top of page
  • Writer's picturePrisila Godahewa

🌹නොනිමි ගමන🌹

🌹නොනිමි ගමන 🌹

( 21 වෙනි කොටස )


‘‘ දුව ඉපදිලා මාසයක් සම්පූර්ණ උනාම, විශේඥ්ඥ් වෛද්‍ය වරයෙක්ට පෙන්නන්න කියලා හොස්පිටල් එකෙන් කිව්වා.....’’


"ඔව් මම මේ සුමානේම හොද ළමා විශේඥ්ඥ් වරයෙක් චැනල් කරන්නම්. ....අපි ඔයාගේ අම්මවත් තනියට එක්ක යමු . "


අපි චූටි දුව ඉපදි මාසය සම්පූර්ණ උන පසු, ඇයව වෛද්‍යවරයෙක් ලඟට රැගෙන ගියෙමු. ඇයව එහිදි විශේෂ පරීක්ෂාවකට ලක් කෙරිණි. ඉන්පසු වෛද්‍යවරයා කියු දෙයින් මාත්, අංජුත් හොඳටම බය විය.


‘‘දරුවාගෙ පපුවෙ අමුතු වෙනස් ශබ්දයක් තියෙනවා. තව මාස තුනකින් තමයි අපට ඒ ගැන හරියට කියන්න පුළුවන්, අපි මාස තුනකින් ආයෙත් බබාව පරික්ශාකරලා බලමු..’’


"අනේ ඩොක්ටර් මොකක් හරි අසනීපයක්ද දරුවට ?


"එක පාරම එහෙම කියන්න බෑ....තාම දරුවා පොඩියිනෙ අපි මාස තුනකින් ආයෙත් හරියට චෙක් කරලා බලමු...."


"අනේ අම්මේ මට බයයි ඩොක්ටර් කිව්ව දෙය නිසා, ...."


"අපි දරුවට බෝධි පුජාවක් තියමු. භාරයකුත් වෙමු....බය වෙන්න එපා...."


එදායින් පසු ගෙවුනු මාස තුනම ,අම්මත් මමත් අංජුත් ගත කලේ, නිතර පන්සල් කෝවිල් වලට යමින් අපේ දරුවා හා මා වෙනුවෙන් භාරහාර වෙමින්ය.


දරුවාට මාස හතර සම්පූර්ණ වෙනවාත් සමඟම අපි නැවත, ඇයව විශේඥ්ඥ් වෛද්‍යවරයා ලඟට රැගෙන ගොස් පෙන්නුවේ හිතෙ බයෙන් සැකෙන් මය.


වාසනාවකට දරුවාට මාස හතර සම්පූර්ණ වෙනවිට ඇයගේ මුලින් තිබුන හෘදයේ ස්පන්දන වේගය සාමාන්‍ය අතට හැරී තිබින.


අංජු කිසිදිනක අරක්කු, සිගරට් වැනි කිසිදෙයක් පාවිච්චි නො කරපු කෙනෙක්..... උදේ හවා බුදුන් වඳින, පස්පව් කිසිත් නොකරන, හොඳ ගුණ යහපත් කෙනෙක් ඔහු..... ඔහුගෙ හොඳ කාරුණික, අවංකකමටත් හදවතින්ම හොද බෞද්ධයෙක් ලෙස කටයුතු කරන කෙනෙක් වීමත්, තුනුරුවන් බලෙන්, හා සියලු දෙවිදේවතාවුන්ගෙ බලෙන් මාත් දරුවාගෙත් පහුගිය කාලේ තිබුණ සියලූ අසනීප තත්ත්වයන් ඒ වන විට මඟ හැරී යන්න ඇතැයි අදටත් මම විශ්වාස කරන්නෙමි.


මගේ හර්ද වස්තුවේ තිබුන අසනීපය ,දරුවා ලැබුන පසු බොහෝ දුරට හොද අතට හැරි තිබුන අතර, අවුරුද්දකට වතාවක් හර්ද රෝග විශේඥ්ඥ්වරයකුට පෙන්වීමට නියමිත විය.


