top of page
  • Writer's picturePrisila Godahewa

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන🌹

(23 වෙනි කොටස)


ලොකු දුවට අවුරුදු තුන පිරෙන දිනයම, මට වෛද්‍ය වරයා විසින්, දෙවන දරුවා ලැබෙන්න දිනයද ලබාදීම මටත් අංජුටත් විශේශ සතුටක් විය.


නමුත් ලොකු දුව හම්බවෙන්න ආ විටදි මෙන්ම දෙවන දරුවා ලැබෙන්න සිටින විටදී මට අධිරුධිර පීඩනය වැඩි විම හා නොයෙකුත් ශාරීරක අපහසුතා, සංකුලනතා ඇතිවි වේලාසන රෝහලට ඇතුලත් වෙන්නට සිදුවිය.


"දැන් ඔයා හොස්පිටල් නවතින්න ගිහාම, කොහොමද අපි ලොකු දුවව බලාගන්නේ...?


"අපේ අම්මා ලොකු දුවව බලාගන්නම් කිව්වා. ඔයා උදේට වැඩට යන වෙලාවට එයාව අම්මලාගේ ගෙදරින් බස්සවලා ගිහින්, වැඩ ඇරිලා එන ගමන් එයාව ආපහු ගෙදර එක්ක යන්න. අම්මා ඔයාටත් බබාටත් කෑම හදලා දෙයි.


දෙවන දරුවා ලැබෙන්න කිට්ටුව මට නැවත රෝහල් ගත වෙන්නට සිදුවීම මගේ ජීවිතයේ දුක්බරම අවස්තාවක් විය. ඒ ලොකු දුවව දකින්න නැතුව මට ඉන්නට සිදු වීමත්, ඇගේ කෑම බිම අඩුපාඩුකම් මට සකසා දීමට බැරි වීමත්ය. ඇයට ආදරය අවශය මොහෝතේ ඇය ලඟ සිටිමට බැරි විමත් මට දුකක් විය.


"අම්මි ලඟ නෑ,කියලා, ලොකු දුව ආච්චිලාගේ ගෙදර ඉදන් අඬනවා...අනේ මන්දා මොනව කරන්නද කියලා...මේ ශ්‍රී ජයවර්දනපුර හොස්පිටල් එකෙ ලෙඩ්ඩු බලන වෙලාවට, වාට්ටු වලට පොඩි දරුවො එක්ක එන්න බෑනේ ඇතුලට..., දුවට ඔයාව බලන්නත් නෑ, ඔයාට දුවව බලන්නත් නෑ..."


"අනේ ඔව් මට දුව දකින්න නැතුව ඉන්න බෑ.... හරිම දුකයි...මට දැන් එයා මතක් වෙනකොට කන්න බොන්නත් බෑ තාත්ති....."

මම අංජු මාව බලන්න, එන වෙලාවට ඔහු සමඟ මගෙ දුක කියමින් අඩන්නෙමි.


"අම්මී ...ඔයාට මේ පාර බබා හම්බවෙන්න මේ ජයවර්ධන හොස්පිටල් එකට ඇවිත් බෑ. ලොකු දුව බලාගන්න කෙනෙක් නැති වෙනවනේ ඔයාගෙ අම්මා ඔයා බලන්න හොස්පිටල් එකට එන වෙලාවට..."


"ඒක තමයි දැන් අපි මොකද කරන්නේ....?


"ඔයාගේ අත දෙන්න...මෙන්න මේතන 30000/= ක් තියෙනවා, මම වැඩට යන ගමන් තව පොඩි බිස්නස් එකක් මේ දවස්වල කරගෙන යනවා ඒකෙන් මේක හොයා ගත්තේ, ඔයා මේ සල්ලි තියාගන්න අපේ අලුත් බබා,හම්ව වෙන්න ප්‍රයිවට් හොස්පිටල් එකකට යන්න...ඔයාට දැන් මේ ජයවර්ධනපුර හොස්පිටල් එකට ඇවිත් වැඩි දවසක් ඉන්න බෑ ලොකු දුව තනියම තියලා...ප්‍රයිවට් හොස්පිටල් එකකට ඔයා බබා හම්වවෙන්න ගියොත් ඔයාට ලොකු දුවවත් ඔයාගේ කාමරයේම තියාගන්න පුළුවන්..."


