(22වෙනි කොටස)
"සුනිලා නංගි...පුතාට කිරි දෙන වෙලාව ලගයිනේද...?
"තව ටික වේලාවක් තියෙනවා අක්කේ.....මම ඇදුම් මාරු කරගෙන ඇවිත් කිරි එක හදන්නම්..."
"බලන්න එපෑ... අපේ දුවටයි පුතාටයි මාමගෙ බබා දැකලා තියෙන සතුට.... සුනිලා මෙහෙ ආව එකටත් ඒ ගොල්ලන්ට සතුටුයි... . ඇයි ඉතිං සුනිලා පොඩි එකෙක් වගේ ඒගොල්ලෝ එක්ක සෙල්ලම් කරන නිසා... සුනිලා ගමේ ගිහාම, මේ ගොල්ලෝත් උදව් කරනවලු මට බබා බලා ගන්න..."
"ඒක හොදයි ..මොනව උනත් එකම ලේ තියෙන සහෝදරයෝනේ..."
"නංගි මම ඉක්මනට රෑට මොනව හරි කන්න උයලා ගන්නම්...අද දවාලෙත් අනම් මනම් කෑවා මිසක් හරියට බත් කන්න බැරිදුනානේ...නංගි එහෙනම් බබාව හෝදලා කිරි එකක් බොන්න දෙන්න රෑ වෙන්න ඉස්සර ..."
"මම බබා හෝදලා කිරිඑක බොන්න දීලා අක්කට උයන්න උදව් කරන්න එන්නම්..."
"නෑ, නෑ... මට තනියම උයන්න පුලුවන් , නංගි බබා ගැන බලාගන්න."
"අම්මේ... දැන් මාමායි චූටි මල්ලියි අපිත් එක්ක හැමදාම මෙහෙ ඉදියි නේද...? අක්කගෙ දුව අසයි.
"දිගටම නෙමේ....ටික කාලයක් ඉදියි. දැන් ඉතිං මාමයි මල්ලියි දෙන්නම ඉන්න නිසා ඔය දෙන්නට පාලු නැති වෙයි..." අක්කා සතුටින් කියයි.
"ඇයි සුනිලා නැන්දත් ඉන්නේ...අපිත් එක්ක, සෙල්ලම් කරන්න, ඒ නිසා අපට කොහොමත් පාලු නැති වෙයි.....මේ නිවාඩු කාලේ නංගිටයි මටයි හොදටම සෙල්ලම් කරන්න පුලුවන් .." පුතා කියන්නේ සෙල්ලම් කරන්න ආසාවෙනි.
අක්කා වගේම අක්කාගෙ දරුවනුත් සුනිලාට හරි කැමතිය. ඇය ඕන කෙනෙක්ගේ හිත සතුටු වෙන විදිහට කතා බහ කරමින් ඕන කෙනෙක්ට, ඕන උදව්වක් කරන නිසා, සුනිලා කොහේ ගියත් ඇයට සතුටෙන් සිටිය හැක.
සුනිලා, අක්කට කුස්සියේ උයන පිහන වැඩ වලට උදව් කරයි. බබා නාවලා , කවල පොවල නිදිකරවමින් ආදරයෙන් බලා ගනියි...අක්කගෙ දුවයි පුතයි සමග සෙල්ලම් කරයි...ගෙවල් අස්කර අතුගායි...ඇයගේ වැඩ ගැන අක්කාට තියෙන්නේ සතුටකි. අක්කාට වෙනදාට වඩා දැන් ගෙදර වැඩ ලේසි පහසු වි ඇත.
"දැන් මෙහෙම උදව් කර කර ඉදලා, සුනිලා ගමේ ගිහාම තමයි මට පාලු, පාඩු වෙන්නේ... "
"අපේ තාත්තගෙන් බේරෙන්න බෑනේ ගමේ එන්න කියලා .."
ඒක තමයි අපේ මහත්තයා කිව්වා ....බබාව බලාගන්න කාව හරි ලෑස්ති කරගෙන, සුනිලා ගමේ අරින්නත් කියලා ..."
"කාලෙකින් ගමේ ගියේ නැති නිසා දැන් නම් ගමේ යන්නත් ආසයි ..."