දරුවා ලැබි සුමාන දෙකක් යන කම් මගේ තනියට හා උදව්වට ආ අම්මා.....දුවට මාසයක් පිරෙන්න තෙක් දවසක් ඇර දවසක් පැමිණ ඇය නාවා ,මට කෑම උයාපිහා යෑම කලාය. මාත් මගේ දරුවා වෙනුවෙන් වගේම අක්කලා දෙන්නාගේ දරුවන්ද ඇය බලාගන්නට ගියේ එලෙසමය. දැන් අපේ අම්මා තාත්තාට මුනුපුරු මිනිබිරියන් පස් දෙනෙක් ඇත. ඔවුන් පස් දෙනාම ලැබෙන්න සිටින කාලේ ඔවුන් බලා කියා ගත්තේ, කෑම උයාපිහා දුන්නෙ අපේ අම්මා විසිනි. ඇය ඒ දේවල් සියල්ල කලේ හරිම ආසාවෙන් කැමැත්තෙන්ය. කිසිම දවසක අපිවත් අපේ දරුවන්වත් ඇය කරදරයක් ලෙස නොසිතුවාය. ඇය බොහොම සතුටෙන් උවමනාවෙන් අපේ සියලු ඕනෑ එපාකම් ඉශට කර දුන්නාය.


"පොඩි අක්කට දෙවන බබා හම්බුන නිසා, දැන් ඉතිං අම්මට ඉස්සර වගේ අපේ ගෙදර එන්න වෙන්නේ නෑ.....දැන් මට තනියම තමයි දුව බලාගන්න නාවන්න වෙන්නේ...."


"ඔයාට දැන් දුව බලාගන්න වැඩේ තනියම කරගන්න පුලුවන්නේ....හැබැයි ඉතිං මේ ගෙදර පොඩි නිසා දරුවව බිමින් තියන්න තමයි බැරි.....එයාට සෙල්ලම් කරන්න දන ගාන්න ඉඩ මදියි නේ මේ සාල කෑල්ලේ...."


"ඒක තමයි ...අපි පුලුවන් ඉක්මනට ආයෙත් ඉඩමක් හොයාගෙන ගෙයක් හදාගන්න බලමු..."


කාලය සෙමෙන් ගලා යන්නේය..... දුව ලැබුන පසු, අංජුට ඔහුගෙ කාර්‍යාලයේන් ලැබුන විශේෂ උසස් වීමත් සමග ඔහුට නැවතත් අලුත් වාහනයක් ගන්නට අවස්තාව ලැබීම අපිදෙන්නාගේ සතුටට හේතු විය.


"චතු අපට ඔෆ්ස් එකෙන් මෝබයිල් ටෙලිෆොන් දෙන්න යනවා, මට ආසාවේ බෑ...මෙච්චර දවසක් මම පාවිච්චි කලේ පේජර් එකනේ.....ඒකෙන් ඉතිං අපට මෙසේජ් එනවා විතරනේ.....මෝබයිල් ටෙලිෆෝන් තාම ලංකාවට අලුත්නේ,....තාම එහෙමත් කෙනෙක්ට තමයි මෝබයිල් ටෙලිෆෝන් තියෙන්නේ...."


"ලොකු දෙයක් ඔයාට මෝබයිල් ඵෝන් එකක් ලැබෙනවානම්....ඔයා ඒවට හරි කැමතියිනේ...."


"දැන් දුවට මාස හතරකුත් උනා...

අංජු අපි දැන් මෙහෙම කුලී ගෙවල් වල හිටියා ඇතිනේද...? අපි ආයෙත් ගෙයක් හදාගන්න ඉඩමක් ගන්න බලමුද..."?


"ඔව් අපි ආයෙත් ඉඩමක් හොයාගන්න වැඩේ බලමු... මට දැන් ඔෆිස් එකෙන් ටිකක් ලොකු ලෝන් එකක් ගන්නත් පුලුවන් ගෙයක් හදාගන්න ...."


චුටි දුවට මාස පහක් සම්පූර්ණක් විතර වෙනවිට අපි දෙදෙනා, ඇයත් ඇරන් නිවාඩු දවසට නැවත ගෙයක් හදන්න ඉඩම් හොයන්න යන්න පටන් ගත්තෙමු. කොයිතරම් හොද ඉඩම් තිබුනත්, අපට මිලදි ගන්න පුලුවන් ගානට පර්චස් 10 ක් ගන්නයි අපට උවමනා වෙලා තිබුනේ....


