top of page
  • Writer's picturePrisila Godahewa

💞බැද්දේ කුමරිය 💞

(23 වෙනි කොටස)

සුනිලා, දරුවා පහසුවට ඇදේ නිදිකර රෙද්දකින්ද වසා පැත්තකින් කොට්ටයක්ද තිබ්බාය.....ඒ නම් පුතා බිමට පෙරලි වැටෙයි කියා පරිස්සමට වෙන්නට ඇත. මම ඇද ලග ඈ පසුපස සිටගෙන ඈ කරනා, සියලු දේ ආසාවෙන් බලාසිටියෙමි. මම පුතා ඇදෙන් තියා ඉවර නිසා, දැන් මා මෙතනින් යා යුතුයි. නමුත් පුතා වගේම මට, සුනිලාද දමා ,ඇය සිටිනා තැනින් යාමට නොසිතේ....


පුතා ඇදේ පහසුවට නිදිකර අහවරවි, ඇය හෙමිහිට කෙලින්වි මාදෙස බැලුවේ පුදුමයෙන් මෙන්‍ ය....ඇය එවෙලෙයි දුටුවේ තවමත් ඇය පිටුපසින් මා සිටගෙන ඉන්නා බව....


"අය්යා තාම මෙතනද..

? එහෙනම් අය්යා නිදාගන්න යන්න ...මමත් නිදියන්න හදන්නේ ....මම හිතන්නේ අක්කලත් නිදාගන්න ගියා..."


මගේ ලගම හිටගෙන,මගේ මුහුන දෙස බලාගෙන කතා කරනා ඇය...., ඇයගේ සද්දෙට පුතා නැගිටියි කියා,.... හෙමිහිට කතා කරයි. කාමරයේ ඇති මළානික එළියෙන්, ඇගේ ඇස්දෙස කෙලින්ම බලාසිටිනා මට, දැකිය හැකිවුනේ.... ඇගේ දෑස් තුල ලියවි තිබුන.... පුදුමය , අපහසුව

හා බලාපොරොත්තු දහසක් ඇති බැල්මකි. ඇගේ දෑස් ....කාමරයේ මලානික එලියෙන් දිලිසෙයි. ඒ දෑස් වල ඇති කාන්තිය, බැල්ම ලස්සන සිරියාව, මගහැර මම කෙසේ මෙතනින් යන්නද...?


"මල්ලි තාම නිදිනැද්ද...?දැන් හොදටම රෑ වුනා...ගිහින් නිදාගන්න ...." අක්කා කාමරයේ දොර රෙද්ද මෑත් කර එසේ කිව්වේ අපි දෙදෙනා එක ලග සිටිනවා දැක බයවෙලා වගේම කේන්තියෙන් මට අණකරය. සුනිලා මා නොදුටු ගානට පුතා ලග දෙකට නැමි මොනවද කරන්න පටන් ගත් අතර ,මම හෙමිහිට කාමරයෙන් එළියට ආවේ, අක්කා අප දෙදෙනා එක ලග සිටිනවා දුටු එක ගැන, ලැජ්ජාවෙන් හිස බිමට හරවාගෙනය...... අක්කා තවමත් කේන්තියෙන් මා දෙස බලා හිදි....මම බිම බලාගෙන මගේ කාමරයට ගියේ අක්කා ගැන කේන්තියෙනි.


එදිනෙන් පසු අක්කා නිතර මාගැනත් සුනිලා ගැනත් ඇහැ ගහගෙන ඉන්නේ ....අපේ හොර අල්ලන්නට කියා මට සිතේ.....අක්කාගේ ලොකුම ආසාව....මාළිගෙ අවුරුද්දේ දානෙන් පසු, මාව ජයන්තිට බන්දා දී මාළිගෙ දේපළ සියල්ල මට අයිතිකර දීමටය....තවමත් නිරවුල් ලෙස නොලියා ඇති මාළිගෙ දේපළ මාහට හිමිවෙන්නේ....මා ජයන්ති විවාහ කරගත්තොත් පමනක් බව අක්කා දනි...එබැවින් මගේ කැමත්ත, අකමැත්ත ඇයට වැඩක් නැත....මගේ නැවත විවාහය ජයන්ති සමගම සිදුවිය යුතුබව අක්කා විශ්වාස කරයි. කවදා හෝ අනිවාර්යයෙන්ම එය සිදුවන දෙයක් බව අක්කාගේ විශ්වාසයයි....