"මට හෙට ගෙදර යන්න පුලුවන් කියලා dr කිව්වා..."


"අම්මෝ ඒක නම් ලොකු දෙයක්...මම පහුගිය සුමානෙම ලොකු දුවත් එක්ක තනියම හිටියේ හරිම අමාරුවෙන්...අම්මා කොච්චර හොදට දුවව බලාගත්තත් මගෙ හිතට හරි නෑ ඔයා දරුවා ලඟ නැති නිසා..."


අසනීප තත්ත්වයක් උඩ, හදිසියේ සුමානයක් රෝහල් ගත වෙන්නට සිදු වුන මට, ලොකු දුව දකින්න නැතුව මගේ හිත තවත් ලෙඩ කරවන්නට විය.


වාසනාවකට රෝහලේ වාට්ටුව භාර වෛදයවරයාට මගේ දුක හා ලොකු දුව ගැනද පවසා, මම ගෙදර ගොස් හොදින් පරිස්සම් වි ඉන්නම් කියා.....ගෙදර යන්නට අවසර ගත්තෙමි .


අංජු මාව හවස ගෙදර රැගෙන යන්නට වාට්ටුවට එන විටත් මම මගේ බඩු මුට්ටුද ලෑස්ති කරගෙන උන්නේ ලොකු දුව දකින්න යන්න නොවිසිල්ලෙනි.


"දුව අම්මා එක්ක පහළ ඔයා එනකම් බලාගෙන ඉන්නවා. දැන් නම් දුව ටිකක් අම්මලාගේ ගෙදර ඉන්න පුරුදු වෙලා, අඩන්නෙත් නෑ කිව්වා. "


"අනේ තාත්ති අපි ඉක්මනට යමු, මට දුව දකිනකම් ඉවසිල්ලක් නෑ...."


"ඔය පරිස්සමින් හෙමිහිට යන්න...ඔය බඩත් උස්සගෙන ඔයා දැන් වැටෙනවා තියෙන හදිස්සියට..."


ශ්‍රි ජයවර්ධන පුර රෝහලේ පහළ මාලේ ඈතටම මට මගේ අම්මා සමඟ ලොකු දුව ඉන්නවා පෙනේ...සුමානයකට පසු දුවව ඈතදීම දැක මගේ දෑස කඳුලින් තෙමින. කොළපාට කොටු ශර්ට් එකට, කොළපාට කොට කලිසමක් ඇදන් ,රතු පාට බෝනික්කෙක් තුරුල් කරන් ඉන්නා ලොකු දුව, මාව ඈතදීම දැක අච්චි අත හැර දමා මා වෙත දිවගෙන ආවාය. බඩත් අමාරුවෙන් උස්සා ගෙන සිටි මම , බිමට නැමි දුවව තුරුළු කරගෙන ඉකිගසමින් අඩන්න පටන් ගත්තේ, සුමානයකට පසු දුවව දැක දැනුන සතුට, ඇය නොදැක සිටි දිනවල තිබුන වේදනාව හා දුක සියල්ල නැති වි යන සේය.


මම අඩන්නේ කුමකට දැයි නොදන්න දියණිය, මගේ බෙල්ල බදාගෙන මට තුරුළු වි උන්නේ සුමානයකට පසු මා දැක සතුටින් උදම් වි, මගේ උනුසුම විදමින් සැනසෙන අයුරු දැක මට තව තව ඇඩින....


" අම්මි....ඔය මදෑ දැන් ඇඩුවා, අපි ගෙදර යමු..." අංජු මගේ උරිස්සෙන් අල්ලා මා නැගිට්ටවන්නට උත්සහ ගනී. මගෙ අම්මා මාත් දුවත් දෙස බලමින් ඇයද දෑස් පිසමින් ඉදී.