"අපි හොයන ගානට නම් ඉඩම් නෑ තාත්ති...."


මේ වන කොට අපි දෙන්නට දෙන්නා, දුව කියන විදිහට අම්මි, තාත්ති කියා ගන්නට පුරුදු වි උන්නෙමු.


"දැන් නම් දුවට අවුරුද්ද පිරෙන්නත් කාලේ ලඟයි....."


‘‘දුවගෙ පළවන උපන් දිනේටවත් අපට අපේ කියලා ගේකට යන්න පුළුවන් වුණොත් නේද හොඳ..?.’’


අවසානයේ අපි පර්චස් දහයක ඉඩමක් , ගෙවල් හදාම බාර දෙන තැනකින් ගන්නට සියලු කටයුතු ලෑස්ති කර ගත්තෙමු.


"අපට මුලින් ගෙදර හදන්න ඇඩ්වාන්ස් එකක් දුන්නහම, ගෙට මුල්ගල තියන්න පුළුවන්...ඊට පස්සේ අපට ටික ටික තමයි ගෙදර හදන්න ගෙවාගෙන යන්න තියෙන්නේ...."


" ඒක ලේසියි.....එහෙනම් එන සුමානෙම අපි නැකතක් බලන්න ඕනේ, ගෙදර හදන්න මුල්ගල තියන්න. "


"මම කිරිබත් හදාගෙන එන්නම්...අපි දෙන්නා දුවත් එක්ක තනියම ගිහින් , ඉඩමේ නැකතට මුල්ගල තියෙන වැඩේ කරමු...."


"අපි තාම ඇඩ්වාන්ස් එකක් විතරයි නේද දුන්නේ..."?


"ඔව් ...ගෙදර වැඩ පටන් ගත්තහම තමයි එයාට ටික ටික සල්ලි දෙන්න තියෙන්නේ ....."


අපේම කියන්න ගෙයක් හදාගන්න උවමනාවෙන් ආසාවෙන් අපි දෙන්නා පසු උනෙ බොහෝම සතුටෙන්..... . දුවගේ පළවෙනි උපන් දිනයට පෙර අපේ ගෙය අපට හදාගන්නයි අවශ්‍ය වෙලා තිබුනේ. ගෙට ප්ලෑන් එක ඇන්දේ අංජුමයි. ඒ අපි දෙන්නට අවශ්‍ය ලෙස, ලාභෙට හදාගන්න පුලුවන් ලෙසයි.


‘‘ චතු හරි වැඩේනේ.....අර අපිට ගෙදර හදල දෙන්න පොරොන්දු වුණ මිනිහා අපේ ඉඩම තව කෙනෙක්ට පෙන්නලා තියෙනවා, ගෙයක් හදලා දෙන්නම් කියලා .....ඒ මිනිහා බොරුකාරයෙක් වගේ අපි අපේ ඇඞ්වාන්ස් එක ඉල්ල ගමු නේද පහු වෙන්න ඉස්සර....මිනිහා ගොඩක් අයගෙන් ඔය විදිහට සල්ලි ඇරන් දැන් රට යන්නලු හදන්නේ....."


"අපොයි දෙවියනේ ..."


"මිනිහා සල්ලි ආපහු දෙන එක මඟ අරිනවා මොනවා කරන්නද මන්දා..."


"අනේ දෙවියන් මෙහෙමත් මිනිස්සු ...ඔව් අපි පොලීසි යනවා කියලා සල්ලි ඉල්ලමු. ඔයා මට ටෙලිෆෝන් එක දෙන්න මම එයාට හොද සැරට කතා කරලා සල්ලි ඉල්ලන්නම්...."