එබැවින් ලගකදි සිට, අක්කා, සුනිලා හා මාදෙස බලන්නේ සැකයකිනි.... එයට හේතුව මම නිතර සුනිලා සමග කතාබහට යන නිසා වන්නට ඇත.....සාමාන්‍යයෙන් මම වැඩිය කාසමගවත් කතා බහට නොයන කෙනෙක් නිසා, සුනිලා සමග මම වැඩිපුර කතා කිරිම ඇයට, පුදුමයට කාරනයක් වී ඇති ගානයි.....සුනිලා ඇගේ ගෙදර සිටිම, ඇයට පහසුවක් උනත්...දැන් නම් ඇයට සුනිලා ගෙදර තියාගැනිම කරදරයක් උන ගානය. ඇය දැන් දැන් නිතර සුනිලාගෙ වැරදි දකියි.


අක්කා, නිතර සුනිලාගෙ මගුල් ගෙදර මතක් කරමින් මට ඇහෙන්න, ඇගේ අනාගත සැමියා ගැන, ඇයගෙන් නිතර විස්තර අහයි...ඒ වගේම, මගේ පුතා බලාගන්න පුලුවන් වැඩිහිටි කෙනෙක් සොයා දෙන්න කියමින්, ගමේ දන්න කියන සියල්ලන්ට කියන්නේ...වැඩි දවසක් නොයා සුනිලා ගමේ ගෙදර යවන අදහසින් බව මට තේරේ...


කෙසේ හෝ අක්කාට හොරෙන් මම නිතර සුනිලා සමග කතා කරන්න මග පාදා ගන්නෙමි ..... අක්කා ගෙදරින් එහෙට මෙහෙට වෙන්න ඇර මම පුතා බලන්න යන ලෙස සුනිලාගෙ කාමරයට යන්නෙමි .... මාව මග අරින්න ඕන කමක් සුනිලාටද නැති ගානය...ඇයද මම මෙන්ම මගේ සමාගම ප්‍රිය කරන ගානයි.


ඇය මම ගෙදර ඉන්න වෙලාවට මගේ කෑම බීම ලගට ගෙනත් දෙයි...මගේ කන්තෝරු අදින් ඇදුම් සෝදා මැද තබයි...මගේ කාමරය ඉතා පිලිවෙලට අස්කර අතුගා දමයි... මම උදේ වැඩට යාමට පෙර නැගිට ,මට බත් මුලක් සාදා දෙයි.....ඇයගේ මේ වැඩ පිලිවෙල නිසා මම තව තවත් ඇය කෙරේ බැදෙන්න පටන් ගෙන ඇත. මා මෙන්ම සුනිලාද මා කෙරේ බැදි ඇති බවක් මට වැටහෙන්නේ ඇගේ බැල්මෙන් හා කතා බහෙනි. ඇගේ ලෙන්ගතු හැසිරිම නිසා, එන්න එන්නම් මා තව තවත් ඈ කෙරේ බැදෙන බවක් මටම දැනේ....ඇගේ සුන්දර රූසපුව නිසා, දැන්නම් මට ඈ අමතක කර දැමිමට නොහැකි ගානය.


අක්කා ගෙදර , ලග නැති වෙලාවට ඇය පුතා රැගෙන විත් මගේ අතේ තබා ඔහු හුරතල් කරන්නේ මගේ ඇගේ ගෑවෙන්න නොගෑවෙන්න ලගින් ඉදිමින්‍ ය.

මමත් ඇයගෙ ඒ හැසිරිමට රුකුල් දෙන්නෙමි. මගේ මුලු හිතම ඇය කෙරේ බැදි ගොස් ඇතැයි මට සිතේ. ඇයත් මට කැමති බව ඇගේ බැල්මෙන්, කතාබහෙන් තේරේ.. ....නමුත් මගේ හිතේ තිබෙනා දෙය, ඇයට කියන්න තරම් ශක්තියක් මට තවමත් ඇති වි නැත. එයට හේතුව...සුනිලා තවමත් කසාද නොබැදපු තරුනියක් වීමත්... මම කසාද බැද බිරිඳ මියගිය, දරුවෙක් සිටින පියෙක් වීමත් නිසා වන්නට ඇත. මම සුනිලාට කැමති වුවත්......මාළිගෙ මළගෙයි උනුසුම යාන්තම් මග ඇරුන ගමන්...., ඇයට මගේ හිතේ තියෙනා මේ කැමැත්ත, ආදරය, කෙලින් කීම මා වැනි, දැන උගත් කෙනෙක්ට ඔබින්නේ නැතැයි මට නිතර සිතේ....මාළිගෙ තුන් මාසේ දානේ පහුවුන පසු ,ඇයට මගේ හිතේ තියෙනා දේ.... කිව යුතුයි කියා මම සිතාගෙන සිටින්නෙමි ....එතකම් ඇයට එය නොකියා ඉන්නට, තවත් ඉවසා සිටිමට,මම හිතට ගත්තෙමි.... .