දිනෙන් දින අපහසුකම් මැදින් දින ගෙවි යමින්, ලංවෙන්නේ මගේ දෙවැනි දරුවාගේ උපත සඳහායි. දෙවන දරු උපත දැනගත්දා සිට මගේ ඇගේ තිබුන ශාරිරික අපහසුකම් මෙතකැයි කියන්න බැරි තරම්ය ....ලොකු දරුවාද බලාගනිමින් ,අංජුට හා ඇයට කෑම බීම හදා දීම මම දැන් කල යුතුය . උදේ රැකියාවට යන අංජු හවසට ගෙදර එන වෙලාවට රෑට කන්න යමක් සුදානම් කල යුතුය. රැකියාව උපරිමයෙන්ම කරන ඔහුට ගෙදර දොර ඉවුම් පිහුම් ගැන වැටහීමක් ඇත්තෙම නැත. හවසට ගෙදර එන ඔහු දුවව සෝදා දී, මට කරගන්නට බැරි අමාරු බර වැඩක් කරනවා ඇරෙන්න ගෙදරදොරේ වැඩ ගැන ඔහුට දැනිමක් නැති විම ගැන මට දැන් දුකක් ඇත. දීලීමා පැමින මට ගෙදර දොරේ වැඩ කර දීම නිසා උන්තම් මම සෑහීමකට පත් ව උන්නෙමි. වැඩිපුර නෑදෑයන් යහලුවන් අපට නොසිටි නිසාත්, අපි හිටි නෑදෑයන්ද වැඩිය ආශ්‍රය නොකල නිසාත්(සමහර කලකිරිම් නිසා) අප දෙදෙනාට ඔවුන්ගෙන්ද කියන්න තරම් උදව්වක් නොලැබින. ඉදහිට අහල පහල ගෙදරකින් මට ආසාවට කන්න දෙයක් ලැබුනත් ඒ බොහොම කලාතුරකිනි. අම්මා බත් මුලක්, පැනිරස කෑමක් හෝ පළතුරක් රැගෙන පුලුවන් අවස්තා වල පැමිණ යයි. අංජුගෙ ගෙදර අය ලඟපාත නොසිටිය නිසා, ආසාවට යමක් මට ඔවුන්ගෙන්ද කන්නට නොලැබින. පප්පා හා අපේ තාත්තා යමක් රැගෙන දවල් දවසේ ලොකු දුව බලා යන්නට පැමිනෙන්නේ පැන්ශන් දවසටය.


"හෙට නෙළුම් ලගෙ ගෙදර රෑට කන්න එන්න කියලා ,එරංදි කිව්වා...ඔයා මොනවද කන්න ආස කියලත් ඇහුව්වා. "


"මට දැන් බත් කන්නම ආස නෑ ..පාස්ටා වගේ දෙයක් නම් කන්න පුලුවන් ...අර ගිය මාසේ ප්‍රභාත් ලගෙ ගෙදර අපි ගිය වෙලේ, නිත්‍යාගේ අම්මා තෝසේ හදලා දීලා, මම හරි රසට කෑවා "


"අපි ඔයගොල්ලන්ගෙ ගෙදර අය එක්ක ට්‍රිප් එකක් ගිහින් එමුද ඔයාගේ ඔය අසනීප කම් මග ඇරෙන්නත් ඒක්ක..."


"....මම හරි ආසයි විනෝද ගමන් යන්න .. ඒත් දැන් මට හරි අමාරුයි ...අපි පස්සේ යමු..."


"ඔයා එහෙනම් අලුත් බබාට ඕන ඇදුම් ලෑස්ති කරලා තියාගන්න ...හදිස්සියක් උනොත් අම්මටත් ඔයයි බබයි එක්ක හොස්පිටල් යන්න ලෑස්ති වෙලා ඉන්න කියන්න.


"මේ පාරත් අලුත් බබාව ඉක්මණට එළියට ගනියි වගේ....මට ප්‍රෙශර් වැඩි නිසා. "


"අද හවස ඩොක්ටර් හේමන්ත පෙරේරාව චැනල් කරන්න තියෙනවා .ඔයා ලෑස්ති වෙලා ඉන්න යන්න. මම හවස වැඩඇරිලා ඉක්මණට එන්නම් "


"හරි ...මම ලෑස්තිවෙලා ඉන්නම්. "


"අම්මි...මේ පාර අපි ප්‍රයිවට් හොස්පිටල් එකකට යමු බබා හම්බවෙන්න ...."


