top of page
  • Writer's picturePrisila Godahewa

🌺බැද්දේ කුමරිය 🌺 ( 11 වෙනි කොටස)

🌹බැද්දේ කුමරිය 🌹

( 11 වෙනි කොටස )

https://www.facebook.com/groups/2653780434897311/permalink/2685723851702969/


විවාහයෙන් මාස දෙකක් සම්පූර්ණ වෙනවාත් සමඟ ම මාළි ගැබිනියක බව පෙන්වන ලකුණු මතු විය..... උදේ පාන්දර කෙඳිරි ගාමින් බඩ අල්ලා ගෙන වමනෙ දාන මාළි.... මුළු දවසම ගත කරන්නෙ හෝන්දු මාන්දුවෙන්ය. ගෙදර දොරේ වැඩ කිරීමට තරම් ශක්තියක් නැති ඇය දවසම ඇඳට වෙලා නිදියයි.......


සෙනසුරාදා, ඉරිදා ගෙදර ඉන්න දවසට මුළු දවසම ගෙයි ඇතුළත පිටත පිරිසිදු කර දැන් අප දෙදෙනාගෙම ඇඳුම් ද සෝදන්නේ මමය. අපගෙ කුළුඳුල් දරුවා ලැබෙන්න සූදානමින් සිටින ඇය දකින මට සතුටක් ඇති වුණත්, ඒ සමඟ ඇය සිටින අපහසු තත්ත්වය නිසා, මට ඇය ගැන ඇති වි ඇත්තේ දුකකි. හරි හැටි කෑමක් බීමක්වත් කන්නට බැරුව අප්පිරියාවෙන් මා සාදා දෙන කෑම ප‍්‍රතික්ෂේප කරන ඇය, දකින විට මා හට ද කොපමණ බඩගිනි තිබුණත් කෑම කන්නට හිත දෙන්නෙද නැත.


සතියේ දවසට උදෙන් ම නැගිට මා රැකියාවට ගෙනයාමට, බත් එකක් සාදා ගන්නෙ ඇගේ අකමැත්ත උඩමය. ඇයටත් මටත් පුළුවන් විදිහට යමක් දවල්ට රත් කරන මා උඩින් පල්ලෙන් ඇඳුම් ඇඳගෙන වැඩට දුවන්නෙ බසය අල්ලා ගැනීමටය.


‘‘අනේ.... සුමල් ඔයාට හැමදාම මේක කරන්න බෑනේ.... මං මාසයක් දෙකක් විතර ගෙදර ගිහින් අම්මලත් එක්ක ඉඳල එන්නම්. එතකොට මේ ලෙඩ ගති නැතිවෙලා යයි....ගමේ අපේ අම්මා උයන කෑම නම් මට කන්නත් පුලුවන් වෙයි.....‘‘


‘‘හැබැයි මං ඔයාට නොකිව්වට මටත් ඒක හිතුනා..... ගමේ ගිහාම දේශගුණයයි, ගමේ කෑමයි, නෑදෑයන්ගේ සමාගමයි හැමදෙයක් ම කැමති විදිහට ලැබෙන කොට ඔයාගෙ ඔය ලෙඩ ගති ඇරිලා යයි......‘‘


‘‘එතකොට මං ගමේ ගිහාම ඔයා මේ ගෙදර තනියමනේ.....‘‘


‘‘නෑ... නෑ... මං හිතුවේ, අක්කලා අලුත ගත්ත ගෙදර ටික දවසක් නවතින්න කියලා.... . එහේ ඉඳන් කන්තෝරුවට ටිකක් දුර උනාට, මගෙ වැඩපලට කෝච්චියේ ඉදන් එන්න පුලුවන් දුර.... ‘‘


‘‘ඒකනම් ඇත්ත අක්කත් කැමති වෙයි ඔයා එනවට. එයාගෙ දුවයි, පුතයි දෙන්නම ඔයාට ගොඩක් එකතුයිනේ.....‘‘


‘‘මම කසාඳ බඳින්න ඉස්සර , එහේ ඉන්න කොට දුවටයි, පුතාටයි පාඩම් කියල දෙන්නෙ මම නේ.....පහුගිය මාස තුනක්ම මං එහේ හිටියෙ නැති නිසා ඒ දෙන්නට ගොඩක් පාඩම් වැඩ අතපසු වෙන්නත් ඇති.... මම හෙට වැඩ ඇරිලා එන ගමන් ම අක්කලාගෙ ගෙදර ගිහින් ඔයා ගෙදර ගිහින් එන්න යන විස්තරය කියන්නම්....‘‘