"සුනිලා කසාද බදින්න ඉන්න කෙනා මොනවද ගමේ කරන්නේ...?
"එයා අපේ ගමේ කෙනෙක් නෙමේ අක්කා...එයා ටවුමෙ කෙනෙක් ...එයා අපේ ගම පල්ලෙහා තියෙන සමාගම් කඩේ බිල් ලියනවා...මම කඩේට බඩු ගන්න යනවා දැකලා තමයි එයා, අපේ ගෙදරට කපුරාල කෙනෙක් එවලා තාත්තලාගෙන් කැමත්ත ගත්තේ..."
"එහෙමද...? දැන් කොයි කාලේ විතරද සුනිලලා කසාද බදින්න හිතාගෙන ඉන්නේ...?
"තාම දින දාගෙන නෑ...ඔය මට ඉක්මනට ගමේ එන්න කියන්නේ, මගුලට දින දාගන්න වෙන්න ඇති..."
" සුනිලා කසාද බදින කොට අපටත් මගුල් කියන්න සුනිලා ...."
"අක්කලාට එච්චර දුර එන්න පුලුවනෑ...
"බලමුකෝ...සුනිලා මටත් ආසයි සුනිලාගෙ ගම බලන්න ....අපේ මහත්තයා කියනවා සුනිලාගෙ ගම හරි ලස්සනයි කියලා.... ගමේ එළවළු ,කුළුබඩු , දඩමස් එහෙමත් මහත්තයා අපටත් ගෙනාවා...."
"අනේ ඔව් ගම ලස්සනයි වගේම, කෑම බීම මස් එළවළු පළතුරු වලින් කිසි අඩුපාඩුවක් නෑ...ගමට එන හැමෝටම අපි පුලුවන් විදිහට ඒ දේවල් ගෙනියන්න දෙන්න හරි ආසයි.
"කෝ මේ ...දුවයි පුතයි නංගි...
පොඩ්ඩක් බලන්න සුනිලා ... අපේ මල්ලිත් එක්ක දරුවො, ඉස්තෝප්පුවේ ඉන්නවද කියලා ....මල්ලිට තේ එකක් ඕනද කියලත් අහන්න සුනිලා .."
අක්කා හා සුනිලා කුස්සිය ඇතුලේ නිතර කරන කතාබහට මම ඇහුම්කන් දෙන්නෙමි. සුනිලා ආ පසු, කවදාවත් නැති තරමට මුලු ගේම එලිය වැටි සිරියාවෙන් පිරි ඇතැයි මට සිතේ...සුනිලා නිසා මුලු ගෙදරම අය සතුටින් ඇතැයි යැයිද මට සිතේ..
" මම මේ අය්යා කොහේද බැලුවා....කෝ දුවයි පුතයි....අක්කා අරහෙ ඒ දෙන්නව හොයනවා....සුමල් අය්යට මම තේ එකක් ගේන්නද..?
" දුවයි පුතයි අර වත්තේ ඉන්නේ....මට තේ එකක් හදාගෙන එන්නකෝ සුනිලා ...මමත් ළමයි දෙන්නා ඉන්න පැත්තට යනවා...චූටි පුතා නිදිද සුනිලා ...."
"ඔව්....බබා නිදි...හා මම තේ එකක් ගේන්නම්..."
"මල්ලිට තේ ඉල්ලුවද සුනිලා ..."
"ඔව්..සුමල් අය්යා ...බබාලා එක්ක වත්තේ ඉන්නවා ...පුලුවන් නම් තේ එකක් ගෙනත් දෙන්න කිව්වා.."
වැඩි වේලාවක් නොගොසින්ම ,සුනිලා මට තේ එකක් සාදාගෙන වත්තට එනවා පෙනෙයි.... දුවයි පුතයි වත්තේ සෙල්ලම් කරන දුරින් මම , ගස් හෙවනේ ඇති බංකුවේ වාඩි වී, සුනිලා එන දෙස ආසාවෙන් බලා උන්නෙමි.
"මෙච්චර ඉක්මනට තේත් හැදුවද සුනිලා .."