සුනිලා, අක්කලාගෙ ගෙදර ඇවිත්, ටික දිනකට පසු.... දිනක් මම වැඩ ඇරි ගෙදර ගිය පසු අක්කා කිව් දෙයින් මගෙ හිත කඩා වැටින.


"සුනිලගෙ අය්යා අද දවල් ඇවිත් රෑ වෙන්න ඉස්සර ගෙදර යන්න ඕනේ කියලා, සුනිලත් අඩගහගෙන ගියා.. වැඩි දවසක් යන්න ඉස්සර සුනිලගෙ මගුල ගන්නවලු...අපටත් මගුල් කියනවා කිව්වේ...අපි කොහොමද ඕවායෙ යන්නේ...මේ ළමයින් එක්ක...මල්ලිට පුලුවන් උනොත් ...සුනිලාගෙ මගුලට ගිහින් එන්න...හරි නෑනේ...මේ දරුවා ඉපදුන මොහොතේ ඉදන් ආදරෙන් බලාගෙන මෙච්චර මේ දරුවා ලොකු කර දුන්නේ එයානේ...මොනව හරි හොද තෑග්ගක් හරි සල්ලි හරි මගුලට ගන්න කියලා දෙන්න ඕනේ..., අපිත් වෙනම සල්ලි ටිකක් දෙන්න ඕනේ මගුලට ගන්න කියලා ....."


"ඇත්තද...? අපරාදේ මම එනකම් ටිකක් ඉන්න කියන්න තිබුනනේ...එහෙම නැත්තම් හෙට යන්න කියන්න එපෑ....."


"ඔයා ආවට පස්සෙ, ඒගොල්ලෝ යන්න හිටියනම්, අද සුනිලාලට ගමේ යන්න වෙන්නෑ....සුනිලගෙ අය්යට අදම ගමේ යන්න ඕනෙ කිව්වා..."


"දැන් සුනිලා ගිය නිසා,අක්කට තමයි, දරුවා තනියම බලාගන්න වෙන්නේ..."


"නෑ...චූටි නැන්දා ටික දවසකට මෙහේ නවතින්න එන්නම් කිව්වා ...හෙට නැන්දා එයි එතකොට මට අමාරුවක් වෙන එකක් නෑ..."


"එහෙමද..එහෙනම් හොදයි...."


සුනිලා ගමේ ගිය දිනයේ පටන් ,මට නම් සුනිලා නැති ගෙය හොදටම පාලුවට ගිය ගානයි....කවදාවත් මට මෙතරම් දුරට පාලුවක් තනිකමක් හිතට දැනි නැත....මාළි බබා හම්බවෙන්න අම්මා තාත්තාගෙ ගෙදර ගියාට පසුවවත් මට කවදාවත් මෙතරම් පාලුවක් තනිකමක් දැනි තිබුනෙ නැත.... සුනිලා ගෙදර ගිය එක ගැන මම තනියම දුකෙන් තැවුනෙමි.


සුනිලා ගමේ ගිය පසු, ඇය ගැන විස්තරයක් දැන ගැනිමට මට, අවස්තාවක්, ඉඩක් ලැබුනෙම නැත. සුනිලාට ලියුමක් ඇර විස්තර දැනගන්නවා ඇරෙන්න වෙන විදිහක් එයට ඇත්තේම නැත.


මේ වන විට, ශාන්ත අය්යලා, සුනිලාගෙ රුවන්ගම කැලෑවේ මිනුම් කටයුතු ඉවරකර, මින්නේරිය පැත්තෙ වන සංරක්ශිතයක කිට්ටුව, මිනුම් කටයුතු කරමින් හිදියි. ඒ නිසා සුනිලා ගැන තොරතුරක් දැන ගන්නටම හැකියාවක් නැත. දැන් සුනිලා ගැන ඇති මතකය, හිතයට සගවාගෙන මම තනියම දුක්වන්නෙමි.


