top of page
  • Writer's picturePrisila Godahewa

💞බැද්දෙ කුමරිය 💞


(21 වෙනි කොටස )

"අපි එහෙනම් ගිහින් එන්නද නැන්දම්මේ .."


" එහෙම නෙමේ පුතේ...දරුවා ඉස් ඉස්සෙල්ලා ගෙදරින් එලියට එක්ක යන දවස නිසා,... රාහුකාලය අත ඇරලා...හෙට උදේ ගියානම් නේද හොද...?..මේ හවස් කරේ මොකට යනවද....අද රෑට ඔය දරුවො මෙහෙ නැවතිලා ඉදලා...., හෙට උදේ කිරිබත් ටිකක් එහෙම කාලම දරුවා ගෙයින් එළියට ගෙනිච්චා නම් තමයි හොද..."


"ඔව්...හවස් වේගෙනත් ආවනේ...මේ වෙලේ මේ කිරි දරුවා ගෙදරින් එලියට ගෙන යන එක නම් හොද නෑ තමයි ...එහෙනම් අපි හෙට උදේ රාහු කාලේ මග ඇරලා යන්නම්..."


"අන්න හොදයි යසෝමා ..."


"අපේ ළමයින්ගේ ඉස්කෝලේ නිවාඩු කාලේ නිසා හොදට ගියා...කෝකටත් එක්ක මම වාහනේ එනකොට දරුවන්ගේ ඇදුම් එහෙම ටිකක් දාගෙන ආවා....ඉස් ඉස්සෙල්ලා අලුත් වාහනේ කළුතර බෝධියත් වැදගෙනම යන්න කියලා හිතාගෙන ආවේ....එහෙනම් අපි අද මෙහේ ඉදලා හෙට උදේ රාහු කාලය අත ඇරලා , දරුවා ගෙයින් එළියට ඇරගෙන යන්නම්...ඒ යන ගමන්ම කළුතර බෝධියට දරුවත් ඉස්සෙල්ලා එක්ක ගිහින වැදපුදා ගෙනම ගෙදර යතහැකි ...ඒක ගොඩක් හොදයි .."


"ඔව්...එහෙම හොදයි තමයි .."


"මාමේ අපි අද මාළි නැන්දලාගෙ ගෙදර නවතින නිසා , හවසට අපි මුහුදු වෙරළ පාගන්න යමුද ..?


අක්කගෙ දුවයි පුතයි මාලිගෙ විශාල වත්තේ සෙල්ලම් කරන්නෙ ආසාවෙනි. අක්කගෙ පුතාට දැන් වයස අවුරුදු නමයක් වන අතර දුවට අවුරුදු හතකි. ඔවුන් දෙදෙනා මගේ පුතා ඔවුන්ගේ ගෙදර රැගෙන යන එක ගැන සතුටින් ඉදී...


"අනේ මාමේ...අපි යමුකෝ මුහුදු වෙරළ බලන්න .."


මාළිලාගෙ ගෙදර සිට පයින් ඇවිදන දුරක ,කළුතර මුහුදු වෙරළ පිහිටා තිබිම නිසා, අපි මාළි ජිවත්ව සිටි දිනවලත් නිතර ගිය තැනක් තමයි මුහුදු වෙරළ.


"එහෙනම් සුනිලා නැන්දත් අඩ ගහගෙන එන්න මුහුදු වෙරළ බලන්න යන්න ..."


"අනේ...ඒක හොදයි මාමේ...අපි සුනිලා නැන්දා එක්ක එන්නම්...දුවයි පුතයි මා එලෙස කිව් විට, දුවගෙන ගෙට ගියේ සුනිලා අඩගසාගෙන ඒමටය...


"ඔන්න මමත් එනවා මුහුදු වෙරළට යන්න ...."

සුනිලාට පෙර ජයන්ති ගෙදරින් එළියට දුවගෙන ආවේ එසේ කියාගෙනය.