" මම නෙමේ .....අක්කා හදල දුන්නේ..."
"ඉතිං සුනිලා ...කොහොමද ...මෙහෙ හොදද ? .."
"මට කොහෙත් හොදයි අය්යා.....ඒත් තව සුමාන දෙකකින් විතර අපේ අය්යා එනවා කියලා තියෙනවා මාව ගමේ එක්ක යන්න......"
"සුනිලා ගමේ ගිහාම ඉතිං.... මට තමයි පාලු...."
"ඒ මොකද...? මේ අක්කා, බබාලා ඉන්නේ...."
"එහෙම නෙමේ සුනිලා ඉන්න කොට මුලු ගේම පිරිලා..."
"ආ...ඒ කොහොමෙයි....ගේ පිරිලා තියෙන්නේ බඩුමුට්ටු වලින්නේ..." සුනිලා හිනහෙයි...
"විහිලු නෙමයි...ඇත්තට කිව්වේ...සුනිලා ගමේ යන්නෙ නැතුව මෙහෙ ඉන්න..."
"එහෙම කොහොමෙයි...තාත්තා ගිය පාර ආපු වෙලෙන් මට බැනලා ගියේ...මෙහෙට වෙලා ඉන්නවා කියලා ..."
"සුනිලා දැන් කවද්ද කසාද බදින්නේ...?
"තාම දින නියම කරගෙන නෑ...මම කියන්නම්කෝ බදින දවසට....අය්යත් අක්කලා එක්ක මගේ මගුල් ගෙදර එන්න..."
"මට නම් දුකයි සුනිලා කසාද බදිනවා කිව්වහම .."
"දැන් ඉතිං එන අවුරුද්ද වෙනකොට අය්යත් ජයන්ති අක්කව කසාද බදිනවානේ...එතකොට චූටි පුතාවත් හදාගෙන මාළි අක්කලාගෙ ගෙදරම අය්යට පදිංචි වෙන්න පුලුවන් ...."
"කවුද කිව්වේ....මම ජයන්ති කසාද බදින්න ඉන්නෙ කියලා ...?
"ඇයි ජයන්ති අක්කාමයි මට කිව්වේ...මගුල තීන්දු කරලා තියෙන්නෙ කියලා ...ජයන්ති අක්කා හරි ආසාවෙන් ඉන්නේ, කසාදය ගන්න කම්..."
"ඒ එයාගෙ කැමත්ත....මම නම් ඒ යෝජනාවට කැමති නෑ...."
"ඒ ඇයි අය්යා ....ජයන්ති අක්කා කිව්වේ ...යසෝමා අක්කත් එයාට හරි කැමතියි කියලා ..."
"අක්කා කැමති එයාට නෙමේ...එයාගෙ දේපළ වලට...මම ඒ දෙකටම කැමති නෑ..."
"ඒ උනාට අය්යා....ජයන්ති අක්කට හැම දේම තියෙනවානේ...මොනව උනත් චුටි පුතාගෙ, පුංචි අම්මා නිසා වෙනස් කමක් නොකර හොදට දරුවා බලාගනී...."
"මට නම් ඒකත් විශ්වාස නෑ...සුනිලා දන්නවද..? මාළිගෙ අම්මගෙයි ජයන්තිගෙ අම්මටයි...පිරිමි සහෝදරයෝ ඉදලා නැති නිසා...ඒගොල්ලන්ගෙ තාත්තගෙ පරම්පරාවෙන් ආව දේපළ ඔක්කොම ඒ දෙන්නට අයිති වෙලා තියෙන්නේ...ඒ දෙන්නා කසාද බැන්දට පස්සෙ ....මාළිගෙ අම්මට හම්බුන දේපළ, එයාගෙ තාත්තා හොදට දියුණු කරගත්තට...., ජයන්තිගෙ තාත්තා ඒයාගෙ අම්මට හම්බුන දේපළ ඔක්කොම, බීලා, සූදු කෙලලා නැති කරගෙන...ඒ දේපළ ඔක්කොම අඩු මුදලට ඇරගෙන තියෙන්නේ මාළිගෙ තාත්තා ....ඉතිං දැන් මාළිගෙ දේපළ දෙන්න කෙනෙක් නැති නිසා...ඒවා පිටට යනවට ,මාළිගෙ අම්මයි ජයන්තිගෙ අම්මයි දෙන්නම කැමති නෑ....ඒකයි, මට ජයන්තිව බන්දලා දෙන්න හදන්නේ...."