"ඔව් ගෑනු කෙනෙක් කතා කරාම මිනිහා,බය වෙයි, එහෙනම් ඔයා කතා කරලා අපේ ඇඩ්වාන්ස් සල්ලි ඉල්ල,ගන්න බලන්න . "


අවසානයේ මගේ තර්ජනය කිරිම හමුවේ, ඔහු අපි ගෙයක් හදන්න දුන් ඇඩ්වාන්ස් මුදල සුළු ගානක අඩුපාඩුවක් ඇතුව නැවත අපට ලබා දුන්නේය. අපේ හිතේ තිබුන ඉඩමක් ඇරන් ගෙයක් හදන වැඩේ එතනින් අන්තිමට නතර විය.


" තාත්ති....අපි මේ ඉඩම් ඇරගෙන ගෙවල් හදන වැඬේ අතඇරලා, හදපු ගෙයක් ගමුද.... මං අර අතුරුගිරියේ තැඹිලි විකුණන්න එන ගෑනු කෙනාගේ බාප්පට කියන්නද ? ඒ මනුස්සයා ගෙවල් හොයලා දෙන බ්‍රෝකර් වැඩ, කරන කෙනෙක්ලු ....අපිට එයාට කියලා ගෙයක් හොයන්න පුලුවන් වෙයි ....’’


දුව දැන් දණ ගාන වයසේ උනත්..... මං මේ පුංචි අනෙක්ස් එක ඇතුළේ දුවව බිමින් තියන්න කැමතිම නෑ. එයා දවසම ඉන්නෙ ඇඳට ගසා ඇති වටවුණු කොටු ඇඳේමයි. දුවව ඇඳෙන් එළියට ගත්තහම මම අතේ තියාගෙන ඉන්නවා මිසක් එයාව බිමින් තියන්නෙම නෑ....


අපි විවාහවි අවුරුදු හතරකට කිට්ටුවෙන්න ගොස් අපට කුළුදුලේ ලැබුනු චූටි දුවව, ඇයගේ මුල් අවුරුද්දම අපි අපේ අතේ තියාගෙනමයි පරිස්සමට හැදුවේ... බිම දණ ගාන්නවත් ඉඩ දුන්නේ නෑ ගෙදර තිබුන ඉඩකඩ මදි කම නිසා..... අපි දෙදෙනා ඇයව ඇස් දෙක වගේ ආරක්ෂා කලෙමු. තාත්ති තව තවත් මහන්සි වෙලා වැඩ කරලා කීයක් හරි වැඩියෙන් හොයන්න පටන් ගත්තේ දුවගේ අනාගතේ ගැන හිතලමයි.


‘‘ අර ගෙවල් හොයලා දෙන බ්‍රෝකර් ,අතුරුගිරියේ ලක්ෂ 7කට පුංචි ගෙයක් විකුනන්න තියෙනවා කිව්වා අපි ගිහින් ඒක බලමුද?’’


"අනේ අපි අද හවසම ඒ ගේ බලන්න යමුකෝ...."


අතුරුගි‍රියේ ප්‍රජාමන්ඩල මාවතේ තිබුනව පර්චස් 7 1/2 පුංචි ගේ පොඞ්ඩ හරිම හුරුබුහුටි එකක් විය. බැලු බැල්මට මගේ හිත ඒ ගේට ඇදී ගියේ නොදැනුවත්මය. කාමර දෙකක්, සාලයක්, කුස්සියක් හා, නාන කාමරයක් පමණයි එම ගෙයට තිබුණේ. ගෙදර ඉස්සරහ හා පිටිපස්සෙන් පොඩි ඉඩ කඩක්ද ඉතිරි වි තිබින .


‘‘මං හරිම ආසයි මේ ගෙට....හරිම හුරුබුහුටි එකක්.... අපි මේ ගේ කොහොම හරි ගමු තාත්ති.."


‘‘ අපි බැංකු ණයක් දාන්න ඕනේ.....ඊට අමතටව මුලින් අපි ලක්ෂ දෙකක් දීලා තමයි ගේ ගන්න වෙන්නෙ....’’


‘‘අපි ලඟ එච්චර සල්ලියක් ඉතිරි කරගෙන නෑනේ..... මුද්දර ගාස්තුවලටත් ලොකු ගාණක් යයි නේද?’’


‘‘ ඔව්...අපි අපේ අක්කලාගෙන්වත් ණයට මුදලක් ඉල්ල ගන්න බලමුද?’’