"කෝ පුතේ සුනිලා නැන්දා ..? එයාටත් අඩ ගැසුවද..?


"අම්මා කිව්වා ...සුනිලා නැන්දා බබා නිදිකරවනවා කියලා, අපට ජයන්ති නැන්දයි මාමායි එක්ක යන්න කියලා ..."


"ඔව්...සුමල් අපි යමු...සුනිලා ඕන නෑ...ජයන්ති බළහත්කාරයෙන්ම, අපේ ගමනට එකතු වී සුනිලා හලා ඇත. මෙය නම් අක්කගෙ වැඩක් බව මට තේරේ..... කිසිත් කියාගත නොහැකිව මම අක්කගෙ දුවගෙ අතින් අල්ලාගෙන මුහුද පැත්තට යන්න ඉස්සර විය. ජයන්ති පුතා සමග කතා කරමින් අප පසු පසින් එයි...


"අන්න අය්යේ මුහුද....එන්න අය්යේ අපි දුවමු වෙරළට ..."දුවයි පුතයි මටත් ජයන්තිටත් ඉස්සර වී මුහුද පැත්තට දුවන්න හදයි......


"පුතා පරිස්සමින්....මුහුදු රැල්ල පාගන්න එහෙම මුහුදට බහිනවා නෙමේ...අපි එනකම් ඉන්න..."


" සුමල් ...ඔයත් කොහේද දුවන්න හදන්නේ...ඉන්න මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනේ..." ජයන්ති කීය. ඇය කොළබ ගෑනු අදින තාලේ කොට ගවුමක් ඇද ,කොන්ඩය මෝස්තරයකට බැද දමා ඇත. ඇය දැන් කාලේ එන එන මෝස්තරය කරන කෙනෙක් යැයි මට සිතේ...


මමත් දරුවන් පසුපස දුවගෙන යන්නට ලෑස්ති උනත් ජයන්තිගෙ කතාබහට හිටි තැන නතර වි ගමන බාල කලෙමි .


"මොනවද ඔයාට මාත් එක්ක කතා කරන්න තියෙන්නේ...?


"මම දැක්කා...ඊයෙ ඔයා අපේ ලොකුඅම්මයි ඔයාගෙ අක්කයි කතා කරනවා, කාමරයට වෙලා අහගෙන ඉන්නවා....ඔයා මොකද කියන්නේ...ලොකු අම්ම කරපු යෝජනාවට...?


"මම දැන්ම ඕවට කැමති නෑ..."


"දැම්ම නෙමේ...මාළි අක්කගෙ අවුරුද්දේ දානෙ ඉවර උනාට පස්සේ...."


"මම ආයි කසාද බදින්න කැමති නෑ ජයන්ති ...."


"ඒ උනාට ඔයාට හැමදාම තනිකඩව ඉන්න බෑනේ ..."


"මොකද බැරි..මට පුලුවන් ...."


"ඔයාට කරන්න ඕන ඒවා ඔයාගෙ අක්කා කරන්න දෙන්නෙ නෑ..."


"ඒවා එතකොට බලමුකෝ.."


"ඔයා මට කැමති නැද්ද සුමල්...? මම නම් ඔයාට හරි කැමතියි ....අපේ අම්මලයි, ලොකු අම්මයි ඔක්කොම කැමතියි අපි දෙන්නා එකතු වෙනවට....අපි දෙන්නට පුලුවන් මාළි අක්කගෙ දරුවා හදාගෙන මාළි අක්කලාගෙ ගෙදරම පදිංචි වෙන්න..."


"මම දැන්ම ඕවා කතා කරන්න කැමති නෑ...තාම මාළිගෙ තුන්මාසෙ දානේ දීලත් නැතුව .."


"හරි හරි....දැම්ම නෙමේ...ඒකට තව කාලේ තියෙනවා ...ඔයාගෙ කැමත්ත දැනගන්නයි මට ඕන උනේ..."


