපළ වල කෑදර කමට කියලා මම දැනගත්තේ,...මාළිව බැන්දට පස්සෙ ......අක්කා දන්නෙ නැතුව ඇති..... අපට නොකියපු ලෙඩක් මාළිට තිබුණා.... ඒක හංගලා තමයි ඒ අය මට මාළිව කසාඳ බන්දලා දුන්නේ.....මාළි බැදපු දවසේ ඉදන් මොනවද බෙහෙත් වගයක් මට හොරෙන් බිබි හිටියේ ....දරුවා හම්බවෙන්න ආව ගමන් ....මට තනියම ඉන්න ඇරලා අම්මලා ලගට ගියා.....ඒ මිනිස්සු ඒ නිසා තමයි, මාළිගෙ නමට මොනවත් දේපළ ලියලා තිබුනෙත් නැත්තේ.....‘‘


"හානේ....මම ඒක දැනගෙන හිටියෙ නෑනේ....කොහොම උනත් දැන් මාළි නෑනෙ මල්ලි..... මටත් ඒ ගැන හිතුනා..... අයියත් මට කිව්වා, මාලි හරි ලෙඩ පාටයි කියලා ..... කසාඳ බඳින්න ඉස්සර ඉදන් ..... හැබැයි ජයන්ති එහෙම නෙමේ.....අලුත් තාලෙට ඉන්න කැමති ලස්සන ළමෙක්.....ඔය පොඩ්ඩක් විච්චූර්ණ ඇදුම් ඇන්දට, ගතිගුනෙත් ඇති වරදක් නෑ....මල්ලිටත් එයත් එක්ක සතුටෙන් ඉන්න පුලුවන් ...."


අක්කා ජයන්ති මට කසාද බදින්න යෝජනා කලා වගේම වැඩි දවසක් නොයා අක්කා එය සම්මත කර මාලිගෙ අම්මලාට කැමැත්ත යවන බව මට දැනින...මාළිගෙ දේපළ වලට තන්හාවෙන් අක්කා මට ඇය කසාද බන්දා දුන්නා වගේම..ජයන්ති වත් කොහොම හරි මට කසාද බන්දා දෙන්න හදන්නේ.....ඔවුන්ගේ දේපළ පිට යයි කියා බයේය . මම ජයන්ති අනිවාර්යයෙන්ම කසාද බැද යුතු බව අක්කා කියන්නේ ඔවුන්ගේ දේපළ මට අයිති කර දීමට බව මම දනිමි.


" මල්ලි එන සිකුරාදා වැඩ ඇරිලා කොළබ ඉදන් මෙහේ එන්න...අපි එන සෙනසුරාදා කළුතර ගිහින් මේ මගුල් තුලා කතාකරගෙන පිලිවෙලක් කරගමු....තව කල් නොයවා....මම තාත්තටත් පනිවිඩයක් අරිනවා සෙනසුරාදා මෙහෙ එන්න කියලා කලුතර යන්න...ඔන්න මල්ලි මම කිව්වා ...වරද්දන්න එපා සිකුරාදා රෑට අපේ ගෙදර එන්න..." අක්කා හැමදෙයක්ම තනියම තීරණය කරයි. ඇයට මගේ කැමැත්ත අකමැත්තෙන් ඇති වැඩක් නැත.


"ඒ මිනිසුන් හරි කැමතියි ඔයාට....ජයන්තිගෙ අම්මා තාත්තත්..... හැමතිස්සෙම කියනවා ජයන්ති කසාද බැදලා දරුවත් හදාගෙන ඔය දෙන්නට කළුතර ගෙදර ඉන්න පුලුවන් කියලා .... ඔයගෙයි මාළිගෙයි දරුවට තමයි ඒගොල්ලන්ගෙ හැම දේපලක්ම අයිති වන්නේ කියල නිතර කියනවා..... තව ටික කාලයකින් පුතාට ඔක්කොම දේපල ලියල දානවා කිව්වේ....ඔයා ජයන්ති බැන්දොත් ඒවා ඔක්කොම ඔය දෙන්නටනේ....මොකද මාළිගෙ අම්මා ජයන්තිට හරි ආදරෙයි එයාගෙ නංගිගේ දුව නිසා.....‘‘


"අක්කා මොනව කිව්වත් මගේ කැමැත්තක් නෑ...."