"ඒ උනාට ඔයාට මතකද, Overseas හොස්පිටල් එකෙන් කිව්වා, මගේ සීසර් ඔපරේෂන් එක ඒ හොස්පිටල් එකේ කරන්න බෑ කියලා , මගේ පපුවේ අමාරුව නිසා...."


"ඒ හොස්පිටල් එක, ලඟදි පටන් ගත්ත එකක් නේ ඒගොල්ලන්ට ඒ වෙනුවෙන් පහසුකම් නැති නිසා වෙන්න ඇති..."..


"දැන් අපි මොන හොස්පිටල් එකටද බබා හම්බවෙන්න යන්නේ...?


"ඔයාගෙ ඩොක්ටර් , හේමන්ත පෙරේරා එන්නේ නවලෝක හොස්පිටල් එකටනේ අපි ඒකට යමු...මම හොස්පිටල් එකට යන වැඩිපුර මුදල් ගානත් හොයාගෙන ඉන්නේ...ඒ නිසා ඔයා බය නැතුව නවලෝක හොස්පිටල් එකටම යන්න....එතකොට ඔයාට දුවව ඔයා ලඟම ඔයාගේ කාමරේ තියාගන්න පුලුවන් . "


"ඔව්...ඒක හොදයි... එහෙනම් අපි එහෙම කරමු..."


ලොකු දුව හම්බවෙන්න ඉන්න අවස්තාවේ වගේම මෙවරද , මගේ දරුවා වේලාසන සීසර් කර ගන්නට අවශ්‍ය බව මගේ වෛද්‍යවරයා කිව් නිසා, මම අලුත් බබාට හා ලොකු දුවට අවශය ඇදුම් පැලදුම් ලෑස්ති කරගෙන සුදානමින් සිටියේ කොයි මොහොතක හෝ මට රෝහල් ගත වෙන්නට වෙයි කියන සැකෙන්. මගේ ඇගේ ඇති අපහසුකම් මෙතකැයි කියන්න බැරි තරම් . රෑට නිදාගන්න ගිය විට මට මගේ බඩ උස්සාගෙන ඉන්නට බැරි තරම් අමාරුය. බඩේ ඇතුලේ දරුවා එහෙට මෙහෙට දඟලනවා මම ඉවසාගෙන ඉන්නේ බොහොම අමාරුවෙනි. ඇදේ එහෙට හැරෙන්නත් බෑ... මෙහෙට හැරෙන්නත් බෑ...නිදාගන්නත් බෑ.... තියෙන අමාරු කම් නිසා. බොහෝ දිනට රෑට ඇදේ වාඩිවි මම ඇස් පියාගෙන ඉදින්නෙමි .


"අද ඔයාව බලපු ඩොක්ටර් හේමන්ත පෙරේරා කිව්වා, හෙට ඔයාව හොස්පිටල් ඇඩ්මිට් කරන්න කියලා ....ඔයාගෙ ප්‍රෙශර් වැඩි නිසා දරුවව අනිද්දට සීසර් කරලා ගන්නවලු...."


"අනේ අනිද්දා අඟහරුවාදා දවසක්නේ....මම කැමති නෑ අඟහරුවාදා දිනට විශේෂ දේවල් කරන්න ..."


"ඔයාට පිස්සුද ...ඕවා බලන්න බෑ..ඔයා හොස්ටල් යන්න ලෑස්ති වෙන්න . මම ඔයගොල්ලන්ගෙ අම්මව එක්ක එන්නම්..."


" අපි අම්මත් ආවාහම හෙට රෑට පන්සල් ගිහින් එමුද..? අනිදාට බබාව සීසර් කරලා ගන්නවා නම් , පන්සලේ හාමුදුරු නමක් හිටියොත් අපි පිරිත් ටිකක් කියව ගමුද?. මගේ ඇඟේ අමාරු කම් නිසා මම මේ පාර බයේ ඉන්නෙ..."