‘‘එහෙනම් ඔයා අපේ අම්මලාගෙ ගෙදරටත් පණිවිඩය අරින්න මං එහේ ටික දවසක් නවතින්න එනවා කියල....‘‘


‘‘ඔව්... මං හෙටම පණිවිඩය අරින්නම්.....ඔයගොල්ලන්ගෙ තාත්තා එතකොට ඔයාට , ගෙදර වාහනය එවන්නෙ නැතෑ ගම යන්න....... අපට එන සෙනසුරාදා ගමේ යන්න පුළුවන් එතකොට.....‘‘


‘‘මට ගම මතක් වෙනකොටත් ආසයි.... මං මේ කොළඹ පදිංචියට කැමතිම නෑ. දේශගුණෙත් මට හරි අමාරුයි.... ටැප් වතුර නාන එක තමයි වැඩියම අමාරු.....‘‘


‘‘හරි... හරි... ඉතිං දිගටම ගමේ ඉන්න බෑ.... කුලියට ගත්ත ගේ වහල දාලා තියන්නත් බෑනේ..... මාසයක් දෙකක් අම්මලත් එක්ක ඉඳලා ඔය අසනීප ගති ඉවර වුණාම කොළඹ එන්න.....‘‘


‘‘ඔව්... ඔව්... එහෙම තමයි. ඔයා අක්කලත් එක්ක ඉන්න නිසා මට බය නෑ..... අක්කා ඔයාට හොඳට සලකන බව මං දන්නවානේ....‘‘


‘‘ඔයාගෙ ඇඳුම් එහෙම එහෙනම් ලෑස්ති කරල තියාගන්න. මං අදම ඔයගොල්ලන්ගෙ ගෙදරට ටැලිග්‍රෑම් එකක් ගහන්නම්. සෙනසුරාදාට අපට ගම එන්න වාහනය එවන්න කියලා ..... ඔයාට බස්වල මේ ඉන්න විදිහට යන්න බෑනේ ...."‘


‘‘අනේ කොච්චර දෙයක් ද? වාහනය ආවොත් නම් ගමේ යන්න ලේසියි ....‘‘


‘‘බලමු මං පනිවිඩය ඇරලා බලන්නම්... එහෙනම් සෙනසුරාදාට ඔයාව ගමේ ගිහින් බස්සලා මං අක්කලාගෙ ගෙදර යනවා ඒ එන ගමන්ම..... දැන්නම් තනියම ගෙදර ඉන්න බැරිවෙයි ඔයා නැතුව පාලුවේ.... ඒත් මං සෙනසුරාදා, ඉරිදට ඇවිත් වත්ත පිටිය එහෙම සුද්ධ කරල දාලා යන්නම්.... ආන්ඩුවේන් දුන්න ගෙය උනත් පාලූවට යන්න දෙන්න බෑනේ....‘‘


‘‘එහෙම හොඳයි සුමල්.‘‘

තාත්තාගෙයි, අක්කාගෙයි කරදරෙන් බේරෙන්න බැරිකමට මගුල් කපුවෙක් මාර්ගයෙන් සොයා දුන් මනමාළිය බලන්න ගිය මම, ඇයට කැමති වුණේ අක්කයි තාත්තයි කරදරයෙන් බේරෙන්න බැරි කමටය..... කියන්න තරම් කිසිත් ලස්සනක් නැති මාලනී පොහොසත් පවුලක එකම දියණිය විය. වසර ගානක් මනමාළයන්ගෙ ඇද කුද සොයමින් සිට ,ඇය කසාඳ වයස පහුවෙන්න ඔන්න මෙන්න කියා තිබිය දී මා හට කැමති වූ බව මා දැනගත්තේ පුංච් අම්මාගෙනි. ආදරය සෙනෙහස කිසිදින සිතට දැනී නොතිබුණ මම මාළි කසාඳ බඳින්න කැමති වූයේ අක්කගෙ හා තාත්තාගෙ සිත් සතුටු කරන්නටය. ඉංග්‍රීසි මාද්‍යයෙන් ඉගෙන ගෙන, රජයේ සේවකයකු වූ මා, හොඳ වෙද පරම්පරාවකින් පැවත එන නෑදෑ පිරිසකුත් සිටිනා බැවින් මාළිගේ පැත්තෙන් මා හට උඩින්ම කැමති වී ඇත.