‘‘ මෝඩ වෙන්න එපා මනුස්සයෝ.....ඒ මිනිස්සු මාස දෙක තුනකට සැරයක් ඇවිත් පුතාව බලල යන්න අමතක කරන්නෙත් නෑ..... ඒ එන වෙලාවට හාල්, පොල්, තුනපහ ගමේ තියෙන හැමදෙයක් ම ඇරගෙන තමයි පුතා බලලා යන්න එන්නේ. පුතාට බැංකු පොතකුත් ඇරල හැම මාසෙකම ඒකට සල්ලි දානවා කියලත් කිව්වේ....විකාර මනස්ගාත අත් ඇරලා...ජයන්ති ගැන හිතන්න.....‘‘


අක්කා එක්ක කතා කර වැඩක් නැත....සෙනසුරාදා ජයන්තිලාගෙ ගෙදර ගිහාම මම ඒ වැඩිහිටියන්ට මගේ අකමැත්ත කෙලින්ම කියාදානවා....එතකොට ඔක්කොම ඉවරයි. අක්කට මම කියන දේ තේරෙන්නෙ නැත්නම් ,ඒකයි කරන්න තියෙන්නේ....


මම නැවත කොළබ මගේ බෝඩිමට ගියේ දෙලොවක් අතර අතරමං වය....මම මගේ කන්තෝරුවේ සෝමෙත් සමඟ එකම බෝඩිමේ සිටිනා නිසා, මගේ මේ ප්‍රශ්නයට විසදුමක් ඔහුගෙන් හෝ ඇසිය යුතු යැයි සිතා ගත්තෙමි.


සෝමේ හා මම බෝඩිමේ උයා පිහාගෙන කෑම කන්නෙමු. අප දෙදෙනාම දැන් තනිකඩයෝය.... සෝමේ තවම කසාද නොබැදපු කෙනෙක් නිසා, ඔහුට මගේ ප්‍රශ්න තාම නොතේරේ....නමුත් ඔහු නිතරම මට කියන්නෙ තව කසාඳයක් කරගෙන දරුවත් මගේ ලගට ගෙන හොදින් හදාගෙන ලස්සනට ජීවත් වෙන්න කියායි..... නොයෙකුත් දේ සිතමින් බෝඩිමට මා ආවේ හිතේ කනස්සල්ලෙනි.


"මොකද බං ...දුකෙන් වගේ..."


"නිකම්...අක්කලාගෙ ගෙදර ගිහින් එන ගමන් මේ....මෙන්න අක්කා අපට රෑට කන්න කෑම දුන්නා...."


"ශා...නියමයිනේ...මම මේ කම්මැලි කමෙන් හිටියෙ රෑට කන්න උයන්න....උබේ අක්කා නම් හරිම හිත හොද ගෑනි...උබ හරි වාසනාවන්තයි ඒ වගේ අක්කා කෙනෙක් ලබන්න....බලපන්කෝ..උබේ දරුවත් තමන්ගෙ දරුවෙක් වගේ හදාගෙන ඉන්න හැටි....වෙන අක්කලා ඔහොම කරන්නෑ...."


"ඔව්...ඔව් ...වෙන අක්කලා ඔහොම කරන්නෑ තමයි ..."


"මොකද උබ ඒක සවුත්තුවට වගේ කිව්වේ ....අක්කා එක්ක වලියක්ද...?"


"තාම වලිය පටන් ගත්තෙ නෑ...අක්කා මාළිගෙ පුංච් අම්මගෙ දුව ,ජයන්තිට මාව ජෝඩු කරල කසාද බන්දල දෙන්න හදන්නේ....."