"ඔව්... අපි දෙන්නා අද දුවත් ඇරගෙන ඒගොල්ලන්ගෙ ගෙදර ගිහින් , ඒගැන කතා කරලා බලමු. ණය මුදල ටික ටික පස්සේ දෙන්න බැරියැ..."


සියල්ල අවසානයේ අංජුගේ මස්සිනා දුන් මුදලින් ගෙදර අත්තිකාරම් මුදල දී, බැංකු ණයක් ඉල්ලුම් කර අපට, අපි ආසාවෙන් හිටි අතුරුගිරියේ පුංචි ගෙදර මිලදි ගන්නට හැකි විය.


අපේ දුවගෙ පළවන උපන්දිනේට සුමානයක් තියෙද්දී අපි මිලදි ගත් ගෙට ගෙවදින්නට හැකි විම අපි දෙදෙනාගේ විශාල ජයග්‍රහණයක් විය.


"කොහොම හරි අවුරුදු ගානක් තිස්සේ අපි දෙන්නා ආසාවෙන් බලාපොරොත්තුවෙන් හිටි දේ ඉශ්ට කරගන්න ලැබුනනේ...මට ආසාවේ බෑ මේ ගෙදර ඇතුලේ ඉන්න කොට...ගෙදර ඇතුල අලුත් තීන්ත සුවඳයි....හරිම පිරිසිදු අලුත් ගෙයක් .....මේක හදලා අවුරුදු දෙක තුනකට වැඩ්ය නෑ කිව්වා..."


"ගෙදර සිවිලිම් ගහන්න ,කුස්සියට පැන්ට්‍රි කබඩ් ගහන්න,ආයෙත් පේන්ට් කරන්නත් ගොඩක් වියදම් ගියා...එතකොට අර බ්‍රෝකර්ටත් 25000/= දෙන්න උනානේ...දැන් නම් අතේ සල්ලි නෑ. "


"කොහොම හරි අපි සුළුවෙන් ගෙට ගෙවදිලා අවශ්‍ය දේවල් විතරක් කරගමු. කාටවත් කියන්න අවශ්‍ය නෑ....අපේ අක්කලාටයි ඔයාගේ අම්මට , අපේ මම්මා පප්පට විතරක් ගෙට ගෙවදින එකට එන්න කියලා, කිරිබත් කෑල්ලක් කාලා යන්න කියමු... "


සියල්ල අවසානයේ අවුරුදු ගානක් පෙරුම් පුරමින් ඉද අපි අපේ පුංචි ගෙට ගෙවදි එහි පදිංචියට ගියේ සතුටින් ඉපිලෙමින්....


"දුව හම්බවෙන්න ඉන්න කොට අපේ අම්මා මට භාර වෙලා තිබුන කිරිදානය අපි ගෙට ගෙවදුන හැටියෙම දෙමු...."


"ඊට පස්සේ ඔෆිස් එකේ අයට කෑමක් දෙන්නත් ඕනේ, ගෙදර අයට එන්න කියලා අපි දුවගෙ පළවෙනි උපන් දිනෙත් ගමු..."


අලුත් ගෙට ගෙවදුන දවසට පහුවෙනිදා අපි දුව හම්බවෙන්න ඉන්න කොට බාර උන කිරි අම්මලාගෙ දානය දෙන්න ලෑස්ති කර ගත්තෙමු.


"අර ඕවිටේ ඉන්න ගෙවල් බ්‍රෝකර් වැඩේ කරන කෙනා, එයාගේ කසාඳ බැදපු දුවව මෙහෙ වැඩට එවන්නම් කිව්වා ,ගෙවල් අස්කරලා ,උයලා දෙන්න ...."


"ඒක නම් හොදයි මට දුවත් එක්ක මේ වැඩ කර ගන්නත් බෑ...."


ගෙට ගෙවදීම බොහෝම චාමෙට සුළුවෙන් ඉවර කල අපි, දුවගේ කිරි අම්මලාගේ දානයද දී අහවර කෙරුවෙමු.