"මගේ එහෙම කැමැත්තක් නෑ..."


"ඇයි ඒ...වෙන කවුරු හරි ඉන්නවද ඔයා කැමති .... ඒ උනාට ඔයාට කවදාහරි ආයෙත් කසාද බදින්න වෙන්නේ ඔයාගෙ අක්කා කියන කෙනෙක් තමයි ..."


"ඒක එතකොට බලමුකෝ .."


"ඇයි ඔයා මාත් එක්ක තරහින්..."


"තරහක් නෑ....අපි යං පුතා රැල්ල පාගන්න ..."


මම ජයන්ති වෙරලේ ඉදිද්දි ...ඇය ගැන නොතකා, දරු දෙදෙනා සමග ඇතිවෙන්න රැල්ල පෑගුවෙමු.


අපි නැවත ගෙදර යන විට ,හොදටම හවස් වි තිබුනි....ජයන්ති මාත් සමග කතාවක් නැතුවම අපට ඉස්සරවි ගමන් කරයි. මම දරු දෙදෙනා සමග ඇය පසු පසින් ගියෙමි .


එදින රාත්‍රීයේ අක්කා, නැන්දම්මා , ජයන්ති හා සුනිලා කෑම කාමරයේ සතුටු සාමිචියේ යෙදි ඉදිද්දී....මමත් ශාන්ත අය්යාත් මාමන්ඩිත් ඉස්තෝප්පුවේ කතා කරමින් සිටියෙමු. මාමන්ඩි රට බීම බෝතලයක් කඩා....ඉස්තෝප්පුවේ කොනක කනප්පුවක් උඩ තබා ශාන්ත අය්යා සමග ආගිය තොරතුරු කතා කරයි....උම්බලකඩ හා පොල් කෑලි දීසි දෙකක්ද....ශාන්ත අය්යා වාඩියකින් ගෙනත්, ලුසියා උයා දීපු දඩමස් කෑලි ටිකක්ද එහි ඇත..... මාළිලාගෙ ගෙදර එනවිට ශාන්ත අය්යා කොහේ හෝ මිනුම් කදවුරකින් ගේන දඩමස් ටිකක්, මාමන්ඩිට ගෙනත් දෙන්නට අක්කා අමතක නොකරයි....මම ඔවුන් දෙදෙනා කිට්ටුව වාඩිවී..උම්බලකඩ හා පොල් කෑලි කමින් ඔවුන්ගේ පරන කතා අසමින් උන්නෙමි. මාමන්ඩි මා සමගද ඉදහිට කතා කලත්.....රට බීම බීපු නිසා ඔහු භාගෙට මත් ගතියකින් ඇතැයි මට සිතේ... ඔහු ඒ අතර රට සුරුට්ටුවක දුම්ද අදී....


‘‘සුමල් පුතාටත් හැමදාම මෙහේ ඉන්න බෑනේ..... රස්සාවට යන්නත් තියෙනවානේ.... එදා පුතාගෙ කන්තෝරුවේ යාළුවෝ හැමෝම වගේ මළගෙදර ආවානේ.... ඒ අයත් දුක් වුණා පුතාගෙ නෝනා නැති වුණ එකට....පුතා කොළබ කුළී ගෙය භාරදීලා අක්කලාගෙ ගෙදර නවතින්න ගිය එක හොදයි ....‘‘


‘‘ මට තනියම කොළබ ගෙදර ඉන්න හිතෙන්නෙ නෑ.... ඒකයි... ආපහු ඒ ගෙදර භාර දුන්නේ....දැන් ඉතිං මගේ පුතා අක්කලාගෙ ගෙදර නවතින්න එක්ක ගිහාම ,මට ලේසියි.... මට පුතාත් එක්කම එහෙ ඉන්න පුලුවන්නේ..."