"නෑ...අර විස්කුරුප්පුවට.....හා...හා.....නියමයි...උබට නම් හොදට ගැලපෙනවා..."සෝමේ බඩ අල්ලගෙන හිනාවෙයි....


"මොකද උබ සවුත්තුවට හිනාවෙන්නේ....මට මේකට විසදුමක් දීපං බං... "


"මොකටද...?


"මාළි නැති නිසා එයාගෙ අම්මගෙ දේපළ ජයන්තිටත් අයිති වෙන නිසා....ඒකට තන්හාවේ ඔය මට අක්කා එයාව ජෝඩු කරන්න හදන්නේ...."


"නෑ....එහෙමද ..? එහෙනම් උබ කැමති නැත්නම් මට ජෝඩු කරපන්කෝ....මේ කන්තෝරුවේ කුරුටු ගගා ඉන්නෙ නැතුව මට සැපට කකුල් දෙක උඩ දාගෙන ඉන්න තිබුනා, ඒ දේපළ තිබුන නම්..."


"ඇයි දැන් උබ හිනාවුනේ විස්කුරුප්පුව කියලා ...දේපළ ගැන කිව්වහම බදින්නත් අහනවා...."


" මෙහෙමනේ බං දේපළ තියෙනවා නම් මොන විස්කුරුප්පුවක් උනාම මොකද...?


"නිකං විහිලු නොකර මට මේකට උත්තරයක් හොයලා දීපං...එන සෙනසුරාදා අක්කලා මට කළුතර යන්න එන්න කිව්වා, මගුල තීන්දු කරලා දින දාගන්න...."


"ඉතිං...පලයං...ඉස්කුරුප්පුව උනත් කෙල්ල ලස්සනයි ...බැන්දට පස්සේ බැරියැ....ඔය තොරොම්බල් ටික හලලා හදල ගන්න... ජයන්තිගෙ ගතිගුණ වල නරකක් නෑ....මාත් එක්කත් මාළිගෙ මළගෙදර දවසේ කතා කලා...හොද පාටයි ....අක්කලා කියන දේකට කැමතිවෙලා ඒකිව බැදලා සතුටින් හිටපං....ඒකිටත් ඕන තරම් සල්ලි තියෙන එකේ...


එකිට සල්ලි නෑ....ජයන්තිගෙ තාත්තා තිබුන දේපළ ඔක්කොම විකුනගෙන බීලා....ඒවා ඔක්කොම ලාභෙට ඇරගෙන තියෙන්නේ, මාළිගෙ තාත්තා ....ඉතිං මාළිගෙ අම්මලාට දැන් ඒ දේපළ වලින් වැඩක් නැති නිසා, මාවත් ඕවට ගාවගෙන ජයන්තිට බන්දලා දීලා, මාළිට අයිති දේවල් අපි දෙන්නට දීලා දාන්න..."


"මාර ප්ලෑන්ස්නේ....අච්චාරු ගොඩයි...කොහොම උනත් ජයන්තිට කැමති වෙලා ඒකිව බැදපන්...හදිස්සියකට අපටත් අතමාරුවක් ඉල්ල ගන්න පුලුවන් පෝසත් යාළුවෙක් ඉන්න කොට...."


" විහිලු නවත්තපන් බං....එහෙම නෙමේ...උබට මම තව දෙයක් කියන්න හිටියේ..."


"ඒ මොකක්ද ඒ......?


"උබට මතකනේ සුනිලා ...මගේ හිතේ එකී ගැන අදහසක් තිබුනා......"


"ආ....ඔය එන්නේ එලියට .....හිතේ තියෙන ඒවා...ඒකයි මේ දේපළ ගොඩ අහකදාන්න හදන්නේ....ඒ උනාට බං ඒකි කසාද බදින්න කියලා නේ ගමේ ගියේ...උබලැයි අක්කා කිව්වේ...මොනව උනත් අන්න කෙල්ලෝ....කසාද බදින්න නම්...."