සුනිලා ගමේ ගිය පසු, මම නැවත කොළබ බෝඩිමක නැවති කන්තෝරු යන්නට පටන් ගත්තෙමි. මා සමග සෝමපාලද එම බෝඩිමේ නැවති සිටි නිසා, මගේ පාලුව තනිකම යාන්තමට නැති වි ගොස් ඇත.


සුමාන දෙකකට විතර සැරයක් අක්කලාගෙ ගෙදර ගොස් මම පුතා බලා එන්නෙමි. කාලෙකට පසු ,කළුතර මාළිලාගෙ ගෙදර ගියේ ...මාළිගෙ තුන්මාසෙ වැඩකටයුතු කතාකරගන්නය. එයත් හොදටම කිට්ටු වු පසුයි .

මම කළුතර ගිය දින දෙකේම ජයන්ති පැමින, මගේ ලගින්ම ඉදගෙන මගේ ආවතේව කටයුතු කරන්න පටන් ගත්තාය. ඇය කවදාටත් වඩා සතුටින් උදම්ව ඇත. විච්චූර්ණ ඇදුම් ආයිත්තම් ඇද, තොල් නිය රතු කර මා සමග බලෙන්ම කතාවට එයි....මට ඇය වදයක් ලෙස පෙනෙයි....ඒත් ඒ සියල්ල ඉවසාගෙන මම මාළිගෙ දානේ, බණ කටයුතු වෙනුවෙන් මහන්සි උනෙමි .


මාලිගෙ තුන් මාසේ දානය ඉතා ඉහලින් කළුතර මාලිගෙ මහ ගෙදර මුලු ගමේම නෑදෑයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වින. අපේ ගමේ නෑදෑයින්ද මගේ කන්තෝරුවේ හොදම යාලුවොද,මාළිගෙ මළ ගෙදර ආ සියලූම නෑහිතමිතුරන් ද එයට සහභාගී විය. නමුත් සුනිලා මාළිගෙ තුන්මාසෙ දානෙට සහභාගි නොවිනි. සමහර විට සුනිලා හදිසියේ කසාද බැන්දාද දන්නෑ...ඇය ගැන විස්තර අහන්න දැනගන්න ක්‍රමයක් ඇත්තෙම නැත. මේ වනවිට ශාන්ත අය්යා මින්නේරිය පැත්තෙ වන සංරක්ශිතයක් කිට්ටුව මිනුම් කදවුරු ගසාගෙන වැඩය. සුනිලාගෙ ගමේ මිනුම් කටයුතු අහවර වී නොබෝ කාලයකින් ගමට පාර කැපෙන බවත් ගමේ අයට කියා ඇත්තේ ශාන්ත අය්යායි.


පුතා දැන් මුනින් හැරෙයි, කිරි සිනා නගමින් භාගෙට හිනාවෙයි...... මගේ පෙනුම ඇති ඔහු දැන් කෙලින් වඩා ගෙන සිටිය හැක..... මාළිගෙ තුන් මාසෙ දානේ ගෙදර ආ සියලූ නෑදෑයින් අතට, පූජා වට්ටියක් සේ අතින් අතට ගිය පුතා, ගැන හැමෝම කතා බහ කල දෑද මට වටින් පිටින් ඇසිනි.

මට තවත් මතකයි..... ඔහු දෙස හැමෝම බැලුවේ අනුකම්පාවෙනි.....


‘‘අනේ අම්මා නැති කිරි දරුවා..... මොනව උනත් නැන්දා දරුවා හොඳට හදා ගන්න බව නම් පේනවා.‘‘


දරුව ඉතා හුරුබුහුටි ලෙස හැදී හොද සෞඛ්‍යයකින් පසුවීම හා ඔහුගෙ හුරතල් පෙනුම සැමගේ සිත් සතුටු කරයි.. නෑ හිතමිතුරු සැවොම මගෙත්, මාළිගෙත් දරුවා සුරතල් කරන්නේ අනුකම්පාව පිරුනු ආදරයකිනි. දරුවා ද කිරි සිනාපාමින් ඕන කෙනෙක්ගෙ අතට යයි.


‘‘මේ කිරි දරුවෙක් එක්ක සුමල් පුතාට හැමදාම තනියම ඉන්න බෑනේ ... ඉස්සරහ කාලේ වෙන කසාදයක් කර ගත්තොත් හොඳයි නේද?’’ දානේ ගෙදර ආ නෑදෑයින් තැන තැන කතා කරනවා මටද ඇසේ... ..