දෙවන දරු උපත සදහා යන දිනට කලින්දා රෑ අපි අම්මත් අඬගසාගෙන රුක්මලේ මහ පන්සලට බුදුන් වදින්න ගියේ තුනුරුවන්ගේ ආශිර්වාද ලබාගෙනම දරු උපත සඳහා යන්නයි.


"තාත්ති පොඩ්ඩක් බලන්නකො හාමුදුරු කෙනෙක් ඉන්නවද කියලා ,මට පිරිත් ටිකක් කියවා ගන්න..... අපි මේ පන්සලට නිතර යන එන අය නොවන නිසා පිරිත් කියයිද දන්නේ නෑ...."


"ඔයා අම්මයි බබයි එක්ක බුදුන් වදින්න . මම ආවාස ගේ ගාවට ගිහින් බලන්නම්, පිරිවෙන් යන පොඩි හාමුදුරු නමක්වත් ඉන්නවද කියලා...."


"අනේ ඔව් තාත්ති...ඒක හොදයි ..ඔයා ගිහින් බලලා එන්න. "


මම අපහසුවෙන් මගේ බඩත් උස්සාගෙන අම්මත් ලොකු දුවත් සමග පන්සලේ බෝදිය ගාව අස් කර ,මල් පහන් තියා, බෝධීන් වහන්සේ පැන් වලන් නාවා වන්දනා මාන කටයුතු කලේ බොහෝම නිවාඩු පාඩුවේ ආසාවෙන් සැහැල්ලුවෙන් ...


"අම්මි....පන්සලේ ලොකු හාමුදුරුවෝ හිටියා, බුදුන් වැදලා ආවාස ගෙට එන්න කිව්වා, ඔයාට පිරිත් ටිකක් කියන්න..."


"හානේ...ඔය ඇත්තමද...? අපි මේ පන්සලට අලුත් අය වෙලත් හාමුදුරුවෝ එහෙම කිව්වද...?"


"අංජු ඔයා අර ලඟ කඩේට ගිහින් පිරිකරට පිටි සීනී මොනවා හරි ඇරගෙන එන්න, නිකම් යන්න බෑනේ ..." අම්මා අංජුට කීය.


"හරි මම ඇරන් එන්නම්...ඔය තුන්දෙනා ආවාස ගේ ගාවට යන්න ."


"බලන්නකෝ අම්මේ, අපිව අඳුනන්නේ නැති උනත් මේ මහ පන්සලේ හාමුදුරුවෝ මට පිරිත් ටිකක්, මේ කළබලේ කියන්නම් කිව්ව එකත් කොයිතරම් ලොකු දෙයක් ද ?


" හරි...මම පිරිකරට පිටි සිනි ඇරගෙන ආවා.... තව මං ගාව වාහනේ , ඉයර් පෑලෑනින් ඩයරීස් දෙකක් තියෙනවා , ඒකත් පිරිකරට දෙමු, ඒවා හාමුදුරුවන්ට ප්‍රයොජනවත් වෙයි ..."


"මට නම් මොකක්ද වගේ මේ කළු ගවුමත් ඇඳන් ආවාස ගෙට යන්න ...මම මේ හදිස්සියේ පිරිත් කියන්න යන වගක් දන්නේ නෑනේ ...ඊටත් මට ටොයිලට් එකට යන්නත් ඕනේ... දැන් මොකද කරන්නේ ...? ඉන්නත් අමාරුයි...."


"ඉන්න මම අර පොඩි හාමුදුරුවන්ගෙන් අහලා එන්නම් ටොයිලට් එක කොහේද කියලා . "


පන්සල් ගියාට හාමුදුරුවරු වැඩිය ආශ්‍රය කර නැති මට ආවාස ගේ ඇතුලට යන්න බයක් ඇත. එබැවින් ටොයිලට් යන්නද අවශ්‍ය වි ඇත. අංජු මට ටොයිලට් එකක් හොයන්න ගොස්‍ ඔයාට. ඔහු කවදත් මගේ පුංචි අමාරුවක් කිව්වත් ඒ ගැන හොයා බලා උදව් කරන කෙනෙක් වීම මගේ වාසනාවකි.