"එහෙම තමයි ...ඒ උනාට දැන් මාස අටකින් විතර ආරංචියක් නෑ.....බදිනකොට අපට මගුල් කියනවා කිව්වා....තාම මගුල් කියන්න ආවේ නෑනේ.....මට හිතෙනවා ගමේ ගිහින් සුනිලා කසාද බැදලද නැද්ද කියලා බලලම එන්න..මොකද කොළබ වගේ නෙමේනේ ...නැකත් බලලා දින දාගෙන බදින්න අවුරුද්දක් විතර යනවනේ...."


"ඔව්...ගිහින් බලලා වරෙන්...උබ ඒකිට කැමතිමනම් ...හදිසියේවත් තාම බැදලා නැත්නම් උබේ හිතේ තියෙන දේ කියලම එන්න පුලුවන්නේ..."


"උබට පුලුවන්ද මාත් එක්ක එහේ යන්න එන්න....? තනියම යන්න මොකක්ද වගේ ...."


"මම එන්නම්....දැන් කවද්ද යන්නේ...? එන සෙනසුරාදා යමුද..?


"එන සෙනසුරාදා ,අක්කලා එක්ක කලුතර යන්න එන්න කිව්වා...ඊට ඉස්සර ගිහින් සුනිලා බලලා ආවනම් මට ජයන්ති ගැන තීරණයක් ගන්න තිබුනා..."


"අපි එහෙනම් හෙට උදේ කන්තෝරු ගිහින්....නිවාඩුවක් දාලා සුනිලගෙ ගමේ යමු....මාත් ආසයි සුනිලලාගෙ ගම බලන්න "


"බොහොම ස්තුතියි සෝමේ මගෙ තනියට එන්නම් කිව්වට..."


"ඒක හරි...හැබැයි මට හොදට කන්න බොන්න ඕනේ...මගෙ බස් වියදමත් උබම ගෙවපං..."


"හා, හා ඒවා හරි..."


මම තවම තිස් තුන් වියේ පසුවෙමි.... මා හට දැන් නිතර සහකාරියකගේ උවමනාව තදින්ම දැනෙන්න පටන් ගෙන ඇත. රැකියාවට ගොස් හවස බෝඩිමට ආපසු සෝමේ සමග උයාපිහාගෙන තනියම කෑම කා ජීවත් වීම මට දැන් ඇති වී ඇත...


මට දැන් නිතර නිතර සුනිලා සිහිවේ... සමහරවිට ඇය දැන් කසාද බැදලත් ඇත...ඇය ගැන තොරතුරක් දැනගැනිමේ ආශාව නම් මට දැන් වැඩි වැඩියෙන් දැනේ....

අක්කයි, තාත්තයි මට ජයන්ති කසාද බැද දෙන්නට උත්සහ ගත්තට, මගේ සිතට දැන් නිතර සුනිලා මතක් වෙන්නේ....ඇය හිමිකර ගැනිමේ ආශාවෙනි . ඇගේ මුතු පබලූ වැනි දසන් පෙන්වා සිනාසෙන ඇය.... මා ඉදිරියේ නිතර නිතර මට මැවී පෙනේ.... මාස අටකින් පමණ ඇගේ ගැන ආරංචියක් නොලද මට ඇය දකින්නට යෑමේ තද ආසාවක් දැන් ඇති වි ඇත. ඇය දැන් මොනව කරනවා ඇද්ද? ඇය කසාඳ බැඳ දරුවෙක් ලැබෙන්න සිටිනවාත් වෙන්නට පුලුවන... ඒ සමඟ ම මගේ හිතට ඇතුළු උනේ ක්ෂණික දුකකි.


මාළිට බැරි අමාරු අවස්තාවේ උදව් උපකාර කළ සුනිලා, මටත් නොකියම ගමේ ගිය පසු.....ඇය විවාහ වීමට ගමේ යන බව අක්කා කිව් පසු..... පසුගිය මාස ගානක් මං ඇය අමතක කර දමා තිබුනි..... මට ඇය දකින්නට තද ආශාවක් දැන් ඉපද ඇත.. ඔව් මා ඇය බලන්න යා යුතු යි. මට හෙට සෝමේ සමග, සුනිලා බලා ඒමට යන්නට හැකිවිම සතුටක් විය.