‘‘කොහොමත් දරුවා, හදා ගන්න සුමල් පුතාගෙ අක්කා භාර ගත්ත එක නම් හොදට ගියා..... පුතාට ඉතිං දැන් ඒ හැටි බරක් නෑනේ.... තාම තරුණයිනේ. ඉස්සරහ කාලේ වෙන කසාඳයක් කරගෙන ජීවිතේ ඉදිරි කාලේ සතුටින් ගත කරන්නයි තියෙන්නේ.... මාළිගෙ පියා කීහ.


පසුදින උදේ කිරිබත් කා රහුකාලය මග ඇර අපි මාළිගෙ ගෙදරින් පිටවුනේ මගේ පුතා සමගය. අපි සමග අක්කලාගෙ ගෙදර යන්න සුනිලා ලෑස්ති වි උන්නේ ලානිල් පොඩි මල් සාරියකින් සැරසි කොන්ඩය බෙල්ලට බැදගෙනය. ඇයගේ කරේ ඇති රත්තරං චේන් පටේ ලොකු නිල් ගලක් ඇල්ලු මාල පෙත්තක්ද ඇත.... සුනිලා සාරිය ඇදගෙන ඉන්නා කලට මහ ගෑනියෙක් ගානට මට පෙනෙයි.


"දැන් පුතාලා කෙලින්ම කළුතර බෝධිය වැදලා නේද ගෙදර යන්න හිතන් ඉන්නේ.."


"ඔව්..නැන්දම්මේ..."


"ඔන්න මම පොල්, එළවළු එහෙම වාහනයේ ඩිකියට දැම්මා...පැනි රස කෑම වගයකුත් ඇති දරුවෝ දෙන්නට මගදි කන්න..."


"බොහොම් ස්තුතියි නැන්දම්මේ...අපි එහෙනම් ගිහින් එන්නම්..."


සුනිලා හා, දරුවා කැටුව අපි එදින අපේ අක්කලාගෙ ගෙදර බලා යන්නට ලෑස්ති වෙන බව දැනගෙන , ජයන්ති පසු උනේ කළකිරිමෙන්‍ හා කේන්තියෙන් කියා මට සිතේ..... ඇය ඒ ගැන කේන්තියෙන් සිටින්නේ සුනිලාද අප සමග යන නිසා වන්නට ඇත....ඇය කවුරුත් නැති වෙලාවක් බලා මගේ කාමරයට විත් මා සමග කතා කලාය.


"සුමල්, පුතා ඔයගොල්ලන්ගෙ ගෙදර එක්ක ගියාට කමක් නෑ මාව බලලා යන්න කළුතර අපේ ගෙදර ඇවිත් යන්න එන්න.."


ජයන්ති මාළිළාගෙ ගෙදර කවුරුත් පේන්න නැති තැනක මගේ අතින් අල්ලාගෙන කීවේ දුකෙන් වගේය....


"අපේ අම්මලායි ඔයගොල්ලන්ගෙ අක්කයි කැමති වුනා ,...මාළි අක්කගෙ අවුරුද්දේ දානේ ඉවරවුනාට පස්සෙ අපි දෙන්නගෙ කසාදේ ඉවර කරලා දාන්න...මාළි අක්කගෙ දේපල පිට යනවට ලොකු අම්මා කැමති නෑ....ඒ විතරක් නෙමේ...මාත් ඔයාට හරි කමතියි සුමල් .....මම මාළි අක්කගෙයි, ඔයාගෙයි පුතා මගේම පුතෙක් වගේ හදාගන්න කැමතියි ... .....ජයන්ති එයාගෙ අත් දෙකෙන්ම මගේ අතේ එල්ලි... මගේ ඇගට හොදටම තුරුල් වීගෙන කීය.


"පිස්සුද ජයන්ති ....මාළි නැතිවෙලා තාම යන්තම් මාස තුනට කිට්ටු උනා විතරයි....ඊටත් මම ආයෙත් කාවවත් කසාද බදින්නෑ....මම පුතා හදාගෙන තනියම ඉන්නවා....මම කොහොමත් ඔයාට කැමති නෑ....මම ජයන්තිගේ අත කේන්තියෙන් ගසා දමමින් ගෙයින් එලියට ගියෙමි .