අපගෙ විවාහය ඉතා ජයට ම කෙරුණේ මම අපේ පවුලේ එකම පිරිමි ළමයා වීමත් මාළි ඇගේ පවුලේ එකම දරුවා වීමත් නිසාය.... යමක්කමක් ඇති අප පවුල් දෙකේ ම නෑදෑයින්ගෙ හිත මිතුරන්ගෙ ආශිර්වාද මැද විවාහ දිවියට පත් අප දෙදෙනා පදිංචියට කොළඹ බලා ආවේ, මම නැවති සිටි කොළබ කූලි නිවසටය. ජීවිතයේ කෙදිනකවත් කාහටවත් ආදරය කර නොතිබුණු මම විවාහයෙන් පසු, මාළිට ආදරය කරන්න පටන් ගත්තෙමි.... මාළිත් මා හට ආදරය කරන්න පටන් ගත්තේ විවාහයෙන් පසුව බව මා හොඳාකාරවම දනිමි. ඇය ඇගේ සැමියාට ගරුසරු ඇතුව හොදින්ම සලකන භාර්‍යාවකි.


අපගෙ පළවන දරු උපතට සූදානමින් සිටිනා මාළි , මුල් මාස කිහිපය ඇගේ දෙමව්පියන් ගේ නිවසේ නතර කිරිමට මම ඇය රැගෙන ගියේ ඇයගෙ පියා විසින් කළුතර සිට කොළබට එවා තිබුන වාහනයෙනි.


අප මාළිගෙ නිවසට ගිය කල, ඔවුන්ගේ දෙමව්පියන් අප දෙදෙනා ඉතා සතුටින් පිලිගෙන සංග්‍රහ සත්කාර කරේ ඔවුන්ගේ එකම දියනිය කුළුදුලේ දරු උපතකට ලෑස්ති වෙන බව දැනගෙන ඉතා ප්‍රීතියෙනි.....


සෙනසුරාදා අප එන බව කලින් දැනගෙන හිටි නිසා, මාළිගෙ මව කැවිලි පෙවිලි, කෑම බීම මහ ගොඩක් සාදගෙන අප පිලිගන්න සූදානම් වි ඇත.


‘‘පුතා අද රෑටත් මෙහේ නැවතිලා සදුදා උදේම කොළඹ යන්න.බැරියැ...කෝච්චියේ....‘‘


"නෑ...මාමන්ඩි,....දවස් දෙකක් මෙහෙ හිටියනේ.... මම අද හවස අක්කලාගෙ ගෙදර ගිහින් අක්කගෙ දරුවනුත් එක්ක ටිකක් ඉදලා හෙට උදේම, එහේ ඉදන් වැඩට යන්නම්...."


"පුතාට හොද විදිහක් ....එහෙනම් අපේ කාර් එකෙන්ම මම පුතාව අක්කලාගෙ ගෙදරට බස්සන්න කියන්නම්.....ඒ දුවලටත් පහේ කළමනා ටිකක් මේ ගමන්ම අරින්න පුලුවන් ...මැංගුස් වත්තේ මේ පාර හොද පළදාවක් තිබුනා, හිටින්නකෝ එයින් කොටසකුත් මම ලෑස්ති කරලා දෙන්න..."


"පුතාගෙ අක්කා පුතාට හොඳට සලකන බව දන්න නිසා මේ මාළි ගෙ හිතට හොදයි කියන්නේ......මාළි ලඟ නැතුවට.... ඒ නිසා අපේ හිතටත් හොඳයි.‘‘


මාළිගෙ අම්මා එය කීවේ හිතේ කහටක් නැතුවමය. දීග දෙන වයස පහු කර ගෙන යන වයසක සිටි මාළි ගැබිනියක වී ඇති බව දැන ගත් දිනේ සිට ඇය සිටියේ පුදුම සතුකින්ය..... මුණපුරකු මිණිපිරියක දකින්න ඇති ආසාව නිසා ඇය මා හටත් ඇගේ දියණියට මෙන් ඉතා හොඳින් සලකයි.


නෑහිතමිතුරන් ජීවත්වන, ඇය උපන් ගමේ පදිංචියට මාළි ඉතා කැමතිය. රැකියාවක් නොකළ මාළි දෙමාපියන්ගෙ ආදරය කරුණාව මැද ඉතා සැපවත්ව හැදුනු වැඩුනු කෙනෙකිය.


‘‘මාළි නම් හැමදාමත් ගමේ ඉන්න තමයි කැමති....‘‘


‘‘ඒක තමයි මම පුතාටත් කීවේ..... මේ පැත්තට මාරුවීමක් හදාගෙන එන්න කියල. රස්සාවක් නම් නැතත් මොකද මේ තියෙන දේපල මදෑ ඔය දරුවන්ගෙ දරුවන්ටත් එක්ක.‘‘ ...