හවස් වරුවේ.....ටවුමට ගොස් මම ජුවානිස්ට, ගුණදාසට හා සුනිලාට ඇඳුම් තෑගි බෝග කොළබින් ගෙන යන්නට ලෑස්ති කර ගත්තෙමි.


පසු දින කන්තෝරුවෙන් නිවාඩුවක් ගත් අප දෙදෙනා, පිටකොටුවෙන් රුවන්වැල්ලේ යන බසයකට නැග ගත්තේ උදේ ආහාරය ගෙන උදේ දහයට පමනය....


සෝමේ සමග නොනවත්වා, පසුගිය කාලයේ සිදුවුන සියලු දේ කියවමින්, අප දෙදෙනා බසයෙන් රුවන්වැල්ලේ සිට රුවන්ගමට යන බසයට නැග ගත්තේ හවස දෙකට පමනය....


දැන් නම් මට සුනිලා දැක ගන්නකම් ඉවසුම් නැත..... සුනිලා දැන් විවාහ වී පිටගම් ගොස්ද කියාද මට සැකයක් ඇත. එය මතක් වෙද්දී නම් මගේ හිතට දැනෙන්නේ විශාල දුකකි.... මා ඇය බැලිමට එන්නට පමා වූවා වැඩි යැයි මට දැන් සිතේ..... පසුගිය කාලය තුල ...සුනිලා අදහෙට කසාද බදින්න යන කතා

අක්කාගෙන් ඇසුන නිසා... ඒ දිනවල ඈ ගැන සොයා බැලීම නතර කර දමා තිබුනි.... සුනිලා අමතක කරදමා සිටිම ගැන මටම මං ගැන ඇතිවුනේ කේන්තියකි....ඇය විවාහ වීම සදහා ගමේ ගිය කතාව අක්කා නිතර නිතර කීම නිසා....මම මාළි ගැන සිතමින් පුතාගෙ සුරතල් බලමින් ඒ දිනවල කාලය ගත කළෙමි. මම එනිසා සුනිලා අමතක කර දමා තිබුනි.


ශාන්ත අය්යලා සමග මිනුම් වාඩියේ ගත කල දිනවල, දිනක් මහ රෑ පාර වැරදී.... සුනිලාගෙ නිවසේ මට රාත්‍රීය ගත කරන්න ලැබුන දින, එම රාත‍්‍රියේ දී මගේ හිතට සුනිලා ගැන ඇති වුන හැඟීම, ආදරය මගේ හිතට මතක් වන විට තාමත් හිත හිරිවැටී සතුටින් පිරේ..... පහුගිය කාලයේ මං සුනිලා අමතක කර දැම්මත්..., අක්කා ජයන්ති හා මා කසාද බන්දා දීමට උත්සහ ගැනීමේදී....නැවත සිහිපත් වුනේ සුනිලාවය......


කිසිම දිනක කිසිම කෙනෙක්ට, තරුණ කාලයේ ආදරය නොකළ මට ගැහැණු කෙනෙකු ගැන හැඟීමක් ඇති වුණා නම් ඒ සුනිලා විතරමය. කොළඹින් ඈත ගමක ඉපදී ජීවත් වුණ ඇයගේ පෙනුම, සුන්දරත්වය ,කතාබහ ගතිගුන සියල්ල මා සිත් ගත්තේ....ඇය දුටු විගසය.... ඇයගේ සුන්දරත්වයෙන් හා කතා බහෙන් මා කලක හීන් සතුටක් වින්ද හැටි මට දැන් මතක් වෙයි.


නොයෙකුත් පරණ දේ.... සිහිපත් කරමින් මා සෝමේ සමග රුවන්ගමින් බසයෙන් බැස්සේ සුනිලාට හා ජුවානිස්ලාට ගත් තෑගි බෝග මළු ද උස්සා ගෙනය.


- හෙට හමුවෙමු -


* ප්‍රිසිලා ගොඩහේවා *

2 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page