"ඔයා ඔය කිව්වට...මට අකමැතියි කියලා ....ඔයාගෙ අක්කා කියන දේකට තමයි කවදහරි ඔයාට කැමති වෙන්න සිද්ද වෙන්නේ..." ජයන්ති සවුත්තුවට වගේ හිනාවෙමින් මට කීය.


අපි සුනිලා අපේ අක්කලාගෙ ගෙදර කැදවාගෙන යෑම, මගේ හිතට ලොකු සතුටක් ඇති කර තිබුනි. සුනිලා සිටින තැනක ඇයගෙ සුන්දර සිනාව, හැඩවැඩ ,ඇගේ වැඩපල දකිමින් සිටිමට ලැබිමත් ලොකු වාසනාවක් කියා මට සිතේ...


අප හතර දෙනා, එනම් අක්කා, අය්යා ,සුනිලා හා මමත්..ලොකු දරුවන් දෙදෙනාත් මගේ පුතාත් ශාන්ත අය්යාගෙ අලුත් "හිල්මන් හන්ටර්" කාරයෙන් කළුතර බෝධිය වදින්න ගියෙමු. අය්යා ඒ කාරය අලුතින් ඇරගෙන තිබෙන්නේ තාත්තා අක්කාට දෑවෑද්දට දුන් ඉඩමක් විකුනා ලැබුනු මුදල් වලිනි. මට මගේ ඉස් ඉස්සෙල්ලා ගත් වාහනය සිහි වන්නේ මේ රතයේ යන කලය.


"මම මේ කළුතර බෝධිය වදින්න ආවමයි....සුනිලා ඒ ගැන සතුටින් ඉදියි. අක්කත් සුනිලාත් බබාව මාරුවෙන් මාරුවට වඩාගෙන ඉදියි...සුනිලා වගේම අක්කාත් සාරියකින් සැරසි ඉදියි . ඔවුන් වැඩිහිටි බවට පත් වුන පසු ගෙදරින් එලියට යනවිට් සාරියකින් සැරසීමට වගබල ගන්නේ වැඩිහිටියන්ගෙ අනුදැනුම මත වන්නට ඇත. අපේ අක්කාද දරුවන් දෙදෙනෙක් සිටියත් ,තාමත් තරුණ පෙනුමැතිය.ඇත්තටම ගැහැනුන් සාරියකින් සැරසි ඉන්නා කල කොයිතරම් නම් සීලාචාරද, ලස්සනද කියා මට සිතේ. මම අක්කාගේ වගේම සුනිලාගේද ලස්සන හොරහින් බලමින් සිටියෙමි.


පැය දෙකක් වගේ කාලයක් හෙමිහිට කළුතර බෝදීන් වහන්සේ වැද පුදාගෙන, ඒ අවට ඇවිද අපි සතුටින් නැවත ගෙදර යන විට, හවස හතර පමන වි තිබුනි.


"සුනිලා නංගි...අපේ මේ ගේ නම් මාළිලාගෙ ගෙදර තරම් ලොකු නෑ...හැබැයි මම සුනිලට කාමරයක් ලෑස්ති කලා ඒකේ සුනිලට ඉන්න පුලුවන් පුතා එක්ක....සුනිලා ආපහු යන කම්....."


"මට ඔය කොහෙත් හොදයි අක්කේ පුතාට පහසු තැනක්.... ."


සුනිලා අක්කලාගෙ ගෙදරට පය තියපු ගමන්, මුලු ගෙදරම අලුත් හදක් පෑව්වා මෙන් එලිය වැටුනි. ඒ වගේම මගේ හිතත් සතුටින් පිරි ඉතිරි යන්නට විය.


- අපි නැවත ඉරිදා හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

78 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page