" අම්මි...එන්න...හාමුදුරුවෝ අර අතන තියෙන හාමුදුරුවන්ගේ ටොයිලට් එකට යන්න කිව්වා, දැන් කරුවලේ , සාමාන්‍ය මිනිස්සු යන ටොයිලට් එකට ඔයාව අරින්න එපා කිව්වා.....මොනව කලත් ගැඹිනි මවකට හාමුදුරුවරු සලකන විදිහ හරිම අගය කල යුතුයි.


"අනේ හරිම හොද හාමුදුරු නමක්නේ...එහෙනම් මම ගිහින් එන්නම්."


මට යන්නට කිව් වැසිකිලිය හාමුදුරුවරු පාවිච්චි කරන එකක් බව මට හොදින්ම වැටහුනේ එහි එල්ලා තිබුන කහ පාට සිවුරු, තුවා නිසාය.


"එහෙනම් අපි ආවාස ගේ ඇතුලට යමු . අම්මේ මේ පිරිකර ටික ඇරගෙන එන්න..."


අම්මත්, ලොකු දුවත්, අංජුත් සමඟ මම ආවාස ගේ ඇතුලට ගියේ බයෙන් මෙනි. මට ඇස් අදහාගත නොහැකි විය. වයසක හාමුදුරුවරු දෙනමක් හා තව තරුණ හාමුදුරුවරු දෙනමක් ආවාස ගෙයි එක දිෆට පුටු හතරක වාඩිවි වටාපත් අතේ ඇතුව මට පිරිත් කියන්න ලෑස්ති වි හිදියි. මම එලෙස හාමුදුරුවරු හතර නමක් මා වෙනුවෙන්, මේ කළබලේ පිරිත් කියන්න ලෑස්ති වි හිදියි කියා සිතුවේම නැත.


"දැන් මේ අම්මගේ ඔපරේෂන් එක කවද්ද තියෙන්නේ ...? ලොකු හාමුදුරුවෝ ඇසුවේය .


"හෙට උදේ හොස්පිටල් ඇඩ්මිට් වෙන්න කිව්වා ...හෙට ගනියි හාමුදුරුවනේ ...."


"එහෙමද...? එහෙනම් හතර දෙනත් එක්ක වැද ගන්න..."


පන්සලේ ලොකු හාමුදුරුවෝ ඇතුළු අනෙක් තුන් නම , අපිව බුදුන් වන්දා පැයකට කිට්ටු කාලයක් පිරිත් කිව්වේ මටත් මගේ අලුතින් ඉපදෙන්න ඉන්න දරුවාටත් ආශිර්වාද කරමින්‍ය. හෙට දින දෙවන දරු උපතට ලෑස්ති වන මට එය දැනුනේ විශාල මානසික සතුටක් සමඟ හිතේ නිදහස් සැහැල්ලු බවක් .... උන් වහන්සේලා කිසිම අකමැත්තක් නොපෙන්වා , අහම්බෙන් පන්සලට ආ ගැඹිනි මවකට පිරිත් කිව්වේ, කිසිම දෙයක් බලාපොරොත්තු නොවී, කොයිතරම් නම් හිතේ පිරිසිදුවද . උන්වහන්සේලා බුදුන් ගේ නියම ශ්‍රාවක යන් ලෙස අපට සැලකු විදිහ.... මගේ හිතේ උන්වහන්සේලා ගැන ඇතිවුනේ ලොකු ගෞරවයක්.....


"චූටි දුවේ, දැන් හෙට ඉස්පිරිතාලේට ගෙනියන දේවල් ලෑස්තිද ?


"ඔව් ඔක්කොම ලෑස්තියි අම්මේ...අම්මත් අපිත් එක්ක යන්න එනවා නේද...? ලොකු දුව බලාගන්න කෙනෙක් නෑනේ නැත්නම්.


-නැවත හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

3 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page