‘‘කොහොමත් දරුවා හදා ගන්නෙත් සුමල් පුතාගෙ අක්කනේ.... එයාට ඉතිං ඒ හැටි බරක් නෑ.....එයා තාම තරුණයිනේ. වෙන කසාඳයක් කරගෙන ජීවිතේ ඉදිරි කාලේ සතුටින් ගත කරන්නයි තියෙන්නේ.‘‘


හැමෝගෙම අදහස වුණේ මා නැවත කසාඳයක් කර ගත යුතු බවයි. මා හට විවාහ ජීවිතය ගැන ඒ හැටි විශේෂත්වයක් නොතිබුණ කාලෙක, මාහට මාළි කසාඳ බැදදුන්නේ තාත්තා හා අක්කාගෙ උවමනාවටය. ඉදිරි කාලයේ ඒ දෙන්නා කැමති දෙයක් කරනවා ඇර විවාහ ජීවිතයකට නැවත ඇතුල් වෙන්නට මට උවමනාවක් නැති බව තාත්තා දනියි. නමුත් අක්කා, එසේ නැත. ඇයට පේනකීමේ හැකියාවක් ඇතිබව මම දනිමි. මම සුනිලාට ඕනෑවට වඩා ලං වෙනවා දුටු ඇය, නිතර අප දෙදෙනා මග හැරපු බවත්, හිටි හැටියේ සුනිලා මටවත් නොකියා, ගම ගිය බව මට සැකයක් ඇතිකර තිබුන දෙයකි ..... හිටිහැටියේ සුනිලා අතුරුදන් වීම, මට සැකයක් ඇතිකල දෙයක් විය. සුනිලාගෙ මගුල දැන් ඇරන් ඇතැයි අක්කා නිතර කියමින් මගෙ හිතේ ඇය ගැන ඇති කැමැත්ත බලාපොරොත්තුව, නැති වෙන ලෙස කතා කියයි.


අක්කත්, ශාන්ත අයියත් මගේ දරුවා....ඔවුන්ගේ දරුවෙක් ලෙස හදාගන්න භාර ගත් එක මගේ හිතට ඇතිකලේ ලොකු සතුටකි.. මට දරුවෙක් තනියම හදා ගන්න තරම් ශක්තියක් නැත.....දරුවන් දෙදෙනෙක් සිටින අක්කා ලඟ දරුවා හැදෙන එක මට සතුටකි. මම දැන් කොළබ කුලී ගෙදරක පදිංචි වි හිදින නිසා,... අක්කලාගෙ ගෙදර මගේ දරුවා සිටිම මට සතුටට කාරනයක් විය.......මට මගේ පුතා ඉදහිට දකිමින් ඔහු ලොකු වෙන හැටිද බලාකියා ගැනිමට හැකි විම සතුටකි. ...


පුතා බලා ගෙන ඉදිද්දී ටිකෙන් ටික ලොකු වෙයි. අක්කාගේ දුවත්, පුතත් චූටි මල්ලියාට ඔවුන්ගෙ සහෝදරයෙකුට වගේ සලකයි, ආදරය කරයි. අක්කා මගේ දරුවා ඔහුගේ දරුවකු මෙන් බලා ගනියි. දරුවාගේ සියලූ වැඩකටයුතු කෙරෙන්නෙ අක්කා අතිනි. අක්කාගෙ උදව්වට චූටි නැන්දා ඇවිත් සිටිම ද ඒ ගෙදර නැවතී සිටීමද අක්කාට ඉතා පහසු කාරනාවක් වෙයි.

මා කොළබ සිට එනවිට, දරුවාට අවශ්‍ය පිටි කිරි, කෑම බීම සුමන දෙකකට සැරයක් අක්කාට ගෙන ගොස් දෙමි. ඇය ඒවා බාර ගන්නෙ එතරම් කැමත්තෙන් නොවෙයි.