පොල් , රබර් වතු ඉඩකඩම් හිමි මාළිගෙ පියා තවමත් ඒ ඉඩකඩම්වල ආදායම ලබමින් ඒවා ගැන හොයා බලමින් ජීවත් වේ.


මාළිව ඇගේ දෙමව්පියන් ලඟ නවතා දෙවන දින හවස මා කෙලින් ම ආවේ අක්කලාගෙ ගෙදරටය. මාළිගෙ පියාගෙ වාහනයෙන් මාළි බස්සන්න ගමේ ගිය මා හට අක්කලාගෙ ගෙදරට යෑමේදී , වාහනය, පිරෙන්නම හාල් පොල් එළවළු පළතුරු ,කැවිලි වර්ග පටවා අක්කාට දෙන්න කියා මාළිගෙ මව හා පියා තෑගි බෝග එවා තිබුනි ....


‘‘මාමා ඇවිත් , මාමා ඇවිත්.....මා දුටු වහාම අක්කගෙ දරුවන් දෙදෙනා ඇවිත් මගේ ඇගේ එල්ලිනි.....‘‘


‘‘අන්න මාළි නැන්දා තෑගි බෝග පැනි රස එව්වා, කාරකෙ ඇති.....ගිහින් බලන්න .....‘‘


මාළි, හාල් පොල්වලට අමතරව ගමේ රස කැවිලිත් එවන්නට අමතක නොකරන බව මම දන්නෙමි.


අක්කාගේ සැමියා රජයේ මිනින්දෝරු මහත්මයෙක් නිසා ඔහුට නිතර දෙවේලේ ලංකාවේ විවිධ ප‍්‍රදේශවලට මිනුම් දෝරු වැඩ වලට යෑමට සිදු වේ. ඔහුගේ රාජකාරි කටයුතුවලට විවිධ ප‍්‍රදේශවලට යනවිට ඔහු සමඟ විවේක කාලවලට මාත් ඉඳහිට යන්නට අමතක නොකරන්නෙමි. විවාහයට පෙර මා ජීවත් වුණේ අක්කලාගෙ ගෙදරය. හේතුව අය්යා විවිධ ප‍්‍රදේශවලට රාජකාරි කටයුතුවලට යන බැවිනුත්, මාගේ රාජකාරි ආයතනය ඔවුන්ගෙ ගෙදරට කිට්ටුවෙන් පිහිටා තිබූ බැවිනුත්ය. අයියා ගෙදර නැති දිනවලට මම ගෙදර ඉන්නා නිසා අක්කා බය නැතුව දරුවනුත් සමඟ ගෙදර හිදියි.


‘‘මල්ලිට දැන් ඉතිං නිදහස ලැබුණානේ නෝනා ගෙදර නැති නිසා....ඒක හොදයි දැන් ටික දවසක් අපිත් එක්ක මෙහේ ඉදතැහැකි.....මේ දරුවො දෙන්නත් නිතර මාමා මතක් කර කර හිටියේ......‘‘


‘‘ඔව්... ඔව්... මං දැන් මාස දෙකතුනකට නිදහස්.....මාළි නැති කම්මැලි කම යන්නත් එක්ක, මට ආයෙත් අයියත් එක්ක ඉඩම් මනිනවා බලන්න යන්න පුලුවන් ....ඒත් මාළි ගෙදර එන්න ඉස්සර තමයි ..... ආයිත් නැත්නම් කවද යන්න හම්බ වෙයි ද කියලා කියන්න දන්නේ නෑනේ ......‘‘


‘‘අනේ මල්ලි අයියලා දැන් සුමාන ගාණක් වෙනවා බැද්දේ මිනුම් වැඩ වලට ගිහින්.......ලියුමක් වත් එව්වේ නෑ..... තවම ආවේ නැත්තෙ ඇයි ද දන්නෑ ...,‘‘


"තාම රුවන්ගම කැලෑවද අය්යලා මනින්නේ....?


"ඔව්...මල්ලි....ඒ ඝන කැලෑව තවම මැනලා ඉවර කර ගන්න බැරි වුනා කියලා ..ගිය පාර අය්යා ආ වෙලේ කිව්වා ..."


‘‘ඒක මහ ඝන කැලෑව දැම්ම නම් මැනල ඉවර කරන්න බැරි වෙයි.‘‘


‘‘මල්ලිට බැරිද කන්තෝරුවේ නිවාඩුවක් දාලා ගිහින් රුවන්ගමට, අය්යලා බලල එන්න..... ලියුමක් අරින්නවත් හරි ලිපිනයක් තියෙන එකක්යැ........"