" මට නම් ඕවා මුකුත් තේරෙන්නේ නෑ....මොනව උනත් ලොකු දේපළක් අය්යට අයිති වෙන නිසා සැපට ජයන්ති එක්ක, පුතාවත් හොදට හදාගෙන දෙන්නට සතුටින් ඉන්න පුලුවන්නේ..."
"මම ජයන්තිට කැමති නෑ සුනිලා ....අනික,මම දැන්ම කසාද බදින්න කැමතිත් නෑ....මාළිගෙ අම්මට දැන් , මාළි නැතිවුන එකේ දුකටත් වඩා තියෙන්නේ පරම්පරාවෙන් ආව දේපළ පිටට යයි කියලා තියෙන් බය...ඒකයි මාළි නැති වෙලා මාස තුන යන්න ඉස්සරම ඒවා ගැන මාත් එක්ක කත කරන්නේ....."
"ඒකනම් ඇත්ත...මාළි අක්කා නැති වෙලා තාම මාස තුනත් යන්න ඉස්සර ඒවා කතා කරන එක නම් හොද නෑ තමයි ...."
"සුනිලට තේරෙන ටික ඒ අම්මට තේරුම් ගන්න බැරි හැටි..."
"ඉතිං දැන් සුමල් අය්යා ...මොනවද කරන්න හිතන් ඉන්නේ...? යසෝමා අක්කත් ජයන්තිට කැමතියිනේ..."
"ඒ උනාට ඒ මගුල කෙරෙන එකක් නෙමේ....කවුරු කැමති උනත් මම කැමති වෙන්න එපෑ..."
"ඉතිං...අය්යා කැමති වෙන කෙනෙක් ඉන්නවද...?
"කෙනෙක් නම් ඉන්නවා....ඒත් එයා මට කැමති වෙයිද දන්නෑ...."
"ඒ කවුද මම දන්න කෙනෙක්ද...?
"මොකද මේ....දෙන්න එක්ක එළියට වෙලාම කතාව...? මම බැලුවා සුනිලා කෝ කියලා ..." අක්කා අපි දෙන්නා ලගට එනකම් අපි නොදුටුවෙමු.
"මාත් මේ සුමල් අය්යට තේ එක දෙන්න ආපු ගමන්...අය්යයි ජයන්ති අක්කයි ගැන, මේ කතා කර කර හිටියේ ..."
"ආ...ඔව් අපි මේ දෙන්නා ගැන කතා කරලා තියෙන්නේ....තව ටික කලක් තියෙනවා ඒකට.....අපි යමු ගෙට සුනිලා, දැන් පුතා නැගිටින වෙලාව.."
අක්කා සුනිලා අඩගසාගෙන කුස්සිය පැත්තට ගියේ ....මාත් සුනිලත් කතා කර කර හිටිය මාතෘකාව මග හරිමින් ය.
සුනිලා අක්කලාගෙ ගෙදර ආදා පටන් ....ඇය දකිනවිට, ඇය මා ලගින් යන විට, කතා කරන විට, හිනහෙන විට, මගේ පුතා වඩාගෙන හුරතල් කරමින් බලා ගන්නා විට, පුතා නිදි කරන විට ...මම හොරැහින් ඇය දෙස බලාසිටින්නේ දුකෙනි. ඇය කසාද බදින්න ගමේ කෙනෙක් ඉන්නවා බවදැනගත් දින සිට මගේ හිතට දුකක් දැනි ඇත....අනේ මම ආයෙත් කසාද බදිනවානම්.... සුනිලා වගේ කෙනෙක් කසාද බදින්න ඇත්නම් කියා මට සිතෙයි....
"අය්යා මොනවද පුතා අතේ තියාන කල්පනා කරන්නේ...?
