top of page
  • Writer's picturePrisila Godahewa

ප්‍රිසිලා

වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙක් සිටින පවුලේ බඩපිස්සි මමය. ගෙදර බාලමයා වු බැවින් අම්මා තාත්තා මට චූටි දුව කීහ. අක්කලා දෙන්නා මට චූටි නංගි කීය. එබැවින් නෑදෑයෝ යාලුවො මට අදටත් චූටි කියති. සෙල්ලම් කිරිමට ගිය කල මගේ නම "ප්‍රිසිලා" කියා දැනගෙන යාලුවො මට හිනා වුනි. " ඒ මොන කැත නමක්ද? හරි අමුතු නමක් නේ ඔයාට තියෙන්නේ... "ඔයාගෙ අම්මට තාත්තාට ඔයාට දාන්න වෙන නමක් තිබිලම නැද්ද ? "ප්‍රිසිලා....ප්‍රිසී, ප්‍රිසි.. පිස්, පිස්, පිස්සි...කෙල්ලෝ , කොල්ලෝ...කුරුට්ටෝ මට විහිලු කලහ. මම සෙල්ලම් කිරීමට ගොස් නිතර අඩාගෙන ගෙදර යන්නෙමි. මට නැවත සෙල්ලම් කිරීමට යෑන්නට බැරිබව අම්මට කියමින් ඇඩුවෙමි. "ප්‍රිසිලා කියන්නේ ලස්සන නමක්නේ... තාත්තා කියයි. ඒ උනාට ඒක ආච්චිලාට තියෙන නමක්ලු...මම නාහෙන් අඩන්නෙමි. ඒ ගොල්ලෝ කියන ඒවා ගනන් ගන්න එපා අම්මා කියයි. ඒ උනාට මම මීට පස්සෙ සෙල්ලම් කරන්න යන්නේ නෑ...මගේ නම වෙනස් කරලා දෙන්න....මම අම්මගේ ඇගේ එල්ලි ඇඩුවෙමි. "අපි ඔයාට එහෙනම් දේවිකා කියමු. කවදත් මට ආදරේ කරපු ලොකු අක්කා කීය. මගේ සිතට සතුටක් දැනින.😄😄 "ඒ උනාට යාලුවො දන්නවානේ මගේ නම ප්‍රිසිලා කියලා" "එන්නකො යන්න මාත් එක්ක " ලොකු අක්කා මගේ අතින් අල්ලාගෙන ගොස් යාලුවන්ට සැර කලහ. "ඔය ගොල්ලෝ මීට පස්සෙ මෙයාට ප්‍රිසිලා කියලා විහිලු කරන්න එපා. මෙයාගේ ඇත්ත නම "දේවිකා" "දේවිකා කියලා මෙයාට කතා කරන්න. කවදත් යාලුවන් එක්ක රංඩු කරන කොට, තරහ වෙනකොට මාව බේර ගන්නේ ලොකු අක්කාය. ලින්ඩ්සේ බාලිකාවට පාසැල් යන්න පටන් ගත් විට ගුරුවරුන් මට ප්‍රිසිලා කීය. යාලුවන් ප්‍රිසිලා කියා මා ඇමතුවත් .... ඔවුන් මටත් වඩා මගේ නමට අකමැතිය. අවුරුදු දහයක්ම මම ලින්ඩ්සේ බාලිකාවේදි ප්‍රිසිලා විය. මම ගෝතමි බාලිකාවට උසස් පෙල කරන්න ගියවිට, පුදුම ආසාවකින් මම මගේ දෙවන නම නොහොත් මැද නම වන වසන්ති නම පාවිච්චි කලෙමි . කොට්ටාවේ පදිංචියට ගිය පසු, අසල්වැසියන් මගේ නම අසා වසන්ති කිව් විට..... වසන්ති චතුරාණී ද කියා විහිලු කලේය . (වසන්ති චතුරාණී නම් නිලිය ඒ කාලේ ගොඩක් ප්‍රසිද්ධ කෙනෙකි) පසුව ඔවුන් නිතර නිතර මට විහිලුවට චතුරාණී කියා ඇමතූහ. කාලයක් යනවිට , මම ඔවුන්ට චතුරාණීම විය. වැඩිපුර මට චතුරාණී කියා ඇමතුවේ අල්ලපු ගෙදර සිටි ජගත් අයියයි. අවසානයේ ඔහුගේ බාල මල්ලි මගේ ආදරවන්තයා හා සැමියා විය. මට චතුරාණී කියා විහිලු කරමින් සිටි ජගත් අයියා අවසානයේ චතුරාණී කෙනෙක්ම කසාද බැන්දේය. දැන් පවුලේ චතුරාණීලාම දෙදෙනෙක්‍ය. එක්කෙනෙක් කුරුණෑගල චතුරාණීය. මම සනාගේ චතුරාණීය. සැමියන්ගේ ආච්චි ඉන්නා කල චතුරාණීලා දෙන්නාටම, එකට බනින්නේ ...