දුවගෙ පළවන උපන් දිනේට තව ඇත්තේ දින හතරක් වැනි කාලයකි. මම ගෙවල් දොරවල් ලස්සනට අස්කරලා, බඩු මුට්ටු පිලිවෙලට තියා, දොරරෙදි දමා හැඩ වැඩ කෙරුවෙ සතුටින් ඉතිරෙමින්..... මගේ ගෙදර ලස්සන කරන එක මම පුදුම ආසාවෙන් කල දේවල් විය. අංජුද මට ඒවාට උදව් කලේ බොහෝම උනන්දුවෙනි.


දුවගේ උපන් දිනය දා උදේම අතුරුගිරිය මහ පන්සලට ගොස්, කිරිපිඩු පුජා කර බුදුන් වැන්ද අපි දුවව, මුල්ම වරට පන්සලේ බිම වැලි පොලොවේ හෙමිහිට ඇවිද්දුවෙමු. මගෙත් අංජුගෙත් හිත සතුටින් පිරි ඉතිරි ගොස් ඇත. අපට දැන් අපේම කියන්න ගෙයක් , වාහනයක් දරුවෙක් ඇත. වෙන මොනවද අඩු...අරපිරිමැස්මෙන් ජීවිතය ගෙනයමින් මම අංජුට හොද කාර්‍ය්ක්ශම කීකරු බිරිදක් වි ඇත. මගේ පවුල වෙනුවෙන් මට දැන් ඕන දෙයක් කිරිමට හැකියාව ඇත. මගේ හිත සතුටින් පිරි ඉතිරි ගොස් ඇත්තේ, මාවත් දරුවාවත් ආදරෙන් බලාගන්න හොද සැමියෙක් මට ලැබීම, අපේම කියන්න ගෙයක්, වාහනයක් ලැබිම හා හොද නිරෝගී දරුවකුද ලැබි තිබීම වෙනුවෙනි....


දුවගේ පළවෙනි උපන් දින හවස අපි අපේ ගෙවල් දෙකේ නෑදෑයින්ට, යාලුවන්ට එන්න කියා දුවගේ පළවන උපන්දිනේ ලස්සනට සැමරුවෙමු. එදින අමුත්තන් සියලු දෙනාට කෑම හැදුවේ අම්මා විසිනි. මම ඇයට අත් උදව් දුන්නෙ බොහෝම සතුටින්. අප දෙදෙනාගේ අත් උදව්වට අතුරුගිරිය ගෙදර හොයා දුන් බ්‍රෝකර්ගේ එකම දුව උදව්වට පැමිනීම අපට පහසු විය.


ඇයගේ නම දිලීමා බවත්, ඇයට දියනියන් දෙදෙනෙක් සිටින බවත්, ඔවුන් ඕවිට ගෙදර ඔවුන්ගේ බාප්පාගේ (අම්මාගේ දෙවන සැමියා )ගෙදර නැවති හිදින බවත් දැනගන්නට ලැබින. එතැන් පටන් හැම දිනකම හවසට දිලීමා අපේ ගෙදර පැමිණ මට ගෙවල් දොරවල් අස්පස් කර අතුගා, වලංපිඟන් හෝදා, පොල් ගා,එළවළු ,කොළවර්ග කපා ශීත කරනයේ දා යන්නට පටන් ගැනීම මට ඉතා පහසු විය. ඇගෙන් ගෙදර වැඩ,ගත්තත් මම කවදාවත් අපේ දුවව බලාගන්නට, වඩා ගන්නට ඇයට නොදුන්නෙමි.


ඉතා අමාරුවෙන් ජිවත් උන ඇය බාප්පාගේ ගෙදර අමාරුවෙන් ජීවත් වෙන බව අසා, මම කණගාටුවට පත් උනෙමි. මම මට පුළුවන් විදිහට ඇයට ඇදුම් පැළදුම් කෑම බීම වලින් උදව් කෙරුවෙමි. ඇයගේ දුවලා දෙන්නට පාසැල් යන්නට අවශ්‍ය ඇදුම් පොත්පත් ගන්නට මම පුලුවන් විදිහට උදව් කලෙමි. ඇය මට නිතර පිං දෙමින් ඒවා රැගෙන ගියේ පියෙක් නැති දරුවන් දෙදෙනෙක්ට කරන උදව්.....දෙවියන්ට පෙනී, ඔබ තුමියට කවදා හෝ වැඩි වැඩියෙන්ම ලැබේවි කියමින්‍ය.