‘‘මල්ලි මොකට මේවා උස්ස ගෙන එනවද? මට පුළුවන් දරුවගෙ වියදම් බලාගන්න.‘‘


‘‘ඒ වුණාට මගේ යුතුකමනේ. අක්කා කොච්චර මහන්සි වෙනවද දරුවා හදාගන්න.‘‘


මම නැවත කොළබ මගේ කන්තෝරුව කිට්ටුවෙන් බෝඩිමක් හොයා ගත්තෙම්. ඒ අක්කලාගෙ ගෙදර සිට උදේ හවස කන්තෝරු යෑම අපහසු නිසයි .එබැවින් සුමාන දෙකකට සැරයක් මම පුතාව බලන්න අක්කලාගෙ ගෙදර යන්නෙමි .ඒ ගිය වෙලාවට පුතාව වඩාගෙන සුරතල් කරමින් මුළු කාලයම පුතා සමඟ ගත කරමි. මාළිගේත්, මගේත් හැඩරුව ඇතිව ඇති දරුවා දකින විට මට මාළි මතක් වී කඳුළුද උනයි..... කිරි සිනා පාමින් මා සමඟ හුරතල් වෙන දරුවා මට ...මාමා කියයි. පුතා අම්මා කියා අක්කාට කතා කරන්නේ.... අක්කාගෙ දරුවන් දෙදෙනා මෙන් ය. ශාන්ත අය්යාට තාත්තා කියා අමතන්න අක්කා නිතර පුතාට උගන්වයි.


පුතා ශාන්ත අයියාට ද දැන් තාත්තා කියයි. ඒ අක්කාගෙ දරුවන් දෙදෙනා මෙන් ය. මා එහි නැවතී සිටින මුළු කාලයේ ම දරුවා සෝදා කවා පොවා නිදි කරවමි. ඔහුව රෑට මට තුරුල් කරගෙන නිදා ගන්නෙමි.මට තුරුල් වී දරුවා නිදාගෙන සිටිනා විට මට ඇති වන්නේ දරා ගත නොහැකි දුකකි. අක්කා නම් කියන්නෙ දරුවාට අම්මා නැති වුණ එක වැඩිහිටියෙක් වනතෙක් කිව යුතු නැති බවයි. දරුවා මට තාත්තා කියා කතා කල යුතු නැතැයි කියාද අක්කා කියයි. .... ඇය කියන්නෙ පුතා ඇයටත් ඇයගෙ සැමියාටත් අම්මා, තාත්තා කියපු දෙන් කියායි .... මා එහි නැවතී සිටිනා කාලවල අක්කා, පුතා ලවා මට මාමා කියා කතා කරවන්නට උත්සහ කරයි. අක්කා කවදත් කරන්නෙ හරි දේවල් ය. එබැවින් ඇය කරන කියන දේ වලට මා ද කැමත්ත පල කරමි. අම්මා නැති මා පොඩි කාලයේ බලාගත්තේ මාගේ අක්කාය. ඒ කාලයේ පටන් ඇය මට අම්මා වී සිටියාය. දැන් ඇය මගේ පුතාට ද අම්මා වී හිදි.... ඇය කරන කියන හැමදේකට ම කැමැත්ත පළ කරමින් මගේ ජීවිතය, ඇයට ඕනෑ ලෙස, ගෙන යමි.


‘‘මල්ලි දැන් මෙහෙම ඉඳල හරියන්නෑනේ. මං පුතාව හදා ගන්න එකේ මල්ලි දැන් ජයන්තිව කසාඳ බැදලා ....මාළිලාගෙ ගෙදර නැවතුනා නම් හොදයි .... දැන් මාළි නැතිවෙලා අවුරුද්දකුත් පහු වුණා. පුතා දන්නෑ ඔයා එයාගෙ තාත්තා කියලා. මං මගේ දුවල, පුතාලා දෙන්නටත් කියල තියෙන්නෙ මල්ලිට ඒවා කියන්න එපා කියල. පුතා මටයි, ශාන්තටයි අම්මා, තාත්තා කියන එකේ මල්ලි දැන් වෙන කසාඳයක් කරගන්න.‘‘


‘‘විවාහ ජීවිතේට මගේ ඒ තරම් කැමැත්තක් නෑ අක්කා.‘‘


‘‘එහෙම කියල බෑ. තාත්තත් කිව්වා ඔයා එක්ක මේ ගැන මට කතා කරන්න කියල. තාත්තත් දැන් වයසයි. ඔයා තනිකඩය වෙලා ඉන්න එක තාත්තට දුකක්. ඔයා තාත්තා ගැන හිතල දැන් මාළිගෙ නංගි, ජයන්තිව කසාඳ බඳින්න කැමති වෙන්න...ඒ මිනිස්සු මට නිතර පනිවිඩ එවනවා මේ මගුල කරලා දාමු කියලා ...ජයන්තිත් තව වයසට යනවා....අපි මෙච්චර දවස් ඒ ගැන කතා නොකර හිටියේ මාළිගෙ අවුරුද්දේ දානය ඉවර වෙනකම්...දැන් ඒකට කාලේ හොදයි ....‘‘


‘‘අනේ අක්කේ මං ඔය මගුලට කැමති නෑ.....‘‘


-හෙට හමුවෙමු -

8 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page