තේ එකක්වත් හරියට හදාගන්න බෑ කියාය . මගෙත් අර්ජුනගෙත් විවාහය ගන්නට සැලසුම් කරන විට තිබුන ලොකුම ප්‍රශ්නය මගේ නමය. මේ වන විට අර්ජුනගෙ නෑදෑයෝ මාව දැනගෙන හිටියේ චතුරාණී නමින්‍ය. ඒ නිසා අපේ මගුල් කාඩ් චතුරාණී නම දාලා ගහන්න මගේ නැන්දම්මා කීය. "එහෙම බෑ ඇත්ත නමම දාලා වෙඩින් කාඩ් එක ගහන්න ඕනේ මගේ තාත්තා එක පයින් කියා සිටියාය . අන්තිමේ මගේ මගුලට... මගුල් කාඩ් දෙකක්ම ගසන්න සිදුවිය . මගේ නෑදෑයින්ට හා යාලුවන්ට "ප්‍රිසිලා " කියාත්, සැමියන්ගේ පැත්තේ අයට චතුරාණී කියා නමද දමාය. විවාහයෙන් පසු අවුරුදු හතරක්ම දරුවන් නොසිටිය කාලේ...සැමියා මට පැටියා කීය. දරුවන් පවුලට ආපසු පැටියා කෑල්ල හැලී ඇත . දැන් මට ලමයින් මෙන්ම සැමියත් අම්මි කියා අමතයි. සැමියාගේ යහලුවන් මුලින් චතුරාණී කියා මා ඇමතූ අතර, පසුව එය චතුරි විය. දැන් සමහරු චතූ කියයි. ගෝතමියේ යාලූවන් ඉදහිට හමුවුන විට මට වසන්ති කියති විවාහයෙන් පසු සමහරු මට මිසිස් සිල්වා කියයි. ඒ සැමියාගේ වාසගමය. මා සිල්වා නම් වාසගමට කැමති නැතිය. ඒ පදුරකට ගලක් ගැසුවත් සිල්වලා විසිවන තරමට ඉන්නා නිසාය. ඒ නිසා මම තවමත් මගේ පරන වාසගම වන ගොඩහේවා නමම පාවිච්චි කරමි. ඒ නිසා ඔස්ට්‍රේලියාවේ පදිංචි වීමට ආපසු, සමහර සුද්දෝ සිතන්නේ මම තාම කසාද නොබැද living together කියාය. දරුවන් නම් සිල්වා නමට බොහෝ කැමතිය. ඒ එය පෘතුගීසියෙන් ආ නමක් නිසා ඔස්ට්‍රේලියානුවන් ඒ නමට බොහෝ කැමති නිසාය . සැමියාග ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ නිසා මම මගේ පරන වාසගමින්ම එයට සම්බන්ද වී සිටිමි. ඒ ගැන නම් සැමියා බොහෝ කැමතිය. ලංකාවේ මිනිසුන්ට ප්‍රිසිලා නම නුහුරුය. වසන්ති නම ගොඩේය. චතුරාණී කියා නමක් මට නැතිය. පසුව අලුත් ජාතික හැදුනුම් පතක් සකස් කර වෙනත් නම් ඇති තැන චතුරාණී කියා නම දමා හදා ගත්තෙමි. ලංකාවේ මිනිසුන්ට හොදනැති වුන මගේ නම, මා අපහසුවට පත් කල , දුකට හා ලැජ්ජාවට පත්කල...." ප්‍රිසිලා" නම දැන් ඉතුරු වී අනිත් නම් සියල්ල දැන් හැලී ඇත. අද මා ජීවත් වන්නේ ඔස්ට්‍රේලියාවේය. මෙහි සිටින සියලු සුද්දෝ මගේ නම කියු සැනින් beautiful name කියති. ඔබ මෙරට ඉපදුණ කෙනෙක් ද කියා අසති. දෙවන වරට මා හමුවු විටද ඔවුන්ට මගේ නම හොදටම මතකය. මගේ නමට ඔවුන් හොදටම කැමති නිසා ඔවුන් මටද කැමතිය. 😄 ඒ නිසා අවසානේ මම මගේ නමටද කැමතිය. අවුරුදු ගනනාවක් ප්‍රිසිලා නමට මම අකමැති උන්නෙමි. මා හට කැත නමක් දැම්මා යැයි තාත්තාට නිතර අකමැතෙන් කිවෙමි. අද වන විට විදේශ රටකට ගැලපෙන නමක් දැම්මාට තාත්තාට මම ස්තූති වන්ත වෙමි. කිසි දින විදේශ රටක මම පදිංචියට යයි කියා නොසිතු තාත්තා දැමු නම නිසා අද මම සතුටු වන්නෙමි. අද මා සිටිනා තැන දකින්න තාත්තාට බැරි උනත්, ආදර තාත්තා හා අම්මා නිසා මම අද හොද තැනක ජීවත් වෙන්නෙම්. ඔබ දෙදෙනාට බොහොම පිං හොද ගුනගරුක පුරවැසියකු මෙලොවට බිහි කරාට.... ඔබ දෙදෙනාට නිවන් සැප ලබේවා !!

8 views0 comments

Comments


bottom of page