‘‘අපි දෙන්නා , බදින්න ඉස්සර ඉදන් කොච්චර මහන්සි වුණාද අපේම කියල ගෙයක් හදා ගන්න...බලන්න ඉතිං දුව හම්බවෙලා අවුරුද්දක් ගියාට පස්සෙ නේ අපේ ආශාව ඉශ්ට කරගන්න පුලුවන් උනේ.....මේක නම් අපේ දුවගෙ වාසනාවම වෙන්න ඇති ....ඒ වගේම ඔයාගේ මහන්සියේ ප්‍රතිපල...."


‘‘ ඇයි ඉතිං ඔයාගේ අදහස් හා අරපිරිමැස්මත් නිසා තමයි අපට මේ හැමදේම ලැබෙන්නේ.....වෙලාව එන්නත් ඕනේ හැමදේකටම..... පහුගිය කාලේ අපට කොයිතරම් නම් කරදර සිද්ධ වුණාද? ඒවාට සැලෙන්නේ නැතුව අපි වැටි වැටි නැගිට්ට නිසා තමයි මේ හැමදේම ලැබුනේ...අපේ අපේ ඉදිරි ගමන මේ විදිහටම යමු අම්මි...... කාටවත් වැරැද්දක් නොකරන අපිව, තෙරුවන් සරණින් සියලු දෙවිදේවතාවන්ගේ පිහිටෙන් ආරක්ශා වෙනවා...".


‘‘දැන් මගේ නමටම අලුත් වාහනයක් ගන්න පුළුවන්...... ඔෆිස් එකෙන් මට ලැබුන අලුත් ප‍්‍රමෝෂන් එක නිසා........’’


‘‘අනේ ඒක කොච්චර දෙයක් ද?’’


‘‘ එහෙනම් අපි පොඩි වෑන් එකක් ගමුද..? . අපට ටි‍්‍රප් යන්නත් පුළුවන් එතකොට.....’’


අංජු ඔහුගේ කාර්‍යාලයේ වැඩ ලොකු උවමනාවෙන් කර ආයතනයට හොඳ ආදායම් මාර්ග ගෙන දෙන බැවින් මේ වන විට ඔහුගෙ වැටුපත් වැඩි වි තිබින..... මම ඔහු කියන විදිහටම ගෙදර දොරේ වැඩ අරපිරිමැස්මෙන් බලාකියා ගනිමින් දරුවත් බලාගෙන එයාට නිතර උදව් උපකාර කරමින් ඔහු පසුපසින් දිරි දෙමින් උන්නෙමි.


‘‘දුවට ඉංග‍්‍රීසියෙන් කතා කරන්න ඕනේ.....ඒක ඉස්සරහ කාලේ එයාට ගොඩක් වැදගත් වේවි....මේ රටේ ඉංග‍්‍රීසි ඉගෙන ගත්තොත් තමයි ඉස්සරහට යන්න ලේසි වෙන්නේ....."අංජු කීයයි.


"මටත් හරියට ඉංග්‍රිසියෙන් කතා කරන්න බෑනේ.....ඉතිං කොහොමද දවල් දවසේ දුවට මම ඉංග්‍රීසියෙන් කතා කරන්නේ...."


"ඔයාට පුළුවන් විදිහට කතා කරන්න. මම ගෙදර ඉන්න කොට එයාට වැඩිපුර කතා කරන්නම්...."


එන්න එන්නම අංජු එයාගෙ වැඩ කරන තැන හොඳින් වැඩ කරමින් උසස්වීම් ද ලබමින් ඉහලට යෑම මගේ සතුටට හේතු විය. ඔහුට කාර්‍යාලයේ කළමනාකරුවකු ලෙස ලැබූ උසස්වීමෙන් පසු අපේ ආදායම් තත්ත්වය ද එන්න එන්නම ඉහල ගියේය. අපි තුන්දෙනා බොහෝම සතුටෙන් කාලය ගත කෙරුවෙමු.


-නැවත හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

4 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comentarios


bottom of page