මේ දිනවල ශාන්ත අය්යා මිනුම් වැඩකට මින්නේරිය පැත්තෙ ගොස් නැවති ඇත. ගෙදර ඇත්තේ අක්කා, දරුදෙදෙනා, සුනිලා සහ මමත් පමනය. අය්යා ගෙදර නැති දවසට හැමෝම වේලාසන කා බි නිදාගන්නට යන්නෙමු .....
රාත්‍රීයට කාබි අක්කා දරුදෙදෙනා සමග ඔවුන්ගේ කාමරයේ නිදාගන්න යන සද්දය ඇසේ.....
මම මගේ පුතා උකුලේ තියාගෙන, ගෙදර ඉදිරිපස වැරැන්ඩාවේ වාඩිවි උන්නෙමි. පුතාට මගේ අතේ හොදටම නින්ද ගොස් ඇත. මම දැන් පුතා ඔහුගෙ කාමරයේ ඇදෙන් තිබිය යුතුය.
අක්කලාගෙ ගෙදර ආදා පටන් පුතා නිදාගන්නේ... සුනිලා සමගය. රෑට ඔහුගෙ අවශ්‍ය තාවයන් බැලිම පුරුදු ඇයට නිසා, ඔහු තවම රෑට නිදියන්නේ සුනිලා සමගය. දැන් පුතා ඇදෙන් තියා මම නිදාගැනිමට යායුතුයි.
සුනිලා තවම පුතා ඇගේ කාමරයට ගෙන යාමට ආවේ නැත. ඇය අක්කා සමග කුස්සියේ වැඩ ඉවරකර ඇගපත සෝදා ගන්නට ගොස් ඇතැයි මට සිතේ....පුතා හොදටම මගේ උකුලේ උඩ නිදිය.
"අය්යා තාම මෙතනද...? හොදටම රෑ උනානේද ?..."
සුනිලා මගේ ලගටම එනකම් මම දුටුවේ නැත.... මම පුතා අතේ තියාන වාඩි වී සිටින පුටු ඇන්ද උඩින් ඇය වාඩි වි මා සමග කතා කරයි.... ඇය මේ දැන් ඇගසෝදා එන්නට ඇතැයි මට සිතේ....ඇය ලගින් කවදත් එන මල් සුවද දැන්ද මට දැනෙයි....ඇය පුතා මගේ අතේ නිදා ඉන්නා අයුරු දෙකට නැමි බලා හිදින්නේ...මගේ මුහුනේ ගෑවෙන්න නොගෑවෙන්න තරමට ලගින්ය. ඇගේ සුවද දැන් මට හොදින්ම දැනේ...
"පුතාට හොදටම නින්ද ගිහිල්ලා නේද ?කෝ අය්යා දෙන්න මට පුතා ඇදෙන් ගිහින් තියන්න..."
ඇය හෙමිහිට මට කියයි.
"මම ඇදෙන් තියන්නම්....සුනිලා ගිහින් ඇද හදන්න ..."
"ආ...එහෙනම් අය්යා පුතා ගේන්න ..."
සුනිලා කඩිනම් කර කාමරයට ගියේ මට ඉස්සරවය. කාමරය තුල හින් එලියක් ඇත...පුතා නිදාගන්නා වෙලාව නිසා සුනිලා කාමරයේ ලයිට් එක දමා නැත... සුනිලා මම පුතා ඇදෙන් තියෙන තෙක් ඇද ලගට වී බලා හිදී...ඇය රෑට අදින රෝස පාට ගවුමකින් සැරසී හිදියි.....ඇය මොන ගවුමකටත් ඉතා හැඩයි යැයි මට සිතේ......මම පුතා ඇදෙන් තිබ්බාට පසු, ඇද ලග දෙකට නැමී පුතාව රෙද්දකින්, හෙමිහිට පොරවන සුනිලා දෙස, මම බලා සිටියේ ආසාවෙනි...ඇයගේ සුදු මුහුන...දිග කොන්ඩය උසේ තරමට මහත...ඇගේ සිරුරේ හැඩ කෙතරම් නම් වෙලාවක් බලා සිටියත් මට නම් ඇති නොවේ...
- හෙට හමුවෙමු -
*ප්‍රිසිලා ගොඩහේවා *
Comments