‘‘එහෙනම් මං එන සිකුරාදාට ගිහින් බලන්නම්....අය්යා ඊට ඉස්සර පනිවිඩයක් එව්වෙ නැත්තම් ......‘‘


"අනේ ඔව් මල්ලි.....ඒක හොදයි ...මල්ලි යනවනම් මම කැවිලි අච්චාරු මොනව හරි හදලා දෙන්නම්...."


මාළි මහ ගෙදර නැවත්තු පසු මම අක්කලාගෙ ගෙදර සිට වැඩට යන්න පටන් ගත්තෙමි....මම අක්කලාගෙ ගෙදර නැවති සිටිම ඇගේ දරු දෙදෙනාට ඇති කලේ විශාල සතුටකි. මම ඔවුන්ට පාඩම් වැඩ කියාදෙමින්, සෙල්ලම් කරමින්, මුහුදු වෙරලේ ඇවිදින්න එක්ක යෑම ඔවුන්ට මහත් සතුටට කාරනයක් විය.


"මල්ලි ..අය්යා තාම පනිවිඩයක් එව්වේ නෑනේ....බැරිද මේ සිකුරාදා පොඩ්ඩක් රුවන්ගමට ගිහින් අය්යලාගෙ තොරතුරු බලලා එන්න....මල්ලි යනව නම් මම මොනව හරි අය්යලාට කන්න කැවිලි ටිකක් හදන්නම් හෙට දිහාට....


"එහෙනම් අක්කා කැවිලි ටිකක් හදන්නකෝ...මම කන්තෝරුවෙන් වරුවක නිවාඩුවක් දාලා හවස ගිහින් බලන්නම්....."


සිකුරාදා කන්තෝරුවේ වරුවක නිවාඩු දැමූ මම, මගේ ඇඳුම් බෑගයත්, අක්කා දුන් කැවිලි, අච්චාරු පාර්සලයද රැගෙන රුවන්වැල්ල බලා ගමන් ආරංභ කලෙමි.....


කන්තෝරුවෙන් පිටකොටුවට ගොස්.....කොළබ සිට රුවන් වල්ලට යන බසයකට නැගුන මම වාඩිවි යාමට සීට් එකක් යාන්තම් සොයා ගත්තෙ අමාරුවෙනි..... ,හවස් වී ගෙන එනවිට මිනිසුන්ගෙන් තදව් තෙරපුන බසය රුවන්වැල්ලට ලගා වුනේ....කිරිබිරි ගාමින්‍ ය....... රුවන්වැල්ලේ සිට රුවන්ගමට යන අන්තිම බසය හවස 6.30 තියෙන බව දැනගත්තේ බස් නැවතුමේ පලේ සිටි මගියෙක්ගෙනි.... රුවන්ගම බලා යන බසයෙ යන්නට බෑග් මලු, ගොනි කරගහගත්ත ගැමියන් විශාල පිරිසක් බසය එනතෙක් බලාපොරොත්තු දැල්වුන දෑසින් බලා හිදී.... ඔවුන් අතර සිටි මම දැඩි පිපාසයකින් පෙලුන නිසා, ලග තිබුන තේ කඩයට ගොස්, එතන තිබුන හැලපයක් කා කහට කෝප්පයක් බීව්වෙමි ....දවල් කෑම පැයෙදි කාපු බත් එක මේ වන විට හොදටම දිරවා තිබුන බැවිනි....කහට කෝප්පය තොල ගාන ගමන් මම බස් නැවතුමට බස් එක එනවාද කියා, ඇස් තියාගෙන බලමින් වුන්නෙමි.


වැඩි වේලාවක් නොයා බස් නැවතුමට ආ පාන් ගෙඩියක හැඩැති තනි දොරේ...ලංගම බස් රතය..... වට කරගෙන ගැමියන් පොරකාමින් බසයට නගින හැටි මා බලා උන්නේ කලකිරීමෙනි..... ඇඟිල්ලක් ගහන්න ඉඩ නැති බසය තුලට මාද නැග ගත්තේ...මේ බසය මග හැරුනොත් අද දවසේ රුවන්ගමට යන්නට වෙන බසයක් නොඑන බැවිනි....


මිනිසුන්ගන් පිරි ගිය බසයේ තැලෙමින්, පොඩිවෙමින් , හරියට හුස්ම ගැනිමටවත් නොහැකිව සිටි මා රුවන්ගමින් බසයෙන් බැස ගත්තේ, ඉහෙන් කනින් දාඩිය පෙරාගෙන බාගෙට පන ගොස්‍ ය.


-නැවත හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

0 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page